ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 ජූලි 14-19 පි.
  • බයිබලේ මුල්ම අනාවැකිය ඔයාට බලපාන විදිහ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලේ මුල්ම අනාවැකිය ඔයාට බලපාන විදිහ
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අනාවැකියේ සැඟවුණු චරිත
  • අනාවැකිය මේ වෙන කල් ඉටු වෙලා තියෙන්නේ කොහොමද?
  • අපිට ලැබෙන ප්‍රයෝජන
  • B1 බයිබලයේ තියෙන පණිවිඩය
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • සර්පයාගේ වංශය—අනාවරණය වන්නේ කෙසේද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවි තම අරමුණ හෙළි කරයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • ඒදන් උයන ගැන විශ්වාස කිරීම කොතරම් වැදගත්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 ජූලි 14-19 පි.

පාඩම් ලිපිය 30

බයිබලේ මුල්ම අනාවැකිය ඔයාට බලපාන විදිහ

‘ඔබ සහ ස්ත්‍රිය අතර මම සතුරුකම් තබන්නෙමි.’—උත්. 3:15.

ගීතිකාව 15 දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!

මේ ලිපියෙන්a

1. ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණ අවස්ථාවේදීම ඔහු කළේ මොකක්ද? (උත්පත්ති 3:15)

ආදම්, ඒව දෙවියන්ට අකීකරු වුණ වෙලාවේ මිනිස්සු ඉස්සරහා තිබුණ හැම බලාපොරොත්තුවක්ම සුන් වුණා. හැබැයි දෙවියන් ඒ වෙලාවේදීම පුදුමාකාර අනාවැකියක් කියලා මිනිස්සුන්ට ආයෙත් බලාපොරොත්තුවක් දුන්නා. ඒ අනාවැකිය ගැන දැනගන්න උත්පත්ති 3:15 කියවන්න.

2. ඒ අනාවැකියේ තියෙන විශේෂත්වය මොකක්ද?

2 ඒ අනාවැකිය තියෙන්නේ බයිබලේ පළවෙනි පොතේ වුණත් ඒකට බයිබලේ අනිත් හැම පොතක්ම සම්බන්ධයි. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. සමහරවිට ඔයා දැකලා ඇති පොතක හැම පිටුවක්ම ඒකේ නාරටියට සම්බන්ධ වෙලා තියෙන විදිහ. අන්න ඒ වගේ බයිබලේ තියෙන හැම තොරතුරක්ම උත්පත්ති 3:15 තියෙන මේ අනාවැකියට සම්බන්ධ වෙලා එක තේමාවක් හැදිලා තියෙනවා. ඒක තමයි සාතන්වයි, සාතන්ගේ පැත්ත ගන්න හැමෝවමයි විනාශ කරන්න දෙවියන් ගැලවුම්කරුවෙක්ව එවනවා කියන එක.b ඒක යෙහෝවාට ආදරේ කරන අයට මොන තරම් හොඳ ආරංචියක්ද!

3. අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ මොනවා ගැනද?

3 උත්පත්ති 3:15 ඉන්න චරිත කවුද? ඒ අනාවැකිය මේ වෙන කල් ඉටු වෙලා තියෙන්නේ කොහොමද? ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.

අනාවැකියේ සැඟවුණු චරිත

පින්තූරවල අදහස: “උත්පත්ති 3:14, 15 සැඟවුණු චරිත.” 1. සර්පයා: යක්ෂයා වන සාතන්. 2. සර්පයාගෙන් පැවත එන්නන්: භූතයන්. 3. ස්ත්‍රිය: විශ්වාසවන්ත දේවදූතයන්. 4. ස්ත්‍රියගෙන් පැවත එන්නන්: ස්වර්ගයේ ඉන්න යේසුස් සහ ඔහු එක්ක පාලනයට හවුල් වෙන 1,44,000දෙනා. ඒ දේවල් ගැන 4, 5, 7 සහ 8 ඡේදවල කතා කරනවා.

4. “සර්පයා” කවුද? අපි ඒක හරියටම දන්නේ කොහොමද?

4 උත්පත්ති 3:14, 15 චරිත හතරක් ගැන කතා කරනවා. ඒ තමයි “සර්පයා,” සර්පයාගෙන් “පැවත එන්නන්,” “ස්ත්‍රිය” සහ ස්ත්‍රියගෙන් “පැවත එන තැනැත්තා.” ඒ චරිත පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හරියටම අඳුරගන්න බයිබලේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවා.c මුලින්ම අපි “සර්පයාගෙන්” පටන්ගමු. එතන කියන්නේ ඇත්තම සර්පයෙක් ගැන කියලා කොහොමටවත් හිතන්න බැහැ. මොකද සාමාන්‍ය සර්පයෙක්ට දෙවියන් ඒදන් උයනේදී කියපු දේ තේරුම්ගන්න බැහැ. එහෙමනම් එතන කතා කරන සර්පයා ඊට වඩා ගොඩක් බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කවුද? ඒකට උත්තරේ එළිදරව් 12:9 තියෙනවා. එතන පැහැදිලිවම කියනවා “මුල් සර්පයා” කියන්නේ සාතන් කියන යක්ෂයාට කියලා.

යක්ෂයා වන සාතන්.

සර්පයා

සාතන් කියන යක්ෂයා. එළිදරව් 12:9 එයාව හඳුන්වලා තියෙන්නේ “මුල් සර්පයා” විදිහට (4 ඡේදය බලන්න)

5. සර්පයාගෙන් පැවතෙන්නන් කවුද?

5 සර්පයා සාතන් නම් සර්පයාගෙන් පැවතෙන්නන් කවුද? බයිබලේ සමහර වෙලාවට පැවතෙන්නන් කියද්දී කෙනෙක්ව කිට්ටුවෙන් අනුකරණය කරනවා කියන අදහසත් ඒකට ඇතුළත් වෙනවා. හරියට දරුවෝ තාත්තාගේ අඩි පාරේ යනවා වගේ. එහෙමනම් සර්පයාගෙන් පැවතෙන්නන් සර්පයා වගේම දෙවියන්ටයි, ඔහුගේ සෙනඟටයි විරුද්ධව වැඩ කරන අය වෙන්න ඕනේ. කවුද ඒ අය? ඒ තමයි නෝවාගේ කාලේ තමන්ගේ පැවරුම අත්හැරලා පොළොවට ආපු දුෂ්ට දේවදූතයන් සහ සාතන්ගේ අඩි පාරේ යන දුෂ්ට මිනිස්සු.—උත්. 6:1, 2; යොහ. 8:44; 1 යොහ. 5:19; යූද් 6.

භූතයන්.

සර්පයාගෙන් පැවත එන්නන්

දෙවියන්ටත් ඔහුගේ සෙනඟටත් විරුද්ධව වැඩ කරන භූතයන් සහ දුෂ්ට මිනිස්සු (5 ඡේදය බලන්න)

6. ඒ අනාවැකියේ සඳහන් “ස්ත්‍රිය” ඒව වෙන්න බැරි ඇයි?

6 දැන් අපි “ස්ත්‍රිය” ගැන බලමු. ඒ ස්ත්‍රිය ඒව නම් වෙන්න බැහැ. ඒ ඇයි? එක හේතුවක් බලන්න. අනාවැකියේ කියනවා ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා සර්පයාගේ හිස “පොඩි කරනවා” කියලා. අපි කලින් බලපු විදිහට සර්පයා තමයි සාතන්. ඉතින් එච්චර බලවත් කෙනෙක්ගේ හිස පොඩි කරන්න ඒව වගේ සාමාන්‍ය ගැහැණියකගෙන් පැවතෙන, පාපය උරුම කරගත්ත කෙනෙක්ට පුළුවන්ද? කීයටවත් බැහැ. එහෙමනම් ස්ත්‍රියගෙනුත් ගොඩක් බලවත් දෙයක් නියෝජනය වෙන්න ඕනේ.

7. එළිදරව් පොතේ කියන විදිහට උත්පත්ති 3:15 සඳහන් ස්ත්‍රිය කවුද? (එළිදරව් 12:1, 2, 5, 10)

7 උත්පත්ති 3:15 සඳහන් මේ සැඟවුණු ස්ත්‍රිය කවුද කියලා බයිබලේ අන්තිම පොතේ හෙළි කරනවා. (එළිදරව් 12:1, 2, 5, 10 කියවන්න.) ඒ ස්ත්‍රිය පොළොවේ කෙනෙක් නම් වෙන්න බැහැ. මොකද එළිදරව් පොතේ කියනවා එයාගේ කකුල් දෙක යට හඳත් එයාගේ ඔළුව උඩ තරු 12ක් තියෙන ඔටුන්නකුත් තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ ස්ත්‍රිය උපත දෙන දරුවාත් හරි විශේෂයි. ඒ දරුවා තමයි දේවරාජ්‍යය. ඉතින් දේවරාජ්‍යය තියෙන්නේ ස්වර්ගයේ නිසා මේ ස්ත්‍රියත් ස්වර්ගයට අයිති කෙනෙක් වෙන්න ඕනේ. එහෙමනම් මේ ස්ත්‍රියගෙන් නියෝජනය වෙන්නේ දේවදූතයන්ගෙන් හැදිලා තියෙන දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසයි කියලා පැහැදිලියි.—ගලා. 4:26.

විශ්වාසවන්ත දේවදූතයන්.[15වන පිටුවේ පින්තූරය]

ස්ත්‍රිය

විශ්වාසවන්ත දේවදූතයන්ගෙන් හැදුණු යෙහෝවාගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස (7 ඡේදය බලන්න)

8. ස්ත්‍රියගෙන් පැවත එන ප්‍රධාන තැනැත්තා කවුද? එයා පැවතෙන තැනැත්තා බවට පත් වුණේ කවදාද? (උත්පත්ති 22:15-18)

8 ස්ත්‍රියගෙන් පැවත එන ප්‍රධාන තැනැත්තාව අඳුරගන්නත් බයිබලේ අපිට උදව් වෙනවා. අනාවැකිවල කියන විදිහට පැවත එන තැනැත්තා එන්නේ ආබ්‍රහම්ගේ පෙළපතින්. (උත්පත්ති 22:15-18 කියවන්න.) හැබැයි එයා සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට වඩා බලවත් කෙනෙක් වෙන්න ඕනේ. මොකද එහෙම වුණොත් විතරයි ඒ තැනැත්තාට සර්පයාගේ හිස පොඩි කරන්න පුළුවන් වෙන්නේ. කවුද ඒ තැනැත්තා? ඒ වෙන කවුරුත් නෙවෙයි, යේසුස් ක්‍රිස්තුස්. ඔහු ආවෙත් ආබ්‍රහම්ගේ පෙළපතින්. (ලූක් 3:23, 34) ඒත් සර්පයාගේ හිස පොඩි කරන්න තරම් බලයක් යේසුස්ට තියෙනවාද? ඔව්. බයිබලේ කියනවා යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ යෙහෝවා දෙවියන් ඔහුට “ගෞරවය සහ තේජස නමැති ඔටුන්න” පැළඳුවා කියලා. ඒ වගේම යේසුස්ට “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලයත්” දුන්නා. ඒ නිසා “යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කරන්න” ඔහුට බලය තියෙනවා. (හෙබ්‍රෙ. 2:7; මතෙ. 28:18; 1 යොහ. 3:8) ඒත් යේසුස් ස්ත්‍රියගෙන් පැවත එන ප්‍රධාන තැනැත්තා වුණේ කවදාද? ඒ ඔහු බව්තීස්ම වෙද්දී දෙවිගේ බලයෙන් අභිෂේක කරපු වෙලාවේ. (ගලා. 3:16) එතකොට ඔහුට වයස අවුරුදු 30යි.

ස්වර්ගයේ ඉන්න යේසුස් සහ ඔහු එක්ක පාලනයට හවුල් වෙන 1,44,000දෙනා.

ස්ත්‍රියගෙන් පැවත එන්නන්

යේසුස් ක්‍රිස්තුස් සහ ඔහු එක්ක පාලනයට හවුල් වෙන 1,44,000දෙනා (8 සහ 9 ඡේද බලන්න)

9-10. (අ) ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාට අයිති අනිත් අය කවුද? එයාලා ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාට අයිති වෙන්නේ කොයි අවස්ථාවේදීද? (ආ) අපි ඊළඟට බලන්නේ මොනවා ගැනද?

9 ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාට අයිති තවත් කට්ටියක් ඉන්නවා. ඒ කවුද කියලා අඳුරගන්න යුදෙව් සහ යුදෙව් නොවන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පාවුල් කියපු දෙයක් අපිට උදව් වෙනවා. එයා මෙහෙම කිව්වා. “ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි. ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.” (ගලා. 3:28, 29) කෙනෙක් දෙවිගේ බලයෙන් අභිෂේක ලබද්දී එයා ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාට අයිති වෙනවා. එහෙම බලද්දී ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා කියන්නේ යේසුස් සහ යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන 1,44,000දෙනාටයි. (එළි. 14:1) ඒ හැමෝම එයාලගේ තාත්තා වන යෙහෝවා දෙවියන්ගේ අඩිපාරෙයි ගමන් කරන්නේ.

10 උත්පත්ති 3:15 තියෙන චරිත කවුද කියලා අපි අඳුරගත්තා. ඒත් ඒ අනාවැකිය මේ වෙන කල් ඉටු වෙලා තියෙන්නේ කොහොමද? ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ගැන අපි ඊළඟට බලමු.

අනාවැකිය මේ වෙන කල් ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

11. ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාගේ “විලුඹ” පොඩි කරන්නේ කොහොමද?

11 උත්පත්ති 3:15 කියනවා සර්පයා ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාගේ “විලුඹ පොඩි කරනවා” කියලා. සාතන් යුදෙව්වන්ව සහ රෝමවරුන්ව පාවිච්චි කරලා යේසුස්ව මරපු වෙලාවේ ඒ අනාවැකිය ඉටු වුණා. (ලූක් 23:13, 20-24) සාමාන්‍යයෙන් කෙනෙක්ගේ විලුඹක් තුවාල වුණාම ඒක සනීප වෙන කල් එයාට ඇවිදින්න බැහැ. ඒ වගේ තුන්වෙනි දවසේදී නැවත නැඟිට්ටවන කල්ම යේසුස් හිටියේ කිසිම දෙයක් කරගන්න බැරි තත්වයක.—මතෙ. 16:21.

12. සර්පයාගේ හිස පොඩි කරන්නේ කොහොමද? ඒ කවදාද?

12 උත්පත්ති 3:15 ඉටු වෙන්න නම් යේසුස් දිගටම මරණ නින්දේ ඉන්න බැහැ. ඒ ඇයි? ඒ අනාවැකියේ කියන විදිහට ස්ත්‍රියගෙන් පැවත එන අය සර්පයාගේ හිස පොඩි කරනවා. ඒ අයට යේසුත් ඇතුළත්. ඒක කරන්න නම් පැවතෙන තැනැත්තාගේ විලුඹ සනීප වෙන්න ඕනේ. ඒ කියන්නේ එයා නැවත නැඟිටින්න ඕනේ. යේසුස් මැරිලා තුන්වෙනි දවසේදී ඒක ඒ විදිහටම ඉටු වුණා. යෙහෝවා ඔහුව ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් අමරණීය කෙනෙක් විදිහට නැවත නැඟිට්ටෙව්වා. අනාගතයේ දෙවියන් නියම කරපු දවසේදී යේසුස් සාතන්ගේ හිස පොඩි කරනවා. (හෙබ්‍රෙ. 2:14) එදාට සර්පයාගෙන් පැවතෙන හැමෝවම විනාශ කරන්න 1,44,000දෙනාත් යේසුස් එක්ක එකතු වෙනවා.—එළි. 17:14; 20:4, 10.d

උත්පත්ති 3:15 සඳහන් ප්‍රධාන සිද්ධීන්

උත්පත්ති 3:15 ඉටු වුණ විදිහ පෙන්නලා තියෙන කාල රේඛාවක්. 1. ක්‍රි.පූ. 1943: ආබ්‍රහම් තරු පිරුණු අහස දිහා බලන් ඉන්නවා. 2. ක්‍රි.ව. 29: යොහන් යේසුස්ව බව්තීස්ම කළාට පස්සේ යේසුස්ට දෙවිගේ බලය ලැබෙනවා. 3. ක්‍රි.ව. 33 පාස්කුව: යේසුස්ව වධකණුවක ඇණ ගහලා තියෙනවා. 4. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවස: යේසුස්ගේ අනුගාමිකයන්ගේ හිස්වලට උඩින් “ගිනිදලු” දකින්න තියෙනවා. 5. ක්‍රි.ව. 1914දී විතර: යේසුස් සාතන්ව සහ භූතයන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළුවා. 6. දහස් අවුරුදු පාලනය අවසානයේ: සාතන්ව සහ භූතයන්ව ගිනිවිලට හෙළනවා.
  1. 1. ක්‍රි.පූ. 1943

    ස්ත්‍රියගෙන් පැවත එන ප්‍රධාන තැනැත්තා එන්නේ ආබ්‍රහම්ගේ පෙළපතින් කියලා දෙවියන් දුන්න පොරොන්දුව වලංගු වුණා. (උත්. 12:1-3; 22:15-18)

  2. 2. ක්‍රි.ව. 29

    යේසුස් දෙවිගේ බලයෙන් අභිෂේක ලැබුවාට පස්සේ ස්ත්‍රියගෙන් පැවත එන ප්‍රධාන තැනැත්තා වුණා. (මතෙ. 3:16; ගලා. 3:16)

  3. 3. ක්‍රි.ව. 33 පාස්කුව

    යේසුස්ගේ විලුඹ පොඩි කළා. (ඔහුව මරණයට පත් කළා.) හැබැයි තුන්වෙනිදා ඔහු සුව වුණා. (ඔහු නැවත නැඟිට්ටා.) (මතෙ. 16:21; 26:1, 2)

  4. 4. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවස

    ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාට අයිති අනිත් අයව දෙවිගේ බලයෙන් අභිෂේක කරන්න පටන්ගත්තා. (ක්‍රියා 2:1-4; ගලා. 3:29)

  5. 5. ක්‍රි.ව. 1914දී විතර

    සාතන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළුවා. සාතන් ස්ත්‍රියගෙන් පැවත එන අයට වෙන කවදාටත් වඩා පීඩා කරන්න පටන්ගත්තා. (එළි. 12:9, 12, 17)

  6. 6. දහස් අවුරුදු පාලනය අවසානයේ

    සාතන්ගේ හිස පොඩි කරනවා. (එළි. 20:7, 10)

අපිට ලැබෙන ප්‍රයෝජන

13. මේ අනාවැකිය ඉටු වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 ඔයා දෙවියන්ට කැප වෙලා ඔහුට සේවේ කරන කෙනෙක්ද? එහෙමනම් මේ අනාවැකිය ඉටු වෙන එකෙන් ඔයාටත් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒ කොහොමද? අපි බලපු විදිහට ස්ත්‍රියගෙන් පැවත එන ප්‍රධාන තැනැත්තා තමයි යේසුස්. ඔහු මේ පොළොවේ ජීවත් වුණ විදිහෙන් යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා අපිට ඉගැන්නුවා. (යොහ. 14:9) යෙහෝවාව දැන හඳුනා ගන්න, ඔහුට ආදරය කරන්න අපිට පුළුවන් වුණෙත් යේසුස් නිසයි. ඒ වගේම යේසුස් උගන්නපු දේවල්වලින් සහ අද ඔහු සංවිධානය මාර්ගයෙන් අපිට මඟ පෙන්වන විදිහෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන්ගේ අනුමැතිය ලැබෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලත් ඔහු අපිට ඉගැන්නුවා. ඔහු ජීවත් වුණ විදිහෙන් විතරක් නෙවෙයි ඔහුගේ මරණයෙනුත් අපිට ප්‍රයෝජන ලැබෙනවා. ඔහු නැවත නැඟිට්ටාට පස්සේ ස්වර්ගයට ගිහින් ජීවිත පූජාවේ වටිනාකම දෙවියන්ට ඔප්පු කළා. ඒ නිසයි “සියලුම පාපවලින් පවිත්‍ර” වෙන්න අපිට අවස්ථාව ලැබෙන්නේ.—1 යොහ. 1:7.

14. ඒදන් උයනේදී කිව්ව අනාවැකිය ඒ වෙලාවේදීම ඉටු වුණා කියලා කියන්න බැරි ඇයි? පැහැදිලි කරන්න.

14 ඒදන් උයනේදී යෙහෝවා දෙවියන් කියපු අනාවැකිය ඉටු වෙන්න යම් කාලයක් ගත වෙනවා. කොහොමද අපි ඒක දන්නේ? ඒ අනාවැකියේ කියන විදිහට ස්ත්‍රියගෙන් කෙනෙක් පැවතෙන්න ඕනේ. යක්ෂයා එයාගෙන් පැවතෙන්නන්ව එකතු කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ස්ත්‍රියගේ පැත්තේ ඉන්න අය සහ සර්පයාගේ පැත්තේ ඉන්න අය අතර සතුරුකමක් ඇති වෙන්නත් ඕනේ. ඒ දේවල් දවසෙන් දෙකෙන් වෙන්න බැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ ගැන දැනන් ඉන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? අපි ඒ අනාවැකිය නිසා දැනගත්තා සාතන්ගේ පැත්තේ ඉන්න මිනිස්සු දෙවියන්ගේ සේවකයන්ට වෛර කරනවා කියලා. යේසුත් ඒ ගැන ගෝලයන්ට අනතුරු ඇඟෙව්වා. (මාක් 13:13; යොහ. 17:14) අනාවැකියේ කියපු විදිහටම එයාලා අතර සතුරුකමක් ඇති වුණා. ඒක පහුගිය අවුරුදු 100 පුරාවටම අපිට දකින්න තියෙනවා. ඒ කොහොමද?

15. වෙන කවදාටත් වඩා වැඩියෙන් මේ ලෝකේ අය දෙවියන්ගේ සෙනඟට වෛර කරන්නේ ඇයි? අපි සාතන්ට බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

15 1914දී යේසුස් ස්වර්ගයේ රජ වෙනවාත් එක්කම වගේ ඔහු සාතන්ව ස්වර්ගයෙන් පන්නලා දැම්මා. දැන් සාතන් ඉන්නේ පොළොවට කොටු වෙලා. සාතන් දන්නවා එයාට වැඩි කාලයක් නැහැ කියලා. (එළි. 12:9, 12) හැබැයි එහෙමයි කියලා එයා සද්ද නොකර ඉන්නෙත් නැහැ, ඒ වෙනුවට කේන්තියෙන් පුපුර පුපුර ඒ කේන්තිය දෙවියන්ගේ සේවකයන්ගේ පිටින් යවනවා. (එළි. 12:13, 17) අන්න ඒ නිසයි වෙන කවදාටත් වඩා මේ ලෝකය දෙවියන්ගේ සෙනඟට වෛර කරන්නේ. ඒත් අපි සාතන්ටවත් එයාගේ ඉත්තන්ටවත් බය වෙන්න ඕනෙද? නැහැ. බලන්න පාවුල් කියපු දේ. “දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?” (රෝම 8:31) අපි බලපු විදිහට උත්පත්ති 3:15 තියෙන අනාවැකිය මේ වෙද්දීත් සෑහෙන දුරට ඉටු වෙලයි තියෙන්නේ. ඉතින් ඒකේ ඉතුරු ටිකත් යෙහෝවා දෙවියන් කියපු විදිහටම ඉටු කරයි කියලා අපිට කිසිම සැකයක් නැහැ.

16-18. උත්පත්ති 3:15 තියෙන අනාවැකිය තේරුම්ගත්ත එකෙන් කර්ටිස්, උර්සුලා සහ ජෙසිකා ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

16 උත්පත්ති 3:15 තියෙන අනාවැකිය ගැන හොඳට හිතන එකෙන් ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න අපිට ශක්තිය ලැබෙනවා. ගුවාම්වල මිෂනාරි සේවේ කරන කර්ටිස්ගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “ප්‍රශ්න එද්දී මං හිතින් වැටුණ අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේ වෙලාවට දිගටම විශ්වාසවන්තව ඉන්න මට ලොකු සටනක් කරන්න වුණා. ඒකට මට උදව් වුණේ උත්පත්ති 3:15 දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන හිතපු එක. ඒ නිසා මට පුළුවන් වුණා මගේ යෙහෝවා දෙවියන් ගැන දිගටම විශ්වාසේ තියලා මේ ගමන යන්න.” යෙහෝවා ළඟදීම මේ හැම ප්‍රශ්නයක්ම විසඳන දවස එන කල් කර්ටිස් බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්.

17 බවේරියාවේ ඉන්න සහෝදරි උර්සුලාගේ අද්දැකීම බලන්න. උත්පත්ති 3:15 තියෙන අනාවැකිය ගැන හිතන එක එයාට උදව් වුණා බයිබලය දෙවියන්ගෙන්ම ලැබුණ පොතක් කියලා තේරුම්ගන්න. එයා කියනවා ඒ අනාවැකියට බයිබලේ තියෙන අනිත් හැම අනාවැකියක්ම සම්බන්ධ වෙන විදිහ ගැන කල්පනා කරද්දී එයාට පුදුම හිතුණා කියලා. එයා මෙහෙමත් කියනවා. “ඒදන් උයනේ ප්‍රශ්නේ ඇති වුණ වෙලාවේ යෙහෝවා දෙවියන් මිනිස්සුන්ව අතරමං කළේ නැහැ. ඒ වෙනුවට ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්න මාර්ගයක් ඔහු ඒ වෙලාවෙම සූදානම් කළා. ඒ ගැන හිතද්දී ඔහු ගැන පුදුම ආදරයක් ඇති වෙන්නේ.”

18 මයික්‍රෝනීසියාවේ ඉන්න ජෙසිකා කියන දේ බලන්න. “උත්පත්ති 3:15 තියෙන අනාවැකිය ඉටු වෙන විදිහ තේරුම්ගද්දී මට දැනුණා මේක තමයි සත්‍යය කියලා. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි මේ ගෙවන්නේ යෙහෝවා දෙවියන් මුලින් අපිට දෙන්න හිටපු ජීවිතේ නෙවෙයි කියලා තේරුම්ගන්න ඒ අනාවැකිය මට උදව් වුණා. දෙවියන්ට සේවේ කරන එකෙන් විතරයි අපිට නියම සතුට ලැබෙන්නේ. ඒක දැනුත් එහෙමයි, අනාගතයේදීත් එහෙමයි. ඇත්තම කිව්වොත් මීටත් වඩා හොඳ ජීවිතයක් අපිට එදාට ලැබෙනවා. මට ඒ ගැන තියෙන විශ්වාසේ වැඩි වුණේ මේ අනාවැකිය නිසයි.”

19. මේ අනාවැකියේ අන්තිම කොටසත් ඉටු වෙයි කියලා අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි?

19 අපි බලපු විදිහට උත්පත්ති 3:15 තියෙන අනාවැකිය දැනටමත් ඉටු වෙමිනුයි තියෙන්නේ. ස්ත්‍රියගෙන් පැවත එන අය කවුද, සර්පයාගෙන් පැවතෙන අය කවුද කියලා අපි අඳුරගත්තා. අපි බලපු විදිහට ස්ත්‍රියගෙන් පැවත එන ප්‍රධාන තැනැත්තා වුණේ යේසුස්. ඔහුගේ විලුඹ සනීප වෙලා, ඒ කියන්නේ ඔහු නැවත නැඟිටලා දැන් අමරණීය, බලවත් රජ කෙනෙක් විදිහට ස්වර්ගයේ රජකම් කරනවා. ඒ වගේම ස්ත්‍රියගෙන් පැවත එන අනිත් අයවත් දැනටමත් ගොඩක් දුරට තෝරගෙන ඉවරයි. ඒ අනාවැකියේ පළවෙනි කොටස මේ වෙද්දීත් ඉටු වෙලා තියෙන නිසා ඒකේ අන්තිම කොටසත් ඉටු වෙනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. සාතන්ට සෙල්ලම් දාන්න තියෙන්නේ තව ටික කාලයයි. මොකද සාතන්ගේ ඔළුව පොඩි කරලා දාන දවස වැඩි ඈතක නැහැ. ටිකකට හිතලා බලන්න, සාතන් නැති ලෝකෙක ජීවත් වෙන්න ලැබෙන එක දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට කොච්චර සහනයක් වෙයිද! ඒ නිසා අත්හරින්න එපා. මොකද අපේ යෙහෝවා දෙවියන් කවදාවත් බොරු කියන්නේ නැහැ. ස්ත්‍රියගෙන් පැවත එන අය මාර්ගයෙන් “පොළොවේ සියලු ජාතීන්ට ආශීර්වාද” කරනවා කියන පොරොන්දුව ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවාමයි.—උත්. 22:18.

උත්පත්ති 3:15 පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද?

  • “සර්පයා” සහ සර්පයාගෙන් පැවතෙන්නන් කවුද? “ස්ත්‍රිය” සහ ස්ත්‍රියගෙන් පැවතෙන්නන් කවුද?

  • ඒ අනාවැකිය මේ වෙන කල් ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

  • ඒ අනාවැකිය ඉටු වෙන එකෙන් ඔයාට දැනටමත් ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද?

ගීතිකාව 23 යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි

a උත්පත්ති 3:15 තියෙන අනාවැකිය අපි හරියටම තේරුම්ගත්තේ නැත්නම් බයිබලේ තියෙන ප්‍රධාන පණිවිඩය තේරුම්ගන්නත් අපිට බැරි වෙනවා. ඒ අනාවැකිය ගැන අධ්‍යයනය කරන එකෙන් යෙහෝවා දෙවියන් ගැන වගේම ඔහු දීලා තියෙන පොරොන්දු ගැනත් අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් කරගන්න පුළුවන්.

b ‘දේවවචනය අධ්‍යයනයට’ කියන පොතේ “බයිබලයේ සඳහන් පණිවිඩය” කියන ලිපිය බලන්න.

c “උත්පත්ති 3:14, 15 සැඟවුණු චරිත” කියන කොටුව බලන්න.

d “උත්පත්ති 3:15 සඳහන් ප්‍රධාන සිද්ධීන්” කියන කොටුව බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න