6වෙනි පරිච්ඡේදය
පොරොන්දු කරන ලද දරුවා
යෝසෙප් හා මරියා නැවත නාසරෙත් වෙතට ගමන් කරන්නේ නැතුව බෙත්ලෙහෙමේ නැවතී සිටිනවා. දෙවි මෝසෙස්ගේ නීතියට එකඟව, ඔවුන් යේසුස්ව චර්මච්ඡේදනය කරන්නේ ඔහුට දවස් අටක් සම්පූර්ණ වුණාමයි. අටවන දවසේදී පිරිමි දරුවෙකුට නමක් දැමීමත් සාමාන්‍ය සිරිතක්. ඉතිං ගාබ්‍රියෙල් දේවදූතයා කලින් නියම කර තිබූ ලෙස ඔවුන් දරුවාට යේසුස් යන නම තබනවා.
මසකට වඩා වැඩි කාලයක් ගත වෙලා. යේසුස් ඉපදිලා දැන් දවස් 40ක්ම ගෙවී ගිහින්. ඔහුගේ දෙමව්පියන් දැන් ඔහුව ගෙනියන්නේ කොතැනටද? ඔවුන් නැවතී සිටින ස්ථානයේ සිට සැතපුම් කීපයකට නුදුරින් පිහිටි යෙරුසලමේ දේවමාලිගාවටයි. දෙවි මෝසෙස්ට දුන් නීතියට අනුව, පුත්‍රයෙකු බිහි කර දවස් 40කට පසුව මව දේවමාලිගාවට ගොස් පවිත්‍ර වීමේ පූජාවක් ඔප්පු කළ යුතුයි.
දැන් මරියා කරන්නේ එයයි. පූජා කිරීම සඳහා ඇය රැගෙන එන්නේ කුඩා පක්ෂීන් දෙන්නෙක්. මෙයින්, යෝසෙප්ගෙයි මරියාගෙයි ආර්ථික තත්වය ගැන යමක් හෙළි වෙනවා. මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වන්නේ පක්ෂීන්ට වඩා බොහෝ සෙයින් වටිනා බැටළු වස්සෙක් පූජා කළ යුතු බවයි. නමුත් එසේ කිරීමට තරම් වත්කමක් නොතිබුණොත් මවට කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවියන් දෙන්නෙක් පූජා කරන්න පුළුවන්.
දේවමාලිගාවේදී වයසක මිනිසෙක් යේසුස්ව සිය දෝතට ගනියි. ඔහුගේ නම සිමියොන්. දෙවි ඔහුට එළිදරව් කර තිබෙනවා යෙහෝවා පොරොන්දු කරන ලද ක්‍රිස්තුස් එනම් මෙසියස් දකින තුරු ඔහු නොනසින බව. මෙදින සිමියොන් දේවමාලිගාවට පැමිණෙන විට, යෝසෙප් හා මරියා වඩාගෙන එන දරුවා වෙතට යෑමට ශුද්ධාත්මය ඔහුට මඟ පෙන්වනවා.
යේසුස්ව වඩාගනිද්දී සිමියොන් දෙවිට ස්තුති කරන්නේ මෙලෙසයි. ‘පරමාධිපති ස්වාමීනි, ඔබ දැනුම් දුන් ලෙසම ඔබ දැන් ඔබේ දාසයාට සමාදානය ඇතිව නිදහසේ යන්ට ඉඩ දී ඇත. මන්ද, ඔබ ගැලවීම සලසා දෙන ආකාරය මාගේ දෙනෙතින් දැක තිබේ. ඔබ සියලු ජනයා ඉදිරියෙහි එය සූදානම් කර තිබේ. එය ජාතීන් කෙරෙන් වැස්ම ඉවත් කිරීම සඳහා වූ ආලෝකයක්ද ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්ට මහිමයක්ද වේ.’
මෙය ඇසෙන විට යෝසෙප් හා මරියා මවිතයට පත් වෙනවා. ඉන්පසු සිමියොන් ඔවුන්ට ආශීර්වාද කර මරියාට පවසන්නේ, ‘ඊශ්‍රායෙලයෙහි බොහෝදෙනෙකුගේ වැටීම හා යළි නැඟිටීම’ සඳහා ඇගේ පුතාව පත් කර තිබෙන බවයි. ශෝකය තියුණු කඩුවක් මෙන් ඇගේ හදවත පසාරු කරගෙන යන බවත් ඔහු පවසනවා.
අවුරුදු 84ක් වයසැති අනාගතවක්තෘවරියක් වන ආනාත් මේ අවස්ථාවේදී එහි පැමිණ සිටිනවා. ඇත්තෙන්ම ඇය දේවමාලිගාවට නොඑන දවසක් නැහැ. එම පැයේදීම ඇය ඔවුන් ළඟට පැමිණ දෙවිට ස්තුති කරමින්, සවන් දෙන සියලුදෙනාටම යේසුස් ගැන කතා කිරීමට පටන්ගන්නවා.
දේවමාලිගාවේදී සිදු වන මේ දේවල් ගැන යෝසෙප් හා මරියා මොන තරම් සතුටු වෙනවා ඇද්ද! දරුවා, දෙවිගේ පොරොන්දු කරන ලද තැනැත්තා බව මේ සියල්ලෙන් ඔවුන්ට තහවුරු වෙන බව නිසැකයි. ලූක් 2:21-38, NW; ලෙවී කථාව 12:1-8.
▪ සිරිතක් වශයෙන්, ඊශ්‍රායෙලයේ පිරිමි දරුවෙකුට නමක් තැබුවේ කවදාද?
▪ තම පුතාට දින 40ක් පිරුණු විට ඊශ්‍රායෙලිත මවක් කළ යුතුව තිබුණේ කුමක්ද? මෙම නියමය ඉටු කරද්දී මරියාගේ ආර්ථික තත්වය හෙළි වන්නේ කොහොමද?
▪ මෙම අවස්ථාවේදී යේසුස්ගේ අනන්‍යතාව හඳුනාගන්නේ කවුද? ඔවුන් මෙය හෙළි කරන්නේ කොහොමද?