පරිච්ඡේදය 2
බයිබලයේ උදාර තේමාව
ශුද්ධ ලියවිලිවල අර්ථය පහදා දීම එළිදරව් පොතේ අඩංගු වී තිබෙන අභිරහස් බොහෝ කලක් තිස්සේ අවංක බයිබල් ශිෂ්‍යයන්ට මහත් ප්‍රහේලිකාවක් වී තිබෙනවා. දෙවි තීන්දු කරන නිසි කාලයේදී එම අභිරහස් හෙළි විය යුතුයි. නමුත් කෙසේද? කවදාද? එමෙන්ම කවරෙකුටද? නියමිත කාලය ළං වෙද්දී එහි අර්ථය තේරුම් කළ හැක්කේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයෙන් පමණයි. (එළිදරව් 1:3) එම රහස් හෙළි කරනු ඇත්තේ උද්‍යෝගයෙන් සේවය කරන දෙවිගේ දාසයන්ටයි. එවිට දෙවිගේ විනිශ්චයන් ගැන දැනුම් දීමට ඔවුන්ටත් මහත් ශක්තියක් ලැබෙනවා ඇති. (මතෙව් 13:10, 11) මෙම පොතේ තිබෙන විස්තර නොවරදිනසුලු ඒවා කියා අපි පවසන්නේ නැහැ. පුරාණයේ සිටි යෝසෙප් “තේරුම කියා දීම දෙවිට අයිති” බව පැවසුවා. අපේ ආකල්පයත් එයමයි. (උත්පත්ති 40:8) කෙසේවුවද, මෙම පොතෙහි දී ඇති පැහැදිලි කිරීම් මුළු බයිබලයේම ඇති අදහස්වලට මුළුමනින්ම එකඟයි. ඒ වගේම අප ජීවත් වන මේ දරුණු කාලයේදී දෙවි පුරෝකථනය කර ඇති දේවල් කොතරම් පුදුමසහගත අන්දමින් ඉෂ්ට වී තිබෙනවාද කියාත් ඉන් පෙනෙනවා.
1. යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ අරමුණ කුමක්ද?
‘යම් දෙයක පටන්ගැන්මට වඩා අන්තිමය යහපත්’ බව බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 7:8) මේ කියමනේ සත්‍යතාව සනාථ කරමින් අන්තිමේදී ස්වර්ගයේද පොළොවේද යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ අරමුණ ඉටු වෙන බවත්, දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් වන බවත් අපට එළිදරව් පොතේ පැහැදිලිව පෙන්වනවා. ඒ දේවල් ඉටු වෙද්දී තම අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් “මම යෙහෝවායයි ඔවුහු දැනගන්නෝය” කියා දෙවි යළි යළිත් පැවසූ දේද ඉටු වෙනවා.—එසකියෙල් 25:17; 38:23.
2. බයිබලයේ එළිදරව් පොතෙන් සහ අනෙක් පොත්වලින් අපට වටහාගත හැක්කේ කුමක්ද?
2 දෙවිගේ ශ්‍රේෂ්ඨ අරමුණට සම්බන්ධ වූ සියලුම දේවල් ඉටු වන ආකාරය එළිදරව් පොතේ විස්තර කරනවා. ඒ වගේම, ඊට හේතු වූ මූලික සිද්ධීන් බයිබලයේ අනෙකුත් පොත්වලින් අපට දැකගන්න පුළුවන්. මෙම අරමුණට සම්බන්ධ සියලුම කාරණා වඩාත් හොඳින් තේරුම්ගන්නත්, දෙවි අරමුණු කරන දේ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්නත් මෙම බයිබල් වාර්තාව සෝදිසි කර බැලීම අපට උපකාර කරනවා. එසේ කිරීමෙන් ඇත්තටම අපට මොන තරම් තෘප්තියක් ඇති වෙයිද! එමෙන්ම එය අපේ ජීවිතවලට බලපාන අන්දම ගැන ගැඹුරින් සිතා බලන්නත් අප තුළ පෙලඹීමක් ඉන් ඇති විය යුතුයි. එවිට කීකරු මිනිස් වර්ගයාට අනාගතයේදී ලැබෙන ආශීර්වාද භුක්ති විඳීමට අපටත් හැකි වේවි. (ගීතාවලිය 145:16, 20) මේ නිසා අපි මුලින්ම කළ යුත්තේ බයිබලයේ මූලික තේමාව සහ එයට පසුබිම් වූ සියලු කාරණා සලකා බැලීමයි. එවිට දෙවිගේ පාලනය සම්බන්ධයෙන් සාතන් එල්ල කළ චෝදනාව ගැනත්, අප ඊට සම්බන්ධ වී සිටින ආකාරය ගැනත්, දෙවි එය විසඳීමට යොදාගෙන තිබෙන පැහැදිලි වැඩපිළිවෙළ ගැනත් නිසි අවබෝධයක් ලබාගැනීමට අපට හැකි වේවි.
3. එළිදරව් පොත ඇතුළු මුළු බයිබලයේම තේමාව පදනම් වී ඇත්තේ උත්පත්ති පොතේ කිනම් අනාවැකිය මතද?
3 බයිබලයේ පළමු පොත වන උත්පත්ති පොතේ “පටන්ගැන්මෙහිදී” මිනිසාව මැවීම ඇතුළු දෙවි මැවූ සියලු දේ ගැන අපට විස්තර කරනවා. එලෙසම මීට වසර 6,000කට පමණ පෙර ඒදන් උයනේදී දෙවි විසින්ම ප්‍රකාශ කරන ලද පළමු අනාවැකියත් එහි සඳහන් වෙනවා. ඒ වන විට, සර්පයෙක් පළමු ස්ත්‍රිය වූ ඒවව රවටා “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන්” කෑමට ඇයව පොලඹවා තිබුණා. එයින් ඇය යෙහෝවා දෙවිගේ නීතිය කඩ කළා. ඉන්පසුව ඇය තම සැමියාවත් මෙයට හවුල් කරවාගත්තා. මේ පව්කාර යුවළට දඬුවම් කළ අවස්ථාවේදී දෙවි සර්පයාට මෙසේ කීවා. “මම ඔබත් ස්ත්‍රියත් අතරෙහිද ඔබේ වංශයත් ඇගේ වංශයත් අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 1:1; 2:17; 3:1-6, 14, 15) එළිදරව් පොත ඇතුළු මුළු බයිබලයේම තේමාව පදනම් වී ඇත්තේ එම අනාවැකිය මතයි.
4. (අ) දෙවි පළමු අනාවැකිය ප්‍රකාශ කළ පසුව ආදම් සහ ඒවට සිදු වූයේ කුමක්ද? (ආ) පළමු අනාවැකිය සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න මොනවාද? අප ඒවාට පිළිතුරු දැනගත යුත්තේ ඇයි?
4 අනාවැකිය ප්‍රකාශ කළ වහාම, දෙවි ආදම් සහ ඒවව ඒදන් උයනෙන් පිටමං කළා. පාරාදීසයක සදාකල් ජීවත් වීමට ඔවුන්ට තවදුරටත් හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන්ට ජීවත් වීමට සිදු වුණේ උයනෙන් පිටත වල් බිහි වූ නිසරු ප්‍රදේශයකයි. මරණ දඬුවම යටතේ සිටි ඔවුන්ට පාප සහිත දරුවන්ව බිහි කිරීමට සිදු වුණා. (උත්පත්ති 3:23–4:1; රෝම 5:12) කෙසේ නමුත් ඒදන් උයනේදී ප්‍රකාශ කෙරුණු ඉහත කී අනාවැකියේ අර්ථය කුමක්ද? ඒ අනාවැකියට සම්බන්ධ වී සිටින්නේ කවුරුන්ද? එය එළිදරව්වට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපේ ජීවිතවලට එය අදාළ වෙන්නේ කොහොමද? මෙම කැරැල්ල ගැසුවේ ආදම් සහ ඒව යන දෙදෙනායි. නමුත් එහි දරුණු ඵල විපාකවලට මුහුණ දීමට අපටත් සිදු වෙලා. ඒ නිසා, ඒවායින් නිදහස් වීමට නම් අප ඉහත ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුමයි.
අනාවැකියේ ප්‍රධාන චරිත දෙක
5. සර්පයා ඒවව රැවටූ අවස්ථාවේදී දෙවිගේ පාලනය හා නාමය ගැන ඇති වුණේ කවර ප්‍රශ්නයද? මෙම ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?
5 උත්පත්ති 3:15හි අනාවැකිය දෙවි ප්‍රකාශ කළේ ඒවට බොරු කියූ සර්පයාටයි. දෙවිට අකීකරු වූවොත් ස්වාධීනව කටයුතු කළ හැකි දේවතාවියක් බවට පත් වන බව සර්පයා ඒවට කියා තිබුණා. මෙහිදී යෙහෝවා දෙවි බොරුකාරයෙකු බව ඇඟවූ සර්පයා දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමෙන් මිනිසුන්ට වඩාත් හොඳ ජීවිතයක් ගත කළ හැකි බවත් ඇඟෙව්වා. (උත්පත්ති 3:1-5) ඒ වගේම යෙහෝවා දෙවි පාලනය කරන ආකාරය ගැන ප්‍රශ්න කළ සර්පයා, දෙවිගේ හොඳ නමට කැළලක් ඇති කළා. නමුත් යෙහෝවා දෙවිගේ විනිශ්චය ධර්මිෂ්ඨයි. ඒ නිසා සිය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍යය තුළින් දෙවි තම පාලනය ධර්මිෂ්ඨ බව තහවුරු කරමින් තමාගේ නාමයට ඇති වී තිබෙන කැළල සම්පූර්ණයෙන්ම නැති කර දමන ආකාරය ගැන එළිදරව් පොතේ විස්තර කරනවා.—එළිදරව් 12:10; 14:7.
6. සර්පයෙකුව යොදාගෙන ඒවට කතා කළ තැනැත්තාව එළිදරව්වේ හඳුන්වා දෙන්නේ කෙසේද?
6 “සර්පයා” යන මෙම යෙදුම අදාළ වෙන්නේ උයනේ සිටි සැබෑ සර්පයෙකුටද? නැහැ. ඒ සර්පයාව යොදාගෙන කතා කළේ දෙවිට විරුද්ධව කැරලි ගැසූ දුෂ්ට දූතයෙක් බව එළිදරව්වේ අපට පවසනවා. ඒ, “මකරා නම්, යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයායි.” ‘කපටිකමින් ඒවව රැවටුවේ’ ඔහුයි.—එළිදරව් 12:9; 2 කොරින්ති 11:3.
7. උත්පත්ති 3:15හි සඳහන් ස්ත්‍රිය ස්වර්ගයට සම්බන්ධ බව පැහැදිලි වෙන්නේ කුමකින්ද?
7 උත්පත්ති 3:15හි ඊළඟට “ස්ත්‍රිය” ගැන කතා කරනවා. මේ ඒවද? සමහරවිට ඇය එසේ සිතන්න ඇති. (උත්පත්ති 4:1 බලන්න.) නමුත් ඒව මිය ගියේ මීට වසර 5,000කට පමණ පෙරයි. ඒ නිසා ඒව සහ සාතන් අතර දීර්ඝ කාලීන සතුරුකමක් තිබෙන්නට විදිහක් නැහැ. ඒ විතරක් නෙවෙයි, යෙහෝවා දෙවි විසින් අමතනු ලැබූ සර්පයා, අදෘශ්‍යමාන හෙවත් මිනිස් ඇස්වලට නොපෙනෙන දූතයෙක් නිසා ස්ත්‍රියද පොළොවේ ස්ත්‍රියක් වෙන්න බැහැ. මෙම ස්ත්‍රියගෙනුත් අදෘශ්‍යමාන මැවිලිවලින් සමන්විත ස්වර්ගයට සම්බන්ධ යමක් නියෝජනය වන බව අප වටහාගත යුතුයි. එළිදරව් 12:1, 2 කියවද්දී අපට මෙය තහවුරු වෙනවා. එහි පෙන්වන අන්දමට මේ ස්ත්‍රිය නම් දේවදූතයන්ගෙන් සමන්විත වූ ස්වර්ගයේ පිහිටි යෙහෝවා දෙවිගේ සංවිධානයයි.—යෙසායා 54:1, 5, 13ද බලන්න.
එකිනෙකට විරුද්ධව සිටින වංශ දෙකක්
8. වංශ දෙක ගැන පවසා ඇති දේ ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි?
8 උත්පත්ති 3:15හි ඊළඟට වංශ දෙකක් ගැන කතා කරනවා. මෙම වංශ දෙක දෙවිගේ පාලනය ගැන මතු වී තිබෙන ප්‍රශ්නයට සම්බන්ධයි. එසේම බාල මහලු අප සැමෝමද මීට සම්බන්ධ නිසා අප මේ ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබ සහයෝගය දෙන්නේ මේ වංශ දෙකෙන් කුමන එකටද?
9. සර්පයාගේ වංශයට නිසැකවම ඇතුළත් වෙන්නේ කවුරුන්ද?
9 සාතන්ට වංශයක් හෙවත් ඔහුගෙන් පැවතෙන්නන් සිටින බව මුලින්ම අපට පෙනෙනවා. මීට අයත් වෙන්නේ කවුරුන්ද? සාතන්ගේ කැරැල්ලට සම්බන්ධ වී අවසානයේදී “ඔහු සමඟ පහතට හෙළනු ලැබූ” එනම් පොළොවට හෙළනු ලැබූ වෙනත් භූතයන් මීට අයත් බව නම් නිසැකයි. (එළිදරව් 12:9) සාතන් හෙවත් බෙල්සෙබුබ් “භූතයන්ගේ පාලකයා” නිසා, සාතන්ගේ සංවිධානයට මෙම භූතයන්ද ඇතුළත් බව පැහැදිලියි.—මාක් 3:22; එෆීස 6:12.
10. සාතන්ගේ වංශයට අයත් වූවන් ලෙස බයිබලය විස්තර කරන්නේ තවත් කාවද?
10 මීට අමතරව යේසුස් තමා ජීවත් වූ කාලයේ සිටි යුදෙව් ආගමික නායකයන්ට මෙසේ කිව්වා. “ඔබ ඔබේ පියා වන යක්ෂයාගෙන්ය. ඔබ කැමති ඔබේ පියාගේ ආශා ඉටු කිරීමටය.” (යොහන් 8:44) මෙම ආගමික නායකයන් දෙවිගේ පුත්‍ර යේසුස්ටත් විරුද්ධවාදිකම් පෑවා. ඒ මගින් ඔවුන් පෙන්නුවේ තමන් සාතන්ගේ වංශයට අයත් අය බව සහ සාතන් තමන්ගේ පියා බවයි. ඔවුන් හා සමානව ඉතිහාසය පුරා විසූ බොහෝ මිනිසුන් යේසුස්ගේ ගෝලයන්ට විරුද්ධ වී ඔවුන්ට පීඩා කළා. මේ මගින් ඔවුන්ද සාතන් කැමති දේ කළ බව සනාථ වී තිබෙනවා. සමස්තයක් හැටියට මේ සියලුදෙනාම අයත් වෙන්නේ සාතන් විසින් පාලනය කෙරෙන මිනිස් සමාජයටයි එනම් සාතන්ගේ වංශයෙන් පැවත එන්නන්ටයි.—යොහන් 15:20; 16:33; 17:15 බලන්න.
ස්ත්‍රියගේ වංශය
11. වසර දහස් ගණනක් මුළුල්ලේ දෙවි ස්ත්‍රියගේ වංශය සම්බන්ධයෙන් හෙළි කළේ කුමක්ද?
11 උත්පත්ති 3:15හි ඇති අනාවැකියේ අන්තිමට සඳහන් කරන්නේ ස්ත්‍රියගේ වංශය ගැනයි. සාතන්ගේ වංශය වර්ධනය වෙමින් තිබෙන අතරේදී, යෙහෝවා දෙවි ‘ස්ත්‍රිය,’ හෙවත් තමන්ගේ භාර්යාව හා සමාන වූ ස්වර්ගික සංවිධානය මගින් වංශයක් බිහි කිරීම සඳහා පියවර ගනිමින් සිටියා. පැමිණෙන මෙම වංශය ගැන වසර 4,000ක කාලයක් පුරාම දෙවිට ගරුබියෙන් ක්‍රියා කළ කීකරු මිනිසුන්ට යෙහෝවා දෙවි තොරතුරු ක්‍රමානුකූලව හෙළි කළා. (යෙසායා 46:9, 10) මේ වංශයන් බිහි වන ප්‍රධාන තැනැත්තා තමන්ගේ පෙළපතින් බිහි වන බව දැනගත් ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ තවත් එවැනි අය ඔහු ගැන දැඩි විශ්වාසයක් ඇති කරගත්තා. (උත්පත්ති 22:15-18; 26:4; 28:14) යෙහෝවා දෙවිගේ එවැනි සේවකයන් තුළ තිබූ ඒ නොසැලෙන විශ්වාසය නිසා ඔවුන් සාතන් සහ ඔහුට පක්ෂ අයගේ පීඩාවලට නිතරම පාහේ ලක් වුණා.—හෙබ්‍රෙව් 11:1, 2, 32-38.
12. (අ) ස්ත්‍රියගේ වංශයෙන් බිහි වූ ප්‍රධාන තැනැත්තා පැමිණියේ කවදාද? කිනම් සිද්ධියත් සමඟද? (ආ) යේසුස්ව අභිෂේක කරනු ලැබුවේ කුමකටද?
12 ක්‍රිස්තු වර්ෂ 29දී පරිපූර්ණ මිනිසෙක් හැටියට යේසුස් යොර්දාන් ගඟේ බව්තීස්ම වුණා. යෙහෝවා දෙවි සිය පුත්‍රයාට තමන්ගේ බලය දෙන බව සහතික කළේ මෙසේ ප්‍රකාශ කරමින්. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මම මොහුව අනුමත කළෙමි.” (මතෙව් 3:17) එහිදී යේසුස්ව හඳුන්වනු ලැබුවේ දෙවිගේ ස්වර්ගික සංවිධානයෙන් එවනු ලැබූ කෙනෙකු හැටියටයි. එමෙන්ම යෙහෝවා දෙවිගේ නාමයෙන් පොළොව මත දේවපාලනයක් නැවත පිහිටුවන ස්වර්ගික ආණ්ඩුවේ අනාගත රජු හැටියටත් ඔහුව අභිෂේක කළා. දෙවිගේ පාලනය ගැන තිබූ සියලු ප්‍රශ්න සදහටම විසඳනු ලබන්නේ මේ ආණ්ඩුව මගිනුයි. (එළිදරව් 11:15) මේ අනුව ස්ත්‍රියගේ වංශයේ ප්‍රධාන තැනැත්තා, පුරෝකථනය කරන ලද ගැලවුම්කරු වන යේසුස් බව පැහැදිලියි.—ගලාති 3:16; දානියෙල් 9:25 බලන්න.
13, 14. (අ) ස්ත්‍රියගේ වංශයෙන් බිහි වෙන්නේ එක් පුද්ගලයෙකු පමණක් නෙවෙයි කියා අප දන්නේ කෙසේද? (ආ) මීට අමතරව මෙම වංශයෙන් බිහි වෙන්නේ කවුරුන්ද? ඔවුන්ගෙන් සෑදී තිබෙන්නේ කුමන සංවිධානයද? (ඇ) මොවුන් සමඟ එක්සත්ව සේවය කරන අනෙක් පිරිස කවුද?
13 ස්ත්‍රියගේ වංශයෙන් බිහි වෙන්නේ එක් පුද්ගලයෙකු පමණක්ද? මෙය තේරුම්ගන්න අප සාතන්ගේ වංශයට අයිති වෙන්නේ කවුරුන්ද කියා නැවත මතක් කරගනිමු. සාතන්ගේ වංශයට භූතයන් මහත් සේනාවක්ද දෙවිට අගෞරව කරන මිනිසුන්ද අයත් බව බයිබලයේ පැහැදිලිව පෙන්වනවා. ස්ත්‍රියගේ වංශය කීමෙනුත් එක් කෙනෙකු පමණක් අදහස් වෙන්නේ නැහැ. දෙවි අරමුණු කර ඇති දේට අනුව වංශයෙන් බිහි වන ප්‍රධානතම තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලකයන් හා පූජකයන් වීමට දෙවිට විශ්වාසවන්තව සේවය කර ඇති මිනිසුන් 1,44,000දෙනෙක්වත් තෝරාගෙන තිබෙනවා. එළිදරව් පොත පැහැදිලි කරන්නේ දෙවිගේ ස්ත්‍රිය එනම් ඔහුගේ ස්වර්ගික සංවිධානයෙන් බිහි වන මෙම 1,44,000දෙනාට සාතන් කොතරම් වෛර කරනවාද යන්නයි. ‘ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධ කරන පිණිස පිටත්ව ගිය’ බව පැවසීමෙන් එය පැහැදිලි වෙනවා.—එළිදරව් 12:17; 14:1-4.
14 මෙම අභිෂේක ලත් 1,44,000දෙනාව බයිබලයේ හඳුන්වා ඇත්තේ යේසුස්ගේ සහෝදරයන් හැටියටයි. ඔවුන්ටත් සිටින්නේ යේසුස්ට වගේම එකම පියෙක් සහ එකම මවක්. (හෙබ්‍රෙව් 2:11) ඔවුන්ගේ පියාණන් වන්නේ යෙහෝවා දෙවි. ඔවුන්ගේ මව වන්නේ “ස්ත්‍රිය,” එනම් දෙවිගේ භාර්යාව හා සමානව ක්‍රියා කරන ස්වර්ගික සංවිධානයයි. වංශයෙන් බිහි වන ප්‍රධානතම තැනැත්තා යේසුස්. මීට අමතරව බිහි වෙන්නේ මෙම 1,44,000දෙනායි. දෙවිගේ දෘශ්‍යමාන සංවිධානය සෑදී තිබෙන්නේ මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙනුයි. ඔවුන් ක්‍රියා කරන්නේ ඒ ස්වර්ගික සංවිධානයේ මඟ පෙන්වීම යටතේයි. නමුත් මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මිය යන විට ස්වර්ගයේදී යේසුස් ක්‍රිස්තුස් සමඟ හවුලේ පාලනය කිරීම සඳහා ඔවුන්ව නැවත නැඟිටුවනු ලබනවා. (රෝම 8:14-17; ගලාති 3:16, 29) සියලු ජාතීන්ට අයත් ‘වෙනත් බැටළුවන්’ මෙම වංශයට අයත් වෙන්නේ නැහැ. එසේ වුවත් ඔවුන් පොළොව මත තිබෙන දෙවිගේ දෘශ්‍යමාන සංවිධානය සමඟ එක්සත්ව සේවය කරනවා. ඔබත් මේ අයගෙන් කෙනෙක්ද? එසේනම් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතිව ඔබටත් ප්‍රීතියෙන් ජීවත් විය හැකියි.—යොහන් 10:16; 17:1-3.
සතුරුකම ඉදිරියට ඇදෙයි
15. (අ) සාතන්ගේ වංශයට මිනිසුන් හා දේවදූතයන් හවුල් වූ අන්දම විස්තර කරන්න. (ආ) නෝවාගේ කාලයේ සිදු වූ මහා ජලගැල්මේදී සාතන්ගේ වංශයට කුමක් සිදු වුණාද?
15 සාතන්ගේ වංශයට මිනිසුන් අයත් වෙන්න පටන්ගත්තේ මිනිස් වර්ගයාගේ ඉතිහාසයේ ආරම්භයේම සිටමයි. ආදම් සහ ඒවගේ කුලුඳුල් පුත්‍ර කායින් “දුෂ්ටයාගෙන් වූ” බව සඳහන් වෙන්නේ ඔහු ආබෙල් නම් වූ “තම සහෝදරයාව මැරූ” නිසයි. (1 යොහන් 3:12) ඒනොක්ගේ කාලයේදීත් දුෂ්ටකම බහුලව තිබුණා. ඒ නිසා ඔහු මෙසේ පැවසුවා. “යෙහෝවා තම දසදහස් ගණන් ශුද්ධ දූතයන් සමඟ පැමිණියේය. එසේ පැමිණියේ සියල්ලන්ව විනිශ්චය කරන පිණිසත්, සියලු අභක්තිකයන් විසින් අභක්තික ලෙස කරන ලද සියලු අභක්තික ක්‍රියා නිසාද, අභක්තික පව්කාරයන් විසින් ඔහුට විරුද්ධව කියන ලද තැතිගන්වනසුලු සියලු දේවල් නිසාද ඔවුන්ව වැරදිකරුවන් ලෙස ඔප්පු කරන පිණිසත්ය.” (යූද් 14, 25) ඒ විතරක් නෙවෙයි, කැරලිකාර දේවදූතයන් සාතන්ට එකතු වී ඔහුගේ වංශයට අයත් වුණා. මොවුන් ස්වර්ගයේ තිබූ ‘තම නියම වාසස්ථානය අත්හැර’ මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණියේ ස්ත්‍රීන් සමඟ විවාහ වීමටයි. ඔවුන්ට දාව ඇති වූ දරුවන් මිනිසුන්ට වඩා බල සම්පන්න යෝධයන්. ඔවුන් නිසා ලෝකය ප්‍රචණ්ඩත්වයෙන් හා නපුරුකම්වලින් පිරී ගියා. දෙවි මහා ජලගැල්මකින් ඒ සමාජය විනාශ කළේ ඒ නිසයි. ජීවිත ගලවාගත්තේ ඇදහිලිවන්ත නෝවා සහ ඔහුගේ පවුලේ අය පමණයි. මේ අකීකරු දේවදූතයන්, තම භාර්යාවන් සහ දෙමුහුන් දරුවන්ව අත්හැර දමා මිනිස් වෙස් ඉවත් කර නැවතත් ගොස් සාතන්ට එකතු වුණා. ඔවුන් දැන් ඔහු යටතේ සිටින භූතයන්. සාතන් සහ ඔහුගේ වංශයට විරුද්ධව දෙවි ඉතා ඉක්මනින් ගෙනෙන විනිශ්චයට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙනවා.—යූද් 6; උත්පත්ති 6:4-12; 7:21-23; 2 පේතෘස් 2:4, 5.
16. (අ) ජලගැල්මට පසුව පෙනී සිටි කෲර පාලකයා කවුද? ඔහු සාතන්ගේ වංශයට අයත් කෙනෙක් බව ඔප්පු වුණේ කෙසේද? (ආ) දෙවි බැබිලෝනියේ පවුර ගොඩනඟන්නට උත්සාහ කළ අයව වැළැක්වූයේ කෙසේද?
16 ජලගැල්මෙන් ටික කලකට පසු, නිම්රොද් නම් වූ කෲර පාලකයෙක් පොළොවේ සිටියා. බයිබලය ඔහුව හඳුන්වන්නේ “යෙහෝවා ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක්” කියායි. ඇත්තෙන්ම ඔහු සර්පයාගේ වංශයට අයත් කෙනෙක්. සාතන් මෙන් ඔහුද කැරලිකාරයෙක්. ඒ නිසයි ඔහු බාබෙල් නගරය හෙවත් බැබිලෝනිය නිර්මාණය කළේ. යෙහෝවා දෙවිගේ අරමුණ වූයේ ජනයා පොළොව පුරා පදිංචි කරවීමයි. නමුත් නිම්රොද් ඊට එරෙහි වුණා. බැබිලෝනිය නගරය තැනීමේ පරමාර්ථය වුණේ එය “අහස දක්වා මුදුනක් ඇති කොටුවක්” ලෙස තනා බලවත් අධිරාජ්‍යයක් බවට පත් කිරීමයි. නමුත් දෙවි ඒ පවුර ගොඩනඟන්නට උත්සාහ කළ අයව වැළැක්වුවා. ඒ ඔවුන්ගේ භාෂාව අවුල් කිරීමෙනුයි. මෙසේ දෙවි ‘මුළු පොළෝ තලයෙහි ඔවුන්ව විසිරෙව්වා.’ නමුත් බැබිලෝනිය පැවතීමට ඉඩහැරියා.—උත්පත්ති 9:1; 10:8-12; 11:1-9.
මිනිස් පාලන මතු වෙයි
17. මිනිසා පොළොව පුරා පැතිර ගිය විට මිනිස් සමාජය තුළ ඉස්මතු වුණේ කිනම් දූෂිත අංගයද? ප්‍රතිඵලයක් වශයෙන් මතු වූ බලවත් අධිරාජ්‍යයන් මොනවාද?
17 බැබිලෝනිය නගරයේ විසූ මිනිසුන් විවිධ පැතිවලින් යෙහෝවා දෙවිගේ පාලනයට එරෙහි වුණා. මේවායින් එක පැත්තක් තමයි දේශපාලනය. මිනිසුන් පොළොව පුරා පැතිර ගිය විට බලයට කෑදර වෙනත් පාලකයන්ද නිම්රොද් මෙන් මිනිසුන් කෙරෙහි තම අණසක පැතිරෙව්වා. මිනිසා පාලනය කළේ මිනිසාට හානි වන ලෙසයි. (දේශනාකාරයා 8:9) නිදසුනකට ආබ්‍රහම්ගේ කාලයේදී, සොදොම, ගොමෝරාව සහ ඒ අවට ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ ෂීනාර් නම් රටේ රජු හා වෙනත් දුර රටවල රජවරුන් විසිනුයි. (උත්පත්ති 14:1-4) අන්තිමේදී, යුද්ධයට හා පරිපාලනයට දක්ෂ පාලකයෝ තමන්ගේ කීර්තිය හා වාසි ප්‍රයෝජන සඳහා බලවත් අධිරාජ්‍යයන් බිහි කළා. මේවායින් සමහරක් වන ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය, මේද-පර්සියාව, ග්‍රීසිය හා රෝමය ගැන බයිබලයේ සඳහන් වෙනවා.
18. (අ) පාලකයන් කෙරෙහි දෙවිගේ ජනයා දරන ආකල්පය කුමක්ද? (ආ) ඇතැම් අවස්ථාවලදී බලධාරීන් දෙවිගේ අරමුණු ඉටු කිරීමට දායක වී තිබෙන්නේ කෙසේද? (ඇ) බොහෝ පාලකයන් තමන්ද සර්පයාගේ වංශයට අයත් බව පෙන්වා ඇත්තේ කෙසේද?
18 යෙහෝවා දෙවි මෙම පාලන ක්‍රමවල පැවැත්මට ඉඩහැරියා. එම පාලන යටතේ ජීවත් වීමට සිදු වූ විට දෙවිගේ ජනයා දෙවිගේ නීතිවලට මුල් තැන දෙමින් ඔවුන් සිටි රටේ නීතියට කීකරු වුණා. (රෝම 13:1, 2) සමහර අවස්ථාවල, දෙවිගේ අරමුණ ඉෂ්ට කිරීමටත් බලධාරීන් යම් විදිහකින් දායක වුණා. ඒ වගේම දෙවිගේ ජනයාගේ ආරක්ෂාව සඳහාත් ඔවුන් ක්‍රියා කළා. (එස්රා 1:1-4; 7:12-26; ක්‍රියා 25:11, 12; එළිදරව් 12:15, 16) නමුත් බොහෝ පාලකයන් සැබෑ නමස්කාරයට දැඩි සේ විරුද්ධ වී තිබෙනවා. එයින් ඔවුන් පෙන්වා ඇත්තේ ඔවුන්ද සර්පයාගේ වංශයට අයත් බවයි.—1 යොහන් 5:19.
19. එළිදරව් පොතේ ලෝකයේ පාලන ක්‍රම විස්තර කර ඇත්තේ කෙසේද?
19 සමස්තයක් ලෙස ගත්තොත් මිනිසාට සැබෑ සන්තෝෂයක් ගෙන දීමට හෝ ඔවුන්ගේ ගැටලු විසඳීමට හෝ මිනිස් පාලනවලට හැකි වී නැහැ. යෙහෝවා දෙවි මිනිසාට හැම ආකාරයකම පාලන ක්‍රම අත්හදා බැලීමට ඉඩහැර තිබෙනවා. නමුත් ඔවුන්ගේ දූෂණ හෝ කෲර පාලනය යෙහෝවා දෙවි කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. (හිතෝපදේශ 22:22, 23) එළිදරව් පොතේ මේ ලෝකයේ පාලන ක්‍රම විස්තර කර තිබෙන්නේ අහංකාර යෝධ වනමෘගයෙකු ලෙසයි.—එළිදරව් 13:1, 2.
තම මඩිය තර කරගන්නා වෙළෙන්දෝ
20, 21. “සේනාධිපතීන්” හා “ශක්තිමත් මිනිසුන්” සමඟ අත්වැල් බැඳගෙන සිටින සාතන්ගේ දූෂිත වංශයට අයත් අනිත් පිරිස කවුරුන්ද?
20 දේශපාලන නායකයන් සමඟ අත්වැල් බැඳගෙන සිටින තවත් කොටසක් නම් වංක වෙළෙන්දන්. ඉපැරණි බැබිලෝනියෙහි නටබුන්වලින් සොයාගන්නා ලද වාර්තාවලින් පෙන්වන්නේ සෙසු මිනිසුන් අසරණ වෙද්දී ඔවුන්ව සූරා කෑම එවකට සාමාන්‍ය දෙයක් වී තිබූ බවයි. අදත් වෙළඳ ලෝකයේ සිදු වෙන්නේ එයමයි. බොහෝ රටවල අතළොස්සක් දෙනා ධන සම්පත්වලින් වැජඹෙද්දී ලෝක ජනගහනයෙන් බහුතරයක් දිලිඳුකමේ අඩියටම වැටී දුක් විඳිනවා. මේ කාර්මික යුගයේ මාරාන්තික යුධ අවි නිෂ්පාදකයන් සහ වෙළෙන්දන් එක් වී යුධ අවි පොළොවේ ගොඩගසා මහත් ලාභ උපදවාගෙන තිබෙනවා. ඔවුන් නිපදවා ඇති මාරාන්තික අවි දැන් මිනිස් වර්ගයාගේ පැවැත්මටද එල්ල කර ඇත්තේ ඉමහත් තර්ජනයක්. මෙවැනි කෑදර ව්‍යාපාරිකයන් හා එවැනි තවත් අය “සේනාධිපතීන්” හා “ශක්තිමත් මනුෂ්‍යයන්” වන පාලකයන් සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. මේ හැමදෙනාම සාතන්ගේ දුෂ්ට වංශයට අයිති අයයි. ඔවුන් දෙවි යේසුස් මාර්ගයෙන් විනාශ කිරීමට තීන්දු කර ඇති දූෂිත මිනිස් සමාජයේ කොටස්කරුවන්.—එළිදරව් 19:18.
21 දූෂිත දේශපාලනයට හා ගිජු වෙළඳ ලෝකයට තවත් අංගයක් එකතු කළ යුතුයි. එයද දෙවිගේ දරුණු විනිශ්චය ලැබීමට යන දෙයක්. ඒ කුමක්ද? ලොව පුරා පැතිර ඇති මේ දේ සම්බන්ධයෙන් එළිදරව් පොත පවසන දේ ගැන ඔබ පුදුම වේවි.
මහා බැබිලෝනිය
22. පුරාණ බැබිලෝනියේ බිහි වුණේ කිනම් ආකාරයේ ආගම්ද?
22 පුරාණ බැබිලෝනිය ගොඩනැඟුවේ දේශපාලනික අරමුණු ඉටු කිරීම සඳහා පමණක් නෙවෙයි. එය යෙහෝවා දෙවිගේ පාලනයට එරෙහිව පිහිටුවාගත් නිසා දෙවිට විරුද්ධව කළ නමස්කාරයක්ද එහි සිදු කෙරුණා. ඇත්තෙන්ම රූප නමස්කාරය ආරම්භ වූයේ පුරාණ බැබිලෝනියෙන්. එහි පූජකයන් දෙවිව අගෞරවයට පත් කරන බොරු ඉගැන්නුවා. උදාහරණයකට මරණයෙන් පසු නොනැසී පවතින යමක් ඉතිරි වන බවත්, භූතයන්ගේ අණසක යටතේ තිබෙන සදාකාලික වේදනා විඳින තැනක් මළවුන් සඳහා තිබෙන බවත් ඔවුන් ඉගැන්නුවා. එමෙන්ම ඔවුන් විවිධ සතුන්ට නමස්කාර කළ අතර, දෙවි දේවතාවුන් රැසකට නමස්කාර කිරීමටත් අනුබල දුන්නා. පොළොවේ සහ මිනිසාගේ ආරම්භය ගැන විස්තර කිරීමට මිථ්‍යා කථා ගෙතූ ඔවුන් ඉතා පිළිකුල්සහගත චාරිත්‍ර පවත්වා, පූජාවන් ඔප්පු කළා. එසේ කළේ දරුවන් වැඩියෙන් බිහි කිරීමටත් අස්වැන්න වැඩි කරගැනීමටත් යුද්ධයෙන් ජයගැනීමටත් තමන්ට හැකි වේය යන විශ්වාසයෙනුයි.
23. (අ) මිනිසුන් බැබිලෝනියෙන් විසිර යද්දී තමන් සමඟ රැගෙන ගියේ මොනවාද? ප්‍රතිඵලය කුමක්ද? (ආ) බොරු දේවල් උගන්වමින් ලොව පුරා පැතිර පවතින ආගම්වලට එළිදරව් පොත දෙන නම කුමක්ද? (ඇ) මෙම ආගම් සැමවිටම සටන් කර ඇත්තේ කාට විරුද්ධවද?
23 විවිධ භාෂාවන් කතා කළ අය පොළොව පුරා විසිරී යන විට, ඔවුන් බැබිලෝනියේ ආගම් තමන් සමඟ රැගෙන ගියා. මෙසේ පුරාණ බැබිලෝනියේ තිබූ චාරිත්‍ර හා විශ්වාසයන්ට සමාන චාරිත්‍ර හා විශ්වාසයන් යුරෝපයේ, අප්‍රිකාවේ, අමෙරිකාවේ සහ පෙරදිගේ මෙන්ද ශාන්තිකර සාගරය පුරා විසිරී තිබූ දූපත්වල ආදිවාසීන් අතරත් දක්නට තිබුණා. අද තත්වයත් එසේමයි. ඒ නිසා බොරු දේවල් උගන්වමින් ලොව පුරා පැතිර ඇති ආගම් මහා බැබිලෝනිය නමින් එළිදරව් පොතේ හඳුන්වා දීම උචිතයි. (එළිදරව් 17, 18 පරිච්ඡේද) මෙම ආගම් පැතිරුණේ කොතැනද, එතැන පීඩාකාරී පූජකයන්, මිථ්‍යා ඇදහිලි හා විශ්වාස, නූගත්කම සහ දුරාචාරය පැතිරී තිබෙනවා. එවැනි ආගම් සාතන්ගේ ප්‍රබල උපක්‍රමයක්. ඒ වගේම විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිට කළ යුතු සැබෑ නමස්කාරයට එරෙහිවත් ඉතා දරුණු ලෙස සටන් වැද තිබෙන්නේ මේ මහා බැබිලෝනියයි.
24. (අ) සර්පයාට ස්ත්‍රියගේ වංශයේ ‘විලුඹ පොඩි කිරීමට’ හැකි වුණේ කෙසේද? (ආ) එය විලුඹ පොඩි කිරීමක් හැටියට විස්තර කර තිබෙන්නේ ඇයි?
24 සර්පයාගේ වංශයට අයත් නපුරුම පිරිස හැටියට, පළමු සියවසේ විසූ යුදෙව් ආගමට අයිති පරිසිවරුන් සහ ලියන්නන්ව සැලකිය හැකියි. අප එසේ කියන්නේ ඔවුන් ස්ත්‍රියගේ වංශයෙන් බිහි වූ ප්‍රධාන තැනැත්තා වන යේසුස්ට පීඩා කර අන්තිමේදී ඔහුව මරණයට පත් කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ නිසයි. මෙසේ කිරීමෙන් ‘වංශයේ විලුඹ පොඩි කිරීමට’ සර්පයා වන සාතන්ට හැකි වුණා. (උත්පත්ති 3:15; යොහන් 8:39-44; ක්‍රියා 3:12, 15) මෙය ‘විලුඹ පොඩි කිරීමක්’ ලෙස විස්තර කර තිබෙන්නේ ඇයි? ඊට හේතුව නම් පොළොව මත ජීවත් වෙද්දී යේසුස්ව මරණයට පත් කළත්, ඔහු මිය ගොස් සිටියේ දවස් ස්වල්පයකට පමණක් වීම නිසයි. යෙහෝවා දෙවි තුන්වන දවසේ ස්වර්ගික ජීවිතයක් දීම සඳහා යේසුස්ව නැවත නැඟිට්ටෙව්වා.—ක්‍රියා 2:32, 33; 1 පේතෘස් 3:18.
25. (අ) මහිමයට පත් යේසුස් දැනටමත් සාතන්ට හා ඔහුගේ භූතයන්ට එරෙහිව ක්‍රියා කර තිබෙන්නේ කෙසේද? (ආ) සාතන්ගේ භූමික වංශය ඉවත් කරනු ලැබීම සිදු වෙන්නේ කවදාද? (ඇ) දෙවිගේ ස්ත්‍රියගේ වංශය, සාතන්ව, හෙවත් සර්පයාගේ ‘හිස පොඩි’ කිරීම කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
25 දෙවිගේ දකුණු පැත්තේ මහිමාන්විත රජෙකු ලෙස සිටින යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ සතුරන්ව විනිශ්චය කරමින් සිටිනවා. ඔහු දැනටමත් සාතන්ව සහ ඔහුගේ භූතයන්ව පොළොවට හෙළා තිබෙන අතර, මෙහි ප්‍රතිඵලය වූයේ අප ජීවත් වන මේ කාලයේ ඉතා ඛේදනීය සිද්ධීන් ගණනාවක් පොළොවේ ඇතිවීමයි. (එළිදරව් 12:9, 12) නමුත් දෙවි ඉතා ළඟදී මහා බැබිලෝනිය මතට සහ සාතන්ගේ සංවිධානයේ සියලු අංගයන් මතට විනිශ්චය පමුණුවන විට සාතන්ගේ භූමික වංශය කලින් කියා තිබූ ලෙසටම ඉවත් වෙනවා ඇති. අවසානයේදී දෙවිගේ ස්ත්‍රියගේ වංශයේ ප්‍රධාන තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සාතන්ගේ හෙවත් පුරාණ ප්‍රයෝගකාර සර්පයාගේ ‘හිස පොඩි කරනවා.’ මේ මගින් ඔහුව විනාශ කෙරෙන අතර, මිනිස් වර්ගයා ඔහුගේ කිසිම බලපෑමකට හසු වෙන්නේ නැහැ.—රෝම 16:20.
26. අප එළිදරව් පොතේ අනාවැකිය සෝදිසි කර බැලීම ඥානවන්තම දේ වෙන්නේ ඇයි?
26 මේ සියල්ලම සිදු වන ආකාරය ගැන එළිදරව් නමැති බයිබල් පොතේ දර්ශන ගණනාවකින් හෙළි කරනවා. විශේෂ ලකුණු සහ සංකේතවලින් එය විස්තර කරනවා. මෙම ප්‍රබල අනාවැකි ගැන අපි දැන් මහත් උනන්දුවෙන් සොයා බලමු. එළිදරව් පොතේ වචන අසා ඒවා පවත්වනවා නම්, අපිට සන්තෝෂ විය හැකියි. එසේ කිරීමෙන් විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිගේ නාමයට ගෞරව ගෙන එමින් ඔහුගේ සදාකාලික ආශීර්වාද ලබාගැනීමටත් අපට හැකි වේවි. මෙය දිගටම කියවා, ඉගෙනගන්නා දේ අදාළ කරගන්නා මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. ඥානවන්තම දේ එයයි. ඔබ එසේ කළොත්, මිනිස් වර්ගයාගේ මේ දුෂ්ට සමාජය නිමාවට පත් වෙන විට ඔබට ගැලවීම ලැබෙනවා නියතයි.
[13වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ පුරාණ වාර්තා
ජේම්ස් බී. ප්‍රිචඩ් නමැත්තා විසින් සංස්කරණය කරන ලද පොතක බැබිලෝනිය යුගවල විසූ හමුරාබි නම් රජු විසින් සම්පාදනය කරන ලද නීති 300ක් පමණ ලැයිස්තුගත කර තිබෙනවා. (Ancient Near Eastern Texts) එවකට වෙළඳ ලෝකයේ පැතිර තිබූ බවට පෙනෙන, එළිපිට කරන ලද වංචනික ක්‍රියා හෙළා දැකීමට යම් පියවර ගෙන තිබූ බව එයින් පෙන්වා දෙනවා. එක් උදාහරණයක් මෙන්න. “යම් ධනවතෙක් රිදී හෝ රත්තරන් හෝ වහලෙකු හෝ වහලියක හෝ බූරුවෙකු හෝ බැටළුවෙකු හෝ කොටළුවෙකු හෝ වෙන ඕනෑම දෙයක් තවත් ධනවතෙකුගේ පුත්‍රයෙකුගෙන් හෝ වහලෙකුගෙන් මිල දී ගෙන හෝ ආරක්ෂාවට තබාගෙන තිබුණා නම්, ඒ ගැන කිසිම ගිවිසුමක් ඇති කරගෙන නැත්නම් හෝ ඒ ගැන කිසිම සාක්ෂිකරුවෙකු හෝ නොසිටියා නම්, එකී ධනවතා සොරෙකු බැවින් ඔහුව මරණයට පත් කළ යුතුයි.”