යෞවන අය අසති . . .
මම සල්ලි ටිකක් සොයාගන්නේ කොහොමද?
“මට හොඳ මුදලක් ලැබෙන රැකියාවක් ඕනා.”—ටාන්යා.
බොහෝ තරුණයන් ටාන්යාගේ හැඟීමට එකඟ වෙනවා. “මට කාර් එකක් ගන්න, සාප්පුවට ගිහින් ඇඳුම් ගන්න, සල්ලි ඕන කරනවා” යයි ස’ජෝ නම් තරුණයෙක් පවසයි. “මට හැම දෙයකදීම මගේ දෙමව්පියන්ගෙන් යැපෙන්න ඕනෙ නැහැ.” තරුණ ලෝරි’ඇන්ටත් රැකියාවක් කරන්න ඒ හා සමාන හේතුවක් තිබුණා. “මම ගෑනු ළමයෙක් නිසා මම ආසයි සාප්පු යන්න” යයි ඇය පැවසුවා.
ඒ අනුව, යූ.එස්.නියූස් ඇන්ඩ් ව’ල්ඩ් රිපෝට් නම් සඟරාව කියන දෙය පුදුම වෙන්න දෙයක් නොවෙයි. “[එ.ජ.] ද්විතීය පාඨශාලාවල කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගෙන් 4න් 3ක්ම පාසැලෙන් පසුව සහ සති අන්තයේදී කෙළින්ම රැකියා කරා ඇදෙනවා.” මෙය තරමක් දුරට, අද ද්‍රව්‍යවාදී ලෝකයේ බහුලව පවතින ‘වස්තු තෘෂ්ණාවේ’ අසමබරතාව විදහාපෙන්වීමක් වෙනවා. (1 තිමෝති 6:10) කොහොමවුණත් ආදායම් සොයන සෑම තරුණයෙක්ම ද්‍රව්‍යවාදයට යටත් වන්නේ නැහැ.
“මුදල ආරක්ෂාවක්” යයි බයිබලය පවසනවා. (දේශනාකාරයා 7:12) ක්‍රිස්තියානි තරුණයෙක් වශයෙන් ඔබට, යම් මුදලක් උපයාගැනීමට අවශ්‍ය වීම සඳහා සාධාරණ හේතු ගණනාවක්ම තිබිය හැකියි.a උදාහරණයකට තරුණ ඒවියන්, තමා සතියකට දවස් දෙකක් වැඩ කිරීමට හේතුව පැහැදිලි කරනවා; “එය මට ස්ථාවර පුරෝගාමියෙක් [පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙක්] ලෙස සේවය කරන්න උපකාර කරනවා.”
ඔබ අර්ධ කාලීන රැකියාවක් අත් කරගන්න උත්සාහ කිරීම සම්බන්ධයෙනුත් ඒ හා සමාන හේතු තිබිය හැකියි. සමහරවිට ඔබට ක්‍රිස්තියානි සමුළුවකට යෑමේ ඉලක්කය තිබෙන්න පුළුවන්. නැතිනම් ඔබට සභා රැස්වීම්වලදී ඇඳීමට සුදුසු තව ඇඳුම් ටිකක් අවශ්‍ය වෙනවා වන්න පුළුවන්. මේ ඕනෑම කාරණයකදී මුදල් අවශ්‍යයි. ‘පළමුකොට දෙවිගේ රාජ්‍යය සොයන’ අයට, දෙවි සපයන බවට යේසු පොරොන්දු වූ බව ඇත්තයි. (මතෙව් 6:33) නමුත් මේ සම්බන්ධයෙන් ඔබ විසින්ම යම් පියවර ගැනීමේ අවශ්‍යතාව ඉවත් කරන්නේ නැහැ. (ක්‍රියා 18:1-3 සසඳන්න.) එසේනම් ඔබට යම් මුදලක් උපයාගැනීමට අවශ්‍ය නම් මොන වගේ ප්‍රායෝගික පියවරද ගත හැක්කේ?
පටන්ගැනීම
ඔබ යම් රැකියාවක නියැලීම සම්බන්ධයෙන් ඔබේ දෙමව්පියන් එකඟ වෙනවායයි සිතමු. ඔබේ පළමු කාර්යය ඔබේ අසල්වාසීන්, ගුරුවරුන් සහ ඥාතීන් වෙත එළඹී, ඔබ රැකියාවක් සොයන බව ඔවුන්ට දැනගැනීමට සැලැස්වීම විය හැකියි. ඔබට ඒ ගැන ඔවුන්ගෙන් කෙළින්ම අසන්න ලජ්ජ නම්, ඔවුන් නහඹරයන්ව සිටියදී මොන වගේ රැකියාද කළේ කියා ඔවුන්ගෙන් නිකම් අසන්න පුළුවන්. ඔවුන් ඔබට ප්‍රයෝජනවත් අදහස් සමහරක් දෙන්න ඉඩ තියෙනවා. ඔබ රැකියාවක් සොයන බව බොහෝ අය දැනගත් විට, ප්‍රයෝජනවත් උපකාර සහ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර ඔබට ලැබෙන්න තිබෙන ඉඩ කඩ වැඩියි.
ඊළඟට, පුවත්පත් ඇබෑර්තු, එමෙන්ම සාප්පුවල, ඔබේ පාසැලේ සහ අනිකුත් පොදු ස්ථානවල එල්ලා තිබෙන තොරතුරු පුවරු සම්බන්ධයෙන් සොයා බලන්න. “එහෙම තමයි මට මගේ රැකියාව ලැබුණේ” යයි ඩේව් නම් තරුණයෙක් පවසයි. “මම පුවත්පතේ දැක්කා, එයට මගේ විස්තර ඇතුළත් අයැදුම්පත ෆැක්ස් කළා, පසුව ඔවුන්ට දුරකථනයෙන් ඇමතුවා.” නමුත් බොහෝ රැකියා ප්‍රචාරය නොකරන බව, ඔබට අවබෝධ වී තිබෙනවාද? සෙවන්ටීන් සඟරාවට අනුව, “රැකියා දහයකින් තුනක්, සුදුසු පුද්ගලයා පැමිණ රැකියා ප්‍රස්තාවක් ගැන විමසන තෙක් බොහෝවිට බිහි නොවේ” කියා සමහරු තක්සේරු කරනවා. එවැනි අවස්ථාවක සමහරවිට ඔබට පුළුවන් ඔබට රැකියාවක් දීම උචිතයි කියා සේවා යෝජකයාට ඒත්තුගන්වන්න.
නමුත් කොහොමද? ‘මට අද්දැකීම් නැහැ,’ ඔබ සිතන්න පුළුවන්. හොඳයි, නැවතත් සිතන්න. ඔබ කවදා හරි දෙමව්පියන් නැති විටක ඔබේ බාල සහෝදරයව හෝ සහෝදරියව, එසේත් නැතිනම් අනිත් අයගේ ළදරුවන්ව රැකබලාගෙන තිබෙනවාද? මෙය පෙන්වනවා ඔබට වගකීමක් දැරිය හැකි බව. ඔබේ පියාට මෝටර් රථය අලුත්වැඩියා කරන්න ඔබ උපකාර කර තිබෙනවාද? ඔබට කාර්මික දක්ෂතාවක් තිබිය හැකි බව එය පෙන්වනවා. ඔබ යතුරු ලේඛනය කරන්න හෝ පරිගණකය භාවිත කරන්න දන්නවාද? නැතිනම් අලුත් අදහසකට අනුව කළ යම් ව්‍යාපෘතියකට ඔබට හොඳ ලකුණු ලැබී තිබෙනවාද? මේවා අනාගත සේවා යෝජකයන්ට ඒත්තුගැන්විය හැකි හොඳ කරුණු වෙනවා.
ඔබේ ආශාවන් හෝ විනෝදාංශ අවතක්සේරු කරන්න එපා. උදාහරණයකට, ඔබ සංගීත භාණ්ඩයක් වාදනය කරනවා නම්, සංගීත සාප්පුවක ඇබෑර්තුවක් තිබේදැයි බලන්න. ඇත්තෙන්ම ඔබට සාප්පුවේ තිබෙන භාණ්ඩ ගැන උනන්දුවක් තිබෙන අතරම පාරිභෝගිකයන් අසන ප්‍රශ්නවලට උත්තර සපයන්න නිසැකවම ඔබ හොඳ තත්වයක සිටිනවා.
රැකියාවකට අයැදුම් කිරීම
සිතන්න ඔබ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට, කලින් වෙලාවක් වෙන් කරගෙන සිටිනවා කියා. ඔබේ ඇඳුම් පැළඳුම් සහ හිසකෙස් සකස් කිරීම සම්බන්ධව අවධානය දෙන්න. මන්දයත් ඔබේ පෙනුම ඔබ ගැන යමක් කියාපානවා. ඔබ “වගකීමක් දැරිය හැකි, පිළිවෙළක් ඇති, සංවිධානාත්මක පුද්ගලයෙක්ද”—නැතිනම් එහි විරුද්ධ පැත්තද කියා එයට පැවසිය හැකියි. “විනීතව හා සිහියෙන් යුක්තව සිට මනා පිළිවෙළකින් යුත් ඇඳුම්වලින් සැරසී” සිටින ලෙස ක්‍රිස්තියානි ස්ත්රීන්ට පැවසීමේදී බයිබලය හරිම ප්‍රායෝගිකයි. (1 තිමෝති 2:9, NW) මෙය පුරුෂයන්ටත් අදාළ වෙනවා. රැකියාව මොන වගේ එකක් වුණත්, රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යන විට කිසිම අවස්ථාවක අරුමෝසම් පෙනුමක් හෝ අපිළිවෙළකින් යුත් ඇඳුම් ඇඳගෙන යන්න එපා.
ඔබේ ආකල්ප සහ ගතිපැවතුම් ඔබ ගැන බොහෝ දේ කියාපානවා. රන් අණ ක්‍රියාවට නඟන්න. ඔබව සලකනු ලබනවාට කැමති ආකාරයෙන්ම අනුන්ටත් සලකන්න. (මතෙව් 7:12) ඔබ කලින් නියම කරගත් වෙලාවටම පැමිණෙන්න. උද්යෝගිමත්ව හා කල්පනාකාරිව සිටින්න. හොඳ ගතිපැවතුම් පෙන්වන්න. පුරසාරම් දොඩවන්නේ හෝ අතිශයෝක්තියෙන් කතා කරන්නේ නැතුව ඔබ තනතුරට සුදුසු ඇයි කියා හැඟීමට හේතු පැහැදිලි කරන්න. නිශ්චිත වන්න.
පැහැදිලි, හොඳින් සකස් කළ විස්තර ඇතුළත් අයැදුම්පතක් රැගෙන එන ලෙස (හෝ කලින් එවන ලෙස) සමහර ප්‍රවීණයන් නිර්දේශ කරනවා. එයට ඔබේ නම, ලිපිනය, දූරකථන අංකය, අරමුණු කරන රැකියාව, අධ්‍යාපනය (ඔබ හදාරා ඇති ඕනෑම අමතර පාඨමාලා ඇතුළත්ව), කලින් ලබා ඇති රැකියා අද්දැකීම් (වැටුපක් ලබන රැකියා සහ ස්වේච්ඡා සේවා), විශේෂ දක්ෂතා, පෞද්ගලික රුචිකම්, විනෝදාංශ (මේවා ඔබේ හැකියාවන් විදහාපෙන්විය හැකියි) සහ අවශ්‍ය නම් නිර්දේශකයන් සිටින බව දක්වන සඳහන් කිරීමක් ඇතුළත් කරන්න. ඔබව රැකියාවට නිර්දේශ කළ හැකි සමහර පුද්ගලයන්ගේ නම්, ලිපින, සහ දූරකථන අංක සඳහන් කර වෙනම කොළයක් ඔබට සකස් කළ හැකියි. නමුත්, ඔවුන්ගෙන් කලින්ම අවසර ගැනීමට වගබලා ගන්න. ඔබේ දක්ෂතා, හැකියාවන් හෝ ඔබේ පෞද්ගලික ගතිලක්ෂණ ගැන සහතික කළ හැකි ඔබේ කලින් සේවායෝජකයන්, ගුරුවරයෙක්, පාසැල් උපදේශකයෙක්, වැඩිහිටි මිත්‍රයෙක් මෙයට ඇතුළත් වෙන්න පුළුවන්.
ස්වයං රැකියාවක් කිරීම
නමුත් ඔබේ උපරිම උත්සාහය යොදලත් රැකියාවක් නොලැබුණොත්? මෙය බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය දෙයක්. නමුත් බලාපොරොත්තු සුන් කරගන්න ඵපා. හොඳම පිළිතුර ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. අත් වන වාසි? ඔබට ඔබේම කාලසටහනක් සකස් කරගත හැකි අතරම ඔබේ කැමැත්ත පරිදි වැඩියෙන් හෝ අඩුවෙන් වැඩ කිරීමට හැකියි. ස්වයං පෙලඹවීමක්, පුහුණුවක් සහ මුල් පියවර ගැනීමේ කැමැත්තක් ස්වයං රැකියාවකදී අවශ්‍ය වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
නමුත් මොන වගේ රැකියාවක්ද ඔබට ආරම්භ කරන්න පුළුවන්. ඔබගේ අසල්වාසීන් ගැන සිතන්න. කිසිම කෙනෙක් නොසපයන යම් භාණ්ඩ හෝ සේවාවන් සඳහා අවශ්‍යතාවක් තිබෙනවාද? උදාහරණයකට, සිතන්න ඔබ සතුන්ට ආදරෙයි කියා. යම් මුදලකට ඔබේ අසල්වාසීන්ගේ සුරතල් සතුන්ව නෑවීමට හෝ උන්ගේ ලෝම කැපීම සඳහා ඔබට ඉදිරිපත් විය හැකියි. නැතිනම් ඔබ සමහරවිට සංගීත භාණ්ඩයක් වාදනය කරනවා වන්න පුළුවන්. එසේනම් ඔබට එය අනිත් අයට වාදනය කරන්න උගන්වන්න පුළුවන්ද? එසේත් නැතිනම් එය වීදුරු ජනෙල් සේදීම හෝ පිරිසිදු කිරීම වගේ අනිත් අය සුළු කොට තකන රැකියාවක් විය හැකියි. ක්‍රිස්තියානියෙක් තමාගේ අත්වලින් වැඩ කරන්න ලජ්ජා වෙන්නේ නැහැ. (එපීස 4:28) ඔබ අලුත් ශිල්පයක් හදාරන්න පවා උත්සාහ කරන්න පුළුවන්. යම් වෘත්තියක් කරන ආකාරය දක්වා තිබෙන පොත් ලබාගැනීමට පුස්තකාලය පිරික්සන්න; නැතිනම් ඔබේ මිතුරෙකුට ඔබට උගන්වන ලෙස පවසන්න. උදාහරණයකට, තරුණ යෝෂුවා ලේඛන ශිල්පය ගැන පංතියක් හැදෑරුවා. ඊළඟට ඔහු විවාහ මංගල්‍යයන් සහ සාදයන් සඳහා ආරාධනාපත් නිර්මාණය කිරීම ආරම්භ කළා.—“ඔබට උපදවාගත හැකි රැකියා” නමැති කොටුව බලන්න.
කුඩා අවවාදයක්: සියලුම වියදම් සහ අදාළ සාධක අධ්‍යයනය කරන්නේ නැතුව කිසිම ව්‍යාපාරයකට ඉක්මන් වෙන්න එපා. (ලූක් 14:28-30) පළමුව එය ඔබේ දෙමව්පියන් සමඟ සාකච්ඡා කරන්න. ඒ වගේම සමාන ව්‍යාපාර පවත්වාගෙන යන අනිත් අය සමඟත් කතා කරන්න. ඔබට අයබදු ගෙවන්න සිදු වෙයිද? ඔබට බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය වෙයිද? විස්තර සඳහා ප්‍රාදේශීය අධිකාරීන්ගෙන් විමසන්න.—රෝම 13:1-7.
ඔබේ සමබරතාව පවත්වාගැනීම!
ඔබට හසුරුවාගත නොහැකි තරම් වැඩ භාරගත්තොත් ඇත්තෙන්ම එය අන්තරාවක්. රැකියාවල නියුතු සමහර තරුණයන් ගැන ලෝරි’ඇන් මෙසේ පැවසුවා: “ඔවුන් පාසැලේදී දෙන ගෙදර වැඩ හුඟාක් කරන්නේ නෑ, ඒ වගේම ඔවුන් පන්තියේදී අවධානය දීමට බැරි තරම් විඩාවට පත් වෙලා.” ඔවුන්ගේ පවුල් රැකගැනීම සඳහා උපකාර කිරීමට පැය ගණනාවක් වැඩ කිරීමට සිදු වන නිසා ලෝකයේ සමහර ස්ථානවල තරුණයන්ට වෙන විකල්පයක් නැති බව ඇත්තයි. නමුත් ඔබ එවැනි තත්වයක නොසිටී නම් මේ සම්බන්ධව සීමාව ඉක්මවා යන්නේ ඇයි? ප්‍රවීණයන් බොහෝදෙනෙකුට අනුව පාසැල් පැමිණෙන අතරතුර සතියකට පැය 20කට වඩා වැඩ කිරීම අධික පීඩනයක් වන අතර, ඵලදායිත්වයෙන් තොරයි. සතියකට පැය අටත් දහයත් අතර කාලයකට වඩා වැඩි කාලයක් රැකියාවට කැප නොකරන ලෙස සමහරු යෝජනා කරනවා.
ඕනෑවට වඩා ඔබේ කාලය, ශක්තිය සහ අවධානය පාසැලෙන් පසුව තිබෙන වැඩවලට යෙදෙව්වොත් ඔබේ සෞඛ්‍යය, ලකුණු මට්ටම සහ විශේෂයෙන්ම ආත්මිකත්වය ක්‍රමයෙන් දුර්වල විය හැකියි. ඔව්, “වස්තු මායාවද අනිකුත් දේවලට තෘෂ්ණාවද” නිසා හිර වී සිටින්නේ වැඩිහිටියන් පමණක් නොවේ. (මාර්ක් 4:19) එනිසා ඔබේ සමබරතාව පවත්වාගන්න. අධික ලෙස වැඩ කිරීමට එරෙහිව සාලමොන් මෙසේ අනතුරු ඇඟෙව්වා: “වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉඳීම හොඳය.”—දේශනාකාරයා 4:6.
ඔව්, මුදල් ඉපයීම අවශ්‍ය විය හැකියි. ඔබ එසේ කිරීමේදී කලින් සඳහන් කළ තරුණ ඒවියන් වගේ ඔබේ චේතනා යහපත් සහ දිව්‍ය කැමැත්තට එකඟ නම්, යෙහෝවා ඔබේ උත්සාහයන්ට ආශීර්වාද කරන බවට ස්ථිර විය හැකියි. කෙසේවූවත් “වඩා උතුම් දේවල්” එනම් ආත්මික අවශ්‍යතා අතපසු වන තරමටම වැඩවල කවදාවත් හිර නොවී සිටීමට ස්ථිර වන්න. (පිලිප්පි 1:10, NW) මුදල “ආරක්ෂාවක්” වුණත්, සැබෑ සාර්ථකත්වය ලබා දෙන්නේ දෙවිත් සමඟ තිබෙන ඔබගේ සම්බන්ධතාවයි.—දේශනාකාරයා 7:12; ගීතාවලිය 91:14.
[පාදසටහන්වල]
a “යෞවන අය අසති . . .” යන ලිපි ප්‍රකාශයට පත් 1990 නොවැම්බර් 22; 1990 දෙසැම්බර් 8; (ඉංග්‍රීසියෙන්) සහ 1997 ඔක්තෝබර් 8 පිබිදෙව්! කලාපවල පාසැලෙන් පසු රැකියාවල තිබෙන වාසි අවාසි පෙන්වා දී තිබෙනවා.
[18වන පිටුවේ කොටුව]
ඔබට උපදවාගත හැකි රැකියා
• වීදුරු ජනෙල් සේදීම
• පුවත්පත් විකිණීම හෝ බෙදාහැරීම
• හිම ඉවත් කිරීම
• වත්තේ හෝ තණ පිට්ටනියේ වැඩ කිරීම
• ළදරුවන් බලාගැනීම
• සුරතල් සතුන්ට ආහාර දීම, ඇවිදින්න රැගෙන යෑම හෝ නෑවීම
• සපත්තු ඔපදැමීම
• ඇඳුම් සේදීම හෝ මැදීම
• බෝග වගා කිරීම සහ එය විකිණීම
• කුකුල්ලු ඇති කිරීම හෝ බිත්තර විකිණීම
• යතුරු ලේඛනය කිරීම හෝ පරිගණක ආශ්රිත පද සැකසීම
• පණිවුඩ ගෙනයෑම
• භාණ්ඩ බෙදාහැරීම
• සංගීතය හෝ වෙනත් විෂයක් ඉගැන්වීම
[21වන පිටුවේ පින්තූරය]
අධික වැඩ ඔබේ අධ්‍යාපන මට්ටම පහත වැටෙන්න සැලැස්විය හැකියි