8වෙනි පරිච්ඡේදය
කෲර පාලකයෙක් වෙතින් පලා යෑම
මරියාට හදිසි ආරංචියක් කීමට තිබෙන නිසා යෝසෙප් ඇයව අවදි කරනවා. ඊට මොහොතකට පෙර යෙහෝවාගේ දූතයෙක් ඔහුට පෙනී මෙසේ කියා තිබුණා. “නැඟිටින්න, කුඩා දරුවාද ඔහුගේ මවද රැගෙන ඊජිප්තුවට පලා ගොස්, මා ඔබට කියන තුරු එහි නැවතී සිටින්න. මන්ද හෙරොද් කුඩා දරුවාව මරා දැමීමට සොයන්න සූදානමින් සිටී.”
ඉතිං, ඔවුන් තුන්දෙනා ඉක්මනින්ම එතැනින් පලා යනවා. ඔවුන් බේරෙන්නේ අනූනවයෙන්. මොකද දැනටමත්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් තමාව රවටා එරටින් පිට වී ගොස් ඇති බව හෙරොද්ට දැනගන්න ලැබිලා. යේසුස්ව සම්බ වූ විගසම හෙරොද්ට වාර්තා කරන්න ඔවුන්ට නියම කළ බව ඔබට මතකද? හෙරොද්ට දැන් හොඳටම කේන්ති ගිහිල්ලයි තිබෙන්නේ. ඉතිං යේසුස්ව මරා දැමීමේ අදහසින්, බෙත්ලෙහෙමේ සහ එහි දිස්ත්‍රික්කවල සිටින දෙහැවිරිදි සහ ඊට බාල සියලු පිරිමි දරුවන්ව මරා දමන්න කියා ඔහු නියෝග කරනවා. ඔහු මෙම වයස් මට්ටම තීරණය කරන්නේ නැඟෙනහිර දිශාවෙන් පැමිණි ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් කලින් ලබාගත් තොරතුරු අනුවයි.
මේ කුඩා දරුවන්ව මරා දමනවා දැකීම මොන තරම් බියකරු දසුනක්ද! හෙරොද්ගේ හේවායන් සෑම නිවසකටම කඩා වදිනවා. ඔවුන් පිරිමි දරුවෙකුව දකින විගසම, මවගේ අත්වලින් දරුවාව උදුරගන්නවා. සිඟිත්තන් කීදෙනෙකුව මරා දැමුවාද කියා අපි දන්නේ නැහැ. හැබැයි අනාගතවක්තෘ යෙරෙමියා විසින් පැවසූ බයිබල් අනාවැකියක් ඉටු කරමින් මේ අවස්ථාවේදී මව්වරුන් මහත් සේ හඬා වැලපෙනවා.
මේ අතරතුරේදී, යෝසෙප් හා ඔහුගේ පවුල අනතුරකින් තොරව ඊජිප්තුවට ගොස් එහි නැවතී සිටිනවා. එහෙත් එක්තරා රාත්‍රියකදී යෙහෝවාගේ දූතයා නැවතත් යෝසෙප්ට ස්වප්නයකින් පෙනී මෙලෙස පවසනවා. “නැඟිටින්න, කුඩා දරුවාද ඔහුගේ මවද රැගෙන ඊශ්‍රායෙල් දේශයට යන්න. මන්ද කුඩා දරුවාගේ ජීවිතය නසන්ට සෙවූ අය මළෝය.” ඉතිං, දෙවිගේ පුත්‍රයාව ඊජිප්තුවෙන් කැඳවාගන්නා බවට කියැවෙන තවත් බයිබල් අනාවැකියක් ඉටු කරමින් මුළු පවුලම නැවතත් තම මව්රට බලා ගමන් කරනවා.
පෙනෙන විදිහට, යෝසෙප්ට වුවමනා වන්නේ ඊජිප්තුවට පලා යෑමට පෙර ඔවුන් ජීවත් වෙමින් සිටි යුදයේ බෙත්ලෙහෙම් නගරයට ගොස් එහි පදිංචි වෙන්නයි. නමුත් ඔහුට දැනගන්න ලැබෙනවා දැන් යුදයේ රජකම් කරන්නේ දුෂ්ට හෙරොද්ගේ පුත් ආකෙලාවුස් බව. යෙහෝවාද තවත් ස්වප්නයකින් ඔහුට ඒ පිළිබඳව අනතුරු අඟවනවා. ඒ නිසා යෝසෙප් සහ ඔහුගේ පවුල උතුරට ගමන් කර ගලීලයෙහි නාසරෙත් නම් නගරේ පදිංචි වෙනවා. යේසුස් ඇති දැඩි වන්නේ යුදෙව් ආගමික කේන්ද්‍රස්ථානයෙන් දුරස්ව තිබෙන මෙම ප්‍රදේශයේයි. මතෙව් 2:13-23, NW; යෙරෙමියා 31:15; හොෂෙයා 11:1.
▪ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ආපසු නොපැමිණෙන විට, හෙරොද් රජු කුමනාකාරයේ බිය උපදවන දෙයක්ද කරන්නේ? නමුත් යේසුස් ආරක්ෂා වන්නේ කෙසේද?
▪ ඊජිප්තුවෙන් ආපසු පැමිණෙන විට, යෝසෙප් නැවතත් බෙත්ලෙහෙමේ පදිංචි නොවන්නේ ඇයි?
▪ මෙම කාල පරිච්ඡේදය තුළදී ඉටු වන බයිබල් අනාවැකි මොනවාද?