අසල්වැසියන්ට ඇති ප්‍රේමයට සිදු වී ඇත්තේ කුමක්ද?
හව්හරණක් නැතුව සිටින මිලියන ගණනක්, අසරණව, භයින් සහ කාලකණ්ණිකමින් පෙළෙනවා. “මම කෑම ගන්නේ තනියම, ඇවිදින්නෙත් තනියම, නිදාගන්නෙත් තනියම. ඒ විතරක් නෙවෙයි, මම තනියම මටම කතා කරගන්නවා” කියා එක් තැනැත්තියක් වේදනාවෙන් ප්‍රකාශ කළා. අවශ්‍යතාව ඇති එවැනි අයට උපකාර කරන්න කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ සුළු පිරිසක් පමණයි.
විශ්‍රාමික ව්‍යාපාරික ස්ත්‍රියක් මෙසේ නිරීක්ෂණය කළා: ‘මගේ තට්ටුවේම ඉන්න වැන්දඹුවක් එක් හැන්දෑවක මගේ දොරට තට්ටු කරලා ඇයට තනිකමක් දැනෙනවා කියලා කිව්වා. මම කාරුණිකව නමුත් කෙළින්ම ඇයට කිව්වා මට වැඩ බහුලයි කියලා. මට කරදරයක් කළා නම් සමාවෙන්න කියා ඇය යන්න ගියා.’
එම ස්ත්‍රිය තවදුරටත් මෙසේ කිව්වා: ‘ඒ වගේ කරදරයක වැටුණේ නැතුව බේරිච්ච එක ගැන මට මං ගැනම සෑහෙන ආඩම්බරයක් දැනුණා. ඊළඟ දවසේ සවස මගේ මිතුරියක් දුර ඇමතුමක් දීලා මගෙන් ඇහැව්වා, කලින් දවසේ රාත්‍රියේ මං පදිංචි ගොඩනැඟිල්ලේම සිටි සියදිවි නසාගත් ස්ත්රියව අඳුරනවාද කියලා. ඒ කවුද කියා ඔබ දැනටමත් හිතුවේ නැත්නම් ඒ තමයි මගේ දොරට තට්ටු කළ ස්ත්‍රිය.’ ඉන් පසුව එම ව්‍යාපාරික ස්ත්‍රිය කියා සිටියේ, තමන් “අමාරු පාඩමක් ඉගෙනගත්” බවයි.
ප්‍රේමය නොලබන බිළිඳුන් මියයන බව ප්‍රකට කරුණක්. ප්‍රේමය නොලැබුණොත් වැඩිහිටියනුත් මිය යා හැකියි. පහළොස් වියැති පියකරු ගැහැනු ළමයෙක් මෙසේ ලියා තබා දිවි නසාගත්තා: “ප්‍රේමය කියන්නේ තවදුරටත් තනිව ඉන්නවා කියන එක නෙවෙයි.”
වර්තමාන ඛේදවාචකයක්
වාර්ගික වෛරය ගැන අදහස් දක්වමින් නියූස්වීක් සඟරාව අවුරුදු කිහිපයකට කලින් මෙසේ වාර්තා කළා: “අවුරුද්දේ කියමන පෙනෙන විදිහට, අසල්වැසියාට වෛර කරන්න යන්නයි.” කලින් යුගෝස්ලාවියාවේ කොටසක් වූ බොස්නියාවේ සහ හට්සගොවිනාහි පැවති වාර්ගික ගැටුම්වලදී, මිලියනයකට වැඩි සංඛ්‍යාවකට උන්හිටි තැන්වලින් පලායෑමට සිදු වුණ අතර, දසදහස් ගණනක්ව ඝාතනය කරනු ලැබුවා. කවුරු විසින්ද? “ඒගොල්ලො අපේ අසල්වැසියෝ. අපි ඒගොල්ලන්ව දන්නවා” කියා ගමෙන් පලායෑමට සිදු වූ ගැහැනු ළමයෙක් ශෝකයෙන් කියා සිටියා.
“අපි සාමයෙන් එකට ජීවත් වුණා” කියා හුටු සහ ටුට්සි ගෝත්‍රිකයන් 3,000ක් පමණ විසූ රූගාන්ඩා නම් ගමේ සිටි එක් ස්ත්‍රියක් කියා සිටියා. ද නියූ යෝක් ටයිම්ස් මෙසේ කිව්වා: “මෙම ගමේ කතාවත් රුවන්ඩාවේ එක වගෙයි: හුටු සහ ටුට්සීන් එකට ජීවත් වෙනවා, එකට විවාහ වෙනවා, කවුද හුටු කවුද ටුට්සි කියා ඔවුන් දැනගෙන හිටියේවත්, ගණනකට ගත්තේවත් නැහැ. එහෙත්, හදිසියේම කුමක් හෝ වෙනසක් සිදු වුණා.” එවිටයි, “ඝාතන ආරම්භ වුණේ.”
ඒ හා සමානව, ඊශ්‍රායෙල්හි යුදෙව්වන් සහ අරාබි ජාතිකයන් එකට ජීවත් වූවත්, බොහෝදෙනෙක් එකිනෙකාට වෛර කරනවා. මෙම 20වන සියවස පුරාම, උතුරු අයර්ලන්තයේ, ඉන්දියාව සහ පකිස්තානයේ, මැලේසියාව සහ ඉන්දුනීසියාවේ සහ එක්සත් ජනපදයේ වෙසෙන විවිධ ජාතීන් අතරේ, ඔව් අප ජීවත්ව සිටින ලොව පුරාම ඒ හා සමාන තත්වයන් පැන නැඟී තිබෙනවා.
වාර්ගික සහ ආගමික වෛරය ගැන ඕනෑ තරම් උදාහරණ දෙන්න කෙනෙකුට හැකියි. ඉතිහාසයේ පෙර කිසිදාකට වඩා ලොව තුළ ප්‍රේමය හීන වෙමින් තිබෙනවා.
වගකීම දරන්නේ කවුද?
වෛරය, ප්‍රේමය මෙන් උගත යුතුයි. ප්‍රසිද්ධ ඉංග්‍රීසි සිංදුවක මෙසේ කියවෙනවා: “ඉගෙනගන්න ප්‍රමාද වෙන්න කලින්/ හත අට වෙන්න කලින්/ ඔබ නෑයන් වෛර කරන අයට වෛර කරන්න—ඉගෙනගන්න.” විශේෂයෙන්ම අදදින වෛරය උගන්වනවා. තම සාමාජිකයන්ට ප්‍රේම කරන්න උගන්වන්න විශේෂයෙන්ම පල්ලි සමත් වී නැහැ.
ප්‍රංශ පුවත්පතක් වන ල මොන්ඩ් මෙසේ ඇසුවා: “රුවන්ඩාවේ සහ බුරුන්ඩිහි යුද්ධ කරන ටුට්සි සහ හුටුවරුන්ව පුහුණු කළේ එකම මිෂනාරිවරුන් විසින් බවත්, ගියේ එකම පල්ලිවලට බවත් කෙනෙක් සිතීමෙන් වළකින්නේ කොහොමද?” ඇත්තවශයෙන්ම, නැෂනල් කැතලික් රිපෝට’ කියන විදිහට, රුවන්ඩාව කියන්නේ, “70%ක කතෝලික රටක්.”
මෙම සියවසට කලින්, නැඟෙනහිර යුරෝපයේ රටවල් දෙවි නොඅදහන කොමියුනිස්ට්වාදයට හැරුණා. ඒ මන්ද? වර්ෂ 1960දී, චෙකෝස්ලොවැකියාවේ, ප්‍රාග්හි ආගමික පීඨයක, පීඨාධිපතිවරයෙක් මෙසේ නිරීක්ෂණය කළා: “කොමියුනිස්ට්වාදය ගැන වගකිව යුත්තේ, ක්‍රිස්තියානීන් වන අපිමයි. . . . දැන් කොමියුනිස්ට්වාදියෝ කලින් ක්‍රිස්තියානීන් බව අමතක කරන්න එපා. යුක්තියේ දෙවි කෙනෙක් ගැන ඒ අය විශ්වාස කරන්නේ නැත්නම්, ඒක කාගේ වරදද?”
පළමුවන ලෝක මහ සංග්‍රාමයේදී, පල්ලිය කළේ කුමක්ද කියා සලකා බලන්න. බ්‍රිතාන්‍ය බ්‍රිගේඩියර් ජනරාල් ෆ්රෑන්ක් ක්රෝෂ එම යුද්ධය දුටුවේ මෙලෙසයි: “ලේ වැගිරීමේ ආශාව මවන අතිදක්ෂයන් තමයි, ක්‍රිස්තියානි පල්ලි. අපි ඔවුන්ගෙන් හොඳ හැටි ප්‍රයෝජන අරගෙන තියෙනවා.” පසුව, IIවන ලෝක මහ සංග්රාමයෙන් පසුව, ද නියූ යෝක් ටයිම්ස් මෙසේ කිව්වා: “අතීතයේදී, ප්‍රාදේශීය කතෝලික පූජක පාලනයන්, තමන්ගේ ජාතිය සම්බන්ධ වී සිටි යුද්ධවලට සැමවිටම සහයෝගය දුන්නා; සේනාංකවලට ආශීර්වාද කළා; එමෙන්ම ජයග්‍රහණය සඳහා යාච්ඤා කළා. මේ අතර, අනිත් පැත්තේ සිටින තවත් බිෂොප්වරුන් කණ්ඩායමක් තමන්ගේ පැත්තේ ජයග්‍රහණය සඳහා ප්‍රසිද්ධියේ යාච්ඤා කළා.”
එසේ නමුත්, තමන්ගේ සියලුම කටයුතුවලදී, යේසුස් ක්‍රිස්තුස් ප්‍රේමය පෙන්වූවා. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම [දෙවිගෙන්] ඉගෙනගෙන සිටින්නහුය.” (1 තෙසලෝනික 4:9, ඇල අකුරු අපේය.) වැන්කුවර්හි සන් පුවත්පත් මණ්ඩල ලේඛකයෙක් මෙසේ නිරීක්ෂණය කළා: “සැබෑ ක්‍රිස්තියානීන් කියන්නේ යේසුස් ක්‍රිස්තුස් තුළ සහෝදර සහෝදරියන්. ඔවුන් කිසිදාක, හිතාමතා අන් අයව රිද්දන්නේ නැහැ.”
පැහැදිලිවම, අදදින ප්‍රේමයේ ඌනතාව සම්බන්ධයෙන් පල්ලිය විශාල වගකීමක් දරනවා. ඉන්ඩියා ටුඩේ සඟරාවේ පළ වූ ලිපියක් මෙසේ නිරීක්ෂණය කළා: “ඉතා පිළිකුල්සහගත අපරාධ සිදු කර තිබෙන්නේ ආගමේ නාමයෙන්ය.” කෙසේවෙතත්, අන් අය ගැන හිත් පිත් නැති එවැනි නොසැලකිල්ලකින් අපේ පරම්පරාව සලකුණු වුණේ ඇයි යන්නට, වඩා මූලික හේතුවක් තිබෙනවා.
ප්‍රේමය හීන වී යෑමට හේතුව
අපේ මැවුම්කරු පිළිතුර සපයනවා. ඔහුගේ වචනය වන බයිබලය, අප ජීවත් වන කාලය “අන්තිම දවස්” ලෙස හඳුන්වනවා. මෙය ‘ජන්ම ස්නේහය නැති’ ජනයා සිටින කාලයක් කියා බයිබල් අනාවැකි ප්‍රකාශ කරනවා. “දේවල පිළිවෙළේ නිමාව” ලෙස බයිබලය හඳුන්වන මෙම “කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්” තුළ, ‘බොහෝදෙනෙකුගේ ප්‍රේමය හීන වන’ බව යේසුස් ක්‍රිස්තුස් කිව්වා.—2 තිමෝති 3:1-5, NW; මතෙව් 24:3, NW, 12.
එම නිසා, අදදින පවතින ප්‍රේමයේ ඌනතාව, අප ජීවත් වන්නේ මේ ලෝකයේ අවසාන දවස්වල බවට සාක්ෂියේ කොටසක්. සතුටුදායක ලෙස, අභක්තික ජනයා සිටින මෙම ලෝකය වෙනුවට, ප්‍රේමයෙන් පාලනය වන ධර්මිෂ්ඨ නව ලොවක් ඇති වන බවත් මෙයින් අදහස් කරන්න යනවා.—මතෙව් 24:3-14; 2 පේතෘස් 3:7, 13.
එහෙත්, එකිනෙකාට ප්‍රේම කරන සහ සාමයෙන් එකට ජීවත් වන ජනයා වෙසෙන ලෝකයක ජීවත් වෙන්න අපට හැකි කරවන එවැනි වෙනසක් විය හැකියි කියා විශ්වාස කරන්න ඇත්තෙන්ම අපට හේතු තියෙනවාද?