යථාර්ථය මගේ අපේක්ෂා ඉක්මවා ගොස්
විලම් වාන් සේල්ගේ කතාව
වර්ෂ 1942දී අපේ රට තිබුණේ IIවෙනි ලෝක යුද්ධය මැද්දෙයි. නාට්සීන්ට අසු නොවී නෙදර්ලන්තයේ ග්රොනින්ගෙන්හි හැංගිලා හිටිය තරුණයන් පස්දෙනාගෙන් එක්කෙනෙක් මම. අපිට බේරිලා ඉන්න පුළුවන් ක්‍රම ගැන පුංචි කාමරයක ඉඳගෙන අපි කතා කරන්න පටන්ගත්තා.
අපිට බේරෙන්න තියෙන ප්‍රස්තාවන් අඩු බව පැහැදිලිව පෙනෙන්න තිබුණා. අන්තිමේදී, අපේ කණ්ඩායමෙන් තුන්දෙනෙකුව ඝාතනය කළා. ඇත්තවශයෙන්ම, අපි පස්දෙනාගෙන් වයසට යනකම් ජීවත් වුණේ මම විතරයි. මේක, යථාර්ථය මගේ අපේක්ෂා ඉක්මවා ගිය එක අවස්ථාවක් පමණයි.
ඉහත සිද්ධිය සඳහන් කළ අවස්ථාවේදී, මට වයස 19ක් වූ අතර බයිබලය හෝ ආගම ගැන මම දැනගෙන හිටියේ බොහොම ටිකයි. ඇත්තෙන්ම, තාත්තා හැම ආගමකටම විරුද්ධ වුණා. අම්මා ආගමක් සොයමින් සිටියා; එහි ප්‍රතිඵලයක් වශයෙන්, භූතවාදය පිළිගැනීමට ඇයව මඟ පෑදුවා. මං ගැන බැලුවොත්, මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. බෝම්බ ප්‍රහාරයකින් නැත්නම් වෙනත් විදිහකින් මම මැරුණොත්, මාව මතක තබාගන්න හේතුවක් දෙවිට තිබෙන එකක් නැහැ කියලා මට හැඟුණා. ඔහු ගැන ඉගෙනගන්න මම වෑයම් කරලවත් තිබුණේ නැහැ.
සොයා යෑමේ අගනා ප්‍රතිඵල
යෞවනයන් හතරදෙනා සමඟ කළ එම සාකච්ඡාවෙන් ටික කලකට පස්සේ, නාට්සීන් මාව අල්ලගෙන, ඉමරිච් අසල ජර්මනියේ වැඩ කඳවුරකට ගෙන ගියා. සක්ක ගල් පිරිසිදු කිරීම හා මිත්‍ර පාක්ෂිකයන්ගේ බෝම්බ ප්‍රහාරවලින් හානි වූ තැන් අලුත්වැඩියා කිරීම අපේ වැඩවලට ඇතුළත් වුණා. වර්ෂ 1943 අවසානයේදී, යුද්ධය උග්‍ර වෙමින් පවතිද්දීම මම බේරිලා ආපහු නෙදර්ලන්තයට ගියා.
කොහොම හරි, ප්‍රශ්න හා බයිබල් පද තියෙන පුංචි පොත්පිංචයක් මම ලබාගත්තා. එය යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ගැළවීම (ඉංග්‍රීසියෙන්) නමැති පොත අධ්‍යයනය කිරීම සඳහා යොදාගෙන තිබුණා. ප්‍රශ්න කියවමින් හා ශුද්ධ ලියවිලි පද බලමින් මම බයිබල් අනාවැකිවල ඉටුවීම සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වන්න පටන්ගත්තා.
මම කියවමින් හිටිය දේ ගැන මගේ පෙම්වතිය වූ ඛ්රේට පැවසුවත් මුලදී ඇය එතරම් උනන්දුවක් දැක්වුවේ නැහැ. ඒත්, අම්මා, ආශාවෙන් පොත්පිංචය කියෙව්වා. “මේ තමයි මගේ මුළු ජීවිත කාලය පුරාම මම හොයමින් හිටිය සත්‍යය!” කියා ඇය පුදුමයෙන් පැවසුවා. මම මිත්‍රයන්ටත් මේ ගැන පැවසුව අතර, තවත් දැනගන්න සමහරුන්ට වුවමනා වුණා. ඇත්තවශයෙන්ම, ඔවුන්ගෙන් එක්කෙනෙක් සාක්ෂිකරුවෙක් බවට පත් වූ අතර, 1996දී ඔහු මියයන තෙක්ම ලිපි හා බැහැදැකීම් මාර්ගයෙන් අපි දෙදෙනාගේ මිත්‍රකම පවත්වාගත්තා.
මේ අතරතුරේදී, ඛ්රේ බයිබලය පාඩම් කරන්න පටන්ගත් අතර, 1945 පෙබරවාරිවලදී අපි දෙන්නම බව්තීස්ම වුණා. මාස කීපයකට පස්සේ යුද්ධය අවසන් වුණා. අපි විවාහ වුණාට පස්සේ, පුරෝගාමීන් වෙන්න අපිට ඕන වුණා; යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන්ව හඳුන්වන්නේ ඒ ආකාරයටයි. නමුත් අපි අසනීප හා මූල්‍යමය ගැටලු වැනි බාධාවලට මුහුණ දුන්නා. එමෙන්ම, තවත් වැඩියෙන් මුදල් ඉපැයීමට අපට ප්‍රස්තාවන් උදා වුණා. අපි ඉස්සෙල්ලා යම් ප්‍රමාණයකට මුදල් හම්බ කරලා, ඊට පස්සේ පුරෝගාමී සේවය පටන්ගන්නවාද නැත්නම් දැන්මම පටන්ගන්නවාද?
නෙදර්ලන්තයේ අපේ දේවසේවය
අපේ තීරණය වුණේ පුරෝගාමී සේවයට ඇතුල් වීමයි. වර්ෂ 1945 සැප්තැම්බර් 1වෙනිදා අපි එය පටන්ගත්තා. එදා මැදියම් රැයේ මම ගෙදර යද්දී, බීම එකක් බොන්න අවන්හලකට ගියා. ගල්ඩනයක් (නෙදර්ලන්ත මුදල්) කියලා හිතාගෙන මම නෝට්ටුවක් සේවකයාට දීලා මෙහෙම කිව්වා: “ඉතුරු සල්ලි තියාගන්න.” මම ගෙදර ආවහමයි දැනගත්තේ, මම දීලා තියෙන්නේ ගල්ඩන් 100ක නෝට්ටුවක් කියලා! ඉතින් අපිට පුරෝගාමී සේවය පටන්ගන්න ඉතුරු වුණේ ඇත්තෙන්ම එක ගල්ඩනයයි!
වර්ෂ 1946දී මම ප්‍රසිද්ධ කථා දෙන්න පටන්ගන්න කොට මට තිබුණේ එක හම් ජැකට්ටුවක් විතරයි. මගේ තරමටම වගේ හිටිය යාළුවෙක් සභාපති හැටියට කටයුතු කළා. ඔහු මගේ කතාව හඳුන්වලා දීලා, ඒ මොහොතෙම වේදිකාවේ පිටිපස්සට ඇවිත් ඔහුගේ කෝට් එක මට දෙනවා. එතකොට මම කතාව දෙනවා. කතාව ඉවර වුණාට පස්සේ අපි ආපහු ඒ විදිහටම කරනවා!
වර්ෂ 1949 මාර්තුවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලට ගොස් ඔවුන්ව ආත්මිකව ශක්තිමත් කරමින් චාරිකා වැඩයේ හවුල් වෙන්න කියා ඛ්රේටයි, මටයි ආරාධනයක් ලැබුණා. යුද්ධයට පෙර හා යුද්ධ සමයේදී ඇදහිලිවන්ත දේවසේවකයෙක්ව සිටි ෆ්රිට්ස් හාට්ස්ටාන්ග් චාරිකා වැඩය සඳහා මාව පුහුණු කළා. ඔහු මට හොඳ උපදෙසක් දුන්නා: “විම්, යෙහෝවාගේ සංවිධානයේ උපදෙස් හොඳම ඒවා නෙවෙයි කියලා මුලදී ඔයාට හැඟුණත් ඔයාට ලැබෙන උපදෙස් අනුව වැඩ කරන්න. ඔයා කිසිදාක පසුතැවෙන එකක් නැහැ.” ඔහු කිව්ව දේ ඇත්තයි.
එවකට වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ සභාපතිව සිටි නේදන් එච්. නෝ’ 1951දී නෙදර්ලන්තයට ආවා. ඒ කාලයේදී, ඛ්රේයි, මමයි එක්සත් ජනපදයේ මිෂනාරි පුහුණුව සඳහා අයැදුම් කළා. වැඩි කල් නොගොස්, ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 21වන පංතියට යන්න අපිට ආරාධනාවක් ලැබුණා. අපි 1945දී පුරෝගාමී සේවය පටන්ගත් විට නෙදර්ලන්තයේ සාක්ෂිකරුවන් 2,000ක් විතර හිටියත් 1953 වන විට 7,000කට වඩා හිටියා; ඒක අපේ අපේක්ෂාවන් බොහෝ සෙයින් ඉක්මවා ගිය යථාර්ථයක්!
අපේ අලුත් ස්ථානයේ දේවසේවය
දැන් ඉන්දුනීසියාවේ පළාතක් වන ඕලන්ද නිව් ගිනියාවට අපිට පැවරුම ලැබුණත්, එහි ඇතුල් වීමට අපට අවසර ලැබුණේ නැති නිසා දකුණු අමෙරිකාවේ නිවර්තන රටක් වන සුරිනෑම්වලට අපේ පැවරුම වෙනස් කළා. අපි ආවේ 1955 දෙසැම්බර්වලදීයි. සුරිනෑම්වල එතකොට හිටියේ සාක්ෂිකරුවන් සීයක් විතර වුණත් ඔවුන් අපට උදව් කරන්න ලොකු කැමැත්තක් දැක්වුවා. වැඩි කල් යන්න කලින් අපිට අපේම තැනක ඉන්නවා වගේ හැඟුණා.
විවිධ තත්වයන් බොහොමයකට හුරු වෙන්න අපිට සිද්ධ වුණ අතර සමහර අවස්ථාවලදී එහෙම කරන එක අමාරු වුණ බව ඇත්තයි. උදාහරණයකට, ඛ්රේ කලින් කුරුමිණියන්ට හරි භයයි. නෙදර්ලන්තයේදී, අපේ නිදන කාමරයේ පුංචි මකුළුවෙක් ඉන්නවා ඈ දැක්කොත්, මම ඌව එතනින් අයින් කරනකම්ම ඇය නිදාගන්නේ නැහැ. නමුත් සුරිනෑම්වල ඊට දහගුණයකටත් වඩා ලොකු මකුළුවන් ඉන්නවා; සමහර එවුන් විෂ සහිතයි! අපේ මිෂනාරි නිවසේ කැරපොත්තෝ, මීයෝ, කූඹි, මදුරුවෝ හා තණකොළ පෙත්තොත් හිටියා. සර්පයින් පවා අපිව බලන්න ආවා. ඒ වගේ සතුන්ට ඛ්රේ මොනතරම් හුරු වෙලාද කියනවා නම් උන්ව ඉවත් කරන්න වෑයම් කරන එක දැන් ඇගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා.
අවුරුදු 43කට වැඩි කාලයකට පස්සේ, එහි ඉන්න බොහෝ අයට වඩා හොඳින් දැන් අපි ඒ රට ගැන දන්නවා. එහි ගංගා, වැසි වනාන්තර හා මුහුදු වෙරළ අසල තිබෙන මඩ වගුරු අගය කරන්න අපි පෙලඹිලා තියෙනවා. එහි බහුලව වෙසෙන සතුන්ද අපිට හුරු පුරුදුයි; ඉත්තෑවා, ස්ලොත්, ජගුවරා වැනි සත්වයන් මෙන්ම බොහෝවිට අලංකාර වර්ණවලින් යුත් සර්පයි ජාති බොහෝමයක් පවා එහි සිටිනවා. නමුත් අපි විශේෂයෙන්ම අගය කරන්න පෙලඹිලා තියෙන්නේ එහෙ ඉන්න විවිධ ජාතීන්ට අයත් මිනිසුන්වයි. ඔවුන්ගෙන් සමහරෙකුගේ මුතුන්මිත්තන් අප්‍රිකාවෙන් මෙන්ම ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්, චීනයෙන් හා වෙනත් රටවලින් පැමිණි අයයි. එමෙන්ම සමහරු මුල් ජනාවාසීන්ගෙන් පැවත එන රතු ඉන්දියානුවන්.
අපේ ක්‍රිස්තියානි දේවසේවයේදී, හැම පසුබිමකම සිටින ජනයාව අපිට ඔවුන්ගේ නිවෙස්වලදී මුණගැසෙනවා. අපේ රාජ්‍ය ශාලාවෙත් එවැනිම විවිධ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සිටීම අපට සතුටක්. වර්ෂ 1953දී තිබුණේ අබලන් වුණු එකම එක රාජ්‍ය ශාලාවක් විතරයි. පසුව, අලංකාර රාජ්‍ය ශාලා 30කට වඩා මෙන්ම ලස්සන එක්රැස්වීමේ ශාලාවක් හා 1995 පෙබරවාරියේදී කැප කළ ඉතා කදිම ශාඛා ගොඩනැඟිල්ලක් බිහිවීම අපි දැක තිබෙනවා.
මම ඉගෙනගෙන තිබෙන පාඩම්
සුරිනෑම්වල රට අභ්‍යන්තරයේ, පලා ආ නීග්‍රෝ ජාතිකයන් හැටියට හඳුන්වන අයගේ සභා කීපයක් තියෙනවා; ඔවුන් වතුවලින් පලා ඇවිත් හැකි තරම් දුරකට ගංගා ආශ්‍රිතව පදිංචි වූ අප්‍රිකානු වහලුන්ගෙන් පැවත එන්නන්. මම ඔවුන්ගේ වික්රමයන්ගෙන් නිතරම පුදුමයට පත් වෙලා තියෙනවා. ප්රවාහණය සඳහා ඔවුන් ගඟ යොදාගන්න ආකාරය හා වැසි වනාන්තරය ඔවුන්ගේ නිවහන කරගන්න ආකාරය උදාහරණයක් වශයෙන් ගත හැකියි. ඔවුන් ගස් පෙරළනවා; බෝට්ටු හදාගන්නවා; ඒවා දිය ඇළි හා ඇළවල් අතරින් පදවාගෙන යනවා. දඩයම් කිරීමෙන් හා මසුන් ඇල්ලීමෙන් ඔවුන් ආහාර සොයාගන්නවා; කිසිම නවීන පහසුකමක් නැතුව උයාගන්නවා; අපිට හුඟක් අමාරුයි කියා හැඟෙන වෙනත් දේවල් බොහොමයක් පවා ඔවුන් කරනවා.
වසර ගණනාව තුළදී, මෙහි සුරිනෑම්වල ජීවත් වෙන වෙනත් අයවත්, ඔවුන්ගේ සිරිත් විරිත් හා ඔවුන් සිතන ආකාරයත්, එමෙන්ම ඔවුන් ජීවත් වන ක්‍රමයත් අපි දැනගෙන තිබෙනවා. එක්දහස් නවසිය පනස්ගණන්වලදී රතු ඉන්දියානුවන්ගේ ගමකට මම ගියා මට මතකයි. මැදියම් රැයේදී, මම වැසි වනාන්තරයේ පාළු කූඩාරමකට ගියා; එහිදී මගේ ඉන්දියානු මඟ පෙන්වන්නායි, මමයි බෝට්ටුවෙන් ගමනක් ඇරඹීමට සිටියා. ඔහු ගිනි මැලයක් ගැහැව්වා; ආහාර පිළියෙළ කළා; එල්ලෙන ඇඳේ ලණු ගැටගැහැව්වා. මේ වගේ දේවල් කරන්න මම දන්නේ නැති බව ඔහු දැන සිටි නිසා ඔහු මා වෙනුවෙන් ඒ හැම දෙයක්ම කරලා දුන්නා.
මැදියම් රැයේදී මම එල්ලෙන ඇඳෙන් වැටුණහම ඔහු හිනා වුණේ නැහැ. ඒ වෙනුවට, ඔහු මගේ ඇඳුම් පිහදාලා, එල්ලෙන ඇඳ ආපහු බැන්දා. අපි පටු ගඟක ගමන් කරද්දී ගනඳුර කොයිතරම් පැතිර තිබුණද කියනවා නම් මගේ ඉස්සරහ තිබුණ අත් දෙකවත් මට පෙනුණේ නැහැ; ඒත් මගේ මඟ පෙන්වන්නාට වංගු හා බාධාවන් බොහෝමයක් පසු කරමින් බෝට්ටුව පදවන්න පුළුවන් වුණා. ඔහු ඒක කළේ කොහොමද කියලා මම ඔහුගෙන් ඇහැව්වහම ඔහු මෙහෙම කිව්වා: “ඔයා බලන්නේ වැරදි පැත්ත දිහා. උඩ බලලා අහසයි ගස් මුදුනුයි පිහිටලා තියෙන විදිහ බලන්න. එතකොට ඔයාට ගඟේ වංගුව පෙනෙයි. පහළ දිය රැලි දිහා බලන්න. පර්වත නැත්නම් වෙනත් බාධාවන් ඉස්සරහ තියෙනවාද කියලා දැනගන්න ඒවා ඔයාට උදව් වේවි. ඒ වගේම හොඳට ඇහුම්කන් දෙන්න. ඉස්සරහ තියෙන්නේ මොනවද කියන එක හඬවල්වලින් පවා දැනගන්න පුළුවන්.”
ලී කොට හාරා සාදාගත් ඔරුවලින් ඇළවල් හරහා ගමන් කිරීම හා දිය ඇළි පසු කරමින් යාත්‍රා කිරීම අනතුරුදායක හා වෙහෙස ගෙන දෙන දෙයක් විය හැකියි. නමුත් ගමන අවසානයේදී, අපව උණුසුම් ලෙස පිළිගන්න බලා සිටින අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ව අපට මුණගැසෙන විට අපිට ඉමහත් සන්තෝෂයක් දැනෙනවා. සමහරවිට සුප් භාජනයක් වැනි යම් ආහාරයක් සැමවිටම අමුත්තන් සඳහා සූදානම් කර තිබෙනවා. මිෂනාරි ජීවිතය බොහෝවිට වෙහෙසකර හා දුෂ්කර එකක් වී තිබුණත් එය කවදාවත් අධෛර්යයට පත් කරවන්නක් වී නැහැ.
දිගටම යෙදී සිටින්න අපට උපකාර කළ දේ
විශේෂ සෞඛ්‍ය තත්වයකින් අපිට ආශීර්වාද ලැබිලා නැහැ. අපිට හිටිය එකම සාක්ෂිකාර නෑයා අම්මා විතරක්ම නිසා පවුලේ සාමාජිකයන්ගෙන් අපිට ඒ තරම් දිරිගැන්වීමක් ලැබුණෙත් නැහැ. ඒත්, අපේ අවශ්‍යතාවන් ගැන සැලකිල්ල දක්වන ආදරණීය මිත්‍රයන්ගෙන් ලැබෙන සහයෝගය හා දිරිගැන්වීම, අපේ පැවරුමෙහි දිගටම නියැලී සිටීමට නිතරම උපකාරයක් වී තිබෙනවා. විශේෂයෙන්ම අම්මා අපිට දිරිගැන්වීමක් වුණා.
අවුරුදු හයක් අපි අපේ පැවරුමෙහි හිටියට පස්සේ, අම්මා හුඟක් අසනීප වුණා. අන්තිම වරට ඇයව දැකබලා ගැනීමට යළි ඈ ළඟට එන්න කියා මිත්‍රයන් අපට පැවසුවත්, අම්මා මෙහෙම ලියා එව්වා: “ඕගොල්ලන්ගේ සේවය දිගටම කරගෙන යන්න. මම ලෙඩ වෙන්න කලින් හිටිය විදිහටම ඉන්නවා කියලා හිතාගන්න. මම බලාපොරොත්තු වෙනවා නැවත නැඟිට්ටහම ඕගොල්ලන්ව දකින්න.” ඇය ශක්තිමත් ඇදහිල්ලක් තිබුණ ස්ත්‍රියක්.
වර්ෂ 1966 වන තුරු නිවාඩුවක් සඳහා අපිට ආපහු නෙදර්ලන්තයට යන්න ලැබුණේ නැහැ. පරණ යාළුවෝ දැකීමෙන් අපි හුඟක් ප්‍රීති වූ නමුත් සුරිනෑම් දැන් අපේ ගෙදර වගේ කියලයි අපිට හැඟුණේ. මේ නිසා මිෂනාරිවරුන්ට අඩුම තරමින් තමන්ගේ පැවරුමෙහි අවුරුදු තුනක්වත් සේවය කරන තුරු නිවාඩුවක් ගත කිරීමට ඔවුන්ගේ මව්බිමට ආපහු නොයෑමට සංවිධානයෙන් දී තිබෙන අවවාදයේ ප්රඥාවන්තභාවය අපට පෙනෙනවා.
අපේ පැවරුමෙහි ප්‍රීතියෙන් යෙදී සිටීමට අපට උපකාරවත් වූ තවත් දෙයක් තමයි හාස්‍ය රසය පවත්වාගැනීම; ඒ කියන්නේ අපි දිහාත්, දේවල් දිහාත් බලලා හිනාවීමට හැකිවීම. ඇතැම් මැවිලි තුළත් යෙහෝවා හාස්‍ය රසය මුසු කර තිබෙනවා. චිම්පන්සියන්ගේ හා දියබල්ලන්ගේ විගඩම් දිහා බලද්දී, විශේෂයෙන්ම හුඟක් සතුන්ගේ පැටව් දිහා බලද්දී ඔබට සිනාවක් පහළ වෙයි. එමෙන්ම, අපි ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව, දේවල්වල හොඳ පැත්ත දිහා බැලීමත් වැදගත් වෙනවා; මේක අපි අවුරුදු ගණනාවක් පුරා ඉගෙනගත්ත දෙයක්.
දේවසේවයෙහි අපේ විපාකදායී වැඩය අපේ පැවරුමෙහි දිගටම නියැලීමට විශේෂයෙන්ම අපිට උපකාර කර තිබෙනවා. පැරමැරීබෝවල මහලු නිවසක පිරිමි අය නවදෙනෙක් එක්ක ඛ්රේ බයිබල් පාඩමක් පටන්ගත්තා. මේ හැමෝම 80ට වැඩි අය. හැම කෙනාම එක්කෝ රබර් කිරි කපන්නෙක් (බාලාටබ්ලීඩ) නැත්නම් රන් කණින්නෙක් වෙලා ඉඳලා තියෙනවා. හැම කෙනාම තමන් ඉගෙනගත්ත දේට ලැදියාවක් දක්වලා, බව්තීස්ම වෙලා, තමන්ගේ මරණය වන තුරුම දේශනා වැඩයේ යෙදුණා.
ස්වෙඩන්බර්ග්ගේ නව පල්ලියට ගිය රිවර්ස් නම් පරණ දේශනාකරන්නෙක් පාඩමට ඇහුම්කන් දීගෙන ඉඳලා උපහාසාත්මක දේවල් කිව්වා. නමුත් හැම සතියකම ඔහු තව තවත් කිට්ටුවට ඇවිත් සවන් දුන් අතර, සරදම් කරන එක අඩු කළා. අන්තිමේදී ඔහු අනිත් අය එක්ක ඉඳගෙන, පාඩමට සහභාගි වුණා. වයස 92ක් වූ ඔහුගේ පෙනීම හා ඇසීම හොඳටම දුර්වල වෙලා තිබුණත්, ශුද්ධ ලියවිලි බලාගෙන කියවන්නාක් මෙන් ඔහුට ඒවා උපුටා දක්වන්න පුළුවන් වුණා. අන්තිමේදී ඔහු අපි එක්ක දේශනා සේවයේ හවුල් වෙන්නත්, සවන් දෙන හැමෝටම දේශනා කරන්නත් පටන්ගත්තා. ඔහු මියයන්න ටිකකට කලින් ඔහු අපිට පණිවිඩයක් එව්වා එන්න කියලා. අපි එහි යන විට ඔහු මියගොස් තිබුණ නමුත්, ඔහු ඒ මාසේ දේවසේවයේ ගත කළ කාලය පිළිබඳ වාර්තාව ඔහුගේ කොට්ටය යට තිබිලා අපිට හම්බ වුණා.
පූර්ණ කාලීන දේශනා සේවයෙහි අවුරුදු 25කට වඩා යෙදුණායින් පස්සේ 1970දී, සුරිනෑම් ශාඛා කාර්යාලය අධීක්ෂණය කිරීමට මාව පත් කළා. එක තැනකට වෙලා වැඩ කරන එක අමාරු බව මට දැනුණ අතර, හැම දවසකම ක්ෂේත්‍ර සේවයේ යමින් හිටිය ඛ්රේ එක්ක හවුල් වෙන්න ඇත්නම් කියා සිතුණා. දැන් ඛ්රේත් ශාඛා කාර්යාලයේ වැඩ කරන අතර, අපි වයසට යද්දී අපි දෙන්නටම මෙහි කිරීමට අර්ථවත් වැඩ තිබෙනවා.
ඇත්තෙන්ම, 1945දී ලෝකයේ සිටි ක්‍රියාශීලී රාජ්‍ය ප්‍රකාශකයන් 1,60,000කටත් වඩා අඩු සංඛ්‍යාව අදදින සිටින 60,00,000ක් පමණ සංඛ්‍යාව සමඟ සසඳා බලන විට, යථාර්ථය මගේ අපේක්ෂා ඉක්මවා තිබෙන බව මට වැටහෙනවා. එමෙන්ම අපි 1955දී සුරිනෑම්වලට පැමිණි දා සිට දේශනා සේවයේ හවුල් වන සංඛ්‍යාව 19 වතාවකට වඩා වැඩි වී තිබෙනවා. දළ වශයෙන් එකල සිටි 100 අදදින 1,900ටත් වඩා වැඩි වී තිබෙනවා!
අපි අපේ දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම් අනාගතයෙහි යෙහෝවාගේ අරමුණු ක්‍රියාත්මක කරද්දී මීටත් වඩා විශාල වර්ධනය වීම් සිද්ධ වෙනවා අපි දකින්න යන බව මට ස්ථිරයි. අපි කරන්න බලාපොරොත්තු වන්නෙත් ඒ දෙයමයි.
[29වන පිටුවේ පින්තූරය]
1955දී, අපි සුරිනෑම්වලට පැමිණි විට
[31වන පිටුවේ පින්තූරය]
අපේ දේවසේවය සඳහා ඔරුවල යමින්
[31වන පිටුවේ පින්තූරය]
මගේ බිරිඳ සමඟ