7වෙනි පරිච්ඡේදය
යේසුස් සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ
නැඟෙනහිර දිශාවෙන් මනුෂ්‍යයන් කීපදෙනෙක් ඇවිත් සිටිනවා. ඔවුන්, තාරකාවල පිහිටීම පිළිබඳව අර්ථ දක්වන්න පුළුවන් බව කියා සිටින ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්. නැඟෙනහිර දිශාවේ, එනම් තමන්ගේ මව් රටේ සිටින විට ඔවුන් අලුත් තාරකාවක් දුටුවා. ඉන්පසු ඔවුන් එය පසුපස ගමන් කරමින් සැතපුම් සිය ගණනක් ගෙවා යෙරුසලමට පැමිණියා.
ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යෙරුසලමට පැමිණ මෙසේ අසනවා. “යුදෙව්වරුන්ගේ රජව උපන් තැනැත්තා සිටින්නේ කොතැනද? අපි නැඟෙනහිර දිශාවෙහි සිටියදී ඔහුගේ තාරකාව දැක, ඔහුට ගරුබුහුමන් කරන පිණිස ආවෙමු.”
යෙරුසලමේ හෙරොද් රජුට මේ ගැන ආරංචි වන විට ඔහු හොඳටම කලබල වී, නායක පූජකයන්ව කැඳවා ක්‍රිස්තුස් උපදින්නේ කොතැනදැයි ඔවුන්ගෙන් අසනවා. ඔවුන් ශුද්ධ ලියවිලි පදනම් කරගෙන පිළිතුරු දෙන්නේ “බෙත්ලෙහෙමෙහි” කියායි. එවිට, හෙරොද් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ව කැඳවා ඔවුන්ට මෙසේ පවසනවා. “ඔබ ගොස් ඒ කුඩා දරුවාව හරියාකාරව සොයන්න. ඔහුව සම්බ වූ විට, මාත් ගොස් ඔහුට ගරුබුහුමන් කරන පිණිස නැවත පැමිණ මට දන්වන්න.” නමුත් හෙරොද් දරුවාව ඇත්තෙන්ම සොයන්නේ ඔහුව මරා දමන්නයි!
ඔවුන් පිටත් වෙද්දී සිදු වන්නේ හරිම පුදුම දෙයක්. නැඟෙනහිර දිශාවේ සිටින විට ඔවුන් දුටු තාරකාව ඔවුන් ඉදිරියෙන් ගමන් කරනවා. මෙය සාමාන්‍ය තාරකාවක් නම් නොවන බව පැහැදිලියි. එය විශේෂයෙන්ම ඔවුන්ට මඟ පෙන්වීමට යොදාගත් තාරකාවක්. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් දිගටම එය පසුපස ගමන් කරනවා. අන්තිමේදී එය නවතින්නේ හරියටම යෝසෙප් හා මරියා නැවතී සිටින නිවසට ඉහළින්.
ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ නිවසට ඇතුල් වන විට, මරියාවයි ඇගේ කුඩා දරුවා වන යේසුස්වයි දකිනවා. ඔවුන් සියලුදෙනාම යේසුස් ඉදිරියේ වැඳ වැටී තම මංජුසාවල තිබෙන රන්, කට්ටකුමංජල් හා සුවඳ ලාටු එළියට අරං ඔහුට තෑගි කරනවා. ඉන්පසු, ඔවුන් දරුවා සිටින්නේ කොතැනදැයි හෙරොද්ට දැනුම් දීමට ආපසු ඔහු වෙතට ගමන් කරන්න සූදානම් වෙද්දී, දෙවි ස්වප්නයකින් ඔවුන්ට අනතුරු අඟවනවා එසේ නොකරන්න කියා. ඒ නිසා ඔවුන් වෙනත් මාර්ගයකින් තම මව් රට බලා ගමන් කරනවා.
ඔබ හිතන විදිහට, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මඟ පෙන්වන්න අහසේ ගමන් කළ තාරකාව යොදාගත්තේ කවුද? තාරකාව ඔවුන්ව කෙළින්ම බෙත්ලෙහෙමේ සිටි යේසුස් වෙතට මඟ පෙන්වූයේ නැති බව මතක තියාගන්න. එය ඔවුන්ව මඟ පෙන්වූයේ යේසුස්ව මරා දැමීමට වුවමනා කළ හෙරොද් රජු සිටි යෙරුසලම වෙතටයි. යේසුස් සිටින්නේ කොතැනදැයි හෙරොද්ට පවසන්න එපා කියා ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට අනතුරු අඟවමින් දෙවි මැදිහත් වුණේ නැත්නම්, සමහරවිට හෙරොද් යේසුස්ව මරා දමන්නත් ඉඩ තිබුණා. යේසුස්ව මරා දැමීමට වුවමනා වුණේ දෙවිගේ සතුරා වන සාතන් නමැති යක්ෂයාටයි. එමනිසා තම අරමුණ ඉටු කරගැනීමේ අදහසින් ඔහු එම තාරකාව ප්‍රයෝජනයට ගත්තා. මතෙව් 2:1-12, NW; මීකා 5:2.
▪ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් දුටු තාරකාව සාමාන්‍ය තාරකාවක් නොවන බව පෙනෙන්නේ කුමකින්ද?
▪ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට යේසුස්ව සම්බ වන්නේ කොතැනදීද?
▪ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට මඟ පෙන්වන්න තාරකාව යොදාගත්තේ සාතන් කියා අප දන්නේ කොහොමද?