පරිච්ඡේදය 19
දෙවිගේ ඊශ්‍රායෙල් මුද්‍රා කිරීම
දර්ශනය 4—එළිදරව් 7:1-17
සිදු වන දේ: 1,44,000දෙනෙක්ව මුද්‍රා කරනවා. මහත් සමූහය යෙහෝවා දෙවිගේ සිංහාසනය හා බැටළු පැටවාණන් ඉදිරිපිට සිටිනවා
ඉටු වන කාලය: වර්ෂ 1914දී යේසුස් ක්‍රිස්තුස් රජ වූ දා සිට ඔහුගේ දහස් අවුරුදු පාලනයේ මුල් කාලය දක්වා
1. දෙවිගේ උදහසේ මහත් දවසට “මුහුණ දිය හැක්කේ කාටද?”
“ඊට මුහුණ දිය හැක්කේ කාටද?” (එළිදරව් 6:17) ඇත්තෙන්ම කාටද? සාතන්ගේ මේ දුෂ්ට සමාජය මතට දෙවිගේ උදහසේ දවස පැමිණෙන විට මේ ලෝකයේ පාලකයන් සහ ජනයා ඒ ප්රශ්නය අසාවි. ඔවුන්ට පෙනෙන්නේ පැමිණෙන විනාශයෙන් කිසිවෙක් බේරෙන්නේ නැති බවයි. නමුත් ඔවුන් සිතන දේ හරිද? නැහැ. “යෙහෝවාට යාච්ඤා කරන කවුරු නමුත් ගලවනු ලබන්නෝය” කියා දෙවිගේ අනාගතවක්තෘවරයා පොරොන්දු වන දේ ගැන අපට සතුටු විය හැකියි. (යෝවෙල් 2:32) පේතෘස් හා පාවුල් ඒ හා සමාන සහතිකයක් අපට දෙනවා. (ක්‍රියා 2:19-21; රෝම 10:13) ඇත්තටම යෙහෝවා දෙවිගේ නාමයට අයැදින සියලුදෙනාම මේ උදහස් දවසින් බේරෙනවා නියතයි. මේ අය කවුරුන්ද? ඊළඟ දර්ශනයෙන් මෙය අපට පැහැදිලි වෙනවා.
2. යෙහෝවා දෙවිගේ විනිශ්චය දවසින් බේරෙන අය සිටීම පුදුම දෙයක් වෙන්නේ ඇයි?
2 යෙහෝවා දෙවිගේ විනිශ්චය දවසින් කවුරු හෝ කෙනෙකුට බේරෙන්න හැකි නම්, එය පුදුමාකාර දෙයක් විය යුතුයි. ඒ දවස ගැන දෙවිගේ අනාගතවක්තෘ පවසන දෙයින් එය පැහැදිලි වෙයි. ඔහු පවසන්නේ මෙලෙසයි. “බලව, යෙහෝවාගේ කුණාටුව, එනම් ඔහුගේ කෝපය ගසාගෙන යන කුණාටුවක් මෙන් නික්මුණේය. ඒක දුෂ්ටයාගේ හිස පිට සැරෙන් වැදෙන්නේය. යෙහෝවා තමන් සිතේ අදහස් ඉෂ්ට කරන තෙක්ද සම්පූර්ණ කරන තෙක්ද ඔහුගේ රෞද්‍ර කෝපය නොහැරෙන්නේය.” (යෙරෙමියා 30:23, 24) ඒ කුණාටුවෙන් බේරෙන එක ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. ඒ නිසා ගැලවීම සඳහා අප වහාම පියවර ගත යුතුයි.—හිතෝපදේශ 2:22; යෙසායා 55:6, 7; ශෙපනියා 2:2, 3.
සතරදිග සුළං
3. (අ) යොහන් දකින හැටියට දේවදූතයන් කරන විශේෂ කාර්යය කුමක්ද? (ආ) ‘සතරදිග සුළංවලින්’ අදහස් කරන්නේ කුමක්ද?
3 යෙහෝවා දෙවි තම උදහස වැගිරවීමට පෙර ස්වර්ගයේ දේවදූතයන් විශේෂ කාර්යයක් ඉටු කරනවා. යොහන් එය දර්ශනයෙන් දකින්නේ මෙසේයි. “ඉන්පසු, දේවදූතයන් සතරදෙනෙකු පොළොවේ කොන් සතරෙහි සිටගෙන සිටිනවා මම දුටිමි. පොළොවටවත් මුහුදටවත් කිසිම ගසකටවත් සුළං නොවදින පිණිස, ඔවුහු පොළොවේ සතරදිග සුළං තදින් අල්ලාගෙන සිටියහ.” (එළිදරව් 7:1) අප මෙය තේරුම්ගන්නේ කෙසේද? ‘සතරදිග සුළංවලින්’ අදහස් කරන්නේ දෙවි ගෙනෙන විනාශයයි. විනාශයට ලක් වෙන්නේ කැලඹුණු මුහුදක් වගේ තිබෙන කිසිම නීතියකට ගරු නොකරන දැන් පවතින දුෂ්ට සමාජයයි. ඒ වගේම විනාශ වෙන්නේ පොළොවේ වැසියන්ගේ හයියෙන් ගස් හා සමානව නැඟී සිටින පාලකයන්.—යෙසායා 57:20; ගීතාවලිය 37:35, 36.
4. (අ) දේවදූතයන්ගෙන් නියෝජනය වෙන්නේ කවුරුන්ද? (ආ) සතරදිග සුළං මුදාහරින විට සාතන්ගේ දූෂිත සමාජයට කුමක් සිදු වේද?
4 මේ දේවදූතයන් හතරදෙනාගෙන් දේවදූත කණ්ඩායම් හතරක් නියෝජනය කරන බවට කිසිම සැකයක් නැහැ. ඔවුන් මෙම සුළං අල්ලාගෙන බලාගෙන සිටින්නේ යෙහෝවා දෙවිගේ නියමිත කාලයේදී දෙවිගේ විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමටයි. මෙම දේවදූතයන් දෙවිගේ උදහස නමැති මෙම සුළං මුදාහරින විට දස දෙසින්ම හමන මෙම සුළංවලින් සිදු වෙන්නේ අතිමහත් විනාශයක්. යෙහෝවා දෙවි අතීතයේදී ඒලාම් ජාතිකයන්ව විසුරුවාහැර විනාශ කිරීමට ඒ හා සමාන සුළඟක් යොදාගත්තා. (යෙරෙමියා 49:36-38) අම්මොන් ජාතිය විනාශ කිරීම සඳහාත් යෙහෝවා දෙවි එවැනිම ‘කුණාටුවක්’ යොදාගත්තා. (ආමොස් 1:13-15) එහෙත් මේ අවසාන මහා විනාශය ඒ කලින් විනාශයන් හා සසඳන්නවත් බැරි තරම්. එය ඒ තරමටම දරුණුයි. එයට මුහුණ දෙන්න සාතන්ගේ දුෂ්ට ලෝකයේ කිසිම බලවේගයකට බැරි වෙනවා. තමා මේ විශ්වයේ නීත්‍යනුකූල පාලකයා බව යෙහෝවා දෙවි තහවුරු කරන්න යන්නේ එදාටයි.—ගීතාවලිය 83:15, 18; යෙසායා 29:5, 6.
5. දෙවිගේ විනිශ්චයන් මුළු පොළොවටම බලපාන බව තේරුම්ගැනීමට යෙරෙමියාගේ අනාවැකිය අපට උපකාර කරන්නේ කෙසේද?
5 දෙවිගේ විනිශ්චයන් මුළු පොළොවටම බලපායි කියා අපට ස්ථිරවම කියන්න පුළුවන්ද? දෙවිගේ අනාගතවක්තෘ යෙරෙමියා කියන දේ සලකා බලන්න. “බලව, ජාතියෙන් ජාතියට නපුර නික්මෙන්නේය. මහත් කුණාටුවක්ද පොළොවේ ඉතා දුර සීමාවලින් නඟින්නේය. යෙහෝවා විසින් මරවන ලද්දෝ එදා පොළොවේ එක කෙළවරක පටන් අනික් කෙළවර දක්වාම වන්නෝය. ඔවුහු වැලපීමවත් එක් කිරීමවත් වළලෑමවත් නොලබන්නෝය.” (යෙරෙමියා 25:32, 33) ලෝකය අන්ධකාරයෙන් ගිල දමනු ලබන්නේ ඒ කුණාටුව හමද්දීයි. ලෝකයේ පවතින සියලුම බලවේගයන් නැත්තටම නැති වෙනවා. (එළිදරව් 6:12-14) නමුත් යම් පිරිසක් බේරෙන්න යනවා. සතරදිග සුළංවලින් ඇති වන විනාශය තවමත් පමා වෙන්නේ ඔවුන් නිසයි. ඔවුන් කවුරුන්ද?
දෙවිගේ දාසයන්ව මුද්‍රා කිරීම
6. සතරදිග සුළං මුදාහැරීම පමා කරන ලෙස දේවදූතයන්ට පවසන්නේ කවුද? ඒ කුමක් කරන තෙක්ද?
6 බේරී ජීවත් වීමට ඇතැම් අයව ලකුණු කරන ආකාරය යොහන් විස්තර කරන්නේ මෙසේ පවසමින්. “එවිට තවත් දේවදූතයෙකු මම දුටිමි. ඔහු, ජීවමාන දෙවිගේ මුද්‍රාවක් ඇතිව, නැඟෙනහිරෙන් නැඟී එනවා දුටිමි. ඔහු, පොළොවටත් මුහුදටත් අනතුරු කිරීමට බලය දෙන ලද දේවදූතයන් සතරදෙනාට මහත් හඬකින් කතා කොට: ‘අපේ දෙවිගේ දාසයන්ගේ නළල්වල අප මුද්‍රා තබන තුරු, පොළොවටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරන්න’ යයි කීවේය.”—එළිදරව් 7:2, 3.
7. ඇත්තටම පස්වන දේවදූතයා කවුද? ඒ බව අප දන්නේ කෙසේද?
7 මෙම පස්වන දේවදූතයා කවුද කියා සඳහන් කර නැතත් මොහු තේජසට පත් ස්වාමි වූ යේසුස් බව තිබෙන සාක්ෂිවලින් පැහැදිලියි. යේසුස් අග්‍රදේවදූතයා වන බැවින් අප මෙහිදී දකින්නේ ඔහුට වෙනත් දේවදූතයන් කෙරෙහි අධිකාරයක් තිබෙන බවයි. (1 තෙසලෝනික 4:16; යූද් 9) ඔහු පැමිණෙන්නේ නැඟෙනහිරින්. පුරාණයේ දාරියුස් සහ සයිරස් යන රජවරුන් දෙදෙනා බැබිලෝනිය අධිරාජ්‍යය පරාජය කිරීමට පැමිණියේ නැඟෙනහිරින්. ඒ හා සමානව තම විනිශ්චයන් ක්‍රියාත්මක කිරීම සඳහා “නැඟෙනහිරින් එන රජුන්” ලෙස යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් පැමිණෙන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 16:12; යෙසායා 45:1; යෙරෙමියා 5:11; දානියෙල් 5:31) මේ පස්වන දේවදූතයා යේසුස් බව පැවසිය හැකි තවත් හේතුවක් නම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව මුද්‍රා කිරීමේ කාර්යය ඔහුට භාර දී තිබීමයි. (එෆීස 1:13, 14) මීට අමතරව මෙම සුළං මුදාහරින විට ලෝකයේ ජාතීන්ට විරුද්ධව දෙවිගේ විනිශ්චයන් ඉටු කිරීමට එවනු ලබන ස්වර්ගික සේනාව පෙරමුණේ සිටින්නෙත් යේසුස්. (එළිදරව් 19:11-16) මේ අනුව දෙවිගේ දාසයන් මුද්‍රා කරන තෙක් සාතන්ගේ දුෂ්ට ලෝකය පිට ගෙනෙන විනාශය පමා කරන ලෙස නියෝග කරන්නේ යේසුස් බව මින් පැහැදිලියි.
8. මුද්‍රා කිරීම යනු කුමක්ද? එය ආරම්භ වූයේ කවදාද?
8 මේ මුද්‍රා කිරීම කුමක්ද? මුද්‍රා කරන දෙවිගේ මෙම දාසයන් කවුරුන්ද? මෙම මුද්‍රා කිරීම ආරම්භ වුණේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනේදී මුල්ම යුදෙව් ක්‍රිස්තියානීන් දෙවිගේ බලයෙන් අභිෂේක කළ විටයි. පසුව දෙවි ‘අන්යජාතිකයන්ගෙනුත්’ පුද්ගලයන්ව කැඳවා ඔවුන්වත් අභිෂේක කළා. (රෝම 3:29; ක්‍රියා 2:1-4, 14, 32, 33; 15:14) අභිෂේක ලත් අය ගැන කතා කරද්දී පාවුල් පැවසුවේ දෙවි “අප පිට සිය මුද්‍රාවද තබා, අපට අපේ සිත් තුළ, අත්තිකාරමක් වශයෙන් ආත්මය [තම බලය] ලබා දී” ඇති බවයි. මෙයින් ඔහු පැහැදිලි කළේ ඔවුන් “ක්‍රිස්තුස්ට අයත්” කියා සහතික කර ඇති බවයි. (2 කොරින්ති 1:21, 22; එළිදරව් 14:1ද බලන්න.) මෙම දාසයන්ව දෙවිගේ පුත්‍රයන් ලෙසට භාරගන්නා විට ඔවුන් ස්වර්ගික ජීවිතයකට උරුමකම් කියන බව සහතික කරනු ලබන්නේ ඔවුන්ට දෙවිගේ බලය විශේෂාකාරයෙන් ලබා දීම මාර්ගයෙනුයි. එය අත්තිකාරමක් හෙවත් පොරොන්දුවක් හා සමානයි. ඔවුන්ව මුද්‍රා කරන්නේ මෙයාකාරයටයි. (2 කොරින්ති 5:1, 5; එෆීස 1:10, 11) එවිට ඔවුන්ට මෙසේ පැවසිය හැකියි. “ඒ ආත්මයම අපේ ආත්මය හා එක්ව, අප දෙවිගේ දරුවෝයයි සාක්ෂි දරන්නේය. ඉතින්, අපි දරුවෝ නම්, උරුමක්කාරයෝද වන්නෙමු. එනම්, දෙවිගේ උරුමක්කාරයෝය. ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයෝය. නමුත් එසේ වන්නේ, අප ඔහු සමඟ මහිමයට පත් වන පිණිස, ඔහු සමඟ දුක් විඳිනවා නම් පමණි.”—රෝම 8:15-17.
9. (අ) ඉතිරිව සිටින දෙවිගේ අභිෂේක ලත් පුත්‍රයන් විඳදරාගත යුත්තේ කෙසේද? (ආ) අභිෂේක ලත් අයට මුහුණ දෙන්න සිදු වන පරීක්ෂා තවත් කොපමණ කල් පවතීද?
9 “ඔහු සමඟ දුක් විඳිනවා නම් පමණි” යන්නෙහි අර්ථය කුමක්ද? ජීවනය නමැති ඔටුන්න ලැබීමට නම්, මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මරණය දක්වාම විඳදරාගත යුතුයි. (එළිදරව් 2:10) ඒ නිසා ඔවුන් අනිවාර්යයෙන්ම ‘ගැලවීම ලබලා’ කියා කියන්න බැහැ. (මතෙව් 10:22; ලූක් 13:24) ඒ වෙනුවට ඔවුන්ට දී ඇති උපදෙස මෙයයි. “ඔබේ කැඳවීමද, තෝරාගනු ලැබීමද ඔබටම ස්ථිර කරගන්නා පිණිස, නොකඩවා උපරිමය කරන්න.” පාවුල් පවා වසර බොහොමයකට පසුව අවසානයේදී මෙසේ පැවසුවා. “මම යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි.” (2 පේතෘස් 1:10, 11; 2 තිමෝති 4:7, 8) එසේනම් පොළොව මත තවමත් සිටින දෙවිගේ අභිෂේක ලත් පුත්‍රයන් දිගටම විවිධ පීඩා හා පරීක්ෂාවලට මුහුණ දිය යුතුයි. යේසුස් සහ ඔහුගේ සහායට සිටින දේවදූතයන් විසින් ඔවුන්ගේ ‘නළල්වල’ තබා ඇති ඒ මුද්‍රාව ස්ථිර වෙන්නේ “දෙවිගේ දාසයන්” ලෙස ඔවුන් පරීක්ෂාවලින් ජයගත් විශ්වාසවන්ත අය හැටියට ස්ථිරවම ඔප්පු කිරීමෙන් පසුවයි. මහත් පීඩාවේ සුළං මුදාහරිනු ලබන්නේ දෙවිගේ ඊශ්රායෙලයට අයත් සියලුදෙනාගේම මුද්‍රා කිරීම ස්ථිර වුණායින් පසුයි. ඔවුන් කිහිපදෙනෙකු ඒ වන විටත් පොළොව මත සිටීමට ඉඩ තිබෙනවා. (මතෙව් 24:13; එළිදරව් 19:7) නමුත් මුළු සංඛ්‍යාව ස්ථිර කර හමාරයි.—රෝම 11:25, 26.
මුද්‍රා කරන්නේ කීදෙනෙක්වද?
10. (අ) මුද්‍රා කරනු ලබන අයගේ සංඛ්‍යාව සීමිත බව පැහැදිලි වෙන්නේ මොන බයිබල් පදවලින්ද? (ආ) මුද්‍රා කරනු ලබන මුළු සංඛ්‍යාව කීයද? ඔවුන්ව කාණ්ඩ ලෙස බෙදා ඇත්තේ කෙසේද?
10 මුද්‍රා කරනු ලබන අයට යේසුස් මෙසේ පැවසුවා. “කුඩා රැළ, බිය නොවන්න. මන්ද, ඔබට රාජ්‍යය දීමට ඔබේ පියාණන් අනුමැතිය දී තිබේ.” (ලූක් 12:32) කුඩා රැළට සීමිත සංඛ්‍යාවක් අයත් බව එළිදරව් 6:11 සහ රෝම 11:25 වැනි තවත් බයිබල් පදවලින් පැහැදිලි වෙනවා. ඒ සංඛ්‍යාව කලින්ම නියම කර තිබෙනවා. යොහන් ඊළඟට කී වචන දෙස බලද්දී මෙය අපට පැහැදිලි වෙනවා. “මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන මට ඇසුණේය. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසක්ය. ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ සෑම ගෝත්‍රයකින්ම ඔවුන්ව මුද්‍රා කරනු ලැබීය. යූදාගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, රූබන්ගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, ආෂෙර්ගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, නෆ්තලීගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, මනස්සේගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, සෙබ්යූලන්ගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, යෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද, බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් දොළොස්දහසක්ද මුද්‍රා කරනු ලැබූහ.”—එළිදරව් 7:4-8.
11. (අ) මෙහි සඳහන් ගෝත්‍ර 12 සැබෑ ඊශ්‍රායෙල් ජාතියට අදාළ නොවන්නේ ඇයි? (ආ) එළිදරව් පොතේ ගෝත්‍ර 12 සඳහන් කර තිබෙන්නේ ඇයි? (ඇ) දෙවිගේ ඊශ්‍රායෙල් තුළ එක විශේෂිත රාජකීය ගෝත්‍රයක් හෝ පූජක ගෝත්‍රයක් හෝ නැත්තේ ඇයි?
11 මෙහිදී කතා කරන්නේ සැබෑ ඊශ්‍රායෙල් ජාතිය ගැනද? නැහැ. එයට හේතුව එළිදරව් 7:4-8 දක්වා සඳහන් කර ඇති ගෝත්‍ර පුරාණ ඊශ්‍රායෙල් ජාතියේ නියම ගෝත්‍ර 12ට වඩා මදක් වෙනස් වන නිසයි. (ගණන් කතාව 1:17, 47) මෙහි සඳහන් ඊශ්‍රායෙල් පුත්‍රයන් කාණ්ඩවලට මෙලෙස බෙදා තිබෙන්නේ ඊශ්‍රායෙල් ජාතිකයන් අයත්ව සිටින ගෝත්‍ර මොනවාද කියා පෙන්වීමට නම් නෙවෙයි. නමුත් දෙවිගේ ඊශ්‍රායෙල් ජාතිය සංවිධානය වී ඇති ආකාරය පෙන්වීමටයි. ඔවුන්ගේ සංඛ්‍යාව වන 1,44,000දෙනා 12,000 බැගින් යුත් ගෝත්‍ර 12කට බෙදා තිබෙනවා. දෙවිගේ ඊශ්‍රායෙල් ජාතිය තුළ එක විශේෂිත රාජකීය ගෝත්‍රයක් හෝ පූජක ගෝත්‍රයක් නැහැ. මුළු ජාතියම රජවරුන් ලෙස පාලනය කරන අතර මුළු ජාතියම පූජකයන් ලෙසත් සේවය කරනවා.—ගලාති 6:16; එළිදරව් 20:4, 6.
12. වැඩිමහල්ලන් 24දෙනා බැටළු පැටවාණන් ඉදිරියේදී එළිදරව් 5:9, 10හි සඳහන් වචන ගායනා කිරීම උචිත වෙන්නේ ඇයි?
12 යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු අයට දෙවිගේ ඊශ්‍රායෙලයේ සාමාජිකයන් වීමේ වරම පළමුවෙන්ම දෙනු ලැබුවත්, යූදා ජාතියේ ස්වල්පදෙනෙක් පමණයි ඊට ප්‍රතිචාරය දැක්වූයේ. එමනිසා යෙහෝවා දෙවි ඊට එක් වන ලෙස අන්‍යජාතීන්ටත් ආරාධනා කළා. (යොහන් 1:10-13; ක්‍රියා 2:4, 7-11; රෝම 11:7) මීට පෙර “ඊශ්‍රායෙල් රජයෙන් විදේශීව” සිටි එෆීසවරුන් මෙන්, යුදෙව්වන් නොවන අයට දෙවිගේ බලයෙන් මුද්‍රා කර අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාවට අයත් වෙන්න හැකියාව ලැබුණා. (එෆීස 2:11-13; 3:5, 6; ක්‍රියා 15:14) වැඩිමහල්ලන් 24දෙනා බැටළු පැටවාණන් ඉදිරියේ මෙසේ ගායනා කිරීම උචිත වෙන්නේ එනිසයි. “ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද වූ මිනිසුන්ව ඔබේ රුධිරයෙන් දෙවි උදෙසා මිල දී ගත්තේය. ඔබ ඔවුන්ව රාජ්‍යයක්ද, අපේ දෙවි සඳහා පූජකයන්ද වීමට සැලැස්සුවේය. ඔවුන් පොළොව කෙරෙහි රජකම් කිරීමට නියමිතය.”—එළිදරව් 5:9, 10.
13. යේසුස්ගේ අර්ධ සහෝදර යාකොබ් තමාගේ ලිපිය “විසිරී සිටින ගෝත්‍ර දොළොස වෙත” ලිවීම උචිත දෙයක් වූයේ ඇයි?
13 ක්‍රිස්තියානි සභාව “තෝරාගත් ජනතාවක්ද, රාජකීය පූජක පන්තියක්ද, ශුද්ධ වූ ජාතියක්ද” වෙයි. (1 පේතෘස් 2:9) මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාව දෙවිගේ තෝරාගත් ජාතිය ලෙස අලුත් හෙවත් “සැබෑ ‘ඊශ්‍රායෙල්’” ජාතිය බවට පත් වෙනවා. (රෝම 9:6-8; මතෙව් 21:43)a යේසුස්ගේ අර්ධ සහෝදර වූ යාකොබ් ලොව පුරා සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලියද්දී ඔවුන්ව “විසිරී සිටින ගෝත්‍ර දොළොස”ලෙස හැඳින්වීම යෝග්‍ය වුණේ එනිසයි. පසු කාලයේදී ඔවුන්ගේ ගණන 1,44,000ක් බවට පත් වුණා.—යාකොබ් 1:1.
අද දින දෙවිගේ ඊශ්‍රායෙල්
14. දෙවිගේ ඊශ්රායෙලයට ඇත්තටම අයත් වෙන්නේ සාමාජිකයන් 1,44,000දෙනෙක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් අඛණ්ඩව පවසා ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?
14 දෙවිගේ ඊශ්රායෙලයට ඇත්තටම අයත් වෙන්නේ සාමාජිකයන් 1,44,000ක් බව චාල්ස් ටී. රසල් පවා තේරුම්ගත්තා. වර්ෂ 1904දී ඔහු පළ කළ පොතක මෙසේ සඳහන් වී තිබුණා. “තෝරාගනු ලැබූ අභිෂේක ලත් අයගේ සංඛ්‍යාව නිශ්චිත එකක් බව විශ්වාස කිරීමට අපට එළිදරව් පොතෙන් සාක්ෂි කිහිපයක් තිබෙනවා. (එළිදරව් 7:4; 14:1) මේ සංඛ්‍යාව ‘මිනිසුන් අතරෙන් මිලේට ගනු ලැබූ’ 1,44,000ක්.” (The New Creation, Volume VI, Studies in the Scriptures) වර්ෂ 1930දී බයිබල් ශිෂ්‍යයන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ තවත් පොතක ඒ සමාන දෙයක් සඳහන් වුණා. “ක්‍රිස්තුස්ගේ ශරීරය ලෙස තෝරාගත්, අභිෂේක කළ හා මුද්‍රා කර ඇති අයගේ සංඛ්‍යාව 1,44,000යි.” (Light, Book One) දෙවිගේ ඊශ්‍රායෙල් ජාතියට අයත් වෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000ක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් අඛණ්ඩව පවසා ඇති ආකාරය මෙයින් පැහැදිලියි.
15. ස්වාමීන්ගේ දවසේ ආරම්භයට මදක් කලින් අවංක බයිබල් ශිෂ්‍යයන් සිතුවේ ජාතීන් සඳහා නියම කරන ලද කාලය අවසන් වීමත් සමඟම සැබෑ යුදෙව් ජාතිකයන්ට කවර ප්‍රස්තාවක් උදා වන බවද?
15 නමුත් අද ඊශ්‍රායෙල් රටේ සිටින ජනයාට යම් විශේෂ වරප්‍රසාද හිමි වෙන්නේ නැද්ද? ස්වාමීන්ගේ දවසේ ආරම්භයට මදක් කලින් දේවවචනයේ බොහෝ මූලික සත්‍යයන් අනාවරණය කරමින් සිටි අවංක බයිබල් ශිෂ්‍යයන් සිතුවේ ජාතීන් සඳහා නියම කරන ලද කාලවල අවසන් වීමත් සමඟ සැබෑ යුදෙව් ජාතිකයන්ට දෙවි ඉදිරියේ නැවතත් වරප්‍රසාද ලබාගන්න පුළුවන් වන බවයි. උදාහරණයකට 1889දී සී.ටී. රසල් පළ කළ පොතක යෙරෙමියා 31:29-34හි සඳහන් තොරතුරු සැබෑ යුදෙව් ජාතිකයන්ට අදාළ කරමින් මෙසේ සඳහන් වුණා. “අන්‍යජාතිකයන් යටතේ ඊශ්‍රායෙල් ජාතිය ක්‍රි.පූ. [607] සිට නොයෙකුත් වධ හිංසා විඳ ඇති බව ලෝකයේ කවුරුත් දකිනවා. ඒ වධ හිංසාව තවමත් සිදු වෙනවා. එනිසා ‘කාලවල් සතෙන්’ යුත් අවුරුදු 2,520 අවසන් වන ක්‍රි.ව. 1914ට කලින් ඔවුන්ගේ ජාතිය යළිත් නැඟී සිටියි කියා අපේක්ෂා කරන්න පදනමක් නැහැ.” ඒ කාලයේ බයිබල් ශිෂ්‍යයන් සිතුවේ යුදෙව්වන් ජාතියක් ලෙස නැවත නැඟී සිටීවි කියායි. වර්ෂ 1917දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පලස්තීනය යුදෙව්වන්ගේ දේශය කරන බවට කළ ගිවිසුම (බැල්ෆුවර් ප්‍රකාශය) තුළින් ඔවුන්ගේ ඒ අපේක්ෂාව තහවුරු වුණ බවත් ඔවුන් සිතුවා.
16. යුදෙව්වන්ට යේසුස් පිළිබඳ ශුභාරංචිය ලබා දෙන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැරුවේ මොන වගේ වෑයමක්ද? එහි ප්‍රතිඵලය කුමක් වුණාද?
16 පළමු ලෝක යුද්ධයට පසුව පලස්තීනය මහා බ්‍රිතාන්‍යය යටතේ පාලනය කළ ප්‍රදේශයක් බවට පත් වුණා. මේ නිසා යුදෙව්වන් බොහොමයකට තම මව්බිම කරා යෑමට මාර්ගය විවෘත වුණා. වර්ෂ 1948දී ඊශ්‍රායෙල් ජාතිය දේශපාලනික වශයෙන් නිදහසක් ලබාගත් රාජ්‍යයක් බවට පත් වුණා. මින් අදහස් කළේ යුදෙව්වන්ට අනුමැතිය ලැබුණු බවද? වසර ගණනාවක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් එසේ විශ්වාස කළා. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් 1925දී පිටු 128කින් යුත් පොතක් හා 1929දී පිටු 360කින් යුත් ඉතා අලංකාර පොතක් නිකුත් කළා. (Comfort for the Jews [යුදෙව්වන් සඳහා සහනයක්], 1925; Life [ජීවනය], 1929) යුදෙව්වන් වෙනුවෙන් පිළියෙල කළ මෙම පොත්වල යෝබ් නම් බයිබල් පොතේ බොහෝ තොරතුරු ඇතුළත් කර තිබුණා. යේසුස් පිළිබඳ ශුභාරංචිය විශේෂයෙන්ම නිව් යෝක් නගරයේ විසූ යුදෙව්වන්ට ලබා දෙන්න සෑහෙන වෙහෙසක් දරනු ලැබුවා. සුළු පිරිසක් මීට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. නමුත් සමස්තයක් වශයෙන් යුදෙව්වන් අතීතයේ විසූ තම මුතුන්මිත්තන් වගේම යේසුස් පිළිබඳ ශුභාරංචිය පිළිගත්තේ නැහැ.
17, 18. අලුත් ගිවිසුම ගැන සහ දෙවිගේ ඊශ්‍රායෙල් ගැන බයිබලයේ කියා තිබූ අනාවැකි සම්බන්ධයෙන් දෙවිගේ දාසයන් තේරුම්ගත්තේ කුමක්ද?
17 එළිදරව් 7:4-8හි හෝ ස්වාමීන්ගේ දවසට සම්බන්ධ වෙනත් අනාවැකිවල සඳහන් වී ඇති ඊශ්‍රායෙල් ජාතිය යුදෙව් ජාතිය හෝ ජනතාව නොවන බව පැහැදිලි වුණා. ඔවුන් තමන් පිහිටුවාගත් සම්ප්රදායන්වලට ඇලී සිටියා මිස දෙවිගේ නාමය පාවිච්චි කළේ නැහැ. (මතෙව් 15:1-3, 7-9) වර්ෂ 1934දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිකුත් කළ යෙහෝවා නම් පොතේ යෙරෙමියා 31:31-34හි අදාළත්වය පැහැදිලි කරමින් මෙසේ සඳහන් වුණා. “අලුත් ගිවිසුම ඊශ්‍රායෙල් ජාතියෙන් පැවතෙන පුද්ගලයන්ට හෝ පොදුවේ මිනිස් වර්ගයාට සම්බන්ධ වෙන්නේ නැහැ. එය අදාළ වෙන්නේ දෙවිගේ ඊශ්රායෙලයට පමණයි.” දෙවිගේ ඊශ්‍රායෙල් ගැන බයිබලයේ පළ කර ඇති අනාවැකි යුදෙව් ජාතියටවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයක් දරන ඊශ්රායෙලයටවත් අදාළ වෙන්නේ නැහැ. ඇත්තටම දැන් පවතින ඊශ්‍රායෙලය යොහන් 14:19, 30 සහ 18:36හි සඳහන් දුෂ්ට ලෝකයේම කොටසක්.
18 වර්ෂ 1931දී පොළොව මත සිටි දෙවිගේ දාසයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන නාමයෙන් තමන්වම හඳුන්වන්න පටන්ගත්තා. එය ඔවුන්ට මහත් ප්‍රීතියක් වුණා. ගීතාවලිය 97:11හි සඳහන් මේ වචනවලට ඔවුන් එකඟ වුණේ මුළු හදින්. “ධර්මිෂ්ඨයාට එළියත් අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරන ලද්දේය.” අලුත් ගිවිසුමට ඇතුළත් කර ඇත්තේ දෙවිගේ ඊශ්‍රායෙල් පමණක් බව ඔවුන්ට පැහැදිලිව වටහාගන්නට හැකි වුණා. (හෙබ්‍රෙව් 9:15; 12:22, 24) දෙවිගේ පොරොන්දු ගැන කිසි තැකීමක් නොකළ ඊශ්රායෙලයවත් පොදුවේ මිනිස් වර්ගයාවත් එයට සම්බන්ධ වී සිටියේ නැහැ. මෙය තේරුම්ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට දෙවි හෙළි කළ ඉතා සුවිශේෂ වූ දෙයක් තේරුම්ගන්නත් මඟ පෑදුණා. එනම් සතරදිග සුළං මුදාහැරීම පමා කරන දේවදූතයන්ගේ කාර්යයෙන් ප්‍රයෝජන ලබන්නේ දෙවිගේ ඊශ්රායෙලයට අයත් අභිෂේක ලත් අය පමණක් නෙවෙයි යන කාරණය. යෙහෝවා දෙවි තමා වෙතට ළං වන සියලු ජනයාට තමාගේ දයාව, කරුණාව සහ සත්‍යවාදිකම පෙන්වනවා. (නික්මයාම 34:6; යාකොබ් 4:8) ඒ නිසා ප්‍රයෝජන ලබන තවත් අයත් සිටිනවා. ඔවුන් කවුරන්ද? ඔබටත් ඔවුන්ට සම්බන්ධ විය හැකිද? එය අපි දැන් බලමු.
[පාදසටහන]
a “ඊශ්‍රායෙල්” යන නමේ අර්ථය, ‘දෙවි පොරබදියි නැතහොත් දෙවි සමඟ පොරබදන තැනැත්තායි.’—උත්පත්ති 32:28.
[114වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[116, 117වන පිටුවේ පින්තූර]
දෙවිගේ ඊශ්රායෙලයට අයත් අයගේ තේරීම ප්‍රධාන වශයෙන් සිදු වූයේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිට 1935 දක්වායි. ඉන්පසුව එම වසරේදී එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී. නුවරේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකදී පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති අයව එක් රැස් කිරීමට වැඩි අවධානයක් දෙන බව පැහැදිලි කරනු ලැබුවා. (එළිදරව් 7:9)