ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g01 10/8 26-27 පි.
  • දෙවි කොතරම් දුරට ඉවසයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි කොතරම් දුරට ඉවසයිද?
  • 2001 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවි ඉවසන්නේ ඇයි?
  • දයානුකම්පිත හා ඉවසීමේ දෙවි
  • දෙවිගේ ඉවසීමේ සීමාව
  • දෙවිගේ ඉවසීමෙන් දැන් ප්‍රයෝජන ලබන්න
  • ඕනම දෙයක් ඉවසීම
    2015 පිබිදෙව්!
  • විවිධත්වයට ගරු කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • ඉවසුම්ගතිය එක් අන්තයක සිට අනිත් අන්තයට
    1997 පිබිදෙව්!
  • ඇත්තටම ඔබ ඉවසිලිවන්ත කෙනෙක්ද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 පිබිදෙව්!
g01 10/8 26-27 පි.

බයිබලයේ දෘෂ්ටිකෝණය

දෙවි කොතරම් දුරට ඉවසයිද?

“[දෙවි] තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශකරන්ටත් කැමතිව, විනාශයට සූදානම්කරනලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් [ඉවසුවේය].”—රෝම 9:22.

ඈත අතීතයේ සිට දෙවි බොහෝ දුෂ්ට ක්‍රියා හා නපුරු දේ ඉවසා තිබෙනවා. අවුරුදු 3000කට පමණ පෙර යෝබ් මෙලෙස වැලපුණා. “දුෂ්ටයන් ජීවත්වෙන්නෙත් වෘද්ධ වයසට පැමිණ බලවත්වන්නෙත් මක්නිසාද? ඔවුන් ඉදිරියෙහි ඔවුන්ගේ වංශයද ඔවුන්ගේ ඇස් හමුයෙහි ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ පිහිටෙන්නෝය. ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, [දෙවිගේ] ඉපලද ඔවුන් පිට නැත.” (යෝබ් 21:7-9) අනාගතවක්තෘ යෙරෙමියා වැනි යුක්තියට ප්‍රේම කරන අය දෙවි නපුරු මනුෂ්‍යයන් කෙරෙහි දක්වන ඉවසීම සංවේගයෙන් බලා සිටියා.—යෙරෙමියා 12:1, 2.

ඔබ සිතන්නේ කුමක්ද? දෙවි දුෂ්ටකමට ඉඩහැර තිබීම ඔබට ප්‍රහේලිකාවක්ද? දෙවි දුෂ්ටයන්ව විනාශ කිරීමට ඉක්මන් පියවරක් ගත යුතුයි කියා ඔබ සිතනවාද? දෙවිගේ ඉවසීමේ සීමාව හා එයට හේතුව පිළිබඳව බයිබලය පවසා ඇති දේ සැලකිල්ලට ගැනීම වටී.

දෙවි ඉවසන්නේ ඇයි?

මේ විශ්වයේ උසස්ම ධර්මිෂ්ඨ ප්‍රමිති ඇති දෙවි නපුරේ සේයාවක්වත් පවතින්න ඉඩහැර තිබෙන්නේ මන්ද කියා අප සොයා බැලිය යුතුයි. (ද්විතීය කථාව 32:4; හබක්කුක් 1:13) මෙයින් අදහස් වන්නේ ඔහු නපුර ගණන් ගන්නේ නැති බවද? කිසි සේත් නැහැ. පහත උදාහරණය ගැන සිතන්න. රෝගීන්ව අධික වේදනාවට පත් කරන මූලික සනීපාරක්ෂක ප්‍රතිපත්ති පවා සැලකිල්ලට නොගන්නා ශල්‍ය වෛද්‍යවරයෙක් ගැන සිතන්න. එවැනි වෛද්‍යවරයෙකුව රෝහලෙන් ඉවත් කරන්න ඉක්මන් පියවර ගන්නේ නැද්ද? අනිත් අතට වැළැක්විය නොහැකි හදිසි තත්වයක් යටතේ එවැනි වෛද්‍යවරයෙකුගේ සේවාව වුවත් අත්‍යවශ්‍යයි. එනම් යුධ බිමේදී වැනි අසීරු අවස්ථාවකදී ඔහු භාවිතා කරන උපකරණ කොතරම් තත්වයෙන් බාල වුවත් ඔහුගේ සේවාව අවශ්‍ය නිසා විඳදරාගැනීමට සිදු වෙනවා. මෙවැනි අවස්ථාවලදී සාමාන්‍ය ඉක්මවූ ඉවසීමක් අවශ්‍යයි.

ඒ හා සමානව අද දෙවි කොහෙත්ම අනුමත නොකරන බොහෝ තත්වයන්ට ඉඩහරිමින් ඉවසිලිවන්තව බලා සිටිනවා. ඔහු දුෂ්ටකමට ද්වේෂ කරන නමුත් එය තාවකාලිකව පවතින්න ඉඩහැර තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. එනම් ඒදන් උයනේදී සාතන් යෙහෝවාට විරුද්ධව කැරලිගැසූ අවස්ථාවේදී එල්ල කළ තීරණාත්මක වාද විෂය සම්පූර්ණයෙන්ම නිරාකරණය කිරීමට කාලයට ඉඩ දීම අවශ්‍යයි. මෙම වාද විෂයට පාදක වූ කරුණු දෙක නම්, දෙවිගේ පාලන අයිතිය හා එහි සාධාරණත්වයයි. එමෙන්ම දෙවි අද පවතින නරක තත්වය ඉවසීම තුළින් එහි නියැලී සිටින්නන්ට මිදීමටද අවස්ථාවක් ලැබෙයි.

දයානුකම්පිත හා ඉවසීමේ දෙවි

අපේ ආදි මව්පියන් වන ආදම් සහ ඒව සාතන් හා එක්ව දෙවිට විරුද්ධව කැරලිගැසුවා. දෙවිට ඔවුන්ව ඒ අවස්ථාවේදීම විනාශ කිරීමට සෑම අයිතියක්ම තිබුණා. නමුත් දෙවි ඔවුන් කෙරෙහි අපරිමිත කරුණාවෙන්, දයාවෙන් හා ඉවසීමෙන් කටයුතු කළා පමණක් නොව දරුවන් බිහි කිරීමටද ඔවුන්ට ප්‍රේමනීය ලෙස ඉඩහැරියා. කෙසේවෙතත් මේ දරුවන් ඇතුළු මුළු මිනිස් පවුලම පැමිණියේ ආදි මව්පියන්ගෙන් නිසා අප සැවොම බිහි වුණේ පාප සහිතවයි.—රෝම 5:12; 8:20-22.

මනුෂ්‍යයන්ව මේ ඛේදජනක තත්වයෙන් මුදවාගන්න දෙවි අරමුණු කළා. (උත්පත්ති 3:15) ආදම්ගෙන් උරුම වූ අසම්පූර්ණකම අපට බලපාන ආකාරය දෙවි දන්න නිසා මනුෂ්‍යයන් සමඟ ඉමහත් ඉවසීමෙන් හා දයාවෙන් යුතුව කටයුතු කරයි. (ගීතාවලිය 51:5; 103:13) දෙවි “අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණවූ” ‘අතිශයින් කමා වෙන්ට’ සූදානම් වූ කෙනෙකි.—ගීතාවලිය 86:5, 15; යෙසායා 55:6, 7.

දෙවිගේ ඉවසීමේ සීමාව

කෙසේ නමුත්, දිගටම පාපය පැවතීමට ඉඩහැරියොත් එය දෙවි විසින් කරන ඉතාම අසාධාරණ හා ප්‍රේමය විරහිත ක්‍රියාවක් වෙයි. තම දරුවෙක් හිතාමතාම දිගටම යම් වැරැද්දක් කරනවා නම්, ඒ වගේම එයින් පවුලේ අනිත් අයට මහත් වේදනාකාරි තත්වයක් ගෙන දේ නම් කිසිම ප්‍රේමනීය පියෙක් මෙවැනි ක්‍රියාවක් ඉවසන්නේ නැහැ. පාපය කෙරෙහි දෙවි ඉවසීමෙන් කටයුතු කරන විට ප්‍රේමය, ප්‍රඥාව හා යුක්තිය යන ගුණාංග ඔහු අමතක කරන්නේ නැහැ. (නික්මයාම 34:6, 7) දෙවි බොහෝ කල් විඳදරාගෙන සිටින්නේ යම් අරමුණක් සඳහායි. එම අරමුණ ඉෂ්ට වූ විට නපුර කෙරෙහි ඔහුගේ ඉවසීම සම්පූර්ණයෙන්ම නිමා වෙයි.—රෝම 9:22.

“පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට [දෙවි ඉඩහැරියේය].” පාවුල් මෙය හුවා දැක්වුවා. (ක්‍රියා 14:16) තවත් අවස්ථාවක පාවුල් පෙන්නුම් කළේ, අතීතයේ මනුෂ්‍යයන් දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට කීකරු නොවුවත් “මේ නොදන්නාකමේ කාලවල් [දෙවි] නොබලා හැරිය” බවයි. ‘නමුත් දැන් දෙවි සෑම තැන්හිම සිටින සියලු මනුෂ්‍යයන්ට පසුතැවිලි වෙන්ට අණ කරයි.’ මෙයට හේතුව “ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර [තිබීමයි].”—ක්‍රියා 17:30, 31.

දෙවිගේ ඉවසීමෙන් දැන් ප්‍රයෝජන ලබන්න

දෙවිගේ නීති නොසලකා හැරීමෙන් අත් වන විපාකවලින් බේරීමට ඔහුගෙන් සමාව ලබාගත හැකියයි කිසිවෙකු උපකල්පනය නොකළ යුතුයි. (යෝෂුවා 24:19) පුරාණ ඉශ්‍රායෙල් ජනයා සමාව ලබාගත හැකියි කියා සිතූ නිසා ඔවුන් ඔවුන්ගේ වැරදි මාර්ගවලින් හැරුණේ නැහැ. ඔවුන් දෙවිගේ ඉවසීමේ හා විඳදරාගැනීමේ අරමුණ තේරුම්ගත්තෙත් නැහැ. දෙවි ඔවුන්ගේ වැරදි ක්‍රියා දිගටම ඉවසුවේ නැහැ.—යෙසායා 1:16-20.

දෙවිගේ අවසාන විනිශ්චයෙන් බේරීමට කළ යුතු දෑ බයිබලයේ සඳහන් වෙයි. දෙවි ඉදිරියේ තම පව්කාර තත්වය පිළිගෙන අවංකව, ඉතා බලවත්ව පශ්චත්තාප වී එම නපුරු මාර්ගයෙන් සම්පූර්ණයෙන් හැරිය යුතුයි. (ක්‍රියා 3:19-21) එවිට යේසුගේ මිදීමේ පූජාව කරණකොටගෙන යෙහෝවා දෙවි සමාව දානය කරයි. (ක්‍රියා 2:38; එපීස1:6, 7) යථා කාලයේදී දෙවි ආදම්ගෙන් උරුම වූ සියලුම දරුණු පාපවලින් මනුෂ්‍යයන්ව නිදහස් කරයි. ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ පැමිණීමෙන් පසු “විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ” දේවල් කෙරෙහි දෙවි තවත් ඉවසන්නේ නැහැ. (එළිදරව් 21:1-5; රෝම 9:22, නව අනුවාදය) දෙවිගේ ඉමහත් ඒත් සීමාව නොඉක්මවූ ඉවසීමේ ප්‍රතිඵලය කොතරම් ආශ්චර්යයද?

[27වන පිටුවේ පින්තූරය]

දෙවි ආදම් සහ ඒවට දරුවන් බිහි කිරීමට අවසර දුන්නා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න