නව ලොවක සාමකාමී ජීවිතයක්
මෙම පත්‍රිකාවෙහි දර්ශනය ඔබ දකින විට, ඔබට ඇති වී තිබෙන්නේ කුමන හැඟීම් ද? එහි දකින්නා වූ සාමය, ප්‍රීතිය සහ සෞභාග්‍යය සඳහා ඔබේ හෘදය මහත් සේ ආශා නොකරන්නෙහි ද? නිසැකව ම එසේ ය. එහෙත් පොළොව මත කවදා නමුත් මෙම තත්ත්වයන් පවතියි කියා විශ්වාස කිරීම මනඃ කල්පිතයක් හෝ එය නිකම් ම සිහිනයක් ද?
පෙනෙන හැටියට බොහෝ දෙනා එසේ සිතිය හැක. අද දින සත්‍යයන් නම් යුද්ධ, අපරාධ, සාගින්න සහ මහලු වයසට යෑම —සඳහන් කළ හැකි කිහිපයක් පමණි. එහෙත් බලාපොරොත්තුවක් තැබිමට හේතුවක් ඇත. අනාගතය දෙසට බලමින් බයිබලය පවසන්නේ “ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද ඔහුගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.” 2 පේතෘස් 3:13; යෙසායා 65:17.
මෙම “නව අහස” සහ “නව පොළොව,” බයිබලයට එකඟව, නව භෞතික අහසක් හෝ නව පදගතාර්ථ පොළොවක් නොව. භෞතික පොළොව සහ අහස සම්පූර්ණ ව සාදා ඇති අතර, බයිබලය පෙන්නුම් කරන්නේ ඒවා සදහට ම පවතින බව යි. (ගීතාවලිය 89:36, 37; 104:5) “නව පොළොව” වන්නේ පොළොව මත වසන ධර්මිෂ්ඨ මනුෂ්‍යය සමාජය යි. “නව අහස” වන්නේ මෙම භූමික මනුෂ්‍යය සමාජය කෙරෙහි පාලනය කරනු ලබන, සම්පූර්ණ ස්වර්ගීක රාජ්‍යයක් හෝ ආණ්ඩුව කි. එහෙත් “නව පොළොවක්,” හෝ මහිමාන්විත නව ලොවක්, විය හැකි යයි විශ්වාස කිරීම යථාර්ථානුරූපී ද?
හොඳයි, එවැනි උත්කෘෂ්ට තත්ත්වයන් මේ පොළොව සඳහා දෙවිගේ මුල් අරමුණෙ හි කොටසක් ය යන කාරණය සලකා බලමු. ඔහු මුල් මනුෂ්‍යය යුවළ ඒදන් හි භූමික පාරාදීසයේ පදිංචි කර, “නුඹලා දරු සම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න,” යන ආශ්චර්යමත් වැඩය පැවරීය. (උත්පත්ති 1:28; පො.න.අ.) ඔව්, දෙවිගේ අරමුණ වූයේ ඔවුන්ට දරුවන් ලබා ගෙන අවසානයේ දී තම පාරාදීසය මුළු පොළොව පුරා පැතිරවීම ය. එසේ වුවත් දෙවිට අකීකරු වීමට ඔවුන් තෝරා ගත් හ. මෙලෙස සදා වාසයට නුසුදුසු බව ඔප්පු කිරීමෙන්, දෙවිගේ මුල් අරමුණ වෙනස් වූයේ නැත. තවද නව ලොවක් තුළ එය ඉටු විය යුතු ය!—යෙසායා 55:11.
ඇත්තවශයෙන් ම, දෙවිගේ රාජ්‍යය පැමිණේවා, කියා ඔබ ස්වාමින්ගේ යාච්ඤාව හෝ පරමණ්ඩලයේ යාච්ඤාව යාච්ඤා කරන විට, පොළොවෙන් දුෂ්ටකම ඉවත් කර මෙම නව ලෝකය කෙරෙහි ඔහුගේ ස්වර්ගීක ආණ්ඩුව පාලනය කිරීමට ඔබ යාච්ඤා කරයි. (මතෙව් 6:9) තවද, “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකරගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය,” කියා ඔහුගේ වචනය පොරොන්දු වන බැවින්, දෙවි එම යාච්ඤාවට පිළිතුරු දෙන බව අපට විශ්වාස කළ හැක.—ගීතාවලිය 37:29.
දෙවිගේ නව ලොවෙහි ජීවිතය
දෙවියන් ඔහුගේ සෙනඟ හට පොළොව මත භුක්ති විඳීම සඳහා මුලින් අරමුණු කළ සෑම යහපත් දෙයම ඉටු කරමින්, දෙවිගේ රාජ්‍යය සමාන කළ නොහැකි භුමික ප්‍රයෝජන ගෙන ඒ. බද්ධ වෛරයන් සහ අගතීන් පැවැත්මෙන් තොර වන අතර, අවසානයේ දී පොළොවෙහි වසන සෑම කෙනෙක් ම අන් සෑම කෙනෙකුගේ ම සැබෑ මිත්‍රයෙකු වන්නේ ය. බයිබලයෙහි, දෙවි පොරොන්දු වන්නේ ඔහු ‘පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය’ කියා ය. “ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙන ගන්නේවත් නැත.”—ගීතාවලිය 46:9; යෙසායා 2:4.
අවසානයේ දී මුළු පොළොව උයනක් බඳු පාරාදීස තත්ත්වයකට පත් වේ. බයිබලය පවසන්නේ: “වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය. . . . .මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳ එන්නේය. මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය.”—යෙසායා 35:1, 6, 7.
පාරාදීස පොළොවේ ප්‍රීතිය භුක්ති විඳීමට සෑම හේතුවක් ම ඇත. ජනයා නැවත කිසිදා කෑම හිඟය නිසා සාගින්නෙන් නොපෙළෙති. “පොළොව ඵලදාව බහුල ව නිපද විය,” යයි බයිබලය පවසයි. (ගීතාවලිය 67:6; 72:16 පො. න. අ.) සියල්ලන් තම වෙහෙසේ ඵල භුක්ති විඳිති. අපගේ මැවුම්කරුවාණන් පවසන පරිදි: “ඔව්හු මිදිවතු වවා එහි ඵල කන්නෝය. . ..ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත.”—යෙසායා 65:21,22.
දෙවිගේ නව ලොවෙහි, තවදුරටත් කාමර පෙළවලින් යුත් විශාල ගොඩනැගිලිවල හෝ පහත් තත්ත්වයෙ හි වූ මුඩුක්කු තුළ ජනයා තදබද වී නොසිටිනු ඇත. මන්ද දෙවි අරමුණු කර තිබෙන්නේ: “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසය කරන්නෝය;. . . ඔවුන් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් නැත.” බයිබලය ද පොරොන්දු වන්නේ: “ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් නැත,” කියා ය. (යෙසායා 65:21-23) මෙලෙස ජනයා හට ඵලදායී, සෑහීම ගෙන දෙන වැඩ ඇත. ජීවිතය නීරස වන්නේ නැත.
නියමිත වෙලාවේ දී, දෙවිගේ රාජ්‍යය සතුන් අතර සහ සතුන් සහ මනුෂ්‍යයින් අතර ඒදන් උයනෙහි පැවති සාමකාමී සබඳතාවයන් පවා නැවත පිහිටුවනවා ඇත. බයිබලය පවසන්නේ: “වෘකයා බැටළුපැටවා සමඟ වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමඟ ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය.”—යෙසායා 11:6-9; හොෂෙයා 2:18.
නිකම් සිතා බලන්න, පාරාදීස පොළොවෙහි සියලු අසනීප සහ ශාරීරික ආබාධ ද සුව කරනු ලබයි! දෙවිගේ වචනය අපට සහතික වන්නේ: “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24) “ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියළු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬිමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.
එය ඔබට හැකි වන ආකාරය
ඔහුගේ ධර්මිෂ්ඨකමෙන් යුත් නව ලොවෙහි ජීවිතය සම්බන්ධ ව දෙවිගේ පොරොන්දූ මගින් නිසැකව ම ඔබේ හෘදය පෙළඹිය යුතු ය. එවැනි ආශිර්වාද සැබෑ වීමට හොඳ වැඩි යයි අවබෝධ කරගනිමින් සමහරු සැලකිය හැකි අතරතුර, අපගේ ප්‍රේමණීය මැවුම්කරුවාණන්ගේ හස්තයෙන් පැමිණීමට ඒවා හොඳ වැඩි නොවේ. ගීතාවලිය 145:16; මීකා 4:4.
සැබවින් ම, පැමිණෙන්නා වූ පාරාදීස පොළොව මත අපට ජීවත් වීමට නම් ඉටු කළ යුතු අවශ්‍යතාවයන් ඇත. දෙවිට යාච්ඤා කරන විට, යේසුස් ප්‍රධාන එකක් සේ පෙන්නුම් කළේ: “සදාකාල ජීවනය නම් මේය_ එකම සැබෑ වූ දෙවි වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳින ගැනීම ය.”—යොහන් 17:3.
එමනිසා දෙවිගේ නව ලොවෙහි ජීවත් වීමට ඇත්තටම අපට අවශ්‍ය නම්, ප්‍රථමයෙන් අප දෙවිගේ වචනය ඉගෙනගෙන ඉන්පසු එය ක්රීයාත්මක කළ යතු ය. මන්ද සත්‍යයක් නම්: මෙම “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නුමුත් දෙවිගේ කැමැත්ත කරන්නා,” අපගේ ප්‍රේමණීය මැවුම්කරුවාණන් විසින් වගුරුවනු ලබන ආශිර්වාද සදහට ම භුක්ති විඳීමට, “සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17.
වෙනත් ආකාරයකින් වෙන්කොට දක්වා නැතිනම්, මෙහි සඳහන් බයිබල් පද රැගෙන තිබෙන්නේ ලංකා බයිබල් සමාගම මගින් ප්‍රචාරය කර තිබෙන 1938 දී පළකරන ලද ප්‍රතිසංස්කෘත පරිවර්තනයෙනි.