සර්පයාගේ වංශය—අනාවරණය වන්නේ කෙසේද?
“මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි.”—උත්පත්ති 3:15.
1. (අ) යෙහෝවඃවහන්සේ සන්තෝෂවත් දෙවියන්වහන්සේ වන්නේ මන්ද? (ආ) ස්වකීය ප්‍රීතියේ පංගුකාරකමක් ලැබීමට හැකි කරවමින්, උන්වහන්සේ අප උදෙසා කර තිබෙන්නේ කුමක්ද?
යෙහෝවඃවහන්සේ හොඳ හේතු ඇතුව සන්තෝෂවත් දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ යහපත් දේවල ශ්‍රේෂ්ඨතම මෙන්ම පරම දායකයාණෝ වන අතර, උන්වහන්සේගේ අරමුණු ඉටුවීමට බාධා පැමිණවිය හැකි කිසිවක් නොමැත. (යෙසායා 55:10, 11; 1 තිමෝති 1:11; යාකොබ් 1:17) තමන්ට තිබෙන ප්‍රීතිය ස්වකීය සේවකයන්ද භුක්තිවිඳිනවා දැකීමට කැමති වන අතර, එසේ කිරීමට උන්වහන්සේ ඔවුන්හට වලංගු හේතුද සපයනසේක. මෙසේ, ඒදන්හි කැරලිගැසීම සිදු වූ විට, එනම් මිනිස් ඉතිහාසයේ වඩාත් දුක්ඛදායක අවස්ථාවක, බලාපොරොත්තුවක් ඇතුව අනාගතය දෙස බැලීමට උන්වහන්සේ අපට පදනමක් සපයා දුන්සේක.—රෝම 8:19-21.
2. ඒදන්හි කැරලිගසන්නන්ට විනිශ්චය ප්‍රකාශ කරද්දී, ආදම් සහ ඒවගේ ජනිතයන්ට බලාපොරොත්තුවක් සඳහා පදනමක් යෙහෝවඃවහන්සේ සැපයුවේ කෙසේද?
2 දෙවියන්වහන්සේට විරුද්ධ වී අපහාස කිරීමෙන්, යෙහෝවඃවහන්සේගේ එක් ආත්ම පුත්‍රයෙක්, තමාවම සාතන් නමැති යක්ෂයා බවට පත් කරගෙන තිබුණේ මොහොතකට කලින්ය. පළමු මිනිසුන් වූ, ඒවද ඉන්පසු ආදම්ද ඔහුගේ බලපෑමට හසු වී පැහැදිලිව සඳහන් කර තිබූ යෙහෝවඃවහන්සේගේ නීතිය කඩ කර තිබිණ. ඔවුන්ට යුක්තිසහගත ලෙස මරණ දඬුවම නියම කරන ලදි. (උත්පත්ති 3:1-24) එහෙත්, මෙම කැරලිකාරයන්ට විනිශ්චය ප්‍රකාශ කළ විට, යෙහෝවඃවහන්සේ ආදම් සහ ඒවගේ ජනිතයන්ට බලාපොරොත්තුවක් සඳහා පදනමක් සපයා දුන්සේක. කවර අන්දමකින්ද? උත්පත්ති 3:15හි වාර්තා වී ඇති පරිදි, යෙහෝවඃවහන්සේ මෙසේ පැවසූසේක: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” මුළු බයිබලයද, ලෝකය මෙන්ම යෙහෝවඃවහන්සේගේ සේවකයන් සම්බන්ධව තිබෙන අතීත හා වර්තමාන සිදුවීම්ද තේරුම්ගැනීමට යතුර මෙම අනාවැකිය වේ.
අනාවැකියෙහි අර්ථය
3. උත්පත්ති 3:15හි සඳහන් වී ඇති පරිදි, (අ) සර්පයා, (ආ) “ස්ත්‍රිය,” (ඇ) සර්පයාගේ “වංශය,” (ඈ) ස්ත්‍රියගේ “වංශය,” හඳුන්වා දෙන්න.
3 අනාවැකියේ වැදගත්කම අගය කිරීමට, එහි විවිධ මූලිකාංග සැලකිල්ලට ගන්න. උත්පත්ති 3:15හි අමතනු ලැබූ තැනැත්තා සර්පයාය—එනම් පහත් සර්පයා නොව, නමුත් ඌව උපයෝගි කරගත් තැනැත්තාය. (එළිදරව් 12:9) “ස්ත්‍රිය” වූ කලි ඒව නොව, නමුත් යෙහෝවඃවහන්සේගේ ස්වර්ගික සංවිධානයයි, එනම් පොළොව මත උන්වහන්සේගේ අභිෂේක ලත් සේවකයන්ගේ මව්ය. (ගලාති 4:26) සර්පයාගේ “වංශය” වූ කලි, සාතන්ගේ වංශය හෙවත් ඔහුගේ ජනිතයන් වේ—එනම්, භූතයන් හා මිනිසුන් මෙන්ම, සාතන්ගේ ගතිලක්ෂණ විදහාපෙන්වමින්, ස්ත්‍රියගේ “වංශය” කෙරෙහි සතුරුකමක් පෙන්වන මිනිස් සංවිධාන ඊට ඇතුළත්ය. (යොහන් 15:19; 17:15) ස්ත්‍රියගේ “වංශය” මූලිකවම පො.යු. 29දී ශුද්ධාත්මයෙන් අභිෂේක කරනු ලැබූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. ‘වතුරෙන් හා ශුද්ධාත්මයෙන් අලුතෙන් උපත’ ලබා ඇති ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගික රාජ්‍යයෙහි උරුමක්කාරයන් වන 1,44,000දෙනා එම පොරොන්දු වංශයේ අප්‍රධාන කොටසක් වෙත්. මේ අය ස්ත්‍රියගේ වංශයට එකතු කිරීමට පටන්ගත්තේ පො.යු. 33හි පෙන්තකොස්ත දවසේ පටන්ය.—යොහන් 3:3, 5; ගලාති 3:16, 29.
4. පාපයෙන් හා මරණයෙන් නිදහස් ජනකායකින් පිරුණු පාරාදීසයක් බවට පොළොව පත්වීම, උත්පත්ති 3:15ට සම්බන්ධ වන්නේ කෙසේද?
4 තම වංචාසහගතභාවය හේතුවෙන් මිනිස්වර්ගයාට පාරාදීසය අහිමි කරවීමට හේතු වූ තැනැත්තා වෙනුවෙන් කතා කරන්නෙකු වශයෙන් ඒදන්හි සර්පයා භාවිත කරන ලදි. එම සර්පයාව සූර ලෙස යොදාගත් තැනැත්තාව පොඩි කරනු ලබන කාලය වෙත උත්පත්ති 3:15 කල්තියා යොමු දැක්වීය. එවිට, දෙවියන්වහන්සේගේ මිනිස් සේවකයන් සඳහා පාපයෙන් හා මරණයෙන් තොර පාරාදීසයක ජීවත්වීමේ මඟ යළිත් විවෘත වනවා ඇත. එය මොනතරම් ප්‍රීතිමත් කාලයක් වේවිද!—එළිදරව් 20:1-3; 21:1-5.
5. යක්ෂයාගේ ආත්මික ජනිතයන්ට තිබෙන්නේ කවර ගතිලක්ෂණද?
5 ඒදන්හි කැරලිගැසීමෙන් පසු, කැරලිකාරකම, බොරු කීම, අපහාස කිරීම හා මිනීමැරීම, යෙහෝවඃවහන්සේගේ කැමැත්තට හා යෙහෝවඃවහන්සේට නමස්කාර කරන අයට විරුද්ධ වීම වැනි, සාතන් නමැති යක්ෂයාගේ ගතිලක්ෂණවලට සමානව ඒවා විදහාපෙන්වූ පුද්ගලයන් හා සංවිධාන බිහිවීමට පටන්ගති. යක්ෂයාගේ ජනිතයන්, එනම් ඔහුගේ ආත්මික දරුවන් මෙම ගතිලක්ෂණ මගින් හඳුන්වන ලදි. මොවුන්ගෙන් කෙනෙකි, කායින්. යෙහෝවඃවහන්සේ ඔහුගේ නමස්කාරය වෙනුවට ආබෙල්ගේ නමස්කාරයට අනුග්‍රහය දැක්වූ විට, ඔහු ආබෙල්ව ඝාතනය කළේය. (1 යොහන් 3:10-12) නිම්රොද්ගේ නම පවා ඔහුව කැරලිකාරයෙකු ලෙස හඳුන්වා දුන් අතර, ඔහු යෙහෝවඃවහන්සේට විරුද්ධ බලවත් දඩයක්කාරයෙක් හා පාලකයෙක් බවට පත් විය. (උත්පත්ති 10:9) ඊට අමතරව, බබිලෝනිය ඇතුළුව පුරාණ රාජ්‍යවල් කිහිපයක් පිළිවෙළින් බිහි වූ අතර, රජයේ අනුග්‍රහය ලැබූ බොරුව මත පදනම්ව තිබූ ආගම් ඒවායෙහි තිබිණ, තවද මෙම රාජ්‍යවල් යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ට කෲර ලෙස පීඩා කළේය.—යෙරෙමියා 50:29.
‘තා සහ ස්ත්‍රිය අතරෙහි සතුරුකම’
6. සාතන් යෙහෝවඃවහන්සේගේ ස්ත්‍රිය කෙරෙහි සතුරුකම පෙන්වා ඇත්තේ කවර මාර්ගවලින්ද?
6 මේ මුළු කාල සීමාව පුරා, සර්පයා හා යෙහෝවඃවහන්සේගේ ස්ත්‍රිය අතර, එනම් සාතන් නමැති යක්ෂයා හා පක්ෂපාත ආත්ම ජීවීන්ගෙන් සමන්විත යෙහෝවඃවහන්සේගේ ස්වර්ගික සංවිධානය අතර සතුරුකමක් පැවතිණ. සාතන් යෙහෝවඃවහන්සේට සරදම් කළ විටත්, තමුන්ට හිමි නිසි වාසස්ථානය අත්හැරීමට දේවදූතයන්ව වරදට පොලඹවාගැනීමෙන් යෙහෝවඃවහන්සේගේ ස්වර්ගික සංවිධානය බිඳ දැමීමට වෑයම් කළ විටත්, ඔහුගේ සතුරුකම ප්රත්යක්ෂ විය. (හිතෝපදේශ 27:11; යූද් 6) යෙහෝවඃවහන්සේ විසින් එවන ලද දේවදූතමය පණිවිඩකාරයන්හට බාධා පැමිණවීමට වෑයමක් වශයෙන් සාතන් තම භූතයන් යොදාගත් විට, එය විදහාපෙන්වනු ලැබීය. (දානියෙල් 10:13, 14, 20, 21) මෙසියානු රාජ්‍යය උපත ලබද්දී, සාතන් එය විනාශ කිරීමට මං සෙවූ විට, මෙම 20වන සියවසේදී එය කැපීපෙනෙන අන්දමකින් ප්රත්යක්ෂ විය.—එළිදරව් 12:1-4.
7. සංකේතාත්මක සර්පයා කෙරෙහි යෙහෝවඃවහන්සේගේ පක්ෂපාත දේවදූතයන්ට සතුරුකමක් දැනුණේ මන්ද, නමුත් ඔවුන් පෙන්වා ඇත්තේ කවර සංයමයක්ද?
7 එමෙන්ම යෙහෝවඃවහන්සේගේ ස්ත්‍රිය, එනම්, පක්ෂපාත දේවදූත මණ්ඩලය සංකේතාත්මක සර්පයා කෙරෙහිද සතුරුකම දැක්වීය. සාතන් දෙවියන්වහන්සේගේ හොඳ නමට අපහාස කර තිබිණ; සියලුම දේවදූතයන් ඇතුළුව, දෙවියන්වහන්සේගේ සෑම බුද්ධිමත් මැවිල්ලකගේම අඛණ්ඩතාව පිළිබඳව ඔහු සැක පහළ කර තිබූ අතර, දෙවියන්වහන්සේට වූ ඔවුන්ගේ පක්ෂපාතකම බිඳහෙළීමට ඔහු ක්‍රියාශීලී උත්සාහයක් දරමින් සිටියේය. (එළිදරව් 12:4අ) යක්ෂයා හා සාතන් බවට තමාවම පත් කරගෙන තිබූ තැනැත්තා කෙරෙහි පක්ෂපාත දේවදූතයන්, කෙරුබ්වරුන් හා සෙරාප්වරුන් තුළ නිතැතින්ම සම්පූර්ණ පිළිකුල්කමක් ඇති විය. එහෙත් යෙහෝවඃවහන්සේ, ස්වකීය නිසි කාලය හා ක්‍රමය අනුව කාරණා සමඟ කටයුතු කරන අවස්ථාව පැමිණෙන තෙක්, ඔවුහු උන්වහන්සේ කෙරෙහි බලා සිට ඇත්තාහ.—යූද් 9, සසඳන්න.
දෙවියන්වහන්සේගේ ස්ත්‍රියගේ වංශය කෙරෙහි සතුරුකම
8. සාතන් කවරෙකුගේ පැමිණීම බලා සිටියේද?
8 ඒ අතරතුර, පුරෝකථනය කර තිබූ ස්ත්‍රියගේ වංශය, එනම් සර්පයාගේ හිස පොඩි කරන බවට යෙහෝවඃවහන්සේ පැවසූ තැනැත්තා වනු ඇත්තේ කවරෙකුදැයි කියා සාතන් බලාගෙන සිටියේය. බෙත්ලෙහෙමේ උපත ලැබූ යේසුස්වහන්සේ “ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාර[යා]” බව ස්වර්ගයෙන් පැමිණි දේවදූතයෙකු නිවේදනය කළ විට, උන්වහන්සේ පුරෝකථනය කර තිබූ ස්ත්‍රියගේ වංශය වන බවට මෙය ප්‍රබල සනාථ කිරීමක් විය.—ලූක් 2:10, 11.
9. යේසුස්වහන්සේගේ උපතින් පසු, සාතන් කුරිරු සතුරුකමක් විදහාපෙන්වූයේ කෙසේද?
9 පළමුකොට යෙරුසලමේ හෙරොද් රජු වෙතටත්, ඊළඟට ළාබාල යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ මව වූ මරියා සිටින බවට සොයාගත් බෙත්ලෙහෙමේ නිවස වෙතටත් යොමු කළාවූ ගමනක යෙදීමට සාතන් මිථ්‍යාදෘෂ්ටික ජ්‍යොතිඃ ශාස්ත්‍රඥයන්ව පෙලඹූ විට, වැඩි කලක් යන්ට මත්තෙන්, සාතන්ගේ කුරිරු සතුරුකම ප්රත්යක්ෂ විය. ඉන්පසුව ඉක්මනින්ම බෙත්ලෙහෙම හා ඒ අවට සිටි වයස අවුරුදු දෙකේ හා ඉන් පහළ සියලු පිරිමි දරුවන් ඝාතනය කරන ලෙස හෙරොද් රජ නියෝග කළේය. මෙයාකාරයෙන්, හෙරොද් රජ, වංශය කෙරෙහි සාතන්ට සමාන වෛරයක් පෙන්වීය. මෙසියස්වහන්සේ වීමට සිටි තැනැත්තා ජීවිතක්ෂයට පත් කිරීමට තමා වෑයම් කරමින් සිටි බව හෙරොද් හොඳින් දැන සිටි බව පැහැදිලිය. (මතෙව් 2:1-6, 16) හෙරොද් රජු කිසි ප්‍රතිපත්තියක් නැති, කපටි, මිනීමරුවෙකු වූ බව ඉතිහාසය සාක්ෂිදරයි—ඇත්තෙන්ම ඔහු සර්පයාගේ වංශයට අයත් කෙනෙකි.
10. (අ) යේසුස්වහන්සේගේ බව්තීස්මයෙන් පසු, පොරොන්දු වංශය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ අරමුණට බාධා පැමිණවීමට සාතන් පෞද්ගලිකව වෑයම් කළේ කෙසේද? (ආ) තම ඉලක්ක පසුපස හඹායෑම සඳහා සාතන් යුදෙව් ආගමික නායකයන්ව යොදාගත්තේ කෙසේද?
10 පොදු යුගයේ 29දී යේසුස්වහන්සේව ශුද්ධාත්මයෙන් අභිෂේක කොට, ස්වකීය පුත්‍රයාණන් බව පිළිගනිමින්, යෙහෝවඃවහන්සේ ස්වර්ගයේ සිට කතා කළායින් පසු, යේසුස්වහන්සේව පරීක්ෂාවට හසු කරගැනීම සඳහා සාතන් නිරන්තර වෑයමක් දැරූ අතර, එසේ කළේ යෙහෝවඃවහන්සේගේ පුත්‍රයාණන් සම්බන්ධයෙන් උන්වහන්සේගේ අරමුණට බාධා පැමිණවීම සඳහාය. (මතෙව් 4:1-10) එය කිරීමට අසමත් වූ ඔහු, තම ඉලක්ක අත් කරගැනීම සඳහා තවදුරටත් මිනිස් නියෝජිතයන් භාවිත කිරීමට උපක්‍රම යෙදුවේය. යේසුස්වහන්සේට අවනම්බු කිරීම සඳහා දැරූ වෑයමේදී, යොදාගත් අය අතර කුහක ආගමික නායකයෝද සිටියෝය. සාතන් යොදාගත් උපක්රමවලට සමානව, ඔවුහු බොරු හා අපහාස උපයෝගි කරගත්හ. “ධෛර්යවත්වෙයන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි” යේසුස්වහන්සේ අංශභාග රෝගියෙකුට පැවසූ විට, එම මිනිසා සුවය ලැබුවාදැයි කියාවත් නොබලා, යේසුස්වහන්සේ දෙවියන්වහන්සේට අපහාසකරන්නෙකු කියා ලියන්නෝ විනිශ්චය කළෝය. (මතෙව් 9:2-7) යේසුස්වහන්සේ සබත් දවසේදී ජනයාව සුව කළ විට, සබත් නීතිය උල්ලංගනය කරන කෙනෙකු හැටියට උන්වහන්සේව හෙළා දුටු ඵරිසිවරු, උන්වහන්සේව මරන්ට මන්ත්‍රණය කළෝය. (මතෙව් 12:9-14; යොහන් 5:1-18) යේසුස්වහන්සේ භූතයන් පලවාහැරිය විට, උන්වහන්සේ “යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ්” සමඟ යම් සබඳකමක් පවත්වන බවට ඵරිසිවරු චෝදනා කළහ. (මතෙව් 12:22-24) ලාසරුස්ව මළවුන්ගෙන් නැඟිටෙවු විට, බොහෝ ජනයා යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නමුත්, උන්වහන්සේව ඝාතනය කිරීමට නායක පූජකයෝ හා ඵරිසිවරු නැවතත් මන්ත්‍රණය කළෝය.—යොහන් 11:47-53.
11. යේසුස්වහන්සේගේ මරණයට දින තුනකට කලින්, උන්වහන්සේ සර්පයාගේ වංශයේ කොටසක් වශයෙන් කවරෙකු හඳුන්වා දුන්සේක්ද, ඒ මන්ද?
11 පොදු යුගයේ 33හි නීසාන් 11වනදා, යේසුස්වහන්සේ ඔවුන්ගේ කුමන්ත්‍රණය කුමක්දැයි හොඳින් දැන සිටියද, නිර්භයව යෙරුසලමේ දේවමාළිගා ප්‍රදේශය තුළටම ගොස්, ඔවුන් පිටට පැමිණෙන විනිශ්චය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළසේක. කණ්ඩායමක් වශයෙන්, ලියන්නන් හා ඵරිසිවරුන් තමන් කවර ආකාරයේ පුද්ගලයන්ද යන වග ස්ථිරසාරව විදහාපෙන්වා තිබිණ; එනිසා යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.” ඔවුන් සර්පයාගේ වංශයේ කොටසක් බව යේසුස්වහන්සේ ඍජුව ප්‍රකාශ කළේ මෙසේ පවසමිනි: “සර්පයෙනි, පොළොංවංශයෙනි, නුඹලා නිරයේ [ගෙහෙන්නාවේ, NW] දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද?” (මතෙව් 23:13, 33) උන්වහන්සේ භාවිත කළ භාෂාව උත්පත්ති 3:15හි අනාවැකිය සිහිගන්වයි.
12, 13. (අ) නායක පූජකයන් හා ලියන්නන්, තම ආත්මික පියා කවුදැයි යන්න පිළිබඳ සාක්ෂි තවදුරටත් ඉදිරිපත් කළේ කෙසේද? (ආ) ඔවුන් හා එක්වූයේ කවුද? (ඇ) උත්පත්ති 3:15හි ඉටුවීමක් වශයෙන්, ස්ත්‍රියගේ වංශයේ විලුඹ පොඩි කරන ලද්දේ කෙසේද?
12 යේසුස්වහන්සේගේ වචන ඇසූ කල, දෙවියන්වහන්සේගෙන් දයාව අයදීමට නැඹුරු වන තරමටම, ඔවුන්ගේ සිත් තුළ දැඩි පසුතැවීමක් ඇති වීද? කළ දුෂ්ටකම් සම්බන්ධයෙන් ඔවුහු පසුතැවිලි වූවහුද? නැත! ඊළඟ දිනයේදීම, උත්තම පූජකයාගේ මණ්ඩපයේ පැවැත්වූ රැස්වීමකදී, “නායක පූජකයෝද ලියන්නෝද [යේසුස්වහන්සේ] ප්‍රයෝගයෙන් අල්ලා මරන්නේ කෙසේද කියා සොයමින් සිටි” බව මාර්ක් 14:1 වාර්තා කරයි. මීට කලින් යේසුස්වහන්සේ සාතන්ව විස්තර කර තිබුණේ මිනීමරුවෙකු ලෙසටය, තවද ඔවුහු දිගටම ඔහුගේ එම මිනීමරු ස්වභාවය විදහාපෙන්වූහ. (යොහන් 8:44) ඇදහිල්ල අත්හරින්නෙකු වීමට සාතන් පෙලඹවූ යූදස් ඉස්කාරියොත් වැඩි කල් යන්ට මත්තෙන් ඔවුන් හා එකතු වූයේය. යූදස් දෙවියන්වහන්සේගේ ස්ත්‍රියගේ නිර්දෝෂ වංශය අත්හැර, සර්පයාගේ වංශය හා එක් වූයේය.
13 නීසාන් 14වනදා හිමිදිරියේ, යුදෙව් ආගමික උසාවියේ සාමාජිකයෝ, යේසුස්වහන්සේව සිරකරුවෙකු ලෙස රෝම ආණ්ඩුකාරයා වෙතට ගෙන ගියහ. මෙවිට උන්වහන්සේව වධකණුවක ඇණගසන්න කියා මොරගැසීමේදී පෙරමුණ ගත්තේ නායක පූජකවරුන්ය. “නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි” පිලාත් විමසූ විට, “කායිසර් මිස අපට රජෙක් නැතැයි” පිළිතුරු දුන්නේ නායක පූජකවරුන්ය. (යොහන් 19:6, 15) ඇත්තවශයෙන්ම, තමුන් සර්පයාගේ වංශයේ කොටසක් වූ බව ඔවුහු සෑම අතින්ම ඔප්පු කළෝය. එහෙත් මීට ඇතුළත් වූයේ ඔවුන් පමණක් නොවේ. මතෙව් 27:24, 25හි දේවානුභාවය ලත් වාර්තාව මෙසේ වාර්තා කරයි: “පිලාත් . . . වතුර ගෙන සමූහයා ඉදිරියේ අත් [සේදීය].” එවිට මුළු සෙනඟ මෙසේ පැවසූහ: “ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේ[වා].” මෙසේ තමුන් සර්පයාගේ වංශයේ කොටසක් බව එම පරම්පරාවේ යුදෙව්වන් බොහෝදෙනෙක් හඳුන්වා දුන්නෝය. එම දිනයේ අවසානයට පෙර, යේසුස්වහන්සේ මළසේක. තම දෘශ්‍යමාන වංශය උපයෝගි කරගනිමින්, සාතන් දෙවියන්වහන්සේගේ ස්ත්‍රියගේ වංශයෙහි විලුඹ පොඩි කර තිබිණ.
14. ස්ත්‍රියගේ වංශයේ විලුඹ පොඩි කිරීම සාතන්හට ජයක් අදහස් නොකළේ මන්ද?
14 සාතන් ජය අත් කරගෙන තිබුණාද? කිසිසේත් නැත! ලෝකයෙන් ජයගෙන තිබූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, එහි පාලකයා පරාජය කොට තිබිණ. (යොහන් 14:30, 31; 16:33) මරණය දක්වා උන්වහන්සේ යෙහෝවඃවහන්සේට සිය පක්ෂපාතකම පවත්වා තිබිණ. පරිපූර්ණ මිනිසෙකු වශයෙන් උන්වහන්සේගේ මරණය, ජීවනය සම්බන්ධයෙන් ආදම් නැති කරගත් අයිතිවාසිකම් නැවත මිල දී ගැනීමට අවශ්‍ය වූ මිදීමේ මිලය සපයා දුන්නේය. එනිසා එම සැපයුම කෙරෙහි ඇදහිල්ල පවත්වා දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වනු ඇති අය සඳහා උන්වහන්සේ සදාජීවනයට මඟ විවෘත කර දුන්සේක. (මතෙව් 20:28; යොහන් 3:16) යෙහෝවඃවහන්සේ, යේසුස්වහන්සේව ස්වර්ගයේ අමරණීය ජීවිතයක් සඳහා මළවුන්ගෙන් නැඟිටෙවුසේක. යෙහෝවඃවහන්සේගේ නිසි කාලයේදී, යේසුස්වහන්සේ සාතන්ව සහමුලින්ම පොඩි කර දමනවා ඇත. උත්පත්ති 22:16-18හි, එම පක්ෂපාත වංශය කරණකොටගෙන තමුන් කෙරෙහි ආශීර්වාද පමුණුවාගැනීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා පොළොවේ සියලු ජාතීන්හට යෙහෝවඃවහන්සේ අනුග්‍රහය දක්වන බව පුරෝකථනය කර තිබේ.
15. (අ) යේසුස්වහන්සේගේ මරණයෙන් පසු, සර්පයාගේ වංශය අනාවරණය කිරීමෙහි ප්‍රේරිතයන් දිගටම නිරත වූයේ කෙසේද? (ආ) හරියටම අපේ කාලය දක්වා සර්පයාගේ වංශය විසින් තවදුරටත් විදහාපෙන්වා තිබෙන්නේ කවර සතුරුකමක්ද?
15 යේසුස්වහන්සේගේ මරණයෙන් පසු, ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීහු තම ස්වාමියා කර ඇති අන්දමට දිගටම සර්පයාගේ වංශය අනාවරණය කිරීමෙහි නියැලුණාහ. ශුද්ධාත්මයෙන් පොලඹවනු ලැබූ ප්‍රේරිත පාවුල්, “සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට” පෙනී සිටිනු ඇති “පාපයේ [නොපනත්කමේ, NW] මනුෂ්‍යයා[ට]” විරුද්ධව අනතුරු ඇඟවීය. (2 තෙසලෝනික 2:3-10) මෙම සාමූහික “මනුෂ්‍යයා” ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය බව ඔප්පු වී තිබේ. ඊට ප්‍රතික්‍රියාවක් වශයෙන්, සර්පයාගේ වංශය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් පිට දරුණු පීඩා ගෙනාවේය. එළිදරව් 12:16හි වාර්තා වී තිබෙන අනාවැකියෙහි, සාතන් දිගටම අපේ දවස දක්වා දෙවියන්වහන්සේගේ ස්ත්‍රියගේ වංශයේ ඉතිරි කොටසට විරුද්ධව යුද්ධ කරන බව ප්‍රේරිත යොහන් පුරෝකථනය කළේය. සිදු වී තිබෙන්නේ හරියටම ඒ දෙයයි. රටවල් බොහොමයක, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට හා උන්වහන්සේගේ ධර්මිෂ්ඨ මාර්ගවලට පක්ෂව ක්‍රියා කර ඇති බැවින්, ඔවුන් පිට තහනම් පමුණුවා, ඔවුන්ව කලහකාරි පිරිස්වල පීඩනයට ලක් කර, සිරභාරයට නැතහොත් ගාල් කඳවුරුවලට දමා ඇත.
නවීන කාලයේදී සර්පයාගේ වංශය අනාවරණය වේ
16. නූතන කාලවල, සර්පයාගේ වංශයේ කොටසක් බවට අනාවරණය වී තිබෙන්නේ කාවද, ඒ කෙසේද?
16 යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුකරණය කරමින්, සැබෑ ක්‍රිස්තියානීන් සර්පයාව මෙන්ම ඔහුගේ වංශය අනාවරණය කිරීමට පසුබට වී නැත. එවකට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව හඳුන්වනු ලැබූ පරිදි, බයිබල් ශිෂ්‍යයන් 1917දී ද ෆින්ෂ්ට් මිස්ට්‍රි යන පොත ප්‍රකාශයට පත් කළ අතර, එමගින් ඔවුහු ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයේ කුහකකම අනාවරණය කළෝය. ඉන් අනතුරුව 1924දී ඉක්ලීසියැස්ටික්ස් ඉන්ඩයිටඩ් යන මැයින් මුද්‍රිත අධිෂ්ඨාන පත්‍රයක් නිකුත් කරන ලදි. පිටපත් මිලියන 50ක් ජාත්‍යන්තරව බෙදාහරින ලදි. වර්ෂ 1937දී, එවකට වොච් ටවර් සමිතියේ සභාපති වූ ජේ. එෆ්. රදර්ෆඩ්, “අනාවරණය වී” සහ “ආගම හා ක්‍රිස්තියානි ධර්මය” යන තේමාවලින් යුත් අනුශාසනා මගින් සාතන්ගේ වංශය පිළිබඳ ප්‍රබල අනාවරණය කිරීම් ඉදිරිපත් කළේය. ඊළඟ වර්ෂයේදී, විවිධ දේශවල රැස්ව සිටි සමුළු ශ්‍රාවක පිරිස් 50ක් සවන් දෙද්දී, හෙතෙම “සැබෑ කාරණාවලට මුහුණ දෙන්න” යන අනුශාසනාව ඉදිරිපත් කළේය, මෙය එංගලන්තයේ ලන්ඩන්වල ගුවන්විදුලි දූරකථන පද්ධතියක් මගින් ව්‍යාප්ත කරන ලදි. ඉන් මසකට පසු, එක්සත් ජනපදය පුරා ව්‍යාප්ත වූ ගුවන්විදුලි වැඩසටහනක “ෆැසිස්ට්වාදය හෝ නිදහස” යන දේශනය ප්‍රචාරය කරන ලදි. එනිමීස් සහ රිලිජන් වැනි පොත්වල මෙන්ම අන්කවර්ඩ් යන පොත් පිංචයේ අඩංගු ප්‍රබල අනාවරණය කිරීම් මගින් මීට අනුබල දෙන ලදි. එක්දහස් නවසිය විසිගණන්වල පටන් ප්‍රකාශයට පත් කර තිබෙන දේවලට එකඟව, දැන් භාෂා 65කින් මුද්‍රිත එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟය!a යන පොත, දූෂිත දේශපාලන නායකයන් හා ගිජු, ප්‍රතිපත්ති ගරු නොකරන වාණිජ වෙළඳුන් හඳුන්වා දෙන්නේ සර්පයාගේ දෘශ්‍යමාන වංශයේ සිටින පරම සාමාජිකයන් වශයෙනි. තම යටත්වැසියන් මුළා කිරීමට බොරුවේ පිහිට පතන්ටත්, රුධිරයේ පරිශුද්ධභාවයට කිසිදු සැලකිල්ලක් නොදැක්වීමටත්, යෙහෝවඃවහන්සේගේ සේවකයන් පීඩාවට පත් කිරීමටත් (මෙනයින් දෙවියන්වහන්සේගේ ස්ත්‍රියගේ වංශය සඳහා වෛරයක් පෙන්වීමටත්), දේශපාලන නායකයන් පුරුද්දක් වශයෙන් නැඹුරු වන විට, තමුන් සර්පයාගේ වංශය බව ඔවුහු පැහැදිලිව හඳුන්වා දෙති. කිසිදු පසුතැවීමකින් තොරව මූල්‍යමය වාසි ලබාගැනීම සඳහා බොරු කියමින්, රෝගවලට හේතු වන බව දන්නා භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහිත් අලෙවි කිරීමෙහිත් නිරත වන වාණිජ්‍ය වෙළඳුන් සම්බන්ධයෙන් මෙය සැබෑවකි.
17. ඉදිරියේදී ලෝක පිළිවෙළින් ඉවත්විය හැකි ප්‍රසිද්ධ පුද්ගලයන්හට තවමත් විවෘතව තිබෙන ප්‍රස්තාව කුමක්ද?
17 ලෞකික ආගමෙන්, දේශපාලනයෙන් හෝ වාණිජ්‍යයෙන් දූෂණය වී සිටින සෑම පුද්ගලයෙක්ම අවසානයේදී සර්පයාගේ වංශයේ කොටසක් ලෙස ගණන් ගනු නොලබති. මෙම පුරුෂයන් හා ස්ත්‍රීන් සමහරෙකු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ගරු කිරීමට පටන්ගෙන ඇත. ඔවුන්ට උපකාර කිරීමට මොවුන් තම බලතල භාවිත කරන අතර, නිසි කාලයේදී ඇතැම්හු සැබෑ නමස්කාරය වැලඳගනිති. (සසඳන්න ක්‍රියා 13:7, 12; 17:32-34.) එවන් සියලුදෙනාට, මෙම ආයාචනය ඉදිරිපත් කොට තිබේ: “එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්. ස්වාමීන්ට භයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්‍රීතිවව්. පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.” (ගීතාවලිය 2:10-12) ඇත්තෙන්ම, ස්වර්ගික විනිශ්චයකරුවාණන් ප්‍රස්තාව නමැති දොර වසා දැමීමට කලින්, යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහයට ආශා කරන සියලුදෙනා දැන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යය!
18. ස්ත්‍රියගේ වංශයේ කොටසක් නොවුවත්, යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ව සිටින්නේ කවුරුන්ද?
18 ස්ත්‍රියගේ වංශයේ කොටසක් වන්නේ ස්වර්ගික රාජ්‍යයට අයිති වූවන් පමණකි. මොවුන් සංඛ්‍යාවෙන් ස්වල්පදෙනෙකි. (එළිදරව් 7:4, 9) එහෙත්, යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන් වශයෙන් පාරාදීස පොළොවක සදාකාල ජීවනය අත් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින වෙනත් අය මහත් සමූහයක්, එසේය මිලියන ගණනක් සිටිත්. වචනයෙන් හා ක්‍රියාවෙන්, ඔවුහු යෙහෝවඃවහන්සේගේ අභිෂේක ලත් අයට මෙසේ පවසති: “අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේ.”—සෙකරියා 8:23.
19. (අ) සියලු ජනයා කළ යුතු තේරීම කුමක්ද? (ආ) තවමත් ප්‍රස්තාවක් තිබෙද්දී, ඥානවන්තව ක්‍රියා කිරීමට විශේෂයෙන්ම උනන්දුමත් ආයාචනයක් කර තිබෙන්නේ කවරෙකුහටද?
19 මුළු මිනිස් සංහතියම තෝරාගැනීමක් කළ යුතු කාලය දැන්ය. යෙහෝවඃවහන්සේට නමස්කාර කොට උන්වහන්සේගේ පරමාධිපත්‍යයට පක්ෂව සිටීමට ඔවුන්ට වුවමනාද, නැතහොත් සාතන්ට කැමති දේවල් කිරීමෙන් තම පාලකයා වීමට ඔවුන් ඔහුට ඉඩ දෙනු ඇද්ද? සියලු ජාතීන්ගෙන් පැමිණෙන මිලියන පහකින් පමණ යුත් ජනකායක්, රාජ්‍ය උරුමක්කාරයන් වන ස්ත්‍රියගේ වංශයේ ඉතිරි අය හා එක්ව, උන්වහන්සේගේ පැත්තෙහි තම ස්ථාවරය ගෙන ඇත්තාහ. ඔවුන් සමඟ පාඩම් කිරීමෙන් නැතහොත් ඔවුන්ගේ රැස්වීම්වලට පැමිණීමෙන් මිලියන අටක පමණ වෙනත් ජනකායක් තම උනන්දුව පෙන්වා ඇත්තාහ. මේ සියලුදෙනාටම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මෙසේ පවසති: ප්‍රස්තාව නමැති දොරටුව තවමත් විවෘතව පවතී. අනුමානයකින් තොරව යෙහෝවඃවහන්සේගේ පැත්ත ගන්න. පොරොන්දු වූ වංශය ලෙස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පිළිගන්න. යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානය සමඟ ප්‍රීතියෙන් ආශ්‍රය කරන්න. රජාණන් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ පාලනය තුළින් උන්වහන්සේ සපයනු ඇති සියලු ආශීර්වාදවලට ඔබත් පංගුකාරයෙක් වන්න.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්රකාශිතය.
ඔබට මතකද?
◻ උත්පත්ති 3:15හි සඳහන් සර්පයා කවරෙක්ද? තවද ස්ත්‍රිය යනු කවුද?
◻ සර්පයාගේ වංශයේ ගතිලක්ෂණ මොනවාද?
◻ යේසුස්වහන්සේ සර්පයාගේ වංශය අනාවරණය කළේ කෙසේද?
◻ නවීන කාලවල සර්පයාගේ වංශයට අයත් බවට අනාවරණය වී තිබෙන්නේ කවුරුන්වද?
◻ සර්පයාගේ වංශයේ කොටසක් ලෙස හඳුන්වනු ලැබීමෙන් වැළකී සිටීමට නම්, ගත යුත්තේ කවර හදිසි ක්‍රියාමාර්ගයක්ද?
[10වන පිටුවේ පින්තූරය]
කුහක ආගමික නායකයන් සර්පයාගේ වංශයේ කොටසක් බව යේසුස්වහන්සේ අනාවරණය කළසේක