ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sg 1 පාඩම 3-5 පි.
  • සත්‍ය වූ ප්‍රිය වචන කථා කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සත්‍ය වූ ප්‍රිය වචන කථා කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සමාන තොරතුරු
  • සෑම දා යහපත් කථනය භාවිතා කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සුවයක් ගෙනෙන විදිහට කතා කරමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දිරිගන්වනසුලු දේවල්’ ගැන කතා කරමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • ඔයාගේ කතාබහ අනිත් අයට ආදර්ශයක්ද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
sg 1 පාඩම 3-5 පි.

1 පාඩම

සත්‍ය වූ ප්‍රිය වචන කථා කිරීම

1-3. මිනිස් කථාව ආරම්භ වූයේ කෙසේ ද, තව ද එය දියුණු කරනු ලැබුවේ කෙසේ ද?

1 යෙහෝවඃ වහන්සේ කථාවේ උතුම් මැවුම්කරුවාණෝ ය. බුද්ධිමත් මැවිලි අතර ඇති මෙම ආශ්චර්යවත් සන්නිවේදන මාධ්‍යය සඳහා නම්බුව ලැබිය යුත්තේ උන් වහන්සේ ය. එමෙන් ම, දෙවියන් වහන්සේ කරන සෑම දෙයක් ම යහපත් නිසා, ආරම්භයේ දී මිනිසාට දෙන ලද කථා කිරීමේ හැකියාව බයිබලයේ යාකොබ් 1:17 හි සඳහන් කර ඇති ‘සම්පූර්ණ දීමනාවලින්’ එකක් වූ බවට අපට ස්ථිර විය හැක. මිනිස් කථාව සම්බන්ධයෙන් වාග් විද්‍යාඥ ලුඩ්විග් කර්ලර් ලීවේ මෙසේ ය: “කථා කරන විට, ඇත්ත වශයෙන් ම සිදු වන්නේ කුමක් ද යන්න, එනම් ප්‍රත්‍යක්ෂ මාත්‍රය ජීවය පුබුදු කොට . . . කථා කරන වචනය බවට පත්වන්නේ කෙසේ ද යන්න අපේ වැටහීම ඉක්මවයි. මිනිස් කථාව රහසකි; එය දිව්‍ය දීමනාවකි, ප්‍රාතිහාර්යයකි.”

2 ආදම් මවන ලද අවස්ථාවේ දී ඔහුට වාග් මාලාවක් දෙන ලදි. අලුත් වචන නිර්මාණය කිරීමේ හැකියාව ද ඔහු සතු විය. කාර්ය සාධක අන්දමින් අදහස් හුවමාරු කිරීමේ හැකියාව ඔහුට ඇත්ත වශයෙන් ම දී තිබුණේ ය. ඔහුට තමාගේ අදහස් හොඳ කථා විලාසයකින් ප්‍රකාශ කළ හැකි වූවා පමණක් නොව, අන් අයගේ කථාව වටහා ගැනීමේ හැකියාව ද තිබුණේ ය. දෙවියන් වහන්සේ ඔහුට කථා කොට උපදෙස් දුන් බවට වූ කාරණයෙන් මෙය අපට වටහා ගත හැක. එමෙන් ම ඔහුට ඒව සමඟ අදහස් හුවමාරු කළ හැකි විය.—උත්. 1:27-30; 2:16-20.

3 කෙසේ වුවත්, පෘථිවියේ මහත් දුෂ්ටකමක් පැතිරී තිබූ කාලයක දී, එනම් බාබෙල් කොතේ දී, දෙවියන් වහන්සේ මිනිසුන්ගේ කථාව වියවුල් කළ සේක. (උත්. 11:4-9) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අද භාෂා රාශියක් ඇති අතර, ඒවායින් බොහොමයකට උප භාෂා ද ඇත. මේ භාෂාවලින් සමහරක් කුඩා ගෝත්‍රිකයන් විසින් කථා කරනු ලබන අතර, වෙනත් ඒවා දශලක්ෂ ගණන් පුද්ගලයන් විසින් කථා කරනු ලැබේ. මිනිසා මෙන් ම මිනිසාගේ කථාව ද ආරම්භක පරිපූර්ණත්වයෙන් බොහෝ දුරට පිරිහී ඇත. බොහෝ විට ඔහුගේ කථාව බොරුව පතළ කිරීමටත් මිනිසුන් දෙවියන් වහන්සේ වෙතින් අහක් කිරීමටත් යොදා ගනු ලැබේ.

4. අප අපේ කථා කිරීමේ හැකියාව අප භාවිතා කළ යුත්තේ කෙසේ ද?

4 අනෙක් අතට, යෙහෝවඃ වහන්සේගේ මෙහෙකරුවන් හැටියට කථා කිරීමේ හැකියාව සුදුසු ලෙස පාවිච්චි කිරීමට අපට අවශ්‍ය ය. සැබෑ දෙවියන් වහන්සේ පිළිබඳ ව මිනිසුන්ට කථා කිරීමේ සහ ධර්මිෂ්ඨ නව ලොවක සදාකාලික ජීවිතය පිළිබඳ උන් වහන්සේගේ ප්‍රීතිමත් පණිවුඩය ඔවුන් සමඟ බෙදා ගැනීමේ වරප්‍රසාදය අපට තිබේ. මෙය කාර්ය සාධක අන්දමින් කිරීමට අපට උපකාර කරනු වස් දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත අපට සපයා දී ඇත.

5, 6. අප කථා කරන දේ සත්‍ය වීම වැදගත් වන්නේ ඇයි?

5 සත්‍ය වූ වචන කථා කිරීම. කථා කිරීමේ හැකියාව සුදුසු ලෙස භාවිතා කිරීමේ දී වුවමනා කරන්නේ, දේව වචනයට සම්පූර්ණයෙන් එකඟ ව නිතර ම අප සත්‍යය කථා කිරීම ය. ශ්‍රාවකයන්ට ආත්මික වශයෙන් සුවදායක වීමට බොරුවට හැකියාවක් නැත. ඒ නිසා “නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය . . . අල්ලාගන සිටපන්න” යයි ප්‍රේරිත පාවුල් ඥානවන්ත ලෙස අවවාද කළේ ය. ඒ මන්ද? එම “සාරවූ වචනවල ආදෘශය” දෙවියන් වහන්සේගෙන් නික්මුණ නිසා ය. (2 තිමෝ. 1:13) සමහරුන් ‘සත්‍යයට කන් නොදෙනු ඇතැයි’ යනුවෙන් පාවුල් අවවාද කළේය, නමුත් සුදුසු දෙය නම් “වචනය” එනම්, ‘දේව වචනය දේශනා කිරීමය.’ ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ සත්‍යය වූ වචනයෙහි පිහිටා සිට එය අපගේ සෑම දේශනාවේ සහ ඉගැන්වීමේ ක්‍රියාවකට ම පදනම් කර ගත යුත්තෙමු.—2 තිමෝ. 4:1-5.

6 කෙනෙක් සදාකාලික ජීවන මාර්ගයේ පිහිටු වීමට හෝ එම ජීවන මාර්ගයේ දිගටම පැවතීම සඳහා නියමිත වේලාවට නියමිත වචනය කථා කිරීම ඉවහල් වන බව අපි හොඳින් දනිමු. (හිතෝ. 18:21; යාකො. 5:19, 20) එබැවින් වචන සුදුසු ලෙස භාවිතා කිරීම දේව සේවකයන් වන අප සැමට ම ඉතා වැදගත් වන අතර දිව්‍යාණ්ඩු සේවා පාසල මෙම කාරණය අවධාරණය කිරීමට වෑයම් කරයි.

7-9. සාමාන්‍යයෙන් වැඩියෙන් ම කාර්ය සාධක වන්නේ කුමනාකාරයේ වචන ද?

7 වාග් වරණය. කථිකයාගේ මනසේ සිතුවිලි සහ අදහස් ශ්‍රාවකයන්ට ප්‍රකාශ කිරීම සඳහා වචන නිර්මාණය කොට ඇත. මෙය සාර්ථක ලෙස කළ හැක්කේ තමන්ගේ සිතුවිලි නිවැරදි ලෙස ප්‍රකාශ කරන්නා වූ ද, තමාගේ ශ්‍රාවකයන් හොඳින් දන්නා වූ ද, ඔවුන් විසින් පහසුවෙන් හඳුනා ගත හැකි වන්නා වූ ද, වචන කථිකයා තෝරා ගතහොත් පමණ ය. ආරම්භයේ දී කාර්ය සාධක වාග් වරණය පහසු කාර්යයක් නොවනු ඇත. ඊශ්‍රායෙලයේ ධර්ම දේශකයා වූ ඥානවන්ත සාලමොන් රජු පවා “බොහෝ උපදේශ සෝදිසිකොට, සොයාගෙන, පිළියෙළකෙළේය. දේශනාකරන ප්‍රිය වචන සොයාගන්ට උත්සාහකෙළේය. ලියා තිබෙන ඒවාද හරිවූ සත්‍යවූ කාරණය.” (දේශ. 12:9, 10) එබැවින් ප්‍රිය උපදවන වචන සොයා ගැනීම සඳහා මනෝ ප්‍රයත්නය සෙවීම සහ යහපත් විනිශ්චය අවශ්‍ය ය. හොඳින් තෝරා ගත් වචනවල කාර්ය සාධකත්වය එම බයිබල් පරිච්ඡේදයේ ම 11 වැනි පදයේ පෙන්වා දී ඇත. “ප්‍රඥාවන්තයාගේ වචන” ජීවන මාර්ගයෙහි ගමන් කිරීමට මිනිසුන් පොලඹවන්නා වූ සහ දිරිගන්වන්නා වූ “කෙවිටිවලට” සමාන කර ඇත.

8 ඉගෙන ගත යුතු ප්‍රථම මූල ධර්මවලින් එකක් වන්නේ වාග් සරලත්වයයි. කථාව කාර්ය සාධක කිරීමට සංකීර්ණ හෝ අමාරු වචන අවශ්‍ය නැත. ඇත්ත වශයෙන් ම, වටහා ගැනීම පහසු කරන්නා වූ සහ ඒ අනුව ධාරණ ශක්තියට මහත් උපකාරයක් වන්නා වූ කරුණකි, සරලත්වය. “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක” යන බයිබල් වාර්තාවේ මේ ආරම්භක වචනවලට වඩා සරල වූ ද එහෙත් ආනුභාවසම්පන්න වෙනත් වචන ඇත් ද? ඔබට ඒවා අමතක කළ නොහැක. ප්‍රඥාවන්ත දේශනාකාරයාගේ සියලු විමසීම්වල අවසාන නිගමනය ද එසේ ම ය. “දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වාපන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.”—දේශ. 12:13.

9 දෙවියන් වහන්සේගේ සත්‍යයේ පැහැදිලි හඬ, ගොළු කරන වචන මඟ හැරීම අපට අවශ්‍ය ය. “අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරු” කිරීම අපට අවශ්‍ය නැත. (යෝබ් 38:2) “එලෙසම හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්” එය අසා වටහා ගත හැක්කේ කාට ද?—1 කොරි. 14:8.

10, 11. කථා කිරීම සම්බන්ධයෙන් යේසුස් වහන්සේ අපට ආදර්ශයක් වන්නේ කෙසේ ද?

10 ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කදිම ආදර්ශයෙන් අප සියලු දෙනාට ම ප්‍රයෝජනය ලැබිය හැකි ය. උන් වහන්සේගේ සරල වාග් රටාව සහ සාමාන්‍ය ජීවිතයේ සිද්ධීන්වලින් උපුටා ගත් උපහැරණ ශ්‍රාවකයන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය. කපර්ණවුමට නුදුරින් පිහිටි කන්ද මත පවත්වන ලද උන් වහන්සේගේ දේශනය සිහිපත් කරන්න. මතෙව්ගේ ශුභාරංචියේ 5 වැනි පරිච්ඡේදයේ සිට 7 වැනි පරිච්ඡේදය දක්වා එය සටහන් වී ඇත. එය වැල්වටාරම්වලින් යුත් හැඟීම් දනවන දේශනයක් වී ද? නැත. එය නොපැහැදිලි වචන සමූහයක් ද? කිසිසේත් නැත. යේසුස් වහන්සේගේ අරමුණ වූයේ මිනිසුන්ගේ හදවත් කෙරෙහි බලපෑමක් ඇති කරවන විධියට සත්‍යය ඔවුන්ගේ මනසට කාවැද්දීම ය. ඇත්ත වශයෙන් ම, උන් වහන්සේට තමන් වහන්සේගේ පියාණන් වන යෙහෝවඃ වහන්සේගේ මනෝ ස්වභාවය ම තිබුණේ ය. කථාව සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ සියලු ම සේවකයන්ට අනගිතම ආදර්ශය වන්නේ උන් වහන්සේ ය.

11 පැහැදිලි, සරල, හොඳින් තෝරාගත් සත්‍යය වචනවල විශාල බලපෑම අපි කිසිකලෙක අවතක්සේරු නොකරමු. ඒවාට ප්‍රිය උපදවිය හැක. ප්‍රබෝධ කළ හැක. ක්‍රියාවට පෙලඹවිය හැක. උන් වහන්සේට සවන් දුන් අය “සියල්ලෝ උන්වහන්සේට සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුම” වූ බව යේසුස් වහන්සේගේ කථාව පිළිබඳ ලූක් 4:22 අපට වාර්තා කරයි. එවකට සිටි ප්‍රකට යුදෙව්වෝ යේසුස් වහන්සේගේ ප්‍රේරිතවරුන් “අපණ්ඩිතවූ නූගත්” මිනිසුන් බව තේරුම් ගත්තත්, උන් වහන්සේගේ එම ප්‍රේරිතවරුන්ට ද මහත් ආශාවෙන් සවන් දුන් බොහෝ දෙනෙක් සිටියහ. (ක්‍රියා 4:13) මෙය පැහැදිලි කළ හැක්කේ කෙසේ ද? ඔවුහු තමන්ගේ ක්‍රමය ඉගෙන ගත්තේ තමන්ගේ ස්වාමියා වූ ක්‍රිස්තුස් වහන්සේගෙන් ය. මෙය අද කාලයේ බාල මහලු යන සියලු ම දේව සේවකයන්ට මහත් ධෛර්යයක් නොවේ ද?

12. තම දරුවන්ට තමන්ගේ වචන හොඳින් ප්‍රකාශ කිරීමට දෙමාපියන්ට උපකාර කළ හැක්කේ කෙසේ ද?

12 තම දරුවන්ට ඔවුන්ගේ අදහස් හොඳින් ප්‍රකාශ කිරීමට, දෙමාපියන්ට මහත් සේ උපකාර කළ හැක. ගෙදර දී ආදර්ශය සහ ඉගැන්වීම යන දෙකෙන් ම කදිම එදිනෙදා කථා බහ, ඔවුන්ගේ සිතට කාවැද්දිය හැක. කෙනෙකුගේ කථාව පාලනය කළ යුතු බයිබල් ප්‍රතිපත්ති තරුණ මනසට කාවැද්දිය හැක. (ද්වි. 6:6-9) දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම යන පොත් පිංචයේ සඳහන් දවසේ බයිබල් පදය සාකච්ඡා කිරීමට සෑම උදයක ම විනාඩි ස්වල්පයක් ගත කිරීම බොහෝ පවුල්වල සිරිතක් වන අතර, වෙනත් අවස්ථාවල දී ඔවුහු එකතු වී මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාව කියවති. මෙය පවුලට අතිශයින් වැදගත් පුහුණුවකි, මෙමගින් ඔවුන්ගේ වාග් මාලාවට අලුත් වචන එකතු කෙරෙන අතර, මෙම වචන ප්‍රිය උපදවන අන්දමින් එකතු කොට වඩා කාර්ය සාධක ලෙස අන් අයට අදහස් ප්‍රකාශ කිරීමට උපකාරවත් වෙයි. මේ අන්දමින් පවා පවුලට කරුණු සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ මනස දැන ගත හැකි වන අතර, ඔවුන්ගේ කථාවෙන් එය පිළිබිඹු වනු ඇත.

13-16. දිව්‍යාණ්ඩු සේවා පාසලෙන් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගැනීමට නම්, අප පෞද්ගලික ව ම කළ යුත්තේ කුමක් ද?

13 දිව්‍යාණ්ඩු සේවා පාසලට සහභාගි වීමෙන් දියුණුව කරා යාම. මෙම ගුරු පොතේ ඉදිරිපත් කර ඇති පාඨමාලාව ආධාරයෙන් දේව සේවයේ දියුණු වීමට අවංක ආශාවක් දක්වන අපි සියලු දෙනාට ම “ප්‍රිය උපදවන වචන . . . සත්‍යයේ හරි වචන” භාවිතා කිරීමට උපකාර කරනු ලබන්නෙමු. ඔබේ වයස හෝ අධ්‍යාපන තරාතිරම් කුමක් වුවත්, ඔබ යෙහෝවඃ වහන්සේගේ මඟ පෙන්වීම සහ උන් වහන්සේගේ ස්ප්‍රීතුව මත විශ්වාසය තබන්නේ නම්, ඔබට ක්‍රිස්තියානි මෙහෙයේ ප්‍රගතියක් සහ දියුණුවක් ලබා ගත හැක. එහෙත් ඔබ මේ සඳහා අවශ්‍ය කරන උත්සාහය දැරිය යුතුයි. ඔබේ “දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින්, එහිම යෙදී” සිටින ලෙස ඔබට උනන්දු කර ඇත.—1 තිමෝ. 4:15.

14 යෙහෝවඃ වහන්සේගේ සෙනඟගේ සියලු ම සභා රැස්වීම්වලට පැමිණීමට අධිෂ්ඨාන කිරීම සහ එම අධිෂ්ඨානය ක්‍රියාත්මක කිරීම යන කරුණු අප සැම ගන්නා උත්සාහයට ඇතුළත් ය. “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩ කාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තු වුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරපන්න” යන ප්‍රේරිත පාවුල්ගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන් ම දිව්‍යාණ්ඩු සේවා පාසලේ දී සති පතා පවත්වනු ලබන සැසිවාරවල දී උපකාර සපයනු ලැබේ.—2 තිමෝ. 2:15.

15 සභාවේ රැස්වීම්වලට පැමිණෙන ස්ත්‍රී, පුරුෂ, බාල, මහලු යන සෑම පුද්ගලයෙකුට ම පාසලට ඇතුළත් වී මෙම ප්‍රයෝජන ලැබිය හැක. ඔබ බව්තීස්ම වී සිටියත් නැතත් ඔබට ඇතුළත් විය හැක. ලෝකයේ මතය හැටියට උගතුන් සහ කුලවතුන් බොහෝ දෙනෙක් විසින් රාජ්‍යය පිළිබඳ පණිවුඩයට කිසි ම ප්‍රතිචාරයක් නොදක්වනු ලබන බව දෙවියන් වහන්සේ කලින් දැන සිටි බව සමහරවිට යම් පාසල් අධ්‍යාපනයක් නොලැබූ අය මනසේ තබා ගත යුතු ය. (1 කොරි. 1:26-29) නමුත් ලෝකයේ මතයට අනුව පහත් කොට සලකන බොහෝ දෙනෙක් එය ඇහුම් කන් දී සත්‍යට සාගින්නෙන් පෙළෙන්නා වූ වෙනත් පුද්ගලයන්ට කැමැත්තෙන් එය ප්‍රචාරය කරන බව ද උන් වහන්සේ කලින් දැන සිටි සේක. මෙම පාසලට ඇතුල් වී එහි පාඩම් විශ්වාස ලෙස ඉගෙන ගැනීමෙන්, අවංක සිත් ඇත්තන්ට ප්‍රිය උපදවන සත්‍යයේ වචනය කථා කිරීමට සැබවින් ම ඔබට හැකියාව ලබා දෙන දැනුම වෙත ඔබට මඟ පෙන්වනු ඇත. මෙය ඔබේ ප්‍රබෝධයටත් සවන් දෙන්නාගේ ප්‍රබෝධයටත් හේතු වනු ඇත.

16 සියල්ලට ම වඩා ඔබ මේ පාඨමාලාවේ උත්සාහවන්ත ශිෂ්‍යයෙක් වීමෙන් “මාගේ මුඛයෙහි වචන හා සිතෙහි [හෘදයෙහි, NW] භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා” යයි ඊශ්‍රායෙලයේ දාවිත් රජ යාච්ඤා පූර්වක ව ඉල්ලූ දෙය ළඟා කර ගැනීමට වචනයෙන් හා ක්‍රියාවෙන් ඔබ වෑයම් කරන්නෙහි ය. (ගීතා. 19:14) සියලු ම අවස්ථාවල දී මැවුම්කරුවාණන් සතුටු කරවන වචන භාවිතා කරමින් හොඳින් කථා කිරීමට සෑම ක්‍රිස්තියානිවරයෙකුට ම දැඩි ආශාවක් තිබිය යුතු ය. එම අරමුණ ඉටුකර ගැනීමට දිව්‍යාණ්ඩු සේවා පාසල ඔබට වටිනා උපකාරයක් වනු ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න