38 පාඩම
ඔබේ දියුණුව විද්‍යමාන වීමට සලස්වන්න
1, 2. දියුණුව ලැබීම පිළිබඳ ව අප සියලු දෙනා ම කල්පනා කළ යුත්තේ මන්ද?
1 මෙම පොතේ සියලු ම පාඩම් සුපරීක්ෂාකාරී ව අධ්‍යයනය කොට යොදා ගත් ඔබ දැන් දිව්‍යාණ්ඩු සේවා පාසලෙන් උපාධියක් ලැබීමට සූදානම් ද? නැත, මක්නිසා ද මෙය සේවා පුහුණුව පිළිබඳ අඛණ්ඩ වැඩසටහනක් බැවිනි. දේව දැනුම රැස් කිරීම සහ ඔබ උගත් දේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උපාධි පිරිනැමීමක් නැත. ඒ වෙනුවට උත්සාහවන්ත ශිෂ්‍යයෙක් හැටියට ඔබ හඳුනන අයට ඔබේ දියුණුව නොකඩවා විද්‍යමාන වීමට සැලැස්විය හැක.
2 “කියවීමෙහිද අවවාදකිරීමෙහිද ඉගැන්වීමේහිද, යෙදී සිටින්ට බලාගනින්න. නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටපන්න” යයි ප්‍රේරිත පාවුල් තම හවුල් නමස්කාර කරන්නෙකු වූ තිමෝතිට අවවාද කළේ ය. (1 තිමෝ. 4:13, 15) එම දෙවියන් වහන්සේගේ ම නමස්කාර කරන්නෙකු හැටියට ඔබටත් ඔබේ දියුණුව අන් අයට විද්‍යමාන වීමට සැලැස්විය හැක. ප්‍රගතියේ කෙළවරක් නොදැක ම ඔබට එය අඛණ්ඩ ව කළ හැක. සියලු දැනුම් සම්භාරයේ ප්‍රභවය යෙහෝවඃ වහන්සේ ය, තව ද එම ප්‍රභවය ප්‍රබෝධාත්මක ජලය ඇතුළත් අගාධයක් මෙන් ය. අපට එහි ගැඹුර සම්පූර්ණයෙන් නොබැලිය හැකි වුවත්, සදාකාලයට ම එයින් ජීවනය සහ ප්‍රබෝධය ලබා ගත හැක. (රෝම 11:33, 34; යෙසා. 55:8, 9) එසේ නම්, ඔබේ දියුණුව, බලා සිටින අයට විද්‍යමාන වීමට සලස්වන්නේ කෙසේ ද?
3, 4. සේවා පාසලේ සහ වෙනත් සභා රැස්වීම්වල දී දියුණුව පෙන්නුම් කරනු ලබන්නේ කෙසේ ද?
3 දියුණුව විද්‍යමාන වීමට සලස්වන විධි. ඔබේ දියුණුව පැහැදිලි වන එක ආකාරයක් නම් දිව්‍යාණ්ඩු පාසලේ ඔබේ කථාවන් ය. ඔබ විශාල දියුණුවක් ලබා නැතැයි ඔබට හැඟෙන්නට පුළුවන, නමුත් ඔබ ලබා ඇති ප්‍රගතිය ඔබට වඩා පෙනෙන්නේ අන් අයට ය. මේ සම්බන්ධයෙන් අප සියල්ලෝ ම වැඩීමට එතරම් දිගු කලක් ගත නොවූවා නම් හොඳ යයි පතන දරුවෙකුට සමාන ය. එහෙත් නෑදෑයෝ පැමිණි විට “ඔයා කොච්චර ලොකු වෙලා ද!” යයි විමතිය පළ කරති. පාසලේ ඔබ ඉදිරිපත් කළ මුල් කථාව ගැන නැවත සිතන්න. ඔබට එය මතක ද? මෑතක දී ඔබ දුන් කථා සමඟ එය සසඳන්න. එවක් පටන් ඔබ බොහෝ දේ ඉගෙන ගෙන තිබෙන අතර වටිනා අද්දැකීම් සම්භාරයක් ලබා තිබෙනවා නොවේ ද? එසේ නම් නොකඩවා ඉදිරියට ම යන්න.
4 දියුණුව පිළිබිඹු වන්නේ සේවා පාසලේ කථාවලින් පමණක් නොවේ. සභා රැස්වීම්වල දී ද එය පෙනෙන්නට තිබේ. ඔබ නිති පතා රැස්වීම්වලට සහභාගි වන්නෙහි ද? එසේ නම් ඔබ ප්‍රගතියක් ලබන බවත් අපගේ ආත්මික ශුභ-සිද්ධිය සඳහා යෙහෝවඃ වහන්සේගේ සැපයුම් අගය කරන බවත්, එය පෙන්නුම් කරයි. මීට අමතර ව, රැස්වීම්වල දී ඔබ දෙන පිළිතුරුවල ගුණාත්මකභාවය ද දියුණුවට සාක්ෂියක් විය හැක. පිළිතුරු කියවනවාට වඩා තමන්ගේ ම වචනවලින් දෙන අය ප්‍රගතිය පෙන්නුම් කරති. එසේ පාඩම් කරනු ලබන තොරතුරු අපේ ජීවිතවලට අර්ථවත් වන්නේ කෙසේ ද සහ වටින්නේ කෙසේ ද? කියා පෙන්වා දෙන අය සියුම් අවබෝධය වර්ධනය කරන බව පෙන්නුම් කරති. මේ අනුව පුද්ගලයෙකු කොපමණ දියුණුවක් ලබා ඇද්දැයි සලකා බැලීමේ දී රැස්වීම්වලට නිති පතා පැමිණීම සහ ඔහුගේ පුද්ගලික සහභාගිත්වය සැලකිල්ලට ගත යුතු ය.
5. කෙනෙක් ක්ෂේත්‍ර සේවයේ දියුණුවක් ලබා ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?
5 එමෙන් ම ක්ෂේත්‍ර සේවයේ ඔබ ලබා ඇති දියුණුව ගැන කුමක් කිව හැකි ද? ඔබේ සේවයේ ආරම්භයේ දී ඔබ ප්‍රථම නිවසට ළඟා වෙත් ම ඔබට ඇති වූ හැඟීම මතක ද? දැන් නිවෙස්වල දී ඔබ දක්වන හැකියාව සමඟ එය සසඳා බලන්න. දියුණුවක් ලබා තිබෙනවා නොවේ ද? එහෙත් දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යක්ෂමතාවය තවදුරටත් දියුණු කළ හැකි බව ඔබට නිසැක ව ම පෙනී යනවා ඇත. එමෙන් ම, ඔබට සේවයේ සෑම අංගයක ම වඩා සම්පූර්ණ ලෙස සහභාගි විය හැකි ද? “නුඹලා කොයි ආකාර හැසිර දෙවියන්වහන්සේ ප්‍රසන්නකරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද . . . නුඹලා හැසිරෙන ලෙසද, වඩ වඩා කරන මෙන්” ප්‍රේරිත පාවුල් අනුශාසනා කළේ ය. (1 තෙස. 4:1) යෙහෝවඃ වහන්සේගේ සේවයේ වඩා පූර්ණ ලෙස සහභාගි වෙමින් ඔබ නොකඩවා දියුණු වන විට, ඔබේ දේශනා කිරීම සහ ඉගැන්වීම වඩා කාර්ය සාධක වනවා පමණක් නොව ඊට අමතර ව, යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ වරප්‍රසාදය පිළිබඳ ඔබේ අගය කිරීම ද වඩා ගැඹුරු වනු ඇත. නිවැසියන්ගේ ප්‍රතිචාරය යහපත් නොවුවත්, ජනතාවට තමන් වහන්සේගේ පණිවුඩය ගෙන යාම සඳහා යෙහෝවඃ වහන්සේ ඔබ ව යොදා ගැනීම ඔබ වරප්‍රසාදයක් කොට සලකනු ඇත.
6. කෙනෙකුගේ සම්භාෂණය ආත්මික වර්ධනය පිළිබිඹු කරන්නේ කෙසේ ද?
6 සම්භාෂණයෙහි ද කෙනෙකුගේ දියුණුව විද්‍යමාන ව තිබේ. ‘යමෙකුගේ මුඛය කථා කරන්නේ හෘදයේ පූර්ණකමෙන්’ යයි යේසුස් වහන්සේ කී සේක. (ලූක් 6:45) කෙනෙකුගේ කථා බහ වැඩි වැඩියෙන් යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ අරමුණ වෙත යොමු වන විට දියුණුවක් සිදු වී ඇති බව පැහැදිලි ය. යෙහෝවඃ වහන්සේ කෙරෙහි එම පුද්ගලයාගේ අගය කිරීම වැඩි වන බවත් ඔහු දෙවියන් වහන්සේට වඩාත් සමීප වන බවත් එය පෙන්නුම් කරයි. අප උන් වහන්සේට සමීප වන තරමට ම එය අපට ආරක්ෂාවක් වනු ඇත.
7. බයිබල් ප්‍රතිපත්ති යොදා ගැනීම පිළිබඳ දියුණුව පැහැදිලි වන්නේ කොතැනද?
7 දෛනික ජීවිතයට බයිබල් ප්‍රතිපත්ති යොදා ගැනීමෙන් ද දියුණුව පැහැදිලි වෙයි. යෙහෝවඃ වහන්සේගේ වචනය දැනගැනීමට කලින් ඔබ ක්‍රියා කළ ආකාරයට වඩා වෙනස් අන්දමකින් දැන් ඔබ ක්‍රියා කරන බව සත්‍යයක් නොවේ ද? සමහර විට යෙහෝවඃ වහන්සේගේ ක්‍රමයට ක්‍රියා කිරීමේ මෙම දියුණුව ඔබ කටයුතු කරන සෑම තැනක ම පිළිබිඹු වනවා විය හැකි ය. එය ඔබේ නිවසේ දී එනම් ඔබේ පවුලේ අය සමඟ කටයුතු කරන ආකාරයෙන් පෙනෙන්නට තිබේ. ඔබ වගකීම් ඉටු කරන ආකාරයෙන් එය පිළිබිඹු වේ. ඔබේ රැකියාවේ දී බයිබල් ප්‍රතිපත්ති යොදා ගැනීමට ඔබ වඩා සුපරීක්ෂාකාරී වන්නේ ය. මේ සියල්ල ම ඔබ යම් ප්‍රමාණයක දියුණුවක් ලබා ඇති බවට සාක්ෂියකි. එහෙත් මෙහි දී ද බයිබල් ප්‍රතිපත්ති වඩා සම්පූර්ණ ලෙස යොදා ගනිමින් තවදුරටත් දියුණු වීමට අපට ක්‍රියා කළ හැක.
8, 9. අපි වෙනත් ප්‍රචාරකයන්ට උපකාර කිරීම සඳහා ඉදිරිපත් වන්නේ නම්, එය කුමක් පෙන්නුම් කරයි ද, තව ද මේ සඳහා ඇති අවස්ථා මොනවා ද?
8 කැමැත්තෙන් ඉදිරිපත් වන්න. යෙහෝවඃ වහන්සේගේ සේවය සඳහා වැඩි වැඩියෙන් ඉදිරිපත් වීම, අපගේ දියුණුව විද්‍යමාන කළ හැකි තවත් ක්‍රමයකි. “ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති” යයි ගීතාවලිය 110:3 හි සඳහන් කරයි. ඔබ සම්බන්ධයෙන් එය සැබෑ ද? අනාගතයේ දී මීටත් වඩා වැඩියෙන් එය ඔබ ගැන සැබෑ විය හැකි ද?
9 අන් අය කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් දක්වමින් ඔවුන්ට උපකාර කිරීමට ඉදිරිපත් වීමෙන් ඔබට කැමැත්ත පෙන්නුම් කළ හැක. සහෝදරයන්ට හෝ සහෝදරියන්ට යම් ආකාරයකින් උපකාර කළ හැකි දැයි සභාවේ සිටින වැඩිමහල්ලන් විසින් විමසිය හැක. රැස්වීම්වලට යෑම සඳහා ඔවුන්ට උපකාර අවශ්‍ය විය හැක. ආධාර කිරීමට ඔබ සූදානම් ද? කෙනෙක් ඔබේ උපකාරය පතන තුරු බලා සිටින්නට අවශ්‍ය නැත. උදව් අවශ්‍ය යයි පෙනෙන අයට ආධාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවන්නේ මන්ද? කෙනෙක් අසනීප වී හෝ රෝහල් ගත වී සිටිද්දී, සභාවේ වැඩිමහල්ලන් විසින් මෙය අපේ අවධානයට යොමු කරන තුරු බලා සිටින්නට අවශ්‍ය නැත. ඒ වෙනුවට, මෙවැන්නන් බැහැදැකීමට යාමට හෝ අවශ්‍යතාවක් ඇති බව දන්නා විට වෙන යම් අයුරකින් උපකාර කිරීමට ඔබට ස්වෝත්සාහයෙන් ම ඉදිරිපත් විය හැක. ඔබට ඔබගේ නිවසේ නිති පතා පවුල් බයිබල් පාඩමක් තිබේ ද? බයිබල් පාඩමක් නැති අලුතෙන් ආශ්‍රය කරන පවුලකට කලින් කලට ඔබේ පවුල් පාඩමට සහභාගි වීමට ඇරයුම් කිරීම කලින් සැලසුම් නොකරන්නේ මන්ද? ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේගේ සේවකයෝ කාර්ය බහුල ව සිටිති, නමුත්, වෙන සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට අපි පෙන්වන කැමැත්ත අපේ දියුණුවේ ප්‍රමාණය පෙන්නුම් කරයි. “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.”—ගලා. 6:10.
10, 11. පළමු තිමෝති 3:1ට එකඟ ව සහෝදරයන්ට ඉදිරිපත් විය හැක්කේ කෙසේ ද?
10 ඔබ සහෝදරයෙක් නම්, සභාවේ පෙරමුණ දරන්නන් සඳහා දෙවියන් වහන්සේගේ වචනයෙහි සඳහන් වී ඇති සුදුසුකම් ලබා ගැනීමට ක්‍රියා කිරීමෙන් ඔබට ඉදිරිපත් විය හැක. අවේක්ෂක තනතුරට ආශා කරන්නන් 1 තිමෝති 3:1 ප්‍රශංසාවට ලක් කරයි. මෙය කෙනෙක් විසින් ප්‍රසිද්ධිය ලැබීමට දරන උපායක් හෝ අන් අය සමඟ තරඟ කිරීමක් නොවේ. එය මේරූ ක්‍රිස්තියානිවරයෙක් වීමට එනම් අවශ්‍ය ඕනෑ ම තනතුරක කැමැත්තෙන් සේවය කිරීමට සුදුසුකම් ඇති “වැඩිමහල් මනුෂ්‍යයෙකු” වීමට දරන ප්‍රයත්නයකි. එමෙන් ම ඉගැන්වීම, දේශනා කිරීම සහ සභාවේ වගකීම් ඉසිලීමේ පෙරමුණ දරන්නා වූ “වැඩිමහල් මනුෂ්‍යයන්” සහ “උපස්ථායක සේවකයන්” බොහෝ දෙනෙක් සෑම සභාවකට ම අවශ්‍ය වී ඇත.
11 කැමැත්තෙන් ඉදිරිපත් වන්නන්ට සභාවේ බොහෝ වරප්‍රසාද භුක්ති විඳිය හැක. කැමැත්තෙන් ඉදිරිපත් වූ නිසාත්, තමන්ට පැවරුණු ඕනෑ ම කාර්යයක් වගකීමෙන් ඉටු කළ නිසාත් ඔවුන්ට සේවා රැස්වීමේ නිරූපනවල සහභාගි වීමට හෝ වැඩිමහල්ලන්ට හෝ උපස්ථායකයන්ට හෝ උපකාර කිරීමට ඇරයුම් ලැබිය හැක. අවශ්‍යතාවය පැන නැගුණු විට, ඔහුගේ කැමැත්ත සහ දියුණුව නිසා වැඩිමහල්ලන් වශයෙන් නිර්දේශ කරනු ලැබීමට ඔවුහු සුදුසුකම් ලැබිය හැක. ඔවුන් පත් කරනු ලබන්නේ මන්ද? යෙහෝවඃ වහන්සේ තමන් වහන්සේගේ වචනයෙහි සඳහන් කර ඇති සුදුසුකම්වලට අනුකූල ව ඔවුන්ගේ කැමැත්ත සහ දියුණුව පෙනෙන්නට තිබෙන නිසා ය. වැඩිමහල්ලන් වශයෙන් පත් කර සිටින අය සභාවේ කටයුතු පාලනය කිරීම පිළිබඳ ව වැඩි දුර පුහුණුවක් ලැබීම සඳහා රාජ්‍යය සේවා පාසල්වලට ආරාධනා ලැබිය හැක.
12, 13. කැමැත්තෙන් ඉදිරිපත් වන්නන්ට විවෘත වී ඇති වෙනත් වරප්‍රසාද මොනවා ද?
12 කැමැත්ත සහ අවස්ථාව ඇති සියලු දෙනාට ම භුක්ති විඳිය හැකි අමතර වරප්‍රසාද ද ඇත. දහසක් දෙනා කරන හැටියට ඔබට විටින් විට උපකාරික පුරෝගාමි සේවයේ යෙදිය හැකි ද? සමහර විට, ඔබට වැඩි වෙමින් පවතින ස්ථාවර පුරෝගාමි සේවක සංඛ්‍යාවට ඇතුළත් විය හැක. අවශ්‍ය වූ විට වෙනත් ප්‍රදේශයක සේවය කිරීමට පවා ඔබගේ පුද්ගලික තත්ත්වය සහ යෙහෝවඃ වහන්සේගේ සේවය කෙරෙහි ඔබ දක්වන දෘෂ්ටි කෝණයට ඉඩ දෙයි ද? විශේෂ පුරෝගාමින් වශයෙන් හෝ ගිලියඩ් පාසලට සහ ධර්ම දූත සේවයට ඇතුළත් වීමෙන් හෝ අවශ්‍යතාවය අධික ප්‍රදේශවලට සේවය කිරීමට ගිය ප්‍රචාරකයින් වශයෙන් හෝ බොහෝ දෙනෙක් මෙසේ කරනු ඇත. සමහරක් අය ලෝවටා ඇති විවිධ බෙතෙල් නිවෙස්වල සේවය සඳහා බැඳී සිටිති. යෙහෝවඃ වහන්සේට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිසා ඔවුහු මහත් සේ ආශීර්වාද ලබා සිටිති.
13 මෙය ජීවත්වීමට උද්වේගකාරී කාලයකි. මේ “අන්තිම දවස්වල” යෙහෝවඃ වහන්සේ ආශ්චර්යවත් දේශනා සහ ඉගැන්වීමේ කාර්යය කරවන සේක. යෙහෝවඃ වහන්සේ තමන් වහන්සේගේ සංවිධානය මගින් විශේෂ සේවා අංගයක් සඳහා ඇරයුමක් ඉදිරිපත් කරන විට, “එය යෙහෝවඃ වහන්සේ මට කියන දෙයක් ද?” යයි ඔබෙන් ම ප්‍රශ්න කරන්න. ඔබේ ම තත්ත්වය සහ ඔබේ ම හෘදය පරීක්ෂා කර බලන්න. ඔබ එක්තරා ප්‍රමාණයක දියුණුවක් ලබා ඇති බවත්, එක්තරා කැමැත්තක් දක්වන බවත් බොහෝ විට සැබෑ විය හැකි ය. එහෙත් වඩා වැඩි ප්‍රමාණයකට ඉදිරිපත් වීමෙන් ඔබේ දියුණුව පෙනෙන්නට සැලැස්විය හැකි වෙනත් ක්‍රම තිබේ ද? යෙහෝවඃ වහන්සේගේ මඟ පෙන්වීමට ඔබ දක්වන ප්‍රතිචාරයෙන් වැඩෙන විට සහ උන් වහන්සේගේ මඟ පෙන්වීමට ඔබ යටත් වන විට, ඔබට මහත් සේ ආශීර්වාද කරනු ලබන්නෙහි ය. මෙය සත්‍යයක් බවට ලෝවටා සිටින යෙහෝවඃ වහන්සේගේ සේවකයන් සාක්ෂි දරනු ඇත. ඇත්ත වශයෙන් ම, සියල්ලට ම වඩා උතුම් ආශීර්වාදය එනම් දෙවියන් වහන්සේගේ නව ලොවේ සදාකාලික ජීවිතය රඳා පවතින්නේ අපේ දියුණුව මත ය. “නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටපන්න. නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම් වෙයන්න. ඒවායේ පැවතියන්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය” යයි දෙවියන් වහන්සේගේ වචනය අපට උනන්දු කරන්නේ ඒ නිසා ය.—1 තිමෝ. 4:15, 16.