ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fl 13 පරි. 171-180 පි.
  • ජීවිතයේ සැඳෑ සමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතයේ සැඳෑ සමය
  • ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පක්ෂපාත බව ඔප්පු කිරීමේ අලංකාරකම
  • වැඩුණු දරුවන්—නව සම්බන්ධතාවයක්
  • අන්‍යයන් උදෙසා දේවල් කිරීමෙන් ප්‍රීතිය භුක්ති විඳින්න
  • තත්ත්වයන් වෙනස් වූ විට නම්‍යබවින් යුක්ත වන්න
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ඔබගේ විවාහයට කදිම අත්තිවාරමක් දැමීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • විවාහ මංගල්‍යය දවසෙන් පසු
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
fl 13 පරි. 171-180 පි.

පරිච්ඡේද 13

ජීවිතයේ සැඳෑ සමය

1, 2. (අ) දරුවන් නිවස අත්හැර ගිය පසු කුමන ගැටලු පැන නැගිය හැකි ද? (ආ) මහලු වයසේ ගැටලු සමඟ ක්‍රියා කිරීමට සමහරු තැත් කරන්නේ කෙසේ ද?

ශාරීරික හෝ මානසික යම් ක්‍රියාවලින් අපේ ජීවිත පූර්ණ වී නැත්නම් අපි නිරස බවට පත් වන්නෙමු. ජීවිතයේ හිස්කමක් තිබෙන බව පෙනෙන අතර, අපි නොඉවසුම් ගතියකට පැමිණෙන්නෙමු. තම දරුවන් වැඩී, නිවස අත්හැර යන විට මෙම ගැටලුව සමහර විට විවාහකයන්ට පැන නගියි. ඔවුන්ගේ පසුගිය අවුරුදු බොහොමයක් තුළ, ජීවිතය පිතෘත්වය හෝ මාතෘත්වය පිළිබඳ වගකීම්වලින් පූර්ණ ව තිබුණි. දැන් මේ සියලු ම ක්‍රියාවන් සමඟ පවුලක් ඇති දැඩි කිරීමේ වගකීම ද හදිසියේ ම අවසානයකට පැමිණේ.

2 මීට අමතර ව, වයස් ගතවන විට, ශාරීරික වෙනස්කම් සිදු වීමට පටන් ගනියි. හමෙහි රැළි ඇතිවේ. හිසකෙස් පැසීමට පටන් ගනියි. හිසකෙස් ප්‍රමාණය අඩු වීමට පුළුවන, කලින් නොදැනුණා වූ කැක්කුම් සහ වේදනාවන් ඉස්මතු වන්නට පටන් ගනියි. කාරණය වනාහි අප වයසට යමින් සිටීම ය. මෙම කාරණය පිළිගැනීමට අකැමැතිකම දක්වමින්, සමහරු සිටි ලෙස ම තරුණ ව සිටින බව ඔප්පු කිරීමට වියරු උත්සාහයන් දරති. උත්සවයන්ට කඩිසර ව සහභාගි වීමෙන් හෝ ක්‍රීඩාවන්හි බොහෝ සෙයින් යෙදෙමින් හෝ, ඔවුහු හදිසියේ ම සාමාජීය වශයෙන් ක්‍රියාශීලී වෙති. මෙම හදිසි ක්‍රියාශීලී භාවය ඔවුන් ව යම් දෙයක නිරත වීමට සලස්වයි, එහෙත් එය ස්ථිර තෘප්තියක් ගෙන දෙනු ඇත් ද? ඔහුගේ ජීවිතයට නියම අර්ථවත්කමක් තිබෙන පිණිස, සැබෑ ලෙස අවශ්‍ය බව හැඟෙන්නට එය යමෙකුට සලස්වනු ඇත් ද?

3. විනෝදය ප්‍රීති දායක විය හැකි නමුත්, මඟ හැරිය යුත්තේ කුමක් ද?

3 විනෝදය, සැබවින් ම, ප්‍රීති දායක විය හැක. තව ද ඔබගේ දරුවන් බාල ව සිටි විට, කළ නොහැකි වූ සමහර දේවල් කිරීමට ඔබට කාලය තිබෙන බව ඔබගේ ජීවිතයේ සැඳෑ සමයේ දී ඔබට පෙනෙන්නට පුළුවන. එහෙත් විනෝදය සෙවීම ජීවිතයේ ප්‍රධානතම එක වීමට ඉඩ හැරීමෙන් බරපතළ ගැටලු ගෙන දිය හැක.—2 තිමෝති 3:4, 5; ලූක් 8:4-8, 14.

පක්ෂපාත බව ඔප්පු කිරීමේ අලංකාරකම

4, 5. විරුද්ධ ලිංගයේ අයට තමා සිත් ගන්නා කෙනෙකු බව ඔප්පු කිරීමට අවශ්‍ය බව වයස්ගත කෙනෙකුට හැඟෙන විට, ප්‍රතිඵලය කුමක් විය හැකි ද?

4 ජීවිතයේ මෙම අවධියේ දී, විරුද්ධ ලිංගයේ අයට තමන් තවමත් සිත්ගන්නා සුලු බව ඔප්පු කිරීමට අවශ්‍ය යයි කියා හැඟෙන්නේ ස්වල්ප දෙනෙකුට නොවේ. සමාජ උත්සවයන් හෝ වෙනත් ස්ථානවල දී විරුද්ධ ලිංගයේ යම් කෙනෙකු සමඟ ඉඟිබිඟි පෑම මගින් මෙය පටන් ගන්නට පුළුවන. පුරුෂයන්, විශේෂ ලෙස, වයසින් බාල ස්ත්‍රීන් සමඟ “සම්බන්ධකම්” පවත්වන අතර, “නව සදාචාරය” ඇති මෙම කාලයෙහි, විවාහයට පිටින් “සම්බන්ධකම්” පවත්වා ගැනීම මගින් සහතිකකම සොයන්නා වූ ස්ත්‍රීන් ද බොහෝ දෙනෙක් සිටිති. සමහර විට අවුරුදු ගණනාවකට විවාහ වී ඇතත්, අලුත් විවාහක කලත්‍රයෙකු සමඟ “අලුත් ජීවිතයක්” ආරම්භ කිරීම ගැන අදහස් ඇති කර ගැනීමට සමහරු පටන් ගනිති. තම කලත්‍රයාට සහ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට ඔවුන්ගේ පක්ෂපාතකම නොදැක්වීම ඇතුළු සාමාන්‍යයෙන් තමාගේ ම අඩු පාඩු සැහැල්ලු කොට ඔවුන් සලකන අතරතුරේ දී, තම කලත්‍රයාගේ වැරදි දැක්වීම මගින්, තමුන් කරන්නා වූ දේ නිර්දෝෂ කිරීමට ඔවුන් තැත් කළ හැක.

5 “වේශ්‍යාකම [පෝනියා, porneia: අශික්ෂිත ලිංගික දුරාචාරය] නිසා මිස තමාගේ භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය,” කියා යේසුස් වහන්සේ පැවසූ බව ඔවුන් දන්නවා විය හැක. “කුමන කරුණක්” මත යමෙකුගේ කලත්‍රයා ව දික්කසාද කිරීම වැරදි බව යේසුස් වහන්සේ මෙහි දැක්වුවත්, දික්කසාදය සඳහා ලෞකික නීති රීති අවකාශ දෙන්නා වූ ඕනෑ ම පදනමක් පාවිච්චි කිරීමට ඔවුහු කැමති වෙති. (මතෙව් 19:3-9, න. අ.) බොහෝ විට, දික්කසාද කටයුතු කිසිසේත් පටන් ගැනීමට පෙර ඔවුන් හවුල් වූවා වූ යම් කෙනෙකු ඔවුහු අලුත් කලත්‍රයෙකු වශයෙන් ලබා ගනිති. එවැනි හැසිරීම ගැන දෙවියන් වහන්සේගේ වචනය පවසන්නේ කුමක් ද කියා දන්නා නමුත්, දෙවියන් වහන්සේගේ මහත් දයාව නිසා උන් වහන්සේ “තේරුම් ගනු ඇතැයි කියා” ඔවුන් තර්ක කළ හැකි ය.

6. විවාහ ගිවිසුම සඳහා අගෞරවය, යෙහෝවඃ දෙවියන් වහන්සේ සලකන්නේ කෙසේ ද?

6 එවැනි දුරාචාර කල්පනා කිරීම මගින් පොලඹවනු ලැබීම මඟ හැරීම පිණිස, ස්වකීය අනාගතවක්තෘ මලාකි කරණ කොට ගෙන ඉශ්‍රායෙල් සෙනඟට යෙහෝවඃ වහන්සේ පැවසූ දෙය අප හොඳින් සලකා බැලිය යුතු ය: “නුඹලා මේ කාරණය . . . කර, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] පූජාසනය කඳුළුවලින්ද ඇඬීමෙන්ද සුසුම්ලෑමෙන්ද වසන්නහුය. එබැවින් උන්වහන්සේ පූජාව තවත් [අනුමැතිය ඇතුව] නොසලකනසේක, නුඹලාගේ අත්වලින් සතුටු සිතින් එය පිළි නොගන්නාසේක. එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; . . . නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය. . . . එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙයල්ලා. කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්දව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා. මක්නිසාද [භාර්යාවන්] අත්හැර දැමීමට [දික්කසාදයට NW] මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කියනසේක.” (මලාකි 2:13-16) එසේ ය, යමෙකුගේ විවාහ කලත්‍රයා සමඟ ද්‍රෝහි ලෙස ක්‍රියා කිරීම, විවාහ ගිවිසුමට අගෞරව කිරීම—යන මේවා දෙවියන් වහන්සේ විසින් හෙලා දැක ඇත; ජීවනය දෙන තැනැන් වහන්සේ සමඟ යමෙකුගේ සම්බන්ධකම, ඒ මගින් හානියට පත්වන්නේ ය.

7. විවාහ ගිවිසුම සඳහා අගෞරවය සන්තෝෂයට මඟ පෙන්වන්නේ නැත්තේ මක්නිසා ද?

7 මෙය වඩාත් හොඳ ජීවිතයකට මාර්ගය ද? කිසිසේත් නැත. එවැනි පුද්ගලයන් විසින් ඇතුල් වන්නා වූ ඕනෑ ම අලුත් විවාහයක් රැඳී තිබෙන්නේ සෙලවෙන්නා වූ පදනමක් මත ය. එක දෙයක් නම් මෙම ඉතාමත් වටිනා සම්බන්ධකම තුළ දී පවා, තමන් ව විශ්වාස කළ නොහැකි බව ඔවුන් පෙන්වා තිබේ. ප්‍රථම තැනැත්තාට නොතිබුණා වූ, අලුත් කලත්‍රයාගේ පුද්ගලිකත්වයෙහි සිත් ඇදගන්නා වූ යම් කිසිවක් ඔවුන්ට දකින්නට පුළුවන් වීම සැබෑවකි. එහෙත් මෙය ලබා ගැනීමට, ඇති කළා වූ වේදනාව සහ හෘද කැක්කුම නොසලකා ඔවුහු තමන්ගේ ම විනෝදය සෙවූහ. සැබැවින් ම මෙය විවාහ සන්තෝෂය කෙරෙහි ක්‍රියා කරන්නා වූ ගුණාංගයක් නොවේ.

8. විවාහය තුළ, ශාරීරික අලංකාරයට වඩා වැඩියෙන් වැදගත් වන්නේ කුමක් ද?

8 විවාහ කලත්‍රයෙකුට විශ්වාස ව සිටීමේ අලංකාරය, ඕනෑ ම ශාරීරික අලංකාරයක් ඉක්මවා යයි. ශාරීරික අලංකාරය අනිවාර්යයෙන් ම ගෙවී යන අවුරුදු සමඟ පහ වී යන්නේ ය, එහෙත් පක්ෂපාත ලැදිකමේ අලංකාරය, ගතවන සෑම අවුරුද්දක් සමඟ ම වර්ධනය වන්නේ ය. තව කෙනෙකුගේ සන්තෝෂය සෙවීමෙන් ද ඔබගේ ම යහපතට ඉදිරියෙන් ඔහුගේ යහපත දැමීමට කැමති වීමෙන් ද කල්පවතින තෘප්තියක් ලැබිය හැක, මක්නිසා ද සැබවින් ම “ගැනීමට වඩා දීම වඩා සන්තෝෂදායක ය.” (ක්‍රියා 20:35, NW) අවුරුදු ගණනාවක් තුළ දෙදෙනෙකු විවාහ වී සිට, ඔවුන් එකට අදහස් හුවමාරු කර, එකිනෙකා කෙරෙහි විශ්වාසය තබා ඇත්නම්, වැඩ කටයුතු ද, නිෂ්ටාවන් ද, බලාපොරොත්තු ද, හොඳ කාලයන් මෙන් ම නරක කාලයන් ද ඔවුන් හවුලේ බෙදා ගෙන තිබේ නම්, තව ද මෙය ප්‍රේමයෙන් කර තිබේ නම්, ඔවුන්ගේ ජීවිත නියම ලෙස ම එකමුතු ව එකිනෙකට ගෙතී තිබෙනු ඇත. මානසික ව, චිත්ත වේගී ව, ආත්මික ව පොදුවේ බොහෝ දේ ඔවුන්ට ඇත. විවාහයට පෙර එකිනෙකාගේ වැරදිවලට තරමක් අන්ධ ව සිටීමට ඉවහල් වූවා වූ බලවත් හැඟීම්වලින් යුත් ආදරය වෙනුවට, දැන් එකිනෙකාගේ අඩු පාඩු දකින විට, ඒවා අවශ්‍යතාවයක් ඉටු කිරීමට හා උපකාර වීමට ප්‍රස්තාවක් වශයෙන් සැලකීමට හැකි කරවන හෘදයාංගම භක්තියක් ඇති කර වීමට මඟ පාදයි. කුමන ගැටලුවක් ඇති වුවත්, ඔවුන් එකිනෙකාට පක්ෂපාතී ව සිටීමට යන බව දන්නා බැවින්, අවංක විශ්වාසයේ හැඟීමක්, සුරක්ෂිතකමෙහි හැඟීමක් ඔවුන් අතර පවතී. එකිනෙකාට ලැදි ව සිටීම එක ම ස්වභාවික දෙය බව ඔවුන්ට පෙනී යනවා ඇත. මීකා 6:8 පවසන්නාක් මෙන් ය: “එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණවට [පක්ෂපාතකමින් යුත් ප්‍රේමයට NW] ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක් ද?” NW—තීරු සටහන.

වැඩුණු දරුවන්—නව සම්බන්ධතාවයක්

9-11. (අ) දෙමව්පියන් හා ඔවුන්ගේ දරුවන්ගේ සම්බන්ධතාවය ජීවිතය මුළුල්ලේ ම වෙනස් නොවී පැවතීම දෙවියන් වහන්සේගේ අරමුණ ද? (ආ) තම වැඩුණා වූ දරුවන්ට දෙමව්පියන් විසින් දිය හැකි අවවාදය කෙරෙහි මෙයට ඇති සම්බන්ධය කුමක් ද? (ඇ) තම දරුවන් විවාහ වී සිටින විට, දෙමව්පියන් ගෞරව කළ යුත්තේ කවරෙකුගේ ප්‍රධානත්වයට ද?

9 ස්වාමිපුරුෂයා සහ භාර්යාව ජීවිතය මුළුල්ලේ ම එකට සිටිය යුතු නමුත්, දෙමව්පියන් සහ තම දරුවන් සඳහා මැවුම්කරුවාණන්ගේ විධිවිධානය එය නොවේ. ඔබගේ දරුවන් වැඩෙමින් සිටි විට, සෑම දිනක ම ඔවුන්ට ඔබ ව අවශ්‍ය වූ බව නම් සැබෑවකි. සැලකිල්ලට ගැනීමට තිබුණේ ශාරීරික අවශ්‍යතාවයන් පමණක් නොව, එහෙත් මඟ පෙන්වීම ද අවශ්‍ය වූයේ ය. ඔවුන් කැමැත්තෙන් ම ප්‍රතිචාරය නොදැක්වූ විට, ඔවුන්ගේ ම යහපත සඳහා සමහර දේවල් කිරීමට ඔබ බල කරන්නට ඇත. එහෙත් ඔවුන් තමන්ගේ ම පවුලක් පිහිටුවා ගත් විට, ඔබ සහ ඔවුන් අතර ඇති සම්බන්ධතාවය යම් ප්‍රමාණයකට වෙනස් වේ. (උත්පත්ති 2:24) ඔවුන් කෙරෙහි ඔබගේ හැඟීම් වෙනස්වන බවක්, මින් අදහස් නොකරයි, එහෙත් වගකීම්වල මාරුවීමක් ඇති වන්නේ ය. එබැවින් ඔවුන් සඳහා ඔබ යම් දේවල් කරන ආකාරය වෙනස් වීමට අවශ්‍ය වේ.

10 සමහර අවස්ථාවන්වල දී ඔවුන්ට තවමත් උපදෙස් අවශ්‍ය වීමට පුළුවන. තව ද ජීවිතයෙහි වඩා අත් දැකීම් ඇත්තා වූ අයගේ හොඳ උපදෙස්වලට ඔවුන් ඇහුම් කන් දෙන්නේ නම්, එය වනාහි ප්‍රඥාවේ සාක්ෂියකි. (හිතෝපදේශ 12:15; 23:22) වෙන ම ජීවත් වන්නා වූ පුත්‍රයන්ට හෝ දූවරුන්ට උපදෙස් දෙන විට, තීරණ ගැනීම දැන් පවතින්නේ ඔවුන් සමඟයි යන කාරණය ඔබ වටහා ගන්නා බව දක්වන ආකාරයකින් උපදෙස් දීම ඥානවන්ත ය.

11 ඔවුන් විවාහ වී සිටින්නේ නම්, මෙය ඉතා වැදගත් වන්නේ ය. තමාගේ නැන්දම්මාගේ පාලනය යටතේ මනාලිය ව තබන බොහෝ පැරණි චාරිත්‍ර වාරිත්‍ර තවමත් පිළිපදින සමහර රටවල් ඇත. වෙනත් ස්ථානවල පවුලේ කාරණාවල දී විවාහක යුවළගේ ඥාතීහු බලවත් බලපෑමක් ඇති කරති. එහෙත්, මෙය සැබැවින් ම සන්තෝෂය ඇති කරනු ඇත් ද? පවුලේ මැවුම්කරුවාණෝ හොඳ ම දෙය දන්නා සේක, තව ද උන් වහන්සේ මෙසේ පවසන සේක: “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද ඇත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය.” (උත්පත්ති 2:24) දැන් තීරණ ගැනීමට වගකීම පවතින්නේ, ස්වාමිපුරුෂයාගේ දෙමව්පියන් සමඟවත් හෝ භාර්යාවගේ දෙමව්පියන් සමඟවත් නොවේ, එහෙත් ස්වාමිපුරුෂයා සමඟ ය. “ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි,” කියා දේව වචනය පවසයි. (එපීස 5:23) මෙම විධිවිධානයට ගෞරව දක්වන විට, ඔබගේ වැඩුණු දරුවන්ටත්, පසු ව ඔබගේ මිනිබිරියන් හෝ මුනුබුරන්ටත් දේවල් කිරීමෙහි සතුට බොහෝ සෙයින් වැඩි දියුණු කළ හැක.

අන්‍යයන් උදෙසා දේවල් කිරීමෙන් ප්‍රීතිය භුක්ති විඳින්න

12. (අ) තම දරුවන් ඔවුන්ගේ ම පවුල් පිහිටුවා ගත් පසු, එකිනෙකා සඳහා තම ප්‍රේමය වර්ධනය කර ගන්ට දෙමව්පියන්ට හැක්කේ කෙසේ ද? (ආ) තම ජීවිත වඩාත් අර්ථවත් කර ගැනීමට ඔවුන්ට කළ හැක්කේ වෙන කුමක් ද?

12 අපගේ ජීවිත ප්‍රයෝජන බවත්, එයට අර්ථයක් තිබෙන බවත් හැඟීයාමට, අප සියලු දෙනාට ම අවශ්‍යතාවයක් තිබේ. ඔබගේ ම ශුභ සිද්ධියට මෙම අවශ්‍යතාවය සපුරාලීම වැදගත් ය. ඔබගේ දරුවන්ට අමතර ව, ජීවිතයන්හි අවශ්‍යතාවයක් ඉටු කිරීමට උපකාර කරන්ට හැකි වෙනත් බොහෝ අය සිටිති. ඔබගේ ම විවාහක කලත්‍රයා ගැන කුමක් කිව හැකි ද? ඔබගේ දරුවන් වැඩෙමින් සිටින අතරතුරේ දී, ඔබගේ අවධානය වැඩි වශයෙන් යොමු වූයේ ඔවුන් වෙත ය. එකිනෙකා උදෙසා පුද්ගලික ආකාරයකින් බොහෝ දේ කිරීමට දැන් ඔබට ප්‍රස්තාවක් තිබේ. ඔබගේ සම්බන්ධතාවය තහවුරු කිරීම සඳහා උපකාරි විය හැක. එහෙත් ඔබගේ කරුණාවන්ත ක්‍රියාවන් ඔබගේ ම පවුලට පමණක් සීමා කරන්නේ මක්නිසා ද? අසනීප වන්නා වූ අසල්වාසීන්ට උපකාරය දීමෙන් හෝ පාළුකම දැනෙන්නා වූ වයසක අය සමඟ කාලය බෙදා ගැනීම මගින් හෝ තමන්ගේ කිසි ම වරදක් හේතු නොවීමෙන් ද්‍රව්‍යමය හිඟකමට පත් ව ඇති අයට, ඔබට හැකි ඕනෑ ම අන්දමකින්, ද්‍රව්‍යමය උපකාරත් සැපයීම මගින් ඔබට “පුළුල්” විය හැක. (2 කොරින්ති 6:11, 12) වැන්දඹුවන් උදෙසා “බොහෝ යහපත් ක්‍රියාවලද දාන [දයාන්විත ත්‍යාග NW] දීමෙහිද” ඈ යෙදී සිටිය නිසා, බොහෝ ප්‍රේමය දිනා ගත්තා වූ ස්ත්‍රියක් වන දොර්කස් පිළිබඳ ව බයිබලය පවසයි. (ක්‍රියා 9:36, 39) විපත්තියට පත් වූවන්ට කරුණාව දක්වන තැනැත්තන්ට එය ප්‍රශංසා කරයි. (හිතෝපදේශ 14:21) දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ නමස්කාරයේ වැදගත් කොටසක් ලෙස, “මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්,” ශුද්ධ ලියවිලි ඇතුළත් කරයි. (යාකොබ් 1:27) තව ද, “යහපත්කම් කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරල්ලා. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්නවනසේක,” කියා කියමින්, බයිබලය අප සියලු දෙනා ව ම උනන්දු කරවයි.—හෙබ්‍රෙව් 13:16.

13. අන්‍යයන්ට උපකාර කිරීම ප්‍රයෝජන සහිත වීමට සලස්වන්නේ කුමන පෙලඹවීමක් ද?

13 මුළුමනින් ම මනුෂ්‍ය දයාව දක්වන්නා වූ ක්‍රියාවල නියැලී සිටීම වනාහි සන්තෝෂයට මාර්ගය බව මින් අදහස් කරයි ද? ඇත්ත වශයෙන් ම, පෙලඹ වීම ආත්මික එකකි, එනම් ප්‍රේමය දැක්වීමෙහි දෙවියන් වහන්සේ ව අනුකරණය කිරීමට තිබෙන ආශාවක් නොවේ නම්, එය අපේක්ෂා භංගත්වයට මඟ පෙන්විය හැක. (1 කොරින්ති 13:3; එපීස 5:1, 2) ඒ මක්නිසා ද? ඔබගේ කරුණාවන්තකම පුද්ගලයන් අගය නොකිරීමෙන් හෝ ඔබගේ ත්‍යාගශීලීවන්තකමින් අසාධාරණ ප්‍රයෝජන ලබා ගැනීමට ඔවුන් තැත් කරන විට, කලකිරීමක් ඇති වීමට පුළුවන් නිසා ය.

14, 15. සැබෑ ලෙස ම ජීවිතය සන්තෝෂවත් කරවන්නේත් තෘප්තියට පත්කරවන්නේත් කුමක් ද?

14 අනික් අතට, දෙවියන් වහන්සේගේ සේවයෙහි යමෙකු තමාගේ ජීවිතය සැබෑ ලෙස ම පාවිච්චි කරන්නෙහි නම්, තමා කරන්නා වූ දෙය තම මැවුම්කරුවාණන්ට හොඳින් ප්‍රසන්න වන බව දැනගැනීම තමාට උපරිම තෘප්තිය ගෙන දෙයි. තව ද, වෙනත් මනුෂ්‍යයන් වෙනුවෙන් දේවල් කිරීමට ඇති ඔහුගේ හැකියාව ද්‍රව්‍යමය සම්පත් මගින් සීමා වී නැත. “ශුභාන්විත [සන්තෝෂවත් NW] දෙවියන් වහන්සේගේ තේජවත්වූ ශුභාරංචිය” ඔහුට ඇති අතර, අන්‍යයන් සමඟ එය බෙදා ගැනීමේ වරප්‍රසාදය ඔහු සතු ය. (1 තිමෝති 1:11) ජීවිතයේ ගැටලුවලට දැන් සාර්ථක ව මුහුණ දෙන්නේ කෙසේ ද කියාත්, අනාගතය සඳහා දෙවියන් වහන්සේ ඉදිරිපත් කරන්නා වූ විශිෂ්ට බලාපොරොත්තුව කුමක් ද කියාත් ඔහු බයිබලයෙන් දැන සිටියි. එමෙන් ම එවැනි ශුභාරංචියක් අන්‍යයන් සමඟ බෙදා ගැනීමත් එහි උල්පත වන යෙහෝවඃ දෙවියන් වහන්සේ වෙතට ඔවුන්ගේ අවධානය යොමු කර වීමත් කොපමණ සතුටු දායක දෙයක් ද! ගීතාවලිය 147:1 හි දේවානු භාවය ලත් ලේඛකයා පැවසුවාක් මෙන් ය: “ස්වාමීන්වහන්සේට [යාඃ හට NW] ප්‍රශංසා කරව්; මක්නිසාද අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදින්නේය, ප්‍රශංසා කිරීම හොබනේය.”

15 ජීවිතය පිළිබඳ ව යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත අප තේරුම්ගත් විටත් උන් වහන්සේට අප ගෞරවය කරන විටත් අපගේ ම ජීවිත අර්ථවත්කමින් පූර්ණ බවකට පැමිණේ. (එළිදරව් 4:11) ඔබට ඉඩ කඩ තිබෙන ප්‍රමාණයට අන්‍යයන් සමඟ බයිබල් සත්‍යය බෙදා ගැනීමෙහි ඔබ සහභාගි වන්නේ නම්, සැබෑ තෘප්තිය ඔබට අත්වනු ඇත. ඔබගේ ම දරුවන් වැඩුණා වූ අය වීමට පුළුවන් වුවත්, ‘ආත්මික දරුවන්’ වැඩීමට උපකාර කිරීමෙහි ප්‍රීතිය ඔබට භුක්ති විඳිය හැක. මේරූ ක්‍රිස්තියානින් බවට ඔවුන් වර්ධනය වෙනවා ඔබ දකින කල, තමා මෙසේ උපකාර කළා වූ සමහරුන්ට ලියූ විට ප්‍රේරිත පාවුල්ට හැඟී ගියාක් මෙන් ඔබටත් හැඟෙනු ඇත: “අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? . . . නුඹලාම නොවේද? එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්‍රීතියත්ය.”—1 තෙසලෝනික 2:19, 20.

තත්ත්වයන් වෙනස් වූ විට නම්‍යබවින් යුක්ත වන්න

16, 17. (අ) ගැටලු සම්බන්ධයෙන්, මඟ හැරිය යුත්තේ කුමක් ද? (ආ) මරණයෙන් තමාගේ සහකාරිය යමෙකුට නැති වුවත්, අලුත් අභියෝගයන්ට මුහුණ දීමෙහි දී තනි ව නොසිටීමට ඔහුට උපකාර කළ හැක්කේ කුමක් ද?

16 කාලය ගතවන විට, ඇත්ත වශයෙන් ම, තමුන් වරක් කළා වූ ප්‍රමාණයට ම තවදුරටත් කළ නොහැකි බව බොහෝ අයට පෙනී යනු ඇත. නම්‍ය වීමට, වෙනස්කම් කිරීමට කැමති වීම ඔවුන්ට වුවමනා වෙයි. සෞඛ්‍ය ගැටලු තිබෙන කල, මේවාට අවධානය ඕනෑ කෙරේ. ජීවිතයේ සෑම දවසක් ම ඉදිරිපත් කරන්නා වූ ප්‍රස්තාවන් දැකීමට යමෙකු අපොහොසත් වන තරමට මෙම කාරණයන්හි නිරත නොවන පිණිස සමබරතාවය දැක් වීම ඥානවන්ත ය. ගැටලු පවතිනවා ඇත, ඒවා පිළිබඳ ව ප්‍රයෝජන දායක යම් කිසිවක් කිරීමට යමෙකුට හැකි නම්, එය කිරීම ඥානවන්ත ය. එහෙත් කනස්සල්ල කිසිවක් ඉටු කරන්නේ නැත, තව ද, කාරණා වෙනස් වේවා කියා ප්‍රාර්ථනා කළාට ඒවා වෙනස් වන්නේ ද නැත. එබැවින්, අතීතය ගැන ආශා වෙමින් සිටිනවා වෙනුවට, වර්තමානයේ ප්‍රස්තාවන් අල්ලා ගන්න.

17 ජීවිතයේ සැඳෑ සමයේ දී, ඔබ නැවතත් තනිකඩ භාවයට පත් ව සිටින්නේ නම්, එම දෙය ම අදාළ වන්නේ ය. ඔබට සන්තෝෂවත් විවාහයක් තිබුණේ නම්, කිසි ම සැකයක් නොමැති ව ඔබ ප්‍රිය දායක මතකයන් ආදරයෙන් රැක බලා ගනු ඇත. එහෙත් ජීවිතය දිගට ම පවතී, තව ද මෙම කාලයෙහි වෙනස්කම් කිරීමට අවශ්‍ය වන්නේ ය. අලුත් අභියෝගයන් මුහුණ දීමට තිබේ. තව ද දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල පෙන්නුම් කරන අන්දමකින් ඔබ ජීවත් වන්නේ නම්, ඒවාට මුහුණ දීමෙහි ඔබ තනි නොවනු ඇත.—ගීතාවලිය 37:25; හිතෝපදේශ 3:5, 6.

18-20. පසු කාලවල දී පවා, ජීවිතය අර්ථවත් කළ හැක්කේ කුමන සාධකයන්ට ද?

18 ජීවිතයේ ප්‍රිය නොවන අංගයන් තිබුණත්, කදිම මිත්‍රයන්, අන්‍යයන් වෙනුවෙන් දේවල් කිරීමට තිබෙන අවස්ථාවන්, හොඳ ආහාරයක් භුක්ති විඳීම, මනහර හිරු බැසයාමක්, පක්ෂීන්ගේ ගී ගැයීම, වැනි අපට සතුට ගෙන දිය හැකි බොහෝ දේවල් ඇත. තවදුරටත් අපගේ වර්තමාන තත්ත්වයන් කදිම නොවුවත්, දෙවියන් වහන්සේ දුෂ්ටකම අවසානයකට පමුණුවන බවටත් මනුෂ්‍ය වර්ගයාගෙන් සියලු ම දුක, සංවේගය, අසනීපය සහ මරණය පවා ඉවත් කරන බවටත්, උන් වහන්සේගේ සහතිකය අපට ඇත.—එළිදරව් 21:4.

19 ජීවිතය ගැන බොහෝ සෙයින් ද්‍රව්‍යවාදි මතයක් දරන්නා වූ තැනැත්තෙකුට තමාගේ සැඳෑ සමය ඉතා නිෂ්ඵල බව දැනීමට හැකි වීම නම් සැබෑවකි. “සියල්ල නිෂ්ඵලකමය” කියා පැවසීම මගින් එවැනි ජීවත් වීමක ප්‍රතිඵල, දේශනාකාරයා පොත ලියූ ලේඛකයා විස්තර කරයි. (දේශනාකාරයා 12:8) එහෙත්, ආබ්‍රහම් සහ ඊසාක් වැනි, ඇදහිලිවන්ත මනුෂ්‍යයන් පිළිබඳ ව, බයිබලය පවසන්නේ, ඔවුන් “මහලුව දවස් සපූර්ණව [තෘප්තිමත් ව NW]” තම ජීවිතවල අවසානයකට පැමිණි බවයි. (උත්පත්ති 25:8; 35:29) මේ වෙනස ඇති කළේ කුමක් ද? දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල මෙම මනුෂ්‍යයන්ට තිබුණි. දෙවියන් වහන්සේගේ නියමිත කාලයෙහි මළවුන් නැවත ජීවත්වන බවට ඔවුන් විශ්වාස කළ අතර, සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා ධර්මිෂ්ඨ ආණ්ඩුවක් දෙවියන් වහන්සේ ම පිහිටුවන්නා වූ කාලය දෙස ඔවුහු බලා සිටියහ.—හෙබ්‍රෙව් 11:10, 19.

20 ඔබගේ තත්ත්වය තුළ පවා, ඔබ අවට ඇත්තා වූ බොහෝ යහපත් දේ ගැන හා දෙවියන් වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ට සූදානම් කර ඇත්තා වූ පුදුමාකාර අනාගතය ගැන වර්තමානයේ ගැටලු ඔබ ව අන්ධ කිරීමට අවකාශ නොදෙන්නේ නම්, ඔබගේ ජීවිතයට අර්ථවත් බවක් ලැබෙන අතර, මෙසේ ජීවිතයේ සැඳෑ සමයේ මුළුල්ලේ ම ඔබ සෑම දවසක් පාසා තෘප්තියට පත්වනු නියත ය.

[176වන පිටුවේ පින්තූරය]

ජීවිත දෙකක් එකට සම්බන්ධවන තරමට දෙදෙනා එක්කෙනෙක් වේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න