මෙක්සිකෝවේ ආපදා මධ්‍යයෙහි ක්‍රිස්තියානි ප්‍රේමය
මෙක්සිකෝ නගරයේ පුවත්පතක මෙසේ වාර්තා විය: “පසුගිය දින 20 ඇතුළත, සොබාදහමේ අද්භූත සිද්ධීන්—එනම් චණ්ඩමාරුත සහ භූමිකම්පාවක්—මෙක්සිකානු මුහුදුබඩ ප්‍රදේශවලට පහර දී ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මරණ මෙන්ම විනාශ වීම් සිදු වී ඇත.”—එල් ෆීනාන්සියරෝ 1995 ඔක්තෝබර් 17.
ඔක්තෝබර් මාසයේ මුල්භාගයේදී, කාම්පේචේ, කීන්ටාන රෝ සහ ටබැස්කෝ නමැති මෙක්සිකානු ජනපද, ඕපල් සැඩ කුණාටුව මගින් දරුණු විනාශයකට ලක් විය. දෙසියදෙනෙක් පමණ මියගියහ, 150කටත් අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ, 5,00,000දෙනෙකුට පාඩු සිදු වූ අතර, ගෙවල් දහස් ගණනක් කැඩී බිඳී නැතහොත් සම්පූර්ණයෙන්ම විනාශ විය.
සිදු වූ හානිය පිළිබඳව මෙක්සිකෝවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට සැලවූ කෙණෙහිම, බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිටි සාක්ෂිකරුවන්ගේ තත්වය සොයා බැලීමට කෙනෙකු යවනු ලැබීය. ඔවුන්ගෙන් 2,500කට පමණ තම නිවෙස්වලින් පිටවීමට සිදු වූ බව දැනගන්ට ලැබිණ. මොවුහු සෙසු සාක්ෂිකරුවන්ගේ නිවෙස්වලට කාරුණිකව පිළිගනු ලැබූහ.
සහනාධාර මධ්‍යස්ථාන සංවිධාන කරන ලදි. අවශ්‍යතාවක් තිබූ අයට ආහාර, ඇඳුම් සහ මුදල් සපයන ලදි. ජලගැල්මේ ජලය හිඳී ගියාට පසුව, සාක්ෂිකරුවෝ තමන්ගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ නිවෙස් යළි ගොඩනැඟීමට පටන්ගත්හ.
ඔක්තෝබර් 9වනදා, රික්ටර් පරිමාණ ඒකකයේ 7.6ක් තරම් ප්‍රබල භූමිකම්පාවක් කලීමා සහ හලිස්කෝ නමැති මෙක්සිකානු ජනපද විනාශ කළේය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලා අටකට දරුණු හානි සිදු විය. ඔවුන්ගේ නිවෙස්වලින් දොළහක් කඩා වැටුණු අතර, 65ක් පමණ හානියට ලක් විය. නැවතත් සහනාධාර කමිටුවක් සංවිධානය කරනු ලැබූ අතර, උපකාර සපයන ලදි.
අනතුරුව, ඔක්තෝබර් 20වනදා, චියාපස් ජනපදය දෙදරවූ තවත් භූමිකම්පාවක් පහර දුන්නේය. තවත් සාක්ෂිකරුවන් 88දෙනෙකුගේ නිවෙස් විනාශ වූ අතර, නිවෙස් 38කට දරුණු අලාභ හානි සිදු විය. රාජ්‍ය ශාලා දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, තවත් හතරකට සෑහෙන දුරට හානි සිදු කළේය. ඒ අවස්ථාවේදීම වාගේ, වෙරකෲස් ජනපදය හරහා ජලගැලීම් සහිතව හමා ගිය රොක්සෑන් සැඩ කුණාටුව නිසා සාක්ෂිකරුවන් 80දෙනෙකුගේ පමණ නිවෙස්වලට හානි සිදු විය. ගෙවල් හතරක් සම්පූර්ණයෙන්ම විනාශ විය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් පිහිටුවනු ලැබූ සහනාධාර අරමුදලක් නිසා, මීට ගොදුරුවූවන්ගේද අවශ්‍යතා ඉක්මනින්ම සපුරාලීමට හැකි විය.
සාක්ෂිකරුවන්ගෙන් ඇතමෙකු තැලීම් හා අස්ථි බිඳීම් නිසා පීඩා වින්ද නමුත්, මෙම ස්වාභාවික විපත්තිවලදී කිසිවෙකු මියගියේ නැත. සියල්ලම ගත් කල, අවශ්‍යතාවක් තිබූ අයට, ආහාර ටොන් 24ක් හා ඇඳුම් ටොන් 4ක් පමණ යවනු ලැබීය. මෙය නිරීක්ෂණය කළ බොහෝදෙනෙක් සහනාධාර වැඩ පිළිවෙළ අගය කළහ. කලීමාහි කාන්තාවක් මෙසේ පැවසුවාය: “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඉතාමත් එක්සත් සෙනඟක් කියා මම අසා තිබුණා විතරයි, නමුත් දැන් මට මගේම ඇස්වලින් ඒක දැකගන්න පුළුවන්.”
සාක්ෂිකරුවන් හා ඔවුන්ගේ සහනාධාර කටයුතු පිළිබඳව ජනයා විටින් විට මෙසේ අදහස් ප්‍රකාශ කළහ: “මොවුන් නම් ඇත්තටම සහෝදරයන්.” “ඔවුන්ගේ කණ්ඩායම වඩාත් හොඳින් සංවිධානය වූ එකක්.” ඇතමෙකු මෙසේ පවසනවාද අසන්ට ලැබිණ: “උපකාර සැපයීමට පැමිණි සහනාධාර කණ්ඩායම් සියල්ලක්ම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වගේ වැඩ කළා නම්, මුළු නගරයම මේ වෙද්දී පිරිසිදුව තියේවි.”
දැන් සාක්ෂිකරුවන් 4,40,000කට අධික සංඛ්‍යාවක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සුභ පුවත් තම සෙසු මෙක්සිකානුවන් සමඟ බෙදාගනිමින් සිටිති. මෑතකදී සිදු වූ මෙම ස්වාභාවික විපත්තියේදී, ඔවුන් එකිනෙකාට දැක්වූ ප්‍රේමය ප්‍රබල සාක්ෂියක් දුන්නේය.—යොහන් 13:34, 35.