ශිෂ්ටාචාරයට නැතුවම බැරි—පාරවල්
අනාදිමත් කාලයක සිට, මාවත්, පාරවල් හා මහා මාර්ගවල විශාල පද්ධතීන් මගින් ජනයා එකිනෙකා අතර සම්බන්ධකම් පවත්වාගෙන තිබෙනවා. ගමන් කිරීමට හා වෙළඳාම් කිරීමටත්, එමෙන්ම යුද්ධ කිරීමට හා අධිරාජ්‍යයන් ගොඩනැඟීමටත් මිනිසාගේ ඇති ආශාව සම්බන්ධයෙන් මේවා සාක්ෂි දෙනවා. ඔව්, පාරවල් මිනිසාගේ ස්වභාවයේ අඳුරු පැත්ත හෙළි කරනවා.
මිනිස්සු, සත්තු ගමන් කළ අඩි පාරවල සිට වාහන පේළි කීපයකට එක විට ගමන් කළ හැකි ඉතා පළල් අධිවේගී මහා මාර්ග දක්වා පාරවල ඉතිහාසය ගැන බලද්දී, එය නිකම්ම අතීතයට ගමන් කිරීමකට වඩා වැඩි දෙයක් වෙනවා. එය මිනිස් ස්වභාවය පිළිබඳ අධ්‍යයනයක්ද වෙනවා.
මුල් පාරවල්
“මුලින්ම විධිමත් පාරවල් ඉදි කරන්න ඇත්තේ සමහරවිට මෙසපොතේමියානු ජාතිකයන් විය හැකියි” කියා නව බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසනවා. මේ ජනයා වාසය කළේ ටයිග්‍රීස් හා යුප්‍රටීස් ගංගා ආශ්රිත ප්රදේශයෙහියි. ඔවුන්ගේ පෙරහැරවල් ගිය පාරවල් “තනා තිබුණේ කීල් බදාම දැමූ පුලුස්සන ලද ගඩොල් හා ගල්වලින්” කියා ඒ මූලාශ්‍රය තවදුරටත් පවසනවා. මෙම විස්තර කියවද්දී, මුල් ඉදි කිරීමේ ද්‍රව්‍ය ගැන බයිබලයෙහි සඳහන් දෑ සිහියට නැඟේ: “ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට කීල්ද ඔවුන්ට තිබුණේය.”—උත්පත්ති 11:3.
පුරාණ ඉශ්රායෙල්වරුන්ට තම ආගමික වගකීම් ඉටු කිරීමට පාරවල් ඉතා වැදගත් වුණා. යේසුස් ක්‍රිස්තුස්ගේ උපතට වසර 1,500කට පමණ පෙර, ඉශ්රායෙල්වරුන්ට මෙසේ අණ කළා: “අවුරුද්දට තුන්වරක් [ආත්මික මංගල්‍යයක් පැවැත්වීම සඳහා] . . . නුඹේ සියලු පිරිමි නුඹේ දෙවිවූ [යෙහෝවා] තෝරාගන්න ස්ථානයට පැමිණ [ඔහු] ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය.” (ද්විතීය කථාව 16:16) ඒ ස්ථානය යෙරුසලම වූ අතර, බොහෝවිට පවුල් පිටින්ම මේ ප්‍රීතිමත් අවස්ථාවලට ගියා. හොඳ පාරවල් අවශ්‍ය වූ බව කියන්නත් දෙයක්ද!
පැහැදිලිවම, ප්‍රධාන පාරවල් හොඳින් ඉදි කර තිබුණා. ක්‍රිස්තුස්ගේ උපතට වසර දාහකට පෙර පාලනය කළ සාලමොන් ගැන යුදෙව් ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස් මෙසේ පැවසුවා: “ඔහු මාර්ග නඩත්තු කිරීම අතපසු කළේ නැහැ; යෙරුසලමට යන පාරවල් ඔස්සේ ඔහු කළු ගලින් පාරක් තැනුවා.”
අත්වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තාට ආරක්ෂාවක් දීමට ඉශ්රායෙලයේ ආරක්ෂක නුවරවල් හයක් තිබුණා. මේ නුවරවලට දිවෙන පාරවල්ද හොඳ තත්වයක තබා තිබුණා. එමෙන්ම ළඟම ආරක්ෂක නුවරට යොමු දක්වන හොඳින් නඩත්තු කළ සංඥා පුවරු හැම හන්දියකම තබා තිබුණු බව යුදෙව් සම්ප්රදාය අඟවනවා.—ගණන් කථාව 35:6, 11-34.
කල් යත්ම, වෙළඳාමේ ව්‍යාප්තියට පාරවල් බෙහෙවින් දායක වූ අතර, සේද, පුරාණ කාලවල වැඩියෙන්ම සිත්ගත් වෙළඳ භාණ්ඩ අතුරෙන් එකක් වුණා. ඉශ්රායෙල්වරුන් ජාතියක් බවට පත් වෙන්න බොහෝ කලකට පෙර, පටපණුවෙකු වියන නූලකින් සේද සාදන ආකාරය චීන ජාතිකයන් සොයාගත් බවට කියැවෙන නමුත්, ඔවුන් ක්‍රිස්තුස්ගේ උපත පසු වෙන තෙක්ම සේද නිෂ්පාදනය රහසක් ලෙස තබාගත්තා. ඊටත් පෙර පවා බටහිර ලෝකයෙහි සේද කොයිතරම් ජනප්‍රිය වී තිබුණාද කිවහොත්, ජෙෆ්රි හින්ඩ්ලිගේ පාරවල් පිළිබඳ ඉතිහාසයක් (ඉංග්‍රීසියෙන්) නම් පොතට අනුව, “පුරුෂයන් ඒවා භාවිතයට ගැනීම තහනම් කළ යුතු” බවට නියෝග පනවනු ලැබුවා; මන්ද එසේ කළොත් “ගැහැනියෙක් විදිහට පෙනෙන” නිසායි.
චීනයේ සිට සේද ප්රවාහණය කළ වෙළඳ මාර්ගය ප්‍රසිද්ධ වී තිබුණේ සේද මාවත කියායි. මාකෝ පෝලෝ පො.යු. 13වන සියවසේ අවසානයේදී චීනයට ගමන් කළ කාලයේ සිට, එය වසර 1,400ක් පුරා පැවතී තිබුණා. වසර 2,000කට වැඩි කාලයක් පුරා, ලෝකයේ දිගම පාර වුණේ සේද මාවතයි. එය, චීනයේ සේද මධ්‍යස්ථානය වූ ෂැංහයිහි සිට කිලෝමීටර් 12,800ක පමණ දුරකින් පිහිටි ස්පාඤ්ඤයේ ගේඩ්ස් (නවීන කෝඩිෂ්) දක්වා දිවගියා.
හමුදාමය වැදගත්කම
පාරවල් තැනීමෙහි විශාල දියුණුවක් තිබුණේ අධිරාජ්‍යයන් බිහි කිරීම සඳහා දැඩි ආශාවක් තිබුණ නිසයි. උදාහරණයක් වශයෙන්, ගණන් බලා ඇති ආකාරයට කායිසර් යටතේ තිබූ රෝම අධිරාජ්‍යයේ පාරවල් යුරෝපය, උතුරු අප්‍රිකාව හා මැද පෙරදිග දක්වා කිලෝමීටර් 80,000ක් දිවගියා. රෝම සොල්දාදුවන් යුද්ධයේ නියැලුණේ නැති කාලයේදී, ඔවුන්ව පාරවල් ඉදි කිරීමට හා අලුත්වැඩියා කිරීමට යෙදෙව්වා.
විජයග්‍රහණය සඳහා පාරවල්වල වැදගත්කමත් මෑත කාලයේදී දක්නට තිබුණා. වර්ෂ 1934දී ඔටෝබාන් මාර්ග ඉදි කිරීමට පටන්ගත් ඇඩොල්ෆ් හිට්ලර්ගේ වැඩසටහන, වෙනත් අයව පාලනය කිරීමට ඔහුගේ හඹා යෑම වේගවත් කිරීමට රුකුලක් වුණා. ඉතිහාසඥ හින්ඩ්ලි පවසන ආකාරයට, මේ වැඩසටහන ජර්මනියෙහි “ලෝකයේ මුල්ම මෝටර් රථ ධාවන මහා මාර්ග පද්ධතිය” බිහිවීමට සැලැස්සුවා.
පාරවල් ඉදි කිරීම—විද්‍යාවක්
ග්රෝමා නම් උපකරණයක් යොදාගනිමින් රෝමානු සමීක්ෂකයන් ඊතල වගේ කෙළින් පාරවල් තැනුවා. ගල්වඩුවන් හුඟාක් කලාත්මක සැතපුම් කණු නෙළුව අතර, ඉන්ජිනේරුවන් පාරවල ගෙන යා හැකි බර ප්‍රමාණය සම්බන්ධයෙන් සීමා පැනෙව්වා. පාරවල්වලට අත්තිවාරමක් හා කල්පවතින මතුපිටක් තිබුණා. නමුත් ඒවාවල දිගු කල් පැවැත්මෙහි ප්‍රධාන අංගය වුණේ පොළොවේ මට්ටමෙන් පාරවල් උස්සා, ජලය බැස යන සේ යන්තම් වක්‍රාකාරව දක්ෂ ලෙස තනා තිබුණු ජලය බැස යෑමේ කානු පද්ධතියයි. සාප්පුවල පවා පාරවල්වල සිතියම් විකිණුවා.
ඉතිහාසඥයෙක් මෙසේ පවසයි: “පාරවල් ඉදි කරන්නන් හැටියට රෝමවරුන්ගේ අත් කරගැනීම් දෙස බලද්දී, ඒවා ගැන අතිශයින් වර්ණනා කිරීමට ඕනෑම ලේඛකයෙක් නිරායාසයෙන්ම පෙලඹෙනවා. ඉතාලියේ තිබෙන පාරවල්වලින් ඉටු වී ඇති සේවය ගත්තොත්, ඒ තරමටම මනුෂ්‍යයාගේ ඉතිහාසයේ කෙටී ඇති වෙන යමක් ඇද්ද යන්න සැක සහිතයි.”
පාරවල් පිළිබඳ ඉතිහාසයක් නම් පොතට අනුව, රෝමයේ දකුණෙන් දිවෙන ඇපියන් මාර්ගය, “බටහිර මිනිස් ඉතිහාසයේ සැලකිය යුතු දුරකින් යුතු වූ ගල් දැමූ මාර්ගයක් සේ සැලකිය හැකි මුල්ම එකයි.” මේ ප්‍රසිද්ධ මහා මාර්ගයේ සාමාන්‍ය පළල මීටර් 6ක් වූ අතර, එහි අතුරා තිබුණේ ලොකු ලාවා කැබලියි. ප්‍රේරිත පාවුල් සිරකරුවෙකු හැටියට රෝමයට යද්දී ගමන් කළේ මෙම පාරෙයි; අදදිනත් එහි සමහර කොටස් පාවිච්චියට ගැනෙනවා.—ක්‍රියා 28:15, 16.
පුරාණ දකුණු අමෙරිකානු ඉන්දියන්වරුන්ගේ පාරවල් ඉදි කිරීමේ දක්ෂතාවන් ඒ සමානවම පුදුම එළවන බව බොහෝදෙනාට පෙනී යා හැකියි. ඉන්කාවරුන් 1200 ගණන්වල සිට 1500 ගණන් දක්වා කාලය තුළ කිලෝමීටර් 16,000ක මාර්ග පද්ධතියක් ඉදි කළ අතර, මෙය 1,00,00,000කට ආසන්න ජනතාවක් එකට බැඳ තැබුවා. මේ පාරවල් කාන්තාර හා වැසි වනාන්තරත්, එපමණක් නොව දැවැන්ත පෙරුවියානු ඇන්ඩීස් කඳු හරහා පවා දිව යමින් සිතාගත නොහැකි තරමටම කටුක වූ ප්‍රදේශ මෙන්ම තරණය කිරීමට අමාරු භූමි ප්‍රදේශ පසු කර යනවා!
එක් පාරක් සම්බන්ධයෙන් නව බ්‍රිටැනිකා විශ්වකෝෂය මෙසේ වාර්තා කරනවා: “ඇන්ඩීස් මාර්ගය කැපීපෙනෙන එකක්ව තිබුණා. මීටර් 7.5ක් (අඩි 25ක්) පළල් වූ මාර්ගය වංගු ගනිමින් කඳු පංති හරහා දිවගියේ එතරම් බෑවුමක් නොගෙනයි. ගල් පර්වත තුළට කපා ඇති පටු මාර්ග එයට සම්බන්ධ වී තිබූ අතර, සෝදා පාළුව වළක්වන මීටර් සිය ගණන් දක්වා දිවගිය පවුරුද ඉදි කර තිබුණා. ගිරිකඳුරු හා විශාල කුහර, ගල් බොරලුවලින් පුරවා තිබූ අතර, කඳු අතරින් දිවයන විශාල දොළ පාරවල් හරහා ලොම් හෝ තන්තු කඹවලින් තැනූ රැහැන් පාලම් දමා තිබුණා. බොහෝ තැන්වල මතුපිට ගල්වලින් නිම වූ අතර, අමුද්‍රව්‍ය ලෙස ගල්තාර විශාල වශයෙන් යොදා තිබුණා.”
ඉන්කාවරුන් අශ්වයන් ගැන දැනගෙන සිටියේ නැති නමුත්, ඔවුන්ගේ මහා මාර්ග පද්ධතිය “රාජකීය දූතයන් සඳහා සැබෑ ධාවන පථයක්” කියා හැඳින්විය හැකි පාරවල් ඔවුන්ට සපයා දුන්නා. එක් ඉතිහාසඥයෙක් මෙසේ සඳහන් කළා: “කිලෝමීටර් දෙකෙන් දෙකට කුඩා ආරක්ෂක භට පිරිසකට හා පුහුණුව ලත් ධාවකයන් කණ්ඩායමකට සිටිය හැකි අම්බලම් තිබුණා. ඒවා අතර වේගවත් සහාය දිවීමකට ප්‍රමාණවත් වන කෙටි දුරක් තිබුණු අතර, දිවා රෑ දෙකේදීම ක්‍රියාත්මක වූ මෙම සේවය හේතුවෙන්, කුස්කෝහි අගනුවරේ සිට ක්විටෝ නගරය දක්වා කිලෝමීටර් 2,000ක් ගෙවා දවස් පහකින් පණිවිඩයක් ගෙන යා හැකිව තිබුණා. මේ කාර්යය සඳහා, මුහුදු මට්ටමේ සිට මීටර් 4,000කට නොඅඩු උසක දිවෙන පාරක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 15ක වේගයක් රඳවාගත යුතුව තිබුණා; එය සාමාන්‍ය රෝම තැපැල් සේවයට කවදාවත් අත් කරගත නොහැකි වූ වේගයක්!”
දුක්ඛදායක සිද්ධීන්වල උල්පත
මිනිස් සිරුරේ නහරවල් අවහිර විය හැකි අතර මෙය දුක්ඛදායක ප්‍රතිඵලවලට හේතු විය හැකියි. ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට මහෝපකාරි වී තිබෙන පාරවල් ගැනත් කීමට තිබෙන්නේ එයමයි. ඒවා අවහිර විය හැකි අතර, ජීවිතයේ ගුණාත්මකභාවය පහත හෙළීමට එය දායක වෙයි. වැසි වනාන්තර, වන ලැහැබ්, කැලෑ සහ අභයභූමි හරහා දිවෙන පාරවල් වන ජීවීන් විනාශ කර දමනවා. එමෙන්ම බොහෝවිට ඒවායේ වෙසෙන දේශීය වැසියන්ගේ වාසස්ථාන හානියට ලක් වෙනවා. අපි පාරවල් තනන අයුරු (ඉංග්‍රීසියෙන්) නම් පොත මෙසේ පවසනවා: “ඇමසන් හරහා දිවෙන මහා මාර්ගය, ප්රගතියේ නාමයෙන් දියත් කරනු ලැබූවත්, වැසි වනාන්තරවල විශාල ප්‍රදේශ විනාශ කර දැමූ අතර, එය කැලෑවේ ජීවත් වන ජනයාගෙන් වැඩිදෙනෙකුගේ මුළු ජීවන රටාවම වෙනස් කළ බැවින් ව්‍යසනයක් වී තිබෙනවා.”
සෑම වසරකම නගරවල පාරවල්වල වාහන තදබදය හේතුවෙන් මාර්ග අවහිර වෙද්දී නගරවලටත් අහිතකර ප්‍රතිඵල විඳින්න සිදු වී තිබෙනවා. මුදල් තිබෙනවා නම්, මහා මාර්ගයක් තැනෙයි. නමුත් දිගු කාලීනව බලන කල, මේ පාරවල් වාහන තදබදය තව තවත් වැඩිවීමට රුකුල් දෙන අතර, එමගින් මිලියන සංඛ්‍යාතයක් රෝගී කරන දූෂණය වැඩි කරවනවා. ඊට අමතරව, ලොව පුරා වාර්ෂිකව මාර්ග අනතුරුවලින් 5,00,000ක් පමණ මරණයට පත් වන අතර, තවත් මිලියන 15ක් දරුණු ලෙස තුවාල ලබනවා. සසඳා බලද්දී, Iවන ලෝක යුද්ධයේදී සටන්කරුවන් මිලියන නවයක් පමණ මියගියා. නමුත් ඒ යුද්ධය නැවතුණා. අනික් අතට බලද්දී, දවසකට 1,000කට වඩා මියයමින්, දවසක් දවසක් පාසා නොකඩවාම පාරවල්වල මරණ සිද්ධ වෙනවා!
ඔව්, අප ගැන, එනම් අපේ දක්ෂතා සහ අපේ දුර්වලකම් ගැන අපේ පාරවල් බොහෝ ආකාරවලින් යමක් කියාපානවා. අපේ භාරයේ තබා තිබෙන මේ මහිමාන්විත පෘථිවි ග්‍රහයා දෙස අප බලන ආකාරයත් ඒවායින් අපට කියාපානවා.
[29වන පිටුවේ පින්තූරය]
ප්‍රේරිත පාවුල් ගමන් කළ ඇපියන් මාර්ගය තවමත් පාවිච්චියේ තිබෙනවා
[30වන පිටුවේ පින්තූරය]
සෑම වසරකම ලොව පුරා 5,00,000ක් පමණ මාර්ග අනතුරුවලින් මියයනවා