ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/10 26-29 පි.
  • පාසැල් ගමන මම නතර කළ යුතුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාසැල් ගමන මම නතර කළ යුතුද?
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සුදුසු තීරණයක්
  • මතු විය හැකි ගැටලු
  • පාසැල් යෑමේ ප්‍රයෝජන
  • ඉස්කෝලේ යන එක මං නතර කරන්නද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • මා පාසල හැර යා යුතු ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • මගේ සටහන—පාසැල් ජීවිතේ
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • මං ඉස්කෝලේ ගමන නතර කළාට කමක් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 11/10 26-29 පි.

යෞවන අය අසති

පාසැල් ගමන මම නතර කළ යුතුද?

ඔබ කීවෙනි වසර දක්වා ඉගෙනගත යුතුද?

......

ඔබේ දෙමාපියන් පවසන්නේ ඔබ කීවෙනි වසර දක්වා ඉගෙනගත යුතුයි කියාද?

......

ඔබ පාසැල් යන දරුවෙක් නම් පහත සඳහන් අය මෙන් ඔබටත් හැඟී ඇති.

● “සමහර දවස්වලට මට ඇඳෙන් බහින්නවත් හිතුණේ නැහැ. ඒ වෙලාවට හිතුණා ‘මොකටද මම ඉස්කෝලේ යන්නේ, ඉගෙනගන්න දේවලින් මට වැඩක් තියෙයිද’ කියලා.”—රේචල්.

● “හුඟක් අවස්ථාවලදී මට ඉස්කෝලේ යන එක එපා වෙලා තියෙනවා. මීට වඩා හොඳයි රස්සාවක් කළා නම්, එතකොට අතට කීයක් හරි ලැබෙනවානේ කියලත් හිතුණා.”—ජෝන්.

● “හැමදාම පැය හතරක් විතර ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න වුණා. පැවරුම්, විභාග, ව්‍යාපෘති, එකපිට එක වැඩ. හැමදාමත් එහෙම කරන්නේ කොහොමද?”—සින්ඩි.

● “දවසක් අපේ ඉස්කෝලේ බෝම්බයක් තියෙනවා කියලා කිව්වා. තවත් දවසක් ළමයෙක් සිය දිවි නසාගත්තා. ඒ වගේම අවස්ථා තුනකදී තවත් ළමයි සිය දිවි නසාගන්න උත්සාහ කළා. සමහර මැර කල්ලි හිටියා. ඒ නිසා මීට වඩා හොඳයි ගෙදර හිටියා නම් කියලා මට හිතුණා.”—රෝස්.

ඔබේ පාසැල් අධ්‍යාපනය නතර කරන්න ඕනේ කියලා ඔබටත් හැඟිලා තියෙනවාද? එසේනම් ඒ කුමන හේතු නිසාද?

......

යම් දවසක ඔබ පාසැල් අධ්‍යාපනය අවසන් කරයි. නමුත් එසේ කරන්නේ සුදුසු කාලයේදීද නැත්නම් පාසැල එපා වුණ නිසාද? ඒ සඳහා හොඳ තීරණයක් ගන්නේ කෙසේද?

සුදුසු තීරණයක්

පාසැල් අධ්‍යාපනය අවසන් කිරීම සහ පාසැල් ගමන නතර කිරීම අතර ඇති වෙනස ඔබ විස්තර කරන්නේ කෙසේද?

......

සමහර රටවල මූලික අධ්‍යාපනය ලෙස සලකන්නේ වසර පහක් හෝ අටක් පුරා පාසැල් අධ්‍යාපනය ලැබීමයි. තවත් සමහර රටවල එය වසර දහයක් හෝ දොළහක් දක්වා කළ යුතුයි.

ඊට අමතරව තවත් රටවල දරුවන්ට දෙමාපියන්ගේ සහයෝගය ඇතුව පාසැල් නොගොස් නිවසේ සිටම අධ්‍යාපනය ලැබීමට රජයෙන් අවසර දී තිබෙනවා.

කෙසේවෙතත් මූලික අධ්‍යාපනය අවසන් කිරීමට පෙර පාසැල් ගමන නතර කිරීමට ඔබ සිතනවා නම් පහත සඳහන් කරුණු ගැන සලකා බලන්න.

රටේ නීතිය කුමක්ද? කලින් සඳහන් කළ ලෙස අධ්‍යාපනය පිළිබඳ නීති රටින් රටට වෙනස්. ඔබේ රටේ නීතිය කුමක්ද? නීතියෙන් නියම කළ මූලික අධ්‍යාපනය ලබන්නේ නැතුව ඔබේ පාසැල් ගමන නතර කළොත් ඉන් අදහස් කරන්නේ ඔබ නීතිය කඩ කරන බවයි. ඊට හේතුව බයිබලයේ අපට මෙසේ පවසනවා. “සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි.”—රෝම 13:1.

අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන දේ මම අත් කරගෙන තිබෙනවාද? ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? ඒවා අත් කරගැනීමට ඔබ කොතරම් දුරකට ඉගෙනගත යුතුද? ඊට පැහැදිලි පිළිතුරක් දීමට ඔබට හැකියාව තිබිය යුතුයි. එසේ නැත්නම් ඔබත් හරියට ගමනාන්තය තීරණය නොකර දුම්රියක යන මඟියෙක් වගෙයි. ඒ නිසා ඔබේ දෙමාපියන් සමඟ එකතු වී “අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන දේ” නමැති කොටුවේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. එසේ කිරීමෙන් ඔබේ අනාගත ඉලක්ක මොනවාද කියා තේරුම්ගැනීමට ඔබට හැකි වන අතර ඔබ කොතරම් දුරට පාසැල් අධ්‍යාපනය ලබන්න අවශ්‍යද කියා ඔබටත් ඔබේ දෙමාපියන්ටත් තීරණය කළ හැකියි.—හිතෝපදේශ 21:5.

ඔබ කොපමණ කාලයක් පාසැල් යන්න අවශ්‍යද කියා ගුරුවරුන් මෙන්ම තවත් අය විවිධ උපදෙස් දෙයි. නමුත් එය තීරණය කිරීමට අයිතිය තිබෙන්නේ ඔබේ දෙමාපියන්ට බව මතක තබාගන්න. (හිතෝපදේශ 1:8; කොලොස්සි 3:20) කෙසේවෙතත් ඔබත් ඔබේ දෙමාපියනුත් නියම කරගත් කාලයට පෙර පාසැල් ගමන නතර කිරීමට ඔබ අදහස් කරනවා නම් එය සුදුසු තීරණයක් නොවෙයි.

පාසැල් යෑම මම නතර කරන්නේ ඇයි? යම් ආත්මාර්ථකාමී අරමුණක් ඉටු කරගැනීමට හේතු ඉදිරිපත් කිරීම මිනිස් ස්වභාවයයි. (යාකොබ් 1:22) එමෙන්ම සිත රැවටිලිකාර බව අප නිතරම මතක තබාගත යුතුයි.—යෙරෙමියා 17:9.

මූලික අධ්‍යාපනය නොලබා පාසැල් ගමන නතර කිරීම සාධාරණයි කියා ඔබ සිතන හේතු සඳහන් කරන්න.

......

වෙනත් හේතුද සඳහන් කරන්න.

......

ඔබේ පවුලට උපකාර කිරීම සඳහා රැකියාවක් කිරීම හෝ දෙවි ගැන දැනගැනීමට අන් අයට උපකාර කිරීම සාධාරණ හේතු ලෙස ඔබ සඳහන් කරන්න ඇති. අනික් අතට විභාගවලට පෙනී සිටීම හෝ පාසැලෙන් දෙන ගෙදර වැඩ කිරීමට අකමැති වීම වෙනත් හේතු ලෙස සඳහන් කරන්න ඇති. නමුත් ඔබ අවංකව සිතුවොත් පාසැල් ගමන නතර කිරීමට ඔබ හේතුවක් කරගෙන තිබෙන්නේ සාධාරණ හේතුවක්ද නැත්නම් ආත්මාර්ථකාමී හේතුවක්ද කියා කල්පනා කර බලන්න.

ඔබ සඳහන් කළ හේතු දෙස නැවත බලන්න. පාසැල් ගමන නතර කිරීමට ඔබ තෝරාගෙන තිබෙන මූලික හේතු මොනවාද? ඔබ සටහන් කළ හේතුවල වැදගත්කම අනුව ඒවා 1 සිට 5 දක්වා අංක කරන්න.

මතු විය හැකි ගැටලු

ඔබ දුම්රියක ගමන් කරන විට යම් අපහසුතාවන්ට මුහුණ දෙනවා කියා සිතන්න. එම අපහසුතාව නිසා ඔබ දුම්රියෙන් පැන්නොත් ඔබට කුමක් සිදු වෙයිද? ඔබට බරපතළ ලෙස තුවාල වෙන්න පුළුවන් වගේම ඔබේ ගමනාන්තයට යන්නත් බැරි වෙයි. ඒ හා සමානව ඔබේ පාසැල් ගමන අතරමඟදී නතර කළොත් ඔබේ ඉලක්ක අත් කරගැනීමට බැරි වන අතරම ප්‍රශ්න රැසකටද මුහුණ දෙන්න ඔබට සිදු වෙයි.

වර්තමානයේදී ඇති වන ගැටලු රැකියාවක් සොයාගැනීම ඔබට අපහසු කාර්යයක් වෙයි. යම් රැකියාවක් ලැබුණත් හොඳ අධ්‍යාපනයක් නැති නිසා හොඳ වැටුපක් ලැබෙන්නෙත් නැහැ. ඔබේ ජීවිතයේ මූලික අවශ්‍යතා පිරිමසාගැනීමට වැඩි කාලයක් වැඩ කරන්නත් වෙයි. එමෙන්ම පාසැලේදී මුහුණ දුන්න තත්වයට වඩා කටුක තත්වයකටත් මුහුණ දෙන්න සිදු වෙයි.

අනාගතයේදී ඇති වන ගැටලු අඩු වයසින් දරුවන් ලැබීම, සෞඛ්‍ය ගැටලු, සිර දඬුවම් හා දිරි දීමනාවලින් යැපීම වැනි තත්වයන් බොහෝවිට අද්දකින්නේ නිසි පාසැල් අධ්‍යාපනයක් නොලැබූ අය බව පර්යේෂකයන් පවසනවා.

පාසැල් අධ්‍යාපනය සම්පූර්ණ කළ පමණින් ඔබ එවැනි ගැටලු අද්දකින්නේ නැහැ කියා කියන්න බැහැ. නමුත් සුදුසු අධ්‍යාපනයක් නොලබා එවැනි අවදානම් තත්වයකට මුහුණ දෙන්නේ ඇයි?

පාසැල් යෑමේ ප්‍රයෝජන

විභාගයකින් අසමත් වුණා නම් හෝ පාසැලේදී යම් ගැටලුවකට මුහුණ දුන්නා නම් පාසැල් ගමන නතර කිරීමට සිතෙන්න පුළුවන්. නමුත් හදිසි තීරණ ගන්න එපා. කලින් සඳහන් කළ යෞවන යෞවනියන්, දිගටම පාසැල් යෑම ගැන පසුව පැවසූ දේවල් සලකා බලන්න.

● “මගේ ආකල්ප වෙනස් කරගත්ත නිසා ඉස්කෝලේ යන එකෙන් සතුටක් හා ප්‍රයෝජනයක් මට ලැබෙනවා. ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්නත් විඳදරාගන්නත් මම ඉගෙනගත්තා. ඒ විතරක් නෙවෙයි කලාව පැත්තෙනුත් මම හුඟක් දියුණු වෙනවා. ඒ නිසා මට හොඳ රස්සාවක් කරන්න පුළුවන් වෙයි.”—රේචල්.

● “ටිකක් මහන්සි වුණොත් මගේ සිහින සැබෑ කරගන්න පුළුවන් කියලා මට දැන් තේරෙනවා. මම කාර්මික අංශයේ රස්සාවක් කරන්න කැමති නිසා ඉස්කෝලෙදීම ඒ අංශයේ පාඨමාලාවක් හදාරනවා.”—ජෝන්.

● “විවිධ ප්‍රශ්නවලට මුහුණ දීලා ඒවාට විසඳුමක් හොයන්නත් අනික් අයත් එක්ක පෑහිලා ඉන්නත් මට පුළුවන් වුණේ මම දිගටම ඉස්කෝලේ ගිය නිසයි.”—සින්ඩි.

● “රස්සාවක් කරනකොට අද්දකින අභියෝගවලට මුහුණ දෙන්න උපකාරයක් වෙලා තියෙන්නේ දිගටම ඉස්කෝලේ ගිය එකයි. ඒ වගේම මගේ ආගමික විශ්වාසයන් ගැන පැහැදිලි කරන්නත් සිද්ධ වුණ නිසා මම විශ්වාස කරන දේ මටම තවත් තහවුරු කරගන්නත් පුළුවන් වුණා.”—රෝස්.

පුරාණයේ සිටි සලමොන් රජ මෙවැනි දෙයක් සඳහන් කළා. “පටන්ගැන්මට වඩා අවසානය හොඳය. උඩඟු ලෙස හැසිරෙන කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය.” (දේශනාකාරයා 7:8) ඒ නිසා පාසැල් ගමන නතර කිරීමට ඉක්මන් වෙනවා වෙනුවට ටිකක් ඉවසන්න. ඇති වන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න පුරුදු වෙන්න. ඒ සියල්ලෙන් ඔබට ලැබෙන අවසාන ප්‍රතිඵල හුඟක් ප්‍රයෝජනවත් වෙයි.

සිතා බලන්න

● අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන දේ වටහාගැනීම, ඔබේ පාසැල් ගමනට ප්‍රයෝජනවත් වෙන්නේ කෙසේද?

● අනාගතයේදී කරන්න බලාපොරොත්තු වන රැකියාව ගැන කල් ඇතුව සිතීම වටින්නේ ඇයි?

[27වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

“පොත් කියවන්න ආසාවක් ඇති වුණේ ඉස්කෝලේදියි. වෙන කෙනෙක්ගේ අදහස් සහ හැඟීම් තේරුම්ගන්න පුළුවන් වෙන්නේ කියවනකොටයි.”

“කාලසටහනකට අනුව වැඩ කරන්නත් වඩා වැදගත් දේවලට මුල් තැන දෙන්නත් මම ඉගෙනගත්තේ ඉස්කෝලේ ගිය නිසයි.”

[පින්තූර]

එස්මි

ක්‍රිස්ටෝෆ

[28වන පිටුවේ කොටුව]

අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන දේ

අධ්‍යාපනයෙන් ඉටු වන මූලික කාරණයක් වන්නේ අනාගතයේදී සුදුසු රැකියාවක් සොයාගැනීමට ඔබව සූදානම් කිරීමයි. (2 තෙසලෝනික 3:10, 12) ඒ නිසා අනාගතයේදී කරන්නේ මොන වගේ රැකියාවක්ද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? ඒ සඳහා ඔබට මොන වගේ සුදුසුකම් අවශ්‍ය වෙයිද? අධ්‍යාපනයත් රැකියාවත් සම්බන්ධයෙන් හොඳ තීරණයක් ගැනීමට පහත දැක්වෙන ප්‍රශ්න ඔබට උපකාරවත් වෙයි. ඒවාට පිළිතුරු සපයන්න.

මගේ හැකියාවන් මොනවාද? (උදාහරණයකට අනික් අය එක්ක මට සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්ද? මට වැඩි හැකියාවක් තිබෙන්නේ දෑතේ වැඩවලටද නැත්නම් මනස වෙහෙසා කරන වැඩවලටද?)

......

මගේ හැකියාවන්ට අනුව කළ හැකි රැකියාවන් මොනවාද?

......

මගේ ප්‍රදේශයේ තිබෙන රැකියා ප්‍රස්තාවන් මොනවාද?

......

රැකියාවක් කිරීමට උපකාරවත් වන විෂයන් මම තෝරාගෙන තිබෙනවාද?

......

මම කැමති රැකියාවක් කිරීමට සුදුසු පාඨමාලා තිබෙනවාද?

......

ඔබ තෝරාගන්නා විෂයන් ප්‍රායෝගික මෙන්ම ප්‍රයෝජනවත් විය යුතුයි. සමහර අය අන්තයකට යනවා. ඔවුන් මූලික අධ්‍යාපනය ලැබූ පසුවත් තමන්ගේ ජීවිත කාලය පුරාම විවිධ පාඨමාලා හදාරනවා. නමුත් අප සමබර විය යුතුයි.

[29වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි මේ ඔබටයි

“අපිට හරියට උගන්නන්නෙත් නැහැ.” “කරන්න බැරි තරම් ගෙදර වැඩ දෙනවා.” “මට ඉගෙනගන්න බැහැ. ඒ නිසා මහන්සි වෙන්නේ මොකටද?” සමහර දරුවන් මේ වගේ හේතු ඉදිරිපත් කර පාසැල් ගමන නතර කරන්න උත්සාහ කරනවා. ඔබේ දරුවන් මෙවැනි හේතු ඉදිරිපත් කරමින් පාසැල් ගමන නතර කිරීමට උත්සාහ කරනවා නම් දෙමාපියන් වන ඔබට කළ හැකි දේ කුමක්ද?

ඔබේම ආකල්ප ගැන සිතන්න. පාසැල් යෑම, කාලය නාස්ති කිරීමක් කියා ඔබ ඒ කාලයේදී සිතුවාද? ඔබ පාසැල් ගියේ අකමැත්තෙන්ද? ඔබ එසේ සිටියා නම් සමහරවිට නොදැනුවත්වම ඔබේ දරුවාටත් එවැනි ආකල්ප බලපායි. නමුත් ‘ප්‍රඥාව හා සිතීමේ හැකියාව රැකගන්න’ නම් පාසැල් අධ්‍යාපනය අවශ්‍යයි. එවිට යම් දිනක ඔවුන් අවබෝධයෙන් ක්‍රියා කරන වැඩිහිටියන් බවට පත් වෙයි.—හිතෝපදේශ 3:21.

අවශ්‍ය දේවල් සපයන්න. සමහර දරුවන් දක්ෂ ශිෂ්‍යයන් වුණත් ඔවුන්ට ඉගෙනගැනීමට පහසු වාතාවරණයක් සහ අවශ්‍ය දේවල් නැහැ. ඒ නිසා ඔබේ දරුවාට පාඩම් කිරීමට සුදුසු වාතාවරණයක් සකසා දීම සහ අධ්‍යයනය සඳහා අවශ්‍ය දේවල් ලබා දීමෙන් දරුවාට හොඳින් පාඩම් කිරීමට හැකි වෙයි.—1 තිමෝති 4:15.

ඔබේ පැත්තෙන් විය යුතු දේ. ඔබේ දරුවාගේ ගුරුවරුන්ව හඳුනාගන්න. ඔවුන්ව සතුරන් ලෙස සලකන්න එපා. දරුවාගේ ඉලක්ක හා අභියෝග ගැන ඔවුන් සමඟ කතා කරන්න. දරුවා පාසැල් යන්න අදිමදි කරනවා නම් ඊට හේතුව කුමක්ද කියා සොයා බලන්න. උදාහරණයකට පන්තියේ ළමයි දරුවාට හිරිහැර කරනවාද, ගුරුවරුන් සමඟ යම් ගැටලුවක් තිබෙනවාද, සුදුසු විෂයන් තෝරාගැනීම දරුවාට අභියෝගයක්ද, එසේත් නැත්නම් පෙනීමේ දුර්වලතාවක් හෝ වෙනත් ආබාධයක් තිබෙනවාද කියා සොයා බලන්න.

දරුවාගේ පාසැල් ගමනට මෙන්ම ඔහුගේ ආගමික විශ්වාසයන් ස්ථිර කරගැනීමට ඔබ උපකාර කරනවා නම් ඔහු සාර්ථකත්වයක් අද්දකියි.—හිතෝපදේශ 22:6.

[29වන පිටුවේ පින්තූරය]

පාසැල් ගමන අතරමඟ නතර කිරීම හරියට ගමනාන්තයට පෙර දුම්රියෙන් පනිනවා වගෙයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න