බයිබලයෙන් පිළිතුරක්
ස්වභාවික විපත් දෙවියන්ගේ දඬුවමක්ද?
දෙවියන් ස්වභාවික විපත්වලින් මිනිසුන්ට දඬුවම් කරනවා කියා සමහර අය කියනවා. සමහර අය එම මතය විශ්වාස කරන්නේ නැහැ. තවත් අයට මොකක් විශ්වාස කරන්නද කියා සිතාගන්න බැහැ. ආගම් පිළිබඳව අධ්‍යයනය කරන මහාචාර්යවරයෙක් මෙසේ පවසනවා. “ස්වභාවික විපත් සිදු වන්නේ දෙවියන්ගේ මැදිහත් වීමෙන්ද නැද්ද කියා ස්ථිර වශයෙන්ම කියන්න බොහෝ ආගම්වලට බැහැ.”
ස්වභාවික විපත් සිදු වන්නේ දෙවියන්ගේ දඬුවමක් නිසාද? අද බොහෝදෙනෙක් පීඩා විඳින්නේ ඇයි? ඒවාට පිළිතුරු බයිබලයෙන් ලබාගත හැකියි.
දෙවි ක්‍රියා කරන ආකාරය
යෙහෝවා දෙවියන් ගැන බයිබලයේ මූලික සත්‍යයන් දෙකක් සඳහන් වෙයි. පළමු එක නම් විශ්වයේ සෑම දෙයකම නිර්මාතෘ ඔහු නිසා සෑම දෙයක්ම පාලනය කිරීමට ඔහුට හැකියාව තිබීමයි. (එළිදරව් 4:11) දෙවෙනි එක ඔහු කටයුතු කරන්නේ ඔහුගේ ප්‍රතිපත්ති හා ගුණාංගවලට එකඟවයි. දෙවියන් තමා ගැන මෙසේ පවසනවා. “මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි.” (මලාකි 3:6) මේ කරුණු මනසේ තබාගෙන දෙවි අතීතයේදී මිනිසුන්ට දඬුවම් කළ ආකාරය සලකා බලමු. එදා දෙවි අකීකරු මිනිසුන්ට දඬුවම් කිරීමට යම් ක්‍රම භාවිත කළා. අප මේ ලිපියේ සලකා බලන්නේ ජලගැල්මක් හා නියඟයක් මාර්ගයෙන් දඬුවම් කළ ආකාරයයි. එලෙස දඬුවම් කිරීමට පෙර ඒ ගැන දෙවියන් (1) අනතුරු ඇඟෙව්වා, (2) එයට හේතුව පැහැදිලි කළා සහ (3) ඔහුට කීකරු අයව ආරක්ෂා කළා.
නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්ම
අනතුරු ඇඟවීම.
ජලගැල්ම ගෙන ඒමට දශක ගණනාවකට පෙර දෙවියන් නෝවාට මෙසේ පැවසුවා. “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි. මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව විනාශ කරන පිණිසයි.” (උත්පත්ති 6:17) “ධර්මිෂ්ඨකම ගැන දේශනා” කරන්නෙකු වූ නෝවා ඒ ගැන මිනිසුන්ට අනතුරු ඇඟෙව්වා. ඒත් ඔවුන් “කිසි තැකීමක් කළේ නැහැ.”—2 පේතෘස් 2:5; මතෙව් 24:39.
හේතුව.
දෙවි මෙසේ පැවසුවා. “සියල්ලන්ව විනාශ කිරීමට කාලය පැමිණ ඇත. මන්ද ඔවුන් නිසා මුළු පොළොවම සැහැසික ක්‍රියාවලින් පිරී තිබේ.”—උත්පත්ති 6:13.
දෙවිට කීකරු අයව ආරක්ෂා කිරීම.
ජලගැල්මෙන් තම ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා නැවක් සෑදීමට අවශ්‍ය සෑම තොරතුරක්ම යෙහෝවා දෙවියන් නෝවාට ලබා දුන්නා. එමගින් ‘නෝවා සහ ඔහු සමඟ නැවේ සිටි සියල්ලන් බේරුණා.’—උත්පත්ති 7:23.
ඊශ්‍රායෙලයේ ඇති වූ නියඟය
අනතුරු ඇඟවීම.
ඊශ්රායෙලයට දරුණු නියඟයකින් පහර දීමට පෙර දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ එලියා මාර්ගයෙන් දෙවියන් මෙසේ අනතුරු ඇඟෙව්වා. “[දෙවි] අණ දුන්නොත් මිස ඊළඟ අවුරුදු කිහිපය තුළ වැසිවත් පිනිවත් ඇති වෙන්නේ නැහැ.”—1 රාජාවලිය 17:1.
හේතුව.
ඊශ්‍රායෙල් ජාතිය බාල් නමැති බොරු දෙවියාට නමස්කාර කළ නිසයි. එලියා ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබයි යෙහෝවා දෙවිගේ ආඥාවලට අකීකරු වී බාල් දෙවිවරුන්ට සේවය කරන්නේ.”—1 රාජාවලිය 18:18.
දෙවිට කීකරු අයව ආරක්ෂා කිරීම.
තමන්ට කීකරුව සිටි අයට නියඟය පැවති කාලයේදී ආහාර ලබා දී රැකබලා ගත්තා.—1 රාජාවලිය 17:6, 14; 18:4; 19:18.
පැහැදිලි වන්නේ කුමක්ද?
යුක්තියට ළැදි යෙහෝවා දෙවි, දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව කවදාවත් විනාශ කරලා නැහැ. (උත්පත්ති 18:23, 25) එදා දෙවියන්ට කීකරු වූ අයව ගලවාගැනීමට ඔහු පියවර ගත්තා. නමුත් අද සිදු වන ස්වභාවික විපත්වලින් දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨ අයත් විනාශ වෙනවා.
මිනිසුන් දුක් විඳින්නේ දෙවියන් නිසා නොවෙයි
ඒ කරුණුවලින් පැහැදිලි වන්නේ අද දින සිදු වන ස්වභාවික විපත් හා දෙවියන් විසින් ගෙනා දඬුවම් අතර පැහැදිලි වෙනසක් ඇති බවයි. බයිබලයේ සඳහන් වෙන්නේ දෙවි කිසිම කෙනෙකුට නපුරක් වෙනවාට කැමති නැහැ කියායි. එමෙන්ම දෙවි ප්‍රේමණීයයි කියාත් එහි සඳහන් වෙනවා. (යාකොබ් 1:13; 1 යොහන් 4:8) ඒ අනුව කුණාටු, භුමිකම්පා වැනි ස්වභාවික විපත්වලින් අහිංසක ජනයා දුක් විඳින්නේ දෙවියන්ගේ දඬුවමක් නිසා නොවන බව පැහැදිලියි. එවැනි විපත් කවදා හරි අවසන් වෙයිද?
විපත් නැති කාලයක්
යෙහෝවා දෙවියන් ස්වභාවික විපත්වලින් මිනිසාට කිසිවිටකත් පහර දෙන්නේ නැහැ. ඔහුගේ එකම ආශාව මිනිස් වර්ගයා සදාකාලයටම මේ පොළොවේ සතුටින් ජීවත් වෙනවා දැකීමයි. නෝවාගේ කාලයේ කළා හා සමානව මිනිසුන්ගේ සතුටට බාධා කරන සෑම දෙයක්ම නැති කිරීමට ඔහු පියවර ගන්නවා. දෙවියන් කලින් කළා හා සමානව අද දිනත් ලොව පුරාම අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කරනවා. එම අනතුරු ඇඟවීමට කීකරු වන අයට තම ජීවිත ගලවාගැනීමට හැකි වෙයි.—ගීතාවලිය 37:9, 11, 29; මතෙව් 24:14.