54වෙනි පරිච්ඡේදය
‘ස්වර්ගයෙන් දෙන සැබෑ ආහාර’
ගෙවුණු දිනය ඇත්තෙන්ම කාර්යබහුල එකක්. යේසුස් ආශ්චර්යවත් ලෙස දහස් ගණනකට කන්න දීලා තිබුණා. පසුව, මිනිසුන් ඔහුව රජු හැටියට පත් කිරීමට වෑයම් කළ විට ඔහු ඔවුන් වෙතින් පලා ගියා. එදා රෑ ඔහු කුණාටුවෙන් කැලඹුණු ගලීල මුහුද මත ඇවිදගෙන ගියා. ඒ විතරක් නොවෙයි, කැලඹුණු ජලය මත ඇවිදගෙන ගිය පේතෘස්ව ගිලෙන්න පටන්ගත් විට ඔහුව බේරගත්තා. ගෝලයන්ට හානියක් නොවන පිණිස ඔහු රළ පහරත් නිශ්චල කළා.
ගලීල මුහුදේ ඊශාන පැත්තේ සිටියදී යේසුස් ආශ්චර්යවත් ලෙස කන්න දුන් ජනයාට දැන් කපර්ණවුම අසලදී යේසුස්ව මුණගැසෙනවා. ඔවුන් “ඔබ මෙහි ආවේ කොයි වෙලාවේද” කියා ඔහුගෙන් අසනවා. යේසුස් ඔවුන්ට තරවටු කරමින් පවසන්නේ ඔවුන් තමාව සොයා ආවේ තවත් ආහාර වේලක් නොමිලේ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් කියායි. යේසුස් ඔවුන්ට උනන්දු කරන්නේ නැති වී යන ආහාර සඳහා වැඩ නොකර සදාකාල ජීවනය පිණිස සැමදා පවතින කෑම උදෙසා වැඩ කරන ලෙසයි. ඒ නිසා ජනයා ඔහුගෙන් අසනවා, “දෙවිගේ කාර්යයන් කිරීම සඳහා අප කුමක් කළ යුතුද” කියා.
යේසුස් පිළිතුරු වශයෙන් ඉතා වැදගත් වූ එක් කාර්යයක් ගැන සඳහන් කරමින්, “දෙවිගේ කාර්යය නම්, ඔහු එවූ තැනැත්තා කෙරෙහි ඇදහිල්ල පෙන්වීමය” කියා පැහැදිලි කරනවා.
යේසුස් කොතරම් ප්රාතිහාර්යයන් සිදු කර තිබුණත් ජනයා ඔහු කෙරෙහි ඇදහිල්ල තබන්නේ නැහැ. ඔවුන් අසන්නේ, “එසේනම්, අප විසින් දැක ඔබව විශ්වාස කරන පිණිස ඔබ සිදු කරන ලකුණ කුමක්ද? ඔබ කරන වැඩය කුමක්ද” කියායි. “‘ඔහු ඔවුන්ට කන්න ස්වර්ගයෙන් ආහාර දුන්නේය’ කියා ලියා තිබෙන පරිදි අපේ මුතුන්මිත්තෝ පාළුකරයේදී මන්නා කෑවෝය” කියා ඔවුන් තවදුරටත් පවසනවා. ඔහු මවිතකර දේවල් අපමණ සංඛ්‍යාවක් කර තිබෙන නිසා ඔවුන් එසේ පැවසීම ඇත්තෙන්ම පුදුමයක්!
ලකුණක් පෙන්වන්න කියා ඔවුන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන්, යේසුස් ආශ්චර්යවල උල්පත පැහැදිලි කර දෙනවා. “සැබවින්ම මම ඔබට කියමි, මෝසෙස් ස්වර්ගයෙන් ඔබට ආහාර දුන්නේ නැත. ස්වර්ගයෙන් ඔබට සැබෑ ආහාරය දෙන්නේ මාගේ පියාණන්ය. මන්ද දෙවි දෙන ආහාරය නම්, ස්වර්ගයෙන් බැස ඇවිත් ලෝකයට ජීවනය දෙන තැනැත්තාය.”
“ස්වාමිනි, අපට ඒ ආහාරය සැමදාටම දෙන්න” කියා ජනයා පවසනවා.
එවිට යේසුස් පැහැදිලි කරන්නේ මෙසේයි. “ජීවනයේ ආහාරය මමය. මා වෙතට එන්නාට කිසි කලෙක බඩගිනි නොවන්නේය. මා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නාට කිසිදා පිපාසා නොවන්නේය. එහෙත් ඔබ මාව දුටු නමුත් විශ්වාස කරන්නේ නැතැයි මම ඔබට කීවෙමි. පියාණන් මට දෙන සියල්ල මා වෙතට පැමිණෙන්නේය. තවද, මා වෙතට එන්නාව මම කිසි සේත් පලවා නොහරිමි. මන්ද, මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත කිරීමට නොව, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමටය. මාව එවූ තැනැත්තාගේ කැමැත්ත නම්, ඔහු මට දුන් සියල්ලෙන් කිසිවක් නැති වෙන්න නෑර, අන්තිම දවසේදී මා විසින් එය නැවත නැඟිටුවීමය. මන්ද, මාගේ පියාණන්ගේ කැමැත්ත නම්, පුත්‍රයාව දැක ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සෑම කෙනෙකුම සදාකාල ජීවනය ලැබීමය.”
එවිට, “ස්වර්ගයෙන් බැස ආ ආහාරය මමය” කියා ඔහු පැවසූ නිසා, යුදෙව්වරු යේසුස් ගැන මැසිවිලි නඟන්න පටන්ගන්නවා. ඔවුන් ඔහුව දකින්නේ මනුෂ්‍ය දෙමව්පියන්ගෙන් බිහි වුණ පුතෙකු ලෙසයි. ඒ නිසා නාසරෙත්හි මනුෂ්‍යයන් හා සමානව ඔවුනුත් ඔහුට විරෝධය පාමින් මෙසේ ප්‍රශ්න කරනවා. “මේ යෝසෙප්ගේ පුත් යේසුස් නොවේද? අප ඔහුගේ පියාවත් මවවත් හඳුනන්නේ නැද්ද? එසේ නම් දැන් ඔහු, ‘මම ස්වර්ගයෙන් බැස ආවෙමි’ යි කියන්නේ කෙසේද?”
යේසුස් ප්‍රතිචාරය දක්වන්නේ මෙසේයි. “ඔබ අතරේ මැසිවිලි නැඟීම නතර කරන්න. මාව එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක. තවද, මම අන්තිම දවසේදී ඔහුව නැවත නැඟිටුවන්නෙමි. ‘යෙහෝවා ඒ සියල්ලන්ටම උගන්වන්නේය’ කියා අනාගතවාක්‍යයේ ලියා තිබේ. පියාණන්ගේ හඬ අසා ඉගෙනගත් සියල්ලෝම මා වෙතට පැමිණෙන්නෝය. දෙවි වෙතින් ආ තැනැත්තා හැර අන් කිසි මිනිසෙක් පියාණන්ව දැක නැත. මේ තැනැත්තා පියාණන්ව දැක තිබේ. විශ්වාස කරන්නාට සදාකාල ජීවනය ලැබෙන්නේයයි සැබවින්ම මම ඔබට කියමි.”
යේසුස් නැවතත් මෙසේ පවසනවා. “ජීවනයේ ආහාරය මමය. ඔබේ මුතුන්මිත්තන් පාළුකරයේදී මන්නා කෑවත් ඔවුහු මියගියහ. එහෙත් යමෙකු කා නොමැරෙන පිණිස, ස්වර්ගයෙන් බැස එන ආහාරය මෙයයි. ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක ආහාරය මමය. යමෙක් මේ ආහාරයෙන් කන්නේ නම් ඔහු සදහටම ජීවත් වන්නේය.” ඔව්, දෙවි විසින් එවන ලද තැනැත්තා වන යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් මනුෂ්‍යයන්ට සදාකාල ජීවනය ලබාගත හැකියි. මන්නාවලට හෝ වෙනයම් රොටියකට එවැනි දෙයක් කිරීමට නොහැකියි!
පෙනෙන විදිහට, ස්වර්ගයෙන් බැස ආ කෑම ගැන කළ සාකච්ඡාව ආරම්භ වුණේ ජනයා කපර්ණවුම අසලදී යේසුස්ව හමුවීමෙන් අනතුරුවයි. එහෙත් සාකච්ඡාව දිගටම කෙරීගෙන යන අතර එය අවසන් වෙන්නේ යේසුස් පසුව කපර්ණවුමෙහි සිනගෝගයක උගන්වමින් සිටින අවස්ථාවේදීයි. යොහන් 6:25-51, 59, NW; ගීතාවලිය 78:24; යෙසායා 54:13; මතෙව් 13:55-57, NW.
▪ ස්වර්ගයෙන් බැස ආ කෑම ගැන යේසුස් කළ සාකච්ඡාවට පෙර සිදු වුණේ කුමක්ද?
▪ යේසුස් ඉන් ටිකකට කලින් කර තිබුණ දේවල් සලකා බලද්දී, ලකුණක් පෙන්වන්න කියා කරන ඉල්ලීම කොහෙත්ම සුදුසු නොවන්නේ ඇයි?
▪ ස්වර්ගයෙන් බැස ආ සැබෑ කෑම තමන් කියා පැවසූ යේසුස්ගේ ප්‍රකාශය ගැන යුදෙව්වරුන් මැසිවිලි නඟන්නේ ඇයි?
▪ ස්වර්ගයෙන් බැස ආ කෑම පිළිබඳ සාකච්ඡාව සිදු කළේ කොතැනදීද?