26වෙනි පරිච්ඡේදය
නැවතත් කපර්ණවුමේ
මේවන විට යේසුස්ගේ කීර්ති නම අවට ගම් දනව් පුරාම පැතිර ගිහින්. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝදෙනෙක් ඔහු නැවතී සිටින දුෂ්කර පළාත්වලට පවා ගමන් කරනවා. එහෙත් දින කිහිපයකට පසු ඔහු නැවතත් හැරී එනවා ගලීල මුහුද හරහා කපර්ණවුමට. ඔහු ආපසු ගමට ඇවිත් සිටිනවා යන ආරංචිය නුවර පුරා ඉක්මනින්ම පැතිර යන නිසා බොහෝදෙනෙක් ඔහු නැවතී සිටින නිවසට පැමිණෙනවා. යෙරුසලම තරම් දුර බැහැර ප්‍රදේශවලින් පරිසිවරුන් හා නීතිය උගන්වන අයත් පැමිණෙනවා.
ඇඟිල්ලක් ගසන්න තරම්වත් ඉඩක් නැති විදිහට සෙනඟ එක් රොක් වී සිටින නිසා දොරටු මාර්ගයත් අවහිර වෙලා. වෙන කාටවත් ඇතුල් වෙන්න හැකියාවක් නැහැ. දැන් සිදුවීමට යන්නේ සියල්ලන්වම පුදුමයට පත් කරවන දෙයක්. මිනිස් දුක් වේදනා පැවතීමට හේතුව ඉවත් කිරීමටත් තමන් කැමති සියලුදෙනාටම නැවත හොඳ සෞඛ්‍යයක් ලබා දීමටත් යේසුස්ට බලය තිබෙන බව ඒත්තුගැනීමට එය අපට උපකාරවත් වන නිසා සිදුවීමට යන දේ ඉතාම වැදගත්.
යේසුස් සමූහයාට උගන්වමින් සිටිද්දී මනුෂ්‍යයන් සතරදෙනෙක් අංශභාග රෝගියෙකුව ඇඳක තබාගෙන ඔහු සිටින නිවසට රැගෙන එනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ යේසුස් ලවා තම මිතුරාව සුව කරගැනීමටයි. නමුත් ඔවුන්ට ඇතුල් විය නොහැකියි. මොන තරම් අධෛර්යයට පත් කරවනසුලු දෙයක්ද! එහෙත් ඔවුන් උත්සාහය අත්හරින්නේ නැහැ. ඔවුන් පැතලි පියස්ස උඩට නැඟ එයින් කොටසක් ඉවත් කිරීමෙන් සිදුරක් සාදනවා. ඉන්පසු අංශභාග රෝගියා දිගා වී සිටින ඇඳ යේසුස් සිටින තැනට පහත් කරනවා.
තමන්ට මෙසේ බාධා කළා කියා යේසුස්ට කේන්ති යනවාද? කොහෙත්ම නැහැ! ඒ වෙනුවට, ඔවුන්ගේ ඇදහිල්ල දැකලා ඔහු ගොඩක් පුදුම වෙනවා. ඔහු අංශභාග රෝගියාට පවසනවා “ඔබේ පව් කමා කරන ලද්දේය” කියා. එහෙත් යේසුස්ට ඇත්තටම පව් කමා කරන්න පුළුවන්ද? ඔහුට එහෙම කරන්න පුළුවන් බව ලියන්නන් සහ පරිසිවරුන් නම් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් සිතෙන් මෙහෙම තර්ක කරනවා. “මේ මිනිසා මෙයාකාරයෙන් කතා කරන්නේ මන්ද? ඔහු කරන්නේ දේව අපහාසයකි. දෙවිට මිස, පව් කමා කරන්න පුළුවන් වෙන කාටද?”
ඔවුන්ගේ සිතේ තිබෙන දේ දැනගෙන යේසුස් ඔවුන්ට පවසන්නේ මෙසේයි. “ඔබ කුමක් නිසා මේ දේවල් ගැන සිතින් තර්ක කරමින් සිටින්නහුද? වඩා පහසු කුමක්ද? අංශභාග රෝගියාට, ‘ඔබේ පව් කමා කරන ලද්දේය’ යයි කීමද, නැතහොත් ‘නැඟිට, ඔබේ යහන ගෙන ඇවිදින්න’ යයි කීමද?”
ඊළඟට යේසුස් තම විවේචකයන් ඇතුළු සෙනඟට පුදුමාකාර දෙයක් දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. පොළොවේ පව් කමා කරන්න ඔහුට බලය තිබෙන බවත් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා ඔහු බවත් එමගින් හෙළි වෙනවා. ඔහු අංශභාග රෝගියා වෙතට හැරී මෙසේ අණ කරනවා. “නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්න.” ඔහු එවෙලේම යහන රැගෙන සියලුදෙනා ඉදිරියේ ඇවිදගෙන යනවා! මනුෂ්‍යයන් විස්මයට පත් වී දෙවිට ප්‍රශංසා කරමින් පවසන්නේ “මෙවැනි දෙයක් අප කවදාවත් දැක නැත” කියායි.
ලෙඩ රෝග සහ පාපය අතර තිබෙන සම්බන්ධයත් පාපවලට සමාව දීම සහ හොඳ ශරීර සෞඛ්‍යයක් අත්වීම අතර තිබෙන සම්බන්ධයත් යේසුස් මෙහිදී සඳහන් කළ බව ඔබ සැලකිල්ලට ගත්තාද? බයිබලයේ පැහැදිලි කරන්නේ අපගේ මුල් පියා වන ආදම් පව් කළ නිසා අප සියලුදෙනාටම පාපයේ ප්‍රතිඵල වන අසනීප හා මරණය උරුම වී තිබෙන බවයි. එහෙත් දෙවිට ප්‍රේම කරමින් ඔහුට සේවය කරන සියලුදෙනාගේම පාපවලට දෙවිගේ රාජ්‍ය පාලනය යටතේදී යේසුස් සමාව දෙනවා. එතකොට කිසි ලෙඩ රෝගයක් පවතින්න යන්නේ නැහැ. එය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වේවිද! මාක් 2:1-12; ලූක් 5:17-26; මතෙව් 9:1-8; රෝම 5:12, 17-19; NW.
▪ සියලුදෙනාවම පුදුමයට පත් කළ සිද්ධියකට මඟ පෑදූ දේවල් මොනවාද?
▪ අංශභාග රෝගියා යේසුස් වෙතට ළඟා වුණේ කොහොමද?
▪ අප සියලුදෙනාම පාප සහිතව සිටින්නේ ඇයි? නමුත් අපගේ පාපවලට සමාව හා පරිපූර්ණ සෞඛ්‍යය ලබාගත හැකි බවට වූ බලාපොරොත්තුව යේසුස් ලබා දුන්නේ කොහොමද?