කතාබහට සීමා වූ ගෝලීය උණුසුම
“ලෝකයේ ඇති වී තිබෙන දේශගුණික වෙනස්කම්වලට පිළියමක් යොදන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ. විද්‍යාඥයන් වැඩිදෙනෙක් කියන්නේ මේ ගැන ඉක්මනින්ම පියවරක් ගත්තේ නැත්නම් නියඟ, සාගත මෙන්ම අවතැන් වීමේ අවධානමට බොහෝ කාලයක් මිනිසුන්ට මුහුණ දීමට සිදු වන බවයි.”—ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරාක් ඔබාමා.
පෘථිවිය දැන් රෝගී තත්වයකට පත් වී තිබෙන බව සමහර විද්‍යාඥයන්ගේ අදහසයි. ඔවුන්ගේ මතයට අනුව ගෝලීය උණුසුම මොන තරම් දරුණු වී තිබෙනවාද කියනවා නම් ඒ ගැන එක් පුවත්පතක සඳහන් වුණේ මෙලෙසයි. “පෘථිවියේ උෂ්ණත්වය තව කුඩා ප්‍රමාණයකින් හෝ වැඩි වුණොත් පරිසරයේ විශාල විපර්යාසයක් සිදු විය හැකියි.”—The Guardian.
පෘථිවියට එවැනි තත්වයක් ඇති වුණේ කොහොමද? සිදු වී ඇති හානිය යථා තත්වයට පත් කළ හැකිද? ගෝලීය උණුසුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට මිනිසාට හැකිද?
බොහෝ විද්‍යාඥයන් පවසන්නේ එම ප්‍රශ්නයට වග කිව යුත්තේ වෙන කිසිවෙකු නොව මිනිසා කියායි. එසේ පැවසීමට එක් හේතුවක් වන්නේ කාර්මික විප්ලවයත් සමඟ ගල් අඟුරු හා ඉන්ධන අධික ලෙස පරිභෝජනය කිරීමයි. තවත් හේතුවක් වී ඇත්තේ සීමාවක් නැතුව වනාන්තර එළි කිරීමයි. ඉන් සිදු වන්නේ විශාල හානියක්. මන්ද අපේ පෘථිවියට පණ පොවන්නේ වනාන්තරයි. එසේ පැවසීමට හේතුව ගෝලීය උණුසුම වැඩි කරන වායු ගෝලයේ ඇති සමහර හරිතාගාර වායු ගස් කොළන් උරාගැනීමයි. නමුත් වනාන්තර විශාල ප්‍රමාණයක් එළි කිරීම නිසා වායු ගෝලයේ හරිත වායු ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඊට විසඳුමක් සෙවීමට ලෝක නායකයන් විවිධ සම්මන්ත්‍රණ පවත්වා තිබෙනවා.
කියෝතො ගිවිසුම
වායු ගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීමට 1997දී කියෝතො නමැති ගිවිසුමක් ඇති කරගත්තා. යුරෝපා සංගමයට අයත් රටවල් 37ක් සහ වෙනත් කාර්මික රටවල් එම ගිවිසුමට එකඟ වුණා. ඉන් ඔවුන් තීරණය කරගත්තේ 1990දී වායු ගෝලයට මුදාහළ අහිතකර වායු ප්‍රමාණයෙන් සියයට පහක් පමණ 2008 සිට 2012 දක්වා කාල සීමාව තුළ අවම කිරීමටයි.
නමුත් එම ගිවිසුමේ අඩුපාඩු රැසක් දකින්න තිබුණා. උදාහරණයකට එම ගිවිසුමට ඇමරිකාව අත්සන් කළේ නැහැ. ඒ වගේම වායු ගෝලයට මුදාහරින අහිතකර වායු ප්‍රමාණයට දමා තිබූ සීමාවට චීනය හා ඉන්දියාව වැනි සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටවල් එකඟ වුණේ නැහැ. වායු ගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් සියයට 40කටම වග කිව යුත්තේ ඇමරිකාව සහ චීනයයි.
කෝපන්හේගන්හි පැවැත්වූ සමුළුව
මෙම සමුළුව ආරම්භ කෙරුණේ කියෝතො ගිවිසුමට ආදේශකයක් ලෙසයි. එය අලුත් මුහුණුවරක් ගෙන තිබුණා.a දේශගුණික වෙනස්කම්වලට අවධානය යොමු කිරීම සඳහා රටවල් 192කින් නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නායකයන් 119ක්ද 2009 දෙසැම්බර් මාසයේදී ඩෙන්මාකයේ කෝපන්හේගන්හි පැවැත්වූ සමුළුවට සහභාගි වුණා. නමුත් ඔවුන්ට පහත සඳහන් ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා.
1. නීතිමය ගිවිසුමකට එළඹීම. වායු ගෝලයට මුදාහරින අහිතකර වායු සීමා කිරීමට සංවර්ධිත රටවල් හා සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් එකඟ වෙයිද යන ප්‍රශ්නය මතු වුණා.
2. දිගු කාලීනව මුදල් ආයෝජනය කිරීම. ගෝලීය උණුසුම නිසා ඇති වී තිබෙන හානිවල ප්‍රතිඵලවලට මුහුණ දීමටත් පරිසරයට හිතකර තාක්ෂණික ක්‍රම නිපදවීමටත් ඉදිරි වසර ගණනාව පුරා ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට දියුණු වෙමින පවතින රටවලට සිදු වෙනවා.
3. අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් යෙදවීමට එකඟ වීම. වායු ගෝලයට මුදාහරින අහිතකර වායු සීමාවකින් යුතුව මුදාහරිනවාද කියා සොයා බැලීමට එක් එක් රටවලට එය උපකාරවත්. ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබෙන ආධාර නිසියාකාරව පරිහරණය කරනවාද කියා ඉන් සොයා බලනවා.
එම ගැටලු තුනට විසඳුම් සෙවීමට ඔවුන්ට හැකි වුණාද? නැහැ. සුළු ප්‍රශ්න පවා විසඳාගැනීමට ඔවුන්ට නොහැකි වුණා. එම සමුළුවේ අවසාන පැය කිහිපය තුළදී රටවල් 28ක නායකයන් ගිවිසුමට අත්සන් කිරීමට එකඟ වුණා. රොයිටර් පුවත් සේවය වාර්තා කළ පරිදි අන්තිමේදී ඔවුන් පැමිණි නිගමනය වන්නේ ගෝලීය උණුසුම සම්බන්ධ ගැටලුව විසඳාගැනීම එක් එක් රටවල වගකීමක් බවයි.
මීළඟට සිදු වන්නේ කුමක්ද?
ඉදිරියේදීත් එවැනි තවත් සමුළු පැවැත්වෙයි. නමුත් ඒවා සාර්ථක වෙයිද? එක් පුවත්පතක සඳහන් වී තිබුණේ ගෝලීය උණුසුම පිළිබඳ ගැටලුව දිගටම පවතින බවයි. ඒ ප්‍රශ්නය විසඳීමට තවමත් නොහැකි වී තිබෙන්නේ මුදලට තිබෙන තණ්හාව හා දේශපාලනික වාසි ප්‍රයෝජන ලබාගන්න උත්සාහ කරන නිසා බවත් එහි සඳහන් වුණා. බොහෝදුරට සිදු වන්නේ කෙටි කාලීන දේශපාලනික හා ආර්ථික වාසි ප්‍රයෝජන ලබාගැනීමට මිනිසුන් කෑදර නිසා දිගු කාලීනව පරිසරයට සිදු වන හානිය ගැන ඔවුන් කිසි තැකීමක් නොකිරීමයි.—New York Times.
ගෝලීය උණුසුම සුළි සුළඟකට සමාන කළ හැකියි. සුළි සුළඟක් කොතරම් වේගයෙන් හමනවාද කියා යම්තාක් දුරකට පැවසීමට විද්‍යාඥයන්ට පුළුවන්. එමගින් මිනිසුන්ට ආරක්ෂා වීම සඳහා කල්තියා දැනුම් දීමට ඔවුන්ට හැකියාවක් තිබෙනවා. නමුත් සුළි සුළඟක් වැළැක්වීමට විද්‍යාඥයන්ටවත් දේශපාලනික නායකයන්ටවත් ව්‍යාපාරිකයන්ටවත් හැකියාවක් නැහැ. ගෝලීය උණුසුම ගැන පැවසිය හැක්කේද එවැනිම දෙයක්. බයිබලයේ පවසන මෙම වදන් මොන තරම් සත්‍යයක්ද කියා අපට ඉන් පැහැදිලි වෙනවා. “මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.”—යෙරෙමියා 10:23.
ස්ථිර විසඳුමක්
බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘දෙවි පොළොව නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොවෙයි.’ (යෙසායා 45:18) ඒ වගේම “පොළොව සදහටම පවතියි” කියාද එහි සඳහන් වෙනවා.—දේශනාකාරයා 1:4.
පෘථිවිය මිනිසුන්ට වාසය කිරීමට නොහැකි තැනක් බවට පත් වීමට දෙවි ඉඩහරින්නේ නැහැ. මිනිසුන්ගේ අසාර්ථක පාලන මෙන්ම ඔවුන් පෘථිවියට කරන විනාශය නතර කිරීමට දෙවි පියවර ගන්නවා. ඒ විතරක් නොවෙයි, දෙවිගේ ආඥාවලට කීකරු වන මිනිසුන්ට ඔහු මෙසේ පොරොන්දු වී තිබෙනවා. “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.”—හිතෝපදේශ 2:21, 22.
[පාදසටහන]
a දේශගුණික වෙනස්කම් සම්බන්ධයෙන් පවත්වන මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිතරම පවත්වනවා.
[13වන පිටුවේ කොටුව]
හරිතාගාර වායු ලෙස හඳුන්වන්නේ පෘථිවි පෘෂ්ඨයෙන් නිකුත් වන විකිරණ උරාගන්නා වායුයි. එම වායුවලට කාබන්ඩයොක්සයිඩ්, ක්ලෝරොෆ්ලුවොරොකාබන්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් ඇතුළත්. පෘථිවියේ උෂ්ණත්වය පවත්වාගැනීමට හරිතාගාර වායු දායක වෙනවා. නමුත් දැන් තිබෙන කර්මාන්ත ශාලාවලින් වායු ගෝලයට හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් මුදාහරිනවා. හරිතාගාර වායු අතරින් කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 25ක් සෑම වසරකම වායු ගෝලයට මුදාහරිනවා. වාර්තාවලින් පැහැදිලි වන්නේ කාර්මික යුගය ආරම්භ වීමත් සමඟම වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සියයට 40කින් වැඩි වී ඇති බවයි.
[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Earth: NASA/The Visible Earth (http://visibleearth.nasa.gov/); Barack Obama: ATTILA KISBENEDEK/AFP/Getty Images