‘ප්‍රබලතම විපර්යාසයන්’
“මිනිස් ඉතිහාසයේ වෙන කිසිම සියවසකට වඩා 20වන සියවසෙහි ප්‍රබලතම මෙන්ම පුළුල් බලපෑමක් සහිත විපර්යාසයන් සිදු වී තිබෙනවා.”—විසිවන සියවස පිළිබඳ ටයිම්ස් සිතියම් පොත.
විසිවන සියවස දෙස ආපසු හැරී බලද්දී, ටයිම් සඟරාවේ කළමනාකාර කර්තෘ වෝල්ටර් අයිසක්සන් පැවසූ මෙම වදන් සමඟ බොහෝදෙනෙක් එකඟ වෙනවාට කිසි සැකයක් නැහැ: “සියවස් කෙමෙන් කෙමෙන් ගෙවී ගොස් ඉතිහාසයට එකතු වෙද්දී මෙම සියවස වඩාත්ම විස්මයජනක, ප්‍රබෝධජනක, ඇතැම් අවස්ථාවලදී තැතිගන්වනසුලු, ඒ වගේම සිත් ඇදගන්නාසුලු එක කියා අවිවාදයෙන්ම පැවසිය හැකියි.”
“මිනිසාගේ සදාචාරය මහත් ආගාධයකට ඇද දමා තිබෙන . . . අන්තයටම ගොස් තිබෙන සියවසක්” ලෙස මෙම සියවස හැඳින්විය හැකි බව පවසමින් නෝර්වේහි හිටපු අගමැතිනිය වූ ගෲ හාලම් බෘවන්ලන්ට් ඒ හා සමාන අදහස් දක්වනවා. එය “මහත් ප්‍රගතියක සියවසක් [වන අතර, සමහර ප්‍රදේශවල] පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික වර්ධනයක්” සිදු වී තිබෙන සියවසක් කියා ඈ පවසනවා. මේ අතර, දුප්පත් නාගරික ප්‍රදේශවලට තිබෙන්නේ අඳුරු අනාගතයක්. “දුගීකම සහ අහිතකර පරිසරයක් හේතුවෙන් අධිජනගහනය සහ රෝග පුළුල්ව පැතිරීම අපේක්ෂා කළ හැකියි.”
දේශපාලනික කැලඹිලි
විසිවන සියවස ආරම්භයේදී ලෝකයෙන් වැඩි හරියක් පාලනය වුණේ චීනයේ මන්චු රාජවංශය, ඔටමන් අධිරාජ්‍යය හා යුරෝපයේ අධිරාජ්‍යයන් කිහිපයක් මගිනුයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලෝකයෙන් හතරෙන් එකක් තම අණසකට යටත් කරගෙන පොළොව මත විසූ සෑම හතරදෙනෙකුගෙන් එක් අයෙකුව තම පාලනය යටතේ තබාගෙන සිටියා. මෙම සියවස අවසන් වීමට බොහෝ කලකට කලින් මෙම අධිරාජ්‍යයන් සියල්ලක්ම ඉතිහාස පොත්වලින් මැකී ගොස් තිබුණා. “වර්ෂ 1945දී අධිරාජ්‍යවාදී යුගය නිමා වුණා” කියා විසිවන සියවස පිළිබඳ ටයිම්ස් සිතියම් පොතෙහි පැවසෙනවා.
අධිරාජ්‍යවාදය පහවීමත් සමඟ ජාතිවාදයේ රැල්ල හමා යන්න පටන්ගත්තා; මෙය මුලින්ම 17වන හා 19වන සියවස් අතරතුර යුරෝපය හරහාද පසුව ලෝකයේ වෙනත් රටවල් හරහාද හමා ගියා. නව බ්‍රිටැනිකා විශ්වකෝෂයෙහි (ඉංග්‍රීසියෙන්) මෙසේ පැවසෙනවා: “පළමු ලෝක මහා යුද්ධයෙන් පසු යුරෝපීය රටවල් බොහොමයක ජාතිවාදයේ උණුසුම නිවී ගියා . . . කෙසේවෙතත්, අධිරාජ්‍යවාදයට එරෙහිව නැඟී සිටීමක් හැටියට ආසියාවේ හා අප්‍රිකාවේ ජාතිවාදය උත්සන්න වුණා.” ලෝක ඉතිහාසය පිළිබඳ කොලින්ස් සිතියම් පොතෙහි (ඉංග්‍රීසියෙන්) සඳහන් ආකාරයට අවසානයේදී, “තුන්වන ලෝකයේ රටවල් ලෝක දර්ශන තලයෙහි පෙනී සිටින්න පටන්ගත් අතර, යුරෝපීය රටවල් තම බලය පුළුල් කරගැනීමත් සමඟ සියවස් පහකට පෙර ඇරඹුණු යුගය නිම වුණා.”
අධිරාජ්‍යයන් කැඩී බිඳී යද්දී, ස්වාධීන ජාතීන් බිහි වූ අතර, එම ජාතීන්ගෙන් වැඩි ගණනක ක්‍රියාත්මක වුණේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුය. බොහෝ අවස්ථාවලදී, දෙවන ලෝක මහා යුද්ධයේදී යුරෝපයේ හා ආසියාවේ පැවති බලසම්පන්න ඒකාධිපති ආණ්ඩු මගින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනවලට ප්‍රබල තර්ජනයක් එල්ල වුණා. මෙම ඒකාධිපති ආණ්ඩු මගින් පෞද්ගලික නිදහස සීමා කළ අතර, ආර්ථිකය, මාධ්‍යය හා සන්නද්ධ හමුදා කෙරෙහි දැඩි පාලනයක් ගෙන ගියා. මුළු ලෝකයම තම අණසක යටතට ගැනීම සඳහා ඔවුන් ගත් ප්‍රයත්නයක් අවසානයේදී නතර කරනු ලැබුවේ, අතිවිශාල මුදල් කන්දරාවක් හා මිනිස් ජීවිත ගණනාවක් විනාශ වීමෙන් පසුවයි.
යුද්ධයෙන් නැහැවුණු සියවසක්
විසිවන සියවස ඊට පෙර පැවති සියවස්වලට වඩා කැපීපෙනෙන එකක් බවට පත් කරන්නේ යුද්ධයයි. පළමු ලෝක මහා යුද්ධය ගැන ජර්මානු ජාතික ඉතිහාසඥ ග්විඩො නොප් මෙසේ ලියනවා: “යුරෝපීයයන්ට දිගු කාලීන සාමකාමී කාලපරිච්ඡේදයක බලාපොරොත්තු ඇති කළ 19වන සියවස, 1914 අගෝස්තු 14වනදායින් නිමාවට පත් වූවා කියා කිසිවෙකු සිතුවේ නැහැ; විසිවන සියවස ආරම්භ වී තිබුණේ ඒ මොහොතේදී බව කාගේවත් අවධානයට ලක් වුණේ නැහැ. එදා පටන් දශක තුනක් පුරා පැවති යුද්ධයක් හා මිනිසුන් සෙසු මිනිසුන්ට කළ හැකි දේවල් විදහාපෙන්වන කාලයක් ඇරඹුණා.”
“යුද්ධය එක්සත් ජනපදය කෙරෙහි ඇති කළ බලපෑම අතිප්‍රබලයි, තැතිගන්වනසුලුයි; එමෙන්ම එය අද [1998දී] වුණත් තේරෙනවා” කියා ඉතිහාසය පිළිබඳ මහාචාර්ය හියූ බ්‍රොගන් අපට සිහිපත් කළා. හාවඩ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය අකිරා ඉරියි මෙසේ ලිව්වා: “පළමු ලෝක මහා යුද්ධය නැඟෙනහිර ආසියාවේ හා එක්සත් ජනපදයේ ඉතිහාසය බොහෝ ආකාරවලින් වෙනස් කළ සන්ධිස්ථානයක් වුණා.”
නව බ්‍රිටැනිකා විශ්වකෝෂය පළමු හා දෙවන ලෝක මහා යුද්ධ “20වන සියවසේ භූ දේශපාලනික ඉතිහාසයේ මහත් කඩ ඉම්” ලෙස හැඳින්වීමට හේතුව තේරුම්ගත හැකියි. “පළමු ලෝක මහා යුද්ධය ප්‍රබල අධිරාජ්‍යයන් හතරක වැටීමට හේතු වූ බවත්, . . . රුසියාවේ බෝල්ෂෙවික් විප්ලවයට මඟ පෑදූ බවත්, . . . දෙවන ලෝක මහා යුද්ධය සඳහා පසුබිම එමගින් සකස් කළ බවත්” එය අවධානයට ලක් කරනවා. ලෝක යුද්ධ මගින් “සිදු කළ ඝාතන, අලාභ හානි හා විනාශයන් ඊට පෙර සිදු වූ කිසිවකට සමාන කළ නොහැකි” බව එය තවදුරටත් පවසනවා. ග්විඩො නොප්ද සමාන අදහස් දක්වමින් මෙසේ කියයි: “කෲරකම් හා අමානුෂිකකම් සිතෙන් මවාගත නොහැකි තරම් දරුණුයි. මිනිසුන්ව පුද්ගලයන් හැටියට නොව යුද්ධයට යොදාගන්නා ද්‍රව්‍ය හැටියට සැලකීමේ යුගයක ආරම්භය ජනිත වූයේ . . . අගල්වලදීයි.”
එවන් විනාශකාරි යුද්ධ තවදුරටත් සිදුවීම වැළැක්වීම සඳහා 1919දී ජාතීන්ගේ සංගමය පිහිටුවනු ලැබුවා. ලෝක සාමය ආරක්ෂා කිරීමට වූ එහි අරමුණ ඉටු කිරීමට එය අසමත් වීම නිසා, 1946දී ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවනු ලැබුවා. තුන්වන ලෝක මහා යුද්ධයක් සිදුවීම සාර්ථකව වැළැක්වීමට හැකි වුණත්, දශක ගණනාවක් පුරා න්‍යෂ්ටික සමූලඝාතනයකට මඟ පාදන ශීත යුද්ධය වැළැක්වීමට එජා අසමත් වී තිබෙනවා. බෝල්කන් යුද්ධය වැනි ලෝකය පුරා පවතින කුඩා යුද්ධ වැළැක්වීමටද එය සමත් වී නැහැ.
ලෝකයේ ජාතීන් ගණන වැඩි වෙත්ම, ඔවුන් අතර සාමය පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවද වැඩි වී තිබෙනවා. පළමු ලෝක මහා යුද්ධයට කලින් තිබූ සිතියමක් අද තිබෙන සිතියමක් සමඟ සසඳා බලද්දී පෙනී යන්නේ, මේ සියවස ආරම්භයේදී, අද පවතින අප්‍රිකානු ජාතීන් 51ක් හා ආසියානු ජාතීන් 44ක්, අද පවතින තත්වයෙන් නොතිබුණු බවයි. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 185න් රටවල් 116ක් එය ආරම්භ කළ වර්ෂය වන 1945දී ස්වාධීන රාජ්‍යවල් හැටියට තිබුණේ නැහැ!
“කැපීපෙනෙන සිදුවීම්වලින් එකක්”
දහනවවන සියවස අවසානය කරා ළඟා වෙත්ම, ලෝකයේ භූමියෙන් වැඩි ප්‍රමාණයක පාලන බලය තිබුණේ රුසියානු අධිරාජ්‍යයටයි. නමුත් එයට තිබූ සහයෝගය ඉක්මනින්ම අහිමි වෙන්න පටන්ගත්තා. ලේඛක ජෙෆ්රි පොන්ටන් පවසන ආකාරයට, “ප්‍රතිසංස්කරණයකට වඩා විප්ලවයක් අවශ්‍යයි” කියා වැඩිදෙනෙක් සිතුවා. ඔහු තවදුරටත් මෙසේ පවසනවා: “නමුත් නියම විප්ලවයක් ඇති කිරීම සඳහා විශාල යුද්ධයක්, එනම් පළමු ලෝක මහා යුද්ධය හා එහි ප්‍රතිඵලය වූ මහා අවුල් ජාලාව අවශ්‍ය වුණා.”
ඒ කාලයේදී බෝල්ෂෙවික්වරුන් විසින් රුසියාවේ පාලන බලය අතට ගැනීම නිසා නව අධිරාජ්‍යයක් සඳහා පදනම සකස් වුණා; මෙම නව අධිරාජ්‍යය වූයේ, සෝවියට් සංගමයේ අනුග්‍රහය ලැබූ ලෝක කොමියුනිස්ට්වාදයයි. සමස්ත ලෝක යුද්ධයක් මැද බිහි වුණත්, සෝවියට් අධිරාජ්‍යය අවසන් ගමන් ගියේ වෙඩි වරුසාවක් මැද නොවෙයි. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අවසාන භාගයේදී සෝවියට් සංගමය “ඒ වන විට ගොඩගත නොහැකි ලෙස ගිලෙමින් තිබූ දැවැන්ත බහුජාතික අධිරාජ්‍යයක්ව පැවති” බව මයිකල් ඩොබ්ස් විසින් රචිත බලවතා අපිට එපා යන පොතෙහි (ඉංග්‍රීසියෙන්) සඳහන් වෙනවා.
කෙසේවෙතත්, එහි බිඳවැටීම සිදු වුණේ නොසිතූ වේලාවකයි. නො’මන් ඩේවිස් විසින් සම්පාදනය කරන ලද යුරෝපය—ඉතිහාසයක් යන පොතේ (ඉංග්‍රීසියෙන්) ඔහු මෙසේ අදහස් පළ කරනවා: “එහි බිඳවැටීමේ ශීඝ්‍රතාව යුරෝපීය ඉතිහාසයේ අන් හැම පරිහානියකටම වඩා වේගවත්;” එමෙන්ම “එය සිදු වූයේ ස්වාභාවික හේතු නිසයි.” ඇත්තෙන්ම “සෝවියට් සංගමයේ නැඟී සිටීම, වර්ධනය හා බිඳවැටීම විසිවන සියවසේ සිදු වූ අතිශයින් කැපීපෙනෙන සිදුවීම්වලින් එකක්” බව පොන්ටන් පවසනවා.
කෙසේවෙතත්, සෝවියට් සංගමයේ බිඳවැටීම පුළුල් බලපෑමක් ඇති කළ 20වන සියවසේ සිදු වූ ප්‍රබල වෙනස්කම් රාශියෙන් එකක් පමණයි. දේශපාලනික ක්ෂේත්‍රයේ සිදු වන වෙනස්කම් අලුත් දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒවා සිදු වෙමින් පවතිනවා.
විසිවන සියවසේ ආණ්ඩුවල සිදු වූ එක් වෙනස්කමක් සුවිශේෂ වැදගත්කමකින් යුක්තයි. මේ වෙනස කුමක්ද යන්න ගැනත් එය ඔබට පෞද්ගලිකව බලපාන ආකාරය ගැනත් පසුව සාකච්ඡා කරනවා.
විසිවන සියවසේදී විද්‍යාව අත් පත් කරගත් ජයග්‍රහණ කිහිපයක් ගැන අපි මුලින්ම පරීක්ෂා කර බලමු. මේ ගැන මහාචාර්ය මයිකල් හොවඩ් මෙසේ නිගමනය කරනවා: “මිනිස් ඉතිහාසයේ වඩාත් සන්තෝෂවත් නව යුගයක් සනිටුහන් කරන සියවසක් ලෙස, විසිවන සියවසට ශුභ පැතීමට බටහිර යුරෝපයේ හා උතුරු අමෙරිකාවේ මිනිසුන්ට හොඳ හේතු තිබෙනවා.” මෙම වර්ධනයන් සුන්දර ජීවිතයකට මඟ සලසයිද?
[2-7වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]
(For fully formatted text, see publication)
1901
වසර 64ක් පාලනය කිරීමෙන් පසු වික්ටෝරියා රැජින මියයයි
ලෝක ජනගහනය බිලියන 1.6ක් වෙයි
1914
ෆර්ඩිනැන්ඩ් නායක ආදිපාදවරයාව ඝාතනය කරයි. පළමු ලෝක මහා යුද්ධය පටන්ගනියි
අවසාන අධිරාජ්‍යයා වූ IIවන නික්ලස් ඔහුගේ පවුල සමඟ
1917
ලෙනින් රුසියාව විප්ලවයක් කරා යොමු කරයි
1919
ජාතීන්ගේ සංගමය පිහිටුවයි
1929
එ.ජ. මුදල් වෙළඳ පොළේ බිඳ වැටීමේ ප්‍රතිඵලය මහා ආර්ථික පරිහානියයි
ගාන්ධි ඉන්දියාවේ නිදහස වෙනුවෙන් දියත් කළ සටන දිගටම කරගෙන යයි
1939
ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ IIවන ලෝක මහා යුද්ධය පටන්ගනියි
වර්ෂ 1940දී වින්ස්ටන් චර්චිල් මහා බ්‍රිතාන්‍යයේ අගමැති වෙයි
යුරෝපයේ සමූලඝාතනය
1941
ජපානය පර්ල් වරායට බෝම්බ දමයි
1945
එක්සත් ජනපදය හිරෝෂිමා නාගසාකි නගරවලට බෝම්බ හෙළයි. IIවන ලෝක මහා යුද්ධය අවසන් වෙයි
1946
එක්සත් ජාතීන්ගේ මහා සභාව රැස් වෙයි
1949
මාඕ සේතුං මහජන චීන සමූහාණ්ඩුව බිහි කරයි
1960
නව අප්‍රිකානු ජාතීන් 17ක් බිහි වෙයි
1975
වියට්නාම් යුද්ධය අවසන් වෙයි
1989
කොමියුනිස්ට්වාදයට හිමි තැන නැති වී යද්දී බර්ලින් තාප්පය බිඳ වැටෙයි
1991
සෝවියට් සංගමය කොටස්වලට බෙදෙයි