ඔබේ දරුවාව අනතුරුවලින් ආරක්ෂා කරගන්න
ස්වීඩනයේ පිබිදෙව්! වාර්තාකරු විසින්
වයස අවුරුදු තුනක් විතර වූ හානා ඇගේ දෙමාපියන් වන කාල් එරික් හා බර්ගිටා සමඟ සිටියා. ඔවුන් මියගිය අසල්වැසියෙකුගේ නිවස පිරිසිදු කරමිනුයි සිටියේ. ටික වෙලාවකට පස්සේ, හානා බෙහෙත් පෙති බෝතලයක් අරං කාමරයකින් එළියට ආවා. ඇය ඒවායින් සමහරක් කාලා තිබුණා. බෝතලය පරීක්ෂා කර බැලූ විට බර්ගිටා භයෙන් තැතිගත්තා. එය අසල්වැසියාගේ හෘදයාබාධයට ගත්ත පෙති තිබුණු බෝතලයක්.
ඉක්මනට හානාව රෝහලකට රැගෙන ගිය අතර, එහි ඇය මුළු රැයක්ම දැඩි සත්කාර ඒකකයේ සිටියා. ඇගේ සෞඛ්‍ය තත්වයට ස්ථිරවශයෙන්ම හානි කළ හැකි තරමට පෙති ගිලලා තිබුණත් ඇය අතුරු ආබාධවලට ලක් වුණේ නැහැ. ඇයි? පෙති ගිලින්න ටිකකට කලින් ඈ උයපු ධාන්‍ය වගයක් ආහාරයට ගෙන තිබුණා. මේ ධාන්‍ය වර්ගය විෂ යම් ප්‍රමාණයක් උරාගෙන තිබුණු අතර ඈ වමනෙ කළ විට ඒවා පිට වී ගියා.
මෙය හානාට පමණක් සීමා වුණු අද්දැකීමක් නොවෙයි. දිනපතා, ලොව පුරා දරුවන් දහස් ගණනක් අනතුරුවලට ලක් වන අතර, වෛද්‍යවරයෙකු ළඟට හෝ රෝහලකට ගෙන යෑමට සිදු වෙනවා. සෑම වසරකම ස්වීඩනයේ දරුවන් 8දෙනෙකුගෙන් එක් කෙනෙක් අනතුරක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබනවා. මෙලෙස, ඔබ දෙමාපියෙකු නම්, ඔබේ දරුවාටත් එවැනිම දෙයක් සිදුවීමට බොහෝ ඉඩ කඩ තිබිය හැකියි.
නිවසේ හා එහි වටා පිටාව වැනි හොඳින් හුරු පුරුදු වාතාවරණයකදී දරුවන් බොහෝවිට අනතුරුවලට ලක්වීම පුදුමයක් නොවෙයි. ඔවුන් ටිකෙන් ටික වැඩෙද්දී ඔවුන්ට සිදු වන අනතුරු වෙනස් වෙයි. බිළිඳාගේ ඉණකඩ මාරු කිරීමට ඔහුව ඇඳක් මත තැබූ විට ඔහුව පහසුවෙන්ම වැටීමට හෝ ආහාර කැබැල්ලක් නැත්නම් කුඩා යමක් උගුරේ හිර වූ විට පහසුවෙන්ම සිහි නැතිවීමට හෝ හැකියි. කුඩා දරුවන් උඩකට නැග්ග විට බොහෝවිට වැටෙනවා; එහෙමත් නැත්නම් පුච්චගන්නවා; පහසුවෙන් ඇල්ලිය හැකි දුරක තිබෙන දේවල් ඇල්ලූ විට නැත්නම් එහි රස බැලූ විට ඔවුන්ට ඒවා විෂ වෙනවා. වාහන අනතුරුවලින් හෝ එළිමහනේ සෙල්ලම් කරන විට හෝ පාසැල් වියේ සිටින දරුවන් බොහෝවිට අනතුරුවලට ලක් වෙනවා.
මේ අනතුරුවලින් වැඩිහරියක් වළක්වාගත හැකි ඒවායි. ඔබේ දරුවාගේ වර්ධන මට්ටම ගැන සුළු වශයෙන් හෝ දූරදර්ශීභාවයක් හා දැනුමක් ඇතුව සිටීමෙන් ඔබට අනතුරු එහෙමත් නැත්නම් මාරාන්තික අනතුරු පවා වළක්වාගත හැකියි. වර්ෂ 1954 සිට ස්වීඩනයේ ක්‍රියාත්මක කළ සංවිධානාත්මක ළමා ආරක්ෂක වැඩසටහනක් මගින් මෙය ඔප්පු කර තිබෙනවා. ඊට කලින්, සෑම වසරකම දරුවන් 450දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් අනතුරුවලින් මියගියා. අද, වාර්ෂික මරණ සංඛ්‍යාවේ එකතුව 70ට පමණ බැස තිබෙනවා.
නිවස තුළදී
“අවුරුද්දක, දෙකක හෝ තුනක දරුවෙකුට අනතුරුවලින් වැළකෙන හැටිත්, එය මතක තබාගැනීමටත් උගන්වන්න බැහැ” කියා ළමා මනෝ වෛද්‍යවරියක් වූ ක’ර්ෂ්ටින් බාක්ස්ට්රෝම් පවසනවා. මේ නිසා, අනතුරුවලින් වැළකීමට ඔබේ දරුවාට උපකාර කිරීම සඳහා වගකීම තිබෙන්නේ දෙමාපියෙකු වන ඔබ මතයි. එසේත් නැත්නම්, ඉඳහිට දරුවා ළඟ සිටින්න යන වෙනත් වැඩිහිටියන් මතයි.
මුලින්ම, ඔබේ නිවස පරීක්ෂා කර බලන්න. මේ සමඟ ඇති කොටුවේ ලැයිස්තුව යොදාගන්න. සමහරවිට සෑම රටකම යම් ආරක්ෂිත උපකරණ නොතිබිය හැකියි; එහෙමත් නැත්නම් ඒවා සාධාරණ මිලකට ලබාගත නොහැකි විය හැකියි. එහෙත්, ඔබ ටිකක් සිතා බලා ඔබේ මොළේ පාවිච්චි කළොත්, යම් යම් තත්වයන්ට මුහුණ දෙන විට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් සොයාගන්න පුළුවන්.
උදාහරණයකට, ඔබේ මුළුතැන්ගෙයි, වළලු හැඩයේ මිටවල් තිබෙන ලාච්චු පෙළක් තිබෙනවා නම්, වළලු අතරින් පොල්ලක් යවා ඒවා හිර කර තබන්න ඔබට පුළුවන්. එවැනිම ක්‍රමයකින් උදුනේ දොරත් හිර කර තැබිය හැකියි. ප්ලාස්ටික් බෑග් එකින් එකට ගැටයක් දමා තබනවා නම් ඒවායෙන් ඇති වන හානි බොහෝ සෙයින් අඩු වෙයි.
නිවසේදී හා නිවස අවට අනතුරු වළක්වාගැනීමට තිබෙන වෙනත් සරල ක්‍රම ගැන සමහරවිට කල්පනා කර බැලීමටත්, එමෙන්ම කුඩා දරුවන් සිටින මිත්‍රයන් හා හඳුනන අයට ඒවා පැවසීමටත් ඔබට හැකියි.
එළිමහනේදී
ඔබේ දරුවා සෙල්ලම් කරන ස්ථාන පරීක්ෂා කර බලන්න. අවුරුදු හතරට වඩා වැඩි දරුවන්ට වැඩිහරියක් අනතුරු සිදු වන්නේ ඔවුන් එළිමහනේ සෙල්ලම් කරන විටයි. ඔවුන් වැටෙනවා, තුවාල කරගන්නවා, එහෙමත් නැත්නම් සමහරවිට ඔවුන්ගේ බයිසිකල්වලින් වැටෙනවා. වයස තුන හා හත අතර දරුවන්ට සාමාන්‍යයෙන් එළිමහනේදී සිදු වන වඩාත් දරුණුතම අනතුරු වන්නේ වාහනවලට හැප්පීම හා ජලයේ ගිලීමයි.
ඔබ සෙල්ලම් පිට්ටනි පරීක්ෂා කර බලන විට, සෙල්ලම් කිරීමට යොදාගන්නා දේවල් ඔබේ දරුවාට හානියක් නොවන සේ හොඳ තත්වයක තිබෙනවාද කියා සෝදිසි කර බලන්න. ඔන්චිල්ලාවලට, එල්ලී පැද්දීමට හැකි වන සේ සිටුවා ඇති යකඩ පොලු සහිත රාමුවලට හා වෙනත් ඒ හා සමාන දේවලට යටින් දමා තිබෙන්නේ වැලි වැනි මෘදු ද්‍රව්‍යද? එවිට දරුවා වැටුණත් ඔහුට හානියක් සිදු වන්නේ නැහැ.
ඔබේ නිවස අසල දිය කඩිති හෝ ගලා යන දිය පහරවල් තිබෙනවාද? සෙන්ටිමීටර් කීපයක වතුර මට්ටමක පවා අවුරුද්දක හෝ දෙකක දරුවෙකුව ගිලෙන්න පුළුවන්. “පුංචි දරුවෙක්ව දිය කඩිත්තක මුණින් අතට වැටුණොත්, තමන් ඉන්නේ මොන අතට හැරිලද කියන අවබෝධය ඔහුට නැතුව යනවා” කියා බාක්ස්ට්රෝම් නම් ළමා මනෝ වෛද්‍යවරිය පැවසුවා. “දරුවාට ආපහු නැඟිටගන්න බැරුව යනවා.”
එබැවින්, මූලික ප්‍රතිපත්තිය වන්නේ මෙයයි: අවුරුද්දත්, අවුරුදු තුනත් අතර දරුවෙකුට වැඩිහිටි අධීක්ෂණයකින් තොරව තනිවම එළිමහනේ සෙල්ලම් කිරීමට කිසිදාක ඉඩ නොහරින්න. අහල පහළ එලෙස වතුර තිබෙන තැන් තිබෙනවා නම්, අධීක්ෂණයකින් තොරව එළිමහනේ සෙල්ලම් කිරීමට හැකි වයසකට දරුවා පැමිණෙන තුරු එවැනි තැන්වල ගැවසෙන්න ඉඩ දෙන්න එපා.
වාහන එහා මෙහා යන විට
ඔබේ නිවස අවට වාහන ගමන් කරනවා නම් ඉහත කාරණයම අදාළ කරගන්න. “පෙර පාසැල් දරුවෙකුට වටහාගත හැක්කේ පැහැදිලි නිශ්චිත සංඥා පමණක් නිසා ඔහුට එක අවස්ථාවකදී අවධානය යොමු කළ හැක්කේ එක් දෙයකට පමණයි. හැබැයි, එහා මෙහා යන වාහනවලින් දෙන්නේ ව්‍යාකූල කරවන අපැහැදිලි පින්තූරයක්” යයි බාක්ස්ට්රෝම් පවසනවා. ඔබේ දරුවා පාසැල් යන වයසට පත් වෙන්න පෙර ඔහුට තනිවම පාර පනින්න ඉඩ දෙන්න එපා. දරුවන් අඩුම තරමින් අවුරුදු 12 වන තෙක්වත් වාහන තදබදය තිබෙන පාරවල තනිවම බයිසිකලය පැදීමට තරම් මේරු නැති බව ප්‍රවීණයන් පවසනවා.
බයිසිකල් පදින විට, සතෙකුගේ පිට උඩ යන විට, රෝද සහිත ලෑලි මත හෝ හිමයානවල යන විට ආරක්ෂිත තොප්පියක් පැළඳීමට ඔබේ දරුවාට උගන්වන්න. හිසට සිදු වන අනතුරුවලට ප්‍රතිකාර කිරීමට අපහසු වන අතර ඉන් ස්ථිර හානියක් හෝ මාරාන්තික හානියක් පවා සිදු විය හැකියි! බයිසිකලයෙන් සිදු වූ අනතුරුවලින් හිසේ හා මුහුණේ ඇති වූ හානි හේතුවෙන් සියයට 60ක් එක් ළමා සායනයකින් ප්‍රතිකාර ලබාගත් අතර, මොවුන් අතුරින් තොප්පි පැළඳ සිටි අයගේ හිසට එතරම් දරුණු හානි සිදු වී තිබුණේ නැහැ.
එමෙන්ම, ඔබේ දරුවා මෝටර් රථයක ගමන් කරන විට ආරක්ෂා සහිතව සිටින බව සහතික කරගන්න. බොහෝ රටවල, විශේෂ ලෙස සාදා තිබෙන ආරක්ෂිත ආසනවල කුඩා දරුවන්ව ආරක්ෂක පටිවලින් රඳවා තැබීමට නීතියෙන් ඉල්ලා සිටිනවා. මේ හේතුවෙන්, වාහන අනතුරුවලට ලක්වීමෙන් දරුවන්ට වන හානි හා මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් අඩු වී තිබෙනවා. ඔබ ජීවත් වන ප්‍රදේශයේ ආරක්ෂිත ආසන තිබෙනවා නම්, ඒවා පාවිච්චි කිරීම හොඳ ජීවිතාරක්ෂාවක් විය හැකියි. නමුත් එය අනුමත කළ වර්ගයක් බව සහතික කරගන්න. අවුරුදු තුනට වැඩි දරුවන් සඳහා තිබෙන ආසනවලට වඩා බිළින්දන් සඳහා තිබෙන ඒවා වෙනස් බව සලකන්න.
අපේ දරුවන් යෙහෝවාගෙන් ලැබුණු විශේෂ තෑගි වන අතර, අපි හැම ආකාරයකින්ම ඔවුන්ව රැකබලා ගන්න ඕනෙ. (ගීතාවලිය 127:3, 4) යහපත් දෙමාපියන් හැටියට, කාල් එරික් හා බර්ගිටා සැමවිටම තම දරුවන්ව ආරක්ෂා කරගැනීමට සැලකිලිමත් වී තිබෙනවා. හානා සම්බන්ධ කතන්දරයට පෙර හා පසුවත් එසේ කර තිබෙනවා. “නමුත් ඇත්තෙන්ම ඒ සිද්ධියෙන් පස්සේ අපි ඊටත් වඩා පරෙස්සම් වුණා” කියා කාල් එරික් පවසනවා. “අපිට දැන් මුනුපුරු මිනිපිරියන් ඉන්නවා; අපි හැම තිස්සෙම අපේ බේත් ඔවුන්ට ගන්න බැරි තැනක තියලා තියෙනවා” කියා බර්ගිටා කතාව අවසන් කරයි.
[22වන පිටුවේ කොටුව]
ඔබේ නිවස තුළ ආරක්ෂාව
• බෙහෙත්: දරුවාට ගැනීමට නොහැකි වන සේ අගුලුලා ඇති කබඩ් එකක ඒවා තබන්න. වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ගෙනා මෙන්ම බෙහෙත් පැලෑටිවලින් සැකසූ බෙහෙත් හෝ විටමින් වර්ග සම්බන්ධයෙන්ද එයම අදාළ වෙයි. එමෙන්ම, නවතින්න එන අමුත්තන්ටත් ඔවුන්ගේ බෙහෙත් සුරක්ෂිතව තබාගන්න කියා ඉල්ලා සිටින්න.
• නිවසේ තිබෙන රසායන ද්‍රව්‍යයන්: දරුවන්ට ගන්න බැරි වෙන විදිහට අගුලු දමා තැබිය හැකි කබඩ් එකක ඒවා අසුරා තබන්න. පැහැදිලිව හඳුනාගත හැකි වන සේ ඒවාට නියමිත භාජනවලම ඒවා තබන්න. ඔබ පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි අවධානයක් දෙන්න. ඔබ කාමරයෙන් පිටතට යන්නේ සුළු වෙලාවකට පමණක් වුවත් සැමවිටම ඒවා නියමිත ස්ථානවලම තබා යන්න. පවිත්රකාරකවල මණ්ඩි, පිඟන් කෝප්ප සෝදන යන්ත්‍රයේ කිසිවිටකත් තබා නොයන්න.
• උදුන: සාස්පාන්වල මිටවල් සැමවිටම ලිපේ ඇතුල් පැත්තට වෙන්න තබන්න. තිබෙනවා නම් සාස්පාන් ආවරණයක් සවි කරන්න. විවෘත කර ඇති උදුනේ දොරට හදිසියේවත් දරුවා නැග්ගොත් උදුන පෙරළිය හැකි බැවින් එය යමක සවි කර තබන්න. උදුනේ දොරටත් අගුලු දැමිය හැකි යමක් සවි කළ යුතුයි. උදුනේ දොර ඇල්ලීමෙන් දරුවා තමාව පුලුස්සාගත හැකිද? දරුවාට රත් වූ දොර ඇල්ලිය නොහැකි වන සේ ආරක්ෂක ගරාදි වැටක් සවි කරන්න.
• නිවසේ අනතුරුදායක මෙවලම්: පිහි, කතුරු හා අනතුරුදායක උපකරණ, අගුල් තිබෙන කබඩ්වල හෝ ලාච්චුවල හෝ දරුවාට ළං විය නොහැකි තැනක හෝ අහුරා තැබිය යුතුයි. ඔබ එවැනි උපකරණ භාවිතා කරන විට හා තාවකාලිකව ඒවා පැත්තකින් තබන විට, දරුවාට ළඟා විය හැකි මේසෙ කොනේ හෝ එවැනි මතුපිටක කෙළවරේ නොතබන්න. ගිනිකූරු හා ප්ලාස්ටික් බෑගයනුත් කුඩා දරුවන්ට අනතුරුදායක දේවල් වෙනවා.
• පඩි පෙළ: පඩි පෙළේ දෙකෙළවරේ සෙන්ටිමීටර් 70-5ක තරම්වත් උස බාධකයක් සවි කරන්න.
• ජනේල හා සඳලුතලයේ දොරවල්: ඒවා දරුවන්ට ඇරිය නොහැකි වන සේ ඉහළින් කොකු හෝ ගාංචු දමා තබන්න. එහෙමත් නැත්නම් කාමරයට වාතාශ්‍රය ලැබීම සඳහා ඒවා ඇර තබන විට ඔවුන්ට ඒවායින් රිංගා එළියට යෑමට නොහැකි වන සේ යම් ආරක්ෂිත උපක්‍රමයක් යොදන්න.
• පොත් රාක්ක: යම් දේවල් උඩට නඟින්න හෝ ඒවාවල එල්ලෙන්න දරුවා කැමැත්තක් දක්වනවා නම්, පොත් රාක්ක හා වෙනත් උස ගෘහ භාණ්ඩ නොවැටෙන සේ බිත්තියට සවි කරන්න.
• පේනු සවි කරන තැන් හා විදුලි රැහැන්: භාවිතයට නොගන්නා පේනු සවි කරන තැන් අගුලුලා තැබිය යුතුයි. මේස ලාම්පුවල රැහැන් හා එවැනි දේවල් බිත්තියට හෝ ගෘහ භාණ්ඩයට සම්බන්ධ කර තැබිය යුතුයි; එවිට දරුවාට ලාම්පුව බිමට ඇද දමා එයින් තුවාල කරගැනීමට නොහැකියි. එසේ නැතහොත්, එවැනි ලාම්පු ඉවත් කර තබන්න. විදුලි ඉස්ත්‍රික්කය රෙදි මදින ලෑල්ල මත තබන්නවත්, එහි වයරය එල්ලෙන සේ තබන්නවත් එපා.
• උණු වතුර: ඔබේ උණු වතුරවල උෂ්ණත්වය වෙනස් කිරීමට ඔබට හැකි නම්, ඔබ එය ෆැරන්හයිට් අංශක 120කට පමණ අඩු කළ යුතුයි. එවිට දරුවා කරාමය ඇරිය විට තමාව උතුරන වතුරෙන් පුලුස්සාගන්නේ නැහැ.
• සෙල්ලම් බඩු: තියුණු කොන් හා කෙළවරවල් තිබෙන සෙල්ලම් බඩු ඉවත දමන්න. කුඩා සෙල්ලම් බඩු හෝ පුංචි කෑලිවලට ගැළවිය හැකි සෙල්ලම් බඩු විසි කර දමන්න; ඒවා කටේ දමාගත්තොත් දරුවාගේ හුස්ම හිර විය හැකියි. දරුවාගේ සෙල්ලම් වලසුන්ගේ ඇස් හා හොම්බ හොඳින් සවි වී තිබිය යුතුයි. බිළිඳා බිම සිටින විට වැඩිමල් සහෝදර සහෝදරියන්ට තම කුඩා සෙල්ලම් බඩු ඉවත් කර තබන්න උගන්වන්න.
• රසකැවිලි: රටකජු වැනි ඇට වර්ග සහිත රසකැවිලි ගැනීමට පහසුවෙන් හැකි තැනක නොතබන්න. ඒවා දරුවෙකුගේ උගුරේ සිර විය හැකියි.
[හිමිකම් විස්තර]
මූලාශ්‍රය: දරුවන් පිළිබඳව සොයා බැලීමට පත් කර තිබෙන කාර්යාලය
[22වන පිටුවේ කොටුව]
අනතුරක් සිදු වුණොත්
• වසක් විසක් කැවීම: දරුවා යම් විෂ ද්‍රවයක් පානය කර ඇත්නම්, ඔහුගේ මුඛය හොඳින් සෝදා, වතුර හෝ කිරි වීදුරු එකක් හෝ දෙකක් බොන්න දෙන්න. ඉන්පසු, වෛද්‍යවරයෙකුව හෝ විෂ සම්බන්ධයෙන් තොරතුරු සපයන මධ්‍යස්ථානයක් අමතා උපදෙස් ලබාගන්න. දරුවාගේ ඇහැට යම් මළකඩ ද්‍රව්‍යයක් ගොස් තිබේ නම්, විගස අඩුම තරමින් විනාඩි දහයක්වත් සෑහෙන වතුර ප්‍රමාණයකින් සෝදා හරින්න.
• පිලිස්සීම්: සුළු පිලිස්සීම්වලදී අඩු තරමින් විනාඩි 20වත් තුවාලය මතට වතුර (ශීත වතුර නොවෙයි) දමන්න. සිදු වී තිබෙන තුවාලය දරුවාගේ අල්ලට වඩා ලොකු නම් හෝ මුහුණේ, සන්ධියක එහෙමත් නැත්නම් උදරයේ පහළ කොටසේ හෝ ලිංගේන්ද්රියන්වල වේ නම්, ඔබ විගස දරුවාව හදිසි ප්‍රතිකාර අංශයකට ගෙන යා යුතුයි. ගැඹුරු තුවාලවලට සැමවිටම වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කළ යුතුයි.
• උගුරේ සිරවීම: දරුවාගේ ස්වාස නාලයෙහි යමක් සිර වී ඇත්නම්, ඔබ විගස එම ද්‍රව්‍ය පිටතට ගැනීම ඉතාම වැදගත්. දරුවාගේ ඉහළ උදරයට හදිසි පීඩනයක් යෙදීමෙන් සිර වූ දෙය පිටතට දැමීමට සැලැස්වීම ඔබට යොදාගත හැකි එක් ඵලදායී ක්‍රමයක්. මේ සම්බන්ධයෙන් ඔබට පළපුරුද්දක් නැත්නම්, මේ ක්‍රමය ගැන වැඩි විස්තර ලබාගැනීමට ඔබේ වෛද්‍යවරයාව මුණ ගැසෙන්න, එහෙමත් නැත්නම් මේ ක්‍රමය උගන්වන ළමා අනතුරු හෝ ප්‍රථමාධාර පිළිබඳව පාඨ මාලාවක් හදාරන්න.
[හිමිකම් විස්තර]
මූලාශ්‍රය: ස්වීඩන් රතු කුරුස හමුදාව
[23වන පිටුවේ පින්තූරය]
ආරක්ෂිත තොප්පි පැළ
[23වන පිටුවේ පින්තූරය]
මෝටර් රථ ආසනයේ ආරක්ෂා සහිතව