පරිච්ඡේද 8
සැබෑ මිතුරන් ඇති කර ගැනීමට මට හැක්කේ කෙසේ ද?
“මා වසර අටකට මෙම පළාතේ පාසලට ගිය නමුත්, එම මුළු කාලයේ දී ම මට එක ම මිතුරෙක්වත් ඇති කරගත නොහැකි විය! එක්කෙනෙක්වත් නැත.” රොනී නැමැති තරුණයෙක් එසේ වැලපුණේ ය. තව ද සමහර විට එයාකාරයෙන් ම ඔබටත් මිත්‍රත්වයක් ඇති කර ගැනීමේ දී අසමත්කමක් හැඟෙන්නට ඇත. එහෙත් ඇත්තෙන් ම සැබෑ මිතුරන් කවුද? තව ද ඔවුන් ඇති කර ගැනීමේ රහස කුමක් ද?
හිතෝපදේශයක් මෙසේ පවසයි: “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, විපත්ති කාලයේ දී ඔහු සහෝදරයෙක් බවට පත් වන්නේ ය.” (හිතෝපදේශ 17:17, ද බයිබල් ඉන් බේසික් ඉංග්ලිෂ්) එහෙත් කරදර කියා සැනසීම ලබා ගැනීමට වඩා වැඩි යමක් මිත්‍රත්වයට ඇත. මාවියා නැමැති යෞවන ස්ත්‍රියක් මෙසේ පවසන්නී ය: “ඇතැම් විට මිතුරෙක් යැයි කියනු ලබන කෙනෙක් ඔබ කරදරයට පත් වෙනවා දැක මෙසේ පැවසිය හැක, ‘ඔබ ක්‍රමයෙන් ඊට පත්වෙන බව මා දැන සිටිය නමුත් ඔබට කියන්න මං භය වුණා.’ එහෙත් සැබෑ මිතුරියක් ඔබ වැරදි මාර්ගයේ යනවා දකින විට, බොහෝ ප්‍රමාද වීමට කලින්—තමා පවසන දෙයට ඔබ අකමැති විය හැකි බව දැන සිටිය දී පවා—ඔබට අනතුරු ඇඟවීමට වෑයම් කරනු ඇත.”
ඔබට සත්‍යය පැවසීමට සැලකිල්ලක් දැක් වූ කෙනෙකු ප්‍රතික්ෂේප කිරීමට ඔබේ වේදනාවට පත් අහංකාරයට ඔබ ඉඩ දෙනවා ද? හිතෝපදේශ 27:6 මෙසේ පවසයි: “ප්‍රේම කරන්නෙකුගෙන් ලැබෙන තුවාල, වෛර කරන්නෙකුගේ අධික සිඹීම්වලට වඩා විශ්වාස කළ හැකි ය.” (බයිංටන්) මෙලෙස මිතුරෙක් වශයෙන් ඔබට වුවමනා විය යුත්තේ කෙලින් සිතන සහ කෙලින් කථා කරන පුද්ගලයෙකි.
ව්‍යාජ මිතුරන්ට එරෙහි ව සැබෑ මිතුරන්
“සියලු ‘මිතුරන් ම’ තමාට යහපත ම නොකරන බවට මගේ ජීවිතය සාක්ෂියකි,” යයි 23 හැවිරිදි පෙගී ප්‍රකාශ කළා ය. නහඹර යෞවනියක් ව සිටි පෙගීට, අකමැත්තෙන් වුවද නිවස හැර යාමට සිදු විය. කෙසේ වුවද, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු වූ, බිල් සහ ඔහුගේ භාර්යාව වන ලොයිගේ උපකාරය ඇයට ලැබුණි. ඔවුහු පෙගී සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළහ. “ඔවුන් සමඟ මා ගත කළ මාසවල දී සැබෑ ප්‍රීතිය, තෘප්තිය සහ සාමය පිරී තිබුණි,” යයි පෙගී පැවසුවා ය. එහෙත්, ඇයට හමු වූ ඇතැම් යෞවනයන් සමඟ සිටීමට ඇය තෝරාගත් අතර ඇය බිල් සහ ලොයි ව අත් හැර ගියා ය.
“ස්ටීරියෝ යන්ත්‍ර සොරකම් කිරීම, හොර චෙක් පත් මාරු කිරීම, මරිජුවානා දුම් පානය කිරීම මෙන් ම අවසානයේ දී, දිනකට ඩොලර් 200ක මත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ පුරුද්ද පවත්වාගන්නා ආකාරය වැනි බොහෝ දේ මම මගේ අලුත් ‘මිතුරන්ගෙන්’ ඉගෙන ගත්තා,” යයි පෙගී තවදුරටත් තොරතුරු විස්තර කරන්නී ය. අවුරුදු 18 දී, ඇයට භාවිතා කළ හැකි සියලු මත් ද්‍රව්‍ය ඇයට නොමිලේ ඉදිරිපත් කළා වූ රේ නැමැති තරුණ මනුෂ්‍යයා මුණගැසුණි. “මගේ කරදර සියල්ල ම අවසන් වූවා යයි මං සිතුවා. මින්පසු කවදාවත් මට සොරකම් කිරීමට හෝ වංචා කිරීමට අවශ්‍ය වෙන එකක් නෑ,” කියා පෙගී කල්පනා කළා ය. කෙසේ වුවත්, රේ, ඇය ව ගණිකා වෘත්තියට හඳුන්වා දුන්නේ ය. අවසානයේ දී පෙගී එම නගරය ද ඇගේ අසංවර “මිතුරන්” ද අත් හැර පලා ගියා ය.
පෙගී සිටින අලුත් ස්ථානයේ දී, දිනක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඇය හමු වීමට පැමිණියහ. “විස්මිත වූ ස්ත්‍රීන් දෙදෙනා ව මා වැළඳගත් විට මගේ ඇස්වල සතුටු කඳුළු පිරුණා. මගේ පරණ ‘මිතුරන්ගේ’ කුහකකම පිළිකුල් කිරීමට මා පටන් ගෙන තිබුණ නමුත් මේ සිටින්නේ සැබෑ මිතුරන් ය,” කියා පෙගී විස්තර කළා ය. පෙගී තම බයිබල් පාඩම නැවත පටන් ගත්තා ය.
එහෙත්, දෙවියන් වහන්සේගේ මාර්ග අනුව තම ජීවිතය හැඩගස්වා ගැනීම, පහසු නොවී ය. විශේෂයෙන් ම දුෂ්කර දෙය වූයේ දුම් පානය අත්හැරීම ය. කෙසේ වුවද, සාක්ෂිකාර මිතුරෙක් මෙසේ උපදෙස් දුන්නේ ය: “අසමත් වූවාට පසු ව යාච්ඤා කර ක්ෂමාව ඉල්ලනවා වෙනුවට, ඊට පෙර දුම් පානය කිරීමට ඔබට පෙලඹීමක් ඇති වන විට ශක්තිය ඉල්ලා යාච්ඤා නොකරන්නේ මන්ද?” පෙගී මෙසේ පවසන්නී ය: “මෙම කරුණාවන්ත සහ ප්‍රායෝගික යෝජනාව එය ඉටු කළේ ය. . . . වසර ගණනාවකට පසු ප්‍රථම වතාවට, මට ඇතුළාන්ත පිරිසිදු භාවයක් දැනුණ අතර ආත්ම-ගෞරවය ඇතුව සිටීමේ වැදගත්කම ද දැනගත්තා.”
පෙගීගේ අත්දැකීම, හිතෝපදේශ 13:20 හි වූ බයිබලයේ වචනවල සත්‍යතාවය මෙසේ හුවා දක්වයි: “ඤාණවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඤාණවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” පෙගී මෙසේ පවසන්නී ය: “දෙවියන් වහන්සේට ප්‍රේම කළ එම පුද්ගලයන් සමඟ හුදෙක් මගේ මිත්‍රත්වය මා තබා ගෙන තිබුණා නම්, දැන් අශෝභන මතකයන් වන ඒ දේවල් සියල්ල ම මට මග හරින්නට තිබුණා.”
මිතුරන් සොයා ගැනීම
දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිතුරන් සොයා ගැනීමට ඔබට හැකි වන්නේ කොතැනක ද? ක්‍රිස්තියානි සභාව තුළින් ය. ඇදහිල්ල පමණක් නොව නමුත් තම ඇදහිල්ල සහ භක්තිය සමඟ ක්‍රියා ද තිබෙන්නා වූ යෞවනයන් සොයා ගන්න. (යාකොබ් 2:26 සසඳන්න.) එවන් යෞවනයන් සොයා ගැනීම දුෂ්කර නම්, ඔබට වඩා වයසින් වැඩි ක්‍රිස්තියානින් කීප දෙනෙක් හඳුනා ගැනීමට වෑයම් කරන්න. මිත්‍රත්වයට වයස බාධාවක් වීමට අවශ්‍ය නැත. දාවිත් සහ යොනාතාන් අතර තිබූ ආදර්ශවත් මිත්‍රත්වය ගැන බයිබලය පවසයි—තව ද යොනාතාන් දාවිත්ගේ පියා වීමට තරම් ප්‍රමාණවත් වයසක සිටියේ ය!—1 සාමුවෙල් 18:1.
එහෙත්, ඔබට මිත්‍රත්වයන් ඇරඹිය හැක්කේ කෙසේ ද?
අන්‍යයන් කෙරෙහි උද්යෝගිමත් උනන්දුවක්
යේසුස් වහන්සේ ඇති කර ගත් මිත්‍රත්වයන් එතරම් ම ශක්තිමත් වූ බැවින් උන් වහන්සේගේ මිතුරෝ උන් වහන්සේ උදෙසා මැරෙන්නට පවා කැමැත්තෙන් සිටියහ. මන්ද? එක් දෙයක් නම්, යේසුස් වහන්සේ මනුෂ්‍යයන් ගැන සැලකිල්ලක් දැක් වූ සේක. උන් වහන්සේ අන්‍යයන් වෙතට ගොස් උපකාර කළ සේක. අන්‍යයන් සමඟ සම්බන්ධ වීමට උන් වහන්සේට ‘වුවමනා විය.’ (මතෙව් 8:3) සැබවින් ම, මිතුරන් ඇති කර ගැනීම කෙරෙහි පළමු පියවර වන්නේ අන්‍යයන් කෙරෙහි උනන්දුවක් තිබීම ය.
උදාහරණයක් ලෙස, “ජනයා සඳහා සැබෑ ප්‍රේමයක් තිබීමත්, අන්‍යයන් කෙරෙහි උද්යෝගිමත් උනන්දුවක් දැක්වීමත්” නිසා ඔහුට සාර්ථක ලෙස මිතුරන් ඇති කර ගැනීමට හැකි වූ බව ඩේවිඩ් නැමැති යෞවනයා පවසයි. ඔහු තවදුරටත් මෙසේ පවසයි: “පුද්ගලයාගේ නම දැනගැනීම වැදගත් ම දේවල්වලින් එකකි. තම නම මතක තබා ගැනීමට තරම් ඔබ සැලකිලිමත්වීම, බොහෝ විට අන් අයගේ සිත්වලට කාවදියි. මේ නිසා ඔවුන් ඔබ සමඟ යම් අත්දැකීමක් හෝ ප්‍රශ්නයක් බෙදා ගත හැකි අතර මිත්‍රත්වය ගොඩනැගීමට ද පටන් ගනියි.”
ඕනෑවට වඩා හිතවත්කමක් ඇති කර ගැනීමට යත්න දරන වැඩි විවෘතකමක් ඇති කෙනෙකු වීම මින් අදහස් නොකෙරේ. යේසුස් වහන්සේ අති විචිත්‍ර ව හෝ පිටස්තර අලංකාරයට ළැදි ව හෝ නොසිට, “සිතින් මෘදුව” සිටි සේක. (මතෙව් 11:28, 29) ඔවුන්ගේ සිත් ඇද ගන්නේ අන්‍යයන් කෙරෙහි ඇති අවංක උනන්දුවයි. බොහෝ විට එකට ආහාර වේලක් ගැනීම හෝ යම් කාර්යයක් කිරීමට කෙනෙකුට සහාය වීම වැනි සුළු දේවල්, මිත්‍රත්වය ගැඹුරු කර ගැනීමට උපකාරවත් විය හැක.
“ඔබ සවන් දෙන ආකාරය”
“නුඹලා අසන්නේ කෙසේද කියා බලා ගනිල්ලා,” යයි යේසුස් වහන්සේ උපදෙස් දුන් සේක. (ලූක් 8:18) දෙවියන් වහන්සේගේ වදන්වලට සවන් දීමේ වටිනාකම උන් වහන්සේගේ සිතෙහි තිබුණත්, සබඳතා වර්ධනය කර ගැනීමේ දී එම ප්‍රතිපත්තිය ඉතා හොඳින් අදාළ වේ. මිත්‍රත්වයක් ඇති කර ගැනීමේ දී හොඳ අසන්නෙකු වීම අත්‍යවශ්‍යයයි.
අන්‍යයන් පවසන දේ කෙරෙහි අප සැබවින් ම උනන්දුවක් දක්වන්නේ නම්, සාමාන්‍යයෙන් ඔවුහු අප වෙත ඇදී එති. එහෙත් මේ සඳහා ඔබ “තම තමාගේම කාරණා [ඇතැම් විට ඔබට පැවසීමට වුවමනා දේ කෙරෙහි පමණක්] නොව අනුන්ගේ කාරණා,” ගැන ද පුද්ගලික උනන්දුවක් දැක්වීම අවශ්‍ය වේ.—පිලිප්පි 2:4.
පක්ෂපාත වන්න
යේසුස් වහන්සේ තම මිතුරන් සමඟ පක්ෂ ව සිටි සේක. උන් වහන්සේ “අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළසේක.” (යොහන් 13:1) ගෝඩන් නැමැති යෞවනයෙක් තම මිතුරන් එයාකාරයෙන් ම සලකයි: “මිතුරෙකුගේ ප්‍රධාන ගුණාංගය පක්ෂපාතකම වේ. කාලවල් දුෂ්කර වන විට ඔහු සැබවින් ම ඔබට පක්ෂ ව සිටියි ද? අන් අය පහත් කොට සලකා යම් දේවල් කියන විට මගේ මිතුරා සහ මම අප එකිනෙකා ව ආරක්ෂා කළෙමු. අපි සැබවින් ම එකිනෙකාට පක්ෂ ව සිටියෙමු—නමුත් අප නිවැරදි වූවා නම් පමණි.”
එහෙත්, ව්‍යාජ මිතුරෝ, කුහක ලෙස රහසින් එකිනෙකාට විරුද්ධ ව ද්වේෂ සහගත දේ කිරීම සුළු දෙයක් යයි කල්පනා කරති. “එකිනෙකා ව කැබලිවලට ඉරා දමන්නට හැකි මිතුරෝ සිටිත්” යයි හිතෝපදේශ 18:24 [NW ] පවසයි. ඔබ සාවද්‍ය ඕපාදූපවලට එකතු වීමෙන් මිතුරෙකුගේ හොඳ නම “නාස්ති” කරන්නෙහි ද? නැතහොත් ඔබ ඔහුට පක්ෂපාත ව සිටින්නෙහි ද?
ඔබේ හැඟීම් හවුලේ බෙදා ගන්න
යේසුස් වහන්සේ තම ඇතුළාන්ත හැඟීම් එළිදරව් කිරීමෙන් තවදුරටත් තමන් කෙරෙහි අන්‍යයන්ගේ හිතවත්කම ඇදගත් සේක. ඇතැම් විට උන් වහන්සේට “අනුකම්පාව,” හා “ප්‍රේමය,” දැනුන බව හෝ “ඉතා ශෝක” වූ බව දැනගැනීමට ඉඩ හැරිය සේක. එපමණක් නොව අඩු ම වශයෙන් එක් අවස්ථාවක දී උන් වහන්සේ “ඇඬූ සේක.” යේසුස් වහන්සේ තමා විශ්වාස කළ අයට තමන්ගේ හෘදයේ ඇති දේ හෙළි කිරීමට ලජ්ජා නොවූ සේක.—මතෙව් 9:36; 26:38; මාර්ක් 10:21; යොහන් 11:35.
සැබවින් ම ඔබට හමුවන සෑම කෙනෙකුට ම ඔබේ චිත්ත වේගයන් වැගිරිය යුතු බවක් මින් අදහස් නොවේ! එහෙත් සෑම දෙනෙකු සමඟ ම ඔබට අවංක ව සිටිය හැක. තව ද ඔබ කෙනෙකු හඳුනා ගෙන විශ්වාස කරන විට, ක්‍රම ක්‍රමයෙන් ඔබේ ඇතුළාන්ත හැඟීම් හෙළි කළ හැක. ඒ සමඟ ම, අර්ථවත් මිත්‍රත්වයන් සඳහා අන්‍යයන් කෙරෙහි සංවේදනය දැක්වීම [අනුකම්පිත වීම] සහ “සහෝදර ස්නේහය” ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය ය.—1 පේතෘස් 3:8.
පරිපූර්ණත්වය අපේක්ෂා නොකරන්න
මිත්‍රත්වයක හොඳ පටන් ගැන්මක් තිබුණත්, පරිපූර්ණත්වය අපේක්ෂා නොකරන්න. “අපි සියල්ලන් ම සියලු ආකාරවලින් වැරදි කරන්නෙමු, නමුත් තමා කිසිවිටෙක වැරදි දේ නොපවසන්නේ යයි කියන්නේ නම් ඔහු පරිපූර්ණ මනුෂ්‍යයෙක් ලෙස සැලකිය හැකි ය.” (යාකොබ් 3:2, ෆිලිප්ස්) තවදුරටත්, මිත්‍රත්වය සඳහා කාලය සහ චිත්ත වේගය වැය කළ යුතු ය. “ඔබ දීමට කැමැත්තෙන් සිටිය යුතු,” යයි ප්‍රෙස්ලි නම් තරුණ මනුෂ්‍යයා පවසයි. “එය මිත්‍රත්වයේ විශාල කොටසකි. දේවල් සම්බන්ධයෙන් ඔබේ ම හැඟීම් ඔබට තිබෙන නමුත් ඔබේ මිතුරාගේ හැඟීම් සහ අදහස්වලට ඉඩ දීමට ඔබ කැමැත්තෙන් සිටී.”
කෙසේ වුවද, මිත්‍රත්වයේ වටිනාකම ප්‍රේම නොකිරීමේ වටිනාකම—එනම් හිස් හුදෙකලා ජීවිතයක් හා සැසඳිය නොහැක. එබැවින් ඔබ සඳහා මිතුරන් ඇති කර ගන්න. (ලූක් 16:9 සසඳන්න.) ඔබ ව ම දෙන්න. සවන් දී අන්‍යයන් කෙරෙහි අවංක උනන්දුවක් දක්වන්න. යේසුස් වහන්සේ මෙන්, “නුඹලා මාගේ මිත්‍රයෝ ය,” කියා පැවසීමට ඔබටත් බොහෝ දෙනෙකු සිටිනු ඇත.—යොහන් 15:14.
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ සැබෑ මිතුරෙකු හඳුනා ගැනීමට ඔබට හැක්කේ කෙසේ ද? ව්‍යාජ වන්නේ කිනම් ආකාරයේ මිතුරන් ද?
◻ ඔබට මිතුරන් සොයා ගත හැක්කේ කොතැනක ද? ඔවුන් සැමවිට ම ඔබේ වයසේ සිටිය යුතු ද?
◻ මිතුරෙකු බරපතළ කරදරයකට පත් වී සිටිනවා නම් ඔබ කළ යුත්තේ කුමක් ද?
◻ මිතුරන් සාදා ගැනීමේ මාර්ග හතර මොනවා ද?
[66 පිටුවෙහි හුවා දැක්වීම]
“ස්ටීරියෝ යන්ත්‍ර සොරකම් කිරීම, හොර චෙක් පත් මාරු කිරීම, මරිජුවානා දුම් පානය කිරීම මෙන් ම අවසානයේ දී, දිනකට ඩොලර් 200ක මත් ද්‍රව්‍ය භාවිතා කිරීමේ පුරුද්ද පවත්වා ගන්නා ආකාරය වැනි බොහෝ දේ මම මගේ අලුත් ‘මිතුරන්ගෙන්’ ඉගෙන ගත්තා”
[68 සහ 69 පිටුවල ඇති කොටුව]
මගේ මිතුරා ගැන මා පැවසිය යුතු ද?
මිතුරෙකු මත් ද්‍රව්‍ය අත්හදා බලමින්, ලිංගික දේ අත්හදා බලමින්, වංචා කරමින් හෝ සොරකම් කරමින් සිටින බව ඔබ දැනගත්තෙහි නම්, ඒ ගැන වගකිව යුතු තැනැත්තෙකුට ඔබ පවසනවා ද? යෞවනයන් අතර බොහෝ විට පවතින නිශ්ශබ්දතාවයේ අමුතු ධර්මතාවයකට අනුකූල වෙමින් බොහෝ දෙනෙක් එසේ නොකරති.
ඇතැමෙක් “ දැනුම් දෙන්නෙකු” යන නම පට බැඳෙයි කියා භය වෙති. අන්‍යයන් තුළ පක්ෂපාත වීමේ මුළා කරවන හැඟීමක් ඇත. හික්මවීම යම් අනතුරු සහිත දෙයක් වශයෙන් සලකමින්, මිතුරාගේ ගැටලු වසාලමින් ඔවුන් ඔහුට යහපතක් කරන බව ඔවුහු සිතති. තවදුරටත්, එම නිශ්ශබ්දතාවයේ ධර්මතාව බිඳීමෙන් යමෙකු ව තුල්‍යයන්ගේ හෙලා දැකීමට ලක්විය හැකි අතර ඔවුන්ගේ මිත්‍රත්වය ද අහිමි විය හැක.
කෙසේ වෙතත්, තම හොඳ ම මිතුරා වන ක්‍රිස්, දුම් පානය කරන බව ලී නැමැති යෞවනයා දැනගත් විට, ඔහු ඒ ගැන ක්‍රියා කිරීමට තීරණය කළේ ය. ලී මෙසේ පවසයි: “ කෙනෙකු හට පවසන්න සිදුවන බව මං දැනගෙන සිටිය නිසා මගේ හෘදය සාක්ෂිය මට වධ දුන්නා!” බයිබල් කාලයේ යෞවනයෙකු එවැනි ම තත්ත්වයකට මුහුණ දුණි. “ යෝසෙප්ට දාහත් හැවිරිදි වියේ දී, තම සහෝදරයන් සමඟ බැටළුවන් බලා ගැනීමට සිදු විය. . . . ඉතින් යෝසෙප් ඔවුන්ගේ පියා වෙත ඔවුන් ගැන නරක වාර්තාවක් ගෙන ආවේ ය.” (උත්පත්ති 37:2, NW) තමා නිශ්ශබ්දතාවය රැකගෙන සිටියහොත්, තම සහෝදරයන්ගේ ආත්මික ශුභ සිද්ධියට හානි සිදු විය හැකි බව යෝසෙප් දැන සිටියේ ය.
පාපය දිරාපත් වන, දූෂිත බලයකි. වැරදි කරන මිතුරා—සමහර විට ස්ථිර ආත්මික හික්මවීමක ආකාරයකින්— උපකාර නොලැබුවහොත්, ඔහු හෝ ඇය ඊටත් වඩා දුෂ්ටකමක ගිලෙනු ඇත. (දේශනාකාරයා 8:11) ඒ හේතුවෙන්, මිතුරෙකුගේ වැරදි ක්‍රියාවන් වසාලීමෙන්, සුළු යහපතක්වත් සිදු නොවන අතර යළි යහපත් අතට හැරවිය නොහැකි වැරදි ද සිදු විය හැකි ය.
එබැවින් බයිබලය අනුශාසනා කරන්නේ මෙසේ ය: “ සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවා ගත යුතු ය.” (ගලාති 6:1, නව අනුවාදය) වැරදි කරන මිතුරෙකු යළි සකස් කිරීමට ඔබට ආත්මික සුදුසුකම් තිබේ යයි ඔබට නොහැඟෙන්නට පුළුවන. එහෙත් උපකාර කිරීමට සුදුසුකම් තිබෙන කෙනෙකුට කාරණය දැන්වීමට වගබලා ගැනීම ඥානවන්ත නොවන්නේ ද?
මෙලෙස ඔබේ මිතුරා වෙත ගොස් ඔහුගේ වරද පෙන්වා දිය යුතු ය. (මතෙව් 18:15 සසඳන්න.) මේ සඳහා ඔබට ධෛර්යය සහ නිර්භීතකම තිබිය යුතු ය. ඔබ දන්නා දේ සහ ඔබ එය දැනගත් ආකාරය විශේෂයෙන් ම පවසමින් ඔහුගේ පාපය සම්බන්ධයෙන් ඒත්තු ගන්වන සාක්ෂි දීමට ස්ථිර ව සිටින්න. (යොහන් 16:8 සසඳන්න.) ඔබ කා හටත් නොපවසන බවට පොරොන්දු නොවන්න, මන්ද වැරදි ක්‍රියාවන් වසාලීම හෙලා දකින, දෙවියන් වහන්සේ ඉදිරියේ එවැනි පොරොන්දුවක් අවලංගු ය.—හිතෝපදේශ 28:13.
සමහර විට යම් වරදවා තේරුම් ගැනීමක් සිදු වී ඇත. (හිතෝපදේශ 18:13) එසේ නැතහොත්, වැරදි ක්‍රියාව සැබවින් ම සිදු කර තිබේ නම්, තම ගැටලුව හෙළි කිරීමෙන් සහනයක් ලැබීමට මිතුරා කැමති ව සිටිනවා විය හැක. හොඳ සවන් දෙන්නෙකු වන්න. (යාකොබ් 1:19) “ ඔබ මෙහෙම කළේ ඇයි!” වැනි විනිශ්චයක ප්‍රකාශයන් හෝ “ මේක කොහොම කළා ද!” වැනි වේගවත් වූ ප්‍රකාශයන්, භාවිතා කිරීමෙන් නිදහසේ ගලා එන ඔහුගේ හැඟීම් නොවළක්වන්න. සංවේදනය දක්වා ඔබේ මිතුරාට හැඟෙන ආකාරය ගැන ඔබත් සිතන්න.—1 පේතෘස් 3:8.
බොහෝ විට එම තත්ත්වයට ඔබට දීමට හැකි උපකාරයට වඩා වැඩි උපකාරයක් අවශ්‍ය වේ. එසේ නම්, තම දෙමව්පියන්ට හෝ වෙනත් වගකිව යුතු වැඩිහිටියෙකුට වරද හෙළි කරන්න යයි කියා ඔබේ මිතුරාට තරයේ කියා සිටින්න. තව ද එසේ කිරීමට ඔබේ මිතුරා ප්‍රතික්ෂේප කරන්නේ නම්? සාධාරණ කාල පරිච්ඡේදයක් තුළ ඔහු කාරණය විසඳා ගන්නේ නැත්නම්, ඔහුගේ සැබෑ මිතුරෙකු ලෙස, ඔබට, ඔහු වෙනුවෙන් යමෙකු වෙත යාමට සිදු වන බව ඔහුට දැනගැනීමට සලස්වන්න.
ප්‍රථමයෙන් ඔබ එසේ ක්‍රියා කළේ මන්දැයි ඔබේ මිතුරා තේරුම් නොගත හැක. ඔහු අමනාප වීමට පවා හැකි අතර ඔබ සමඟ ඇති මිත්‍රත්වය ද විගස නවතා දමනු ඇත. එහෙත් ලී මෙසේ පවසයි: “ යම් කෙනෙකුට පැවසීමෙන් මා හරි දේ කළ බව මං දන්නවා. ක්‍රිස්ට අවශ්‍ය උපකාරය ඔහු ලබමින් සිටි නිසා මගේ හෘදය සාක්ෂියට ඉතා සහනයක් දැනුණා. මා කළ දේ නිසා ඔහු මා සමඟ අමනාප නොවූ බව පසු ව ඔහු මට පැවසූ අතර එයින් ද මට තවත් පහසුවක් දැනුණා.”
ඔබ හඳුනන්නා ඔබේ ධෛර්යවත් ක්‍රියාවන්ට තවදුරටත් අමනාපය දක්වනවා නම්, නිසැක ව ම ඔහු හෝ ඇය මීට පෙර කිසිදා සැබෑ මිතුරෙක් ව සිට නැත. එහෙත් ඔබ දෙවියන් වහන්සේට ඔබේ පක්ෂපාතකම ඔප්පු කළ බවත්, ඔබ සැබෑ මිතුරෙකු යයි පෙන්නුම් කළ බවත් දැන සිටීමෙන් ඔබට සෑහීමක් ලැබේ.
[67 පිටුවෙහි ඇති පින්තූරය]
මිතුරන් ඇති කර ගැනීම ඔබට කරදර සහිත ද?
[70 පිටුවෙහි ඇති පින්තූරය]
මිත්‍රත්වයන් ඇති කර ගැනීමට ප්‍රධාන දෙය වන්නේ අන්‍යයන් කෙරෙහි උනන්දුවක් දැක්වීම ය