25වෙනි පරිච්ඡේදය
ලාදුරු රෝගියෙකුට දැක්වූ අනුකම්පාව
යේසුස් හා ඔහුගේ ගෝලයන් සතරදෙනා ගලීලයේ නුවරවල සංචාරය කරද්දී ඔහු සිදු කරමින් සිටින පුදුමාකාර දේවල් පිළිබඳ ආරංචිය මුළු දිස්ත්‍රික්කය පුරාම පැතිරෙනවා. ලාදුරු රෝගයෙන් පීඩා විඳින මනුෂ්‍යයෙක් සිටින එක්තරා නුවරකටත් ඔහුගේ ක්‍රියා පිළිබඳ පුවත දැනගන්න ලැබිලා. වෛද්‍යවරයෙක් වන ලූක් මේ පුද්ගලයාව විස්තර කරන්නේ “මුළු ශරීරය පුරාම ලාදුරු රෝගය වැලඳුණු” මනුෂ්‍යයෙක් හැටියටයි. මේ බියකරු රෝගයේ දරුණුතම අවස්ථාවේදී ශරීරයේ විවිධ කොටස් කෙමෙන් කෙමෙන් විකෘති වෙනවා. ඉතිං මේ ලාදුරු රෝගියා සිටින්නේ අන්ත අසරණ තත්වයකයි.
යේසුස් නුවරට ඇතුල් වෙද්දී ලාදුරු රෝගියා ඔහු වෙතට පැමිණෙනවා. දෙවිගේ නීතියට අනුව “අපවිත්‍රය, අපවිත්‍රය” කියා අනතුරු අඟවමින් ලාදුරු රෝගියා කෑගැසිය යුතුයි. මෙසේ කරන්නේ අන්‍යයන් තමාට ඕනෑවට වඩා කිට්ටු වීම වැළැක්වීමට හා රෝගය බෝවීමේ අවදානමෙන් අන්‍යයන්ව ආරක්ෂා කිරීමටයි. දැන් ලාදුරු රෝගියා මුණින් වැටී යේසුස්ට මෙසේ ආයාචනා කරනවා. “ස්වාමිනි, ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන.”
මේ මනුෂ්‍යයාට යේසුස් කෙරෙහි ඇත්තේ මොන තරම් ශක්තිමත් ඇදහිල්ලක්ද! ඔහුගේ රෝගය නිසා ඔහුව දකිද්දී කොයි තරම් අනුකම්පාසහගත හැඟීමක් ඇති වෙනවාද! යේසුස් දැන් කුමක් කරාවිද? ඔබ ඒ තත්වයේ සිටියා නම් කරන්නේ කුමක්ද? දයානුකම්පිත හැඟීමෙන් පෙලඹෙන යේසුස් තම අත දිගු කර ඔහුව ස්පර්ශ කරමින් “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා පවසනවා. එක විගසම ලාදුරු රෝගය ඔහු කෙරෙන් පහ වෙනවා.
මෙවැනි දයානුකම්පිත කෙනෙක් ඔබගේ රජු වශයෙන් සිටිනවාට ඔබ කැමති නැද්ද? යේසුස් මේ ලාදුරු රෝගියාට සලකන ආකාරයෙන්, ඔහුගේ රාජ්‍ය පාලනයේදී මේ බයිබල් අනාවැකිය ඉටු වන බවට නිසැකකමක් අප තුළ ජනිත කරවනවා. “ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය. දිලිඳුන්ගේ ප්‍රාණයන් ගලවන්නේය.” ඇත්තෙන්ම පීඩා විඳින සියලුදෙනාටම උපකාර කිරීම සඳහා තිබෙන තම හෘදයාංගම ආශාව යේසුස් එදාට ඉටු කරනවා නියතයි.
ලාදුරු රෝගියාව සුව කිරීමට පෙර පවා යේසුස්ගේ දේවසේවය මනුෂ්‍යයන් අතරෙහි ඉමහත් උද්යෝගයක් ජනිත කර තිබුණා. යෙසායාගේ අනාවැකිය ඉටු කිරීමක් වශයෙන් යේසුස් දැන් සුව වූ මනුෂ්‍යයාට අණ කරනවා “කාටවත් කිසිවක් නොකියන්න බලාගන්න” කියා. ඊළඟට යේසුස් ඔහුට උපදෙස් දෙන්නේ මෙසේයි. “ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිට, ඔවුන්ට සාක්ෂියක් පිණිස ඔබේ පවිත්‍ර වීම වෙනුවෙන් මෝසෙස් විසින් අණ කරන ලද දේවල් ඔප්පු කරන්න.”
නමුත් මේ මනුෂ්‍යයා කොතරම් උද්දාමයට පත් වී සිටිනවාද කිව්වොත් ප්රාතිහාර්යය රහසක් ලෙස තබාගැනීමට ඔහුට නොහැකියි. ඔහු ගොස් ආරංචිය සෑම තැනම පතුරුවන්න පටන්ගන්නවා. එමගින් මනුෂ්‍යයන් අතරේ කොතරම් උනන්දුවක් හා කුතුහලයක් ඇති වෙනවාද කිව්වොත් පෙනෙන ආකාරයට යේසුස්ට ප්‍රසිද්ධියේ නුවරකට ඇතුල් වීමටවත් බැරි වෙනවා. ඒ නිසා, යේසුස් නැවතී සිටින්නේ කිසිවෙකු ජීවත් නොවන පාළු තැන්වලයි. ඔහුට සවන් දීමටත් ඔවුන්ගේ රෝග සුව කරගැනීමටත් සෑම දිශාවකින්ම ඔහු වෙතට මනුෂ්‍යයන් පැමිණෙනවා. ලූක් 5:12-16; මාක් 1:40-45; මතෙව් 8:2-4; NW; ලෙවී කථාව 13:45; 14:10-13; ගීතාවලිය 72:13; යෙසායා 42:1, 2.
▪ ලාදුරු රෝගයෙන් ඇති විය හැකි බලපෑම කුමක්ද? ලාදුරු රෝගියෙක් කළ යුතු වූයේ කිනම් අනතුරු ඇඟවීමද?
▪ ලාදුරු රෝගියෙක් යේසුස්ට ආයාචනා කරන්නේ කොහොමද? යේසුස්ගේ ප්‍රතිචාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
▪ සුවය ලැබූ මනුෂ්‍යයා යේසුස්ට කීකරු වීමට අසමත් වන්නේ කොහොමද? එයින් ඇති වන පලවිපාක මොනවාද?