යේසුට මොන වගේ පෙනුමක්ද තිබුණේ?
යේසුට මොන වගේ පෙනුමක්ද තිබුණේ යන්න පිළිබඳව ඇති ලෞකික ඉතිහාසයේ සාක්ෂිවලට සාධක කීපයක් ප්‍රබල ලෙස බලපා තිබෙනවා. ඔහුව චිත්‍රයට නැඟීමේදී විශාල වෙනස්කම් පැවතීමට මේවා හේතු වී තිබෙනවා.
ඉන් සාධක දෙකක් වන්නේ, රටේ සංස්කෘතිය හා එය චිත්‍රයට නැඟූ කාලපරිච්ඡේදයයි; ඊට අමතරව, චිත්‍ර ශිල්පීන්ගේ හා ඒවා චිත්‍රයට නැඟීමට භාර දුන් අයගේ ආගමික විශ්වාසයන්, යේසුව චිත්‍රයට නැඟූ ආකාරයට බලපෑවා.
සියවස් ගණනාවක් පුරා, මයිකල්ඇන්ජලෝ, රෙම්බ්‍රාන්ට් සහ රූබෙන්ස් වැනි ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් ක්‍රිස්තුස්ගේ ශාරීරික පෙනුමට නොසෑහෙන අවධානයක් දුන්නා. බොහෝවිට සංකේත භාවිතයෙන් හා ගූඪ වාදය මගින් පණ පොවා තිබෙන ඔවුන්ගේ කෘති, යේසුගේ පෙනුම හා සම්බන්ධ සාමාන්‍ය වැටහීමට මහත් සේ බලපෑමක් කර තිබෙනවා. නමුත් ඔවුන්ගේ අර්ථ දැක්වීම් පදනම්ව තිබුණේ කුමක් මතද?
ලෞකික ඉතිහාසය පවසන්නේ කුමක්ද?
පොදු යුගයේ 280 සිට 337 පමණ වන තෙක් විසූ, රෝමානු අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින්ට පෙර කලා කෘති බොහෝවිට යේසුව දැක්වුවේ, එක්කෝ කොට එහෙමත් නැත්නම් කැරලිගැසුණු දිගු හිසකේ ඇති තරුණ “යහපත් එඬේරෙක්” හැටියටයි. නමුත් යුගයෙන් යුගයට කලා ශිල්පය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මේ ගැන මෙසේ පවසනවා: “තේමාවක් හැටියට යහපත් එඬේරාව යොදාගැනීම [මිථ්‍යා] ග්‍රීක් පුරාණයේ සිට මිසර කලාව දක්වා ආපසු දිවයන බව පෙනේ. නමුත් මෙහිදී එය ක්‍රිස්තියානි රැළේ පක්ෂපාත ආරක්ෂකයා සඳහා සංකේතය බවට පත් වී තිබෙනවා.”
කාලයාගේ ඇවෑමෙන්, මේ මිථ්‍යා බලපෑම තවත් ප්‍රකට වුණා. එම පොත තවදුරටත් මෙසේ පවසයි: “යේසුව මධ්‍යධරණි ලෝකයේ සුපුරුදු දේවතාවන්ට පහසුවෙන්ම සමාන කරන්න පුළුවන්. විශේෂයෙන්ම එම ගණයෙහිලා සැලකුවේ හිලියොස්වයි (ඇපොලෝ); [ඔහුගේ රැස් වළල්ල තමයි පසුව යේසුටත් ඉන්පසු “සාන්තුවරයන්ටත්” දුන්නේ]. එවගේම ඔහුගේ පෙරදිග රෝම ප්‍රතිමූර්තිය වූ සෝල් ඉන්වික්ටුස්ද (අපරාජිත හිරු) මෙම ගණයට වැටේ.” රෝමයේ සා. පේදුරු මහා දෙව් මැදුර යට තිබී සොයාගත් සොහොන්ගෙයක, යේසුව ඇත්තෙන්ම දක්වා තිබෙන්නේ, “ගුවන සිසාරා හිරු-රථයේ අශ්වයන් දක්කන” ඇපොලෝ හැටියටයි.
කෙසේවුවත්, ආරූඪ කළාවූ මෙම වඩාත් තාරුණ්‍ය පෙනුම වැඩි කල් පැවතුණේ නැහැ. සිදු වුණේ කුමක්ද කියා අදොල්ෆ් ඩිද්රොන්, ක්‍රිස්තියානි මූර්ති ශිල්පය (ඉංග්‍රීසියෙන්) පොතෙහි මෙසේ පවසනවා: “මුලින් තාරුණ්‍ය පෙනුමෙන් යුත් ක්රිස්තුගේ රූපය . . . ක්රිස්තුධර්මයේ ඉදිරි ගමනත් සමඟම සියවසෙන් සියවසට වයසින් මුහුකුරා යන්න පටන්ගන්නවා.”
පූබ්ලියුස් ලෙන්ටුලුස් නමැත්තෙක් විසින් 13වන සියවසේදී රෝමානු සෙනට් සභාවට යැවූ බවට දැක්වෙන ලිපියක යේසුගේ ශාරීරික පෙනුම ගැන විස්තරයක් දෙමින්, ඔහුට “අමු හේසල්-නට් ඇටවල වර්ණයේ [ලා දුඹුරු] කෙස් තිබුණු බවත්, ඔහුගේ හිසකේ කන් දක්වා සිනිඳුව තිබුණත්, කන්වලින් පහළට වැටී ඇති කොටස වඩාත් තද වර්ණයකින් හා වඩාත් දීප්තිමත්ව කැරලිගැසී, උරහිසෙන් පහතට (ඒ දක්වා) වැටී තිබෙන බවත්” පවසනවා. “ඒ වගේම හිසකේ බෙදා තිබෙන්නේ මැද්දෙන්, . . . , හිසකේවල වර්ණයෙන්ම කම්මුල් පුරා වැඩී ඇති, එතරම් දික් නොවූ රැවුල නිකටෙන් මදක් දෙපැත්තට බෙදී ගොස් තිබෙනවා; . . . ඇස් අළු පාටයි . . . ඒ වගේම පැහැදිලියි.” මෙසේ වැරදි ආකාරයෙන් චිත්‍රයට නැඟීම අවසානයේදී බොහෝ චිත්‍ර ශිල්පීන්ට බලපෑමක් වුණා. “සෑම කාලපරිච්ඡේදයක්ම ඊට ආවේණික ක්‍රිස්තුස් කෙනෙක්ව බිහි කළා” යයි නව කතෝලික විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසනවා.
සෑම කාලපරිච්ඡේදයක් සම්බන්ධයෙන්ම සැබෑ වූ දෙය, ජාතීන් හා ආගම සම්බන්ධයෙන්ද සැබෑ වුණා. අප්‍රිකාවේ, අමෙරිකාවේ හා ආසියාවේ මිෂනාරි ක්ෂේත්රයෙන් පැමිණි ආගමික කලා කෘති බටහිරෙහි දිග හිසකේ ඇති ක්‍රිස්තුස්ව දක්වනවා; නමුත් ඇතැම් අවස්ථාවලදී ඔහුගේ පෙනුමට “ස්වදේශීය අංග ලක්ෂණත්” එකතු කර තිබෙන බවට විශ්වකෝෂය සඳහන් කරනවා.
රෙපරමාදු භක්තිකයන්ට පවා ඔවුන්ගේ චිත්‍ර ශිල්පීන් සිටි අතර, මොවුන් තමන්ගේම ආකාරයකට ක්‍රිස්තුස්ගේ පෙනුම අර්ථ දැක්වුවා. ක්‍රිස්තුස් හා ප්‍රේරිතයන්—ආගමික රූපවල ස්වරූප වෙනස් වීම (ඉංග්‍රීසියෙන්) යන තම පොතෙහි එෆ්. එම්. ගොඩ්ෆ්‍රි මෙසේ ප්‍රකාශ කරනවා: “රෙම්බ්‍රාන්ට්ගේ ශෝකජනක ක්‍රිස්තු නික්මෙන්නේ රෙපරමාදු දෘෂ්ටියකින්; එහි දුක්මුසු, සුදුමැළි, මලානික, . . . තමා තුළම සිර වී සිටින, ආත්ම පරිත්‍යාගශීලී රෙපරමාදු චරිතයක් දැක්වෙනවා.” “ක්රිස්තුට කෘශ ශරීරයක් හා මාංසයේ ආශාවන් අත් හළ ස්වරූපයක් දීමෙන්” මෙය පිළිබිඹු වෙනවා කියා ඔහු පවසයි. “[රෙම්බ්‍රාන්ට්] ක්‍රිස්තු චරිතය මවා පාද්දී, ඔහු දුටු ‘යටහත් පහත්, අනුකම්පාවෙන් පිරි, ශාන්තදාන්ත’ ස්වරූපය මෙයයි.”
කෙසේනමුත්, අප දැන් දකින්න යන්නේ, ක්‍රිස්තියානි ලෝකයේ චිත්රවල බොහෝවිට දැක්වෙන දුර්වල, රැස්වළල්ලක් වටේට ඇති, ගැහැනු පෙනුමකින් යුත්, දොම්නස් සහිත, දිග හිසකේ ඇති ක්‍රිස්තු රූපය වැරදි එකක් බවයි. යථාර්ථය නම්, එය බයිබලයේ සඳහන් යේසුගෙන් සෑහෙන වෙනස් එකක් යන්නයි.
බයිබලය හා යේසුගේ පෙනුම
‘දෙවිගේ බැටළු පැටවා’ හැටියට, යේසුට කැළලක් හෝ පලුද්දක් නොතිබූ නිසා ඔහු කදිම පෙනුමක් ඇති පුරුෂයෙක් වූ බවට සැකයක් නැහැ. (යොහන් 1:29; හෙබ්‍රෙව් 7:26) ඒ වගේම, ප්‍රසිද්ධ චිත්රවල ඔහුට දී ඇති දොම්නස් පෙනුම ඔහුට ස්ථිරයෙන්ම පිහිටා තිබුණේ නැහැ. ඔහුගේ ජීවිතයේදී ඔහු බොහෝ වේදනාකාරි සිද්ධීන් අද්දුටු බව ඇත්තයි; නමුත් ඔහුගේ සාමාන්‍ය චිත්ත ස්වභාවයේදී ඔහු “සන්තෝෂවත් දෙවි” වන තම පියාව පරිපූර්ණ ලෙස පිළිබිඹු කළා.—1 තිමෝති 1:11, NW; ලූක් 10:21; හෙබ්‍රෙව් 1:3.
යේසුගේ හිසකේ දිගද? හිසකේ කැපීම හෝ වයින් පානය කිරීම තහනම්ව තිබුණේ නසරියයන්ට පමණයි. යේසු නසරියයෙක් නොවෙයි. එබැවින් ඔහු වෙනත් ඕනෑම යුදෙව් පුරුෂයෙක් හා සමානව පිළිවෙළකට හිසකේ කපා සිටි බවට සැකයක් නැහැ. (ගණන් කථාව 6:2-7) අන්‍යයන්ව ඇසුරු කරද්දී ඔහු ප්‍රමාණය නොඉක්මවා වයින් පානය කළ අතර, ඔහු සතුටක් නැති කෙනෙක් නොවෙයි යන කාරණය මෙයිනුත් තහවුරු වෙනවා. (ලූක් 7:34) ඇත්තෙන්ම, ගලීලයේ කානාහි සරණ මංගල්‍යයකදී ප්රාතිහාර්යයක් සිදු කරමින් ඔහු වයින් සෑදුවා. (යොහන් 2:1-11) තවද පැහැදිලිවම ඔහුට රැවුලක් තිබුණ බවට ඔහුගේ දුක් විඳීම සම්බන්ධ අනාවැකියකින් තහවුරු වෙනවා.—යෙසායා 50:6.
යේසුගේ හමේ පාට හා මුහුණුවර ගැන කුමක් කිව හැකිද? ඒවා සෙමිටික් ජාතිකයෙකුගේ මෙන් වන්න ඇති. ඔහුගේ යුදෙව් ජාතික මව වූ මරියාගෙන් ඔහුට මේ අංග ලක්ෂණ උරුම වෙන්න ඇති. ඇගේ මුතුන්මිත්තන් හෙබ්‍රෙව් පෙළපතෙන් පැමිණෙන යුදෙව්වන් වුණා. එමනිසා යේසුට යුදෙව්වන්ට පොදු හමේ පාටක් හා මුහුණුවරක් තිබෙන්න ඇති.
යේසුව පාවා දෙද්දී, සතුරන්ට හඳුන්වා දෙන්න යූදස්ට ඔහුව සිපගන්න සිදු වුණ නිසා, ප්‍රේරිතයන් අතර පවා ඔහු ශාරීරික වශයෙන් විශේෂයෙන් කැපීපෙනුණේ නැති බව කිව හැකියි. මෙලෙස, යේසුට විශේෂ කැපීපෙනීමකින් තොරව සෙනඟ අතරේ ගැවසෙන්න පුළුවන් වුණා. එමෙන්ම, ඔහු ගලීලයේ සිට යෙරුසලමට යද්දී, අඩුම තරමින් එක වතාවක්වත් මිනිසුන් ඔහුව හඳුනාගත්තේ නැහැ.—මාර්ක් 14:44; යොහන් 7:10, 11.
එහෙත්, යේසු දුර්වලව සිටින්න ඇතැයි සමහරු නිගමනය කරනවා. ඇයි ඔවුන් මෙසේ කියන්නේ? එක් දෙයක් නම්, ඔහුගේ වධ කණුව රැගෙන යෑමට ඔහුට උපකාර අවශ්‍ය වුණ නිසයි. ඒ වගේම, ඇණ ගසා සිටි තුන්දෙනා අතුරින් මුලින්ම මියගියේ ඔහුයි.—ලූක් 23:26; යොහන් 19:17, 32, 33.
යේසු දුර්වල කෙනෙක් නොවෙයි
සම්ප්‍රදායට වෙනස්ව, යේසු දුර්වල හෝ ගැහැනු පෙනුමක් තිබූ කෙනෙකු බව බයිබලයේ විස්තර කරන්නේ නැහැ. ඒ වෙනුවට, යෞවනයෙකු වශයෙන් පවා, ඔහු ‘ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවිගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණේය.’ (ලූක් 2:52, ඇල අකුරු අපේ.) අවුරුදු 30න් වැඩි කොටසක් ඔහු වඩුවෙකුව සිටියා. විශේෂයෙන්ම එම යුගයේදී, එනම් නවීන, ශ්‍රමය ඉතිරි කරන යන්ත්‍ර නොතිබුණු කාලයකදී, කුඩා හෝ දුර්වල දේහයකින් හෙබි තැනැත්තෙකුට එවැනි වෘත්තියක් සුදුසු බව කිව නොහැකියි. (මාර්ක් 6:3) එමෙන්ම, යේසු ගවයන්ද, බැටළුවන්ද, මිල මාරුකරන්නන්ද දේවමාළිගාවෙන් පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මේස පෙරළා දැමුවා. (යොහන් 2:14, 15) මෙයත් පුරුෂාකාර, ශක්තිසම්පන්න ශරීරයක් ඇති පුද්ගලයෙක් බව දක්වනවා.
මිහිපිට ගත කළ අවසන් අවුරුදු තුනහමාර තුළදී, දේශනා සංචාරයන් සඳහා යේසු සැතපුම් සියගණන් ඇවිද්දා. එහෙත්, ගෝලයන් කවදාවත් ඔහුට “ටිකක් පහසු ගන්න” කියා කිව්වේ නැහැ. ඒ වෙනුවට, යේසු ඔවුන්ට පැවසුවේ, “නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්න” කියායි; ඔවුන්ගෙන් සමහරු ශක්තිමත් ධීවරයන්ව සිටියා.—මාර්ක් 6:31.
සැබවින්ම, “මුළු සුවිශේෂ වාර්තාවම, [යේසුට] හොඳ, ශක්තිමත් ශාරීරික සෞඛ්‍යයක් [තිබුණු] බවට අඟවන්නේය” කියා ම’ක්ලින්ටොක් හා ස්ට්රෝන්ගේ විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසනවා. එසේනම් ඔහුගේ වධ කණුව රැගෙන යන්න ඔහුට උපකාරය අවශ්‍ය වුණෙත්, ඔහු සමඟ ඇණගසා සිටි අනික් අයට පෙර ඔහු මියගියෙත් ඇයි?
අතිශයින් වේදනාවට පත්ව සිටීම එක ප්‍රධාන සාධකයක්. යේසුව මරණයට පත් කිරීම ආසන්න වූ විට ඔහු මෙසේ පැවසුවා: “නුමුත් මට බව්තීස්මයක් ලබන්ට තිබේ: ඒක ඉෂ්ටවෙන තුරු කොපමණ ගාවිනාවෙන් යුක්තවෙම්ද?” (ලූක් 12:50) ඔහුගේ අවසාන රාත්රියේදී මේ ගාවිනාව, ‘මහත් වේදනාවක්’ බවට පත් වුණා: ‘ඔහු මහත් වේදනා වින්දේය; වඩා ඕනෑකමින් යාච්ඤා කළේය. ඔහුගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.’ (ලූක් 22:44) සදා ජීවනය සඳහා මනුෂ්‍යවර්ගයාට ඇති ප්‍රස්තාව රඳා පැවතුණේ තමා මරණය දක්වා අඛණ්ඩතාව පවත්වාගැනීම මත බව යේසු දැනගෙන හිටියා. මොනතරම් බරක් උසුලන්න තිබුණාද! (මතෙව් 20:18, 19, 28) දෙවිගේම සෙනඟ තමාව ‘ශාප ලත්’ අපරාධකාරයෙකු හැටියට මරණයට පත් කරන බවත් ඔහු දැනගෙන සිටියා. මෙයින් ඔහුගේ පියාට නින්දාවක් ගෙනා හැකි බව සිතමින් ඔහු කනස්සලු වුණා.—ගලාති 3:13; ගීතාවලිය 40:6, 7; ක්‍රියා 8:32.
ඔහුව පාවා දුන් පසු ඔහු කෲර දේවල් බොහොමයක් වින්දා. පාන්දර යාමයේ පැවැත්වූ බොරු නඩුවකදී, රටේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඔහුට අපහාස කළා; ඔහුට කෙළ ගැසුවා; ඔහුට ඔවුන් මිට මොළවා පහර දුන්නා. රාත්‍රියේ පැවැත්වූ නඩුවට ව්‍යාජ ලෙස නීත්‍යනුකූල බවක් ආරූඪ කිරීමට ඊළඟ දින පාන්දර තවත් නඩුවක් පැවැත්තුවා. එහිදී පිලාත් යේසුගෙන් ප්‍රශ්න කළා; ඉන්පසු හෙරොද් සහ ඔහුගේ හමුදා භටයන් ඔහුට සරදම් කළා; ඒ වගේම නැවතත් පිලාත්ද ඒ දේම කළා. අන්තිමේදී, පිලාත් ඔහුට කසයෙන් පහර දීමට සැලැස්සුවා. ඇත්තෙන්ම මේක සාමාන්‍ය පහර දීමක් නම් නෙවෙයි. අමෙරිකානු වෛද්‍ය සංගමයේ සඟරාව (ඉංග්‍රීසියෙන්) කස පහර දීමේ රෝම ව්‍යවහාරය මෙසේ විස්තර කරනවා:
“සාමාන්‍ය උපකරණය වුණේ, විවිධ දිග ප්‍රමාණයන්ගෙන් යුත් තනි හෝ ගොතන ලද හම් පටි කිහිපයකින් . . . සෑදුණු කෙටි කසයයි. එහි තැනින් තැන කුඩා යකඩ බෝල හෝ බැටළු අස්ථිවල තියුණු කැබලි ගැටගසා තිබුණා. . . . රෝම හේවායන් මුළු වැර යොදා දඬුවමට ලක් වූ තැනැත්තාගේ පිටට නොකඩවා පහර දුන් විට, යකඩ බෝල මගින් ගැඹුරු තැළුම් ඇති කළ අතර, හම් පටි සහ බැටළු අස්ථි, සම හා සම අභ්‍යන්තර පටක පසාරු කරගෙන ගියා. ඉන්පසුව, තැළීම නොකඩවා සිදු වෙද්දී, යටින් තිබෙන අස්ථි පේශීන් තුළට ගැඹුරු පැලුම් සිදු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුළු පිටම ඉරි තැළී, ඉරුණු මාංසයෙන් ලේ ගලා ආවා.”
පැහැදිලිවම, යේසු උසුලාගෙන ගිය වධ කණුවේ බර නිසා ඔහුව වැටෙන්න කලින්ම ඔහුගේ ජීවන ශක්තිය පිරිහෙන්න ඇති. ඇත්තෙන්ම, අමෙරිකානු වෛද්‍ය සංගමයේ සඟරාව මෙසේ පැවසුවා: “යුදෙව්වන් හා රෝමවරුන් සිදු කළ ශාරීරික හා මානසික තාඩන පීඩන මෙන්ම ආහාර, වතුර හා නින්ද හිඟකමද සාමාන්‍ය වශයෙන් ඔහුගේ දුර්වල තත්වයට දායක වුණා. එබැවින්, කුරුසයේ ඇණගැසීමට පෙර පවා, අඩුම තරමින් යේසුගේ ශාරීරික තත්වය බරපතළව, සමහරවිට බොහෝ අසාධ්‍යව තිබෙන්න ඇති.”
ඔහුගේ පෙනුම වැදගත්ද?
ලෙන්ටුලුස්ගේ ව්‍යාජ වාර්තාව, ප්‍රසිද්ධ කලා ශූරීන්ගේ කෘති හා නවීන දින වර්ණ වීදුරු චිත්‍ර ජනේල දෙස බලද්දී පෙනී යන්නේ නෙත පිනවන දේට ක්‍රිස්තියානි ලෝකය වශී වී ඇති බවයි. “යේසුස් ක්‍රිස්තුස්ගේ රූපයේ කැපීපෙනෙන හැඟීම් පුබුදුවන බලය රැකගත යුතුයි” කියා, මතභේදයට ලක්ව ඇති, ක්රිස්තුගේ සිරුර ඔතා තිබුණ බවට විශ්වාස කරන සළුවේ ආරක්ෂකයා වූ ටියුරින්හි අගරදගුරු පැවසුවා.
එහෙත්, යේසුගේ පෙනුම සම්බන්ධයෙන් එවැනි “හැඟීම් පුබුදුවන” විස්තර දේවවචනයෙහි වුවමනාවෙන්ම අත්හරිනවා. ඇයි? සදාකාල ජීවනය අදහස් කරන බයිබල් දැනුමෙන් වෙනතකට හැරවීමට ඒවාට ඉඩ කඩ ඇති නිසයි. (යොහන් 17:3) අපේ සැබෑ ආදර්ශකයා වන යේසු පවා, “මනුෂ්‍යයන්ගේ බාහිර පෙනුම” දෙස ‘බලන්නේ’ හෝ එය වැදගත්යයි සලකන්නේ හෝ නැහැ. (මතෙව් 22:16, NW; සසඳන්න ගලාති 2:6.) ආනුභාව ලත් සුවිශේෂවල කිසිම සඳහනක් නොකර තිබෙද්දී යේසුගේ ශාරීරික පෙනුම ගැන අවධාරණය කිරීම, ඒවායේ පරමාර්ථයට විරුද්ධව යෑමක්. ඇරත්, ඊළඟ ලිපියෙහි අපි බලන්න යන පරිදි, යේසුට තවදුරටත් මනුෂ්‍ය ස්වරූපයක් ඇත්තෙත් නැහැ.a
[පාදසටහන]
a ඇත්තෙන්ම, බයිබලය පාඩම් කරද්දී, යේසු සිටින පින්තූර භාවිත කළාට වරදක් නැහැ. මේවා වොච් ටවර් සමිතියේ ප්රකාශනවල බොහෝවිට දක්නට තිබෙනවා. කෙසේනමුත්, ගුප්තබවක් දැක්වීමට, බලන්නා තුළ ගරුබිය ඇති කිරීමට හෝ ශුද්ධ ලියවිල්ලට පටහැනි සංකල්ප, සංකේත හෝ නමස්කාරය වැඩිදියුණු කිරීමට උත්සාහයක් දරන්නේ නැහැ.
[7වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තියානි ලෝකයේ චිත්‍ර ශිල්පීන් දක්වා ඇති දුර්වල, සුදුමැළි යේසු, බයිබල් වාර්තා මත පදනම් යේසුගේ චිත්‍රයට හාත්පසින්ම වෙනස්
[හිමිකම් විස්තර]
යේසු ගලීල මුහුද අසල දේශනා කිරීම ගුස්ටාෆ් ඩෝරෙ විසින්