ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 5 3-7 පි.
  • හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර
  • 2017 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආපදාවකට කලින් සූදානම් වෙන්න
  • ආපදාව අතරතුර ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න
  • ආපදාවකට පස්සේ ආරක්ෂිතව ඉන්න
  • මේවාට වග කිව යුත්තේ දෙවිද?
    2007 පිබිදෙව්!
  • ස්වාභාවික විපතකට මුහුණ දීමට ඔබ සූදානම්ද?
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • ආපදාවලට එරෙහිව මිනිසාගේ සටන
    1995 පිබිදෙව්!
  • ඔයා සූදානම්ද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 5 3-7 පි.
ගිනි නිවන භටයෙක්

මුල් පිටුවෙන්

හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර

“අපි හිටියේ ගොඩනැඟිල්ලේ උඩම තට්ටුවක. එකපාරටම කන් බීරි කරන සද්දෙකුත් එක්ක ලොකු පිපිරීමක් වුණා. හැම තැනම ගිනිදළුවලින් වැහිලා ගියා.”—ජොෂුවා.

භූමිකම්පා . . . නායයෑම් . . . සුළිකුණාටු . . . ත්‍රස්ථ ප්‍රහාර. මේ කාලේ පුවත් සිරස්තලවල තියෙන්නෙම ඒ වචන. හදිසි ආපදා ගැන ප්‍රවෘත්ති අපි හැමෝම වගේ කියෙව්වත් ඒවාට මුහුණ දෙන්න වෙද්දී තමයි ඒවා මොන තරම් බියකරුද කියලා තේරෙන්නේ. අපේ ජීවිත බේරාගන්න නම් හදිසි ආපදාවකට කලින්, ආපදාවක් සිදු වෙද්දී සහ ආපදාවකට පස්සේ කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

ආපදාවකට කලින් සූදානම් වෙන්න

ඕනම කෙනෙක් ආපදාවකට අසු වෙන්න පුළුවන්. කලින්ම සූදානම් වෙන එක තමයි ජීවිතේ බේරාගන්න උදව් වෙන වැදගත්ම දේ. ඒක කරන්නේ කොහොමද?

  • මනසින් සූදානම් වෙන්න. ආපදා ඇති වෙනවා කියලත් ඒ වගේ අවස්ථාවකදී ඔයාගෙයි පවුලේ අයගෙයි ජීවිත අනතුරේ වැටෙන්න පුළුවන් කියලත් තේරුම්ගන්න. කලින්ම සූදානම් වුණේ නැත්නම් ඔයා පරක්කු වැඩි වෙයි.

  • දැනුවත් වෙන්න. ඔයාගේ ප්‍රදේශයේ ඇති වෙන්න පුළුවන් මොන වගේ ආපදාවන්ද කියලත් ආරක්ෂිත තැන් තියෙන්නේ කොහේද කියලත් හොයලා බලන්න. ඔයාගේ ගෙදර තියෙන තැනයි හදලා තියෙන විදිහයි ආරක්ෂාසහිතද කියලත් බලන්න. මදුරු කොයිල්, සිගරට්, ඉටි පන්දම්, භූමිතෙල් ලාම්පු වගේ දේවලින් ගින්නක් ඇති වෙන්න පුළුවන් නිසා ඒවා ගැන සැලකිලිමත් වෙන්න. ලිප පත්තු වෙලා තියෙද්දී කුස්සියෙන් එළියට යන්න එපා.

  • හදිසියකදී අත්‍යවශ්‍යම වෙන දේවල් කලින්ම සූදානම් කරගන්න. ආපදාවකදී විදුලිය, ජලය, දුරකථන ඇමතුම්, ප්‍රවාහනය වගේ දේවල් එකපාරටම ඇණහිටින්න පුළුවන්. ඔයාට වාහනයක් තියෙනවා නම් නිතරම ටැංකියෙන් භාගයක්වත් ඉන්ධන පුරවලා තියාගන්න. කෑම, වතුර වගේම අත්‍යවශ්‍යම දේවල් දාපු බෑග් එකක් ලෑස්ති කරලා තියාගන්න.—“ඕනම කරන දේවල් ලෑස්තිද?” කියන කොටුව බලන්න.

    පවුලක් ආපදා මල්ලක් සූදානම් කරමින්

    කලින්ම සූදානම් වෙන එක තමයි ඔයාගේ ජීවිතේ බේරාගන්න උදව් වෙන වැදගත්ම දේ

  • ළඟපාත වගේම දුර ඉන්න යාළුවන්ගේ දුරකථන අංක තියාගන්න.

  • ඉක්මනින් බේරිලා යන්න පුළුවන් සැලැස්මක් හදාගෙන ඒක පෙරහුරු කරන්න. ගොඩනැඟිල්ලේ හදිසි පිටවීමේ දොරටු ගැන දැනුවත් වෙන්න. දරුවාගේ පාසැලේ හදිසි අවස්ථාවකදී ආරක්ෂා වෙන්න ඇති කරලා තියෙන සැලැස්ම ගැන දැනුවත් වෙන්න. පවුලේ අයට එකතු වෙන්න පුළුවන් තැන් ගැන කලින්ම තීරණය කරලා කිහිපවතාවක්ම එතනට ඇවිදගෙන ගිහින් පෙරහුරු කරන්න.

  • උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්න. වයසක, ආබාධිත අයට උදව් කරන්න පුළුවන් විදි ගැන හිතන්න.

ආපදාව අතරතුර ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න

ජොෂුවා මෙහෙම කියනවා. “ගින්න පැතිරෙද්දී ගොඩක් අය කලබල වුණේ නැහැ. ඒත් එයාලා පරක්කු වුණා. සමහරු කොම්පියුටර් ඕෆ් කළා, වතුරු බෝතල් පුරවාගත්තා. එක් කෙනෙක් කිව්වා ‘අපි ටිකක් ඉඳලා බලමු’ කියලා. ඒත් මං කෑගහලා කිව්වා ‘අපි දැන්ම මෙතනින් පිට වෙන්න ඕනෙ’ කියලා. ඊටපස්සේ හැමෝම මාත් එක්ක පඩිපෙළ බහින්න පටන්ගත්තා. ‘කවුරු හරි පැටලිලා වැටුණොත් එයාවත් නැඟිට්ටගෙන ඉක්මනට එළියට යමු, අපිට මේකෙන් බේරෙන්න පුළුවන්’ කියලා මං කිව්වා.”

  • ගින්නකදී. පුළුවන් තරම් පහත් වෙලා එළියට යන්න තියෙන දොරක් ළඟට ඉක්මනින්ම යන්න. දුම නිසා පැහැදිලිව දකින්න බැරි වෙයි. ගින්නක් නිසා ඇති වෙන මරණවලට ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ දුම ආශ්වාස කරපු එකයි. ඔයාගේ පෞද්ගලික දේවල් හොයහොය ඉන්න එපා. තත්පරයක ප්‍රමාදයකින් ඔයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්.

  • භූමිකම්පාවකදී. මේසයක් වගේ ශක්තිමත් ගෘහ භාණ්ඩයක් යටට හරි ගේ ඇතුළේ බිත්ති දෙකක් යා වෙන තැනකට හරි යන්න. පසුකම්පන ඇති වෙන්න පුළුවන් නිසා ඉක්මනින්ම ඉන්න තැනින් පිට වෙලා ගොඩනැඟිලි නැති තැනකට යන්න. ජීවිත ආරක්ෂක නිලධාරීන් එන්න පැය ගාණක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් අනිත් අයවත් බේරාගන්න.

  • සුනාමියකදී. මුහුදේ වතුර වෙරළෙන් ඈතට ඇඳිලා යනවා නම් ඉක්මනින්ම උස් තැනකට යන්න. මොකද ඊළඟට විශාල රළ පහරවල් එන්න පුළුවන්.

  • සුළි සුළං සහ චණ්ඩ මාරුත ඇති වෙද්දී. ඉක්මනින්ම ආරක්ෂිත තැනකට යන්න.

  • ජලගැලීමකදී. වතුරෙන් යට වෙලා තියෙන ගොඩනැඟිලිවලින් ඉවත් වෙන්න. වැසිකිලි ජලය, සුන්බුන්, මිනිසුන් හාරපු වළවල්, කඩන් වැටුණු විදුලි රැහැන් වගේ දේවල් තියෙන්න පුළුවන් නිසා වතුරෙන් යට වුණු පාරවල්වල යන්න එපා.

  • ඔයා දැනගෙන හිටියාද? වේගයෙන් ගලා යන අඩි දෙකක් විතර උස ජල පහරකට පුළුවන් කාර් එකක් වුණත් තල්ලු කරගෙන යන්න. ජලගැලීම්වලදී හුඟක් මරණ සිද්ධ වෙලා තියෙන්නේ වේගයෙන් ගලා යන ජල පහරවල්වල වාහන පදවගෙන ගිය නිසයි.

  • බලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න. ආරක්ෂිත තැනකට යන්න කියලා එයාලා කිව්වොත් ඒ වෙලාවෙම එහෙම කරන්න. ඔයා ඉන්න තැන ගැන යාළුවන්ට කියන්න. නැත්නම් ජීවිත අනතුරේ දාගෙන එයාලා ඔයාව හොයයි.

    පවුලක් රේඩියෝවට සවන් දෙමින්

    ආරක්ෂිත තැනකට යන්න කියලා බලධාරීන් කිව්වොත් ඒ වෙලාවෙම එහෙම කරන්න

  • ඔයා දැනගෙන හිටියාද? කෝල් කරනවාට වඩා මෙසේජ් එකක් දාන එක තමයි හොඳම දේ.

  • ආරක්ෂිත තැන්වල රැඳී ඉන්න කියලා බලධාරීන් කිව්වොත් එහෙම කරන්න. රසායනික අවි, ජීව අවි නැත්නම් න්‍යෂ්ටික අවිවලින් ප්‍රහාර එල්ල වුණොත් ගොඩනැඟිලි ඇතුළෙම ඉන්න. වාතය ඇතුළට එන්නේ නැති විදිහට කවුළු සීල් කරන්න. න්‍යෂ්ටික ප්‍රහාරයකදී විකිරණවලින් ආරක්ෂා වෙන්න ගොඩනැඟිල්ලේ පහළම තට්ටුවට හරි ඇතුල් කාමරයකට හරි යන්න. ප්‍රවෘත්ති ගැන අවධානයෙන් ඉන්න. ආරක්ෂිතයි කියලා බලධාරීන් කියන කල් ඇතුළට වෙලා ඉන්න.

ආපදාවකට පස්සේ ආරක්ෂිතව ඉන්න

ලෙඩ රෝග, අනතුරුවලින් ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් දේවල්:

  • යාළුවන් එක්ක ඉන්න. කඳවුරක ඉන්නවාට වඩා ඒක ආරක්ෂිතයි.

  • ඉන්න තැන පිරිසිදුව තියාගන්න.

  • ආරක්ෂිත දේවල් පළඳින්න. සුන්බුන් ඉවත් කරද්දී අත්වැසුම්, සපත්තු, හිස්වැසුම්, මුඛ ආවරණ පළඳින්න. සැඟවිලා තියෙන විදුලි රැහැන්, ගිනිඅඟුරු වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

  • එදිනෙදා සාමාන්‍ය වැඩ ටික කරගන්න. ඔයා සන්සුන්ව ඉන්නවා කියලා දරුවෝ දකින එක වැදගත්. එයාලා එක්ක පාඩම් වැඩ කරන්න. සෙල්ලම් කරන්න. නමස්කාරයට සම්බන්ධ දේවල් කරන්න. ඕනෑවට වඩා ආපදාව ගැන තියෙන ප්‍රවෘත්තිවල එල්ලීගෙන ඉන්න එපා. ඔයාගේ දුක කේන්තිය පවුලේ අය පිටින් යවන්නත් එපා. උදව් පිළිගන්න. අනිත් අයටත් උදව් කරන්න.

    ආපදාවකට මුහුණ දුන්න පවුලක් එදිනෙදා වැඩ කටයුතු කරමින්

    ආපදාවෙන් පස්සේ එදිනෙදා සාමාන්‍ය වැඩ ටික කරගන්න

  • ආපදාවකදී හුඟක් දේවල් අහිමි වෙනවා කියන දේ පිළිගන්න. බලධාරීන්ට ඕනෙ අහිමි වුණ හැම දේම දෙනවාට වඩා ජීවිත ආරක්ෂා කරන්නයි. වතුර, කෑම, ඉන්න තැනක් වගේ ජීවත් වෙන්න ඕනෙම කරන දේවල් තියෙනවා නම් ඒවායින් සෑහීමට පත් වෙන්න.—1 තිමෝති 6:7, 8.

  • මානසිකව බලපානවා කියලා තේරුම් අරන් ඒ වෙනුවෙන් යමක් කරන්න. මානසික බලපෑමක් ඉස්මතු වෙන්නේ ටික දවසක් ගියාට පස්සෙයි. කාන්සාව, මානසික අවපීඩනය, කේන්ති යන එක, නින්ද නොයෑම, හිතන්නත් වැඩ කරන්නත් අමාරු වෙන එක වගේ දේවල්වලින් පේන්නේ ඒ ආපදාව ඔයාට මානසිකව කොච්චර බලපාලා තියෙනවාද කියලයි. ඒ ගැන යාළුවෙක් එක්ක කතා කරන්න.

ජොෂුවා බේරුණත් එයාත් එක්ක වැඩ කරපු හුඟදෙනෙක් මැරුණු එක ජොෂුවාට මානසිකව බලපෑවා. ඒත් ක්‍රිස්තියානි වැඩිමහල්ලනුත් මානසික වෛද්‍යවරුනුත් එයාට උදව් කළා. “මගේ හිතේ තියෙන දුක සාමාන්‍ය එකක් කියලා තේරුම්ගන්න එයාලා මට උදව් කළා. මාස හයක් විතර යන කල් මට හුඟක් නරක හීන පෙනුණා. ඊටපස්සේ ඒක අඩු වුණත් අනිත් අතුරු ප්‍රතිඵලවලින් ගොඩ එන්න තවත් කාලයක් ගියා.”

ආපදාවකදී හුඟක් අය යුක්තිය, සාධාරණය ගැනත් හිතනවා. අසාධාරණකම්වලට වග කියන්න ඕනෙ දෙවියන් කියලා සමහරු වැරදියට හිතනවා. අනිත් අයව බේරාගන්න බැරි වුණානේ කියලා තවත් අය දුක් වෙනවා. ජොෂුවාටත් එහෙම දැනුණත් එයා මෙහෙම කියනවා. “දෙවියන් ළඟදීම හැම අසාධාරණයකටම නිමාවක් ගේනවා, වෙලා තියෙන හැම හානියක්ම හරිගස්වනවා කියලා දැනන් හිටිය එක මට සහනයක් වුණා. ඒ බලාපොරොත්තුව නිසා ගත වෙන හැම දවසක් ගානෙම මගේ ජීවිතය අගය කරන්නත් ඒක ආරක්ෂා කරගන්නත් මං උත්සාහ කරනවා.”—එළිදරව් 21:4, 5.a

a අනාගතය ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැනත් ඔහු දුක් වේදනාවලට ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලත් දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත බලන්න. www.pr418.com/si වෙබ්අඩවියෙන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ඕනම කරන දේවල් ලෑස්තිද?

හදිසි අවස්ථාවකදී ඕනෙ කරන දේවල්

හදිසි අවස්ථාවකදී ඕන කරන දේවල් ලෑස්ති කරගන්න කියලත් ඒවා හොඳ තත්වයකින් තියෙනවාද කියලා හැම අවුරුද්දකම පරීක්ෂා කරන්න කියලත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දිරිගන්වනවා. ඔයා පදිංචි වෙලා ඉන්න තැන අනුව ඕන කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ප්‍රදේශයට අදාළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයකින් තොරතුරු දැනගන්න.

සාමාන්‍යයෙන් නම් කියන්නේ හදිසි අවස්ථාවකදී එක පුද්ගලයෙකුට අඩු තරමින් වතුර ලීටර් 11ක් සහ දවස් තුනකට ඇති තරම් ක්ෂණික කෑම ලෑස්ති කරගන්න කියලයි.

සමහර පවුල් හදිසි අවස්ථාවකට ඕන කරන මේ වගේ දේවල් බෑග් එකක දාලා ලෑස්ති කරලා තියෙනවා.b

  • පොරවන රෙදි, ඇඳුම් කට්ටල, ශක්තිමත් සපත්තු

  • ටෝච් එකක්, රේඩියෝවක්, බැටරි කිහිපයක්

  • ප්‍රථමාධාර, උදව් ඉල්ලන්න ප්‍රයෝජනවත් වෙන විසිල් එකක්

  • ටින් අරින උපකරණයක්, පිඟන් කෝප්ප, පොඩි ආයුධ කට්ටලයක්, ගිනි පෙට්ටි

  • මුඛ ආවරණ, වතුරට ඔරොත්තු දෙන ටේප්, ඉටි කොළ

  • දත් බුරුසු, සබන්, තුවා, වැසිකිලි කඩදාසි

  • පුංචි දරුවන්ට අවශ්‍ය දේවල්, මහලු සහ ආබාධිත අයට අවශ්‍ය දේවල්

  • වෛද්‍යවරු නියම කළ බෙහෙත් සහ ඒ බෙහෙත් වට්ටෝරුවල පිටපත්, වෙනත් අත්‍යවශ්‍ය ලියකියවිලිවල පිටපත්

  • හදිසි අවස්ථාවකදී හමු වෙන්න පුළුවන් තැන් සහ අමතන්න පුළුවන් දුරකතන අංක ඇතුළත් ලැයිස්තුවක්, සිතියමක්

  • ක්‍රෙඩිට් කාඩ් සහ මුදල්

  • ගෙදරත් වාහනෙත් අමතර යතුරු

  • කොළ, පැන්සල්, පොත්, දරුවන්ට සෙල්ලම් බඩු

  • බයිබලයක්

b මේ ලැයිස්තුවේ තියෙන හැම දෙයක්ම ඔයාගේ තත්වයන්ට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට මේ ලැයිස්තුවේ නැති තවත් දේවල් ඔයාට ඕන වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න