“ඔබ බදු ගෙවිය යුතු නම්, බදු ගෙවන්න”
“මේ ලෝකයේ මරණය හා බදු හැර වෙන කිසිවක් නිශ්චිත නැත.” එසේ පැවසුවේ, 18වෙනි සියවසේ අමෙරිකානු පාලකයෙකු හා ප්රබන්ධකයෙකු වූ බෙන්ජමින් ෆ්රැන්ක්ලින්ය. බොහෝ විට උපුටා දක්වනු ලබන ඔහුගේ වචන බදු ගෙවීමේ නිත්‍ය බව පමණක් නොව, නමුත් ඉන් ජනිත කරවන භයද කියාපායි. බොහෝ දෙනෙකුහට බදු ගෙවීම, මරණය තරම් අරුචිය උපදවන්නකි.
බදු ගෙවන්ට වීම එතරම් ප්‍රසන්න දෙයක් නොවිය හැකි වුවත්, මෙය වනාහි අව්‍යාජ ක්‍රිස්තියානීන් ඉතා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතු වගකීමෙන් යුත් බැඳීමකි. ප්‍රේරිත පාවුල් රෝමයේ ක්‍රිස්තියානි සභාවට මෙසේ ලීවේය: “එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දීපල්ලා. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දීපල්ලා; භයවෙන්ට නිස්සාට භයවෙයල්ලා; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරපල්ලා.” (රෝම 13:7) එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බදු ගැන විශේෂයෙන් මෙසේ පැවසූසේක: “කායිසර්ගේ දේ කායිසර්ටද දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටද දීපල්ලා.”—මාර්ක් 12:14, 17.
යෙහෝවඃවහන්සේ ආණ්ඩුමය “සුපිරි අධිකාරයන්ට” පැවතීමට ඉඩ දී තිබෙන අතර, උන්වහන්සේගේ සේවකයන් ඒවාට සාපේක්ෂ වශයෙන් යටත් විය යුතු යයි ඉල්ලා සිටිනසේක. එසේ නම්, බදු ගෙවන ලෙසට දෙවියන්වහන්සේ ස්වකීය සේවකයන්ට අණ කර තිබෙන්නේ මන්ද? පාවුල් ප්‍රධාන හේතු තුනක් සඳහන් කරයි: (1) නීති කඩකරන්නන්ට දඬුවම් කිරීමෙහිලා “සුපිරි අධිකාරීන්ගේ” “උදහස”; (2) ක්‍රිස්තියානියෙකුගේ හෘදය සාක්ෂිය, ඔහු බදු ගෙවීමේදී වංචා කළහොත් ඔහුගේ හෘදය සාක්ෂිය පිරිසිදු නොවනු ඇත; (3) සේවා සැපයීමට සහ යම් තරමක පිළිවෙළක් පවත්වා ගැනීම සඳහා මෙම “මහජන සේවකයන්ට” ගෙවීමට ඇති අවශ්‍යතාව. (රෝම 13:1-7, NW) බොහෝ දෙනෙකු බදු ගෙවීමට කැමති නොවිය හැක. එහෙත්, කිසිදු පොලිස් හෝ ගිනි ආරක්ෂාවක් නැති, මාර්ග නඩත්තු කිරීමක් නැති, රජයේ පාසැල් නොමැති සහ තැපැල් සේවයක් නොමැති දේශයක ජීවත් වීමට ඔවුන් ඊටත් වඩා කැමති නොවන බව සහතිකය. එක් අමෙරිකානු ජූරි සභිකයෙකු වූ ඔලිවර් වෙන්ඩල් හෝල්ම්ස් වරක් එය මේ ආකාරයෙන් පළ කළේය: “බදු යනු අප විසින් ශිෂ්ට සමාජයක් සඳහා ගෙවන යමකි.”
බදු ගෙවීම දෙවියන්වහන්සේගේ සේවකයන්ට අලුත් යමක් නොවේ. ඉපැරණි ඉශ්‍රායලයේ පදිංචිකරුවෝ තමන්ගේ රජවරුන්ට අනුග්‍රහ දැක්වීමක් වශයෙන් යම් ආකාරයක බදු ගෙවීමක් කළ අතර, එම පාලකයන්ගෙන් ඇතමෙක් අසාධාරණ බදු අය කිරීම් මගින් ජනතාව මත අධික බර පැටවූහ. යුදෙව්වෝද, මිසරය, පර්සියාව සහ රෝමය වැනි තමන්ව ආණ්ඩු කළ විදේශ බලවේගයන්ට කප්පම් සහ බදු ගෙව්වෝය. එමනිසා බදු ගෙවීම ගැන සඳහන් කරන විට පාවුල් කථා කරමින් සිටියේ කුමක්ද යන්න ගැන ඔහුගේ දවස්වල විසූ ක්‍රිස්තියානීහු මැනවින් දැනගෙන සිටියහ. බදු සාධාරණ වුවත් නැතත්, ආණ්ඩුව කුමන අන්දමකින් මෙම මුදල් වියදම් කළත්, තමන් ගෙවිය යුතු කොයි යම් බද්දක් වුවද තමන් විසින් ගෙවිය යුතු බව ඔවුහු දැන සිටියෝය. එම දෙයම අදදින ක්‍රිස්තියානීන්ටත් අදාළ වේ. කෙසේ වෙතත්, මෙම සංකීර්ණ කාලවල අපගේ බදු ගෙවීමේදී අපට මඟ පෙන්වීමක් දිය හැක්කේ කිනම් ප්‍රතිපත්තිවලට විය හැකිද?
මඟ පෙන්වන ප්‍රතිපත්ති පහක්
පිළිවෙළකින් යුක්ත වන්න. අප සේවය කරන්නේ සහ අනුකරණය කරන්නේ, “වියවුල්කමේ [පිළිවෙළක් නැති, NW] නොව සමාදානයේ දෙවියන්වහන්සේ” වන යෙහෝවඃවහන්සේවය. (1 කොරින්ති 14:33; එපීස 5:1) පිළිවෙළකින් යුක්ත වීම බදු ගෙවීම යන කාරණයේදී ඉතා වැදගත්ය. ඔබගේ ලිපිගොනු සම්පූර්ණව, නිවැරදිව, පිළිවෙළකින් යුතුව තිබෙනවාද? සාමාන්‍යයෙන් විශාල වියදමක් වැයවන ලිපිගොනු ක්‍රමයක් අවශ්‍ය නොවේ. ඔබගේ විවිධාකාර වියදම් වෙන වෙනම දක්වන (රිසිට්පත් වැනි) එක් එක් වාර්තාව සඳහා ඔබට එක ලිපි ගොනුවක් බැගින් ලේබල් ගත කළ හැක. එක් වසරක් සඳහා විශාල ලිපිගොනු කවරයක මේවා සියල්ල ඇතුළත් කිරීම ප්‍රමාණවත් වීමට පුළුවන. බොහෝ රටවල, එවන් ලිපිගොනු වසර ගණනාවකට තබාගැනීම අනිවාර්ය වේ, මන්ද යම් හෙයකින් පසුගිය වාර්තා පිරික්සා බැලීමට රජය තීරණය කළහොත් ඒවා එවන් අවස්ථාවල අවශ්‍ය වේ. එමනිසා ඔබට යම් දෙයක් තවදුරටත් අවශ්‍ය නොවන බවට සහතික වෙන තෙක්, කිසිම දෙයක් ඉවත නොදමන්න.
අවංක වන්න. පාවුල් මෙසේ ලීවේය: “අප ගැන යාච්ඤාකරපල්ලා. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස [අවංක ලෙස, NW] හැසිරෙන්ට ආශාවෙන්, යහපත් [අවංක, NW] හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාස කරමු.” (හෙබ්‍රෙව් 13:18) බදු ගෙවන විට අප ගන්නා සෑම තීරණයකටම, අවංක වීමට ඇති හෘදයාංගම ආශාව අපහට මඟ පෙන්විය යුතුය. පළමුව වාර්තා කළ හැකි ආදායම් සඳහා ගෙවිය යුතු බදු ගැන සලකා බලන්න. බොහෝ රටවල, සන්තෝෂ දීමනා, සුළු රැකියා, විකුණුම් වැනි අමතර ආදායම් යම් විශේෂ සීමාවක් ඉක්මවන විට ඒවා සඳහා බදු අය කිරීමක් සිදුවේ. “අවංක හෘදයසාක්ෂියක්” ඇති ක්‍රිස්තියානියෙක්, තමන් ජීවත් වන ප්‍රදේශය තුළ නීතියට අනුව බදු ගෙවිය යුතු ආදායම් සීමාව කුමක්දැයි සොයා බලන අතර, ඊට අදාළ බදු ගෙවනු ඇත.
දෙවනුව, අනුමිතිය [අඩු කිරීම්] සම්බන්ධ කාරණය තිබේ. බදු ගෙවන්නන්ට තමන්ගේ බදු ගෙවිය යුතු ආදායමෙන් එක්තරා වියදම් සඳහා යම් අඩු කිරීම් කිරීමට ආණ්ඩු විසින් බදු ගෙවන්නන්හට පොදුවේ ඉඩ දී තිබේ. මෙම වංක ලෝකය තුළ, එවන් අඩු කිරීම් කරන විට, “මවාපෑම්” කිරීම තුළ බොහෝ දෙනෙකුට කිසි වරදක් පෙනෙන්නේ නැත. වාර්තාවන ලෙස, එක්සත් ජනපදවල එක්තරා මිනිසෙක්, තමාගේ භාර්යාව සඳහා මිල අධික ලොම් සහිත හමෙන් මසන ලද කබායක් මිලට ගෙන, තමාගේ රැකියා ස්ථානයේ යම් ආකාරයක “සැරසිල්ලක්” වශයෙන් බදුවලට අඩු කිරීමක් කර ගැනීමට එය තමාගේ ව්‍යාපාර ස්ථානයේ එල්ලා තැබුවේය! තවත් මිනිසෙක්, තම දියණියගේ විවාහ මංගල්‍යය සඳහා ගිය වියදම ව්‍යාපාර වියදම් ලෙස අඩු කළේය. තවෙකෙක්, තමාගේ භාර්යාව හුදෙක් විවේකය හා විනෝදය සඳහා පෙරදිග රටවල මාස ගණනාවක තමා සමඟ කළ සංචාරයේ වියදම් බදුවලින් අඩු කිරීමට තැත් කළේය. එවන් සිද්ධීන්වල අවසානයක් පෙනෙන්ට නැති තරම්ය. සරලව කිවහොත්, යම් වියදමකට කිසිදු ව්‍යාපාරමය සම්බන්ධයක් නොමැති විට, එය ව්‍යාපාරමය වියදමක් ලෙස ගණන් ගෙන බදුවලින් අඩු කිරීම, යම් ආකාරයක බොරු කිරීමකි—එය අපගේ දෙවිවූ යෙහෝවඃවහන්සේ අතිශයින් පිළිකුල් කරන දෙයකි.—හිතෝපදේශ 6:16-19.
සුපරීක්ෂාකාරි වන්න. “සර්පයන් මෙන් නුවණ ඇතිව [සුපරීක්ෂාකාරීව, NW] පරෙවියන් මෙන් අහිංසකව සිටින” මෙන් යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිසේක. (මතෙව් 10:16) එම අවවාදය අප විසින් කරන බදු ගෙවීමේ පුරුදුවලට මැනවින් අදාළ කළ හැකිය. විශේෂයෙන්ම දියුණු රටවල, මෙම අවදියේ එන්ට එන්ටම බොහෝ දෙනෙක්, තම බදු පිළියෙළ කිරීම පිණිස ගිණුම් කටයුතු පිළිබඳ ආයතන හෝ යම් වෘත්තිකයන්ට ගෙවති. ඊළඟට ඔවුහු එම පෝරමවලට නිකම්ම අත්සන් කර චෙක්පතක් යවති. හිතෝපදේශ 14:15හි වාර්තා වී ඇති දේ සෝදිසි කර බැලීමට මෙය හොඳ අවස්ථාවකි: “නුවණ නැත්තා [අද්දැකීම් අඩු ඕනෑම කෙනෙක්, NW] හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලා ගනියි.”
බදු ගෙවන බොහෝ දෙනෙක් ආණ්ඩු සමඟ කරදරවලට මුහුණ දී ඇත්තාහ, මන්දයත්, ඔවුන් සමහරක් කපටි ගණකාධිකාරීන්ගේ හෝ අද්දැකීම්වලින් අඩු බදු පිළියෙළ කරන්නන්ගේ ‘සෑම වචනයම විශ්වාස කර’ ඇති හෙයිනි. සුපරීක්ෂාකාරි වීම මොනතරම් හොඳද! ඔබ ඕනෑම ලිපි ලේඛනවලට අත්සන් තැබීමට පෙර, ඒවා පරෙස්සමින් කියවීමට සුපරීක්ෂාකාරි වන්න. යමක් එකතු කිරීමක්, මකා දැමීමක් හෝ අඩු කිරීමක් ගැන ඔබට යම් සැකයක් තිබේ නම්, එම කාරණය අවංක හා නීත්‍යනුකූල එකක් බවට සහතික වන තෙක්, අවශ්‍ය නම් කිහිප වතාවක් හෝ එය පැහැදිලි කරවාගන්න. බොහෝ රටවල බදු නීති අතිශයින් සංකීර්ණ බවට පත්වී තිබීම සත්‍යයකි, නමුත් ඔබ අත්සන් කරන ඕනෑම දෙයක් හැකි තාක් දුරට අවබෝධ කර ගැනීම නැණවත්ය. ඇතැම් අවස්ථාවලදී, බදු නීතිය ගැන යම් දැනුම් තේරුම් ඇති සෙසු ක්‍රිස්තියානියෙකුට යම් අනගි අදහස් දීමට හැකි බවට ඔබට පෙනී යන්ට පුළුවන. නීතිඥයෙකු වශයෙන් බදුවලට සම්බන්ධ කාරණා ගැන කටයුතු කරන එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් පැහැදිලිව හා ලුහුඬින් ප්‍රකාශ කළේ මෙසේයි: “යම් දෙයක් විශ්වාස කිරීමට බැරි තරම් වාසිදායකයි කියා ඔබගේ ගණකාධිකාරිවරයා ඔබට යෝජනා කරයි නම්, එය බොහෝ විට අවංක විය නොහැකියි.”
වගකීමෙන් යුක්ත වන්න. “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය” යයි ප්‍රේරිත පාවුල් ලීවේය. (ගලාති 6:5) බදු ගෙවීම සම්බන්ධව කාරණය බලන කල, සෑම ක්රිස්තියානිවරයෙක්ම, අවංක වීමේ හා නීතිගරුක වීමේ වගකීමට උර දිය යුතුය. මෙය වනාහි ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තම භාරයේ සිටින රැළ කෙරෙහි අධීක්ෂණය කෙරෙන කාරණයක් නොවේය. (2 කොරින්ති 1:24 සසඳන්න.) සමහරවිට ප්‍රජාව තුළ යම් මහත් හොර ජාවාරමක් වැනි බරපතළ වැරදි කිරීමක් තම අවධානයට හසුවනවා නම් මිස, ඔවුහු මෙම බදු ගෙවන කාරණාවලට සම්බන්ධ නොවෙති. පොදුවේ ගත් කල, මෙය වූ කලි, ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කිරීමෙහිලා නිසි ලෙස පුහුණු කරන ලද තම හෘදය සාක්ෂිය යොදා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි පුද්ගලයන් වගකීමෙන් බැඳී සිටින ක්ෂේත්රයකි. (හෙබ්‍රෙව් 5:14) බදු ගෙවීමේ ලේඛනය කවුරුන් විසින් පිළියෙළ කළද, ඔබ ඊට අත්සන් යෙදීමේදී, ඔබ එය කියවා ඇති බවටත්, එහි අඩංගු වන දේ සත්‍යය යයි ඔබ විසින් විශ්වාස කරන බවටත් නීතික ප්රකාශනයකින් එය සමන්විත බවටත් දැන සිටීම ඇතුළත්ය.a
චෝදනාවලින් තොර වන්න. ක්‍රිස්තියානි අවේක්ෂකයන්, තම නිලය සඳහා සුදුසුකම් ලබනු පිණිස, “නිර්දෝෂ” විය යුතුය. ඒ හා සමානව, මුළු සභාවම දෙවියන්වහන්සේගේ ඇස් හමුයේ නිර්දෝෂ විය යුතුය. (1 තිමෝති 3:2; සසඳන්න එපීස 5:27.) එබැවින්, බදු ගෙවීම සම්බන්ධ කාරණයේදී ඔවුහු තම ප්‍රජාව තුළ හොඳ නමක් පවත්වා ගෙන යෑමට බලවත් උත්සාහයක් දරති. මේ සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේම, ආදර්ශය තැබූසේක. යේසුස්වහන්සේ දේව මාළිගාවට බදු, එනම් ෂෙකෙල් භාගයක් වැනි කුඩා බද්දක්, ගෙවනවාදැයි උන්වහන්සේගේ ගෝලයෙකු වූ පේතෘස්ගෙන් අසනු ලැබීය. ඇත්තෙන්ම, දේව මාළිගාව සිය පියාණන්ගේ වූ බැවින් සහ කිසි රජෙක් තමාගේම පුත්‍රයාගෙන් බදු අය නොකරන බැවින්, යේසුස්වහන්සේ බදු ගෙවීමෙන් නිදහස්ව සිටිසේක. යේසුස්වහන්සේම මෙම කාරණය ගැන මෙසේ පැවසුවත්, උන්වහන්සේ එම බද්ද ගෙවූසේක. ඇත්ත වශයෙන්ම, එම අවශ්‍ය මුදල සපයාගැනීම සඳහා උන්වහන්සේ ප්රාතිහාර්යක්ද කළසේක! තමා නිසි අයුරින් නිදහස්ව සිටි බද්දක් උන්වහන්සේ ගෙවා දැමුවේ මන්ද? යේසුස්වහන්සේම පැවසුවාක් මෙන්, ඒ, “ඔවුන්ට බාධා නොකරන පිණිසය.”—මතෙව් 17:24-27.b
දෙවියන්වහන්සේට ගෞරවය ගෙනෙන කීර්ති නාමයක් පවත්වාගැනීම
ඒ හා සමානව අදදිනත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ අන්‍යයන්ව බාධාවට පත් නොකිරීම සම්බන්ධව සැලකිලිමත් වෙති. එසේ නම්, සමස්තයක් වශයෙන් ගත් කල, ඔවුන් අවංක, බදු ගෙවන පුරවැසියන් ලෙස ලොවපුරා හොඳ කීර්ති නාමයක් දිනාගෙන සිටීම පුදුමයක් නොවේ. නිදසුනක් වශයෙන්, එක් ස්පාඤ්ඤ පුවත්පතක් වන එල් ඩිආර්යෝ වාස්කෝ, ස්පාඤ්ඤය පුරා පැතිර පැවත ඇති බදු වංචාවන් ගැන අදහස් දැක්වූ නමුත්, එය මෙසේද පැවසීය: “මීට අයිති නැති එකම පිරිස යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පමණි. ඔවුන් යමක් මිල දී ගන්න විට හෝ විකුණන විට, ඔවුන් ප්‍රකාශ කරන [දේපොළ] වටිනාකම නියම සත්‍යය වටිනාකමයි.” ඒ හා සමානව, එක්සත් ජනපද පුවත්පතක් වන සැන් ෆ්රැන්සිස්කෝ එක්සැමිනර් මීට වසර කිහිපයකට පෙර, මෙසේ සටහන් කළේය: “ඔබට [යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්] නියම පුරවැසියන් හැටියට සැලකිය හැකියි. ඔවුහු ඉතා උනන්දුවෙන් බදු ගෙවති, අසනීපවූවන් රැකබලා ගනිති, අකුරු නොදත්කම තුරන් කිරීමට මහන්සි ගනිති.”
අමාරුවෙන් උපයාගත් මෙම කීර්ති නාමය පලුදු කරන කිසිවක් කිරීමට කිසිම සැබෑ ක්‍රිස්තියානියෙකුට වුවමනා නොවනු ඇත. ඔබට යම් තේරීමක් කිරීමට තිබේ නම්, හුදෙක් යම් මුදලක් ඉතිරි කර ගැනීමේ අටියෙන් තමා බදු වංචනිකයෙකු යන නරක නාමය ලබා ගැනීමේ අවදානමට මුහුණ දීමට ඔබට වුවමනාද? නැත. ඒ වෙනුවට, ඔබගේ හොඳ නාමයට සහ ඔබගේ හොඳ ගතිගුණවලට කැලලක් ඇති කරගෙන යෙහෝවඃවහන්සේට ඔබ කරන නමස්කාරයට වැරදි හැඟීමක් දෙනවාට වඩා ඔබ මුදල් අහිමි කර ගන්නා බවට සහතිකය.
සැබවින්ම, යුක්තිසහගත, අවංක පුද්ගලයෙකු හැටියට කීර්ති නාමයක් පවත්වා ගෙන යෑමේදී ඇතැම් අවස්ථාවලදී ඔබට මුදලක් අහිමි විය හැකියි. පැරණි ග්‍රීක් දර්ශනවාදියෙකු වූ ප්ලේටෝ මීට ශතවර්ෂ 24කට පෙර පැවසූ පරිදි: “ආදායම් බදු ගෙවීමට තිබෙන විට, ආදායමේ එකම ප්‍රමාණය මත යුක්තිසහගත මිනිසා වැඩියෙන්ද අයුක්තිසහගත මිනිසා අඩුවෙන්ද ගෙවයි.” යුක්තිසහගත මිනිසා යුක්තිසහගත වනු පිණිස වැඩියෙන් මුදලක් ගෙවීම සඳහා කිසිවිටෙකත් කනගාටු නොවන්නේ යයිද ඔහුට එකතු කිරීමට තිබිණි. එවන් හොඳ නාමයක් ඇතිව සිටීම පවා මුදල්වලට වඩා වටී. මෙය සහතික වශයෙන්ම ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් සත්‍යය වෙයි. ඔවුන්ගේ හොඳ නාමය ඔවුන්ට වටින්නේය, මන්දයත්, එය ඔවුන්ගේ ස්වර්ගික පියාණන්ව ගෞරවයට පත් කරන අතර, එය අන්‍යයන්ව ඔවුන්ගේ ජීවන මාර්ගයටත් ඔවුන්ගේ දෙවියන් වන යෙහෝවඃවහන්සේ වෙතටත් ආකර්ෂණය කිරීමට උපකාරවත් විය හැකි බැවිනි.—හිතෝපදේශ 11:30; 1 පේතෘස් 3:1, 2.
එනමුත්, මේ සියල්ලටම වඩා සැබෑ ක්‍රිස්තියානීහු යෙහෝවඃවහන්සේ සමඟ ඇති තම සම්බන්ධතාව අගේ කරති. දෙවියන්වහන්සේ ඔවුන් කරන සියල්ල දකින අතර, ඔවුන්ගේ ආශාව උන්වහන්සේව සතුටු කිරීමය. (හෙබ්‍රෙව් 4:13) එමනිසා, ආණ්ඩුවට වංචාකිරීමට ඇති වන පරීක්ෂාව ඔවුහු ප්‍රතික්ෂේප කරති. අවංක, ඍජු හැසිරීම කෙරෙහි දෙවියන්වහන්සේ සතුටු වන බව ඔවුහු වටහා ගනිති. (ගීතාවලිය 15:1-3) එමෙන්ම යෙහෝවඃවහන්සේගේ හෘදය සතුටු කිරීමට ඔවුන්ට වුවමනා බැවින්, ඔවුහු තමන් විසින් ගෙවිය යුතු බදු සියල්ල ගෙවති.—හිතෝපදේශ 27:11; රෝම 13:7.
[පාදසටහන්වල]
a නොඇදහිලිකාර කලත්‍රයෙකු සමඟ බදු ගෙවීමක් කරන, හවුල් බදු වාර්තාවක් යවන ක්රිස්තියානිවරියකට මේ තුළින් යම් අභියෝගයක් මතු වීමට පුළුවන. මූලිකත්වයේ ප්‍රතිපත්තිය සමඟ කායිසර්ගේ බදු නීතිවලට කීකරු වීමේ අවශ්‍යතාව සමබර කිරීමට ක්‍රිස්තියානි භාර්යාවක් සාවධානී ප්රයත්නයක් දරනු ඇත. එනමුත්, දැන දැනම සාවද්‍ය ලියකියවිල්ලකට අත්සන් තැබීමෙන් ඇතිවිය හැකි නීතිමය ඵලවිපාක ගැන ඇය සාවධානව සිටිය යුතුය.—සසඳන්න රෝම 13:1; 1 කොරින්ති 11:3.
b යේසුස්වහන්සේගේ භූමික ජීවිතයේ මෙම සිද්ධිය වාර්තා කරන එකම සුවිශේෂය මතෙව්ගේ සුවිශේෂය පමණක් වීම උනන්දුමත් කරුණකි. හිටපු බදු එකතු කරන්නෙකු වශයෙන්, මෙම කාරණය සම්බන්ධයෙන් යේසුස්වහන්සේගේ ආකල්පය ගැන මතෙව්ගේ සිත ඇදී ගොස් තිබීම ගැන කිසිදු සැකයක් නැත.