ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • dg 10 කොටස 22-28 පි.
  • දෙවි පොරොන්දු වී ඇති පාරාදීසය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි පොරොන්දු වී ඇති පාරාදීසය
  • අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ධර්මිෂ්ඨකම රජයයි
  • නිරෝගී ජීවිතයක්
  • මිය ගිය අයට නැවතත් ජීවිතය
  • සාමය රජයන ලොවක්
  • පොළොව පාරාදීසයක් වෙයි
  • දෙවි සලසන සහනය
  • නව ලොවක සාමකාමී ජීවිතයක්
    නව ලොවක සාමකාමී ජීවිතයක්
  • දෙවි දුක් වේදනා නිම කරන කාලය ආසන්නයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ රාජ්‍යය මගින් ඉටු වන දේ
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනාගතය ගැන සඳහන් අනාවැකි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
dg 10 කොටස 22-28 පි.

10වන කොටස

දෙවි පොරොන්දු වී ඇති පාරාදීසය

1, 2. දෙවි මෙම පොළොවෙන් දුෂ්ටකම ඉවත් කළායින් පසුව සිදු වන්නේ කුමක්ද?

දෙවි මේ පොළොවෙන් දුෂ්ටකම ඉවත් කළායින් පසුව සිදු වන්නේ කුමක්ද? ඉන්පසුව නව යුගයක් උදා වෙනවා. දෙවිට විශ්වාසවන්තව සිටිමින් දිවි ගලවාගත් අයට එම නව යුගයේ ආරම්භය දැකිය හැකියි. දෙවිගේ පාලනය යටතේ ජීවත් වෙමින් ඔහු ලබා දෙන ආශීර්වාද භුක්තිවිඳින මිනිස් වර්ගයාට ඒ නව යුගය මොන තරම් ප්‍රීතිමත් අද්දැකීමක් වෙයිද!

2 ඔවුන් දෙවිගේ රාජ්‍යයේ මඟ පෙන්වීම යටතේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමට කටයුතු කරනවා. එදාට කිසිම කෙනෙක් ආත්මාර්ථකාමී ආකාරයකින් ක්‍රියා කරන්නේ නැහැ. ප්‍රතිඵලයක් ලෙස මේ පොළොව ඉතා අලංකාර වූ සාමයෙන් පිරි නිවහනක් බවට පත් වෙනවා.

ධර්මිෂ්ඨකම රජයයි

3. යක්ෂයාගේ දුෂ්ට සමාජය විනාශ වීමත් සමඟම මිනිසාට දැනෙන්නේ මොන වගේ සහනයක්ද?

3 මේ පොළොව පාරාදීසයක් බවට පත් වෙන්නේ යක්ෂයාගේ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වුණායින් පසුවයි. එදාට මිනිසුන්ව භේද කරවන බොරු උගන්වන ආගම්, දේශපාලනය සහ සමාජීය තරාතිරම් වැනි දේවල් පවතින්නේ නැහැ. එමෙන්ම මිනිසුන්ව නොමඟ යැවීම සඳහා යක්ෂයා යොදාගන්නා සෑම දෙයක්ම නැත්තටම නැති වී යනවා. ඒ නිසා යක්ෂයාගේ බොරු ප්‍රචාරවලින් මිනිසුන් තවදුරටත් නොමඟ යන්නේ නැහැ. යක්ෂයා මේ ලෝකයේ ඇති කර තිබෙන භයානක වාතාවරණය සම්පූර්ණයෙන්ම නැති වූවායින් පසුව මිනිස් වර්ගයාට මොන තරම් සහනයක් අද්දකින්න ලැබෙයිද!

4. අදට වඩා වෙනස්ව පාරාදීසයේදී මිනිසුන් ඉගෙනගන්නා දේවල සිදු වන වෙනස විස්තර කරන්න.

4 ඒ කාලයේදී මිනිසුන්ගේ විනාශකාරී අදහස් උගන්වනු ලබන්නේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවිගේ ඉගැන්වීම්වලින් මුළු මිනිස් වර්ගයාම ප්‍රයෝජන ලබනවා. ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිම මෙසේ පවසා තිබෙනවා. “ඔබේ සියලු දරුවන්ට යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.” (යෙසායා 54:13) නිතිපතාම යෙහෝවා දෙවි විසින් උගන්වනු ලබන නිසා ‘ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී’ යයි කියා බයිබලයේ සඳහන් වදන් එදාට ඉටු වෙනවා. (යෙසායා 11:9) ඒ කාලයේදී මිනිසුන් දුෂ්ටකම් ගැන ඉගෙනගන්නවා වෙනුවට ‘ධර්මිෂ්ඨකම කුමක්ද කියා තේරුම්ගන්නා’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 26:9) ධර්මිෂ්ඨකම රජයන ඒ කාලයේදී මිනිසුන්ගේ සිතුවිලි හා ක්‍රියාවන් පවා තිබෙන්නේ ඉතා යහපත් තත්වයකයි.—ක්‍රියා 17:31; ෆිලිප්පි 4:8.

5. දුෂ්ටකමට සහ දුෂ්ටයන්ට සිදු වන්නේ කුමක්ද?

5 ඒ කාලයේදී මිනීමැරුම්, ප්‍රචණ්ඩ ක්‍රියා, ලිංගික අපචාර, සොරමැරකම් හෝ වෙනත් අපරාධ ගැන අසන්නවත් ලැබෙන්නේ නැහැ. දුෂ්ට මිනිසුන් මෙලොවින් තුරන් වී යන නිසා ඔවුන්ගේ නපුරු ක්‍රියාවලින් කිසිම කෙනෙක් දුක් විඳින්නෙත් නැහැ. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨයාව සොලවන්න කිසිවෙකුට නොහැක. එහෙත් දුෂ්ටයන්ට සැමදාමත් පොළොවේ ජීවත් වීමට ඉඩ නොලැබේ.”—හිතෝපදේශ 10:30.

නිරෝගී ජීවිතයක්

6, 7. (අ) දෙවිගේ රාජ්‍යය නිමාවක් ගෙනෙන්නේ කුමකටද? (ආ) එය සැබවින්ම සිදු වන බව යේසුස් කළ දේවලින් පැහැදිලි වෙන්නේ කෙසේද?

6 දෙවිගේ රාජ්‍යයේ පාලනය යටතේ මිනිසුන් ලෙඩ වෙන්නේවත් වයසට යන්නේවත් නැහැ. නමුත් වර්තමානයේ තිබෙන තත්වය ඊට වඩා වෙනස්. පුද්ගලයෙකුට යම් ප්‍රමාණයක නිරෝගී සෞඛ්‍යයක් තිබුණත් ඔහු වයසට යෑමත් සමඟම එය වෙනස් වෙනවා. ක්‍රමානුකූලව ඔහුගේ ඇස් පෙනීම දුර්වල වෙනවා. දත් දිරනවා. ඇසීමේ හැකියාව දුර්වල වෙනවා. සම රැළි වැටී ශරීරයේ අවයවයන් දුබල වෙනවා. අවසානයේදී ඔහු මිය යනවා.

7 මුල් මිනිස් යුවළ නිසා අද මිනිසුන්ට අද්දකින්න සිදු වී තිබෙන ලෙඩ දුක් පාරාදීස පොළොවේදී කෙදිනකවත් අද්දැකීමට සිදු වන්නේ නැහැ. දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ලෙඩ දුක් සියල්ල තුරන් කර දමනවා. ඒ දේ කිරීමට තමාට හැකියාව තිබෙන බව ඔහු පොළොවේ සිටියදී ඔප්පු කර පෙන්වූවා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘මහත් සමූහයක් කොර වූ මිනිසුන්වද අබ්බගාත අයවද අන්ධ මිනිසුන්වද ගොළු මිනිසුන්ව හා වෙනත් රෝගවලින් පෙළුණු බොහෝ අයවද රැගෙන කඩිමුඩියේ යේසුස් වෙතට පැමිණ ඔවුන්ව ඔහුගේ පාමුල තැබූහ. ඔහු ඔවුන් සියල්ලන්ව සුව කළේය. එවිට ගොළු මිනිසුන් කතා කරන බවද කොර වූ මිනිසුන් ඇවිදින බවද අන්ධ අයට පෙනීම ලැබී ඇති බවද දුටු සමූහයා විස්මයට පත් විය.’—මතෙව් 15:30, 31.

8, 9. පාරාදීස පොළොවේදී සියලුදෙනාටම සෞඛ්‍යසම්පන්න ජීවිතයක් භුක්තිවිඳීමට ලැබෙන විට ඔවුන් අද්දකින ප්‍රීතිය විස්තර කරන්න.

8 පාරාදීස පොළොවේදී සියලුම අසනීපවලට නිමාවක් ලැබීම මොන තරම් සතුටක්ද! ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.” “ඒ කාලයේදී අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය. කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය.”—යෙසායා 33:24; 35:5, 6.

9 දිනෙන් දින ඔබේ ශරීර සෞඛ්‍යය නිරෝගී වන බව ඔබට දැනෙන විට ඔබ ඒ ගැන කොතරම් සතුටු වෙයිද! මහලු වියේ සිටින අයට නැවතත් යොවුන් ශක්තියෙන් පිරිපුන් ජීවිතයක් ගත කරන්න හැකි වෙනවා. එමෙන්ම ඔවුන් මුල් මිනිස් යුවළ මෙන් පරිපූර්ණ තත්වයකටද පත් වෙනවා. ඇත්තෙන්ම එය මොන තරම් සතුටක්ද! ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහුගේ සම දරුවෙකුගේ සමට වඩා මෘදු වන්නේය. ඔහු නැවත තරුණ වියට පැමිණෙන්නේය.” (යෝබ් 33:25.) ඇස් කණ්ණාඩි, ශ්‍රව්‍යාධාරක, කිහිලිකරු, හැරමිටි, රෝද පුටු, ඖෂධ, රෝහල් සහ වෛද්‍යවරුන් ඒ කාලයේදී තවත් අවශ්‍ය වන්නේ නැහැ. එය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වේවිද!

10. මරණයට සිදු වන්නේ කුමක්ද?

10 පාරාදීස පොළොවේදී සියලුදෙනාටම නිරෝගී සෞඛ්‍යයක් ලැබෙන නිසා කිසිම කෙනෙකුට ජීවිතය තිත්ත වෙන්නේ නැහැ. එමෙන්ම මුල් මිනිස් යුවළ නිසා උරුම වූ පව්කාර ස්වභාවයෙන් සියලුදෙනාම නිදහස ලබන නිසා කිසිම කෙනෙක් මිය යන්නේද නැහැ. මරණයට සිදු වන දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි සියලු සතුරන් ඔහුගේ [එනම් යේසුස්ගේ] පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි. ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.” එමෙන්ම ‘දෙවි අපට සදාකාල ජීවනය’ නමැති ත්‍යාගය ලබා දෙන බවත් බයිබලයේ සඳහන් වෙනවා.—1 කොරින්ති 15:25, 26; රෝම 6:23; යෙසායා 25:8.

11. පාරාදීස පොළොවේ අද්දකින්න ලැබෙන ආශීර්වාද එළිදරව් පොතේ විස්තර කර තිබෙන්නේ කෙසේද?

11 පාරාදීස පොළොවේදී මිනිසාට ලැබෙන ආශීර්වාද ගැන බයිබලයේ එළිදරව් පොතේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

මිය ගිය අයට නැවතත් ජීවිතය

12. මිය ගිය අයට නැවත ජීවිතය දෙන්න තමන්ට හැකි බව යේසුස් පෙන්නුම් කළේ කෙසේද?

12 රෝගීන්ව සුව කරනවාට අමතරව යේසුස් මිය ගිය අයට පවා නැවත ජීවිතය ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් එක් උදාහරණයක් සලකා බලන්න. දිනක් යේසුස් මිය ගොස් සිටි දැරියකගේ අතින් අල්ලා “දුවේ, දැන් නැඟිටින්න” කියා පැවසුවා. එවිට “ඒ දැරිය ඒ මොහොතේදීම නැඟිට ඇවිදින්න පටන්ගත්තා.” එතැන රැස් වී සිටි සෙනඟ එය දැකීමෙන් ‘ඉමහත් ප්‍රීතියකින් ඉපිල ගියා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. යේසුස්ට එවැනි දෙයක් කිරීමට හැකි වුණේ දෙවි ඔහුට බලය දී තිබූ නිසයි.—මාක් 5:41, 42; ලූක් 7:11-16; 11:1-45.

13. නැවත නැඟිටුවනු ලබන්නේ කාවද?

13 පාරාදීස පොළොවේදී ‘ධර්මිෂ්ඨ අය මෙන්ම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව’ බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 24:15) ඒ කාලයේදී යේසුස්, දෙවිගෙන් ලැබී තිබෙන බලය උපයෝගී කරගෙන මිය ගොස් සිටින අයට නැවතත් ජීවිතය ලබා දීමට නියමිතයි. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි. මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.” (යොහන් 11:25) එමෙන්ම ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම [එනම් දෙවිගේ මතකයේ සිටින අයට] ඔහුගේ [එනම් යේසුස්ගේ] හඬ ඇසෙන කාලය පැමිණි’ විට ඔවුන් “නැවත නැඟිටීමක් ලබන” බවත් යේසුස් පැවසුවා.—යොහන් 5:28, 29.

14. මරණයත් සමඟම නැති වී යන දේවල් මොනවාද?

14 මිය ගිය අය නැවත ජීවත් වන විට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට හා හිත මිතුරන්ට මොන තරම් සතුටක් දැනෙයිද! වේදනා ගෙන දෙන මරණ දැන්වීම් තවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුතින් නැවත නැඟිටුවනු ලැබූ අය ගැන ආරංචි වීමෙන් සියලුදෙනාම ඉමහත් ප්‍රීතියක් අද්දකීවි. එදාට මළ ගෙවල්, අවමංගල්‍ය ශාලා සහ සුසාන භූමි තවත් දකින්න ලැබෙන්නේ නැහැ.

සාමය රජයන ලොවක්

15. මීකා පොතේ සඳහන් අනාවැකිය ඉටු වන්නේ කෙසේද?

15 ඒ කාලයේදී යුද්ධයට උල්පන්දම් දෙන මිනිසුන් හෝ අවි නිපදවන අය නැති නිසා කිසි දිනක යුද්ධ ඇති වන්නේ නැහැ. එමෙන්ම ජාති භේද, කුල භේද, වාර්ගික භේද යන සියල්ලත් සම්පූර්ණයෙන්ම නිමා වෙනවා. එමනිසා මුළු පොළොව පුරාම සාමය රජයන බවට කිසිම සැකයක් නැහැ. “ඒ සෙනඟ තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත” කියා බයිබලයේ මීකා පොතේ සඳහන් අනාවැකිය එදාට ඉටු වෙනවා.—මීකා 4:3.

16. දෙවි යුද්ධවලට නිමාවක් ගෙනෙන්නේ කෙසේද?

16 ලේ පිපාසිත යුද්ධ මිනිස් ඉතිහාසයේ බහුලව සිදු වී තිබෙන නිසා යුද්ධ නැති ලොවක් බිහි වෙයි කියා විශ්වාස කිරීම පහසු දෙයක් නොවිය හැකියි. නමුත් එවැනි යුද්ධ ඇති වුණේ මිනිසුන්ගේ පාලනය සහ භූතයන්ගේ බලපෑම නිසා බව අප අමතක නොකළ යුතුයි. කොහොමවුණත් ඉදිරියේදී දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන විට ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එදාට සිදු වන දේ බයිබලයේ විස්තර කර තිබෙන්නේ මෙසේයි. ‘ජනයෙනි, පැමිණ යෙහෝවා දෙවිගේ ක්‍රියා දෙස බලන්න. පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.’—ගීතාවලිය 46:8, 9.

17, 18. පාරාදීස පොළොවේ සතුන් සහ මිනිසුන් අතර පවතින්නේ කුමනාකාරයේ සබඳතාවක්ද?

17 ඒදන් උයනේදී ආදම් සහ ඒවට සතුන්ගෙන් කිසිම හානියක් සිදු නොවුණා හා සමානව පාරාදීස පොළොවේදීත් මිනිසුන්ට සතුන්ගෙන් කිසිම හානියක් සිදු වන්නේ නැහැ. (උත්පත්ති 1:28; 2:19) ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. ‘ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.’—හොෂෙයා 2:18.

18 ඒ ගැන බයිබලයේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත් එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවාද තරුණ කේශර සිංහයාද තර වස්සාද එකට ලගින්නෝය. කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය.” ඒ කාලයේදී සතුන් එකිනෙකා අතරවත් සතුන් සහ මිනිසුන් අතරවත් ගැටුම් ඇති වන්නේ නැහැ. එමෙන්ම “සිංහයාද ගොනා මෙන් පිදුරු කන්නේය” කියාත් බයිබලයේ සඳහන් වෙනවා.—යෙසායා 11:6-9; 65:25.

පොළොව පාරාදීසයක් වෙයි

19. අනාගතයේදී මුළු පොළොවේම සිදු වන වෙනස කුමක්ද?

19 අනාගතයේදී මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙන බව යේසුස් හොඳින්ම දැන සිටියා. ඔහු වධකණුවේ සිටියදී තමන් කෙරෙහි විශ්වාසය තැබූ මිනිසෙකුට ‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා’ කියා පොරොන්දු වුණේ ඒ නිසයි. මුළු පොළොවම පාරාදීසයක් වූ විට සිදු වන වෙනස්කම් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය. මන්ද කාන්තාරයේ දිය උල්පත් බිඳී යයි. පාළුකරයේ ඇළදොළ, ගංගා ගලා බසියි.’—ලූක් 23:43; යෙසායා 35:1, 6.

20. පාරාදීස පොළොවේදී මිනිස් වර්ගයා සාගින්නෙන් පෙළෙන්නේ නැහැ කියා පැවසිය හැක්කේ ඇයි?

20 දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී කිසිම කෙනෙක් සාගින්නෙන් පෙළෙන්නේ නැහැ. බයිබලයේ ඒ සම්බන්ධයෙන් මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.” එමෙන්ම බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “වනයේ ගස්, පලවලින් බර වනු ඇත. දේශයේ කෙත්වතු නියම කලට අස්වැන්නෙන් පිරී යනු ඇත. සියලුදෙනා තම දේශයේ සුරක්ෂිතව වාසය කරන්නෝය.”—ගීතාවලිය 72:16; එසකියෙල් 34:27.

21. දුප්පත්කම, නිවාස ප්‍රශ්න හා නීති විරෝධි ක්‍රියාවලට සිදු වන්නේ කුමක්ද?

21 පාරාදීස පොළොවේදී දුප්පත්කම, නිවාස ප්‍රශ්න හෝ නීති විරෝධි ක්‍රියා නැති නිසා මිනිසුන් දුක් විඳින්නේ නැහැ. එසේ පැවසීමට හේතුව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත.” එමෙන්ම බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”—යෙසායා 65:21, 22; මීකා 4:4.

22. දෙවිගේ පාලනයෙන් ලැබෙන ආශීර්වාද බයිබලයේ විස්තර කර තිබෙන්නේ කෙසේද?

22 දෙවි ඔහුගේ ‘හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරන්නෙහිය’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 145:16) ඒ අනුව පාරාදීස පොළොවේදී මිනිසුන්ට දෙවිගේ ආශීර්වාද බහුල ලෙස භුක්තිවිඳීමට ලැබෙන බව පැහැදිලියි. දෙවි දී තිබෙන මේ පොරොන්දුවෙන් එය තවත් තහවුරු වෙනවා. ‘නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය. ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.’—ගීතාවලිය 37:11, 29.

දෙවි සලසන සහනය

23. මිනිසුන් අද්දුටු දුක් වේදනා සම්බන්ධයෙන් දෙවිගේ රාජ්‍යය ගන්නා පියවර කුමක්ද?

23 පසුගිය අවුරුදු 6,000 පුරා මිනිස් වර්ගයාට සිදු වී තිබෙන හානිය දෙවිගේ රාජ්‍යය තුළින් සම්පූර්ණයෙන්ම ඉවත් කර දමනවා. මිනිසුන් අද්දැක තිබෙන දුක් වේදනාවලට වඩා වැඩියෙන් ඔවුන් දෙවිගේ ආශීර්වාද භුක්ති විඳිනවා. ඒ කාලයේදී කිසිම කෙනෙකුට අතීතයේදී මුහුණ දුන් කටුක අද්දැකීම් මතක් වෙන්නේ නැහැ. දිරිගන්වනසුලු සිතුවිලි සහ යහපත් ක්‍රියාකාරකම් නිසා අමිහිරි මතකයන් ක්‍රමානුකූලව මැකී යනවා.

24, 25. (අ) යෙසායා පොතේ සඳහන් ආකාරයට අනාගතයේදී සිදු වීමට නියමිත කුමක්ද? (ආ) අප අතීතයේ වින්ද දුක් පීඩා මතකයට නැඟෙන්නේ නැහැ කියා පැවසිය හැක්කේ ඇයි?

24 දෙවි මිනිස් වර්ගයාට මෙසේද පොරොන්දු වී තිබෙනවා. “මම අලුත් අහසක්ද [එනම් මිනිසුන්ව පාලනය කිරීමට අලුත් ස්වර්ගික ආණ්ඩුවක්ද] අලුත් පොළොවක්ද [එනම් ධර්මිෂ්ඨ මිනිස් සමාජයක්ද] සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත. දැන් මා කරන්න යන දේ ගැන සිතා හද පත්ලෙන්ම සතුටු වන්න. ඒ සතුට සදහටම ඔබේ සිතෙහි රඳවාගන්න.” “මුළු දේශයම දැන් නිස්කලංක වී ඇත. සතුරු උවදුරුවලින් නිදහස් වී ඇත. එහි වැසියෝ ප්‍රීතියෙන් ගී ගයන්නෝය.”—යෙසායා 14:7; 65:17, 18.

25 මිනිසුන් මෙතෙක් කල් අද්දුටු දුක් ගැහැට සියල්ලම යෙහෝවා දෙවි තම රාජ්‍යය මාර්ගයෙන් ඉවත් කර දමනවා. ඉන්පසුව මිනිස් වර්ගයාට සදහටම ආශීර්වාද ලබා දීමෙන් මිනිසුන් කෙරෙහි ඇති ඔහුගේ හද පිරි සැලකිල්ල මොන තරම්ද කියා දෙවි සියලුදෙනාටම දැනෙන්න සලස්වනවා. ඒ නිසා අප අතීතයේදී අද්දුටු දුක් වේදනා සියල්ල අපේ මතකයටවත් නැඟෙන්නේ නැහැ.

26. අප මෙතෙක් විඳ ඇති දුක් වේදනා දෙවි තුරන් කර දමන්නේ ඇයි?

26 මේ පොළොව මත අපට අද්දැකීමට සිදු වූ සියලුම දුක් වේදනා තුරන් කර දමා දෙවි අපිට ආශීර්වාද කරන ආකාරය ගැන සලකා බැලීම මොන තරම් සහනයක්ද! ඇත්තෙන්ම අපට පාපය උරුම වී තිබෙන්නේ අප අතින් සිදු වූ වරදක් නිසා නොව මුල් මිනිස් යුවළ කළ වරදක් නිසා බව දෙවි දන්නවා. එමෙන්ම යක්ෂයාගේ පාලනය යටතේ පවතින මේ ලෝකයේ අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේද මුල් මිනිස් යුවළ දෙවිට අකීකරු වූ නිසයි. ඔවුන් දෙවිට කීකරු වුණා නම් අප සියලුදෙනාටම පාරාදීස පොළොවක ඉපදෙන්න අවස්ථාව තිබුණා. එමනිසා මහත් දයානුකම්පාවෙන් යුතුව දෙවි ඒ සෑම අමිහිරි දෙයක්ම ඉවත් කර දමනවා. ඔහු අපට ලබා දෙන ආශීර්වාද හා සසඳන විට අපට අද්දැකීමට සිදු වූ දුක් වේදනා කිසිත් නැති තරම්!

27. පාරාදීස පොළොවේ ඉටු වන්නේ බයිබලයේ සඳහන් කුමන වදන්ද?

27 පාරාදීස පොළොවේදී මිනිස් වර්ගයාට බයිබලයේ සඳහන් මේ වදන්වල ඉටුවීම අද්දැකීමට ලැබෙනවා. “පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වී, දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත.” (රෝම 8:21, 22) එමෙන්ම යේසුස් ඉගැන්වූ මෙම යාච්ඤාවේ සඳහන් වදන්වල ඉටු වීමත් එදාට දැක බලාගැනීමට ලැබෙනවා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙව් 6:10) ඉන් අදහස් වෙන්නේ ස්වර්ගයේ තිබෙන තත්වයට සමාන සතුටුදායක තත්වයක් පාරාදීස පොළොවේදීත් උදා වෙන බවයි.

[23වන පිටුවේ පින්තූර]

පාරාදීස පොළොවේදී මහලු අය තරුණ වියට පැමිණෙනවා

[24වන පිටුවේ පින්තූරය]

සියලු ලෙඩ දුක් සහ ආබාධ තුරන් වෙනවා

[25වන පිටුවේ පින්තූරය]

මිය ගිය අයට නැවත ජීවනය ලැබෙනවා

[26වන පිටුවේ පින්තූරය]

‘මිනිසුන් තවදුරටත් යුද්ධයට පුහුණු වන්නේ නැහැ’

[27වන පිටුවේ පින්තූර]

පාරාදීසයේදී මිනිසුන් හා සතුන් අතර සමඟිය පවතිනවා

[27වන පිටුවේ පින්තූරය]

‘දෙවි ඔහුගේ හස්තය විදහා ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා’

[28වන පිටුවේ පින්තූරය]

මිනිසුන්ට මුහුණ දීමට සිදු වූ දුක් වේදනාවලට වඩා වැඩියෙන් දෙවිගේ රාජ්‍යය මිනිසුන්ට ආශීර්වාද ගෙන දෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න