අයුක්තියට විසඳුමක් මට ලැබුණා
පැවසුවේ අර්සූලා මෙන්නෙ
හැමෝටම සාධාරණව සලකනවා දකින්න පොඩි කාලේ ඉඳලා මට ලොකු ආශාවක් තිබුණා. ඒ ආශාව නිසාම මට අන්තිමට නවතින්න සිද්ධ වුණේ හිර ගෙදරයි. අයුක්තියට විසඳුමක් ලැබුණේත් හිරේදිම තමයි. ඒ ගැන විස්තර දැන් මම කියන්නම්.
මම ඉපදුණේ 1922 ජර්මනියේ හාලේ කියන නගරයේයි. ඒ නගරය පිහිටා තිබෙන්නේ බර්ලින්වල සිට කිලෝමීටර් 200ක් පමණ ඈතිනුයි. ඒ නගරයට අවුරුදු 1,200කට වඩා වැඩි ඉතිහාසයක් තිබෙනවා. එය රෙපරමාදු ආගම පැතිර තිබුණු නගරයක්. අපේ තාත්තා සේවය කළේ හමුදාවේ. අම්මා ගායිකාවක්. මගේ නංගි කාතී ඉපදුනේ 1923දියි.
අයුක්තියට හා අසාධාරණයට එරෙහි වෙන්න මට ආශාවක් ඇති වුණේ තාත්තා නිසයි. තාත්ත හමුදාවෙන් අයින් වෙලා කඩයක් කරන්න පටන්ගත්තා. ඒ කඩේට හුඟක් ආවේ දුප්පත් අය නිසා ඒ අයට අනුකම්පා කරලා තාත්තා ණයට බඩු දුන්නා. ටික කාලෙකින් කඩේ බංකොලොත් වුණා. තාත්තගේ ඒ අද්දැකීමෙන් මට ඉගෙනගන්න තිබුණේ දුප්පත් පොහොසත් භේදය නැති කරන එක එච්චර ලෙහෙසි දෙයක් නෙවෙයි කියලයි. නමුත් යෞවනයෙක් හැටියට අසාධාරණයට එරෙහි වීමට මට තිබුණු ආශාව වෙනස් කරන එක එච්චර පහසු වුණේ නැහැ.
මගේ කලාත්මක හැකියාවන් මට ලැබුණේ අම්මගෙනුයි. පොඩි කාලේ ඉඳලම අම්මා නංගිවයි මාවයි සංගීතයට සහ නර්තනයට යොමු කළා. අපේ ළමා කාලය ගෙවුණේ හරිම සතුටින්.
යුද්ධය ඇරඹෙයි
මූලික අධ්‍යාපනයක් ලැබූ පසු මම නර්තනය උගන්වන පාසැලකට ඇතුල් වුණා. එහිදී මම වෙනස්ම නර්තන කලාවක් ඉගෙනගත්තා. මම චිත්‍ර අඳින්නත් ඉගෙනගත්තා. ඒ විදිහට හුඟක් දේවල් ඉගෙනගනිමින් මගේ යෞවන කාලය සතුටින් ගත කළා. නමුත් 1939 දෙවන ලෝක යුද්ධය පටන්ගැනීමත් සමඟ ඒ සතුට අහිමි වුණා. ඒ විතරක් නෙවෙයි 1941දී මගේ තාත්තා ක්ෂය රෝගය හැදිලා මිය ගියා. ඒකත් මට දරාගන්න බැරි දුකක්.
යුද්ධය පටන්ගනිද්දී මට අවුරුදු 17යි. මේ මුළුලෝකයටම පිස්සු හැදිලා කියලා මට හිතුණා. මෙච්චර කාලයක් හොඳට හිටපු මිනිසුන් පවා නාට්සිවරුන්ගේ කුරිරු හැසිරීම් රටාව අනුකරණය කරනවා මම දැක්කා. හැම තැනකම දකින්න තිබුණේ මිනිසුන්ව මරනවා, ගොඩනැඟිලි විනාශ කරනවා වගේ දේවල් විතරයි. බෝම්බ ප්‍රහාරයක් නිසා අපේ ගෙදරටත් හුඟක් අලාභ හානි සිදු වුණා. මගේ නෑදෑයන් කිහිපදෙනෙකුත් ඒ කාලයේදී මිය ගියා.
වර්ෂ 1945දී පමණ යුධමය වාතාවරණය සමතයකට පත් වුණා. ඒ කාලයේදී මමයි නංගියි අම්මයි හිටියේ හාලේවල. ඒ වෙද්දී මම විවාහ වෙලා මට දරුවෙකුත් හිටියා. නමුත් මගේ විවාහ ජීවිතය සාර්ථක වුණේ නැති නිසා මමයි මගේ සැමියයි වෙන් වුණා. තනියම දුවව බලාගන්න සිද්ධ වුණ නිසා මම නර්තන ශිල්පිනියක් හා චිත්‍ර ශිල්පිනියක් ලෙස වැඩ කරන්න පටන්ගත්තා.
යුද්ධයෙන් පසු ජර්මනිය කොටස් හතරකට බෙදුණා. අපි ජීවත් වූ නගරය අයිති වුණේ සෝවියට් සමූහාණ්ඩුවේ පාලනය යටතටයි. එදා සිට අපිට කොමියුනිස්ට් පාලනයට හැඩගැහෙන්න සිද්ධ වුණා. අපි ජීවත් වූ නැඟෙනහිර ජර්මනිය 1949 සිට හැඳින්නුවේ ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව ලෙසයි.
කොමියුනිස්ට් පාලනය යටතේ
මේ කාලයේදී අපේ අම්මා අසනීප වුණා. අම්මව බලාගන්න සිද්ධ වුණ නිසා මම රජයේ රැකියාවක් කරන්න පටන්ගත්තා. ඒ කාලෙදී ආණ්ඩුවේ අසාධාරණකම්වලට විරුද්ධව නැඟී සිටි ශිෂ්‍ය කණ්ඩායමක් මට මුණගැහුණා. ඒ කණ්ඩායමේ එක් කෙනෙකුගේ පියෙක් කලින් නාට්සි පාලනයට සහයෝගය ලබා දී තිබුණු නිසා විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම ඔහුට අහිමි කර තිබුණා. මම ඔහුව හුඟක් හොඳින් අඳුරනවා. ‘තාත්තා කරපු වැරදිවලට දරුවෝ දඬුවම් විඳින්න ඕනද’ කියන ප්‍රශ්නය මට ඇති වුණා. ඒ ශිෂ්‍ය කණ්ඩායම සමඟ තිබුණු මගේ ආශ්‍රය එන්න එන්නම වැඩි වුණා. ඔවුන් සමඟ එකතු වෙලා මම පෙළපාලි ගියා. එක් අවස්ථාවකදී උසාවි සංකීර්ණයක පෝස්ටර් අලවන්නත් මම හවුල් වුණා.
මගේ රැකියාව වුණේ ලේකම්වරියක් ලෙස ලිපි සකස් කිරීමයි. එතන අසාධාරණකම් හුඟක් සිද්ධ වුණා. උදාහරණයකට කොමියුනිස්ට් පාලනයට එරෙහිව කටයුතු කරනවා කියා වයසක කෙනෙකුව කොටු කරගැනීම සඳහා යම් ලියකියවිලි ඔහුට යැවීමට මම සේවය කළ කාර්යාලයෙන් සැලසුම් කළා. මිනිසුන්ට මේ විදිහට සලකන එක ගැන මම හිටියේ හුඟක් තරහෙනුයි. ඒ නිසා මම ඒ ලියකියවිලි තැපැල් නොකර මගේ කාර්යාලයේ සැඟෙව්වා.
අසාධාරණයට විසඳුමක්
වර්ෂ 1951 එක් දවසක මාව අත්අඩංගුවට ගෙන සිරගත කළා. මම ආණ්ඩුවට විරුද්ධව කැරළිගසන කෙනෙක් කියා අවුරුද්දකට පස්සේ මට චෝදනා කළා. ඒකට හේතුව ආණ්ඩුවට විරුද්ධව ලියැවුණු පත්‍රිකා මම කලින් බෙදාහැරීම ගැන ශිෂ්‍ය කණ්ඩායමේ එක් කෙනෙක් රහස් පොලීසියට ඔත්තුවක් දීමයි. නඩු විභාගයේදී මම නිදහසට කරුණු ඉදිරිපත් කළත් ඉන් කිසිම පලක් වුණේ නැහැ. මම කියපු දේවල් කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ. මට තවත් අවුරුදු හයක සිරදඬුවමක් නියම වුණා. ඒ කාලයේදී මම අසනීප වුණ නිසා සිරගෙදරට අයත්ව තිබුණු රෝහලේ මාව නතර කළා. එහි තවත් කාන්තාවන් 40ක් පමණ සිටියා. ඒ අයගේ දුක්බර මුහුණු දැක්කම මට හොඳටම කලකිරුණා. මම දුවගෙන ගිහිල්ලා දොරට හයියෙන් ගැහුවා.
“ඔයාට මොනවද ඕනේ” කියලා ආරක්ෂක භටයෙක් මගෙන් ඇහුවා.
“මට මෙහෙන් යන්න ඕනේ. මාව තනියම හිර කළත් කමක් නැහැ. මට ඕනේ මෙතනින් කොහොමහරි යන්නයි” කියලා මම පිළිතුරු දුන්නා. නමුත් ඔහු එය කිසි ගණනකට ගත්තේ නැහැ. ටික වෙලාවකට පස්සේ මම දැක්කා අනික් අයට වඩා වෙනස් කෙනෙක් එහෙ ඉන්නවා. එයා තුළ ලොකු සන්සුන්කමක් දකින්න තිබුණා. ඒ නිසා මම එයා ළඟින් වාඩි වුණා.
“ඔයා මං ළඟ ඉඳගත්තට කමක් නැහැ. හැබැයි පරෙස්සමෙන්” කියලා ඇය කිව්වා. ඊට පස්සේ ඇය මෙහෙම කිව්වා. “මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් නිසා අනික් හැමෝම හිතන්නේ මෙතන ඉන්න දරුණුම කෙනා මම කියලයි.”
කොමියුනිස්ට් රජය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සලකන්නේ සතුරන් ලෙස කියා මම දැනගත්තේ ඒ වෙලාවේ. නමුත් මට මතකයි මම කුඩා කාලයේ මගේ තාත්තව මුණගැහෙන්න බයිබල් ශිෂ්‍යයන් (යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්වූ නම) දෙදෙනෙක් ආවා. තාත්තා කිව්වා ඒ අය උගන්වන දේ තමයි හරි කියලා.
මට බෙර්ටා බෲගමයර් නම් ඒ කාන්තාව මුණගැසීම ලොකු සහනයක් වුණා. “මට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්න” කියා මම ඇයට පැවසුවා. එදා ඉඳලා බයිබලයේ තියෙන දේවල් ගැන කතා කරන්න අපි හුඟක් කාලය වැය කළා. යෙහෝවා දෙවි මොන තරම් ප්‍රේමණීය, යුක්තිසහගත හා සමාදානයේ දෙවි කෙනෙක්ද කියලා මම ඉගෙනගත්තා. දෙවි සෑම දුක් වේදනාවක්ම අවසන් කර මිනිස්වර්ගයාට ප්‍රීතිමත් කාලයක් ලබා දෙන බවත් මම ඉගෙනගත්තා. ඒ ගැන බයිබලයේ පොරොන්දු වී තිබෙන්නේ මෙසේයි. ‘තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.’—ගීතාවලිය 37:10, 11.
නිදහස් වීමෙන් පසු
සිරගෙදර අවුරුදු පහකට වඩා සිටීමෙන් අනතුරුව 1956දී මට නිදහස ලැබුණා. නිදහස් වී දවස් පහකට පස්සේ මම මගේ දුවලා දෙදෙනා වන හානාලෝරා සහ සාබීනා සමඟ බටහිර ජර්මනියට ගියා. එහිදී මට ස්වාමිපුරුෂයාව මුණගැසුණු අතර අපි නිත්‍යානුකූලව දික්කසාද වුණා. පසුව මම නැවතත් සාක්ෂිකරුවන්ව හමු වී ඔවුන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. දෙවිගේ අනුමැතිය ලබන්න නම් මගේ ජීවිතේ හුඟක් වෙනස්කම් කළ යුතු බව මම තේරුම්ගත්තා. අවශ්‍ය වෙනස්කම් කර 1958දී මම බව්තීස්ම වුණා.
ටික කාලයකට පසු මම නැවත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන ක්ලවුස් මෙන්නෙ සමඟ විවාහ වුණා. අපි දෙදෙනා ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළ අතර අපිට බෙන්ජමින් සහ ටාබියා නම් පුතෙක් සහ දුවක් ලැබුණා. කනගාටුදායක ලෙස මීට අවුරුදු 20කට කලින් හදිසි අනතුරකින් ක්ලවුස් මිය ගියා. මම එදා සිට තවමත් වැන්දඹුවක් ලෙස ජීවත් වෙනවා. නමුත් පාරාදීස පොළොව තුළ මිය ගිය අය නැවත නැඟිටින බවට තිබෙන බලාපොරොත්තුව මට ලොකු සහනයක්. (ලූක් 23:43; ක්‍රියා 24:15) මගේ දරුවෝ හතරදෙනාම දෙවිට සේවය කිරීම නිසා මට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.
සාධාරණය ඉටු කළ හැකි එකම පුද්ගලයා යෙහෝවා දෙවි බව මම බයිබලය ඉගෙනගැනීමෙන් දැනගත්තා. මිනිසුන් මෙන් නොව දෙවි අපේ පසුබිම සහ අපේ ජීවිතයේ සියලුම දේවල් දන්නවා. අයුක්තිය, අසාධාරණය අද්දකින විට ඒවා දරාගන්න මට එය උපකාරවත් වී තිබෙනවා. දේශනාකාරයා 5:8හි පවසන්නේ මෙයයි. “යම් දේශයක සිටින නිලධාරීන් දුප්පතුන්ට පීඩා කරන බව හෝ ඔවුන් බලහත්කාරයෙන් යුක්තිය පෙරළා අධර්මිෂ්ඨකම් කරන බව හෝ ඔබ දකින්නෙහි නම් ඒ ගැන පුදුම නොවන්න. ඔවුන්ටත් වඩා බලවත් අධිපතීන් සිටින බවත් ඒ සියලුදෙනාටම වඩා බලවත් තැනැත්තෙකු බලා සිටින බවත් මතක තබාගන්න.” ‘බලවත් තැනැත්තා’ වෙන කිසිවෙකු නොව අපේ නිර්මාතෘයි. ඔහු ගැන බයිබලයේ මෙසේද පවසා තිබෙනවා. “අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.”—හෙබ්‍රෙව් 4:13.
ගෙවුණු අතීතය
නාට්සි පාලනයෙන්වත් කොමියුනිස්ට් පාලනයෙන්වත් කිසිම සහනයක් ලැබුණේ නැහැ. මේ සෑම පාලන ක්‍රමයකින්ම තහවුරු වෙලා තියෙන්නේ මිනිසුන්ට තමන්වම පාලනය කරන්න බැහැ යන කාරණයයි. බයිබලයේ ඒ ගැන මෙසේ පවසා තිබෙනවා. “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9.
මම යෞවන කාලයේදී අසාධාරණයට විසඳුමක් බලාපොරොත්තු වුණේ මිනිසුන්ගෙනුයි. නමුත් දැන් මම දන්නවා ඒක කරන්න පුළුවන් අපේ නිර්මාතෘ වන දෙවිට පමණයි කියලා. ඔහු එය කරන්නේ සියලුම දුෂ්ටකම් ඉවත් කර යේසුස්ට මේ පොළොව පාලනය කිරීමට භාර දීමෙනුයි. යේසුස් සෑමවිටම තමන් ගැන සිතනවාට වඩා අන් අය ගැන සිතන නිසා ඔහු ඇත්තෙන්ම යුක්තිසහගත පාලකයෙක්. ඔහු ගැන බයිබලයේ මෙසේ පවසනවා. “[යේසුස්] ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය.” (හෙබ්‍රෙව් 1:9) යෙහෝවා දෙවි එම යුක්තිසහගත රජු වෙතට මාව ළං කිරීම ගැන මම ඔහුට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මගේ බලාපොරොත්තුව ඔහුගේ පාලනය යටතේ සදහටම ජීවත් වීමයි.
[23වන පිටුවේ පින්තූරය]
බටහිර ජර්මනියේ මගේ දුවලා දෙදෙනා වන හානාලෝරා සහ සාබීනා සමඟ
[23වන පිටුවේ පින්තූරය]
මගේ පුතා බෙන්ජමින් හා ඔහුගේ භාර්යාව වන සැන්ඩ්‍රා සමඟ