ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 1 3-7 පි.
  • යොවුන් සිනහව නැති කරන රෝගය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොවුන් සිනහව නැති කරන රෝගය
  • 2017 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මානසික අවපීඩනයට බලපාන හේතු
  • මනස සහ සිරුර ගැන සැලකිලිමත් වෙන්න
  • හේතු සෙවීම
    2001 පිබිදෙව්!
  • මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • ප්‍රතිකාර ක්‍රම
    2009 පිබිදෙව්!
  • උපකාරය පිරිනමන්නේ කෙසේද?
    2001 පිබිදෙව්!
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 1 3-7 පි.
ඇඳ උඩ ඉඳන් ඉන්න මානසිකව වැටුණ යෞවනයෙක්

මුල් පිටුවෙන්

යොවුන් සිනහව නැති කරන රෝගය

“මට මුකුත්ම කරන්න හිතෙන්නේ නෑ. මට ඕනෙ දවසෙම නිදාගන්න. මගෙන් වැඩක් නෑ, කවුරුත් මට ආදරේ නෑ, මම හැමෝටම බරක් කියලා මට හිතෙනවා.”—ඇනා.a

“මට මැරෙන්න හිතුණා. ඒ ජීවිතේට ආදරේ නැතුව නෙමෙයි, හිතට දැනෙන කලකිරීම නිසා. මම අනිත් අය ගැන හුඟක් හිතන කෙනෙක්. ඒත් ඒ වගේ හැඟීම් ඇති වුණාම මට හැම දේම එපා වෙනවා.”—ජූලියා.

ඇනාටයි ජූලියාටයි ඒ වගේ හැඟීම් ඇති වෙන්න පටන්ගත්තේ යොවුන් වියේ මුල් අවධියේ. ඒ දෙන්නාටම තියෙන්නේ මානසික අවපීඩනය (Depression) කියන රෝගය. ඕනම යෞවන කෙනෙක්ට කලකිරීම, දුක වගේ හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒත් ඇනාගෙයි ජූලියාගෙයි තත්වය ඊට වඩා වෙනස්. ඒ දෙන්නා දවසක් දෙකක් නෙවෙයි සති ගාණක් තිස්සේ ඒ වගේ හැඟීම්වලින් දුක් විඳිනවා. ඇනා මෙහෙම කිව්වා. “ඒක හරියට එළියට එන්න බැරුව ගැඹුරු, කළුවර වලක හිර වෙලා ඉන්නවා වගෙයි. වෙලාවකට මට පිස්සු හැදීගෙන එනවද කියලා හිතෙනවා. මේ මමද කියලත් හිතෙනවා.”

මානසික අවපීඩනයට ගොදුරු වෙන යොවුන් ජීවිත ගණන දවසින් දවස වැඩි වෙනවා. “10ත් 19ත් අතර වයසේ ඉන්න ළමයින්ගෙන් වැඩිදෙනෙක් රෝගී තත්වයට හෝ ආබාධිත තත්වයට පත් වෙන ප්‍රධානම හේතුව මානසික අවපීඩනයයි” කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

මානසික අවපීඩනයට ගොදුරු වෙද්දී නින්ද, කෑම රුචිය සහ සිරුරේ බර කියන පැති තුනේම වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ඒ රෝග ලක්ෂණ අතරට කලකිරීම සහ තමන් වටින්නේ නැහැ කියන හැඟීම, තනි වෙලා ඉන්න උත්සාහ කරන එක, අවධානය දෙන්න සහ මතක තියාගන්න අමාරුකම, ජීවිතය නැති කරගන්න හිතෙන එක වගේ දේවල් ඇතුළත්. හේතුවක් හොයාගන්න බැරි වෙනත් රෝග ලක්ෂණත් මතු වෙන්න පුළුවන්. කෙනෙක්ට මානසික අවපීඩනය තියෙනවා කියලා වෛද්‍යවරු සැක කරනවා නම් ඒ අය මුලින්ම බලන්නේ එයාගේ එදිනෙදා ජීවිතයට බාධාවක් වෙන තරමටම ඒ රෝග ලක්ෂණ සති ගාණක් පුරා තියෙනවාද කියලයි.

මානසික අවපීඩනයට බලපාන හේතු

ඒකට “කෙනෙක් හැදී වැඩෙන පරිසරය, මානසික තත්වය, ජාන සැකැස්ම සහ හෝමෝන ක්‍රියාකාරිත්වය හේතු වෙන්න පුළුවන්” කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

ශාරීරික හේතු. මානසික අවපීඩනය දෙමාපියන්ගෙන් උරුම වෙන්න පුළුවන්. සමහරවිට මේ රෝගය මොළයේ රසායනික ක්‍රියාවලියටත් බලපානවා. ඒ වගේම හෘද රෝග, හෝමෝනවල වෙනස්කම්, කාලයක් පුරා මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් දේවල් පාවිච්චි කරන එකත් හේතු වෙන්න පුළුවන්.b

මානසික පීඩනය. මනසට පොඩි පීඩනයක් දැනෙන එක හොඳ වුණාට දරුණු විදිහට පීඩනය දැනෙන එක හානිදායකයි. ජානමය හේතුවක් නිසා මානසික අවපීඩනය හැදෙන්න ඉඩකඩ තියෙන යෞවනයෙක්ට දිගටම ඒ වගේ පීඩනයක් දැනුණොත් එයාට ඒ රෝගය හැදෙන්න පුළුවන්. හැබැයි මානසික අවපීඩනය හැදෙන්න බලපාන හේතු මොනවාද කියලා හරියටම පැහැදිලි නැහැ. කලින් සඳහන් කරපු හේතු කිහිපයක්ම එක සැරේ බලපාද්දී අවපීඩනය ඇති වෙන්න පුළුවන්.

මානසික පීඩනය ඇති වෙන්න බලපාන හුඟක් හේතු තියෙනවා. දෙමාපියන්ගේ දික්කසාදය හෝ වෙන් වීම, ආදරය කළ කෙනෙකුගේ මරණය, වධ හිංසා, ලිංගික අතවර, බරපතළ අනතුරු, අසනීප, ඉගෙනගැනීමේ දුර්වලතා නිසා අනිත් අය කොන් කරන එක, කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා දෙයක් දරුවාගෙන් බලාපොරොත්තු වෙන එකත් හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව චණ්ඩි ළමයින්ගේ හිරිහැරවලට ලක් වෙන එක, අනාගතය ගැන දැනෙන බය, අම්මා හරි තාත්තා හරි මානසික අවපීඩනයෙන් පෙළෙන නිසා සැලකිල්ල නොලැබෙන එක, හේතුවක් නැතුව දෙමාපියන්ගේ හැසිරීම වෙනස් වෙන එකත් බලපාන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා කාලයක් යද්දී ඒක මානසික අවපීඩනය දක්වා දුරදිග යන්න පුළුවන්. එහෙනම් කරන්න පුළුවන් මොනවාද?

මනස සහ සිරුර ගැන සැලකිලිමත් වෙන්න

මානසික අවපීඩනය දරුණුවට තිබුණත් ප්‍රතිකාර සහ මානසික විශේෂඥයන්ගේ උපදෙස්වලින් ඒක පාලනය කරගන්න පුළුවන්.c යේසුස් වුණත් කිව්වේ “වෛද්‍යවරයෙක් අවශ්‍ය වෙන්නේ රෝගීන්ටයි. නිරෝගී අයට වෛද්‍යවරයෙකුගෙන් වැඩක් නැහැ” කියලා. (මාක් 2:17) ශරීරය වගේම මනසත් රෝගී වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවන රටාවේ යම් වෙනස්කම් කරද්දී ඒක අපේ සිරුරට වගේම මනසටත් බලපානවා.

මානසික අවපීඩනයට හොඳින් මුහුණ දෙන්න පෝෂ්‍යදායි කෑම, ප්‍රමාණවත් නින්දක් වගේම නිතරම ව්‍යායාම් කරන එකත් හුඟක් වැදගත්. ව්‍යායාම් කරද්දී නිපදවෙන රසායනික ද්‍රව්‍ය නිසා ශරීරයට ප්‍රබෝධයක් දැනෙනවා, ශක්තිය වැඩි වෙනවා, සුවබර නින්දකටත් උදව් වෙනවා. මානසික අවපීඩනය හැදීගෙන එද්දිම ඒක හඳුනගෙන ඒක පාලනය කරගන්න කරන්න පුළුවන් දේවල් ගැන හිතලා සැලසුම් කරගන්න. හිතවතෙක් එක්ක කතා කරන්න. පවුලේ අයගේ, යාළුවන්ගේ උදව්වෙන් මානසික අවපීඩනය ඇති වෙන්න හේතු වෙන දේවල් පාලනය කරගන්න ඔයාට පුළුවන්. ඔයාට හැඟෙන, දැනෙන දේවල් පොතක ලියන්න. ඒ හැම දේටම වඩා දෙවියන් එක්ක තියෙන ඔයාගේ බැඳීම ශක්තිමත්ව තියාගන්න උත්සාහ කරන්න. ඒක ඔයාට හුඟක් පැතිවලින් උදව් වෙයි. යේසුස් මෙහෙම කිව්වා. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.

යෞවනියක් දෙමාපියන් එක්ක කෑම වේලක් ගන්නවා, ව්‍යායාම කරනවා, සුව නින්දක්

පෝෂ්‍යදායී කෑම, ව්‍යායාම් කිරීම, ප්‍රමාණවත් නින්ද වැදගත්

යෞවනියක් බයිබලය කියවනවා

දෙවියන්ට කිට්ටු වෙන එකෙන් ඔයාට සහනයක් අද්දකින්න පුළුවන්

යේසුස් කියපු දේ කොච්චර ඇත්තද කියලා ඇනා සහ ජූලියා අද්දැක්කා. ඇනා කිව්වේ මෙහෙමයි. “බයිබලයේ තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගත්ත නිසා මගේම ප්‍රශ්න ගැන හිතහිතා ඉන්නේ නැතුව ඒ අයට උදව් කරන්න මට පුළුවන් වුණා. ඒක ලේසි නැහැ තමයි. හැබැයි මං දැන් ඉන්නේ සතුටින්.” ජූලියාට ශක්තියක් වුණේ බයිබලය කියවන එක සහ දෙවියන්ට යාච්ඤා කරන එකයි. “හැම දේම දෙවියන්ට කිව්වාම මට දැනෙන්නේ පුදුම සහනයක්. ඔහු මට ආදරෙයි, මාව හුඟක් වටිනවා කියලා බයිබලය කියවද්දී මට තේරුණා. අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගන්නත් දැන් මට පුළුවන්.”

යෙහෝවා දෙවියන් අපිව නිර්මාණය කරපු නිසා හැදුණු වැඩුණු විදිහ, ජීවිතයේ විඳලා තියෙන දේවල් සහ ජාන සැකැස්ම අපේ මනසට බලපාන විදිහ ඔහු හොඳින්ම දන්නවා. ඒ නිසා අපිව තේරුම්ගන්න පුළුවන් අයව පාවිච්චි කරලා අපිව සනසවන්න ඔහුට පුළුවන්. ඒ විතරක් නෙවෙයි දෙවියන් ළඟදීම හැම ලෙඩක්ම නැති කරනවා. බයිබලයේ කියන්නේ එදාට “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත” කියලයි.—යෙසායා 33:24.

ඒ ලස්සන කාලය ගැන බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළිදරව් 21:4) ඒක කොච්චර සහනයක්ද! ඉදිරියේදී දෙවියන් කරන්න යන තවත් පුදුමාකාර දේවල් ගැන දැනගන්න ඔයා කැමති නම් jw.org/si කියන අපේ වෙබ් අඩවිය බලන්න. එතකොට බයිබලය පහසුවෙන් කියවන්න වගේම මානසික අවපීඩනය ඇතුළු තවත් විෂයන් ගැන තියෙන ලිපි කියවන්නත් ඔයාට පුළුවන්.

a නම් වෙනස් කර ඇත.

b කෙනෙක්ගේ මානසික ස්වභාවය වෙනස් වෙන්න හුඟක් ලෙඩ රෝග, බෙහෙත්, මත්ද්‍රව්‍ය බලපාන්න පුළුවන්. ඒ නිසා මානසික අවපීඩනය තියෙනවාද කියලා තහවුරු කරගන්න වෛද්‍ය උපකාර ලබාගන්න එක සුදුසුයි.

c ‘පිබිදෙව්!’ සඟරාව යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.

දෙමාපියන්ට කරන්න පුළුවන් දේ

  • මානසික අවපීඩනය තියෙන යොවුන් දරුවන්ට එයාලගේ හැඟීම් විස්තර කරන්න අමාරුයි කියලා දෙමාපියන් තේරුම්ගන්න ඕනේ. මොකද ඒ අයට තේරෙන්නේ නැහැ තමන්ට මොනවාද වෙන්නේ කියලා. සමහරවිට රෝග ලක්ෂණ තමන්ට තියෙනවා කියලාවත් එයාලා දන්නේ නැහැ.

  • මානසික අවපීඩනය තියෙන යොවුන් දරුවන් ඒ ලක්ෂණ පෙන්නුම් කරන්නේ වැඩිහිටියන්ට වඩා වෙනස් විදිහට. ඒ නිසා හැසිරීම, කන බොන විදිහ, මානසික ස්වභාවය, නිදාගැනීමේ රටාව, අනිත් අය එක්ක කටයුතු කරන විදිහ වගේ දේවල්වල වෙනස්කම් සති කිහිපයක් පුරා තියෙනවාද කියලා අවධානයෙන් ඉන්න.

  • සිය දිවි හානි කරගන්න හිතෙනවා කියලා කිව්වොත් ඒක සුළුවට ගන්න එපා.

  • දරුවාට මානසික අවපීඩනය තියෙනවා කියලා හිතෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න.

  • වෛද්‍යවරයා නිර්දේශ කරපු බෙහෙත් හරියටම ගන්න එයාට උදව් කරන්න. වෙනසක් වෙන්නේ නැත්නම් හරි අතුරු ආබාධ තියෙනවා නම් හරි වෛද්‍යවරයාව හමු වෙන්න.

  • කෑම කන්න, ව්‍යායාම් කරන්න සහ නිදාගන්න හොඳ කාලසටහනක් හදාගන්න.

  • දරුවා එක්ක නිතරම කතාබහ කරලා එයාගේ හැඟීම් දැනගන්න. එයාට රෝගය නිසා ලැජ්ජාවක් දැනෙනවා නම් ඒකෙන් ගොඩ එන්න උදව් කරන්න.

  • මානසික අවපීඩනය තියෙද්දී තනිකම, ලැජ්ජාව, තමන් වැඩක් නැහැ කියන හැඟීම් ඇති වෙන නිසා නිතරම දරුවාට ඔයාගේ ආදරය දැනෙන්න සලස්වන්න.

මනස හදාගන්න මෙන්න වෙදකමක්!

මනස හදාගන්න වෙදකමක්, දිරිගන්වන සහ සුබවාදී සිහිවටන, බයිබල් පද, සින්දු, ලිපි සහ අද්දැකීම්

ඔයා මානසික අවපීඩනය නිසා දුක්විඳින කෙනෙක් නම් ඔයාගේ හැඟීම් පාලනය කරගන්න මේ දේවල් උදව් වෙයි. ඔයාට ගැළපෙන විදිහට ඒක හදාගන්න පුළුවන්. යෝජනා කිහිපයක් මෙන්න:

  • ඔයා මානසිකව වැටිලා ඉන්න වෙලාවට කතා කරන්න පුළුවන් අයගේ දුරකථන අංක

  • ඔයා අහන්න ආස, දිරිගන්වන සින්දු

  • ඔයාව දිරිමත් කරන සමහර වැකි සහ ලිපි

  • ඔයාට සැනසීමක් ගේන බයිබල් වැකි කිහිපයක්. උදාහරණයකට ගීතාවලිය 34:18; 51:17; 94:19; ෆිලිප්පි 4:6, 7

  • ඔයාට හුඟක් කිට්ටු, ඔයා ගොඩක් ආදරය කරන අයගේ සිහිවටන

  • ඔයාට දැනුණු හොඳ සිතුවිලි, ඔයා ලබපු හොඳ අද්දැකීම් ලියපු දිනපොතක්

යෞවනියන්ට වැඩි අවදානමක්

යෞවනයන්ට වඩා යෞවනියන්ට මානසික අවපීඩනය ඇති වෙන්න තියෙන නැඹුරුවාව වැඩියි. හුඟක් යෞවනියන් මානසික, කායික වගේම ලිංගික හිංසනවලට ලක් වීම සහ ලක් වෙන්න තියෙන අවදානම ඒකට හේතුවක් වෙන්න පුළුවන්. “සමාජයෙන් සහ ගෙදරින් එන පීඩනය එයාගෙම හිතේ ඇති වෙන කලකිරීම් එක්ක එකට එකතු වුණාම ලොකු පීඩනයක් දැනෙනවා” කියලා ෂැරන් හර්ෂ් කියන උපදේශිකාව සඳහන් කළා. මාධ්‍යයෙන් පෙන්නනවා වගේ ලස්සන රූසපුවක් තමන්ට නැහැ කියලා හිතන යෞවනියොත් ඉන්නවා. ඒ වගේ අයත් යාළුවන්ගේ පිළිගැනීම ලබාගන්න හුඟක් උත්සාහ කරන අයත් මානසික අවපීඩනයට ගොදුරු වෙන්න තියෙන අවදානම වැඩියි.d

d 2016 අංක 4 ‘පිබිදෙව්!’ සඟරාවේ “බයිබලයෙන් පිළිතුරක් - පෙනුම” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න