පරිච්ඡේද 6
ප්‍රේමය, “එකමුතුකමේ පරිපූර්ණ බැම්මකි”
1-6. (අ) විවාහකයන් තමන්ගේ ම හැඟීම්වල වුවමනාවට වඩා නියැලී සිටින විට, කුමක් සිදු විය හැකි ද? (ආ) බරපතළ වාදයක් ඇති වීම වැළැක්විය හැක්කේ කුමන ශුද්ධ ලියවිලි ප්‍රතිපත්ති පිළිපැදීමෙන් ද?
‘අපට රෑ කෑම කවදාවත් වෙලාවට ගන්ට බැරි ඇයි?’ බලා සිටීමෙන් වෙහෙසට පත් අමාරු දවසක වැඩවලින් හෙම්බත් වූ ඇගේ ස්වාමිපුරුෂයා කෝපයෙන් කෑ ගැසුවේ ය.
2 ‘පැමිණිලි කරන එක නවත්තන්න. එය තව ටිකකින් ලෑස්ති වෙයි,’ ඈ කෝපයෙන් ආපසු කෑගැසුවා ය. ඇගේ දවසත් පහසු එකක් නොවී ය.
3 ‘ඒත් ඔයා හැම වෙලේ ම ප්‍රමාදයි. ඇයි ඔයාට කවදාවත් වෙලාවට කරන්න බැරි?’
4 ‘ඒක ඇත්ත නෙවෙයි!’ ඈ කෑ ගසයි. ‘ඒත් යම් දවසක ඔයා දරුවන් බලා ගන්ට උත්සහ කළා නම්, ඔය තරම් පැමිණිලි කරන්නෙ නැහැ. කොහොම වුණත්, ඔවුන් ඔයාගෙත් දරුවෝ!’
5 එබැවින් ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර හටගන්නා වූ මෙම කෙන්ද, කන්දක් බවට වර්ධනය වේ. තව ද දෙදෙනා ම කෝප වී එකිනෙකාට කතා නොකර සිටිති. දෙදෙනා ම වේදනාවට පත් වී අමනාප වන තුරු, අනික් තැනැත්තාගේ ප්‍රතිචාරයන්ට එකිනෙකා ප්‍රතික්‍රියා කරයි, තව ද ඔවුන්ගේ සවස් කාලය නාස්ති වෙයි. මෙම තත්ත්වය වළක්වාලීමට දෙදෙනාගෙන් එක්කෙනෙකුට හැකිකම තිබුණි. එහෙත් දෙදෙනා ම අනික් තැනැත්තාගේ හැඟීම් නොසලකා තමන්ගේ ම හැඟීම්වල නියැලී සිටියෝ ය. පීඩනයට පත් ගෙවී ගිය හැඟීම් සුනුවිසුනු විය.
6 එවැනි ගැටලු බොහෝ කාරණාවල දී පැන නැගිය හැක. මුදල් සම්බන්ධ ව විය හැක. නැතහොත් අන්‍යයන් සමඟ ආශ්‍රය කිරීමට ඔහුට ඉඩ නොදෙමින්, තමාගේ භාර්යාව වුවමනාවට වඩා තමා කෙරෙහි අයිති කර ගැනීමේ ස්වභාවයක් ඇති බව ස්වාමිපුරුෂයාට හැඟෙන්නට පුළුවන. තමා ව නොසලකා හැර තිබෙන බව ද අගය නොකරන බව ද ඈට හැඟෙන්නට පුළුවන. ලොකු ගැටලුවක් හෝ කුඩා ඒවා කිහිපයක් නිසා, පීඩාකාරි තත්ත්වයක් පවතින්නට පුළුවන. අවස්ථාව කුමක් වුවත්, දැන් අපගේ සැලකිල්ල යොමු වන්නේ තත්ත්වයට පිවිසෙන ආකාරය පිළිබඳවයි. ‘අනික් කම්මුල හැරවීමට’ කැමති වීමෙන් ද, “නපුරට නපුර නොකර” සිටීමෙන් ද, ඒ වෙනුවට ‘යහපත්කමෙන් නපුරුකම පරාජය කිරීම’ මගින් ද, ගැටලුවක් දක්වා උග්‍රවීම වැළැක්වීමට දෙදෙනාගෙන් එක් කෙනෙකුට පුළුවන. (මතෙව් 5:39; රෝම 12:17, 21) මෙය කිරීමට නම් සංයමය සහ මේරූකම වුවමනා ය. එයට ක්‍රිස්තියානි ප්‍රේමය වුවමනා කරයි.
ප්‍රේමය සැබවින් ම අදහස් කරන දෙය
7-9. (අ) 1 කොරින්ති 13:4-8 හි ප්‍රේමය විස්තර කර තිබෙන්නේ කෙසේ ද? (ආ) මෙය කුමන ආකාරයේ ප්‍රේමයක් ද?
7 පළමු කොරින්ති 13:4-8 හි, ඉන් අදහස් කරන දෙයත්, ඉන් අදහස් නොකරන දෙයත් පිළිබඳ ව, ප්‍රේමයේ නිර්වචනයක් දේවානුභාවයෙන් යෙහෝවඃ දෙවියන් වහන්සේ දුන් සේක: “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය [කරුණාවන්ත ය NW]; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණ සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත; අධර්මිෂ්ඨකමට [අධර්මිෂ්ඨකම නිසා NW] ප්‍රීති නොවී සැබෑව සමග ප්‍රීතිවන්නේය, සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය [විඳදරා ගන්නේ ය NW]. ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.”
8 ශාරීරික ආකර්ෂණීය භාවය, පවුල් සම්බන්ධතාවය හෝ එකිනෙකාගේ ආශ්‍රය අන්‍යෝන්‍ය ලෙස භුක්ති විඳීමට ඇති කැමැත්ත වැනි දේවල් බොහොමයක් මත ප්‍රේමය පදනම් විය හැක. එහෙත් ප්‍රේමයට සැබෑ වටිනාකමක් තිබීමට නම්, එය ස්නේහය හෝ අන්‍යෝන්‍ය සිත් ඇදගැනීම ඉක්මවා ගොස්, අනික් තැනැත්තාගේ උපරිම යහපත සඳහා වන දෙය මගින් පාලනය විය යුතු බව බයිබලය පෙන්නුම් කරයි. දෙමව්පියෙක් දරුවෙකු සමඟ කරන්නාක් මෙන් හෝ යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය නමස්කාර කරන්නන් සමඟ කරන්නාක් මෙන්, ඒ ආකාරයේ ප්‍රේමයට තරවටු කිරීම හෝ හික්මවීම පවා ඇතුළත් විය හැක. (හෙබ්‍රෙව් 12:6) හැඟීම් සහ චිත්ත වේගය තිබෙන බව සැබෑවකි, එහෙත් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී ඥානවන්ත තීරණ ගැනීම හෝ නිවැරදි ප්‍රතිපත්ති හෝ නිෂ්ප්‍රභා කිරීමට ඒවාට අවකාශ දෙනු නොලැබේ. සැලකිල්ල හා සාධාරණකම දක්වන කදිම ප්‍රතිපත්ති අනුව සියල්ලන් ම සැලකීමට ඒ ආකාරයේ ප්‍රේමය යමෙකු ව පොලඹවයි.
9 අපගේ පවුල් ජීවිතයට ප්‍රයෝජනවත් වන ආකාරය වඩාත් සම්පූර්ණයෙන් අගය කිරීමට 1 කොරින්ති 13:4-8 හි දී තිබෙන විග්‍රහය වඩාත් විස්තර සහිත ව අපි සලකා බලමු.
10, 11. බොහෝ ඉවසිලිවන්ත සහ කරුණාවන්ත වූ විවාහක කලත්‍රයෙකුගෙන් අප අපේක්ෂා කරනු ඇත්තේ කුමක් ද?
10 “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය [කරුණාවන්ත ය NW].” ඔබගේ කලත්‍රයා සමඟ ඔබ බොහෝ ඉවසිලිවන්තකම දක්වන්නෙහි ද? තත්ත්වය කෝප කරවන සුලු එකක් වන්නේ නම්, එමෙන් ම සමහර විට අසාධාරණ චෝදනා ඉදිරිපත් කරන විට පවා ඔබ සංයමයෙන් යුක්ත ව ක්‍රියා කරන්නෙහි ද? යෙහෝවඃ වහන්සේ අප සියල්ලන් සමඟ ම බොහෝ ඉවසිලිවන්තකම දක්වන සේක, තව ද ‘දෙවියන් වහන්සේගේ කාරුණික වූ ගුණාංගය පුද්ගලයන් ව පසුතැවිල්ල කරා මඟ පෙන්වීමට වෙර දරන්නේ ය.’ බොහෝ ඉවසිලිවන්තකම සහ කරුණාවන්තකම යන දෙක ම දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵල වේ.—රෝම 2:4; ගලාති 5:22.
11 ප්‍රේමය වැරදි ක්‍රියා අනුමත නොකරයි. එහෙත් එය සතුටු කිරීමට අමාරු ස්වභාවයක් නොදක්වයි. එය නොඉවසිලිවන්ත නොවේ. අවස්ථානුකූල ව මුහුණ දීමට සිදු වන දුෂ්කරතාවයන් එය සැලකිල්ලට ගනියි. (1 පේතෘස් 4:8; ගීතාවලිය 103:14; 130:3, 4) තව ද බරපතළ කාරණාවල දී පවා සමාව දීමට එය සූදානම් ව සිටියි. “මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත් වරක් දක්වාදැයි” කියා පේතෘස් යේසුස් වහන්සේගෙන් ඇසූ විට, තමා බොහෝ ඉවසිලිවන්ත ව සිටින්නේ ය කියා ප්‍රේරිත පේතෘස් සිතූ බවට සැකයක් නැත. යේසුස් වහන්සේගේ පිළිතුර වූයේ: “සත්වරක් නොව සැත්තෑවර සත්වරක්ය [සැත්තෑ සත් වරක් ය NW].” (මතෙව් 18:21, 22; ලූක් 17:3, 4) ප්‍රේමය නැවත නැවතත් සමාව දෙයි, තව ද අපරිමිත ව කරුණාව දක්වයි. ඔබ එසේ කරන්නෙහි ද?
12, 13. ඊර්ෂ්‍යාව ප්‍රකාශ විය හැක්කේ කෙසේ ද, තව ද එය මැඩ පවත්වා ගැනීමට වෑයම් කළ යුත්තේ මක්නිසා ද?
12 “ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත.” සැබෑ හේතුවක් නොමැති ව ඊර්ෂ්‍යා කරන කලත්‍රයෙකු සමඟ ජීවත් වීම අපහසු ය. එවැනි ඊර්ෂ්‍යාව සැක සහිත ය. පමණට වඩා අයිති කර ගැනීමේ ස්වභාවයක් දක්වයි. එය ළාමක ගතියක් වන අතර අන්‍යයන් සමඟ ස්වභාවික ව සහ මිත්‍රශීලී ව හැසිරීමෙන් අනික් තැනැත්තා ව වළක්වයි. සන්තෝෂය ඇති වන්නේ නිදහස් ලෙස දීමෙන් මිසක, ඊර්ෂ්‍යා සහගත ඉල්ලීමක් ඉටු කිරීමෙන් නොවේ.
13 බයිබලය මෙසේ අසයි: “ඊර්ෂ්‍යාව හමුවේ නොසැලී සිටිය හැක්කේ කාට ද?” එය වනාහි අසම්පූර්ණ මාංසයේ එක් ක්‍රියාවකි. (හිතෝපදේශ 27:4, NW; ගලාති 5:19, 20) මනඃකල්පිත දේවලින් පෝෂණය වූ ද සුරක්ෂිත භාවයක් නොමැතිකමේ හැඟීමකින් ඇති වන්නා වූ ද ඊර්ෂ්‍යාවක යම් ලකුණු ඔබ තුළ තිබෙන බවක් ඔබට සොයා ගත හැකි ද? තවත් කෙනෙකු තුළ තිබෙන වැරදි දැකීමට සාමාන්‍යයෙන් අපහසු නැත. එහෙත් අප ව ම පරීක්ෂා කර ගැනීමෙන් අපි වඩාත් ප්‍රයෝජන ලබා ගන්නෙමු. “ඊර්ෂ්‍යාවත් උන්නතිකාමයත් [විවාදශීලීකමත් NW] කොතැනද එතැන අවුල්වියවුල් ද සියලු නපුරු ක්‍රියා ද ඇත්තේ ය.” (යාකොබ් 3:16, න. අ.) ඊර්ෂ්‍යාවට විවාහයක් සුනුවිසුනු කළ හැක. ඔබගේ කලත්‍රයා ආරක්ෂා කර තබා ගත හැක්කේ ඊර්ෂ්‍යාසහගත තහංචි මගින් නොවේ, නමුත් ප්‍රේමනීය අවධානය ද සැලකිල්ල සහ විශ්වාසය ද මගින් ය.
14, 15. (අ) පාරට්ටු කිරීම ප්‍රේමය නොමැතිකමක් දක්වන්නේ කෙසේ ද? (ආ) තමාගේ කලත්‍රයා පහත් කරනවා වෙනුවට, යමෙක් කළ යුත්තේ කුමක් ද?
14 ප්‍රේමය, “පාරට්ටු කරගන්නේ නැත; උඩඟුවෙන්නේ නැත.” බොහෝ දෙනෙකු එය කරන බව සැබෑවකි, එහෙත් පාරට්ටු කරනවා ඇසීමට කැමති වන්නේ ස්වල්ප දෙනෙකි. සැබවින් ම එය පාරට්ටු කරන්නා ව හොඳින් දන්නා වූ ඕනෑ ම කෙනෙකු ව ලජ්ජාවට පත් කළ හැක. සමහරුන් පාරට්ටු කර ගන්නේ තමන් ගැන ම පුරසාරම් දොඩන ආකාරයකින් කතා කිරීම මගින් ය, වෙනත් අය මේ දෙය ම වෙනත් අන්දමකින් ඉටුකරති. ඔවුහු අන්‍යයන් විවේචනය කොට, හෙලා දකිති, සන්සන්දනාත්මක ව මෙසේ කිරීමෙන් තමාට ගොදුරුවූවන්ට වඩා තමා ව උසස් කර ගැනීමට නැඹුරුවාවක් ඇත. එබැවින්, යමෙකු අන්‍යයන් පහත් කිරීම මගින් තමා ව උසස් කර ගනියි. තමාගේ කලත්‍රයා සුළු කොට සැලකීම සැබවින් ම තමා ගැන පාරට්ටු කිරීමේ මාර්ගයකි.
15 ඔබගේ කලත්‍රයාගේ අඩුපාඩුකම් ගැන ඔබ කවදාවත් ප්‍රසිද්ධියේ කතාකර තිබේ ද? ඔබගේ කලත්‍රයාට ඒ ගැන හැඟෙන්නට ඇත්තේ කෙසේ ද කියා ඔබ දන්නෙහි ද? වැරදි අනාවරණය කිරීම කරනු ලැබුවේ ඔබ ගැන නම්, එවිට කුමක් ද? ඔබට ඒ ගැන හැඟෙනු ඇත්තේ කෙසේ ද? ප්‍රේමය ලබන බවක් ද? නැත. තමා ගැන ම වර්ණනා කර ගැනීම මගින් හෝ අන්‍යයන් සුළු කොට දැක්වීම මගින් හෝ ප්‍රේමය “පාරට්ටුකරගන්නේ නැත.” ඔබගේ කලත්‍රයා ගැන කතා කරන විට, වර්ධනය ගෙන දෙන සුලු ආකාරයට කතා කරන්න; එය ඔබ දෙදෙනා අතර තිබෙන බැම්ම ශක්තිමත් කරයි. තව ද ඔබ ගැන පවසන දෙය පිළිබඳ ව, හිතෝපදේශ 27:2 හි සඳහන් ඥානවන්ත උපදේශය අදාළ කරගන්න: “නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා.”
16. ප්‍රේමනීය තැනැත්තෙක් මඟ හරින්නා වූ සමහර අශෝභන දේවල් මොනවා ද?
16 ප්‍රේමය, “අශෝභන ලෙස හැසිරෙන්නේ නැත.” කාමමිථ්‍යාචාරය, බේබදුකම සහ කෝපය වැනි කැපී පෙනෙන අශෝභන දේවල් බොහොමයක් ම තිබේ. (රෝම 13:13) ප්‍රේමයට වෙනස් ව, මේ සියල්ලක් ම විවාහ බැම්මට හානි පමුණුවයි. අපහාස කිරීම, අසභ්‍ය කතා සහ ක්‍රියා ද, එමෙන් ම පුද්ගලික පිරිසිදුකම අතපසු කිරීම යන මේ සියල්ල මනුෂ්‍ය ශෝභනකමේ ඌනතාවයක් පෙන්වයි. මේ සම්බන්ධයෙන් ඔබගේ කලත්‍රයා ඉදිරියේ පිළිකුල් හා අමනාප කරවීම මඟ හැරීමට ඔබ කොපමණ ප්‍රවේසම් සහිත ව සිටින්නෙහි ද? සැලකිල්ල, අචාරශීලීකම සහ ගෞරවයෙන් යුක්ත ව ඔබ ඔහුට හෝ ඈට සලකන්නෙහි ද? මේ සියල්ලක් ම සන්තෝෂමත්, කල්පවතින විවාහයකට දායක වේ.
17. තමාගේ ම කාරණා නොසෙවීම මගින් යමෙකුට දබර මඟ හැරිය හැක්කේ කෙසේ ද?
17 ප්‍රේමය, “තමාගේම කාරණ සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත.” එය ආත්මකාමී නොවේ. මෙම පරිච්ඡේදයේ පටන් ගැනීමේ දී සඳහන් කළා වූ යුවළ ඒ ආකාරයට සිටියා නම්, එය කොපමණ හොඳ දෙයක් වනු ඇත් ද! රාත්‍රි කෑම ප්‍රමාද වූ නිසා ස්වාමිපුරුෂයා තමාගේ භාර්යාවට කෑ නොගසනු ඇත. තව ද ඇය ද ආපසු කෝපයෙන් කෑ නොගසනු ඇත. ඔහුගේ නොරිස්සීමට තරමක් හේතු වූයේ ඔහු විඩාවට පත්ව සිටීම නිසා බව ඈ වටහා ගෙන තිබුණා නම්, කෝප වෙනවා වෙනුවට, ඈට මෙසේ පිළිතුරු දීමට හැකි ව තිබුණි: ‘රෑ කෑම තව ටිකකින් ලෑස්තියි, ඔබට අද වැඩපළේ දී අමාරු දවසක් තිබෙන්නට ඇති. කෑම මම මේසයේ තබන තෙක්, මා ඔබට සිසිල් පළතුරු බීමක් ගේන්නම්.’ නැතහොත් ස්වාමිපුරුෂයා තමා ගැන ම පමණක් නොසිතා, වඩාත් අවබෝධයෙන් යුක්ත ව සිටියා නම්, උපකාර කිරීමට කිසිවක් තිබේ ද කියා ඔහුට අසන්නට හැකි ව තිබුණි.
18. ප්‍රේමය යමෙකු ව කෝප වීමෙන් වැළැක්විය හැක්කේ කෙසේ ද?
18 ඔබගේ කලත්‍රයා පවසන්නා වූ හෝ කරන්නා වූ යම් කිසිවක් මගින් ඔබ පහසුවෙන් ම කෝපයට පත් වන්නෙහි ද නැතහොත් වචනය හෝ ක්‍රියාව පිටුපස ඇත්තා වූ චේතනාව වටහා ගැනීමට ඔබ වෑයම් කරන්නෙහි ද? සමහර විට එය නොසැලකිලිමත්කමින් පමණක් කළා වූ අහිංසක දෙයක් මිසක, පළිගැනීමේ චේතනාවෙන් කළ එකක් නොවන්නට පුළුවන. ඔබට ප්‍රේමය තිබේ නම්, ඔබ ‘ඉරබසින තුරු ඔබගේ කෝපය පවතින්ට ඉඩ නොදෙනු’ ඇත. (එපීස 4:26) ඔබගේ කලත්‍රයා අධෛර්යවත් වී, වේදනාව ඇති කරවන යම් කිසිවක් වුවමනාවෙන් ම පැවසුවා නම් හෝ කළා නම් හෝ, එවිට කුමක් ද? කුපිත ස්වභාවය අඩුවෙන තෙක් විඳදරාගෙන, ඊට පසු ව එය සාකච්ඡා කිරීමට ඔබට නොහැකි ද? දෙදෙනාගේ ම උපරිම යහපත හෘදයෙහි තබා ගෙන තත්ත්වයට පිවිසීමෙන් නිවැරදි දෙය පැවසීමට එය ඔබට උපකාර කරනු ඇත. “ඥානවන්තයාගේ හෘදය තමාගේ මුඛයෙන් තීක්ෂ්ණ බුද්ධිය පෙන්වීමට සලස්වයි.” “වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය,” තවත් දබරය අවුස්සන්නේ නැත. (හිතෝපදේශ 16:23, NW; හිතෝ 17:9) නොකඩවා වාද කිරීමට සහ ඔබ නිවැරදි යයි ඔප්පු කිරීමට ඇතිවන පෙලඹීම මැඩ පවත්වා ගැනීම මගින්, ප්‍රේමයට පක්ෂ ව ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඔබට හැක.
19. (අ) ‘අධර්මිෂ්ඨකම වෙනුවෙන් ප්‍රීතිවීමට’ කුමක් ඇතුළත් විය හැකි ද? (ආ) මෙය මඟ හැරිය යුත්තේ මක්නිසා ද?
19 සැබෑ ප්‍රේමය “අධර්මිෂ්ඨකමට [අධර්මිෂ්ඨකම නිසා NW] ප්‍රීති නොවී සැබෑව සමග ප්‍රීතිවන්නේය.” යමෙකුගේ කාලය පාවිච්චි කිරීම, මුදල් වැය කිරීම හෝ යමෙකුගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තමාගේ කලත්‍රයා රැවටීම දක්ෂ දෙයක් යයි එය සිතන්නේ නැත. ධර්මිෂ්ඨ ව පෙනීමට එය සත්‍යයෙන් අඩක් පමණක් කීම උපයෝගි කර ගැනීමෙන් වැළකෙන්නේ ය. අවංක ප්‍රේමය තිබීමට නම්, සත්‍යය කතා කිරීමට ඔබ දෙදෙනා ම සතුටු විය යුතුයි.
සැබෑ ප්‍රේමයට ශක්තිය සහ විඳදරා ගැනීම තිබේ
20. ප්‍රේමය (අ) ‘සියල්ල දරාගන්නේ’ (ආ) ‘සියල්ල විශ්වාස කරන්නේ’ (ඇ) ‘සියල්ල බලාපොරොත්තු වන්නේ’ (ඈ) ‘සියල්ල විඳදරාගන්නේ’ කෙසේ ද?
20 “සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තු වන්නේය, සියල්ල ඉවසන්නේය [විඳදරා ගන්නේ ය NW].” මෙම කිට්ටු සම්බන්ධතාවයේ දී එකිනෙකා සමඟ නම්‍ය වීමට හා සකස් වීමට දෙදෙනා ම ඉගෙන ගන්නා අතර, විවාහය තුළ දී එය මත පමුණුවන්නා වූ අධික වෙහෙස [ක්ලමථයන්] සහ පීඩාවන් එය දරා ගනියි. තත්ත්වයන් අහිතකර ලෙස පෙනෙන්ට තිබුණත්, දෙවියන් වහන්සේගේ වචනයෙහි සඳහන් කර තිබෙන සියලු උපදේශය එය විශ්වාස කරමින්, උනන්දුමය ආකාරයෙන් අදාළ කර ගනියි. තව ද, වංක අන්දමින් ක්‍රියා කරන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ දී පහසුවෙන් නොරැවටෙන අතර, එය අනවශ්‍ය ලෙස සැක සහිත ලෙස කටයුතු කරන්නේ නැත. ඒ වෙනුවට, එය විශ්වාසය විදහාපායි. එපමණක් නොව, එය යහපත සඳහා බලාපොරොත්තුවෙන් සිටියි. එවැනි බලාපොරොත්තුවක් පදනම් වී තිබෙන්නේ බයිබල් උපදේශය අදාළ කර ගැනීමෙන් හැකි උපරිම ප්‍රතිඵල ලැබෙනු ඇතැයි යන නිසැක සහතිකය මත ය. මෙසේ ප්‍රේමය වනාහි ඒකාන්ත, සර්ව ශුභවාදී, ඉදිරිය දෙස බලන්නා වූ එකක් විය හැක. තව ද, එය අස්ථිර පහ වී යන්නා වූ මූඪ ප්‍රේමයක් ද නොවේ. තත්ත්වය අපහසු වුවත්, ගැටලුවලට මුහුණ දෙමින්, නියම ප්‍රේමය විඳදරා ගනියි. එයට දරාගැනීමේ ශක්තියක් ඇත. එය වනාහි ශක්තිමත් ය; එහෙත් ඒ සියලු ම ශක්තිය සමඟ එය කරුණාවන්ත ය, මෘදුය, නැමෙන සුලු ය, එය සමඟ ජීවත් වීමට පහසු ය.
21, 22. ප්‍රේමය කිසි කලෙක පහ නොවන බව දක්වන්නා වූ සමහර අවස්ථාවන් මොනවා ද?
21 එවැනි “ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.” දුෂ්කර කාලයන් යුවළ මුදල් අමාරුකම් තුළට පත්කළහොත්, එවිට කුමක් සිදුවේ ද? වෙනත් ස්ථානයක වඩාත් පහසු ජීවිතයක් සෙවීම ගැන කල්පනා කරනවා වෙනුවට, එවැනි ප්‍රේමයක් තිබෙන භාර්යාව පිරිමැස්මෙන් යුක්ත ව ක්‍රියා කරමින්, ඇගේ ස්වාමිපුරුෂයාගේ ආදායමේ අඩුපාඩුව සපුරාලමින්, තමාගේ කලත්‍රයා සමඟ ලැදි ව සිටින්නී ය. (හිතෝපදේශ 31:18, 24) නමුත්, අවුරුදු ගණනාවකට දීර්ඝ වන්නා වූ අසනීපයක් භාර්යාවට වැලඳුණොත් එවිට කුමක් ද? මේ ආකාරයේ ප්‍රේමය තිබෙන ස්වාමිපුරුෂයා ඈට වුවමනා කරන සැලකිල්ල සැපයීමට ද, දැන් ඈට කළ නොහැකි නිවසෙහි වැඩවලට උපකාර වීමට ද, ඔහුගේ නිරන්තර ලැදිකම සහතික කිරීමට ද, ඔහුට හැකි සියල්ල ඔහු කරයි. මේ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ම ආදර්ශයක් තබන සේක. ස්වකීය සේවකයන් පැමිණෙන්නා වූ තත්ත්වය කුමක් වුවත්, ‘දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඔවුන් ව වෙන් කිරීමට කිසිවකට නුපුළුවන.’—රෝම 8:38, 39.
22 එවැනි ප්‍රේමයක් මැඩ පැවැත් විය හැක්කේ කුමන ගැටලුවලට ද? ඔබගේ විවාහයට එය තිබෙනවා ද? ඔබ පුද්ගලික ලෙස එය ක්‍රියාවෙහි යොදවන්නෙහි ද?
ප්‍රේමය වැඩීමට සැලැස්වීම
23. අප ප්‍රේමනීය දෙය කිරීමට යනවා ද නැද්ද යන වග නිගමනය වන්නේ කුමකින් ද?
23 ප්‍රේමය, පේශියක් මෙන්, පාවිච්චි කිරීම මගින් ශක්තිමත් වේ. අනික් අතට, ප්‍රේමය, ඇදහිල්ල මෙන්, ක්‍රියාවෙන් තොර ව මැරී තිබේ. අප තුළ අභ්‍යන්තරයෙහි ඇත්තා වූ හැඟීම් මගින් පොලඹවනු ලබන වචන සමඟ ක්‍රියා, හෘදයෙන් නිකුත් වන බව පවසා තිබේ, තව ද හෘදය අපගේ අභ්‍යන්තර පෙලඹ වීම නියෝජනය කරයි. “සිතේ [හෘදයේ NW] පූර්ණකමෙන් මුඛය කථාකරයි. යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය.” එහෙත් අප තුළ ඇත්තා වූ හැඟීම් දුෂ්ට නම්, “නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් [හෘදයෙන් NW] නික්මෙන්නේය.”—මතෙව් 12:34, 35; 15:19; යාකොබ් 2:14-17.
24, 25. ප්‍රේම කිරීමට ඇත්තා වූ ඔබගේ පෙලඹවීම ඔබට ශක්තිමත් කළ හැක්කේ කෙසේ ද?
24 ඔබගේ හෘදය තුළ ඔබ වර්ධනය කරන්නේ කුමන අදහස් සහ හැඟීම් ද? දෙවියන් වහන්සේ ප්‍රේම කර තිබෙන ආකාරය ගැන ඔබ දින පතා ම මෙනෙහි කර, උන් වහන්සේගේ ආදර්ශය අනුකරණය කිරීමට වෑයම් කරන්නේ නම්, කදිම පෙලඹවීම් ශක්තිමත් වනු ඇත. මේ ප්‍රේමය ඔබ වැඩි වැඩියෙන් ක්‍රියාවෙහි යොදවන කල්හි, ඔබ වැඩි වැඩියෙන් ඊට එකඟ ව ක්‍රියා කරයි, ඊට එකඟ ව කතා කරයි. තව ද එය ඔබගේ හෘදය තුළ වඩාත් ගැඹුරු ලෙස පදියම් වනු ඇත. සුළු දේවල දී එය දින පතා භාවිතා කිරීමෙන් එවැනි ප්‍රේමය පුරුද්දක් වනු ඇත. එවිට විශාල ප්‍රශ්න පැන නගින විට, ඒවාට සාර්ථක ව මුහුණ දීමට ඔබට උපකාර කිරීමට මෙම ප්‍රේමය ශක්තිමත් හා ස්ථිර බලකොටුවක් මෙන් පිහිටා තිබෙනු ඇත.—ලූක් 16:10.
25 ඔබගේ කලත්‍රයා තුළ ප්‍රශංසනීය යම් කිසිවක් ඔබට පෙනේ ද? එය ප්‍රකාශ කරන්න! කරුණාවන්තකමක් කිරීමට ඔබට පෙලඹීමක් තිබේ ද? එම පෙලඹීමට කීකරු වන්න! ප්‍රේමය නෙලා ගැනීමට නම්, අප එය දැක්විය යුතුයි. මේ දේවල් ක්‍රියාත්මක කිරීමෙන් ඔබ ද ඔබගේ කලත්‍රයා ද වඩාත් කිට්ටු වන අතර, ඔබ දෙදෙනා එක්කෙනෙකු වනු ඇත, තව ද ඔබ අතර තිබෙන ප්‍රේමය වැඩෙන්නට සලස්වනු ඇත.
26, 27. හවුලේ බෙදා ගැනීම යමෙකුගේ ප්‍රේමය වැඩි කරන්නේ කෙසේ ද?
26 ප්‍රේමය වැඩි කිරීමට එය හවුලේ බෙදා ගන්න. පළමු මනුෂ්‍යයා වූ ආදම්, පාරාදීසයක ජීවත් වූයේ ය. ඔහුගේ සියලු ම ශාරීරික අවශ්‍යතාවයන් බහුල ලෙස සපයා තිබුණි. පටන් ගැනීමේ සිට ම ඔහු අලංකාරය මගින් වට වී සිටියේ ය. එහි තිබුණේ තණ බිම් සහ මල් ද, වනලැහැබ සහ ඇලවල් ද පමණක් නොව, පොළොවේ භාරකරුවා වශයෙන් ඔහුගේ පාලනයට යටත් වූ බොහෝ විවිධ වර්ගයේ සත්ත්ව ජීවින් ද සිටියහ. මේ සියල්ල ම තිබුණත් එක් අවශ්‍යතාවයක් සපුරා නොතිබුණේ ය; මෙම අලංකාර පාරාදීසය හවුලේ භුක්ති විඳීමට තව මනුෂ්‍ය තැනැත්තෙක් හෝ තැනැත්තියක් නොසිටියේ ය. මනහර හිරු බැස යාමක් ඔබ පුදුමාකාරයෙන් බලා සිටිද්දී, ඔබ කවදාවත් තනි ව සිටියේ ද, තව ද එය හවුලේ භුක්ති විඳීමට එහි දී ඔබ ප්‍රේම කරන කෙනෙකු සිටියා නම් හොඳ යයි කියා ඔබට සිතුණි ද? නැතහොත් පොලඹවන සුලු ශුභාරංචියක් ඔබට තිබුණේ ද, එහෙත් එය පැවසීමට කිසිවෙක් නොසිටියේ ද? ආදම්ගේ අවශ්‍යතාවය යෙහෝවඃ දෙවියන් වහන්සේ වටහා ගත් අතර, ඔහුගේ කල්පනා සහ හැඟීම් හවුලේ භුක්ති විඳීමට ඔහුට කලත්‍රයෙකු සපයනු ලැබූ සේක. හවුලේ භුක්ති විඳීම දෙදෙනෙකු ව එක් කරයි, තව ද ප්‍රේමයට මුල් බැස වැඩීමට උපකාර කරයි.
27 විවාහය වනාහි හවුලේ භුක්ති විඳීමකි. සමහර විට කාමරය හරහා ආදරවන්ත බැල්මක්, ස්පර්ශ කිරීමක්, මෘදු වචනයක් හෝ කතා නොකර එකට සාමකාමි ලෙස හිඳගෙන සිටීම මෙයට ඇතුළත් විය හැක. ඇඳක් පිළියෙළ කිරීම, දීසි සේදීම, අයවැයේ අමතර වියදමක් නිසා නොඉල්ලන නමුත් ඈට වුවමනා කරන යම් කිසිවක් මිල දී ගැනීමට මුදල් ඉතිරි කිරීම, ඔහු හෝ ඈ වැඩක ප්‍රමාද වී සිටින විට අනික් තැනැත්තාගේ වැඩවලට උපකාර කිරීම වැනි සෑම ක්‍රියාවකින් ම ප්‍රේමය ප්‍රකාශ කළ හැක. ප්‍රේමයෙන් අදහස් කරන්නේ වැඩය සහ විනෝදය ද, කරදර සහ සතුට ද, සාර්ථකවීම් සහ අසාර්ථකවීම් ද, මනසේ සිතුවිලි සහ හෘදයේ හැඟීම් ද හවුලේ බදා ගැනීමකි. පොදු නිෂ්ටාවන් හවුලේ බෙදා ගෙන, ඒවා එකට අත්කර ගන්න, පුද්ගලයන් දෙදෙනෙකු එක් කෙනෙකු කිරීමට සලස්වන්නේ මෙයයි; ප්‍රේමය වැඩි වීමට සලස්වන්නේ මෙයයි.
28. සේවය කිරීමෙන් ප්‍රේමය වර්ධනය වන්නේ කෙසේ ද?
28 ඔබගේ කලත්‍රයාට සේවය කිරීමෙන් ඔහු උදෙසා තිබෙන ඔබගේ ප්‍රේමය මේරූ භාවයට පමුණුවන්නට එය උපකාරවත් විය හැක. කෑම පිසීමෙන්, ඇඳවල් පිළියෙළ කිරීමෙන්, නිවස පිරිසිදු කිරීමෙන්, ඇඳුම් සේදීමෙන් සහ ගෙදර කටයුතු බලා ගැනීම මගින් භාර්යාවක් පොදු ලෙස සේවය කරන්නී ය. ඈ පිසින කෑම, ඈ පිළියෙළ කරන ඇඳන්, ඈ පිරිසිදු කරන නිවස සහ ඈ සෝදන ඇඳුම් සැපයීම මගින් ස්වාමිපුරුෂයා බොහෝ අවස්ථාවල දී සේවය කරයි. සන්තෝෂය පමුණුවන්නේ සහ ප්‍රේමය පෝෂණය වන්නේ මේ සේවයෙන් ය, මේ දීමෙන් ය. යේසුස් වහන්සේ පැවසූ පරිදි ගැනීමට වඩා දීමෙහි වැඩි සන්තෝෂයක් තිබේ. නැතහොත්, සේවය ලැබීමට වඩා සේවය කිරීමෙහි වැඩි සන්තෝෂයක් තිබේ. (ක්‍රියා 20:35, NW) “නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය,” කියා උන් වහන්සේ තම ගෝලයන්ට පැවසූ සේක. (මතෙව් 23:11) එම දෘෂ්ටිය තරඟකාරකමේ ආත්මය ඉවත්කර, සන්තෝෂයට තුඩු දෙයි. අප සේවය කරන විට, අවශ්‍ය කරන බවක් අපට දැනේ, අප අරමුණක් ඉටු කරන අතර, මෙය අපට ආත්ම-ගෞරවය ලබා දෙමින්, අප ව සෑහීමට පත් කරවයි. සේවය කිරීමට සහ එවැනි සෑහීම ලබා ගැනීමට විවාහය ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට වුවමනා තරම් ප්‍රස්තාව ලබා දෙයි. මෙසේ ප්‍රේමය තුළ ඔවුන්ගේ විවාහය වඩා ශක්තිමත් ලෙස ඒකාබද්ධ කරවයි.
29. දෙවියන් වහන්සේගේ සේවකයන් නොවන අයට පවා ප්‍රේමය සිත් ඇදගන්නා සුලු වන්නේ මක්නිසා ද?
29 විවාහක කලත්‍රයන්ගෙන් එක්කෙනෙක් මෙම බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන, දෙවියන් වහන්සේගේ ක්‍රිස්තියානි සේවකයෙකු වන නමුත් අනික් තැනැත්තා එසේ නොවේ නම් එවිට කුමක් ද? ක්‍රිස්තියානිවරයෙකු ක්‍රියා කළ යුතු ආකාරය මෙය වෙනස් කරයි ද? මූලික වශයෙන් එසේ නොකරයි. දෙවියන් වහන්සේගේ අරමුණු ගැන වැඩි කතාවක් ක්‍රිස්තියානිවරයා විසින් නොකරන්නට පුළුවන, එහෙත් හැසිරීම එක ම ය. නොඇදහිලිකාර තැනැත්තාට ඇත්තේ යෙහෝවඃ වහන්සේට නමස්කාර කරන තැනැත්තාට ඇත්තා වූ එම මූලික අවශ්‍යතාවයන් ම ය. තව ද සමහර ආකාරවලින් එක ම ආකාරයට ප්‍රතික්‍රියා කරයි. රෝම 2:15, 16 හි මෙය පවසා තිබේ: “ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද? ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂ කිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල [හෘදවල NW] ලියනලදැයි ඔව්හු දක්වති.” ආදර්ශවත් ක්‍රිස්තියානි හැසිරීම සාමාන්‍යයෙන් අගය කරනු ලබන අතර, ප්‍රේමය වැඩෙන්නට සලස්වයි.
30. ප්‍රේමය දැක්විය යුත්තේ විශිෂ්ට අවස්ථාවන් යටතේ පමණක් ද? ඔබ එසේ පිළිතුරු දෙන්නේ මක්නිසා ද?
30 ප්‍රේමය එළිදරව් වීම සඳහා විශිෂ්ට අවස්ථාවන් එනතෙක් බලා නොසිටියි. සමහර ආකාරවලින් ප්‍රේමය ඇඳුමක් වැනි ය. ඔබගේ ඇඳුම එකට සවිකොට රඳවා ගන්නේ කුමක් ද? ලනුවලින් බඳිනු ලැබුවා වූ විශාල ගැට ස්වල්පයකින් ද? නැතහොත් නූල්වලින් කළ දහස් ගණන් කුඩා මැහුම්වලින් ද? දහස් ගණනින් කළ කුඩා මැහුම්වලින් ය, අප ලෞකික ඇඳුම් ගැන හෝ ආත්මික “ඇඳුම්” ගැන කතා කළත් මෙය සැබෑවකි. දින පතා විදහාපානු ලබන කුඩා වචන හා ක්‍රියාවල නිරන්තර එකතු වීම අප ව “පළඳවන” අතර, අප ඇත්තෙන් ම කවුද කියා එයින් එළිදරව් වේ. ලෞකික ඇඳුම්වලට සිදුවන්නාක් මෙන් එවැනි ආත්මික “ඇඳුම්” දිරා යන්නේවත්, ඒවායේ වටිනාකම නැතිවන්නේවත් නැත. එය වනාහි බයිබලය පවසන්නාක් මෙන්, ‘දිරා නොයන සැරසීමකි.’—1 පේතෘස් 3:4.
31. කොලොස්සි 3:9, 10, 12, 14 හි ප්‍රේමය ගැන කුමන කදිම උපදේශයක් සපයා තිබේ ද?
31 “එකමුතුකමේ පරිපූර්ණ බැම්මක්” මගින් ඔබගේ විවාහය එක්කොට තබා ගැනීමට ඔබ කැමති ද? එසේ නම් කොලොස්සි 3:9, 10, 12, 14 හි නිර්දේශ කර තිබෙන පරිදි ක්‍රියා කරන්න: “පරණ පුද්ගලිකත්වය එහි ක්‍රියාවන් සමඟ ඉවත ලා, අලුත් පුද්ගලිකත්වය පැළඳ ගන්න . . . ඔබ අනුකම්පාවේ මුදු මොළොක් සෙනෙහසත්, කරුණාවන්තකමත්, සිතින් යටහත්කමත්, මෘදුකමත් හා බොහෝ ඉවසිලිවන්තකමත් පැළඳ ගෙන සිටින්න . . . ඔබ ප්‍රේමය පැළඳී සිටින්න, මන්ද එය එකමුතුකමේ පරිපූර්ණ බැම්මකි.”—න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්.