විපත්තියක පැති දෙකක්
මෙක්සිකෝවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විවාහක යුවළක් වන ගෝඩෝෆ්රේඩෝ සහ ගිසෙලා මෙන්ම ඔවුන්ගේ කුඩා දරුවන් තාර තැවරූ ලෑලිවලින් තැනූ නිවසේ සිටින කොට, මෙක්සිකෝවේ ඕක්සාකා වෙරළ තීරයට පෝලින් සැඩ කුණාටුව පහර දුන්නා. ලෑලි එකින් එක ගැළවී ගියා. අන්තිමේදී, ඉතුරු වුණේ සැකිල්ලේ කොටසක් පමණයි; මේ පවුලට හව්හරණක් ඇත්තෙම නැතුව ගියා.
ගිසෙලා අට-මස්-හැවිරිදි දරුවාව වඩාගෙන සිටි අතර, අනික් දරුවන් තිදෙනා ඇයවත්, ගෝඩෝෆ්රේඩෝවත් අල්ලාගෙන සිටියා; පැය දෙකකට වඩා වැඩි කාලයක් ඔවුන් දැඩි සුළංවලට එරෙහිව පොරබැදුවා. ඇතැම් අවස්ථාවලදී, සැඩ කුණාටුවේ දැඩි වේගය නිසා ඔවුන් බිම වැටී, ඔවුන්ව එහාට මෙහාට පෙරළුණා. කොහොමනමුත්, අන්තිමේදී සියලුදෙනාම බේරුණා.
නිවස තුළට වතුර එනවා දුටු විට, ආකාපුල්කෝහි වෙසෙන නෙලී නම් එක් යෙහෝවාගේ සාක්ෂිකාරියක් ඇගේ පවුලේ අයව අවදි කළා. වතුර මට්ටම පුදුම විදිහට ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, සැඩ පහරට නෙලීව ගහගෙන යන්න ගිය නමුත් ඇගේ දියණිය ඇයව ඉන් ඉවතට ඇදලා ගත්තා. ඔවුන් ජනෙල් ගරාදිය අල්ලාගෙන ඔවුන්ගේ බෙලි දක්වා වතුර නැඟ එද්දී අසරණව බලා සිටියා. එවිට ඔවුන්ට මිනිසෙක් කතා කරනවා ඇහුණා. ඒ ඔවුන්ගේ අසල්වැසියෙක්; ඔහු ඔවුන්ට එළියට එන්න උපකාර කර ඔවුන්ව ඔහුගේ නිවසට කැටුව ගියා. මෝටර් රථයක ගැටී මොහොතකට කලින් ඔවුන් සිටි නිවස සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වී යනවා ඔවුන් බලා සිටියේ තැතිගෙනයි.
වර්ෂ 1997 ඔක්තෝබර් 8වන බදාදා දවල් වරුවේදී, පැයකට කිලෝමීටර් 200කට වඩා වේගයෙන් හැමූ සුළං සහිත පෝලින් සැඩ කුණාටුව ඕක්සාකා ජනපදයේ වෙරළබඩ තීරයට දරුණු ලෙස පහර දුන්නා. ඉන්පසු, ඔක්තෝබර් 9වන බ්‍රහස්පතින්දා උදෑසන මුල් පැය කීපයේදී සැඩ කුණාටුවෙන් ග්වෙරෙරෝ ජනපදය, විශේෂයෙන්ම ආකාපුල්කෝ නගරය මුළුමනින්ම විනාශ වී ගියා; මීටර් 10ක උසට තදින් රැල්ල ගැසූ අතර ඇති වූ ජලගැල්මට ගෙවල්, මෝටර් රථ, සත්වයන් හා මනුෂ්‍යයන් ගහගෙන ගියා. කුණාටුව පහ වූ පසු, පාරවල් තිබුණු තැන්වල මීටර් 10කට වඩා ගැඹුරු අගල් සෑදී තිබුණා. ද නියූස් නම් පුවත්පතට අනුව, මෙක්සිකෝවේ රතු කුරුස හමුදාව ජනපද දෙකෙහිම අඩුම තරමින් මරණ 400ක්වත් සිදු වී ඇති බවටත්, 20,000 සිට 25,000දෙනෙකුට නිවාස අහිමි වූ බවටත් තක්සේරු කළා. ඒත්, මේ විපත්තිය මධ්‍යයේත් ක්‍රිස්තියානි ප්‍රේමය පිළිබඳ හද දනවන නිරූපණයන් දක්නට ලැබුණා.
යෙහෝවාගේ ජනයා ක්‍රියාත්මක වෙයි
පෝලින් සැඩ කුණාටුව පිළිබඳ පුවත පැතිර ගිය විගස, උපකාර කිරීමට තමන්ට කළ හැක්කේ කුමක්ද කියා අසමින් රට පුරා සිටි අයගෙන් මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට දුරඇමතුම් ගලා එන්න පටන්ගත්තා. විදේශ ආධාර දීමටත් ඉදිරිපත් වුණා. විගස සහනාධාර සේවා කමිටුවක් පිහිටෙවූ අතර, ආහාර, ඇඳුම් පැළඳුම් හා වෙනත් ද්‍රව්‍ය ටොන් ගණන් බෙදාහරිනු ලැබුවා.
එමෙන්ම, ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල දී ගෙන, කැඩී බිඳී ගිය හෝ සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය නිවාස 360ක් හා රාජ්‍ය ශාලා කීපයක් අලුත්වැඩියා කිරීමට ඉක්මන් පියවර ගත්තා. සහනාධාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමෙන්, කොටස්වලට වෙන් කිරීමෙන්, ඇහිරීමෙන්, ප්රවාහණය කිරීමෙන් හා බෙදාහරිමින් හෝ කැඩුම් බිඳුම් අලුත්වැඩියා කරමින් ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් දහස් ගණනක් කාර්යබහුලව සිටියා.
සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකලාපයෙන් ඇතැම් කඩ සාප්පු හිමියන්ගේ සිත් කොයිතරම් ඇදීගියාද කියනවා නම්, ඔවුන් කාරුණිකව ආහාර, ගොඩනැඟිලි අමුද්‍රව්‍ය හා වෙනත් දේවල් පරිත්‍යාග කළා. වෙනත් අය ඔවුන්ට අඩු මිලට බඩු දුන්නා. තමන්ට දැක්වූ ප්‍රේමය නිසා මෙන්ම විශේෂයෙන්ම දීමනා සමඟ ලැබූ දිරිගන්වන ලිපි කියවන්න ලැබීමෙන්, අනතුරට ගොදුරු වූ සාක්ෂිකරුවන්ගේ හදවත් ගැඹුරින් පෙලඹී ගියා.
අභාග්‍යයකට, 18-හැවිරිදි සාක්ෂිකරුවෙක් වන හෝසේ ෆෞස්ටිනෝ මෙන්ම සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරමින් සිටි තුන්දෙනෙක් සැඩ කුණාටුවෙන් මියගියා. ඔවුන්ගේ නෑදෑයන්, විශේෂයෙන්ම හෝසේගේ දෙමාපියන්, තමන් වෙනුවෙන් කළ යාච්ඤාත්, සභාව මගින් ඔවුන්ට දුන් දිරිගැන්වීමත් අගය කළා.
ඒකාන්ත ප්‍රතිඵල සමහරක්
පෝලින් සැඩ කුණාටුවෙන් පසුව සාක්ෂිකරුවන්ගේ නොඇදහිලිකාර නෑදෑයන් ඇතුළු බොහෝදෙනෙක් බයිබල් පාඩමක් ඉල්ලා සිටියා; එමෙන්ම අසල්වාසීන් හුඟදෙනෙක් සාක්ෂිකරුවන්ගේ බලාපොරොත්තුව පිළිබඳ පණිවිඩයට සවන් දෙන්න වැඩි කැමැත්තක් දැක්වුවා. එමෙන්ම, සාක්ෂිකරුවන් සහනාධාර ආහාර පොදුවේ බෙදා දීමෙහිත් හවුල් වුණා. එක අවස්ථාවකදී, ඔහුගේ සමාගම මගින් පරිත්‍යාග කළ ආහාර බෙදා දීමට ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව තෝරගෙන තිබෙන්නේ ඇයි කියා එක් මිනිසෙකුගෙන් සාක්ෂිකරුවෙක් විමසූ විට, එම මිනිසා මෙසේ පිළිතුරු දුන්නා: “ඕගොල්ලෝ සංවිධානාත්මක වගේම අවංක අය බව මම දන්න නිසයි. ඒ විතරක් නෙවෙයි, ඔබේ බලප්‍රදේශයේ ඉන්න ජනයාව ඔබ දන්න නිසා මේ ආධාර වැඩියෙන්ම අවශ්‍ය කාටද කියලා ඔයගොල්ලෝ ඇත්තෙන්ම දන්නවා.”
අන්තිමය ළඟා වෙද්දී හා ලොව පුරා වැඩි වැඩියෙන් විපත්ති සිදු වෙද්දී, කටුක අද්දැකීම් අභියස පවා බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවෙනවා දැකීම සැමවිටම දිරිගන්වන්නක්.
[26වන පිටුවේ පින්තූරය]
යළි ගොඩනැඟීමේදී බාලයන් උපකාර කරයි
[27වන පිටුවේ පින්තූරය]
පෝලින් සැඩ කුණාටුවෙන් පසු සාක්ෂිකරුවන් ඕක්සාකාවල නව රාජ්‍ය ශාලාවක් ඉදි කරමින්