ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 30 පාඩම 186 පි.-189 පි. 4 ¶
  • අනික් පුද්ගලයා කෙරෙහි දක්වන උනන්දුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනික් පුද්ගලයා කෙරෙහි දක්වන උනන්දුව
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • සංවාද හැකියාව දියුණු කරගත හැකි අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • හදවතට ළඟාවීමට වෑයම් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 30 පාඩම 186 පි.-189 පි. 4 ¶

පාඩම 30

අනික් පුද්ගලයා කෙරෙහි දක්වන උනන්දුව

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබ වෙනත් පුද්ගලයන්ගේ සිතුවිලි කෙරෙහි සැලකිලිමත් වන බවත්, ඔවුන්ගේ සුභසිද්ධිය ගැන උනන්දු වෙන කෙනෙකු බවත් පැහැදිලිව පෙන්වන්න.

එය වැදගත් වන්නේ මන්ද?

යෙහෝවා පෙන්නුම් කර ඇති ප්‍රේමය අනුකරණය කිරීමට මෙය එක් මඟක් වන අතර, පුද්ගලයෙකුගේ හදවතටම ළඟාවීමටද එය හේතුවක් වේවි.

අප අන් අය සමඟ බයිබල් සත්‍යයන් බෙදාගන්නා විට, අපගේ කාර්යය සීමා වී ඇත්තේ ඔවුන්ගේ මනස්වලට තොරතුරු ලබා දීමට පමණක් නොවේ. අප ඔවුන්ගේ හදවත්ද ස්පර්ශ කළ යුතුය. මෙය කළ හැකි එක් මඟක් වන්නේ අපට සවන් දෙන අය ගැන අවංක පෞද්ගලික උනන්දුවක් පෙන්වීමයි. මෙවැනි උනන්දුවක් ක්‍රම කිහිපයකින් නිරූපණය කළ හැකිය.

ඔබේ සවන්දෙන්නන්ගේ අදහස් සැලකිල්ලට ගන්න. ප්‍රේරිත පාවුල් තම සවන්දෙන්නන්ගේ පසුබිම හා මානසිකත්වය සැලකිල්ලට ගත් කෙනෙකි. ඔහු පැහැදිලි කළේ මෙසේය. “යුදෙව්වරුන් දිනාගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු මෙන්ද ව්‍යවස්ථාව යටතේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත්වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ව්‍යවස්ථාව යටතේ සිටින කෙනෙකු මෙන්ද වුණෙමි. මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැති කෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවි කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස් කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි. දුර්වලයන් දිනාගන්නා පිණිස දුර්වලයන්ට දුර්වලයෙක් වුණෙමි. සියලු ආකාරයෙන්ම සමහරෙකු ගළවන පිණිස මම සියල්ලන්ට සියල්ල වුණෙමි. තවද ශුභාරංචියේ පංගුකාරයෙක් වෙන පිණිස ශුභාරංචිය උදෙසා සියල්ල කරමි.” (1 කොරි. 9:20-23) එසේ නම්, අදදින අප “සියල්ලන්ට සියල්ල” වන්නේ කෙසේද?

අන් අය සමඟ කතා කිරීමට පෙර, මොහොතකට වුවත්, ඔවුන්ව නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබෙනවා නම් ඔවුන් කැමති දේවල්, ඔවුන්ගේ තත්වය ගැන යමක් ඔබේ අවධානයට නතු විය හැක. ඔවුන්ගේ රැකියාව කුමක්ද කියා පැවසිය හැකිද? ඔවුන් අදහන ආගම ගැන යම් සාක්ෂි දක්නට තිබේද? ඔවුන් ගත කරන පවුල් ජීවිතය පිළිබඳව යම් ඉඟියක් ඇද්ද? ඊළඟට ඔබ නිරීක්ෂණය කරන දේ පදනම් කරගෙන, ඔබේ සවන්දෙන්නන්ට වඩාත් සිත්ගන්නා අන්දමකින් ඔබේ ඉදිරිපත් කිරීම සකස් කිරීමට ඔබට පුළුවන්ද?

ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දේ වඩාත් සිත්ගන්නා එකක් කිරීමට නම්, ඔබේ බලප්‍රදේශයේ සිටින උදවිය කරා එළඹෙන්නේ කෙසේද යන්න ගැන කල් තියා සිතා බැලිය යුතුය. ඇතැම් ප්‍රදේශවල, විදේශීය රටවලින් පැමිණි අයද සිටිය හැක. එවන් පුද්ගලයන් ඔබේ බලප්‍රදේශය තුළ ජීවත් වේ නම්, ඔවුන්හට සාක්ෂි දැරීමට ඵලදායී ක්‍රම සොයාගැනීමට ඔබට හැකි වී තිබේද? දෙවිගේ කැමැත්ත “සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීම” වන හෙයින්, ඔබට සවන් දෙන සියලුදෙනාටම සිත්ගන්නා අයුරින් රාජ්‍යය පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීම ඔබේ ඉලක්කය කරගන්න.—1 තිමෝ. 2:3, 4.

හොඳින් සවන් දෙන්න. යෙහෝවා සියල්ල දන්නා දෙවිකෙනෙකු වුවත්, ඔහු අන් අයට සවන් දෙයි. මීකායා නමැති අනාගතවක්තෘවරයා ලද දර්ශනයකදී, එක්තරා කාරණයක් හැසිරවිය යුතු අන්දම ගැන යෙහෝවා දේවදූතයන්ට තම අදහස් පළ කිරීමට දිරිගැන්වූ ආකාරය දක්නට ලැබිණ. ඉන්පසුව, දේවදූතයෙකු කළ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට දෙවි එම දේවදූතයාට අවස්ථාව ලබා දුන්නේය. (1 රාජා. 22:19-22) සොදොම පිට ඉටු කිරීමට නියමිත වූ විනිශ්චය ගැන සැලකිලිමත් වූ ආබ්‍රහම්ට ඒ ගැන ඔහුගේ අදහස් පළ කිරීමට යෙහෝවා ඉඩ දුන්නේ සුවිශේෂ අන්දමකින් අනුග්‍රහය පෙන්නුම් කරමින්ය. (උත්. 18:23-33) එසේ නම්, සවන් දීම සම්බන්ධයෙන් යෙහෝවා තබා ඇති ආදර්ශය අපට දේවසේවයේදී අනුකරණය කළ හැක්කේ කෙසේද?

අන් අයට තම අදහස් පළ කිරීමට දිරිගන්වන්න. ඔවුන්ගෙන් උචිත ප්‍රශ්නයක් අසන්න. ඉන්පසුව, පිළිතුරක් දීමට ප්‍රමාණවත් කාලයක් දෙන්න. ඔවුන් පිළිතුරු දෙන විට උනන්දුවෙන් සවන් දෙන්න. මෙලෙස ඔබ කාරුණිකව දක්වන අවධානය චකිතයක් නොමැතිව කතා කිරීමට ඔවුන්ට දිරිගැන්වීමක් වේ. ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් ඔවුන්ගේ උනන්දුවට හේතු වී ඇති යමක් හෙළි වේ නම්, උපායශීලීව තවත් තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන්න. කෙසේවෙතත්, ඔවුන්ව අපහසුතාවකට ලක් කරමින් හරස් ප්‍රශ්න ඇසීමෙන් වළකින්න. ඔවුන්ව තවත් දැනහඳුනා ගැනීමට උත්සාහ දරන්න. ඔවුන් දැක්වූ අදහස්වලට ඔබට අවංකව ඔබගේ අගය පළ කළ හැකි නම්, එසේ කරන්න. ඔවුන් පවසන දේට එකඟ විය නොහැකි විටකදී පවා, සිය අදහස් පළ කිරීම ගැන ඔවුන්ට ඔබේ කෘතඥතාව පළ කරන්න.—කොලො. 4:6.

කෙසේවෙතත්, අප අන් අය කෙරෙහි උනන්දුවක් දැක්වුවද, එයට සීමාවක් ඇති බව අප තේරුම්ගත යුතුය. එමනිසා, මේ සම්බන්ධයෙන් අප අතින් යම් අනිසි දෙයක් සිදු නොවීමට වගබලා ගත යුතුය. මේ අනුව, අප අන් අය ගැන උනන්දුවක් දැක්විය යුතු වුවත්, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සෑම තොරතුරක්ම දැනගැනීමට සහ හාරා ඇවිස්සීමට අපට කිසිදු අවසරයක් නොමැත. (1 පේතෘ. 4:15) එමෙන්ම අප කාරුණිකව දක්වන උනන්දුව විරුද්ධ ලිංගයේ කෙනෙකු වරදවා තේරුම් නොගන්නා බවටත් අප සුපරීක්ෂාකාරි විය යුතුය. අන් අය කෙරෙහි කවර මට්ටමකට අනුව උනන්දුව දැක්විය යුතුද යන්න රටින් රටට, පුද්ගලයාගෙන් පුද්ගලයාට පවා වෙනස් වන නිසා ඒ ගැන කල්පනාකාරි විය යුතුය.—ලූක් 6:31.

හොඳ සවන්දෙන්නෙකු වීමට පෙර සූදානම උපකාරවත් වේ. අපගේ පණිවිඩය මනසෙහි පැහැදිලිව සනිටුහන් කරගත් විට, අපට සැහැල්ලුවක් දැනෙන අතර අන් අය වෙත සැබෑ අවධානයක් යොමු කිරීමට අපට ඉඩ කඩ සැලසෙයි. මේ නිසා ඔවුන්ගේ බිය සැක දුරු වන අතර, අප සමඟ සංවාදයෙහි යෙදීමට ඔවුන් වැඩි කැමැත්තක් දැක්විය හැක.

අනුන්ට සවන් දීමෙන් අපි ඔවුන්ට ගෞරවය පෙන්වමු. (රෝම 12:10) අප ඔවුන්ගේ අදහස් සහ හැඟීම් අගය කරන බවට එය සාක්ෂියකි. ඒ නිසා, අප පවසන දේට වඩා කිට්ටු අවධානයක් දීමට පවා ඔවුන් පෙලඹෙන්නට පුළුවන. එසේ නම්, දේවවචනය අපට ‘ඇසීමට ඉක්මන් වේවා, කතා කිරීමට ප්‍රමාද වේවා’ යනුවෙන් උපදෙස් දෙන්නේ හොඳ හේතු ඇතුවය.—යාකො. 1:19.

ප්‍රගතියක් ලබන්නට අන් අයට උපකාර කරන්න. අප අන් අය කෙරෙහි සැලකිල්ලක් දක්වන විට උනන්දුවක් දක්වන අය ගැන දිගින් දිගට සිතීමටත්, ඔවුන්ගේ අවශ්‍යතා වඩාත් ඍජු ලෙස පිරිමසන බයිබල් සත්‍යයන් ඔවුන් සමඟ බෙදාගැනීම සඳහා ඔවුන්ව යළිත් බැහැදැකීමටත් අපි පෙලඹෙන්නෙමු. ඔවුන්ව බැහැදකින ඊළඟ අවස්ථාව ගැන සිතා බලන විට, කලින් බැහැදැකීමේදී ඔවුන් ගැන දැනගත් දේ සලකා බලන්න. ඔවුන්ගේ සැලකිල්ලට භාජන වී ඇති විෂයක් පදනම් කරගෙන ඔබේ තොරතුරු පිළියෙළ කරන්න. ඔවුන් ඉගෙනගනිමින් සිටින දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අයුරු පෙන්වමින්, එම තොරතුරුවල ප්‍රායෝගික වටිනාකම උලුප්පා දක්වන්න.—යෙසා. 48:17.

ඔබට සවන් දෙමින් සිටින තැනැත්තා තමාගේ සිතට වධ දෙන තත්වයක් හෝ ගැටලුවක් ගැන යමක් අනාවරණය කරනවා නම්, ඔහු සමඟ ශුභාරංචිය බෙදාගැනීමට සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙය සලකන්න. යම් පීඩාවකින් පෙළුණු අයට අස්වැසිල්ලක් දීමට නිතරම සූදානම්ව සිටි යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්න. (මාක් 6:31-34) ඉක්මන් විසඳුමක් හෝ උඩින් පල්ලෙන් අවවාද කිහිපයක් දී කාරණය මඟහැරීමේ පරීක්ෂාවට හසු නොවන්න. ඔබට ඔහු ගැන සැබෑ උනන්දුවක් නැති බව හැඟීමට එය හේතුවක් වන්නට පුළුවන. එමනිසා, සැබෑ අනුකම්පාවක් පෙන්වන්න. (1 පේතෘ. 3:8) අනතුරුව, බයිබලය මත පදනම් වූ ප්‍රකාශන යොදාගනිමින් පර්යේෂණ කිහිපයක් කර, ඒ පුද්ගලයාට උපකාරවත් විය හැකි ගොඩනංවනසුලු තොරතුරු ඔහු සමඟ බෙදාගන්න. කෙසේවෙතත්, ඔබට සවන් දෙන තැනැත්තා ගැන ඔබට ප්‍රේමනීය සැලකිල්ලක් තිබෙන නිසා ඔහු ඔබට හෙළි කරන පෞද්ගලික කාරණා අන් අයට හෙළි කිරීමෙන් ඔබ වළකිනු ඇත. අවශ්‍ය වුවහොත් එසේ හෙළි කරන්නේ හොඳ හේතුවක් ඇතුව පමණි.—හිතෝ. 25:9.

විශේෂයෙන්ම පෞද්ගලික උනන්දුවක් දැක්විය යුත්තේ අප බයිබල් පාඩම් පවත්වන අය කෙරෙහියි. එක් එක් ශිෂ්‍යයාගේ අවශ්‍යතාවලට යාච්ඤාපූර්වක අවධානයක් දෙන්න. එම අවශ්‍යතා මනසෙහි තබාගනිමින් පාඩම සඳහා සූදානම් වන්න. ඔබෙන් මෙසේ අසන්න. ‘දිගටම ආත්මික ප්‍රගතියක් ලබන්නට නම්, ඔහු හෝ ඇය කුමක් කළ යුතුද?’ බයිබලය සහ “විශ්වාස වූ නුවණ ඇති දාසයා” මගින් පළ කර ඇති ප්‍රකාශන එම කාරණය ගැන පවසන දේ අගය කිරීමට ශිෂ්‍යයාට ප්‍රේමනීය උපකාරයක් ලබා දෙන්න. (මතෙ. 24:45) ඇතැම් අවස්ථාවලදී, නිකම්ම යම් පැහැදිලි කිරීමක් කිරීම ප්‍රමාණවත් වන්නේ නැත. සමහරවිට එක්තරා බයිබල් ප්‍රතිපත්තියක් අදාළ කරගන්නේ කෙසේද යන්න ශිෂ්‍යයාට පෙන්නුම් කරන්නට සිදු විය හැක. ඒ සඳහා එහි අදාළත්වය ප්‍රායෝගිකව නිරූපණය කරන යමක් ඔබ දෙදෙනාට එකට කරන්නට පුළුවන.—යොහ. 13:1-15.

යෙහෝවාගේ ප්‍රමිතිවලට එකඟව තම ජීවිතය ගොඩනඟා ගැනීමට කෙනෙකුට උපකාර කරන විට සමබරතාවක් හා හොඳ විනිශ්චයක් ඇතුව කටයුතු කිරීම අවශ්‍යය. පුද්ගලයන්ගේ පසුබිම් සහ හැකියාවන් එකිනෙකට වෙනස් වන අතර, ඔවුන් දියුණුව ලබන වේගයද වෙනස්ය. එමනිසා අන් අයගෙන් ඔබ අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් ඉවසිලිවන්ත වන්න. සාධාරණ වන්න. (පිලි. 4:5) ඔවුන්ගේ ජීවිතවල වෙනස්කම් කිරීමට ඔවුන්ට බල කරන්න එපා. ඔවුන්ව පෙලඹවීම සඳහා දෙවිගේ වචනය හා ඔහුගේ ආත්මයට ඉඩහරින්න. යෙහෝවා කැමති වන්නේ ජනයා බල කිරීමක් නිසා නොව ඔහුට කැමැත්තෙන්ම පෙලඹුණු හදවත්වලින් සේවය කරනවා දැකීමටයි. (ගීතා. 110:3) ඔවුන්ට පෞද්ගලිකව ගැනීමට සිදු වන තීරණ සම්බන්ධයෙන් ඔබේ පෞද්ගලික මත පළ කිරීමෙන්ද වැළකී සිටින්න. ඔවුන් එසේ කිරීමට ඔබෙන් ඉල්ලා සිටියත්, ඔවුන් වෙනුවෙන් තීරණ නොගැනීමටද වගබලා ගන්න.—ගලා. 6:5.

ප්‍රායෝගික උපකාර ලබා දෙන්න. යේසුස් තම ශ්‍රාවකයන්ගේ ආත්මික ශුභසිද්ධියට මුල් තැන දුන්නද, ඔවුන්ගේ අනිකුත් අවශ්‍යතා ගැනද සාවධානයෙන් සිටියේය. (මතෙ. 15:32) අප එතරම් වත් පොහොසත්කම් ඇති අය නොවුවත්, උපකාර පිරිනැමිය හැකි ප්‍රායෝගික ක්‍රම රැසක් තිබේ.

අන් අය කෙරෙහි උනන්දුවක් දක්වන නිසා අපි සැලකිලිමත්ව කටයුතු කිරීමටත් පෙලඹෙන්නෙමු. නිදසුනකට, කාලගුණික තත්වයන් නිසා ඔබට සවන් දෙන තැනැත්තා යම් අපහසුතාවකට ලක් වෙනවා නම්, වඩාත් යෝග්‍ය ස්ථානයකට යන්න. එසේ නැතහොත් සාකච්ඡාව වෙනත් වේලාවක කිරීමට කටයුතු යොදන්න. ඔබ පැමිණ ඇත්තේ ඔවුන්ට අපහසු වේලාවක නම්, වෙනත් වේලාවකට එන්නම් කියා පවසන්න. අසල්වාසියෙකු හෝ උනන්දුවක් දක්වා ඇති කෙනෙකු අසනීපව හෝ රෝහල්ගත වී ඇත්නම්, කාඩ්පතක් හෝ කෙටි ලිපියක් යැවීමෙන් හෝ ඔවුන්ව බැහැදැකීමට යෑමෙන් ඔබේ සැලකිල්ල පෙන්නුම් කළ හැකිය. යෝග්‍ය නම්, සරල ආහාරයක් ඔවුන්ට පිළියෙළ කර දීමට පවා පුළුවන. එසේ නැතහොත් ඔබේ කරුණාවන්තකම වෙනත් ප්‍රායෝගික ක්‍රමවලින් විදහාපෙන්විය හැක.

බයිබල් ශිෂ්‍යයන් දිගින් දිගට ප්‍රගතියක් ලබන විට, ඔවුන් කලින් ඇසුරු කළ අය සමඟ එතරම් කාලයක් ගත නොකරන නිසා, ඔවුන්ට යම් පාළුවක් දැනෙන්නට පුළුවන. එමනිසා ඔවුන්ගේ මිතුරන් වන්නට ඔබට පුළුවන. ඔවුන්ගේ බයිබල් පාඩමෙන් පසුව හා වෙනත් අවස්ථාවලදී ඔවුන් සමඟ සුහදව කතා බහ කිරීමට කාලය ගත කරන්න. යහපත් ආශ්‍රිතයන් ඇති කරගැනීමට ඔවුන්ට දිරිගන්වන්න. (හිතෝ. 13:20) ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට ඔවුන්ට උපකාර කරන්න. එවැනි රැස්වීම්වලදී ඔවුන් සමඟම වාඩි වෙන්න. වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට හැකි වන පරිද්දෙන් ඔවුන්ගේ දරුවන් බලාගැනීමට උපකාර කරන්න.

ඔබේ හදවතින්ම උනන්දුව පෙන්වන්න. අන් අය කෙරෙහි උනන්දුව දැක්වීම යනු ප්‍රගුණ කරගත හැකි යම් හැකියාවක් නොවේ. එය හදපත්ලෙන්ම නැඟෙන ගුණාංගයකි. අප අන් අය කෙරෙහි දක්වන්නේ කෙබඳු ආකාරයේ උනන්දුවක්ද යන්න විවිධාකාරයෙන් දැකගත හැකි වේ. අප සවන් දෙන ආකාරයෙන් හා අප පවසන දෙයින් එය ප්‍රත්‍යක්ෂ වේ. තවද අප අන් අයට දක්වන කරුණාවන්තකමින් හා සැලකිල්ලෙන්ද එය දැකගන්නට පුළුවන. ඇතැම් අවස්ථාවලදී අප කිසිවක් නොපැවසුවද, කිසිවක් නොකළද, අපගේ ආකල්පයෙන් හා අපගේ මුහුණේ ඉරියව්වෙන්ද අපගේ සැලකිල්ල පිළිබිඹු වේ. අප ඇත්තෙන්ම අන් අය ගැන සැලකිල්ලක් දක්වනවා නම්, එය ඔවුන්ට පැහැදිලිව දැකගත හැකි වනු ඇත.

අප අන් අය කෙරෙහි අවංක උනන්දුවක් දැක්වීමට වැදගත්ම හේතුව වන්නේ, එසේ කිරීමෙන් අපගේ ස්වර්ගික පියාණන්ගේ ප්‍රේමය සහ දයාව අනුකරණය කිරීමට අපට හැකි වන නිසාය. එවිට අපට සවන් දෙන අය යෙහෝවාට සහ ඔහු අපට බෙදා දීම සඳහා දී ඇති පණිවිඩය වෙත ආකර්ෂණය වනු ඇත. එබැවින්, ඔබ ශුභාරංචිය අන් අය සමඟ බෙදාගන්නා විට ‘ඔබේ පෞද්ගලික කාරණා ගැන පමණක් නොව අන් අයගේ කාරණා ගැනද පෞද්ගලික උනන්දුවක් දැක්වීමට’ ප්‍රයත්න දරන්න.—පිලි. 2:4, NW.

අව්‍යාජ උනන්දුවක් පෙන්විය හැකි අන්දම

  • අනික් තැනැත්තා කතා කරන විට සවන් දෙන්න. සිය අදහස් සහ හැඟීම් පළ කළාට ඔහුට ස්තුති කරන්න. ඔහුගේ සිතුවිලි වඩාත් හොඳින් තේරුම්ගැනීමට ප්‍රශ්න අසන්න.

  • කතා බහ කළායින් පසුව ඒ තැනැත්තා ගැන සිතා බලන්න. හැකි ඉක්මනින්ම ඔහුව නැවත හමු වන්න.

  • ඔහුගේ අවශ්‍යතාවලට වඩාත් කෙළින්ම බලපාන බයිබල් සත්‍යයන් බෙදාගන්න.

  • ඔහුට උපකාරවත් වන දේවල් කරන්න. ඔහුට මේ දැන් තිබෙන අවශ්‍යතා මෙන්ම දිගුකාලීන ඒවා ගැන සලකා බලන්න.

අභ්‍යාස: (1) සභාවේ රැස්වීමක් අරඹන්නට කලින්, පැමිණ සිටින කෙනෙකු කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වන්න. නිකම්ම ‘කොහොමද’ කියා අසනවාට වඩා වැඩි යමක් කරන්න. ඔහුව වඩාත් හොඳින් දැනහඳුනා ගැනීමට උත්සාහ දරන්න. ඔබට ඔහු ගැන සැලකිල්ලක් ඇති බව පෙන්වන්න. මෙය නිතිපතා කරන්නට පුරුදු වන්න. (2) ක්ෂේත්‍ර සේවයේදී, මුණ ගැසෙන කෙනෙකු කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වන්න. නිකම්ම සාක්ෂියක් පමණක් දරන්න එපා. ඒ පුද්ගලයාව දැනහඳුනා ගන්න. ඔබ කියන හා කරන දේ ඒ පුද්ගලයාගේ තත්වයට අනුව හැඩගස්සගන්න. දිගටම එසේ කිරීමට ප්‍රස්තා සොයන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න