මේ දරුවන් අහිංසකයි
සැඳෑ අඳුර ගලාගෙන එද්දී දූවිලි තැවරුණු පුංචි පාද දහස්ගණනක් පාරවල් දිගේ ගමන් කරයි. උතුරු උගන්ඩාවේ වෙසෙන මේ ළමුන් තම ගම්මානවලින් ගූලූ, කිට්ගුම් හා ලීරා වැනි නගර කරා සෑම දිනකම මෙලෙස ඇදී එයි. මෙම නගරවලදී ඔවුන් නොයෙක් ගොඩනැඟිලිවල, බස් නැවතුම්පොළවල සහ උද්‍යානවල රාත්‍රිය ගෙවා හිරු නැඟ එනවාත් එක්කම යළි තම ගම්මාන කරා පිය මනියි. සෑම දිනකම ඔවුන් මෙලෙස යන්නේ ඇයි?
බැලූ බැල්මට ඔවුන් රාත්‍රි සේවකයන් වගෙයි. නමුත් ඇත්තෙන්ම මේ බාලයන් යන්නේ රැකියාවකටවත් වනසතුන්ගෙන් සිදු වන අනතුරු නිසාවත් නොව අඳුර වැටුණු පසු කැලෑබදව තිබෙන ඔවුන්ගේ නිවෙස්වල විසීම අනතුරුදායක නිසයි.
දැනට වසර 20ක පමණ කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී ගම්මානවලට ඇවිත් පිරිමි ළමුවන්ව පමණක් නොව ගැහැනු ළමුන්වත් පැහැරගෙන කැලෑව තුළට යනවා. සෑම වසරකම අතුරුදහන් වන සියගණන් ළමුන්ව එක්කෝ සොල්දාදුවන් හැටියට පුහුණු කරනවා නැත්නම් පැහැරගන්නන්ගේ මෙහෙකාරකමට හෝ කාමුක ආශාවන් පිනවාගැනීමට යොදාගන්නවා. මේ ළමුන්ට කියන දේ නොකළොත් ඔවුන්ගේ නාසය හෝ තොල් කපා දමන අතර පැනලා යන්න හැදුවොත් ඔවුන්ට සිදු වන්නේ කෲර මරණයක් අත්දකින්නයි.
වෙනත් රටවල සිටින අහිංසක දරුවන් පවා ත්‍රස්ත ක්‍රියාවලට ගොදුරු වී තිබෙනවා. සියෙරා ලියොන්හි ආබාධිත දරුවන් බොහෝදෙනෙකුව දැකිය හැකියි. ඊට හේතුව ඔවුන්ගේ ළදරු කාලයේදී ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ අත් පා කපා දැමීමයි. ඇෆ්ඝනිස්තානයේ සමහර බෝම්බ සකස් කර තිබෙන්නේ වර්ණවත් සමනලයන්ගේ හැඩයේ සෙල්ලම් බඩු වගෙයි. ඒවා එක්ක සෙල්ලම් කරන දරුවන්ගේ ඇස්වලට හා ඇඟිලිවලට මොනවා වෙයිද කියා සිතා බලන්න!
ත්‍රස්තවාදය නිසා තවත් සමහර දරුවන්ට අහිමි වන්නේ අත් පා පමණක් නොවෙයි. එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ 1995දී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ 168දෙනාගෙන් 19ක්ම ළමුන් වූ අතර ඔවුන්ගෙන් සමහරු ළදරුවන්. පහන් දැල්ලක් නිවී යනවා වගේ මේ දරුවන්ගේ ජීවිතත් නිවී ගියා. ත්‍රස්තවාදී ක්‍රියා නිසා මේ දරුවන්ට කවදාකවත් දෙමාපියන්ගේ සෙනෙහස ලබන්නවත් ළමා කාලයේ රස විඳින්නවත් ලැබුණේ නැහැ.
මේවා මෑතක වූ සිද්ධීන් බව ඇත්තයි. එහෙත් මෙවැනි ත්‍රස්ත ක්‍රියාවලට සියවස් ගණනාවක ඉපැරණි ඉතිහාසයක් තිබෙනවා.