සංචාරක අවේක්ෂකයෝ—සත්‍යය තුළ හවුල් වැඩකරුවෝ
පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවෙහි, ගොඩනැංවීම සඳහා සභාවන් බැහැ දුටු සංචාරක අවේක්ෂකයෝ සිටියහ. සභාවන්හි සිටින්නන්ට දෙවියන් වහන්සේට යෝග්‍ය ලෙස අඛණ්ඩ ව හැසිරීමට ආධාර කරනු සඳහා පුද්ගලික ලාභය නොසොයමින් ඔවුහු තමන් ව ම දුන්හ.—ක්‍රියා 11:23, 24; 14:21, 22; 15:32; 20:2, 31-35; පිලිප්පි 2:20-22, 29; 1 තෙසලෝනික 2:5-12.
අද දින ද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභා, සංචාරක අවේක්ෂකයින්ගේ ප්‍රයෝජනය ලබති. මෙම මනුෂ්‍යයින්ට ආවේක්ෂයින් වශයෙන් සහ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේශනා කටයුතු තුළ බොහෝ අවුරුදු ගණනක පලපුරුද්ද ඇත. පුර්ණ-කාලීන සේවය සඳහා තමන් ව ම ඔප්පු කරගනු පිණිස, ලෞකික වැඩවලින් සහ ගෙදර දොරේ වගකීම්වලින් ඔවුහු තමන් ව ම නිදහස් කර ගත්හ. විවාහවූවන් වුවත්, සිරිතක් ලෙස, භාර්යාවනුත් තම සැමියන් සමඟ පූර්ණ-කාලීන සේවයෙහි සහභාගි වී ඇත.
සභාවන් 18 සිට 25ක් පමණ සහිත චාරිකාවක් භාර ව සිටීමට චාරිකා අවේක්ෂකයෙකු පත් කෙරේ. ඔහු චාරිකාවෙහි සෑම සභාවක් ම වසරකට දෙවතාවක් පමණ බැහැ දකින අතර අවුරුදු දෙක තුනකට පසුව වෙනත් චාරිකාවකට පත් කරනු ලැබේ. මෙමගින් සභාවනට වෙනස් චාරිකා අවේක්ෂකයින්ගේ, විවිධ වන්නා වූ පලපුරුද්දෙන් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ලබා ගත හැක.
චාරිකා අවේක්ෂක සභාවේ ආත්මික තත්ත්වය සහ එහි වැඩ කටයුතු පරීක්ෂා කර බලයි. ඔහු කථා කිහිපයක් සභාවට දෙන අතර, සභාවෙහි ඔවුන්ගේ සේවය දියුණු කළ හැක්කේ කෙසේදැයි සලකා බැලීම පිණිස වැඩිමහල්ලන් සහ උපස්ථා සේවකයින් සමඟත් රැස් වෙයි.
ඔහු විවාහ වී සිටී නම්, සතිය තුළ දී, ඔහු සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනා ම, ඔවුන්ගේ ගෙයින්-ගෙට සේවයෙහි දියුණු වීමට ආධාර කරමින් ප්‍රදේශයේ සාක්ෂිකරුවන් කැටුව යති. ඔහු සහ ඔහුගේ බිරිඳ අලුතින් උනන්දුව දැක්වූ ජනයා ඇදහිල්ලෙහි ඔවුන් දිරිමත් කරනු සඳහා, බැහැ දැකීම පිණිස යති. ඔබට එවැනි බැහැ දැකීමක් ඉල්ලිය හැක.
පළාත් අවේක්ෂක ද, සමාන ආත්මික සුදුසුකම් සහ පලපුරුද්දේ පසුතලයක් ඇති ව සිටී. චාරිකා සමුළු සම්බන්ධ සේවාවන් ඉටු කරමින් සෑම සතියක ම, ඔහු චාරිකාවෙන් චාරිකාවට ගමන් කරයි. චාරිකාවෙහි තමන් බැහැදකින සභාවන්ගෙන් එකක දී ඔහු සහ ඔහුගේ බිරිඳ සාක්ෂිකරුවන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහිත් වැඩ කරනු ඇත. ඔහු චාරිකා රැස්වීම් වැඩ සටහනේ අවසන් පිළියෙල කිරීම පරිපාලනය කරමින්, ප්‍රසිද්ධ කථාව ඇතුළු ව කථා කිහිපයක් දෙයි.
සංචාරක අවේක්ෂයින්, සභාවක හෝ චාරිකාවක තම බැහැදැකීම අවසන් කළ විට, එම පිළිවෙළ ම අනුගමනය කරමින්, සමසක් තුළ දී පමණ, සියලු ම සභාවන් සහ චාරිකාවන් බැහැදකිනු ලබන තෙක්, නොකඩවා වෙන එකක් බැහැදැකීමට යනු ඇති අතර, එවිට ඔවුන් නැවත මුල සිට පටන් ගනු ඇත.
බොහෝ රටවල සංචාරක අවේක්ෂකයෝ මෝටර් රථයෙන් ගමන් කරති, නැතහොත් මහජන ප්‍රවාහන සේවා පාවිච්චි කරති. තවත් රටවල ඔවුහු පාපැදියක් යොදා ගනු ඇත. නැතිනම් පයින් ගමන් කරති. සංචාරක අවේක්ෂකගේ ගමන් වියදම් සමිතිය විසින් දරනු ලබන අතර, ඔහු සහ ඔහුගේ බිරිඳගේ පුද්ගලික අවශ්‍යතා සඳහා සුළු දීමනාවක් ද සපයනු ලැබේ. සිරිතක් ලෙස සංචාරක අවේක්ෂක සහ ඔහුගේ බිරිඳට ආහාර සහ නැවතීම් පහසුකම් එකිනෙක සභාවන්හි සාමාජිකයින් විසින් සපයනු ලැබේ.
මෙම සේවය ආත්ම-පරිත්‍යාගශීලී භාවයක් කැඳවයි. සංචාරක අවේක්ෂකයෝ සහ ඔවුන්ගේ භාර්යාවෝ සභාවන් මත මිල අධික බරක් නොපටවා තම සේවය පුද කිරීමට අධිෂ්ඨාන කර සිටිති.—1 තෙසලෝනික 2:9.
• පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවේ සංචාරක අවේක්ෂකයින්ගේ අරමුණ කුමක් වී ද?
• සංචාරක අවේක්ෂකයින් අද සුදුසුකම් ලැබීමට පැමිණ සහ සේවය සඳහා තමන් ව ඉදිරිපත් කරගෙන ඇත්තේ කෙසේ ද?
• චාරිකා සහ පළාත් අවේක්ෂකයන්ගේ සේවය සහ ඔවුන් ජීවත් වන්නේ කෙසේදැයි විස්තර කරන්න.
[20වන පිටුවේ පින්තූරය]
පළාත් අවේක්ෂක චාරිකා සමුළුවක් අමතයි
[21වන පිටුවේ පින්තූර]
චාරිකා අවේක්ෂකයෝ ගෙයින්-ගෙට දේශනාවෙහි උපදෙස් දෙති, සභා වැඩිමහල්ලන්ට කථා කරති, අලුතින් උනන්දුවක් දැක්වූවන් සමඟ බයිබල් පාඩම්වලට යති, සභාවන් අමතති