හදවතට කතා කරන්නේ කොහොමද?
1. යේසුස්ගේ ඉගැන්වීම් ඔහුට සවන් දුන්න අයට බලපෑවේ කොහොමද?
1 යේසුස් ඔහුට සවන් දුන්න අයගේ හදවතට කතා කෙරුවා. එක අවස්ථාවකදී ඔහුගේ ගෝලයන්ට ශුද්ධ ලියවිල්ලේ තියෙන දේ පැහැදිලි කෙරුවාම ඔවුන්ගේ ‘සිත් සතුටින් පිරී ගියා.’ (ලූක් 24:32) කෙනෙක් දෙවිට කීකරු වෙන්න ඕන හදවතින්මයි. ඒ නිසා ඔහුගේ හදවතට කතා කරන්න ඕනේ. ජීවිතය වෙනස් කරගන්න පෙලඹීමක් ඇති වෙන විදිහට උගන්වන්න පුළුවන් කොහොමද?—රෝම 6:17.
2. කෙනෙක්ගේ හදවතට කතා කරන්න නම් ඥානවන්තව හා අවබෝධයෙන් ක්‍රියා කරන්න ඕන ඇයි?
2 ඥානවන්තව හා අවබෝධයෙන් ක්‍රියා කරන්න: හුඟක් අයට හරි දේ මේකයි වැරදි දේ මේකයි කියලා කිව්වාට මදි. ඒකෙන් ඔවුන් පියවර ගන්න පෙලඹෙන්නේ නැහැ. අනිත් එක බයිබල් පද ගොඩක් පෙන්නලා ඔවුන්ගේ ආගමික විශ්වාසයන් වැරදියි කියලා පෙන්නුවොත් ඒ අයට එපා වෙයි. කෙනෙක්ව පොලඹවන්න නම් ඔහු යමක් විශ්වාස කරන්නෙත් ඒ අනුව ක්‍රියා කරන්නෙත් ඇයි කියලා අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. ඥානවන්තව හිතලා බලලා ප්‍රශ්න ඇහුවොත් ඔහුගේ හිතේ තියෙන දේවල් නොසඟවා හෙළි කරයි. (හිතෝ. 20:5) ඔහුගේ හදවතට කතා කරන්න පුළුවන් කරුණු දේවවචනයෙන් තෝරගන්න අපිට පුළුවන් වෙන්නේ එතකොටයි. ඒකට අපි ඔහු ගැන සැලකිලිමත් වෙන්නත් ඉවසන්නත් ඕනේ. (හිතෝ. 25:15) එක් එක් කෙනා දියුණු වෙන වේගය වෙනස්. ඒ නිසා යෙහෝවා දෙවිගේ බලය ක්‍රියාත්මක වෙලා ඔවුන්ගේ සිතුවිලි හා ක්‍රියා වෙනස් කරගන්න ඔවුන්ට කාලය දෙන්න ඕනේ.—මාක් 4:26-29.
3. හොඳ ගුණාංග වර්ධනය කරගන්න ඒ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
3 හොඳ ගුණාංග වර්ධනය කරගන්න උදව් කරන්න: යෙහෝවා දෙවිගේ යහපත්කම හා ප්‍රේමය පෙන්වන බයිබල් වාර්තා ඔවුන්ට උදව් වෙයි ඔවුන්ගේ ගුණාංග වර්ධනය කරගන්න. අපි එක් එක් කෙනා ගැන දෙවි කොච්චර සැලකිලිමත්ද කියලා පෙන්වන්න ගීතාවලිය 139:1-4 හෝ ලූක් 12:6, 7 වගේ බයිබල් පද පාවිච්චි කරන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අගය කරන්න කෙනෙක් පෙලඹෙද්දී දෙවිට ඔහු දක්වන ප්‍රේමය සහ භක්තිය වැඩි වෙයි. (රෝම 5:6-8; 1 යොහ. 4:19) තමන්ගේ හැසිරීම දෙවිට බලපානවා කියලා ඔහු දැනගද්දී දෙවිව සතුටට හා ගෞරවයට පත් වෙන විදිහට ක්‍රියා කරන්න ඔහු පෙලඹෙයි.—ගීතා. 78:40, 41; හිතෝ. 23:15.
4. තීරණ ගන්න අනිත් අයට තියෙන නිදහසට අපි ගරු කරනවා කියලා පෙන්වන්නේ කොහොමද?
4 තමන්ගේ ආඥාවලට කීකරු වෙන්න කියලා යෙහෝවා දෙවි කාටවත් බල කරන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි ඔහුගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක කොච්චර ඥානවන්තද කියලා පෙන්වලා දෙනවා. (යෙසා. 48:17, 18) තමන්ටම තීරණ ගන්න පුළුවන් වෙන විදිහට අපි කෙනෙක්ට උගන්වනවා නම් අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිවයි. තමන්ගේ ජීවිතේ වෙනස්කම් කරන්න අවශ්‍යයි කියලා කෙනෙක්ට තහවුරු වුණාම දිගුකාලීන ප්‍රතිඵල ලැබෙනවා. (රෝම 12:2) ඒ වගේම ‘සිත් සෝදිසි කරන’ යෙහෝවා දෙවිට තව තවත් ළං වෙන්නත් ඔහු පෙලඹෙයි.—හිතෝ. 17:3.