පරිච්ඡේද 35
මා කියවන දේ ගැන සැලකිලිමත් විය යුතු ද?
සාලමොන් රජ මෙසේ අනතුරු ඇඟවී ය: “බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැන්මෙන්ද [බොහෝ සෙයින් ඒවාට ඇලී සිටීමෙන් ද NW ] මාංසයට වෙහෙස පැමිණෙන්නේය.” (දේශනාකාරයා 12:12) සාලමොන් වෑයම් කළේ කියවීම එපා කරවීමට නොව; ඔහු හුදෙක් ඔබට අවවාද කරමින් සිටියේ තෝරා බේරා ගැනීමක් කිරීමට ය.
දාහත්වෙනි-ශතවර්ෂයේ ප්‍රංශ දාර්ශනිකයෙකු වූ රෙන් ඩේකාට් මෙසේ පැවසුවේ ය: “යමෙක් හොඳ පොත් කියවන විට, එය හරියට යහපත් හැසිරීමෙන් යුතු ව අතීතයේ ජීවත් වූ මිනිසුන් සමඟ සාකච්ඡාවක් පවත්වනවා වැනි ය. කර්තෘවරයා තමාගේ උදාර ම සිතුවිලි පමණක් ඉදිරිපත් කරන නිසා එය තෝරා බේරා ගැනීමකින් කරන සංවාදයක් වශයෙන් හැඳින්වීමට පවා අපට හැක.” එහෙත්, සෑම කර්තෘවරයෙකු සමඟ ම ‘සංවාදයක් ඇති කර ගැනීම’ වටින්නේ හෝ ඔවුන්ගේ සියලු සිතුවිලි සැබවින් ම “උදාර,” වන්නේ හෝ නැත.
එබැවින් නිතර-සඳහන් කරන මෙම බයිබල් ප්‍රමිතිය නැවතත් ඉදිරියට පැමිණේ: “නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” (1 කොරින්ති 15:33) එසේ ය, ඔබ ව ඇසුරු කරන අයට ඔබේ පුද්ගලිකත්වය හැඩගැස්වීමට හැකියි. ඔබේ මිත්‍රයා මෙන් ක්‍රියා කිරීමට, කථා කිරීමට සහ සිතීමට පවා ඔබ පටන් ගන්නවා යයි කියා ඔබට දැනෙන තරමට ම ඔබ කවදා හෝ කල් ගෙවා තිබෙනවා ද? හොඳයි, පොතක් කියවීම හරියට එය ලියූ තැනැත්තා සමඟ සාකච්ඡා කිරීමට පැය ගණනක් ගත කරන්නාක් මෙනි.
එසේ හෙයින් මතෙව් 24:15 හි යේසුස් වහන්සේ සඳහන් කළ ප්‍රමිතිය උචිත වන්නේ ය: “කියවන්නා තේරුම් ගනීවා.” ඔබ කියවන දේ විග්රහ කොට කිරා මැන බැලීමට ඉගෙන ගන්න. සියලු මනුෂ්‍යයන් එක්තරා ප්‍රමාණයකට අගති සහගත හැඟීම්වලින් බලපෑම් ලබන අතර කාරණා පිළිබඳ ව ඔවුන්ගේ විස්තර කිරීම සැමවිට ම මුළුමනින් ම අවංක නැත. එමනිසා, ඔබ කියවන හෝ අසන සෑම දෙයක් ම විමසීමකින් තොර ව පිළිගන්න එපා: “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුත්ටධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.”—හිතෝපදේශ 14:15.
ජීවිතය පිළිබඳ දර්ශනයක් විස්තර කෙරෙන යම් දෙයක් කියවීම ගැන ඔබ විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුයි. උදාහරණයක් ලෙස, නව යොවුන් වියේ සඟරාවල විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලාවේ ඇසුරු කිරීමේ සිට පූර්ව විවාහ ලිංගික සබඳතා දක්වා ඇති සියල්ල සම්බන්ධයෙන් උපදෙස් පිරී ඇත—කෙසේ වුවද, ක්‍රිස්තියානියෙකු විසින් සැමවිට ම උපයෝගි කරගත යුතු උපදෙස් නොවේ. තව ද බරපතළ දර්ශනවාදී ප්‍රශ්න කිරීම් තුළට ගිල්වන්නා වූ පොත් ගැන කුමක් කිව හැකි ද?
බයිබලය මෙසේ අනතුරු අඟවයි: “ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්රදායයන් . . . දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න.” (කොලොස්සි 2:8, නව අනුවාදය) බයිබලය සහ බයිබලය මත පදනම් වූ මෙම සඟරාව වැනි ප්‍රකාශන, වඩා හොඳ උපදෙස් ඉදිරිපත් කරයි.—2 තිමෝති 3:16.
ප්‍රේම නව කථා—කියවීම හානි රහිත ද?
එක්සත් ජනපදයේ පමණක් සිටින මිලියන 20ක් පමණ ජනයා හට ප්‍රේම නව කථා කියවීම ඇබ්බැහි වූ පුරුද්දක් බවට පත් වී ඇත. සැබවින් ම දෙවියන් වහන්සේ ම මනුෂ්‍යයා සහ ස්ත්‍රිය තුළ ප්‍රේමයෙන් බැඳීමට සහ විවාහ වීමට ආශාව තැබූ සේක. (උත්පත්ති 1:27, 28; 2:23, 24) එසේ නම්, බොහෝ ප්‍රබන්ධ කථාවල ප්‍රේමය උසස් ලෙස හුවා දැක්වීම පුදුමයට කරුණක් නොවන අතර මෙය අනිවාර්යයෙන් ම පිළිකුල් කළ යුතු දෙයක් ද නොවේ. ඇතැම් ප්‍රේම නව කථා හොඳ සාහිත්‍යය යයි හඳුන්වන තත්ත්වයට ම පවා පත්වී ඇත. එහෙත් මෙම වඩා පැරණි නව කථා නවීන ප්‍රමිති මගින් නීරස තත්ත්වයකට පත් කර ඇති බැවින්, මෑතක සිට ප්‍රේම නව කථාවල නව වර්ගයක් නිෂ්පාදනය කිරීම වාසිදායක බව ලේඛකයන් විසින් සොයා ගෙන ඇත. සමහරෙක් දැනුදු කථාවට නාට්‍යමය ස්වරූපයක් එකතු කිරීමට ඓතිහාසීය හෝ පුරාතන පසුතලයන් ප්‍රයෝජනයට ගනිති. අන් අය රටාවෙන් සහ පසුතලයෙන් සමකාලීන ඒවා යොදා ගනිති. කෙසේ නමුත්, සුළු වෙනස්වීම් කීපයක් සමඟ, මෙම නවීන ප්‍රේම නව කථා විශාල වශයෙන් කලින් ම නිශ්චය කළ හැකි විලාශයක් අනුගමනය කරයි; වීරයෝ සහ වීරවරියෝ, ඔවුන්ගේ දළුලන ප්‍රේමයට තර්ජනය කරන භයානක විරෝධතාවයන් ජයගනිමින් ඉදිරියට යති.
පොදුවේ ගත් කල, වීරවරයා ශක්තිමත්, එපමණක් නොව ආඩම්බර, ආත්ම-විශ්වාසය අධික ලෙස විදහාපාන මිනිසෙකි. කෙසේ වුවද, වීරවරිය සියුමැළි සහ ඉක්මනින් පීඩා ලැබිය හැකි තැනැත්තියක් බව පෙනෙන්නට තිබේ, බොහෝ විට වීරවරිය වසර 10කින් හෝ 15කින් බාල ය. තව ද ඔහු බොහෝ විට අවඥා සහගත ලෙස ඇයට සැලකුවත්, ඇය තවමත් වැළැක්විය නොහැකි ලෙස ඔහු කෙරෙහි සිත් බැඳ ගෙන සිටින්නී ය.
බොහෝ විට විවාහය පතා ආලය කරන තරඟකරුවෙකු සිටියි. ඔහු කරුණාවන්ත හා සැලකිලිමත් වුවත්, වීරවරිය පොලඹවා ගැනීමට හෝ ඇගේ සිත ගැනීමට ඔහු අසමත් වේ. එබැවින් ඇගේ උදාසීන වීරවරයා තම වෙනස් නොවන ප්‍රේමය දැන් විවෘත ව ප්‍රකාශ කරන මෘදු පුද්ගලයෙකු බවට වෙනස් කිරීමට ඇය තම සියුම් මායම් භාවිතා කරයි. කලින් තිබූ සියලු අනුමානයන් ඉවත් කර, සමාව දී, ඔවුහු ප්‍රීතියෙන් විවාහ වී ඉන් පසු සැමදාට ම සතුටින් ජීවත් වෙති . . .
ප්‍රේමය ප්‍රේම කථාවල තිබෙනවා වාගේ ම ද?
එවන් මනඃකල්පිත කථා කියවීමෙන් යථාර්ථය පිළිබඳ ඔබේ සැබෑ දර්ශනය අඳුරු කළ හැකි ද? වයස අවුරුදු 16 දී ප්‍රේම නව කථා කියවීමට පටන් ගත් බොනී, මෙසේ සිහිපත් කරයි: “මම සෙව්වේ උස, කළු හා කඩවසම් යෞවන මනුෂ්‍යයෙක් ව; ආධිපත්‍යය පැවැත්වීමේ පුද්ගලිකත්වයකින් යුතු සිත ප්‍රබෝධ කරන කෙනෙක් ව.” ඇය මෙසේ වරද පිළිගත්තා ය: “මා යෞවන පුරුෂයෙකු ඇසුරු කළ විට සිප ගැනීමට හා ස්පර්ශ කිරීමට ඔහුට වුවමනා වුණේ නැත්නම්, ඔහු සැලකිලිමත් හා කරුණාවන්ත කෙනෙකු ව සිටියත්, ඔහු උනන්දුව අඩු කෙනෙකු ව සිටියා. නව කථාවලින් මා කියවනවා වාගේ ම සිත ප්‍රබෝධවත් කිරීමක් මට වුවමනා වුණා.”
බොනී ඇගේ විවාහයෙන් පසු ව දිගට ම ප්‍රේම කථා කියෙවූ අතර මෙසේ පවසන්නී ය: “මට ප්‍රියකරු නිවසක් සහ පවුලක් තිබුණත්, එය සෑහුනේ නෑ . . . මට වුවමනා වුණේ ත්‍රාසජනක භාවය නව කථාවල බොහෝ සේ සිත් ඇදගන්නා ලෙසින් විස්තර කර තිබුණු ත්‍රාසය, ප්රබෝධය කුල්මත්වීම් අත්දැකීමට ය. මගේ විවාහයේ යම් වරදක් සිදු වී තිබුණා කියා මට හැඟුණා.” එහෙත් ස්වාමිපුරුෂයෙකු තම භාර්යාවගේ සිත් ඇදගැනීමට සහ “සිත ප්‍රබෝධවත්” කිරීමට වඩා වැඩි යමක් ඉදිරිපත් කළ යුතු බව අගය කිරීමට බයිබලය බොනීට උපකාරවත් විය. එය මෙසේ පවසයි: “පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්ය්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්‍ය්‍යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය. කිසිවෙක් කිසිකලක තමාගේම මාංසයට වෛර කළේ නැත. . . . තමාගේ මාංසය පෝෂණයකොට රක්ෂාකරගන්නේය.”—එපීස 5:28, 29.
තව ද ප්‍රේම නව කථාවලට එතරම් ම පොදු තේමාවන්, යථාර්ථය ඉක්මවා යන අවසානයන් සහ එකඟ නොවීම්වල දී පහසුවෙන් සාමය යළි ඇති කිරීම ගැන කුමක් කිව හැකි ද? ඒවා යථාර්ථයෙන් ඉතා දුරස්තර ය. බොනී මෙසේ සිහිපත් කරයි: “මට මගේ ස්වාමිපුරුෂයා සමඟ එකඟ නොවීමක් තිබුණු වෙලාවල දී, ඔහු සමඟ එය කථා කර ගන්නවා වෙනුවට, මං වීරවරිය විසින් යෙදූ උපායන් අනුකරණය කරනවා. වීරවරයා දැක් වූ ආකාරයට මගේ ස්වාමිපුරුෂයා ප්‍රතිචාරය නොදැක්වූ වෙලාවට, මං කෝපයෙන් බුම්ම ගෙන සිටිනවා.” “භාර්ය්යාවෙනි, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා,” යයි පවසන විට, බයිබලයේ භාර්යාවන් සඳහා වූ එම අවවාදය ඊට වඩා යථාර්ථානුරූපී සහ ප්‍රායෝගික නොවන්නේ ද?—කොලොස්සි 3:18.
ලිංගික කාරණා පිළිබඳ අඩංගු දෑ
සැලකිලිමත්වීමට කරුණක් නම්, සමහර රටවල මහජන පුස්තකාලවල තිබෙන ලිංගික කාරණා සවිස්තර ව දක්වන ප්‍රේම කථා—නව යොවුන් වියේ සිටින අය විසින් වැඩියෙන් ම ඉල්ලුම් කරන ඒවා ය. ඔබට අනතුරු කිරීමට ඒවාට හැකි ද? දහඅට හැවිරිදි කැරන් මෙසේ පැහැදිලි කරන්නී ය: “පොත්වලින් ඇත්තෙන් ම මා තුළ කුතුහලය සහ බලවත් ලිංගික හැඟීම් ඇවිස්සුවා. රාගාධික හමු වීම්වල දී, වීරවරයා කෙරෙහි වීරවරියට හැඟුණු ප්‍රීතියෙන් කුල්මත් වීමේ හැඟීම් ම මා තුළ ද ඇති කර ගැනීමට ආශාවක් ඇති වුණා. එනිසා විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ මා හුදකලාවේ ඇසුරු කරමින් සිටිය දී, එම හැඟීම් යළි ක්‍රියා කරවීමට මම වෑයම් කළා. එය මට වේශ්‍යාකමේ යෙදීමට මඟ පෑදුවා,” යයි ඇය තවදුරටත් පැවසුවා ය. එහෙත් ඇගේ අත්දැකීම, ඇය කියවා තිබූ සහ සිහින මැවූ වීරවරියන්ගේ ඒවා වාගේ ම වූවා ද? කැරන් මෙසේ සොයා ගත්තා ය: “මෙම හැඟීම් ලේඛකයන්ගේ මනස්වල මවා දැක්වීමක් වේ. ඒවා සැබෑ ඒවා නොවේ.”
ඇත්තෙන් ම සමහර කර්තෘවරුන්ගේ පරමාර්ථය නම් ලිංගික මනඃකල්පිතයන් බිහි කිරීම ය. ප්‍රේම-නව කථාවල කර්තෘවරුන්ට එක් ප්රකාශිතයෙක් දෙන මෙම උපදෙස් සලකා බලන්න: “ලිංගික ඇසුරක් විස්තර කිරීමේ දී අවධානය යොමු කළ යුත්තේ වීරයාගේ සිපගැනීම් හා වැළඳගැනීම් මගින් ඇවිස්සෙන රාගය හා කාමාධික හැඟීම් කෙරෙහි ය.” ප්‍රේම කථා “සිත ප්‍රබෝධවත් කිරීමක්, සිතේ ආතතියක් (පීඩාකාරී බවක්) සහ කියවන්නා තුළ ගැඹුරු චිත්ත වේගීය සහ කාමුක ප්‍රතිචාරයක් ඇති කළ යුතුයි,” කියා ලේඛකයන්ට තවදුරටත් උපදෙස් දී ඇත. පැහැදිලි ව ම, එවන් පොත්පත් කියවීමෙන් “පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් . . . නසාපල්ලා,” යන බයිබල් අවවාදය අනුගමනය කිරීමට කෙනෙකුට උපකාර කරන්නට යන්නේ නැත.—කොලොස්සි 3:5.
තෝරා බේරා කියවන්න
එසේ නම්, දුරාචාර හැඟීම් අවුස්සන හෝ යථාර්ථානුරූපී නොවන අපේක්ෂාවන් උපදවන නව කථාවලින් වැළකීම හොඳ ම දෙයයි. ඉතිහාස පොත් හෝ විද්‍යා පොත් වැනි, වෙනත් ආකාරයේ පොත් කියවීමට වෑයම් කරමින් කියවීම පුළුල් නොකරන්නේ මන්ද? ප්‍රබන්ධ කථා කියවීම නුසුදුසු කියා කියනවා නොව, මන්දයත් විනෝදාත්මක පමණක් නොව නමුත් අධ්‍යාපනික ද වන ප්‍රබන්ධ කෘති සමහරක් තිබේ. එහෙත් නව කථාවක් ලිංගික දේ, නිරර්ථක සැහැසියාව, ගුප්ත ක්‍රියාවන් හෝ දුරාචාර, කෲර හෝ ගිජු “වීරවරයන්” හුවා දක්වනවා නම්, ඔබ එය කියවීමෙන් ඔබේ කාලය කා දැමිය යුතු ද?
එබැවින් සැලකිලිමත්වීමට පුරුදු වන්න. පොතක් කියවීමට පෙර, එහි කවරය සහ පොතේ පිට කවරයේ ඇති විස්තරය පරීක්ෂා කරන්න; පොත ගැන පිළිකුල් කටයුතු යම් දෙයක් තිබේ දැයි බලන්න. තව ද පූර්වෝපායන් ගෙන තිබුණත් පොතක් කියවන විට අවැඩදායක බවට හැරේ නම්, පොත පැත්තකට දමන්ට ශක්තිය ඇති පුද්ගලයෙකු ව සිටින්න.
ඊට පටහැනි ව, බයිබලය සහ බයිබලයට-සම්බන්ධිත ප්‍රකාශන කියවීම ඔබට අනතුරක් නොව උපකාරයක් වනු ඇත. උදාහරණයක් ලෙස, එක් ජපන් ගැහැණු ළමයෙක් පවසන්නේ—බොහෝ විට යෞවනයන්ට ගැටලුවක් ව තිබෙන—ලිංගික දේ ඇගේ මනසෙන් ඉවත් කර තබා ගැනීමට බයිබලය කියවීම ඇයට උපකාරයක් වූ බව ය. “මා සැමවිට ම මගේ ඇඳ ළඟින් බයිබලය තබා ගන්නා අතර නින්දට යාමට පෙර එය කියවීමට නියම කර ගන්නවා. මගේ මනස සමහර විට ලිංගික දේ වෙත යොමු වන්නේ මං තනි ව ම සිටින වේලාවලදීයි, (ඇඳේ සිටින වේලාව වැනි) කරන්නට කිසිවක් නැති වේලාවලදීයි. ඒ නිසා බයිබලය කියවීම ඇත්තෙන් ම මට උපකාරවත් ය!” එසේ ය, බයිබලයේ ලියවී තිබෙන ඇදහිලිවන්ත අය සමඟ “කථාබහ කිරීම” මගින් ඔබට සැබෑ සදාචාර ශක්තිය දීමට හැකි අතර ඔබේ සන්තෝෂය මහත් සේ වැඩි කළ හැක.—රෝම 15:4.
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ ඔබ කියවන දෙය ඔබ විසින් තෝරා බේරා ගත යුත්තේ මන්ද?
◻ බොහෝ යෞවනයන්ට ප්‍රේම නව කථා බොහෝ සේ සිත් ඇදගන්නක් වන්නේ මන්ද? එහෙත් ඒවායෙහි ඇති හානි මොනවා ද?
◻ කියවීමට යෝග්‍ය පොත්පත් තෝරා ගැනීමට ඔබට හැක්කේ කෙසේ ද?
◻ බයිබලය සහ බයිබලය මත පදනම් වූ ප්රකාශනවල ඇතැම් ප්රයෝජනයන් මොනවා ද?
[287 පිටුවෙහි හුවා දැක්වීම]
“මට ප්‍රියකරු නිවසක් සහ පවුලක් තිබුණත්, එය සෑහුනේ නෑ . . . මට වුවමනා වුණේ ත්‍රාසජනක භාවය නව කථාවල බොහෝ සේ සිත් ඇදගන්නා ලෙසින් විස්තර කර තිබුණු ත්‍රාසය, ප්රබෝධය කුල්මත්වීම් අත්දැකීමට ය. මගේ විවාහයේ යම් වරදක් සිදු වී තිබුණා කියා මට හැඟුණා.”
[283 පිටුවෙහි ඇති පින්තූර]
දහස් ගණන් පොත් බොහෝ සේ තිබෙන බැවින්, ඔබ විසින් තෝරා බේරා ගැනීමක් කළ යුතුයි
[285 පිටුවෙහි ඇති පින්තූර]
ප්‍රේම නව කථා වශී කරවන සුලු විය හැකි නමුත් ඒවා ප්‍රේමය සහ විවාහය ගැන ගුණාත්මක අදහසක් උගන්වයි ද?