ස්වාභාවික විපත්—ඒවාට වගකිව යුත්තේ දෙවියන් වහන්සේ ද?
“දෙවියනේ, ඔබ අපට මේ කළේ මොකක් ද?”
එක්දහස් නවසිය අසූ පහේ නොවැම්බර් 13වන දින, කොලොම්බියාවේ හිමෙන් වැසී ගිය නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනි කන්ද, පුපුරා යාමෙන් සිදු වූ විනාශය සෝදිසි කළ, නොමැරී බේරුන අයෙක් අදහස් දැක්වූයේ එයාකාරයට ය. ඉන් නිකුත් වූ මඩ ධාරාව මුළු ආමෙරෝ නගරය ම වළලා දැමූ අතර එක් රැයක් තුළ මිනිසුන් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත් කළේ ය.
ඉන් නොමැරී බේරුන අයෙක් එයාකාරයෙන් ප්‍රතික්‍රියා කිරීම තේරුම් ගත හැකි යමක් වන්නේ ය. භයංකාර බලයන් හමුවේ අසරණ වන ජනයා, මුල් කාලයේ පටන් එවන් විපත්තිකර සිදුවීම් දෙවියන් වහන්සේ නිසා ඇති වන්නේ යයි පවසා ඇත්තාහ. ආදි ජනයා මුහුදු, අහස්, භූමි, කඳු, ගිනි කඳු මෙන් ම, වෙනත් අන්තරාවන් ඇති කළේ යයි තමන් කල්පනා කළ තම දෙවිවරුන් සතුටු කිරීමට, පූජා, ඇතැම් විට නර පූජා පවා ඔප්පු කළෝ ය. ස්වාභාවික විපත්තිකර සිද්ධීන්වල ප්‍රතිඵල දෛවය නැතහොත් දේව ක්‍රියාවක් හැටියට අද දින පවා, ඇතැමෙක් පිළිගනිති.
ලෝවටා මෙතරම් මනුෂ්‍ය වේදනාවන් හා අලාභයන් ගෙනෙන්නා වූ විපත් සඳහා සැබවින් ම වගකිව යුත්තේ දෙවියන් වහන්සේ ද? දොස් පැවරිය යුත්තේ උන් වහන්සේට ද? මේ සඳහා පිළිතුරු සෙවීමට, මෙවන් විපත් හා සම්බන්ධ වන්නා වූ දෑ අප සමීප ව පරීක්ෂා කර බැලිය යුතු ය. ඇත්ත වශයෙන් ම, අප හොඳින් දන්නා සාධක සමහරක් නැවත පරීක්ෂා කර බැලිය යුතු ය.
“ස්වාභාවික විපතක්” යනු කුමක් ද?
චීන නිල වාර්තාවට අනුව චීනයේ ටාංෂාන් නගරයට භූමි කම්පාවක් පහර දී, 2,42,000 දෙනෙක් මරණයට පත් කළ අවස්ථාවේත්, ඇන්ඩ්‍රෘ නමැති සැඩ කුණාටුව එක්සත් ජනපදවල දකුණු ෆ්ලොරිඩාව හා ලුවීසියානා ව හරහා වේගයෙන් හමා යමින් ඩොලර් බිලියන ගණනක හානියක් සිදු කළ අවස්ථාවේත්, එවන් ස්වාභාවික විපත්තිවලට ජාත්‍යාන්තර ප්‍රසිද්ධියක් ලැබිණ. එහෙත්, එම භූමි කම්පාව ටාංෂාන් සිට සැතපුම් 700ක් වයඹට පිහිටි, ජනාවාසයෙන් තොර ගෝබී කාන්තාරයට පහර දුන්නේ නම්, නැතහොත් ඇන්ඩ්‍රෘ නමැති සැඩ කුණාටුව වෙනස් ගමන් මගක් ඔස්සේ යමින් ගොඩ බිමට නොපැමිණ, මුහුදේ දී ම අඩ පණ වූයේ නම් කුමක් කිව හැකි ද? එසේ වූවා නම්, ඒවා දැන් කොහෙත් ම මතක් කරනු නොලබනවා ඇත.
එසේ නම්, පැහැදිලි ව ම, අප ස්වාභාවික විපත් ගැන කථා කරන විට, අප ස්වාභාවික බලයන්හි විස්මිත කරවන ප්‍රදර්ශනයන් ගැන නිකම් ම කථා කරමින් සිටිනවා නොවේ ය. සෑම වසරක් පාසා ම කුඩා හා විශාල භූමි කම්පාවන් දහස් ගණනකුත්, කුණාටු, සුළි සුළං, සැඩ කුණාටු, ටයිපූන්, [චීන මුහුද අශ්රීතව ඇතිවන මහා කුණාටු] ගිනි කඳු පුපුරා යාම් මෙන් ම වෙනත් ප්රචණ්ඩ සංසිද්ධි බොහෝ ගණනාවකුත් සිදු වන අතර, මේවා සංඛ්‍යා ලේඛන හැටියට වාර්තා ගත කොට තබනවාට වඩා වැඩි යමක් සිදු නොවේ. කෙසේ වෙතත්, මෙවන් සිද්ධීන් ජීවිතයට හා දේපොළවලට මහත් විනාශයකුත්, ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාවලියට අවුල් සහගත තත්ත්වයකුත් ඇති කරන විට, ඒවා විපත් බවට පත් වේ.
හානිය මෙන් ම විපාක වන්නා වූ අලාභය, ඊට හේතු වන්නා වූ ස්වාභාවික බලයන්ට නිතර ම සමානුපාතික නොවන බව සැලකිල්ලට ගත යුත්තකි. විශාලතම විපත නිතැනින් ම සිදු වන්නේ ස්වාභාවික බලයන් වඩාත් ප්‍රබල ව ඇතිවන අවස්ථාවේ නොවේ. උදාහරණයක් හැටියට, 1971 දී රික්ටර් මානයේ 6.6ක් සලකුණු කළ භූමි කම්පාවක් කැලිපෝනියාවේ, සැන් ෆර්නාන්ඩෝ හි ඇති වූ අතර ඉන් 65ස් දෙනෙක් මිය ගියහ. ඉන් වසරකට පසු නිකරාග්වාවේ, මානාගුවා හි 6.2ක් සලකුණු කළ කම්පාවක් 5,000ක් දෙනෙක් මරුමුවට පත් කළහ!
එබැවින්, ස්වාභාවික විපත්වල වැඩි වන්නා වූ විනාශකාරී තත්ත්වය සැලකිල්ලට ගන්නා කල, අප මෙම ප්‍රශ්න ඇසිය යුතු ය, ස්වාභාවික අංග වඩාත් ප්රචණ්ඩ වී තිබේ ද? එසේත් නැතහොත් මනුෂ්‍ය සාධක මෙම ගැටලුවට දායක වී තිබේ ද?
වගකිව යුත්තේ කවරෙක් ද?
බයිබලය යෙහෝවඃ දෙවියන් වහන්සේ ව හඳුන්වා දෙන්නේ, මෙම පොළොවේ ස්වාභාවික බලයන් ද ඇතුළත් ව, සියලු දේවල උත්තරීතර මැවුම්කරුවාණන් හැටියට ය. (උත්පත්ති 1:1; නෙහෙමියා 9:6; හෙබ්‍රෙව් 3:4; එළිදරව් 4:11) සුළඟේ සෑම චලනයක් ම නැතහොත් සෑම වර්ෂාවක් ම උන් වහන්සේ ඇති කරවන බව මෙයින් අදහස් නොවේ. ඒ වෙනුවට, පොළොව හා එහි පරිසරය පාලනය කරන්නා වූ ඇතැම් නීති උන් වහන්සේ ක්‍රියාත්මක කිරීමට සලස්වා ඇත. උදාහරණයක් හැටියට, පොළොව මත ජීවත්වීමට හැකි කරවන්නා වූ මූලික ක්‍රියාකාරකම් තුනක්—එනම් දෛනික ව ඉරු උදා වීම හා බැස යාම, සුළඟේ වෙනස් කළ නොහැකි රටාව හා ජල චක්‍රය—පිළිබඳ ව දේශනාකාරයා 1:5-7 හි අපට කියවන්නට ඇත. මනුෂ්‍ය වර්ගයා එය දැන සිටියත් නැතත්, පොළොවේ දේශ ගුණික, භූ විද්‍යාව හා පරිසර විද්‍යාව සමඟ සම්බන්ධ වන්නා වූ මෙම ස්වාභාවික පද්ධති මෙන් ම ඒ හා සමාන වෙනත් ඒවා ද වසර දහස් ගණනක් පුරා ක්‍රියාත්මක වී ඇත. ඇත්ත වශයෙන් ම, දේශනාකාරයා පොතේ ලේඛකයා මෙහි දී අවධානය යොමු කරමින් සිටියේ මැවීමේ වෙනස් නොවන හා නිමා නොවන ආකාරය හා මනුෂ්‍ය ජීවිතයේ අස්ථිර හා තාවකාලික ස්වභාවය අතර මහත් වෙනස වෙත ය.
යෙහෝවඃ වහන්සේ ස්වාභාවික බලයන්හි මැවුම්කරුවාණන් පමණක් නොව, ඒවා පාලනය කිරීමට බලයක් ද උන් වහන්සේට ඇත. යෙහෝවඃ වහන්සේගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට, එවන් බලයන් උන් වහන්සේ පාලනය කළ නැතහොත් හැසිර වූ ආකාරය පිළිබඳ වාර්තා බයිබලය පුරා අපට දක්නට ලැබේ. මෝසෙස්ගේ දවසේ රතු මුහුද බෙදීම මෙන් ම යෝෂුවාගේ කාලයේ සූර්යයා හා චන්ද්‍රයා ගුවන්තලය හරහා ඒවායේ ගමන් මාර්ගවල නැවැත්වීම ද මේවාට අයත් වේ. (නික්මයාම 14:21-28; යෝෂුවා 10:12, 13) දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා පොරොන්දු වූ මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද ස්වාභාවික බලයන් කෙරෙහි ඇති තමන් වහන්සේගේ බලය නිරූපනය කළ අතර, ගලීල මුහුදේ දී කුණාටුවක් නිහඬ කිරීම මෙහිලා උදාහරණයක් හැටියට ගන්නට පුළුවන. (මාර්ක් 4:37-39) මේ හා සමාන වාර්තා, යෙහෝවඃ දෙවියන් වහන්සේටත්, උන් වහන්සේගේ පුත්‍ර, යේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් මෙහි එනම් පොළොව මත ජීවිතයට බලපාන සියල්ල සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බවට කිසිඳු සැකයක් ඉදිරිපත් නොකරයි.—2 ලේකම් 20:6; යෙරෙමියා 32:17; මතෙව් 19:26.
කාරණය එය වන බැවින්, මෑත කාලවල ස්වාභාවික විපත්වලින් විපාක වී ඇති නාස්තියේ හා විනාශයේ වැඩි වීම සඳහා දෙවියන් වහන්සේ වගකිව යුතු යයි අපට පැවසිය හැකි ද? මෙම පැනයට පිළිතුරු දීමට නම්, අප මුලින් ම සලකා බැලිය යුත්තේ ස්වභාව ධර්මයේ බලයන් තැති ගන්වන සුලු ආකාරයෙන් වඩාත් ප්‍රචණ්ඩකාරී, ඇතැම් විට පාලනයෙන් තොර තත්ත්වයකට පවා මෑත කාලවල පත් ව ඇති බවට සාක්ෂි තිබේ ද යන්න ය.
මේ සම්බන්ධයෙන් නැචුරල් ඩිසාස්ටර්ස්—ඇක්ට්ස් ඔෆ් ගෝඩ් ඕර් ඇක්ට්ස් ඔෆ් මෑන්? නම් පොත පවසන දෙය සැලකිල්ලට ගන්න: “නියඟයන්, ජල ගැලීම් හා සුළි සුළං යනාදිය සම්බන්ධ දේශ ගුණික යන්ත්රණයන් වෙනස් වෙමින් පවතින බවට සාක්ෂි නොමැත. තව ද භූමි කම්පා, ගිනි කඳු මෙන් ම ට්සුනාමි (භූමි කම්පා තරංග) හා සම්බන්ධ වන්නා වූ භූ චලනයන් වඩාත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව කිසි භූ විද්‍යාඥයෙක් කියා සිටින්නේවත් නැත.” ඒ හා සමාන ව, අර්ත්ෂොක් නම් පොත මෙසේ නිරීක්ෂණය කරයි: “සෑම මහාද්වීපයක ම පවතින පර්වතවල අසංඛ්‍යාත වූ කුඩා හා මහා පරිමාණයේ භූ විද්‍යාත්මක සිද්ධීන්හි සටහනක් අන්තර්ගත ව පවතින අතර, ඒවා අද දින සිදු වූයේ නම්, ඒ සැමෙකක් ම මනුෂ්‍ය වර්ගයා හට මහා විපත්තිදායක විනාශයක් වනු ඇත—තව ද එවන් සිද්ධීන් අනාගතයේ නැවත නැවතත් සිදු වනු ඇති බව විද්‍යාත්මක ව ස්ථිර ය.” වෙනත් වචනවලින් කියතොත්, පොළොව මෙන් ම එහි ගතික බලයන් ගත වූ යුග ගණනාව පුරා ම බොහෝ දුරට නොවෙනස් ව පැවත ඇත. එබැවින්, ඇතැම් සංඛ්‍යා ලේඛන භූ විද්‍යාත්මක හෝ වෙනත් ක්‍රියාවන්හි යම් ආකාරයක වැඩි වීමක් හැඟෙව්වත් නැතත්, පොළොව මෑත කාලවල පාලනය කළ නොහැකි පමණට ප්රචණ්ඩ තත්ත්වයකට පත් ව නොමැත.
එසේ නම්, අපට කියවන්නට ලැබෙන ස්වාභාවික විපත්වල සංඛ්‍යාතයේ හා විනාශකාරිත්වයේ වැඩි වීම සඳහා දායක වන්නේ කුමක් ද? ස්වභාව ධර්මයේ බලයන්ට දොස් පැවරිය නොහැකි නම්, එම වරදට මනුෂ්‍යයන් වගකිව යුතු යයි කල්පනා කරන්නට පුළුවන. තව ද, ඇත්ත වශයෙන් ම, මානව ක්‍රියාවන් අපගේ පරිසරය ස්වාභාවික විපත්වලට වඩාත් නැඹුරු බවත් ඒවාට වඩාත් ගොදුරුවිය හැකි තත්ත්වයක තිබෙන බවත් බලධාරීන් පිළිගෙන ඇත. සංවර්ධනය වන්නා වූ රටවල, ආහාර සඳහා වැඩි වන ඉල්ලුම නිසා, තමන්ට ඇති ඉඩම්වල පමණ ඉක්මවා වගා කිරීමට නැතහොත් ඉතා වැදගත් වනගත ඉඩම් එළිපෙහෙළි කිරීමෙන් ඉඩම් අස්වැද්දීමට ගොවීහු වෙන කිසිඳු විකල්පයක් නැති නිසා නැඹුරු වෙති. මෙය බරපතළ සෝදා පාළුවක් (පාංශු ඛාදනය) සිදු වීමට මඟ පාදයි. වැඩිවන්නා වූ ජන සංඛ්‍යාව, අනාරක්ෂිත ප්‍රදේශවල නොසැලකිලිමත් ව ගොඩනගන ලද මුඩුක්කු හා පැල්පත් නගර වර්ධනය වේගවත් කරයි. වඩාත් සංවර්ධිත රටවල පවා, සැන් ඇන්ඩ්‍රියස් විභේදය ඔස්සේ ජීවත් වන අය මෙන්, පැහැදිලි අනතුරු ඇඟවීම් තිබියදීත් තමන් ව අන්තරාවට නිරාවරණය කර ඇත්තාහ. යම් අසාමාන්‍ය සිද්ධියක්—එනම් කුණාටුවක්, ජල ගැලීමක් හෝ භූමිකම්පාවක්—සිදු වූ එවැනි තත්ත්වයන්හි දී, ඉන් ඇති වන විනාශකාරී ප්‍රතිඵලය සැබවින් ම “ස්වාභාවික” යයි කිව හැකි ද?
අප්‍රිකානු සාහෙල් හි ඇතිවන වන නියඟය සැබෑ ආදර්ශයක් වෙයි. සාගත, නිරාහාරයෙන් පෙළීම හා මරණය ඇති කරන නියඟයන්, වර්ෂාව හෝ ජලය නොමැතිකම නිසා ඇති වේ යයි අපි සාමාන්‍යයෙන් කල්පනා කරමු. එහෙත් එම ප්‍රදේශයේ ඇති වූ මහත් සාගතය හා නිරාහාරත්වය ඇති වූයේ ජලය නොමැතිකම නිසා පමණක් ද? නේචර් ඔන් ද රැම්පේජ් නම් පොත මෙසේ පවසයි: “අද දවසේ ඇති සාගතය අඛණ්ඩ ව පවතිනුයේ දිගු කලක් පුරා පැවත ඇති නියඟයට වඩා භූමියේ හා ජල සම්පත් දිගුකලකට අඛණ්ඩ ව අනිසි ලෙස භාවිතා කිරීම නිසා බව, විද්‍යාත්මක හා සහනාධාර ආයතන රැස් කරන ලද සාක්ෂි හඟවයි. . . . සාහෙල් දිගට ම කාන්තාරයක් බවට පත්වීම බොහෝ දුරට මනුෂ්‍යයා නිසා සිදුවන සිද්ධියකි.” දකුණු අප්‍රිකානු පුවත් පතක් වන, ද නටාල් විට්නස් මෙසේ නිරීක්ෂණය කරයි: “සාගතය ආහාර ඌනතාවය සම්බන්ධයෙන් නොවේ; එය ආහාර ලබා ගැනීමට තිබෙන දුෂ්කරතාවය සම්බන්ධයෙනි. වෙනත් වචනවලින් කියතොත්, එය දිළිඳුකම හා සම්බන්ධ ප්රශ්නයකි.”
වෙනත් විපත්වලින් සිදුවන මහා පරිමාණයේ විනාශයන් බොහොමයක් සම්බන්ධයෙන් ද එය ම පැවසිය හැකි ය. දිළිඳු රටවල ස්වාභාවික විපත්වලින් සිදු වන මරණ අනුපාතය, ලෝකයේ වඩාත් ධනවත් රටවලට වඩා ප්‍රමාණයෙන් නොගැළපෙන ආකාරයට ඉහළ මට්ටමක පවතින බව අධ්‍යනයන් පෙන්වා ඇත. උදාහරණයක් වශයෙන්, එක් අධ්‍යනයකට අනුව, 1960 සිට 1981 දක්වා, ජපානයේ භූමි කම්පා මෙන් ම වෙනත් විපත් 43ක් සිදු වෙමින් ජීවිත 2,700ක් මරණයට ගොදුරු වූ අතර, එක් විපතක දී සාමාන්‍යයෙන් සිදු වී ඇත්තේ මරණ 63කි. එම කාල පරිච්ඡේදය තුළ ම, පේරු නම් රටේ විපත් 31ක් සිදු වී මරණ 91,000ක්, නැතහොත් විපතකට 2,900ක සාමාන්‍යයක් තිබුණි. එවන් වෙනසක් සිදු වූයේ මන්ද? ස්වාභාවික බලයන් මේ සඳහා හේතු වන්නට ඇතිමුත්, මින් විපාක වූ මරණ හා දේපොළ විනාශයේ මහත් වෙනස සඳහා වගකීම දැරිය යුත්තේ සමාජීය, ආර්ථික, දේශපාලන යන මානව ක්‍රියාවන් ය.
විසඳුම් මොනවා ද?
විද්‍යාඥයන් මෙන් ම විශේෂඥයන් ස්වාභාවික විපත් සමඟ සාර්ථක ව මුහුණ දීමට උපක්‍රම සෙවීමට වසර ගණනාවක් පුරා වෙර දරා ඇත. භූමි කම්පා මෙන් ම ගිනි කඳු පිපිරීම් ඇති වන ආකාරය තේරුම් ගැනීමට ඔවුහු පොළොවේ ගැඹුර හොඳින් පිරික්සා ඇත්තාහ. අභ්‍යවකාශ චන්ද්‍රිකා යොදා ගනිමින්, සුළි සුළං හා සැඩ කුණාටුවල ගමන් මාර්ගය සොයා ගැනීමට නැතහොත් ජල ගැලීම් හෝ නියඟ පුරෝකථනය කිරීමට ඔවුහු දේශ ගුණික රටාවන් නිරීක්ෂණය කරති. ස්වාභාවික බලයන්හි මෙම බලපෑම අඩුකර ගැනීමට තමන්ට හැකියාව ලබා දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන්නා වූ තොරතුරු, මේ සියලු පර්යේෂණ ඔවුනට ලබා දී ඇත.
එවන් වෑයම්වලින් හොඳ ප්‍රතිඵල ලැබී තිබේ ද? මෙවන් මිල අධික, උසස්-තාක්ෂණයන්ගෙන් යුත් පියවර සම්බන්ධයෙන්, ස්වාභාවික පරිසරයේ වෙනස්කම් විමසා බලන්නා වූ එක් සංවිධානයක් මෙසේ නිරීක්ෂණය කරයි: “මේවාට නිසි වැදගත්කමක් ඇත. එහෙත් ඒවා සුදුසු ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් හා ප්රයත්න නාස්ති කරන්නේ නම්—එනම්, ගොදුරු වන අයගේ සමාජයන් තුළ නිරායාසයෙන් ම දක්නට ලැබෙන උපද්‍රව සහිත තත්ත්වයන් නොසලකා හැරීමට ඒවා නිදහසට කරුණක් සේ ක්‍රියා කරන්නේ නම්—එවිට ඒවා යහපතට වැඩි හානියක් සිදු කරන්නට පුළුවන.” උදාහරණයක් වශයෙන්, බංග්ලාදේශයේ වෙරළාසන්න ඩෙල්ටාව ස්ථීර ව ම ජල ගැලීමෙන් හා උදම් රළෙන් තර්ජනයක් ලබන බව දැන සිටීම ප්‍රයෝජනවත් වුවත්, එම අවබෝධය මිලියන ගණන් බංග්ලාදේශ වැසියන් ව එහි පදිංචි වීමට සිදු වීමෙන් වළක්වා නැත. එහි ප්‍රතිඵලය වනුයේ සිය දහස් සංඛ්‍යාවක මරණ සංඛ්‍යාවන්ගෙන් සමන්විත වූ පුන පුනා සිදුවන විපත්තීන් ය.
පැහැදිලි ව ම, තාක්ෂණික තොරතුරු ප්‍රයෝජනවත් විය හැක්කේ යම් සීමාවකට පමණි. අවශ්‍ය කරවන තවත් දෙයක් වනුයේ, අනතුරුවලට නිශ්චිතාකාරයෙන් නිරාවරණය වී ඇති ප්‍රදේශවල තේරීමක් නොකර ජනයාට ජීවත්වීමට නැතහොත් පරිසරය විනාශ කරන අයුරින් ජීවත්වීමට බල කරවන හේතු තුරන් කිරීමට ඇති හැකියාව ය. වෙනත් වචනවලින් කියතොත්, ස්වාභාවික අංගවලින් සිදු කරනු ලබන හානිය අඩු කිරීමට අප ජීවත් වන සමාජීය, ආර්ථික හා දේශපාලනමය පිළිවෙළ සහමුලින් ම නැවත හැඩගැස්වීමක් කිරීම අවශ්‍ය කරවයි. එවන් කාර්යයක් ඉටු කළ හැක්කේ කවරෙකුට ද? ස්වාභාවික විපත් ඇති කරන්නා වූ බලයන් පවා පාලනය කිරීමට හැකියාව ඇති තැනැත්තාට පමණකි.
දේව ක්‍රියා ඉදිරියෙන්
යෙහෝවඃ දෙවියන් වහන්සේ නිකම් ම රෝග ලක්ෂණ සමඟ ක්‍රියා කරන්නට යන්නේ නැත. නමුත් උන් වහන්සේ මනුෂ්‍යයාගේ දුඃඛිත තත්ත්වයේ මූලික හේතුව වෙතට යනු ඇත. “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට . . . ඔවුන් කෙරෙහි ආණ්ඩුකර” ඇති ගිජු හා පීඩාකාරී දේශපාලන, වාණිජ හා ආගමික පිළිවෙළවල් උන් වහන්සේ නිමාවකට ගෙනෙන සේක. (දේශනාකාරයා 8:9) දෙවියන් වහන්සේ පොළොව දුෂ්ටකමෙන් හා වේදනාවන්ගෙන් මුදා, සාමයේ හා ධර්මිෂ්ඨකමේ භූමික පාරාදීසයක් නැවත පිහිටු වීමට යන වකවානුවට යොමු දක්වන අසංඛ්‍යාත අනාවැකි බයිබලයේ පිටු පුරා පවතින බව එය හොඳින් දන්නා කවරෙක් නමුත්, සනිටුහන් කර ගැනීමට අසමත් නොවෙයි.—ගීතාවලිය 37:9-11, 29; යෙසායා 13:9; 65:17, 20-25; යෙරෙමියා 25:31-33; 2 පේතෘස් 3:7; එළිදරව් 11:18.
“ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” යනුවෙන් තමාගේ අනුගාමිකයන්ට යාච්ඤා කිරීමට ඉගැන්වූ විට, යේසුස් වහන්සේ ඇත්තෙන් ම අදහස් කළේ එයයි. (මතෙව් 6:10) දිවැස්වර දානියෙල් මතු සඳහන් ලෙසින් පුරෝකථනය කළ ආකාරයට, සියලු අසම්පූර්ණ මනුෂ්‍ය පාලනයන් ඉවත් කොට ඒවා වෙනුවට මෙසියානු රාජ්‍යය පිහිටුවනු ලැබේ: “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45.
අද දවසේ ජාතීන්ට කළ නොහැකි කුමන දෑ දේව රාජ්‍යය මගින් ඉෂ්ට වනු ඇද්ද? පැමිණෙන්නට ඇත්තා වූ දේවල් පිළිබඳ සිත් ගන්නා පූර්ව දර්ශනයක් බයිබලය සපයයි. මෙම පිටුවල දක්වා ඇති පරිදි සාගතය හා දිළිඳුකම වැනි තත්ත්වයන් වෙනුවට “පොළොවේ ධාන්‍ය බහුල වන්නේ ය; එහි කඳු මුදුන් බොහෝ ශස්‍ය වන්නේය,” තව ද “කෙතේ ගස්වල ඵල හටගන්නේය; දේශය ඒකේ අස්වැන්න දෙන්නේය, ඔව්හු උපද්‍රව රහිතව තමුන්ගේ රටෙහි සිටින්නෝය.” (ගීතාවලිය 72:16, NW; එසකියෙල් 34:27) ස්වාභාවික පරිසරය සම්බන්ධයෙන් බයිබලය අපට මෙසේ පවසයි: “වනාන්තරයද [පාළුකරය ද NW] වියළි [ජල ශුන්‍ය NW] දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය. . . . මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය. මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය.” (යෙසායා 35:1, 6, 7) තව ද තවත් යුද්ධ නොතිබෙනු ඇත—ගීතාවලිය 46:9.
යෙහෝවඃ දෙවියන් වහන්සේ ඒ සියල්ල ඉෂ්ට කරන්නට යන්නේ කෙසේ ද කියාත්, තවදුරටත් ස්වාභාවික බලයන් කිසිඳු හානියක හේතු සාධකයක් නොවනු පිණිස උන් වහන්සේ ඒ සියල්ල සමඟ කටයුතු කරන්නට යන්නේ කෙසේ ද කියාත් බයිබලය අපට නොපවසයි. කෙසේ වෙතත්, එක දෙයක් ස්ථිරය, එනම් එම ධර්මිෂ්ඨ ආණ්ඩුව යටතේ ජීවත් වන සියල්ලන් “නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගෙන් [යෙහෝවඃ වහන්සේගෙන් NW] ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමග වන්නෝය” යන කාරණය ය.—යෙසායා 65:23.
මෙම සඟරාවේ පිටුවලත්, එසේ ම වොච් ටවර් සමිතියේ වෙනත් ප්රකාශනවලත්, දේව රාජ්‍යය 1914 දී ස්වර්ගයේ පිහිටුවනු ලැබූ බව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ පුන පුනා සඳහන් කර ඇත්තාහ. එම රාජ්‍යයේ මඟ පෙන්වීම යටතේ, සමස්ත ලෝක සාක්ෂියක් වසර 80ක පමණ කාලයක් පුරා ඉදිරිපත් කර ඇති අතර අද දවසේ, පොරොන්දු වූ “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පටන් ගන්නා අභියසේ අපි ජීවත් ව සිටින්නෙමු. මනුෂ්‍ය වර්ගයා ස්වභාව ධර්මයේ පහරදීම්වලින් පමණක් නොව, ගත වූ වසර හය දහස පුරා මනුෂ්‍ය වර්ගයාට උපද්‍රව සිදු කර ඇති වේදනාවෙන් හා දුකෙන් ද මුදවනු ලබනවා ඇත. ඒ කාලය සම්බන්ධයෙන් සැබෑ ලෙස පැවසිය හැක්කේ “පළමු දේවල් පහව ගියේය” යනුවෙනි.—2 පේතෘස් 3:13; එළිදරව් 21:4.
එහෙත්, වත්මන් කාලය ගැන කුමක් කිව හැකි ද? ස්වාභාවික තත්ත්වයන් හෝ වෙනත් හේතු නිසා විපතට පත්ව සිටින්නන් උදෙසා දෙවියන් වහන්සේ ක්‍රියා කර තිබේ ද? නිශ්චිත වශයෙන් ම උන් වහන්සේ එසේ කර ඇතිමුත්, ඒ නිරායාසයෙන් ම වැඩි දෙනෙක් අපේක්ෂා කරන ආකාරයට අනුව නොවේ.
[8, 9වන පිටුවේ පින්තූර]
මනුෂ්‍ය ක්‍රියාකාරකම් අපගේ පරිසරය ස්වාභාවික විපත්වලට වඩාත් ගොදුරු විය හැකි තත්ත්වයකට පත්කොට ඇත
[හිමිකම් විස්තර]
Laif/Sipa Press
Chamussy/Sipa Press
Wesley Bocxe/Sipa Press
Jose Nicolas/Sipa Press