11 පාඩම
සෑම දා යහපත් කථනය භාවිතා කිරීම
1. අපේ කථාව යෙහෝවඃ වහන්සේට ප්‍රිය මනාප කරවන්නේ කුමක් ද?
1 අහෝ යෙහෝවඃ වහන්ස, “මා මුවේ වචන . . . ඔබ හට ප්‍රිය මනාප වේ වා!” (ගීතා. 19:14, නව අනුවාදය) අප සම්බන්ධයෙන් මෙය සැබෑ වීමට නම් අපි හරි දේවල් ගැන දේව සේවකයන්ට ඔබින විලාසයෙන් කථා කළ යුත්තෙමු. රාජ්‍යය ශාලාවේ දී හෝ ක්ෂේත්‍ර සේවයේ දී හෝ පමණක් නොව, අන් සෑම දිනක දී වුවද අපේ කථා බහ තුළින් අප විශ්වාසවන්ත දේව සේවකයන් බව ඔප්පු කිරීම අපට අවශ්‍ය ය. එවිට, අපේ නිවෙස්වල දී පාසලේ දී, සේවා ස්ථානයේ දී අප භාවිතා කරන භාෂාව අපේ සේවය ගැන හොඳ ආකල්පයක් ඇති කරයි.—2 කොරි. 6:3.
2, 3. අපේ කථා විලාසය සහ වාග් වරණය වැදගත් වන්නේ මන්ද?
2 අපේ කථා විලාසය වැදගත් ය. මෙයට අපේ මුහුණේ ඉරියව් සහ කට හඬේ ස්වරය ද ඇතුළත් ය. යෙහෝවඃ වහන්සේගේ සේවකයන් හැටියට අපේ ප්‍රීතිය අපේ මුහුණුවල දිස් විය යුතු ය. මිත්‍ර ලීලාවක් සහ උණුසුම් සිනාවක් මිනිසුන් ඇද ගනී. අප කථා කරන බයිබල් සත්‍යයන් බරපතළ වුවත්, හදවත් උණුසුම් කරවයි. එබැවින් උද්‍යෝගිමත් වන්න! “උදාසීන” මුහුණකින් යුත් ඉරියව්වක සිටීම අපේ බලාපොරොත්තුවේ පණිවුඩයට නුසුදුසු එකකි.
3 ඔබ හොඳ කථා විලාසයකට හුරු වන විට වචන සහ යෙදුම්වලට “පෞරුෂයක්” ඇති බව ඔබට අවබෝධ වනු ඇත. තිත්ත හෝ මිහිරි වීමට, මෘදු හෝ රළු වීමට, මිත්‍ර හෝ සතුරු වීමට, ගොඩනංවන සුලු වීමට හෝ අධෛර්යවත් කරවන සුලු වීමට හෝ ඒවාට හැක. එමනිසා හරි වචනය හෝ යෙදුම තෝරා ගැනීම අති වැදගත් ය. මෙය විශේෂයෙන් ම සැබෑ වන්නේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට සම්බන්ධ සත්‍යය වචන ඇතුළත් වන විට ය.
4. අපේ වාග් මාලාව අපට විශාල කළ හැක්කේ කෙසේ ද?
4 ඔබේ වාග් මාලාව විශාල කිරීම. ඕනෑ ම අකාරාදියක් බැලූ විට පෙනී යන අන්දමට යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කිරීමට භාවිතා කළ හැකි වචනවල අඩුවක් නැත. ප්‍රශ්නය වන්නේ මෙම වචන සම්භාරය ඔබ කොපමණ හොඳින් භාවිතා කරනවා ද යන්න ය. කියවන විට ඔබට සම්පූර්ණයෙන් නොතේරෙන වචන අකාරාදියෙන් සොයා බලනවා ද? එසේ නැත්නම් ලිපිය කියවීමෙන් පසු ඒවා සොයා බැලීම සඳහා ඒවා ලකුණු කර ගන්නවා ද? ඔබේ වාග් මාලාව වැඩි කර ගැනීමට මෙය උපකාරී වනු ඇත. එමෙන් ම ඔබ හඳුනන නමුත් එදිනෙදා කථා බහ සඳහා භාවිතා නොකරන වචන බොහොමයක් ද ඇති බව ඔබට පෙනී යනු ඇත. සුදුසු තැන්වල දී ඒවා භාවිතා කිරීමට සිහි කල්පනාවෙන් යුත් ප්‍රයත්නයක් දරන්න. ක්‍රිස්තියානි සේවකයෙක් හෝ ශිෂ්‍යයෙක් හැටියට හොඳින් කථා කිරීමේ හැකියාව නොකඩවා දියුණු කිරීම ඔබට ම ප්‍රයෝජනවත් වන්නෙහි ය.
5, 6. වචන සුදුසු ලෙස භාවිතා කිරීමට අපට සහාය වනුයේ කුමක් ද?
5 හරි වචන භාවිතා කිරීමට ඉගෙන ගන්න. විවිධ අවස්ථා සඳහා උපයෝගි කළ හැකි අර්ථයෙන් සමාන නමුත් සියුම් වෙනසක් ඇති වචන දෙකක් තිබිය හැක. ඔබ මෙය වටහා ගත් විට ඔබගේ ශ්‍රාවකයන් ව හිත් රිදවීමෙන් වළක්වන අතර, ඔබේ කථාවේ පැහැදිලි භාවය දියුණු කර ගන්නෙහි ය. හොඳ ශබ්දකෝෂයක සහාය පැතීම බොහෝ සේ උපකාරී වනු ඇත. සමහරක් ශබ්දකෝෂවල සෑම වචනයකට ම යටින් එහි පර්යාය වචනය (සමාන නමුත් අනන්‍ය අර්ථ නොමැති වචන) සහ විරුද්ධාර්ථ පද (විරුද්ධ අර්ථය ඇති වචන) සටහන් කර ඇත. මෙසේ එක අදහසක් සඳහා විවිධ ප්‍රකාශ පමණක් නොව විවිධ අර්ථ ප්‍රභේදයන් ද ඔබට සොයා ගත හැකි වනු ඇත. හරි අවස්ථාවට හරි වචනය සොයන ඔබට මෙය මහත් උපකාරයකි. හරි වචන භාවිතා කිරීම අනවශ්‍ය ලෙස වචන රාශියක් යොදා ගැනීමෙන් ඔබ ව වළකන අතර, කෙළින් ම කාරණයට බසින්නට ඔබට උපකාරී වනු ඇත. වචන බහුලත්වය අදහස් යටපත් කරවන සුලු ය. ඒ නිසා වචන ස්වල්පයකින් ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට පුහුණු වන්න. එය ඔබට හොඳින් කළ හැකි වූ විට, වර්ණවත් බව සහ අර්ථය දෙන විස්තරාත්මක වචන යොදා ගනිමින් ඔබේ ප්‍රකාශය විවිධ අයුරින් ඉදිරිපත් කිරීමට පටන් ගන්න.
6 ඔබ ඔබේ වාග් මාලාව විශාල කර ගන්නා විට අලුත් වචන ගැන පමණක් ම නොසිතා, සුවිශේෂ ලක්ෂණ ඇති වචන ගැන ද සලකා බලන්න: ප්‍රාණවත් භාවය ප්‍රකාශ කරන ක්‍රියා පද; වර්ණවත් භාවය ගෙන දෙන විශේෂණ පද; ඒකාකාරී ස්වභාවය මඟ හැරීමට උපකාර කරන සංක්‍රාන්ති පද; උණුසුම සහ කරුණාභරිත ස්වරයක් පෙන්නුම් කරන යෙදුම්. සමිතියේ ප්‍රකාශන කියවන විට තෝරා ගත හැකි වචන සහ යෙදුම්වල පුළුල් විවිධත්වය ඔබට සටහන් කර ගත හැක.
7, 8. විශාල වාග් මාලාවක් සම්බන්ධයෙන් අප දැන සිටිය යුත්තේ කුමන අවදානම ගැන ද?
7 වාග් මාලාව විශාල කිරීමේ අරමුණ අන්‍යයන්ට ප්‍රදර්ශනය කිරීමට නොවන බව මතක තබා ගත යුතු ය. අපේ පරමාර්ථය වන්නේ තොරතුරු ප්‍රකාශ කිරීම මිස ශ්‍රාවකයන්ට අප ගැන ප්‍රතිරූපයක් මවා පෑම නොවේ. “එසේවී නුමුත් සභාවේදී අන් භාෂාවකින් දසදහසක් වචන කථාකරනවාට වඩා, අනුන්ටත් උගන්වන පිණිස මගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථාකරන්ට කැමැත්තෙමි” යන ප්‍රේරිත පාවුල්ගේ ආකල්පයට අපේ අදහස ද සමාන විය යුතු ය. (1 කොරි. 14:9, 19) කෙනෙකුගේ කථාව වටහා ගැනීමට ඉතා අපහසු නම් ඔහු අන් භාෂාවකින් කථා කළාට සමාන ය. එලෙස ම විස්තර අගය නොකරන්නන්ට අනවශ්‍ය ලෙස පාරිභාෂික තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකීම ඥානවන්ත ය. අපේ සාමාන්‍ය කථා බහේ දී පවා සංකීර්ණ කථාව සහ දීර්ඝ වචන මගින් ශ්‍රාවකයන් විස්මයට පත් කිරීමට අපි වෑයම් නොකළ යුත්තෙමු. අපට කීමට ඇති දේ සවන් දෙන්නන් විසින් වටහා ගත හැකි වීම ඊට වඩා වැදගත් ය: හිතෝපදේශ 15:2ට අනුව, “ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරි ලෙස කියා” දෙන බව මතක තබා ගන්න. හොඳ වචන එනම් පහසුවෙන් වටහා ගත හැකි වචන තෝරා ගැනීම අපේ කථාව නීරස, සිත් නොගන්නා එකක් වෙනුවට රස මුසු සිත් පිනවන එකක් කරයි.—කොලො. 4:6.
8 වචන හරි හැටි පැවසීමට ඉගෙන ගැනීම ද වැදගත් ය. ඒවා නිසි ලෙස උච්චාරණය කරන්න. ඔබට මේ සඳහා අකාරාදියක් පරීක්ෂා කළ හැකි අතර, අන් අය ඇතැම් වචන උච්චාරණය කරන ආකාරය ද ඔබට නිරීක්ෂණය කළ හැක. නොසැලකිලිමත් උච්චාරණය මඟ හැරීමට ඔබට මෙය උපකාරී වනු ඇත. මඟ හැරිය යුතු තවත් දෝෂ නම් වචන මිශ්‍ර කොට උච්චාරණය කිරීම සහ වචනවල අවසාන කොටස් ගිලීමත් ය. ඔබේ දත් අතරින් කථා නොකරන්න. හොඳ වාග් ව්‍යවහාරයක් භාවිතා කරන්න. ඔබේ කට ඇර පැහැදිලි ලෙස වචන ශබ්ද කරන්න.
9-12. අප මඟ හැරිය යුත්තේ කුමන ආකාරයේ කථාව ද, තව ද ඒ මන්ද?
9 මඟ හැරිය යුතු භාෂාව. අපේ එදිනෙදා ජීවිතයේ දී මඟ හැරිය යුතු ආකාරයේ කථාව පිළිබඳ ව දෙවියන් වහන්සේගේ වචනය අපට මඟ පෙන්වයි. නිදසුනක් හැටියට “නීච කවටකම්” වැනි “නුසුදුසු දෙයින් වැළකෙන” ලෙස ප්‍රේරිත පාවුල් අපට අනුශාසනා කරයි. (එපී. 5:3, 4) නීච සහ අසභ්‍ය වචන සහ යෙදුම් අපි මඟ හැරිය යුත්තෙමු. “නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට . . . වර්ධනයවීම සඳහා යහපත් දේම කියාපල්ලා” කියා ද ප්‍රේරිත පාවුල් ලීවේ ය. (එපී. 4:29) එබැවින් ක්‍රිස්තියානිවරුන් ශාප කරන වචන සහ රළු කථාවෙන් වැළකිය යුතු ය. එවැනි භාෂාව මගින් තමන් කියන දේ අවධාරණය කරන බව සමහර පුද්ගලයෝ කල්පනා කරති. එහෙත් බලපෑමෙන් යුත් හොඳ වචන රාශියක් ඇත. අප මිනිසුන්ට කථා කරන විට, ඔවුන්ගේ රළු බස අනුකරණය කිරීමට අපට අවශ්‍යතාවයක් නැත. සරල බස උපකාරී විය හැකි වුවත් එය පිරිසිදු සහ නිවැරදි විය යුතු ය.
10 ව්‍යාකරණ භාවිතය සමඟ ගැටෙන ඇතැම් යෙදුම් සහ කථා විලාසවලින් ද වැළකිය යුතු ය. එවැනි භාෂාව බොහෝ විට ලෞකික විනෝදාස්වාදය ගෙනදෙන්නන් විසින් භාවිතා කරනු ලබයි, නැතහොත් නවීන ගීත තුළ ජනප්‍රියත්වයට පත් වී තිබේ. ජනයා ඒවා අනුකරණය කිරීමට නැඹුරු වෙති. එහෙත් එවැනි කථා රටාවන් යොදා ගැනීම ක්‍රිස්තියානින්ට ඔබින්නේ නැත. එසේ කිරීමෙන් අපි ලෝකය සහ එහි ජීවිත පිළිවෙළ අනුව යන බව පෙන්නුම් කරමු. සාමාන්‍ය පුද්ගලයාට පහසුවෙන් නොවැටහෙන වාග් මාලාවක්, මුළු ජීවිතය ම අපරාධවලින් සහ අනාචාරයෙන් යුක්ත, මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයෝ සහ වෙනත් අය යොදා ගනිති. එහෙත් අපේ භාෂාව එවැනි ලෞකික බලපෑම්වලින් යටත් නොවිය යුතු ය.—රෝම 12:2.
11 ක්‍රිස්තියානින් ගරු සරු නැති භාෂාවෙන් වැළකීමට වගබලා ගත යුතු ය. ඇතැම් පුද්ගලයෝ ‘දෙවියන් වහන්සේ’ සහ ‘ස්වාමීන් වහන්සේ’ ‘යේසුස් වහන්සේ’ ‘ක්‍රිස්තුස් වහන්සේ’ යන වචන හුදෙක් තමන් කියන දේ අවධාරණය කිරීමට හෝ ශාප කරන වචනවලට ආදේශක වශයෙන් භාවිතා කරති. “අනේ දෙවියනේ”, “අපොයි දෙයියනේ”, “ජේසුනේ”, “දෙයියෝ සාක්කි”, වැනි වෙනත් වචන “දෙවියන් වහන්සේ” සහ “යේසුස් වහන්සේ” යන වචනවලින් ගත් අප්‍රසන්න ආරූඪ යෙදුම් වන අතර ප්‍රකාශ කරන යෙදුම් ලෙස උපයෝගි කිරීම විරෝධය ඇති කරවන සුලු ය.—නික්. 20:7; මතෙ. 5:34-37.
12 මිනිස්සු කියන දේ සහ කරන දේ ඇතැම් විට අප කෝප කරවීමට ඉඩ තිබේ. එසේ වුවත්, කෝපාවිෂ්ට හෝ අපවාදාත්මක ස්වරයෙන් පිළිතුරු දීම ක්‍රිස්තියානිවරයෙකුට ඔබින්නේ නැත. “නුමුත් දැන් නුඹලා ඒ සියල්ල—කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දා කිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව—පහකරපල්ලා” යයි ප්‍රේරිතවරයා ලියා ඇත. (කොලො. 3:8) එහෙයින් අන් අයගේ කථාව ඔබ කෝප කරවන සුලු වුවත් ආත්ම දමනයෙන් කටයුතු කිරීම ප්‍රඥාවේ මාර්ගය වේ.—හිතෝ. 14:29; යාකො. 3:11.
13-16. අපේ ව්‍යාකරණය සහ කථා පුරුදු දියුණු කිරීමට අපට උපකාර වනුයේ කුමක් ද?
13 සුදුසු ව්‍යාකරණ. තමන්ගේ ව්‍යාකරණය එතරම් හොඳ නොවන බව සමහර පුද්ගලයන්ට අවබෝධ විය හැක. සමහර විට ඔවුන් වැඩුණේ වෙනත් රටක විය හැක. එසේ නැත්නම් බාල කාලයේ දී හොඳ පාසල් අධ්‍යාපනයක් ලැබීමට ඔවුනට අවස්ථාවක් නොලැබුණා විය හැක. එහෙත් ඔවුන් අධෛර්යවත් නොවිය යුතු ය; ඒ වෙනුවට ශුභාරංචිය උදෙසා තමන් දියුණු වීමට අව්‍යාජ උත්සාහයක් දැරිය යුතු ය. ගත හැකි ප්‍රයෝජනවත් පියවර ඇත. නිදසුනක් හැටියට, පවුලක් වශයෙන් කියවීම මගින් එවන් නිවැරදි කිරීම් සිදු කිරීමට ප්‍රස්තාව විවෘත කරනු ලැබේ. අප දන්නා ව්‍යාකරණයන් බොහොමයක් අප ඉගෙන ගන්නේ අන් අයගේ කථාවට සවන් දීමෙන් ය. ඒ නිසා පරිණත හොඳ උගත් සහෝදරයන් කථා කරන විට, සුපරීක්ෂාකාරී ලෙස ශ්‍රවණය කරන්න. ඔබ බයිබලය සහ සමිතියේ ප්‍රකාශන කියවන විට වාක්‍ය රටාවන් සහ විවිධ අවස්ථා සඳහා භාවිතා කර ඇති වචන ගැන සැලකිලිමත් වන්න. ඔබේ ම කථාව ද මෙම හොඳ ආදර්ශවලට එකඟ ව ගොඩනගා ගන්න.
14 හොඳ ව්‍යාකරණ සහ වාග් ව්‍යවහාරය ඉගෙනීමට ඇති අවස්ථාවෙන් පාසල් යන යෞවනයන් ප්‍රයෝජන ගත යුතු ය. ඔවුහු එයින් උපරිම ප්‍රයෝජනය ගත යුතු ය. ඔබට යම් ව්‍යාකරණ රීතියක් පිළිබඳ ව සැකයක් ඇති වූ විට ගුරුවරයාගෙන් වැඩි දුර තොරතුරු විමසන්න. ඔබගේ දැඩි වීර්යයට හොඳ හේතුවක් තිබේ. මක්නිසා ද ඔබට අවශ්‍ය වනුයේ ශුභාරංචියේ කාර්ය සාධක සේවකයෙකු වීමට ය.
15 සෑම දා යහපත් කථනය භාවිතා කිරීමට වෑයම් කරන්න. කෙනෙක් එදිනෙදා සම්භාෂණයේ දී අපිළිවෙළට කථා කිරීමට පුරුදු වී ඇත්නම් විශේෂ අවස්ථාවල දී හොඳින් කථා කිරීමට ඔහුට බලාපොරොත්තු විය නොහැක. ඒ සඳහා පුහුණුවක් අවශ්‍ය ය. නමුත් ජීවිතයේ සාමාන්‍ය අවස්ථාවල දී වුවද ඔබ හොඳ ගුණයෙන් යුත් කථාව උපයෝගි කරන්නේ නම්, එවිට, වේදිකාවේ දී හෝ අන්‍යයන්ට දෙවියන් වහන්සේගේ සත්‍යයන් ගැන සාක්ෂි දරන විට දී හෝ එය ඔබට පහසුවෙන් සහ ස්වාභාවික ලෙස කථා කළ හැකි වනු ඇත.
16 රාජ්‍යය මගින් යෙහෝවඃ වහන්සේ ඉටු කරන්නට යන විශිෂ්ට අරමුණුවලට අගය කිරීම ප්‍රකාශ කළ හැකි ආකාරයේ ප්‍රිය උපදවන වචනවලින් අපේ මනස සහ හදවත් පිරවීමට, සෑම දා යහපත් කථනය භාවිතා කිරීමට පුරුදු වීම උපකාරී වනු ඇත. “යහපත් මනුෂ්‍යයා තමාගේ සිතෙහිවූ [හෘදයෙහිවූ NW] යහපත් සම්පතෙන් යහපත් දේද . . . පිටතට ගෙනෙන්නේය” යනුවෙන් ලූක් 6:45 හි සඳහන් යේසුස් වහන්සේගේ වචන එවිට අපට අද්දැකීමට හැකි වනු ඇත.