ජනප්‍රිය උත්සව—අහිංසක විනෝදයක්ද?
ඔක්තෝබර් මස මැද භාගයේදී ප්‍රංශයේ නගරබද ප්‍රදේශ කිහිපයක අසාමාන්‍ය දෙයක් සිදු වෙනවා. කඩ සාප්පු ප්‍රදර්ශන කුටිවල දක්නට ලැබෙන්නේ වට්ටක්කා ගෙඩි, ඇටසැකිලි හා මකුළු දැල් වැනි අමුතුම ජාතියේ සැරසිලි! වෙළඳ සංකීර්ණවල කැෂියර්වරු ඉන්නේ කළු පාට උල් තොප්පි පැළඳගෙනයි. පාරවල්වල හැම තැනම ළමුන්. ඔවුන් මිනිසුන්ගේ දොරවල්වලට තට්ටු කරමින් පැණි රස කෑමවලින් තමන්ට සංග්‍රහ කරන්න කියා ගෙහිමියන්ට වද දෙනවා. තම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළොත් මොනවා හරි කරලා යනවා කියා ඔවුන් තර්ජන කරනවා.
මෙම අපූරු සිරිත් විරිත් හැලොවීන් නමැති උත්සවයට ආවේණික වූ ඒවායි. කලින් හැලොවීන් සැමරුවේ අමෙරිකාවේ විතරයි. ඒත් දැන් නම් එය ලොව පුරාම සිටින බාල මහලු දෙගොල්ලන් අතරම ඉතා ජනප්‍රිය වෙමින් පවතින නිවාඩු දිනයක්. පෙනෙන විදිහට, දැන් ප්‍රංශ ජනයාත් මේ උත්සවය ඉතා ඉහළින් පිළි අරන්. ඉකුත් වසරේදී ප්‍රංශ පවුල්වලින් තුනෙන් එකක්ම මෙම උත්සවය සැමරූ බව එක් ගණනය කිරීමකින් හෙළි වුණා. දිනපතා නිකුත් කරන ලා රිපබ්ලිකා නමැති පුවත්පතට අනුව, මේ අලුත් ප්‍රවණතාව “සුළි සුළඟක් බඳු වේගයකින්” ඉතාලි අර්ධද්වීපය පුරාත් පැතිර යනවා. නෝර්ට්ක්යූර පුවත්පතේ සඳහන් වන්නේ මෙලෙසයි. “මේ උත්සවයට ආවේණික වූ ලොමු දැහැගන්වන විනෝදාංශවලට දැඩි ලොල්කමක් දක්වන [ජර්මන්] පුරවැසියන්ගේ සංඛ්‍යාව දැන් එන්න එන්නම වැඩි වෙමින් තිබේ.”
හැලොවීන්හි වශී කරවනසුලු බලයට හසු වී තිබෙන්නේ යුරෝපය විතරක් නෙවෙයි. බහමාස් දූපත්, හොංකොං වැනි රටවල වෙසෙන ජනයා පවා එය ඉතා උද්යෝගයකින් සමරනවා. එක් සඟරාවක (International Herald Tribune) වාර්තා කර තිබුණ පරිදි, ඉකුත් වසරේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගුවන් විදුලි සේවාවක් ඔස්සේ “හැලොවීන් නිමිත්තෙන් වඩාත්ම අප්‍රිය කරවන කෑම වට්ටෝරුව පිළියෙළ කිරීමේ හා වඩාත්ම බියගන්වන ලෙස මර ළතෝනි දීමේ” තරඟයක් පවත්වනු ලැබුවා. ජපානයේ ටෝකියෝ නුවරේ වෙසෙන දහස්ගණන් දෙනෙක් හැලොවීන් සමරන්නේ ‘වට්ටක්කා පෙරහැරවලට’ සහභාගි වෙමින්!
හැලොවීන් ජනප්‍රිය නැති රටවල පවා ඒ හා සමාන උත්සව හා සැමරීම් ගණනාවක් මහජනයාගේ සිත්ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඉතා ප්‍රසිද්ධ ගයි ෆෝක්ස් රාත්‍රිය මෙයට උදාහරණයක්. එහිදී කුඩා ළමුන් කල්ලි ගැසී වීථි පුරා ඇවිදිමින් සල්ලි හිඟා කනවා. හැලොවීන්වලදී කරන්නාක් මෙන් මොවුන්ද පුංචි චණ්ඩිකම් කරනවා. තායිවානයේ වෛවර්ණ පහන් කූඩු උත්සවයේදී ළමුන් පාරේ සක්මන් කරන්නේ සත්ව හා කුරුළු හැඩැති පහන් කූඩු රැගෙනයි. මෙක්සිකෝවේ මළවුන්ගේ දවස (Día de los Muertos) දැන් එක්සත් ජනපදයේත් සමරනවා. මෙක්සිකානු මූලාරම්භයක් ඇති අමෙරිකානුවන් තවමත් “තම මිය ගිය ඥාතීන්ට ගරුබුහුමන් දැක්වීම සඳහා ලීවලින් තැනූ හිස්කබලක් වැනි වෙස් මුහුණක් (කලාකාස්) දමාගෙන නටනවා” කියා එක් ලේඛකයෙක් පැවසුවා.
උත්සවශ්‍රීයෙන් පවත්වන මෙවැනි සිරිත් විරිත් බොහෝදෙනෙක් සලකන්නේ හානිකර නොවන විනෝදයක් ලෙසයි. ඔවුන් සිතන්නේ එය බාල මහලු දෙගොල්ලන්ටම විශේෂ ඇඳුම්වලින් සැරසී එක සේ විනෝද වීමට ලැබෙන කදිම අවස්ථාවක් කියායි. හැලොවීන් උත්සවය දෙස සැහැල්ලුවෙන් බලන අය එහි මිථ්‍යා දෘෂ්ටික මූලාරම්භය නොසලකා හැර තිබෙනවා. තායිවානයේ පහන් කූඩු උත්සවය නිදසුනකට ගන්න. එය පටන්ගත්තේ ආකාශයේ සැරිසරනවායයි විශ්වාස කළ ආත්ම දැකගැනීමට මිනිස්සු පහන් පත්තු කරන්න පටන්ගත් විටයි. ඒ වගේම මළවුන්ට ගරුබුහුමන් දැක්වීම සඳහා ඇස්ටෙක්වරුන් කළ වත්පිළිවෙත්වලිනුයි මෙක්සිකෝවේ මළවුන්ගේ දිනය ආරම්භ වී තිබෙන්නේ.
මෙවැනි උත්සවවල මූලාරම්භය එතරම් ගණනකට ගත යුතු නැහැයි කියා ඇතමෙක් තර්ක කළ හැකියි. ඒත් ‘මිථ්‍යා දෘෂ්ටික මූලාරම්භයක් තිබෙන උත්සවවල හානියක් නැහැයි කියා සිතිය හැකිද?’ මෙම උත්සවවලට උල්පන්දම් දෙන ව්‍යාපාරිකයන්ට නම් මෙය ප්‍රශ්නයක් නෙවෙයි. හැලොවීන් “වාණිජ්‍යමය වාසිය තකා මිනිසුන්ට හඳුන්වා දුන් උත්සවයක්” කියා ස්පාඤ්ඤයේ බාර්සිලෝනාවේ සංස්කෘතික ආයතනයේ නියෝජිතයෙක් ප්‍රකාශ කළා. ඉකුත් වසරේ එක්සත් ජනපදයේ විතරක් හැලොවීන්වලින් උපයාගත් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් පමණ වූ බව ගණනය කිරීම්වලින් හෙළි වුණා. ඒ වගේම ප්‍රංශයේ හැලොවීන් වෙනුවෙන් විශේෂ ඇඳුම් නිපදවන ආයතනයක ආදායම වසර තුනක් ඇතුළත තුන්ගුණයකටත් වඩා ඉහළ නැග්ගා!
මෙවැනි උත්සව ජනප්‍රිය හා ලාභදායී වන නිසාම ඔබ ඒවාට හවුල් විය යුතුද? මීට පිළිතුරක් වශයෙන්, හැලොවීන් උත්සවය දෙස වඩාත් සමීප බැල්මක් හෙළන ඊළඟ ලිපිය කියවා බලන්න.
[15වන පිටුවේ පින්තූරය]
මෙක්සිකෝවේ මළවුන්ගේ දිනය සැමරීමේදී යොදාගන්නා සීනිවලින් තැනූ හිස්කබල්
[හිමිකම් විස්තර]
SuperStock, Inc.
[16වන පිටුවේ පින්තූරය]
බ්‍රිතාන්‍යයේ ගයි ෆෝක්ස් රාත්රියේදී පත්තු කරන විශාල ගිනි ගොඩවල්
[හිමිකම් විස්තර]
© Hulton Getty Archive/gettyimages