පිළිසඳරක් | ඉරේන් හෝෆ් ලෝරාන්සෝ
විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි
ඇය විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ලෙස සේවය කරන්නේ ස්විට්සර්ලන්තයේ. කාලයක් ඇය දෙවි කෙනෙක්ව විශ්වාස කරේ නෑ. ඒත් පසුව දෙවි කෙනෙක් ඉන්නවා කියලත් හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ දෙවි කියලත් ඇය විශ්වාස කරන්න පටන්ගත්තා. අපි ඇගේ වෘත්තිය ගැනත් ඇගේ විශ්වාසය ගැනත් ටිකක් අහලා බැලුවා.
විද්‍යාව ගැන ඔයාට උනන්දුවක් ඇති වුණේ කොහොමද?
අපි හිටියෙ සූරිච් විල ළඟ තිබුණ ලස්සන ගම්මානෙක. අවට පරිසරයට මං හරි ආසයි. චූටි කාලෙ අම්මයි තාත්තයි අයියයි අක්කයි අවට සිරි නරඹන්න මාව එක්කං යනවා. ඒ යද්දි සත්තු ගැනයි ගස් වැල් ගැනයි මට කියලා දෙනවා.
ඇයි ඔයා විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් වෙන්න හිතුවේ?
කාලයක් තාත්තා ශල්‍යාගාරයක ඇටන්ඩන්ට් කෙනෙක් විදියට වැඩ කරා. ගෙදර ඇවිල්ලා සැත්කම් කරන විදිය ගැන හරි උනන්දුවෙන් තාත්තා කතා කෙරුවා. ඒ උනන්දුව හින්දා මට ලොකු ආසාවක් ඇති වුණා විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් වෙන්න. අස්ථි, මාංස පේශී සහ ස්නායුවලට යම් හානියක් වුණාම ඒවා නැවත හරි විදියට ක්‍රියා කරවන්න නං ඉංජිනේරුවෙක් වගේ හිතන්න වෙනවා. ඒ නිසයි මං ඒ විෂයට ආස වුණේ.
මේ ඔක්කොටම වඩා මං ආස කරන්නේ මං ළඟට එන ලෙඩ්ඩු සුව වෙලා යනවා දකින්නයි. මං හරි ආසයි මිනිස්සුන්ට උදව් කරන්න.
දෙවි කෙනෙක්ගේ පැවැත්ම ගැන ඔයාට සැක හිතුණේ හිතුණෙ ඇයි?
ඒ සැකේ තරුණ කාලෙ ඉඳන්ම තිබුණා. පූජකයන්ගෙ අනාචාර ජීවිතත් ඒකට බලපෑවා. ඒ වගේම විද්‍යාව උගන්වපු සමහර ගුරුවරු විශ්වාස කෙරුවේ පරිණාමවාදය. මමත් ඒක පිළිගත්තා. විශ්වවිද්‍යාලෙට ගියාට පස්සෙ මං ඒක තදින්ම විශ්වාස කරා.
පරිණාමවාදය පිළිගත්තේ ඇයි?
මහාචාර්යවරුන් කියපු දේවල් මං පිළිගත්තා. සමහර ජීවීන්ගේ ශරීර සැකැස්ම අතර යම් සමානකම් තියෙන නිසා ඒ ජීවීන් පැවතෙන්නේ එකම ජීවියෙක්ගෙන් කියලත් මං හිතුවා. අලුත් විශේෂයක් බිහි වීමට ජාන විකෘති බලපානවා කියලත් මං විශ්වාස කළා.
ඒත් කාලයක් යද්දී ඔයා හිතන විදිය වෙනස් වුණේ ඇයි?
දවසක් යාළුවෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට එන්න කියලා මට කිව්වා. මං ගියා. එයාලගෙ මිත්‍රශීලීකම මගෙ හිතට කාවැදුණා. එතැන දීපු කතාවලත් ගොඩක් හොඳ තොරතුරු තිබුණා. ටික දවසකට පස්සෙ ඒ සභාවේ හිටපු කාන්තාවක් මාව බලන්න ආවා. ‘බයිබලේ තියෙන දේවල් ඇත්තද කියලා මං දැනගන්නේ කොහොමද’ කියලා මං එයාගෙන් ඇහුවා.
එතකොට එයා බයිබලයේ තියෙන අද ඉටු වෙන අනාවැකි පෙන්නුවා. උදාහරණෙකට මේ දුෂ්ට සමාජයේ අවසානය ගැන යේසුස් කියපු අනාවැකියේදී ලෝකෙ පුරාම යුද්ධ, ‘මහත් භූමිකම්පා, වසංගත, ආහාර හිඟකම්’ ඇති වෙනවා කියලා එයා මට පෙන්නුවා.a සමාජය පිරිහෙනවා, මිනිසුන් තුළ නරක ගති වැඩි වෙනවා කියලත් එයා පෙන්නුවා.b ඒ කියපු දේවල් ඇත්තටම අද ඉටු වෙනවා. වැඩි කල් යන්න කලින් මං බයිබලය පාඩම් කරන්න ගත්තා. ඒකෙ තියෙන හැම අනාවැකියක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලත් මට තේරුණා. ඊටපස්සේ ජීවයේ ආරම්භය ගැන මට තිබුණ අදහස් ගැන ආයෙත් හිතලා බලන්න පටන්ගත්තා.
ඔයා හිතන විදිය වෙනස් කරන්න ඔයා කරමින් හිටපු පර්යේෂණ බලපෑවද?
ඔව්. බයිබලය පාඩම් කරන කාලෙදි මං හිටියෙ දණහිස් සැත්කම් ගැන පර්යේෂණ වගයක් කරමින්. දණහිසේ පුදුමාකාර සැකැස්ම ගැන එක්දාස් නමසිය හැට ගණන්වල අගභාගයේ ඉඳන්ම විද්‍යාඥයන්ට පැහැදිලි අවබෝධයක් තිබුණා. එයාලා හොයාගත්තා දණහිස් සන්ධිය සරනේරුවක් වගේ එක පැත්තකට විතරක් නෙමෙයි ඕනෑම අතකට කරකවන්න පුළුවන් කියලා. ඇවිදින්න, නටන්න, අයිස් මත ලිස්සා යන්න වගේ ඕනෑම දෙයක් කරන්න අපිට පුළුවන් ඒ නිසයි.
අවුරුදු 40ක් තිස්සෙ පර්යේෂකයන් කෘත්‍රිම දණහිසක් හදන්න උත්සාහ කරනවා. ඒත් මිනිස් දණහිස කොච්චර සංකීර්ණද කිව්වොත් ඒ වගේම එකක් හදන්න ලේසි නෑ. ඒ විතරක් නෙමෙයි කොච්චර හොඳ අමුද්‍රව්‍ය දාලා කෘත්‍රිමව දණිහක් හැදුවත් ඒක පාවිච්චි කරන්න පුළුවන් ටික කාලෙකට විතරයි. අවුරුදු විස්සක්වත් පාවිච්චි කරන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ඒකට අපේ දණිහ! ඒකේ තියෙන සෛල දවසින් දවස අලුත් වෙනවා. මේ දණිහ දිහා බැලුවම මේක අහම්බෙන් බිහි වුණ දෙයක් නෙමෙයි, දෙවියන්ගේ ප්‍රඥාවෙන් නිර්මාණය කරපු දෙයක් කියලා මට හොඳටම පැහැදිලියි.
සමහර සතුන්ගේ ශරීර සැකැස්මෙ තියෙන සමානතා සහ ජාන විකෘතිය ගැන ඔයාට මොකද හිතන්නෙ?
ජීවීන් අතර තියෙන සමානකම්වලට හේතුව ඒවා එකම නිර්මාණකරුවෙක්ගෙ නිර්මාණ වීමයි. ඒ විතරක් නෙමෙයි ජාන විකෘතිය නිසා ඒ විශේෂය තවදුරටත් දියුණු වෙන්නෙ හෝ උසස් තත්වෙකට පත්වෙන්නෑ. ඒකෙන් ජානවලට සිදු වෙන්නේ හානියක් වුණත් සමහරවිට යම් ප්‍රයෝජනයක් ලැබෙන්නත් පුළුවන්. උදාහරණෙකට යම් අනතුරකින් නගරයට ඇතුල් වෙන පාලම කැඩුණා කියලා හිතන්න. නගරෙට ඇතුල්වෙලා ප්‍රහාරයක් එල්ල කරන්න බලන් හිටිය හමුදාවකට දැන් නගරෙට ඇතුල් වෙන්න බැහැ. අනතුර නිසා යම් වාසියක් ලැබුණත් නගරයේ දියුණුවට එය දායක වුණේ නැහැ. ඒ වගේ තමයි ජාන විකෘතියකින් යම් විශේෂයක් තවදුරටත් දියුණු තත්වයකට පත් වෙන්නේ නෑ. මිනිසුන්ගෙ දණහිස වගේ විශිෂ්ට විදිහට නිර්මාණය කරලා තියෙන දෙයක් නම් ඒ වගේ කොහොමටවත් ඇති වෙන්න බෑ. මනුෂ්‍ය ශරීරයේ හැම අවයවයක්ම ඒ වගේ විශිෂ්ට විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ.
මිනිසුන්ගෙ දණහිස වගේ විශිෂ්ට විදිහට නිර්මාණය කරලා තියෙන දෙයක් නම් ජාන විකෘතිය නිසා කොහොමටවත් ඇති වෙන්න බෑ
ඇයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් වෙන්න හිතුවේ?
බයිබලේ තියෙන උපදෙස් අනුව ජීවත් වෙන්න පටන්ගත්තම මගේ ජීවිතේ හුඟක් සාර්ථක වුණා. ඒ වගේම 2003 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවකට ගියාම මම දැක්කා එයාලා අතර තිබුණ පුදුමාකාර එකමුතුකම. වෙන වෙන රටවලින් ඇවිත් හිටිය අයව කලින් දැකලා තිබුණෙ නැති වුණත් ඒ හැමෝම හිටියේ එක පවුලක අය වගේ. මටත් ආස හිතුණා ඒ පවුලේ සාමාජිකයෙක් වෙන්න.