ඔබ බදු ගෙවිය යුතුද?
“සියල්ලන්ට දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදුද, තීරු බද්ද දිය යුතු තැනැත්තාට තීරු බද්දද දෙන්න. භය විය යුතු තැනැත්තාට භය වෙන්න. ගෞරවය දිය යුතු තැනැත්තාට ගෞරවය දෙන්න.”—රෝම 13:7, NW.
අධික බදු බර පැටවීම හමුවේ, ඉහත සඳහන් අවවාදය පිළිපැදීම අසීරු එකක් සේ පෙනී යා හැකියි. කෙසේවෙතත්, ඒවා ප්‍රේරිත පාවුල්ගේ වචනය. ඒවා වාර්තා වී ඇත්තේ බයිබලයේයි. සමහරවිට ඔබත් බයිබලයට ගෞරව කරන කෙනෙකු විය හැකියි. එහෙත් බොහෝදෙනෙකු මෙසේ කල්පනා කරනවා වෙන්නට පුළුවනි. ‘ක්‍රිස්තියානීන් ඇත්තටම සියලු බදු ගෙවිය යුතුද? බර වැඩියි කියා හෝ අසාධාරණයයි කියා හෝ සමහරෙකුට හැඟෙන බදු පවා ගෙවිය යුතුද?’
යේසුස් සිය ගෝලයන්ට දුන් අවවාදය ගැන සිතන්න. යූදා රටේ වැසියන් රෝම ආණ්ඩුව විසින් පනවනු ලැබූ බදු ගෙවීම නොරිස්සූ බව ඔහු දැන සිටියේය. තත්වය එසේ වුවද, යේසුස් උදක්ම ඉල්ලා සිටියේ, “සීසර්ගේ දේ සීසර්ටද, දෙවිගේ දේ දෙවිටද දෙන්න” කියායි. (මාක් 12:17, NW) මෙහිලා කැපීපෙනෙන දෙයක් නම්, තමාව නොබෝ කලකින් ඝාතනය කරනු ඇති පාලනයටම බදු ගෙවන ලෙසට යේසුස් දුන් අවවාදයයි.
වසර කිහිපයකට පසු, පාවුල් ඉහත උපුටා දක්වා ඇති අවවාදය දුන්නේය. බදු ගෙවන ලෙසයි ඔහු උදක්ම ඉල්ලා සිටියේ. එම බදුවලින් විශාල කොටසක් රෝමයේ හමුදාවන් නඩත්තු කිරීමටද, රෝම අධිරාජ්‍යයන්ගේ දුරාචාරමය සහ සුඛෝපභෝගී ජීවන රටාව පවත්වාගෙන යෑමටද වියදම් කළත්, ඔහුගේ ඉල්ලීම වුණේ බදු ගෙවන්න යන්නය. පාවුල් එතරම් සිත් නොගන්නාවූ ස්ථාවරයක සිටියේ මන්ද?
උසස් බලධාරීහු
පාවුල් පැවසූ වචනවල පසුබිම සැලකිල්ලට ගන්න. රෝම 13:1හි ඔහු ලීවේ මෙයයි. “සෑම කෙනෙකුම උසස් බලධාරීන්ට යටත් වන්න. මන්ද, දෙවිගෙන් මිස වෙන කිසි අධිකාරියක් නැත. දැන් සිටින බලධාරීන්ට හිමි සාපේක්ෂ බලතලවල ඔවුන්ව පිහිටුවා තිබෙන්නේ දෙවි විසිනි.” දේවභයැති පාලකයන් ඊශ්‍රායෙල් ජාතියව පාලනය කළ සමයේදී, එම ජාතිය විසින් මූල්‍යමය වශයෙන් රජයට සහයෝගය දැක්වීම පොදු මෙන්ම ආගමික යුතුකමක් ලෙස සලකනු ලැබිණි. එහෙත්, රූප වන්දනා කරන නොඇදහිලිකාර පාලකයන් යටතේ එවැනි යුතුකමක් ඉටු කිරීමට ක්‍රිස්තියානීන්ට වගකීමක් තිබෙනවාද? එසේය, ඔවුන්ට එම වගකීම තිබිණි! පාවුල්ගේ වචනවලින් පෙන්වූයේ දෙවි මෙම පාලකයන්ට පාලනය කිරීම සඳහා “බලතල” දී ඇති බවය.
සමාජයේ පිළිවෙළ පවත්වාගෙන යෑම සඳහා ආණ්ඩුවලට මහත් කාර්යභාරයක් ඉටු කිරීමට තිබේ. මේ නිසා තමන්ගේ ආත්මික වැඩකටයුතු කරගෙන යෑමට ක්‍රිස්තියානීන්ට අවස්ථාව සැලසේ. (මතෙව් 24:14; හෙබ්‍රෙව් 10:24, 25) මෙසේ, පවතින ආණ්ඩුමය බලතල ගැන පාවුල් පැවසුවේ, “එය ඔබ වෙනුවෙන් කටයුතු කරන දෙවිගේ සේවකයා” යනුවෙනි. (රෝම 13:4, NW) මෙසේ පාවුල් රෝම ආණ්ඩුව සලසා දුන්නාවූ ආරක්ෂාවෙන් ප්‍රයෝජන ගත්තේය. නිදසුනක් වශයෙන්, මැර කණ්ඩායමක ගොදුරක් බවට පත් වෙන්නට ගිය විට, ඔහුව මුදවාගනු ලැබුවේ රෝම හේවායන් විසිනි. පසුව, මිෂනාරිවරයෙකු හැටියට දිගටම සේවය කිරීමේ අටියෙන් ඔහු රෝම අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.—ක්‍රියා 22:22-29; 25:11, 12.
එම නිසා, පාවුල් බදු ගෙවීම සඳහා හේතු තුනක් ඉදිරිපත් කළේය. පළමුව, ඔහු කතා කළේ නීති උල්ලංගනය කිරීම නිසා දඬුවම් ලැබීමේදී ආණ්ඩුවේ ‘උදහසට’ ලක්වීමට සිදුවීම ගැනයි. දෙවනුව, යම් පුද්ගලයෙක් බදු ගෙවීමේදී වංචා කළහොත් දෙවිට කීකරු වීමට හැඩගසා ගත් ඔහුගේ හෘදය සාක්ෂිය දරුණු ලෙස පලුදු විය හැකි බවද ඔහු පැහැදිලි කළේය. අන්තිම වශයෙන්, ඔහු ඇඟවූයේ ‘මහජන සේවකයන්’ වශයෙන් ආණ්ඩු විසින් ඉටු කරනු ලබන සේවාවන් සඳහා ගෙවන වන්දියක් වශයෙන් බදු ගෙවිය යුතු බවයි.—රෝම 13:1-6.
සෙසු ක්‍රිස්තියානීන් පාවුල්ගේ මෙම වදන් සිතට ගත්තාද? පෙනෙන විදිහට එය එසේය. මන්දයත් දෙවෙනි සියවසේ විසූ නාමික ක්‍රිස්තියානියෙකු වූ ලේඛකයෙකු වන ජස්ටින් මාටර් (ක්‍රි.ව. 110 සිට 165 දක්වා) පැවසුවේ ක්‍රිස්තියානීන් “අන් සියල්ලන්ටම වඩා කැමැත්තෙන්” බදු ගෙවූ බවයි. අද දිනද, ආණ්ඩු විසින් යම් බදු පනවන විට, එම බද්ද, කාලය වේවා නැතහොත් මුදල් වේවා, ක්‍රිස්තියානීහු එම ඉල්ලීම්වලට සිය කැමැත්තෙන්ම අවනත වෙති.—මතෙව් 5:41.a
ඇත්තවශයෙන්ම, ඕනෑම බදු අවම කිරීමක වාසි ප්‍රයෝජන ගැනීමට ක්‍රිස්තියානීන්ට නිදහස තිබේ. ඇතැම් අවස්ථාවලදී, ආගමික සංවිධානවලට ලැබෙන බදු සහනවලින් වාසි ලබාගැනීමට හැකි තත්වයක් ක්‍රිස්තියානීන්ට තිබේ. එහෙත්, දෙවිගේ වචනයට කීකරු වීමක් වශයෙන් සැබෑ ක්‍රිස්තියානීහු බදු ගෙවීම පැහැරහැරීමෙන් වැළකී සිටිති. ඔවුහු තමන් ගෙවිය යුතු බදු ගෙවති. නමුත් බලධාරීන් විසින් ඒ බදු පාවිච්චි කරන්නේ කෙසේද යන්න ගැන වගකීම දැරීම ඔවුහු බලධාරීන්ටම පවරති.
අධික බදු බර වනාහි “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කරන” එක්තරා ක්‍රමයක්ය. (දේශනාකාරයා 8:9) ඉතාම ළඟදී යුක්තිය රජයන දේවආණ්ඩුවක් පිළිබඳ වූ බයිබලයේ සඳහන් පොරොන්දුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සැනසීමක්ය. මන්ද මේ ආණ්ඩුව කිසි විටෙකත් ජනයා මත අයුක්තිසහගත බදු බර පටවන්නේ නැති නිසාය.—ගීතාවලිය 72:12, 13; යෙසායා 9:7.
[පාදසටහන]
a “සීසර්ගේ දේ සීසර්ට” ගෙවන ලෙසට යේසුස් දුන් උපදෙස සීමා වූයේ බදු ගෙවීමට පමණක්ම නොවේ. (මතෙව් 22:21) හයින්රිහ්ක් මයිසර් විසින් ලියන ලද ආශ්‍රේය ග්‍රන්ථයක (Critical and Exegetical Hand-Book to the Gospel of Matthew) පැහැදිලි කරන්නේ මෙසේයි. “[සීසර්ගේ දේවල්] යන ප්‍රකාශයෙන් . . . අදහස් වූයේ සිවිල් බදු ගෙවීම පමණක් කියා අප නිගමනය නොකළ යුතුයි. ඉන් අදහස් වූයේ සීසර්ගේ නෛතික පාලනය යටතේ ඔහුට හිමි විය යුතු සියල්ලම දීම බව අප තේරුම්ගත යුතුයි.”
[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
මුල් ක්‍රිස්තියානීහු “අන් සියල්ලන්ටම වඩා කැමැත්තෙන්” බදු ගෙවූහ—ජස්ටින් මාටර්
[10වන පිටුවේ පින්තූරය]
සැබෑ ක්‍රිස්තියානීහු බදු නීතිවලට කීකරු වෙති
[11වන පිටුවේ පින්තූරය]
යේසුස් මෙසේ පැවසීය: “සීසර්ගේ දේ සීසර්ටද, දෙවිගේ දේ දෙවිටද දෙන්න”
[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© European Monetary Institute