ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 දෙසැම්බර් 2-7 පි.
  • ආශ්චර්යවත් විදිහට රොටි දීපු සිද්ධියෙන් පාඩම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආශ්චර්යවත් විදිහට රොටි දීපු සිද්ධියෙන් පාඩම්
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් ආශ්චර්යයකින් රොටි දුන්නා
  • ‘රොටිවලින් ඉගෙනගන්න ඕනෙ පාඩම’
  • වැදගත්ම දේ මොකක්ද?
  • සදහටම ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොකක්ද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යේසුස් තමයි “ජීවනය ලබා දෙන ආහාරය”
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 දෙසැම්බර් 2-7 පි.

පාඩම් ලිපිය 48

ගීතිකාව 97 අපගේ ජීවිතය රඳා පවතින්නේ දෙව් වදන් මතයි

ආශ්චර්යවත් විදිහට රොටි දීපු සිද්ධියෙන් පාඩම්

“මම තමයි ජීවනය ලබා දෙන ආහාරය. මං ළඟට එන කෙනාට කවදාවත් බඩගිනි වෙන්නේ නැහැ.”—යොහ. 6:35.

ලිපියේ අරමුණ

යේසුස් රොටි පහක් සහ මාළු කූරි දෙකක් පාවිච්චි කරලා ආශ්චර්යවත් විදිහට දහස් ගාණකට කන්න දීපු සිද්ධිය යොහන් 6වෙනි පරිච්ඡේදයේ තියෙනවා. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

1. අතීතයේ හිටපු අයට රොටි කොච්චර වැදගත් දෙයක් වුණාද?

රොටි කියන්නේ අතීතයේ හිටපු අයගේ ප්‍රධාන කෑමක්. (උත්. 14:18; ලූක් 4:4) ඒක එයාලාගේ ජීවිතත් එක්ක කොච්චර බැඳිලා තිබ්බාද කියනවා නම් බයිබලේ කෑම කියලා පරිවර්තනය කරලා තියෙන සමහර තැන්වල මුල් භාෂාවේ තියෙන්නේ “රොටි” කියලා. (මතෙ. 6:11) ඒ වගේම යේසුස් කරපු ආශ්චර්යයන්වලින් දෙකක්ම රොටිවලට සම්බන්ධ ඒවා. (මතෙ. 16:9, 10) ඒ එක සිද්ධියක් ගැන යොහන් 6වෙනි පරිච්ඡේදයේ තියෙනවා. අපි දැන් ඒ සිද්ධිය බලන ගමන් ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් බලමු.

2. දහස් ගාණකට කෑම ඕන වුණේ මොන අවස්ථාවේදීද?

2 යේසුස්ගේ නියෝජිතයෝ සේවේ ගිහින් මහන්සි වෙලයි ඇවිල්ලා හිටියේ. ඒ නිසා යේසුස් එයාලව බෝට්ටුවකින් ගලීල මුහුද හරහා බෙත්සයිදාවල පාළු තැනකට එක්ක ගියා. එතකොට එයාලට විවේක ගන්න පුළුවන්නේ. (මාක් 6:7, 30-32; ලූක් 9:10) හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් දහස් ගාණක් මිනිස්සු එතනට එන්න පටන්ගත්තා. යේසුස් එයාලව මඟහරියිද? නැහැ. ඔහු කාලේ අරන් එයාලට දේවරාජ්‍යය ගැන කියලා දීලා එතන හිටපු අසනීප අයව සුව කළා. ඔහොම හවස් වේගෙන එද්දී ගෝලයෝ කල්පනා කළා ‘මේ මිනිස්සු කන්නේ මොනවාද’ කියලා. සමහර අය ගාව කන්න පොඩි මොනවා හරි තියෙන්න ඇති. හැබැයි ගොඩක් අයට කෑම හොයාගෙන අවට ගම්වලට යන්න වෙනවා. (මතෙ. 14:15; යොහ. 6:4, 5) මේ වෙලාවේ යේසුස් මොනවා කරයිද?

යේසුස් ආශ්චර්යයකින් රොටි දුන්නා

3. සෙනඟ වෙනුවෙන් මොනවා කරන්න කියලද යේසුස් නියෝජිතයන්ට කිව්වේ? ( පින්තූරයත් බලන්න.)

3 යේසුස් නියෝජිතයන්ට මෙහෙම කිව්වා. “එයාලා යන්න ඕනෙ නැහැ. ඔයාලට බැරිද එයාලට මොනවා හරි කන්න දෙන්න.” (මතෙ. 14:16) එහෙම කිව්වාට ඒක කරන එක ලේසි දෙයක් නෙවෙයි. මොකද එතන පුරුෂයන් 5,000ක් විතර හිටියා. ළමයිනුයි, ගෑනු අයයි එක්ක ඔක්කොම 15,000ක් විතර ඉන්න ඇති. (මතෙ. 14:21) අන්දෘ ඒ වෙලාවේ මෙහෙම කිව්වා. “මේ පොඩි පුතා ළඟ බාර්ලි රොටි පහකුයි, පොඩි මාළු කූරි දෙකකුයි තියෙනවා. ඒත් මෙච්චර ලොකු සෙනඟකට මේකෙන් මොනවා කරන්නද?” (යොහ. 6:9) සාමාන්‍යයෙන් බාර්ලි රොටි කියන්නේ ඒ කාලේ මිනිස්සු නිතරම කාපු කෑමක්. ඒ වගේම ඒ ළමයා ළඟ තිබුණ මාළු හොඳට ලුණු දාලා වේළපුවා වෙන්න ඇති. ඒත් ඒ පොඩ්ඩෙන් කොහොමද මෙච්චර සෙනඟකට කන්න දෙන්නේ?

යේසුස් ඔහුගේ නියෝජිතයන්ට රොටියි, මාළුයි දෙනවා. එයාලා ඒවා එතන ඉන්න විශාල පිරිසට බෙදලා දෙනවා. ඒ සෙනඟ අතරේ පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවෝ ඉන්නවා.

යෙහෝවා ගැන ඉගැන්නුවාට පස්සේ යේසුස් මිනිස්සුන්ට කන්න දුන්නා (3 ඡේදය බලන්න)


4. යොහන් 6:11-13 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (පින්තූරත් බලන්න.)

4 යේසුස්ට ඕන වුණේ සෙනඟ වෙනුවෙන් දෙයක් කරන්නයි. ඉතින් ඔහු සෙනඟට කිව්වා කණ්ඩායම් විදිහට බෙදිලා තණබිමේ ඉඳගන්න කියලා. (මාක් 6:39, 40; යොහන් 6:11-13 කියවන්න.) ඊටපස්සේ රොටි සහ මාළු දුන්න එකට යේසුස් ඔහුගේ තාත්තාට ස්තුති කරලා යාච්ඤාවක් කරනවා. ඒකෙන් ඔහු පෙන්නුවා ඒ කෑම දුන්නේ දෙවියන් කියලා. ඒ වගේම ඒවා දුන්නාට ඔහුට ස්තුති කරන එක කොච්චර වැදගත්ද කියලත් යේසුස් ඒකෙන් පෙන්නුවා. ඒක අපිටත් හොඳ ආදර්ශයක්. අපි තනියම හිටියත් කට්ටිය එක්ක හිටියත් කන්න කලින් යෙහෝවාට ස්තුති කරන එක කොච්චර වැදගත්ද කියලා ඒකෙන් අපිට මතක් කරනවා. ඊටපස්සේ යේසුස් ගෝලයන්ට කිව්වා කෑම බෙදලා දෙන්න කියලා. සෙනඟ ඇති වෙන්න කෑවාට පස්සේ තවත් කෑම ඉතුරු වුණා. ඒවා පස්සේ කන්න පුළුවන් නිසා යේසුස් කිව්වා ඉතුරු වුණ කෑම එකතු කරන්න කියලා. මොකද ඔහුට ඕන වුණේ නැහැ ඒවා වීසි කරන්න. තියෙන දේවල් නාස්ති නොකර පරෙස්සමින් පාවිච්චි කරන එක ගැන යේසුස් ඒකෙන් හොඳ ආදර්ශයක් තිබ්බා. ඔයා දෙමාපියෙක් නම් ඔයාගේ දරුවන් එක්ක මේ වාර්තාව කියවලා ඒකෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන දරුවන්ට කියලා දෙන එක හොඳ නැද්ද?

පින්තූරවල අදහස: සහෝදරයන් සහ සහෝදරියන් කෑම කන්න කලින් යාච්ඤා කරනවා. 1. යෞවනියක් ඉස්කෝලේ කැන්ටිමේ ඉඳන් යාච්ඤා කරනවා. එයාගේ ළඟ පාත අනිත් ළමයි කතා කරකර ඉන්නවා. 2. ඉදි කිරීම් වැඩ කරන සහෝදරයෙක් දවල් කෑම ගන්න කලින් යාච්ඤා කරනවා. එයාත් එක්ක වැඩ කරන අය ඒ ළඟ ඉන්නවා. 3. තාත්තා කෙනෙක් එයාගේ නෝනායි, දුවයි එක්ක කෑම මේසේදී යාච්ඤා කරනවා.

ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මං කෑම කන්න කලින් යේසුස් වගේ යෙහෝවාට තැන්ක් යූ කියනවාද?’ (4 ඡේදය බලන්න)


5. යේසුස් කරපු ආශ්චර්යය දැක්කාට පස්සේ සෙනඟට ඕන වුණේ මොකක් කරන්නද? ඒත් යේසුස් කළේ මොකක්ද?

5 යේසුස්ගේ ඉගැන්වීම් නිසා, ඔහු කරපු ආශ්චර්යයන් නිසා මිනිස්සුන්ට ඔහු ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. දෙවියන් විශේෂ අනාගතවක්තෘවරයෙක්ව එවනවා කියලා මෝසෙස් කියපු දේ සෙනඟ දැනන් හිටියා. ඉතින් එයාලා හිතන්න ඇති ඒ කිව්වේ යේසුස් ගැන කියලා. (ද්වි. 18:15-18) ඒක එහෙමනම් ඔහු ශ්‍රේෂ්ඨ පාලකයෙක් වෙලා ඊශ්‍රායෙල් ජාතියටම කෑමවලින් කිසිම අඩුවක් කරන එකක් නැහැ කියලා එයාලා හිතන්න ඇති. ඉතින් සෙනඟට ඕන වුණා යේසුස්ව “අල්ලගෙන රජකමට පත් කරන්න.” (යොහ. 6:14, 15) යේසුස් ඒකට ඉඩ දුන්නා නම් ඔහු කරන්නේ රෝම පාලනය යටතේ හිටපු යුදෙව්වන්ගේ දේශපාලන කාරණාවලට සම්බන්ධ වෙන එකයි. ඔහු ඒකට ඉඩ දුන්නාද? නැහැ. බයිබලේ කියනවා ‘ඔහු එතනින් පිටත් වෙලා කන්දට ගියා’ කියලා. මිනිස්සුන්ගෙන් කොච්චර පීඩනයක් ආවත් ඔහු දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. ඒක අපිටත් මොන තරම් වටින පාඩමක්ද!

6. යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

6 ආශ්චර්යයක් කරලා කෑම දෙන්න කියලවත් ලෙඩ්ඩු සුව කරන්න කියලවත් කවුරුත් අපිට කියන එකක් නැහැ. අපිව එයාලාගේ පාලකයා කරගන්න හදන එකකුත් නැහැ. හැබැයි එයාලා කැමති කෙනාට ඡන්දේ දාන්න, ඒ කෙනාට අපේ සපෝට් එක දෙන්න කියලා එයාලා අපිව පොලඹවාගන්න හදයි. ඒත් ඒ වෙලාවට වැඩ කරන්න ඕන විදිහ යේසුස් පෙන්නුවා. ඔහු දේශපාලනයට සම්බන්ධ දේවලට කිසිම විදිහකින් හවුල් වුණේ නැහැ. ඔහු පස්සේ අවස්ථාවක මෙහෙමත් කිව්වා. “මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ.” (යොහ. 17:14; 18:36) ක්‍රිස්තියානීන් විදිහට අපිටත් ඕනෙ යේසුස් හිතපු, වැඩ කරපු විදිහ ආදර්ශයට ගන්න. අපි සපෝට් කරන්නේ දේවරාජ්‍යයට. ඒ ගැන අපි කතා කරනවා. ඒක එන්න කියලා යාච්ඤා කරනවා. (මතෙ. 6:10) ආශ්චර්යවත් විදිහට රොටි දුන්න සිද්ධියට දැන් අපි ආයේ ගිහින් ඒකෙන් තව ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන බලමු.

රෝම සොල්දාදුවන් දෙන්නෙක්ගේ අත්අඩංගුවේ ඉන්න යේසුස්ගෙන් පොන්තියුස් පිලාත් ප්‍රශ්න අහනවා.

දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැතුව ඉඳලා යේසුස් අපිට හොඳ ආදර්ශයක් තිබ්බා (6 ඡේදය බලන්න)


‘රොටිවලින් ඉගෙනගන්න ඕනෙ පාඩම’

7. යේසුස් කළේ මොකක්ද? ඒ වෙලාවේ නියෝජිතයන් වැඩ කළේ කොහොමද? එයාලට තේරුණේ නැත්තේ මොකක්ද? (යොහන් 6:16-20)

7 ආශ්චර්යවත් විදිහට සෙනඟට කන්න දුන්නාට පස්සේ යේසුස් ගෝලයන්ව කපර්ණවුමට පිටත් කරලා යැව්වා. මිනිස්සු ඔහුව රජ කරවන්න හදනවා කියලා තේරුම්ගත්ත නිසා යේසුස් තනියම කන්දට ගියා. (යොහන් 6:16-20 කියවන්න.) ඒ අතරේ ගෝලයෝ බෝට්ටුවෙන් යද්දී ලොකු කුණාටුවක් ආවා. ඒ වෙලාවේ යේසුස් එයාලා හිටපු තැනට වතුර උඩ ඇවිදගෙන ආවා. ඔන්න ඔය වෙලාවේ තමයි පේතෘස්ටත් වතුර උඩ ඇවිදගෙන එන්න කියලා යේසුස් කිව්වේ. (මතෙ. 14:22-31) යේසුස් බෝට්ටුවට නැග්ග හැටියේ කුණාටුව නතර වුණා. පුදුම වුණ ගෝලයෝ කිව්වා “ඔබ නම් ඇත්තටම දෙවියන්ගේ පුතා” කියලා.a (මතෙ. 14:33) හරි නම් එයාලා ඒක තේරුම්ගන්න තිබුණේ ආශ්චර්යවත් විදිහට යේසුස් රොටි දීපු වෙලාවේ. බලන්න ඒ ගැන මාක් කියන දේ. “ඒක දැක්කාම ගෝලයන්ට අදහාගන්න බැරුව ගියා. මොකද ඔහු රොටිවලින් කරපු ආශ්චර්යය එයාලා දැක්කත් ඒකෙන් ඉගෙනගන්න ඕනෙ පාඩම එයාලා තේරුම් අරන් තිබුණේ නැහැ. ඒ දේවල් තාමත් එයාලාගේ හිත්වලට ගිහින් තිබුණේ නැහැ.” (මාක් 6:50-52) රොටි දෙනවාට වඩා බලවත් ආශ්චර්යයන් කරන්න යෙහෝවා යේසුස්ට බලය දීලා තියෙනවා කියලා ගෝලයෝ තේරුම්ගත්තේ නැහැ. ඒ සිද්ධියෙන් පස්සේ යේසුස් රොටි දීපු සිද්ධිය ගැන ආයෙත් කතා කළා. ඔහු ඒකෙන් තව වැදගත් පාඩමක් අපිට ඉගැන්නුවා.

8-9. සෙනඟ යේසුස්ව හොයාගෙන ආවේ ඇයි? (යොහන් 6:26, 27)

8 පහුවෙනිදා සෙනඟ ආයේ යේසුස් කෑම දීපු තැනට ගියා. ඒත් යේසුස්වත් ඔහුගේ ගෝලයන්වත් එතන හිටියේ නැහැ. ඒ නිසා ටයිබීරියස්වලින් ආපු බෝට්ටුවල නැඟලා සෙනඟ යේසුස්ව හොයාගෙන ආයේ කපර්ණවුමට ගියා. (යොහ. 6:22-24) එයාලා ගියේ දේවරාජ්‍යය ගැන තව ඉගෙනගන්න එයාලට තිබුණ කැමැත්ත නිසාද? නැහැ. එයාලා ගියේ යේසුස් තව රොටි දෙයි කියලා හිතාගෙන. කොහොමද අපි ඒක දන්නේ?

9 බලන්න, යේසුස්ව කපර්ණවුමේදී එයාලට හම්බ වුණාම සිද්ධ වුණ දේ. යේසුස් එයාලට කිව්වා ‘ඔයාලා මාව හොයන්නේ ඔයාලට කෑම ඕන නිසයි’ කියලා. “රොටි කාලා බඩ පුරවගත්තත්” ඒ කෑම “නාස්ති වෙලා යන කෑම” කියලා ඔහු එයාලට කිව්වා. ඒ වගේම ඔහු කිව්වා හරි නම් එයාලා හොයන්න ඕනෙ “සදාකාල ජීවිතය ලබාගන්න උදව් වෙන, නාස්ති වෙන්නේ නැති කෑම” කියලා. (යොහන් 6:26, 27 කියවන්න.) සදාකාල ජීවිතේ ලබාගන්න පුළුවන් කෑමක් තියෙනවා කියලා දැනගත්තාම සෙනඟ පුදුම වෙන්න ඇති. ඒත් මොනවාද ඒ කෑම? කොහෙන්ද එයාලට ඒවා ගන්න පුළුවන්?

10. සදාකාල ජීවනය ලබාගන්න සෙනඟ කරන්න ඕන වුණේ මොකක්ද?

10 යේසුස් කියපු ඒ කෑම ලබාගන්න නම් එයාලා මොනවාද කරන්න ඕනෙ කියලා සෙනඟට දැනගන්න ඕන වුණා. සමහරවිට මෝසෙස්ට දුන්න නීතියේ තියෙන දේවල් කරන්න ඕනෙ කියලා එයාලා හිතන්න ඇති. හැබැයි යේසුස් කිව්වේ ‘දෙවියන් බලාපොරොත්තු වෙන්නේ ඔහු එවපු කෙනා ගැන ඔයාලා විශ්වාසය තියන’ එකයි කියලා. (යොහ. 6:28, 29) ‘සදාකාල ජීවනය ලබාගන්න’ නම් එයාලා යේසුස් ගැන විශ්වාසේ තියන්න ඕන වුණා. ඒ ගැන යේසුස් කලිනුත් කතා කරලා තිබුණා. (යොහ. 3:16-18, 36) ඒ ගැන ඔහු ඊටපස්සෙත් තව දේවල් කතා කළා.—යොහ. 17:3.

11. එයාලට ඕන වුණේ කෑම විතරයි කියලා යුදෙව්වන් වැඩ කරපු විදිහෙන් පෙනුණේ කොහොමද? (ගීතාවලිය 78:24, 25)

11 දෙවියන් බලාපොරොත්තු වෙන්නේ එයාලා යේසුස් ගැන විශ්වාසේ තියන එක කියලා ඒ යුදෙව්වන් පිළිගත්තේ නැහැ. ඒකයි එයාලා යේසුස්ට ආයෙත් මෙහෙම කිව්වේ. “අපිට ඔබ ගැන විශ්වාසයක් ඇති කරගන්න මොකක්ද ඔබ කරන ආශ්චර්යය?” (යොහ. 6:30) එයාලා කිව්වා මෝසෙස්ගේ කාලේ නම් සෙනඟට ආශ්චර්යවත් විදිහට හැම දවසකම කන්න මන්නා ලැබුණා කියලා. (නෙහෙ. 9:15; ගීතාවලිය 78:24, 25 කියවන්න.) ඒකෙන් පැහැදිලියි එයාලාගේ ඔළුවේ තිබ්බේ කන එක ගැනම විතරයි කියලා. ඒ නිසා මන්නාවලට දෙන්න බැරි සදාකාල ජීවනය දෙන “ස්වර්ගයෙන් එන සැබෑ ආහාරය” ගැන යේසුස් කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලවත් එයාලා ඇහුවේ නැහැ. (යොහ. 6:32) එදිනෙදා ඕන කරන දේවල් ගැන එයාලා කොච්චර හිතුවාද කිව්වොත් යේසුස් උගන්නන්න හදපු වැදගත් සත්‍යයන්වලට එයාලා අවධානය දුන්නේ නැහැ. මොකක්ද පාඩම?

වැදගත්ම දේ මොකක්ද?

12. වැදගත්ම දේ මොකක්ද කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

12 යොහන් 6වෙනි පරිච්ඡේදයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩමක් තමයි අපේ ජීවිතේ වටිනම දේ වෙන්න ඕනෙ යෙහෝවාට කීකරු වෙලා ඔහුත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න එක කියලා. සාතන් යේසුස්ව පරීක්ෂා කරපු වෙලාවේ යේසුස් පෙන්නුවා කෑමවලට වඩා යෙහෝවාට කීකරු වෙන එක වටිනවා කියලා. (මතෙ. 4:3, 4) කන්ද උඩ දේශනාවේදීත් යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් තියාගන්න එක කොච්චර වටිනවාද කියලා යේසුස් පැහැදිලි කළා. (මතෙ. 5:3) ඉතින් අපෙන්ම මෙහෙම අහගමු. ‘මට ඕන කරන දේවල් ගන්න එකට වඩා යෙහෝවාට කීකරු වෙන එක මට වටිනවා කියලා මං ජීවත් වෙන විදිහෙන් පේනවාද?’

13. (අ) කෑමවලින් සතුටක් ලබන එකේ වැරැද්දක් නැහැ කියන්නේ ඇයි? (ආ) අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොකක් ගැනද? (1 කොරින්ති 10:6, 7, 11)

13 අපිට අවශ්‍ය දේවල් ඉල්ලලා යාච්ඤා කරන එකේ, ඒවායින් සතුටක් ලබන එකේ වැරැද්දක් නැහැ. (ලූක් 11:3) බයිබලෙත් කියනවා “කන බොන එක, මහන්සි වෙලා තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක” හොඳයි කියලා. ඒක “සැබෑ දෙවියන්ගෙන් ලැබුණ දෙයක්.” (දේශ. 2:24; 8:15; යාකො. 1:17) හැබැයි ඒ දේවල් අපේ ජීවිතේ හරි තැන තියන්න අපි වගබලා ගන්න ඕනේ. ඒ කාරණය පාවුල් එදා හිටපු ක්‍රිස්තියානීන්ටත් කාවැද්දුවා. පාළුකරයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ අවාදර්ශය ගැන ඔහු කතා කළා. එයාලා සීනයි කන්ද ළඟදී කරපු දේවල් ගැන කියලා පාවුල් ක්‍රිස්තියානීන්ට කිව්වා ‘වැරදි දේවල්වලට ආශා කරපු ඊශ්‍රායෙල්වරු වගේ වෙන්නේ නැතුව ඉන්න’ උත්සාහ කරන්න කියලා. (1 කොරින්ති 10:6, 7, 11 කියවන්න.) ඊශ්‍රායෙල්වරු කෑමට කොච්චර කෑදර වුණාද කියනවා නම් යෙහෝවා ආශ්චර්යයක් විදිහට එයාලට දුන්න දේම එයාලට උගුලක් වුණා. (ගණන්. 11:4-6, 31-34) රන් වස්සාට නමස්කාර කරපු වෙලාවෙත් එයාලා පෙන්නුවා යෙහෝවාට කීකරු වෙන එකට වඩා කන බොන, විනෝද වෙන එක තමයි එයාලට වැදගත් කියලා. (නික්. 32:4-6) ඒ අවාදර්ශ මතක් කරලා ක්‍රි.ව. 70 යුදෙව් සමාජය විනාශ වෙන්න කලින් හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් අනතුරු ඇඟෙව්වා. මේ සමාජයේ අවසානය කිට්ටුව ඉන්න අපිත් පාවුල් දීපු ඒ අනතුරු ඇඟවීම හිතට ගන්න ඕනේ.

14. පාරාදීසේ තියෙන කෑම ගැන බයිබලේ කියන්නේ මොනවාද?

14 “අද දවසට ඕනෙ කරන කෑම” ඉල්ලලා යාච්ඤා කරන්න කියලා යේසුස් කියපු වෙලාවේ ඔහු කිව්වා දෙවියන්ගේ කැමැත්ත “ස්වර්ගයේ ඉටු වෙනවා වගේ පොළොවෙත් ඉටු” වෙන්න කියලා යාච්ඤා කරන්න කියලා. (මතෙ. 6:9-11) ඒක කොයි වගේ කාලයක් වෙයිද? බයිබලේ කියනවා දෙවියන්ගේ කැමැත්තට හොඳ කෑම බීම මිනිස්සුන්ට ලබා දෙන එකත් ඇතුළත් කියලා. යෙසායා 25:6-8 කියනවා ඒ කාලේදී රස නහර පිනවන කෑම මේ පොළොවේ හැමෝටම ඇති තරම් තියෙයි කියලා. ගීතාවලිය 72:16 කියනවා “පොළොව ධාන්‍යවලින් පිරිලා ඉතිරිලා යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැහිලා යයි” කියලා. ඉතින් ඒ ධාන්‍ය වර්ගයක් පාවිච්චි කරලා ඔයා ආස කරන කෑමක් හදාගන්න, අලුත් රෙසපි අත්හදා බලන්න ඔයා ආසාවෙන් බලන් ඉන්නවාද? ඔයාගෙම මිදිවත්තක් වවලා ඒ මිදිවල, ඒවායින් හදන වයින්වල රස බලන්න ඔයා ආස නැද්ද? (යෙසා. 65:21, 22) එදාට මේ පොළොවේ ඉන්න හැමෝම ඒ හැම දේකින්ම ලොකු සතුටක් ලබයි.

15. නැවත නැඟිටින අය ඉගෙනගන්න ඕනෙ මොනවා ගැනද? (යොහන් 6:35)

15 යොහන් 6:35 කියවන්න. යේසුස් ආශ්චර්යවත් විදිහට දීපු රොටි සහ මාළු කාපු අය ගැන ආයේ ටිකක් හිතන්න. එයාලාගෙන් හුඟදෙනෙක් යේසුස් ගැන විශ්වාසේ තිබ්බේ නැතත් එයාලවත් නැවත නැඟිට්ටවයි. අපිට ඒ සමහරදෙනෙක්ව හම්බ වෙයි. (යොහ. 5:28, 29) නැවත නැඟිටලා එන ඒ අයටත් “මම තමයි ජීවනය ලබා දෙන ආහාරය. මං ළඟට එන කෙනාට කවදාවත් බඩගිනි වෙන්නේ නැහැ” කියලා යේසුස් කියපු දෙයින් අදහස් වෙන දේ ගැන ඉගෙනගන්න වෙයි. යේසුස් තමන්ගේ ජීවිතේ දුන්නේ එයාලා වෙනුවෙන් කියන දේ ගැන විශ්වාසයක් ඇති කරගන්නත් වෙයි. නැවත නැඟිටලා එන අයට සහ ඒ කාලේදී ඉපදෙන දරුවන්ට යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඉගෙනගන්න අවස්ථාව ලැබෙයි. එදාට තියෙන රස නහර පිනවන කෑමවලින් ලැබෙන සතුටට වඩා වැඩි සතුටක් යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න අනිත් අයට උදව් කරන එකෙන් අපිට ලැබෙයි.

16. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?

16 යොහන් 6වෙනි පරිච්ඡේදයේ කොටසක් අපි මේ ලිපියෙන් බැලුවා. හැබැයි “සදාකාල ජීවනය” ගැන යේසුස් තව ගොඩක් දේවල් ඉගැන්නුවා. යේසුස් කියපු දේවල්වලට එදා හිටපු යුදෙව්වන් හොඳින් ඇහුම්කන් දෙන එක වැදගත් වුණා. අපිත් කරන්න ඕනෙ ඒකමයි. ඉතින් යොහන් 6වෙනි පරිච්ඡේදයේ ඉතුරු හරිය අපි ඊළඟ ලිපියෙන් බලමු.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යේසුස් රොටි සහ මාළු බෙදලා දෙන්න කලින් කරපු දෙයින් ඔයා ඉගෙනගන්නේ මොකක්ද?

  • මිනිස්සු යේසුස්ව රජ කරවන්න හදපු වෙලාවේ යේසුස් කරපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

  • 1 කොරින්ති 10:6, 7, 11 පාවුල් දීපු උපදෙස අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

ගීතිකාව 20 දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!

a මේ වාර්තාව ගැන තවත් තොරතුරු දැනගන්න ‘මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්’ කියන පොතේ 130​වෙනි පිටුව සහ ‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්’ කියන පොතේ 185​වෙනි පිටුව බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න