සංවාද හැකියාව දියුණු කරගත හැකි අයුරු
අන් අය සමඟ කතා බහ කිරීම ඔබ සාමාන්‍යයෙන් සලකන්නේ පහසු දෙයක් හැටියටද? බොහෝදෙනෙකුට එය අභියෝගයකි. ඇත්තෙන්ම යමෙකු සමඟ විශේෂයෙන් නාඳුනන කෙනෙකු සමඟ සංවාදයක් පැවැත්වීම යන සිතුවිල්ල පවා බොහෝදෙනෙකුගේ සිතේ යම් කනස්සල්ලක් ඇති කරයි. එවන් අය තුළ යම් ලජ්ජාශීලී බවක් තිබිය හැක. ‘මම මොනවා ගැනද කතා කරන්නේ? සාකච්ඡාව පටන්ගන්නේ කොහොමද? එය දිගටම ගෙන යන්නේ කොහොමද?’ මෙවැනි ප්‍රශ්න ඔවුන්ගේ සිතෙහි නළියනවා වෙන්නට පුළුවන. අනික් අතට හොඳ ආත්ම-විශ්වාසයක් ඇති මිත්‍රශීලී පුද්ගලයන් යම් සාකච්ඡාවක් සම්පූර්ණයෙන්ම පාලනය කරනවා විය හැක. ඇතැම්විට, ඔවුන්ගේ අභියෝගය වන්නේ අන් අයට කතා කරන්නට ඉඩ දී, ඔවුන් කියන දේට සවන් දීමට පුරුදු වීමයි. එසේ නම්, අප ලජ්ජාශීලී හෝ මිත්‍රශීලී අය විය හැකි වුවත්, අප සැමට සංවාද හැකියාව නොහොත් කතා බහ කිරීමේ කුසලතාව ප්‍රවර්ධනය කරගැනීමේ අවශ්‍යතාවක් පවතී.
නිවසේදී පටන්ගන්න
ඔබේ සංවාද හැකියාව දියුණු කරගැනීම නිවසින්ම පටන් නොගන්නේ මන්ද? ගොඩනංවනසුලු සංවාදයක නියැලීම ඔබේ පවුලේ සන්තෝෂයටද බෙහෙවින් දායක විය හැක.
එවැනි සංවාදයක සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ එකිනෙකා සඳහා ගැඹුරින් සැලකිල්ලක් දැක්වීම මතය. (ද්වි. 6:6, 7; හිතෝ. 4:1-4) අප අනුන් කෙරෙහි සැලකිල්ල දක්වන විට, අපි ඔවුන් සමඟ කතා බහ කරන්නෙමු. අදහස් හුවමාරු කරගන්නෙමු. අනික් තැනැත්තාට යමක් කීමට තිබෙන විට අපි ඊට සවන් දෙන්නෙමු. තවත් වැදගත් සාධකයක් වන්නේ, වටිනා යමක් පැවසීමේ හැකියාව අප සතුව තිබීමයි. අප බයිබලය පෞද්ගලිකව කියවීමට හා අධ්‍යයනය කිරීමට කාලය ගන්නවා නම්, අන් අය සමඟ බෙදාගැනීමට තොරතුරු බොහොමයක් අප සතු වේ. ඇත්තෙන්ම සාකච්ඡාවකට මුල පිරීම සඳහා දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම යන පොත් පිංචයද ඥානවන්තව භාවිත කිරීමට පුළුවන. ගෙවී ගිය දවසේදී ක්ෂේත්‍ර සේවයෙන් ලද රසවත් අද්දැකීමක් අපට තිබිය හැකියි. එසේ නැතහොත් අප කියවූ දෙයකින් ප්‍රයෝජනවත් තොරතුරු රැසක් හෝ හාස්‍යජනක යමක් සොයාගත්තා වන්නට පුළුවන. පවුල සමඟ එක් වී සුහද කතා බහක යෙදෙන විට මෙවැනි දේවල් බෙදාගැනීම අප පුරුද්දක් කරගත යුතුය. මෙයින් අත් වන ප්‍රයෝජනය නම්, පවුල් කවයෙන් පිට අය සමඟ සංවාදයෙහි නිරත වීම වඩාත් පහසු කාර්යයක් බවට පත්වීමයි.
අමුත්තෙකු සමඟ සංවාදයෙහි යෙදීම
වැඩිදෙනා නාඳුනන පුද්ගලයන් සමඟ සංවාදයක් ඇරඹීමට අදිමදි කරති. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දෙවිට සහ තම අසල්වාසීන්ට ප්‍රේම කරන නිසා අන් අය සමඟ බයිබලයේ සත්‍යතාවන් බෙදාගැනීමේ අරමුණින් සංවාදයක් පවත්වන අන්දම ඉගෙනගැනීමට මහත් උත්සාහයක් දරති. මෙහිදී දියුණු වීම සඳහා ඔබට උපකාරවත් විය හැක්කේ කුමක්ද?
මේ සඳහා පිලිප්පි 2:4හි සඳහන් ප්‍රතිපත්තිය සලකා බැලීම වටී. ‘තම තමාගේම කාරණා [පමණක්] නොව අනුන්ගේ කාරණාත් බලාගැනීමට’ අපට එහි දිරිගන්වා ඇත. ඒ ගැන මේ විදිහට සිතන්න. ඔබ පුද්ගලයෙකුව කලින් මුණ ගැසී නැත්නම්, ඔහු ඔබව සලකන්නේ නාඳුනන පුද්ගලයෙකු හැටියටය. ඔහුගේ බිය සැක දුරු කර ඔහුට පහසු බවක් දැනීමට සැලැස්විය හැක්කේ කෙසේද? උණුසුම් සිනහවක් සහ මිත්‍රශීලීව ඔහුට ආචාර කිරීම මහෝපකාරි වේ. එහෙත්, ඔබට තවත් බොහෝ දේවල් කළ හැකිය.
සමහරවිට ඔහු වෙන කල්පනාවක සිටිනවා ඇති. එවන් අවස්ථාවක ඔහු කල්පනා කරමින් සිටි දේවල් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා ඔබේ සිතෙහි තිබෙන දේ ගැන සාකච්ඡා කිරීමට ඔබ උත්සාහ දැරුවොත්, ඔහුගේ ප්‍රතිචාරය හොඳ එකක් වේවිද? යේසුස්ට සමාරියේ ළිඳක් අසලදී ස්ත්‍රියක හමු වූ විට ඔහු කළේ කුමක්ද? ඇය සම්පූර්ණයෙන්ම යොමු වී සිටියේ වතුර ඇදගැනීමේ කාර්යය වෙතයි. එමනිසා යේසුස් ඇය සමඟ කතා බහ කිරීමට පටන්ගත්තේ එම ක්‍රියාව පදනම් කරගනිමිනි. අනතුරුව එය ඉතා ප්‍රාණවත්, ආත්මික සාකච්ඡාවක් බවට පරිවර්තනය විය.—යොහ. 4:7-26.
ඔබ හොඳ නිරීක්ෂකයෙකු නම්, මිනිසුන් කල්පනා කරමින් සිටින්නේ කුමක් ගැනද කියා ඔබට වටහාගත හැක. එම පුද්ගලයා සිටින්නේ සතුටින්ද, දුකින්ද? ඔහු මහල්ලෙක්ද? ආබාධිතයෙක්ද? එම නිවසේ දරුවන් සිටින බවට සාක්ෂි ඇද්ද? ඒ පුද්ගලයා ධනවතෙකු කියා පෙනී යනවාද? එසේ නැතහොත් තම ජීවිතය අමාරුවෙන් ගැටගසාගන්නෙකු බවට සලකුණු ඇද්ද? නිවසේ තිබෙන දේවලින් හෝ එම පුද්ගලයා ඇඳ පැළඳ සිටින ආභරණවලින් ඔහුගේ හෝ ඇගේ ආගමික පසුබිම ගැන ඉඟියක් ලැබේද? මෙවැනි දේවල් සැලකිල්ලට ගෙන ඔබ ඒ පුද්ගලයා සමඟ ඔබේ සංවාදය ආරම්භ කරනවා නම්, ඔබ දෙදෙනාටම පොදු වූ දේවල් තිබෙන බව ඔහුට දැනිය හැක.
නිවැසියා සමඟ ඔබට මුහුණට මුහුණලා කතා කිරීමට අවස්ථාවක් නොලැබේ නම්, සමහරවිට කතා කිරීමට සිදු වන්නේ දොර අගුලු දමා තිබියදී දොරේ කුඩා සිදුරකින් නම්, ඔබ එළඹෙන නිගමනය කුමක්ද? ඒ පුද්ගලයා බියෙන් ජීවත් වෙනවා විය හැක. එය පදනම් කරගෙන දොර පිටුපස සිටින පුද්ගලයා සමඟ සංවාදයක් ආරම්භ කිරීමට ඔබට හැකිද?
ඇතැම් අවස්ථාවලදී, ඔබ ගැන යමක් කීමෙන් එනම් ඔබේ පසුබිම, ඔහුගේ නිවසට පැමිණි හේතුව, දෙවි සිටින බව විශ්වාස කිරීමට තිබෙන හේතු, ඔබ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තේ මන්ද සහ බයිබලය ඔබට උපකාරයක් වී ඇති අන්දම ගැන කීමෙන් ඔහුව සංවාදයකට ඈඳාගත හැකිය. (ක්‍රියා 26:4-23) කෙසේවෙතත්, පවසන දේ සම්බන්ධයෙන් තැනට ඔබින නුවණ භාවිත කිරීමත්, ඔබේ පරමාර්ථය සිතෙහි පැහැදිලිව තබාගැනීමත් වැදගත්ය. ප්‍රතිඵලයක් වශයෙන් තමා ගැන යමක් කීමටත්, විවිධ දේවල් සම්බන්ධයෙන් තමා දරන ආකල්ප ගැන පැවසීමටත් ඒ පුද්ගලයා පෙලඹෙන්නට පුළුවන.
ඇතැම් සංස්කෘතීන්වල අමුත්තන්ට ආගන්තුක සත්කාරය පිරිනැමීම චාරිත්‍රයකි. ඇවිත් අසුන්ගැනීමට ආරාධනයක් ඔබට පුද්ගලයන්ගෙන් සැණෙකින් ලැබිය හැක. අසුන්ගත්තායින් පසු පවුලේ අයගේ දුක සැප ගැන සුහදව විමසා, දක්වන ප්‍රතිචාරයට අවංකව සවන් දෙන්න. එසේ කළහොත් ඔබට කීමට තිබෙන දෙයට හොඳින් සවන් දෙන්නට ඔහු නැඹුරු විය හැකියි. වෙනත් රටවල ජාතීන් අමුත්තන් කෙරෙහි ඊටත් වැඩිය උනන්දුවක් දක්වන අතර, එකිනෙකාගේ දුක සැප විමසීමට සෑහෙන වේලාවක් ගත කරයි. එසේ කතා බහ කරන අතරතුරේදී එකිනෙකාට පොදු රුචි අරුචිකම් බොහොමයක් තිබෙන බව ඔවුන්ට පෙනී යා හැකියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රයෝජනදායක ආත්මික සාකච්ඡාවක් පැවැත්වීමට මං විවෘත වන්නට පුළුවන.
ඔබේ ප්‍රදේශයේ සිටින අයගෙන් කිහිපදෙනෙකුම ඔබ නොදන්නා භාෂාවක් කතා කරනවා නම් කුමක් කිව හැකිද? මෙවැනි පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කරගත හැක්කේ කෙසේද? එම භාෂාවෙන් කෙනෙකුව අමතන ආකාරය වැනි සුළු සුළු දේවල් ඉගෙනගැනීමෙන් ඔවුන්ට පෙනී යන්නේ ඔබ ඔවුන් කෙරෙහි උනන්දුවක් දක්වන බවය. තවදුරටත් අදහස් හුවමාරු කරගැනීමට මෙය මං විවෘත කළ හැකිය.
දිගටම සංවාදයක නිරත වන අන්දම
සංවාදයක දිගටම නිරත වීමට නම්, අනික් පුද්ගලයා පළ කරන අදහස් ගැන උනන්දුවක් දක්වන්න. ඔහු කැමති නම්, ඔහුගේ අදහස් විවෘතව පළ කිරීමට දිරිගන්වන්න. මේ සඳහා ඔබින ප්‍රශ්න කිහිපයක් ඇසීම උපකාරවත් විය හැක. වඩාත්ම සුදුසු වන්නේ අදහස් විමසන ප්‍රශ්නයි. අදහස් විමසද්දී ඔව් නැහැ වැනි කෙටි ප්‍රතිචාරයකට වඩා වැඩි යමක් අපේක්ෂා කළ හැකිය. නිදසුනකට, ප්‍රාදේශීයව බලපාන ගැටලුවක් ගැන සඳහන් කළායින් පසු මෙසේ ඇසිය හැක. “ඔබේ අදහසට අනුව මේ තත්වයට හේතුව මොකක්ද?” එසේ නැතහොත් “ඔබ සිතන හැටියට මෙයට තිබෙන පිළියම මොකක්ද?”
ප්‍රශ්නයක් අසා, ඊට දෙන පිළිතුරට හොඳින් සවන් දෙන්න. ඔබේ ඉරියව්වෙන්, හිස සෙලවීමෙන්, වචනයක් දෙකක් පැවසීමෙන් කියන දේට ඔබ උනන්දුවෙන් සවන් දෙන බව පෙන්වීමට පුළුවන. එහෙත් ඔහුගේ කතාවට බාධා නොකරන්න. පවසනු ලැබූ දේ විවෘත මනසකින් සලකා බලන්න. ‘ඇසීමට ඉක්මන් වේවා, කතා කිරීමට ප්‍රමාද වේවා!’ (යාකො. 1:19) ප්‍රතිචාරය දක්වන විට, පැවසූ දේට ඔබ ඇත්තෙන්ම සවන් දුන් බවට ඔබේ කතාවෙන් අඟවන්න.
කෙසේවෙතත්, සෑම කෙනෙකුම ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන බව තේරුම්ගත යුතුය. ඇතැම් පුද්ගලයන් යම් ප්‍රතිචාරයක් දක්වන්නේ හිස සෙලවීමෙන්, ඇස් බැමි උඩට කර පුදුමය පළ කිරීමෙන් හෝ සිනහවක් පෑමෙන් පමණකි. වෙනත් අය ඔව් හෝ නැහැ කියා නිහඬ වෙති. මෙවන් අවස්ථාවකදී අධෛර්යයට පත් වන්න එපා. ඉවසිලිවන්ත වන්න. ඔහුව හෝ ඇයව සංවාදයකට බලෙන් ඇදගැනීමට උත්සාහ කරන්න එපා. සවන් දීමට කැමැත්තක් ඇති බව පෙනේ නම්, වර්ධනය ගෙන දෙන ශුද්ධ ලියවිලිමය කාරණා ඔහු සමඟ බෙදාගැනීමට එම ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගන්න. කල් යත්ම, ඒ පුද්ගලයා ඔබව මිතුරෙකු ලෙස සැලකිය හැක. එවිට, ඔහුගේ සිතේ අදහස් ඔබ සමඟ නිදහසේ බෙදාගැනීමට වැඩි කැමැත්තක් දැක්විය හැක.
අනික, පුද්ගලයන් සමඟ කතා බහ කරද්දී ඔවුන්ව නැවත හමු වන බවද මතක තබාගන්න. පුද්ගලයෙක් ප්‍රශ්න කිහිපයක්ම ඉස්මතු කරයි නම්, සමහරකට පිළිතුරු දී, ඊළඟ අවස්ථාවේදී පිළිතුරු දීමට අනික් ඒවා ඉතිරි කරගන්න. එම ප්‍රශ්න සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමටත්, එක්රැස් කළ තොරතුරු ඔහු සමඟ බෙදාගැනීමටත් ඉදිරිපත් වන්න. ඔහු විසින් ප්‍රශ්නයක් ඉස්මතු කරනු ලබන්නේ නැත්නම්, ඔහුගේ උනන්දුවට හේතු විය හැකියයි හැඟෙන ප්‍රශ්නයක් අසා ඔබේ සංවාදය නිම කළ හැකිය. පැමිණෙන ඊළඟ අවස්ථාවේදී ඒ ගැන සාකච්ඡා කළ හැකියයි පවසන්න. සාකච්ඡා කළ හැකි විවිධ විෂයන් පිළිබඳව තොරතුරු සම්භාරයක් සොයාගැනීමට ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම නමැති පොත, දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව සහ මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල මෑතක පළ වූ ලිපි උපකාරවත් වේ.
සෙසු ඇදහිලිවන්තයන් සමඟ සිටින විට
යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුව මුල්ම වරට හමු වන අවස්ථාවේදී ඔබ ඔහුව හෝ ඇයව හඳුනාගැනීමට මූලික පියවර ගන්නවාද? එසේත් නැත්නම්, ඔබ ඔබේ පාඩුවේ සිටීමට නැඹුරු වෙනවාද? ඔවුන්ව හඳුනාගැනීමට අපව පෙලඹවිය යුත්තේ අපගේ සහෝදරයන් සඳහා අපට තිබෙන ප්‍රේමයයි. (යොහ. 13:35) ඔබට මුලින්ම කුමක් කළ හැකිද? ඔබේ නම සඳහන් කර අනික් තැනැත්තාගේ නම කුමක්ද කියා විමසිය හැක. ඔහුට සත්‍යය ලැබුණේ කෙසේදැයි ඇසීම සාමාන්‍යයෙන් සිත්ගන්නා සංවාදයකට මඟ පාදන අතර, එකිනෙකාව දැනහඳුනා ගැනීමටද ඉවහල් වේ. සමහරවිට නිකම්ම අදහස් ගලා ආවේ නැතත්, ඔබ දරන උත්සාහයෙන් අනික් පුද්ගලයාට පැහැදිලි වන්නේ ඔබට ඔහු ගැන සැලකිල්ලක් තිබෙන බවය. වැදගත් දෙය එය නොවේද?
ඔබේ සභාවේ සිටින කෙනෙකු සමඟ අර්ථවත් සංවාදයක් පැවැත්වීමට කුමක් දායක විය හැකිද? ඒ පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දක්වන්න. රැස්වීම හමාර වී ඇත්නම්, රැස්වීමේදී ඔබට උපකාරවත් වූ අදහස් ගැන යමක් පවසන්න. එසේ කිරීම ඔබ දෙදෙනාටම ප්‍රයෝජනදායක විය හැක. එසේ නැතහොත් මෑතක පළ වූ මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවක හොඳ කරුණක් දෙකක් ගැන යමක් සඳහන් කරන්නට පුළුවන. කෙසේවෙතත්, මෙවන් දෙයක් කළ යුත්තේ ඔබට කොතරම් දැනුම් සම්භාරයක් තිබෙනවාදැයි ප්‍රදර්ශනය කිරීමට නොවේ. ඒ වෙනුවට ඔබව පොලඹවන්නේ ඔබේ සතුටට විශේෂයෙන් හේතු වූ යමක් තවත් කෙනෙකු සමඟ බෙදාගැනීමට තිබෙන අවංක ආශාවයි. තවදුරටත්, ඉදිරියේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ඔබට තිබෙන පැවරුමක් ගැන සාකච්ඡා කරමින් ඒ කොටස හැසිරවිය හැකි අන්දම ගැන එකිනෙකාගේ අදහස් විමසීමට පුළුවන. ක්ෂේත්‍ර සේවයේ ලද අද්දැකීම්ද බෙදාගත හැකිය.
ඇත්තවශයෙන්ම, අන් අය ගැන දක්වන උනන්දුව බොහෝ විට ඔවුන් ගැන, එනම් ඔවුන් කියන කරන දේවල් ගැන කතා බහ කිරීමට අපව පොලඹවයි. විහිළු තහළුද අපගේ කතා බහට ඇතුල් වන තවත් දෙයකි. මේ සියල්ලේදී එකිනෙකාගේ වර්ධනයට හේතු වන දේවල් අපගේ මුවින් පිට වේවිද? දේවවචනයෙහි උපදෙස් සිතට ගෙන, දිව්‍ය ප්‍රේමයෙන් පෙලඹෙනවා නම්, අපගේ කතා බහ සැමගේ වර්ධනයට හේතුවක් වනු ඇත.—හිතෝ. 16:27, 28; එපී. 4:25, 29; 5:3, 4; යාකො. 1:26.
අපි ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන්නට කලින් සූදානම් වෙමු. එසේ නම්, මිතුරන් සමඟ කතා බහ කරන විට යම් සිත්ගන්නා තොරතුරක් බෙදාගැනීම සඳහා කලින් සූදානම් වීම හොඳ අදහසක් නොවේද? උනන්දුව ඇති කරවන දේවල් කියවන විට හෝ ඔබේ සවනට වැකෙන විට, අන් අය සමඟ බෙදාගැනීමට ඔබ අදහස් කරන කරුණු සටහන් කරගන්න. කල් යත්ම, තොරතුරු සම්භාරයක් රැස් කරගැනීමට ඔබ සමත් වනු ඇත. එසේ කරන විට ඔබේ කතා බහ දෛනික ජීවිතයේ සාමාන්‍ය දේවලට පමණක් සීමා නොවේ. ඔබ දන්නා විෂයන් පරාසයේ නිම් වළලු පුළුල් වී ඇති හෙයින් කරන කතා බහ ඒ මත ගොඩනඟා ගත හැකි වේ. ඒ සියල්ලට වඩා දෙවිගේ වචනය ඔබට කොතරම් අගනේදැයි ඔබේ කතා බහේදී දක්නට ලැබේවා!—ගීතා 139:17.