ඔබේ දියුණුව සියල්ලන්ට දැකගත හැකිද?
‘ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.’—1 තිමෝ. 4:15.
1, 2. තිමෝතිගේ කුඩා කාලය හා තරුණ කාලය ගැන අප දන්නේ මොනවාද?
තිමෝති කුඩා කාලයේ ජීවත් වුණේ රෝමයට අයත් ප්‍රදේශයක් වන ගලාතියේයි. එය දැන් අයත් වන්නේ තුර්කියටයි. පළමු ශතවර්ෂයේ ගලාතියේ සභාවන් කිහිපයක් තිබුණා. තිමෝති, ඔහුගේ මව හා ආච්චි ක්‍රිස්තියානීන් බවට පත් වී ඒ සභාවක ක්‍රියාශීලීව සේවය කළා. (2 තිමෝ. 1:5; 3:14, 15) ක්‍රිස්තියානියෙක් ලෙස තමා ගත කළ ජීවිතය ගැන තිමෝති සතුටු වූ බවට නම් කිසිම සැකයක් නැහැ.
2 පාවුල් ගලාතියට දෙවන වතාවට පැමිණි කාලයේදී තිමෝති තම විසිගණන්වල ආසන්නයේ සිටින්න ඇති. තිමෝති සහෝදර සහෝදරියන් අතර ‘හොඳ නමක් දිනාගෙන සිටින’ බව පාවුල් ලිස්ත්‍රාවට ගිය අවස්ථාවේ දැනගත්තා විය හැකියි. (ක්‍රියා 16:2) ඒ කාලයේදී තිමෝතිගේ ජීවිතේ බොහෝ දේවල් වෙනස් වෙන්න පටන්ගත්තා. ඊට හේතුව තිමෝති ඔහුගේ වයසේ සිටි අයට වඩා දියුණුවක් පෙන්වීම විය හැකියි. ඒ නිසා දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ තිමෝති සේවය කළ සභාවේ වැඩිමහල්ලන් සහ පාවුල් ඔහු පිට අත් තබා විශේෂ කාර්යයක් සඳහා ඔහුව තෝරාගත්තා.—1 තිමෝ. 4:14; 2 තිමෝ. 1:6.
3. තිමෝතිට ලැබුණු විශේෂ පැවරුම කුමක්ද?
3 පාවුල් සමඟ සංචාරක සේවයේ සහභාගි වීමට විශේෂ ආරාධනාවක් තිමෝතිට ලැබුණා. (ක්‍රියා 16:3) ඒ අවස්ථාවේදී ඔහුට දැනුණු සතුට ඔබට සිතා ගත හැකිද? ඔහුගේ පැවරුම වුණේ යේසුස්ගේ නියෝජිතයන් හා වැඩිමහල්ලන් ලබා දෙන කාර්යයන් ඉටු කිරීම සඳහා පාවුල් සමඟත් වෙනත් අය සමඟත් බොහෝ ප්‍රදේශවලට ගමන් කිරීමයි. පාවුල් හා තිමෝති කළ ඒ සේවය නිසා සභාවන්වල සිටි සහෝදර සහෝදරියන් බොහෝ සේ ශක්තිමත් වුණා. (ක්‍රියා 16:4, 5 කියවන්න.) ඒ නිසා තිමෝති ලබා සිටි දියුණුව බොහෝදෙනා අතරේ කතාබහට ලක් වුණා. තිමෝති සමඟ අවුරුදු දහයකට ආසන්න කාලයක් සේවය කළ පසු පාවුල් ෆිලිප්පිවරුන්ට මෙසේ ලිව්වා. ‘[තිමෝතිට] සමාන ගතිලක්ෂණ ඇති, ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය. පියෙකු සමඟ සිටින දරුවෙක් මෙන් ඔහු මා සමඟ ශුභාරංචිය වෙනුවෙන් මහත් කැප වීමකින් යුතුව සේවය කළේය.’—ෆිලි. 2:20-22.
4. (අ) තිමෝතිට පැවරුණු ඉතා බාරදූර කාර්යය කුමක්ද? (ආ) 1 තිමෝති 4:15හි සඳහන් වචන කියවද්දී මතු වන ප්‍රශ්න මොනවාද?
4 පාවුල් ෆිලිප්පිවරුන්ට ඉහත සඳහන් දේ ලියූ කාලයේදීම ඔහු තිමෝතිට වැඩිමහල්ලන් හා සහයක සේවකයන්ව පත් කිරීමේ ඉතා බාරදූර කාර්යයද පැවරුවා. (1 තිමෝ. 3:1; 5:22) ඉන් පැහැදිලි වන්නේ ඒ වන විට තිමෝති අද්දැකීම් ලත් විශ්වාසවන්ත වැඩිමහල්ලෙක් වී සිටි බවයි. නමුත් පාවුල් ලියූ ලිපියේ ‘ඔබේ දියුණුව සියල්ලන්ට දැකගන්න සලස්වන්න’ කියා තිමෝතිට පැවසුවේ ඇයි? (1 තිමෝ. 4:15) ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? ඉන් අපට ගත හැකි ප්‍රයෝජන මොනවාද?
ඔබේ ක්‍රිස්තියානි ගුණාංග දැකගැනීමට සලස්වන්න
5, 6. එෆීස සභාවේ තිබූ ගැටලුව කුමක්ද? එයින් සභාව ආරක්ෂා කිරීම සඳහා තිමෝතිට කිරීමට සිදු වුණේ කුමක්ද?
5 පාවුල් 1 තිමෝති 4:15හි සඳහන් දේ ලිවීමට හේතුව අපි සලකා බලමු. (1 තිමෝති 4:11-16 කියවන්න.) ඔහු තම ලිපිය ලිවීමට පෙර තිමෝතිව එෆීසයේ නතර කර මැසිඩෝනියාවට ගොස් තිබුණා. ඔහු තිමෝතිව එෆීසයේ නතර කළේ ඇයි? එම සභාවේ සිටි සමහර අය බොරු ඉගැන්වීම් පතුරුවමින් සභාව බේද කරමින් සිටියා. ඒ බලපෑම්වලින් සභාව ආරක්ෂා කර එය පවිත්‍රව තබාගැනීම පාවුල් තිමෝතිගෙන් බලාපොරොත්තු වුණා. ඔහුට එය කළ හැකි එක් ආකාරයක් වුණේ අන් අයට ආදර්ශයක් වීමෙනුයි.
6 ඒ සම්බන්ධයෙන් පාවුල් තිමෝතිට මෙසේ ලිව්වා. ‘ඔබ කතා කරන ආකාරයෙන්ද ඔබේ හැසිරීමෙන්ද ඔබේ ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වන්න. ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.’ (1 තිමෝ. 4:12, 15) පාවුල් පැවසූ දෙයට අනුව තිමෝතිගේ දියුණුව අන් අයට දැකගත හැකි වුණේ ඔහු වර්ධනය කරගෙන තිබූ ක්‍රිස්තියානි ගුණාංග නිසා මිස ඔහු සභාවේ දැරූ අමතර වගකීම් නිසා නොවෙයි. දෙවිගේ සෑම සේවකයෙකුම තම දියුණුව අන් අයට දැකගැනීමට සැලැස්විය යුත්තේද ඒ ආකාරයටයි.
7. සභාවේ සිටින සියලුදෙනාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
7 අද දිනත් සභාව තුළ ඉටු කිරීමට අමතර වගකීම් බොහෝමයක් තිබෙනවා. සමහරු වැඩිමහල්ලන් හෝ සහයක සේවකයන් ලෙස සේවය කරනවා. තවත් අය පුරෝගාමී සේවයේ යෙදෙනවා. ඒ වගේම සංචාරක සේවකයන්, බෙතෙල් සේවකයන් සහ මිෂනාරිවරුන් ලෙස සේවය කරන අයද සිටිනවා. එමෙන්ම වැඩිමහල්ලන්, එක්රැස්වීම් හා සමුළුවලදී ඉගැන්වීමේ කාර්යයන්වල නිරත වෙනවා. කෙසේවෙතත් ස්ත්‍රී පුරුෂ, බාල මහලු සෑම ක්‍රිස්තියානියෙකුටම යහපත් ගුණාංග වර්ධනය කරගැනීමට හැකියාව තිබෙනවා. (මතෙ. 5:16) තිමෝති මෙන් විශේෂයෙන් සභාවේ වගකීම් දරණ සෑම කෙනෙක්ම යහපත් ගුණාංග වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි.
කතා කරන ආකාරයෙන් ආදර්ශවත් වන්න
8. අපගේ කතාබහ දෙවිට කරන නමස්කාරයට බලපාන්නේ කොහොමද?
8 කතා කරන ආකාරය සම්බන්ධයෙන් තිමෝති අන් අයට ආදර්ශයක් විය යුතු වුණා. අපත් ඒ සම්බන්ධයෙන් ආදර්ශවත් විය යුතුයි. මන්ද අපගේ කතාබහ තුළින් අප කුමනාකාර පුද්ගලයන්ද කියා හෙළි වෙනවා. යේසුස් ඒ ගැන මෙසේ සඳහන් කළා. ‘මුවින් පිට වන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.’ (මතෙ. 12:34) අපගේ කතාබහ අප දෙවිට කරන නමස්කාරයට බලපාන ආකාරය ගැන යාකොබ් මෙසේ පැවසුවා. ‘තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත් ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම් ඔහු ඇත්තටම කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්ය. ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය.’—යාකො. 1:26.
9. කතාබහ කරන ආකාරය සම්බන්ධයෙන් අපට ආදර්ශයක් තබන්න පුළුවන් කොහොමද?
9 ක්‍රිස්තියානීන් ලෙස අප කොයි තරම් දියුණුවක් ලබා තිබෙනවාද කියා අපගේ කතාබහ තුළින් අන් අය වටහාගන්නවා. අප ක්‍රිස්තියානි ගුණාංග දියුණු කරගෙන තිබෙනවා නම් අන් අයව අගෞරවයට හා වේදනාවට පත් කරන ආකාරයෙන් කතා කරන්නේ නැහැ. ඒ වගේම අප නිතරම යම් දෙයක හෝ වෙනත් කෙනෙකුගේ හෝ අඩුපාඩුකම් ගැන කතා කරන්නෙත් නැහැ. ඒ වෙනුවට අප අන් අයව දිරිගන්වන, සනසවන හා ගොඩනංවන ආකාරයෙන් කතා කරනවා. (හිතෝ. 12:18; එෆී. 4:29; 1 තිමෝ. 6:3-5, 20) එමෙන්ම දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නත් ඊට පක්ෂව කතා කරන්නත් අප නිතරම ආශාවෙන් සිටිනවා. එමගින් අපට දෙවි කෙරෙහි ඇති ගැඹුරු ප්‍රේමය පෙන්වන්න පුළුවන්. (රෝම 1:15, 16) අපගේ ඒ යහපත් හැසිරීම දකින සමහර අය අපව ආදර්ශයට ගත හැකියි.—ෆිලි. 4:8, 9.
හැසිරීමෙන් හා නිර්මලකමින් ආදර්ශයක් වන්න
10. හොඳ ආදර්ශයක් තැබීමට නම් ක්‍රිස්තියානියෙක් කටයුතු කළ යුත්තේ කොහොමද?
10 හොඳ ආදර්ශයක් තැබීමට නම් ක්‍රිස්තියානියෙක් තමන් පවසන දේට එකඟව ක්‍රියා කිරීමද අවශ්‍යයි. එසේ නොකරන කෙනෙක් කුහක පුද්ගලයෙක්. එවැනි කුහක පුද්ගලයන් වූ පරිසිවරුන් ගැනත් ඔවුන් නිසා සභාවට සිදු වූ හානිය ගැනත් පාවුල් හොඳින් දැන සිටියා. එවැනි වංචාකාර කපටි පුද්ගලයන්ගෙන් පරෙස්සම් වෙන්න කියා පාවුල් කිහිප විටක් තිමෝතිට අනතුරු ඇඟෙව්වේ ඒ නිසයි. (1 තිමෝ. 1:5; 4:1, 2) නමුත් තිමෝති කුහක පුද්ගලයෙක් නොවූ බව පාවුල් ඔහුට ලියූ දෙවන ලිපියේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. ‘ඔබ කිසි කුහකකමක් නැතුව අවංකව ගොඩනඟා ගෙන ඇති විශ්වාසය මට මතක් වෙයි.’ (2 තිමෝ. 1:5) ඒ වුණත් තිමෝති ක්‍රිස්තියානියෙක් ලෙස තවදුරටත් ඔහුගේ හැසිරීම ආදර්ශවත්ව තබාගත යුතු වුණා.
11. ධන සම්පත් ගැන පාවුල් තිමෝතිට පැවසුවේ කුමක්ද?
11 තිමෝතිට ලියූ ලිපි දෙක තුළදී පාවුල්, ජීවිතයේ විවිධ පැතිවලින් ආදර්ශවත් වන ආකාරය ගැන පැහැදිලි කළා. උදාහරණයකට ධන සම්පත් සෙවීමට මුල් තැන දීමෙන් වැළකී සිටීම ගැන ඔහු මෙවැනි උපදෙසක් දුන්නා. ‘සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය. සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා ඔවුන් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇති අතර තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමට ඔවුන්ට සිදු වී ඇත.’ (1 තිමෝ. 6:10) කෙනෙක් ධන සම්පත්වලට ආශාවක් දක්වද්දී ඔහු ඉන් පෙන්වන්නේ දෙවිගේ කැමැත්ත කිරීමට ඔහුට ඇති උනන්දුව අඩු බවයි. නමුත් දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන ක්‍රිස්තියානීන් ‘කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම්’ ඇත්නම් ඉන් සෑහීමට පත් වෙනවා.—1 තිමෝ. 6:6-8; ෆිලි. 4:11-13.
12. එදිනෙදා කටයුතුවලදී අපගේ දියුණුව අන් අයට දැකගැනීමට සලස්වන්න පුළුවන් කොහොමද?
12 ක්‍රිස්තියානි ස්ත්‍රීන් ‘මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී’ සිටීම කොතරම් වැදගත්ද කියා පාවුල් තිමෝතිට ලියූ ලිපියේ සඳහන් කළා. (1 තිමෝ. 2:9) විලාසිතා තේරීමේදී හා ජීවිතේ අනිකුත් කාරණාවලදී විනීතකම ගැන සැලකිලිමත් වෙමින් සහ හොඳ සිහිකල්පනාවෙන් තීරණ ගැනීමෙන් ස්ත්‍රීන් ආදර්ශයක් තබනවා. (1 තිමෝ. 3:11) එම ප්‍රතිපත්තිය පුරුෂයන්ටත් අදාළ බව පාවුල් වැඩිමහල්ලන්ට දුන් මෙම උපදෙසින් පැහැදිලියි. පුරුෂයන් ‘සෑම දෙයකදීම තම සීමාව දැනගෙන කටයුතු කරන, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන, තම වැඩකටයුතු පිළිවෙළකට ඉටු කරන’ අය විය යුතුයි. (1 තිමෝ. 3:2) එලෙස එදිනෙදා කටයුතුවලදී යහපත් හැසිරීමක් පවත්වාගැනීමෙන් අපගේ දියුණුව අන් අයට දැකගැනීමට සලස්වන්න අපට හැකියි.
13. තිමෝති මෙන් අපට නිර්මලව සිටීමෙන් ආදර්ශවත් වෙන්න පුළුවන් කොහොමද?
13 නිර්මල ජීවිතයක් ගත කිරීමෙන්ද තිමෝති ආදර්ශවත් කෙනෙක් විය යුතු වුණා. පාවුල් එහි නිර්මලකම කියා සඳහන් කරද්දී අවධානය යොමු කළේ විශේෂයෙන්ම අනාචාරයෙන් වැළකී පවිත්‍ර ජීවිතයක් ගත කිරීම ගැනයි. ස්ත්‍රීන් සමඟ කටයුතු කරන විට තිමෝති ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු වුණා. ඒ නිසා ‘වැඩිහිටි ස්ත්‍රීන්ව තම මව්වරුන් මෙන්ද තරුණියන්ව පවිත්‍ර සිතින් තම සහෝදරියන් මෙන්ද සලකන්න’ කියා පාවුල් ඔහුට පැවසුවා. (1 තිමෝ. 4:12; 5:2) කෙනෙක් රහසින් කරන අනාචාර ක්‍රියාවන් පවා දෙවි දකින අතර යම් දවසක එය මිනිසුන්ද දැනගන්නවා. ඒ වගේම අප කරන යහපත් ක්‍රියාද සැඟවී තිබෙන්නේ නැහැ. (1 තිමෝ. 5:24, 25) ඒ නිසා සභාවේ සිටින සියලුදෙනාම හැසිරීම හා නිර්මලකම සම්බන්ධයෙන් ආදර්ශවත් විය යුතුයි.
ප්‍රේමය හා ශක්තිමත් විශ්වාසයක් අත්‍යවශ්‍යයි
14. එකිනෙකාට ප්‍රේමය පෙන්වීමේ වැදගත්කම දේවවචනයේ පැහැදිලි කරන්නේ කොහොමද?
14 යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගත හැකි ප්‍රධාන ක්‍රමය වන්නේ ඔවුන් අතර ඇති ප්‍රේමයයි. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. ‘ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.’ (යොහ. 13:35) අප එවැනි ප්‍රේමයක් පෙන්වන්නේ කොහොමද? දෙවිගේ වචනය අපට උනන්දු කරන්නේ ‘ප්‍රේමයෙන් යුක්තව එකිනෙකා ගැන ඉවසමින්, එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වමින්, එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න’ කියායි. එමෙන්ම ආගන්තුක සත්කාරය දක්වන්න කියාත් එහි අපට දිරිගන්වනවා. (එෆී. 4:2, 32; හෙබ්‍රෙ. 13:1, 2) ඒ වගේම ‘සහෝදර ප්‍රේමයට සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න’ කියාද පාවුල් පැවසුවා.—රෝම 12:10.
15. විශේෂයෙන් වැඩිමහල්ලන් ප්‍රේමය පෙන්විය යුත්තේ ඇයි?
15 තිමෝති සෙසු ක්‍රිස්තියානීන් සමඟ රළු හා අකාරුණික ආකාරයෙන් ක්‍රියා කළා නම් ගුරුවරයෙකු හා වැඩිමහල්ලෙකු ලෙස ඔහු කළ යහපත් දේවල් අන් අය අගය නොකරන්න ඉඩ තිබුණා. (1 කොරින්ති 13:1-3 කියවන්න.) ඒ වෙනුවට ඔහු පෙන්වූ සෙනෙහස, ආගන්තුක සත්කාරය හා ඔහු කළ යහපත් ක්‍රියා නිසා අන් අයට ඔහුගේ දියුණුව දැකගැනීමට හැකි වූ බව නම් ස්ථිරයි. ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් තිමෝති ආදර්ශයක් විය යුතු බව පාවුල් පැවසීමට හේතුව ඉන් අපට පැහැදිලියි.
16. තිමෝතිට ශක්තිමත් විශ්වාසයක් අවශ්‍ය වුණේ ඇයි?
16 තිමෝති එෆීසයේ නැවතී සිටි කාලය තුළ ඔහු දෙවිට දැක්වූ විශ්වාසවන්තකමට අභියෝග පැමිණියා. එහි සිටි සමහරුන් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනි අදහස් ඉදිරිපත් කළා. තවත් අය ‘අසත්‍ය කතා’ පතුරුවමින් හා නිෂ්ඵල දේවල් ගැන අධ්‍යයනය කරමින් සිටියා. (1 තිමෝති 1:3, 4 කියවන්න.) එවැනි අය ගැන පාවුල් පැවසුවේ ඔවුන් ‘අහංකාරයෙන් ඉදිමී සිටින, නිසි අවබෝධයකින් කටයුතු නොකරන, නිතරම වචන ගැන මතභේද ඇති කරමින් වාදවිවාදවලට පැටලෙන, හොඳ සිහිකල්පනාවෙන් කටයුතු නොකරන’ අය කියායි. (1 තිමෝ. 6:3, 4) සභාවේ සිටි අය අතර යම් ප්‍රමාණයකට පැතිර තිබුණු එවැනි හානිකර අදහස් ගැන හිතන්නවත් කාලය ගැනීම තිමෝතිට සුදුසු වුණේ නැහැ. පාවුල් ඒ ගැන ඔහුට මෙසේ උනන්දු කළා. ‘සත්‍ය ඉගැන්වීම්වලට එකඟව විශ්වාසවන්තව කටයුතු කිරීම සඳහා සටන් කරන්න. ශුද්ධ දේවලට එකඟ නොවන කිසි ප්‍රයෝජනයක් නැති බොරු කතාවලින්ද පරස්පර විරෝධී මතවලින් පිරී තිබෙන බොරු දැනුමෙන්ද අහක් වී සිටින්න.’ (1 තිමෝ. 6:12, 20, 21) පාවුල්ගේ එම කාලෝචිත උපදෙසට තිමෝති කීකරු වූ බවට කිසිම සැකයක් නැහැ.—1 කොරි. 10:12.
17. දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසයට අභියෝග පැමිණෙන්න පුළුවන් කොහොමද?
17 ‘අනාගතයේ යම් යම් කාලවලදී ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බවත් ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට හා භූතයන්ගේ ඉගැන්වීම්වලට ඔවුන් සවන් දෙන නිසා’ බවත් පාවුල් තිමෝතිට පැවසුවා. (1 තිමෝ. 4:1) ඒ නිසා සභාවේ අමතර වගකීම් දරන අය ඇතුළු සියලු සහෝදර සහෝදරියන් තිමෝති මෙන් දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් ඇතුව සිටිය යුතුයි. ශුද්ධ ලියවිලිවල ඇති අදහස්වලට විරුද්ධ අදහස් පළ කරන අයව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමෙන් අපට අපගේ දියුණුව දැකගැනීමට සලස්වන්න පුළුවන්. එමගින් දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසය සම්බන්ධයෙන් අන් අයට හොඳ ආදර්ශයක් තැබීමට අපට හැකියි.
සියල්ලන්ට ආදර්ශයක් වීමට උත්සාහ කරන්න
18, 19. (අ) අපගේ දියුණුව සියල්ලන්ටම දැකගැනීමට සලස්වන්න අපට පුළුවන් කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් සලකා බලන්න යන්නේ කුමක්ද?
18 සැබෑ ක්‍රිස්තියානියෙකුගේ දියුණුව ඔහුගේ පෙනුම, හැකියාවන් හා ඔහු ලබා ඇති ප්‍රසිද්ධිය මත රඳා පවතින්නේ නැහැ. ඒ වගේම එය කෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු ලෙස ගත කළ කාලයෙන්ද සැමවිටම තීරණය වන්නේ නැහැ. ඒ වෙනුවට කෙනෙකුගේ සැබෑ දියුණුව දැකගන්න පුළුවන් වන්නේ ඔහුගේ සිතුවිලි, කතාබහ හා හැසිරීමෙන් ඔහු දෙවිට දක්වන කීකරුකම තුළිනුයි. (රෝම 16:19) ඒ නිසා අප එකිනෙකාට ප්‍රේම කරමින් දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ඇතුව සිටීමට උපරිමයෙන් වෑයම් කළ යුතුයි. ඒ සඳහා අපි පාවුල් තිමෝතිට පැවසූ වචන ගැන ගැඹුරින් කල්පනා කර ඒවා ජීවිතයට අදාළ කරගනිමු. එවිට අපගේ දියුණුව සියල්ලන්ටම දැකගැනීමට හැකියි.
19 ක්‍රිස්තියානියෙක් ලෙස දියුණුව ලබන කෙනෙකු තුළ දැකගත හැකි තවත් ගුණාංගයක් වන්නේ ප්‍රීතියයි. එය දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංගයක්. (ගලා. 5:22, 23) නමුත් අපට ප්‍රශ්න ගැටලු ඇති වන අවස්ථාවලදී අප ප්‍රීතියෙන් සිටින්නේ කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් සලකා බලමු.
ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?
• අපගේ කතාබහ තුළින් අන් අය තේරුම්ගන්නේ කුමක්ද?
• අපගේ හැසිරීම හා නිර්මලකමින් අන් අයට ආදර්ශයක් වෙන්න පුළුවන් කොහොමද?
• ප්‍රේමය හා ශක්තිමත් විශ්වාසයක් ඇතුව සිටීම ක්‍රිස්තියානීන්ට අත්‍යවශ්‍ය ඇයි?
[11වන පිටුවේ පින්තූරය]
තිමෝති ඔහුගේ වයසේ සිටි අයට වඩා දියුණුවක් පෙන්නුවා
[13වන පිටුවේ පින්තූර]
ඔබගේ දියුණුව අන් අයට දැකගත හැකිද?