2වන කොටස
ජලගැල්මේ සිට ඊජිප්තුවෙන් ගැළවීම දක්වා
ජලගැල්මෙන් බේරුණේ අටදෙනෙක් විතරයි. ඒ වුණාට කාලයක් යද්දී ඒ ගණන, දසදහස් ගණනින් වැඩි වුණා. ජලගැල්මෙන් අවුරුදු තුන්සිය පනස්දෙකකට පස්සේ, ආබ්රහම් ඉපදුණා. දෙවි ආබ්රහම්ට ඊසාක් කියලා පුතෙක් දීලා, ඔහු තමන්ගේ පොරොන්දුව ඉටු කරපු හැටි අපි ඉගෙනගන්න යනවා. ඊට පස්සේ, ඊසාක්ගේ පුත්තු දෙන්නාගෙන් දෙවි යාකොබ්ව තෝරාගත්ත හැටිත් ඉගෙනගන්න යනවා.
යාකොබ්ට හිටියා ලොකු පවුලක්. එයාට පුත්තු 12දෙනෙක් හා දුවලා කිහිපදෙනෙකුත් හිටියා. යාකොබ්ගේ පුත්තු 10දෙනා ඒගොල්ලන්ගේ මල්ලිට, ඒ කියන්නේ යෝසෙප්ට වෛර කරපු නිසා එයාව ඊජිප්තුවේ වහලෙක් හැටියට වික්කා. පස්සේ කාලෙක, යෝසෙප් ඊජිප්තුවේ වැදගත් ආණ්ඩුකාරයෙක් වුණා. ලොකු කෑම හිඟයක් ආවාම, අයියලා දැන් හොඳ අය වෙලාද කියලා බලන්න, යෝසෙප් ඒගොල්ලන්ව පරීක්ෂා කළා. අන්තිමේදී යාකොබ්ගේ මුළු පවුලම, ඒ කියන්නේ මුළු ඉශ්රායෙල් ජාතියම, ඊජිප්තුවේ ජීවත් වෙන්න ගියා. මේක වුණේ ආබ්රහම් ඉපදිලා අවුරුදු දෙසිය අනූවකට පස්සේ.
ඊළඟ අවුරුදු දෙසිය පහළොවම ඉශ්රායෙල් ජාතිය ජීවත් වුණේ ඊජිප්තුවේ. යෝසෙප් මැරුණට පස්සේ, ඒගොල්ලන් එහේ වහල්ලු වුණා. කාලයක් ගියාම, මෝසෙස් ඉපදුණා. ඊජිප්තුවෙන් ඉශ්රායෙල් ජාතිය නිදහස් කරන්න දෙවි පාවිච්චි කළේ එයාවයි. මේ ඔක්කොම එකතු කෙරුවොත්, අවුරුදු අටසිය පනස්හතක ඉතිහාසයක් ගැන දෙවෙනි කොටසේ කියවෙනවා.