14 පාඩම
උපායශීලී ව එහෙත් ස්ථිර ව ක්‍රියා කිරීම
1. අපි උපායශීලීභාවය වර්ධනය කළ යුත්තේ මන්ද?
1 යේසුස් වහන්සේ සිය ගෝලයන් ව දේශනා කිරීම සඳහා පිටත් කර යැවූ අවස්ථාවේ දී, ඔවුහු කළ කී දේ ගැන විචාර බුද්ධියෙන් ක්‍රියා කළ යුතු බව ඔවුන්ට පැහැදිලි කළ සේක. උන් වහන්සේ ඔවුන් සමඟ සිටින බව පොරොන්දු වුවත්, අනවශ්‍ය කරදර ඇති වන විධියට ක්‍රියා නොකිරීමට ඔවුහු බැඳී සිටියෝ ය. (මතෙ. 10:16) තම තමන් අතරේ වුවද නොසැලකිලිමත්කමින් එකිනෙකාගේ සිත් රිදවන ආකාරයේ කථා සහ ක්‍රියාවලින් වැළකීම සඳහා ක්‍රිස්තියානින් විචාර බුද්ධියෙන් කටයුතු කළ යුතු ය. (හිතෝ. 12:8, 18) ඒ නිසා උපායශීලීභාවය වර්ධනය කිරීම අවශ්‍ය ය.
2. උපායශීලීභාවය යන්නෙහි අර්ථය කුමක් ද?.
2 උපායශීලීභාවය යන්න නිර්වචනය කොට ඇත්තේ “අන් අය සමඟ කටයුතු කිරීමේ දී කිව යුතු දේ සහ කළ යුතු දේ පිළිබඳ නිසි අවබෝධය” සහ “පරසිත් නොරිදවා කටයුතු කිරීම” කියා ය. උපායශීලීභාවය යනු අන් අයගේ සිත් නොරිදවා කථා කිරීමට සහ ක්‍රියා කිරීමට ඇති සිත්කලු හැකියාව ය. අප කරන කියන ආකාරයෙන් අන් අයගේ සිත් රිදවීමට අපට අවශ්‍ය නැත. එහෙත් අප කරන කියන දෙයින් කවදාවත් අන් අයගේ සිත් නොරිදන්නේ යයි අපට සිතිය නොහැක. මක්නිසා ද බයිබලයේ පණිවුඩය ම සමහරුන්ට සිත් වේදනාවකි. (රෝම 9:33; 2 කොරි. 2:15, 16) එනිසා අපි ස්වභාවයෙන් උපායශීලී වන අතර, දෙවියන් වහන්සේගේ වචනය උදෙසා ද ස්ථිර ව සිටිමු.
3. ආත්මයේ ඵල උපායශීලීභාවයට පදනම වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න.
3 අප දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල විදහා පාන්නේ නම්, අපේ එදිනෙදා ජීවිතයේ දී උපායශීලී වීම දුෂ්කර නොවනු ඇත. එම ඵලය උපායශීලී භාවයේ පදනම නොහොත් අත්තිවාරම වේ. (ගලා. 5:22, 23) නිදසුනක් හැටියට, ප්‍රේමයෙන් යුත් පුද්ගලයෙක් අන්‍යයන් ප්‍රකෝප නොකොට ඔවුන්ට උපකාර කිරීමට අවංක ආශාවක් දක්වයි. කාරුණික පුද්ගලයෙක් මෘදු අන්දමින් කටයුතු කරයි. එමෙන් ම, ආත්ම-දමනය වර්ධනය කොට උග්‍ර අවස්ථාවල දී සන්සුන් ව සිටින තැනැත්තාට වෙනත් පුද්ගලයෙකු තමාගේ මතයට හරවා ගැනීම දුෂ්කර කරුණක් නොවේ. අනික් අතට, ඉක්මන් හිතුවක්කාර පුද්ගලයෙක් අන් අයට ගරු නොකොට කථා කිරීමෙන් ඔවුන් ව තමාට ම විරුද්ධ කර ගනී. (හිතෝ. 15:18) අපේ කථාව සහ ක්‍රියා තර්කානුකූල මනස් ඇද ගැනීමට මිස ඒවා නෙරපා දැමීමට හේතු නොවිය යුතු ය.
4-8. (අ) අප අපගේ ගෙයින්-ගෙට සේවයේ දී උපායශීලී ලෙස කටයුතු කරන්නේ කෙසේ ද? (ආ) උපායශීලී වීමට ඇත්තෙන් ම ප්‍රතිපත්ති පාවා දීමක් අවශ්‍ය වේද? එයට සම්බන්ධ වන්නේ කුමක් ද?
4 ක්ෂේත්‍ර සේවයේ දී උපායශීලී ව කටයුතු කිරීම. ගෙයින්-ගෙට සේවයේ දී ඔබේ සම්භාෂණය නිවැසියාට ඉතා සමීප කරුණුවලින් ආරම්භ කිරීම සහ දෙවියන් වහන්සේගේ රාජ්‍යය විසඳුම් ලබා දෙන ආකාරය ගැන කථා කිරීමෙන් ඔබට උපායශීලී විය හැක. පුද්ගලයෙක් ධර්මිෂ්ඨකමට දක්වන ප්‍රේමය, ඔහුගේ විතර්කයට සහ වඩා යහපත් දේවලට ඔහු දක්වන ආශාව යනාදියට ඔහුගේ සිත් යොමු කරන්න. ඔහුගේ ආගමික මත හෙලා දැකීමෙන් හෝ හාස්‍යයට ලක් කිරීමෙන් සිදු වන්නේ ඔහුගේ මනස වසා දැමීම පමණ ය. ඒ නිසා මත භේදයට තුඩු දෙන කරුණු ගැන කථා කරනවා වෙනුවට නිවැරදි යයි සාමාන්‍යයෙන් මිනිස්සු පිළිගන්නා දේවලට සිත යොමු කරන්න. මත භේදයට තුඩු දෙන යමක් ගැන කථා කිරීමට අවශ්‍ය වූ විට ප්‍රථමයෙන් නිවැසියා සමඟ එකඟ විය හැකි කරුණක් සොයා බලා එම කරුණ අවධාරණය කරන්න. රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුව දනවන සත්‍යයන් සහ එහි ආශීර්වාද නිවැසියාගේ මනසට කාවැද්දීමට ඔබ සමත් නම් එම පුද්ගලයා ලබන්ට නොවටිනා තරම් වූ දෙවියන් වහන්සේගේ කරුණාව අගය කිරීම ආරම්භ කරන විට අනික් කරුණු ද නිවැරදි කළ හැක.
5 තමා කථා කරන පුද්ගලයා ලවා ඔහුගේ අදහස් හෙළි කිරීමට උපායශීලී පුද්ගලයා සෑම ප්‍රයත්නයක් ම දරයි. පාවුල් තමා සාක්ෂි දැරූ පුද්ගලයන්ගේ දෘෂ්ටි කෝණයෙන් සිතීමට වෑයම් කළ නිසා ශුභාරංචියට පක්ෂ ව, ශක්තිමත් තර්ක ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය. (1 කොරි. 9:20-22) අපටත් එසේ කිරීමට අවශ්‍ය වේ. අන්‍යයන්ගේ තත්ත්වයන්, ඔවුන් එම තත්ත්වයේ සිටින්නේ මන්ද, ඔවුන් යම් යම් දේවල් ගැන විශ්වාස කරන්නේත්, කථා කරන්නේත් මන්ද, යන්න ගැන සානුකම්පිත ව කල්පනා කිරීමෙන් ඔවුන් සමඟ උපායශීලීභාවයෙන් කටයුතු කිරීමට කෙනෙකුට හැකි වේ. සමහර විට, ඔවුන්ගේ ජීවිතයේ විවිධ තත්ත්වයන් විවිධ අද්දැකීම්, විවිධ ආධිපත්‍යයන් මත විශ්වාසය තැබීම, ඔවුන් කල්පනා කරන ආකාරයට හේතු වේ. අනෙක් පුද්ගලයා කල්පනා කරන ආකාරය ගැන ඔබට හෝඩුවාවක් ලැබුණු විට, ඒ පුද්ගලයා කල්පනා කරන ආකාරය සහ එසේ කල්පනා කිරීමට හේතු නොදැන කථා කිරීමෙන් අනවශ්‍ය ලෙස ඔහුගේ සිත රිදවනවා වෙනුවට ශුභාරංචිය ඒකාන්ත ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ඔබට මඟ පාදා ගත හැක.
6 අනෙක් පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයෙන් සලකා බැලීම යන්නෙන් අදහස් කරන්නේ හරි දේ පාවා දීමක් නොවේ. උපායශීලීභාවය යනු කරුණු විකෘති කිරීමක් ද නොවේ. සියලු ම අවස්ථාවල දී හරි දෙයට ස්ථිර ලෙස සිටීම අවශ්‍ය වේ. එසේ නොකළොත් පුද්ගලයෙක් උපායශීලී වෙනුවට, සත්‍යය පාවා දෙනු ඇත. ධර්මිෂ්ඨ දෙයට ප්‍රේම කරනවා වෙනුවට ඔහු මිනිසාට භය වීමට පෙලඹෙනු ඇත. එහෙත් සත්‍යය පාවා දීමක් උපායශීලීභාවයට සම්බන්ධ නොවුවත් එයට සුදුසු වේලාවක් සම්බන්ධ වේ, එනම්, ඇතැම් තොරතුරු හෙළි කිරීමට සුදුසු වේලාවක් තෝරා ගත යුතු ය. සමහර විට කියන ලද යමක් නොසලකා හැරීම උපායශීලී වනු ඇත. පුද්ගලයෙක් සමහරක් දේවල් ග්‍රහණය කිරීමට සූදානම් වන තුරු ඒවා පසුවට කල් දැමීම සුදුසු ය. “නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය. නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරි” යයි යේසුස් වහන්සේ සිය ගෝලයන්ට කී සේක. (යොහන් 16:12) එබැවින් අප කථා කරන පුද්ගලයා සමඟ එකඟ නොවුවත් සෑම වරදක් ම එක හෙලා ම පෙන්වා දීමට අවශ්‍ය නැත. අපි එසේ කළොත්, ඔහුගේ මනස වැසීමටත් වැඩි දුර සාකච්ඡාවට බාධා පැමිණවීමටත් ඉඩ තබන්නෙමු.
7 සාකච්ඡාවක් කර ගෙන යන අවස්ථාවේ දී බයිබලයේ බොහෝ වැරදි ඇතැයි නිවැසියෙක් පෙන්වා දුන් විට සෑම විරුද්ධතාවයක් ම කෙටි කාලයක් තුළ දී උපායශීලී අන්දමින් නිෂ්ප්‍රභා කිරීම දුෂ්කර ය. බොහෝ විට, කළ යුතු හොඳ ම දෙය වන්නේ ඒවායින් බොහොමයක් නොසලකා හැර, සාකච්ඡාවට භාජනය වී ඇති සුවිශේෂ මාතෘකාව කෙරෙහි පමණක් සැලකිල්ල දැක්වීම ය. එසේ නැත්නම්, නිවැසියා ලෞකික තර්කවලට ඔබ ඇද ගැනීමට වෑයම් කළ හැක. එවැනි ලෞකික ගැටලුවලට බයිබලය දෙන පිළිතුරු ඉදිරිපත් කරමින්, ඒවාට සම්බන්ධ වීමෙන් උපායශීලී ලෙස වළකින්න. මේ අයුරින් ඔබ යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරනු ඇත.—මතෙ. 22:15-22.
8 කෝපාවිෂ්ට නිවැසියෙක් මුණ ගැසුණු විට උපායශීලී ව එහෙත් ස්ථිර ලෙස කටයුතු කරන්න. ඔහු සන්සුන් කිරීම සඳහා සත්‍යය පාවා නොදෙන්න. ඒ වෙනුවට ඔහුගේ හැඟීම්වලට හේතු තේරුම් ගැනීමට වෑයම් කරන්න. සමහර විට ඔහුගේ මතයට හේතු ඔහුගෙන් ම විමසන්න. ඔහු පිළිතුරු දුන්නොත් ඔබේ අදහස්වලට හේතු ඉදිරිපත් කිරීමට ඔබ කැමති බව ඔහුට දැනුම් දෙන්න. ඔබට එම සාකච්ඡාව කොතෙක් දුරට ගෙන යා හැකි වුවත්, හොඳ ප්‍රතිඵල ලබා ගත හැක්කේ උපායශීලී වීමෙන් ය. හිතෝපදේශ 15:1 හි සඳහන් වූ වදන් සිහිපත් කරන්න. “මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.” එහෙත් සමහර පුද්ගලයෝ යුක්ති සහගත නොවන අන්දමින් හැසිරෙන්නේ නම් සමුගැනීම වඩා හොඳ ය.—මතෙ. 7:6.
9, 10. අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ කටයුතු කරන විට උපායශීලීභාවය අවශ්‍ය ද?
9 ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ උපායශීලී වීම. අප උපායශීලීභාවය වර්ධනය කළ යුත්තේ යෙහෝවඃ වහන්සේ ව නොදන්නා අය සමඟ කටයුතු කිරීමේ දී පමණක් නොව, අපගේ ආත්මික සහෝදරයන් සමඟ කටයුතු කිරීමේ දී ද එය අවශ්‍ය වේ. සමහර අවස්ථාවල දී සහෝදර සහෝදරියෝ ක්ෂේත්‍ර සේවයේ දී උපායශීලී වුවත් තමන්ගේ සහෝදරයන් සමඟ එසේ කිරීමේ අවශ්‍යතාවය අමතක කරති. ප්‍රේමය සහ එකමුතුකම ගොඩනැංවීමටත්, දෛනික සම්බන්ධකම් හොඳින් පවත්වා ගැනීමටත් යෙහෝවඃ වහන්සේගේ සංවිධානය තුළ මොළොක් වචන සහ ක්‍රියා අවශ්‍ය ය. “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු” යයි පාවුල් කීවේ ය.—ගලා. 6:10.
10 අප සියලු දෙනා ම, අපගේ සහෝදරයන් ගැන, විශේෂයෙන් ම ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා ගැන උනන්දුවක් දක්වන්නේ යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ සිටින නිසා ය. (පිලි. 2:2, 4) කෙසේ වෙතත්, තමාගේ සහෝදරයන් ගැන උනන්දුවක් දක්වන අතර ම තමාට අයිති නැති ආකාරයේ ප්‍රශ්න අසමින් ඔවුන් ලජ්ජාවට පත් නොකිරීමටත් ඔවුන්ගේ පුද්ගලික කටයුතුවලට ඇඟිලි නොගැසීමටත් උපායශීලී පුද්ගලයා වගබලා ගනී. “අනුන්ගේ කාරණාවලට මැදි වන්නෙකු” වීමෙන් වැළකීමට උපායශීලීභාවය සහාය වනු ඇත.—1 පේතෘ. 4:15.
11. සභාවේ වැඩිමහල්ලන්ට උපායශීලීභාවය අවශ්‍ය බව ශුද්ධ ලියවිලි පෙන්වා දෙන්නේ කෙසේ ද?
11 සභාවේ පැන නැගෙන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන වැඩිමහල්ලන්ට උපායශීලීභාවය විශේෂයෙන් වැදගත් ය. ක්‍රිස්තියානි සභාවේ සිටින නොමඟ ගිය අය සම්බන්ධයෙන් කටයුතු කරන විට, “ස්වාමීන්වහන්සේගේ දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ . . . ඉවසිලිවන්තවූ කෙනෙක්ව සිට, . . . යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද, ඔහුගේ මලපතෙන් මිදෙන පිණිසද,” මෘදු විය යුතු බවටත් කරුණාවන්ත විය යුතු බවටත් ප්‍රේරිත පාවුල් තිමෝතිට උපදෙස් දුන්නේ ය. (2 තිමෝ. 2:24-26) සහෝදරයෙක් නොදැනුවත් ව ම වැරදි පියවරක් ගත් විට ඔහු සම්බන්ධයෙන් කටයුතු කරද්දී ‘මෘදුකමෙන්’ ක්‍රියා කළ යුතු බව ද ප්‍රේරිතවරයා උපදෙස් දුන්නේ ය. (ගලා. 6:1) එවැන්නන් සම්බන්ධයෙන් උපදෙස් දෙන විට වැඩිමහල්ලන් උපායශීලී වන නමුත්, ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සඳහා ස්ථිර වීම ද අවශ්‍ය ය.
12, 13. අපේ නිවෙස්වල දී උපායශීලීභාවය වැදගත් වන්නේ මන්ද?
12 අපි පවුලේ අය සමඟ ද උපායශීලී ව කටයුතු කළ යුත්තෙමු. අප ඔවුන් හොඳින් දන්නා නිසා ම පවුලේ අය බාල කිරීමට හෝ ඔවුන්ට අකාරුණික වීමට හෝ අවශ්‍ය නැත. ඔවුන් සමඟ ද අපි උපායශීලීභාවයෙන් කටයුතු කළ යුත්තෙමු. අපගේ ගරුසරු නැති අවඥාසහගත හෝ රළු ක්‍රියා ඔවුනට පිළිකුල් වනු ඇත. ඇරත් පවුලේ අනික් සාමාජිකයෝ යෙහෝවඃ වහන්සේගේ සේවකයන් නොවෙත් නම්, ඔවුන්ට කථා කරන විට අප උපායශීලී නොවිය යුතු යයි අදහස් කෙරේ ද? කිසිසේත් නැත. මක්නිසා ද ඔවුන් සමඟ උපායශීලී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට යම් දිනෙක ඔවුන් සැබෑ නමස්කාරය පිළිගැනීමට ඉඩ තිබේ.—1 පේතෘ. 3:1, 2.
13 අප ජනයා සමඟ හෝ අපේ ආත්මික සහෝදර සහෝදරියන් සමඟ හෝ අපේ පවුලේ සාමාජිකයන් සමඟ හෝ දිව්‍යාණ්ඩු උපායශීලීභාවයෙන් කටයුතු කිරීම යහපත් ප්‍රතිඵල දරයි. හිතෝපදේශ 16:24 පෙන්වා දෙන පරිදි: “ප්‍රිය වචන මී වදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.” ඔබ හට මුණ ගැසෙන සියලු දෙනා සමඟ ම ප්‍රයෝජනවත් චේතනාවෙන් උපායශීලීභාවය වර්ධනය කරගන්න.