83වෙනි පරිච්ඡේදය
පරිසිවරයෙක් සංග්‍රහ කරයි
යේසුස් තවමත් සිටින්නේ පරිසිවරුන්ගේ පාලකයෙකුගේ නිවසෙයි. ඔහු දිය උදර රෝගයෙන් පෙළුණ මනුෂ්‍යයෙකුව සුව කර තවම වැඩි වේලාවක් ගත වී නැහැ. සෙසු අමුත්තන් කෑම මේසයේදී මුල් පෙළේ අසුන් තෝරනවා දකින විට යටහත් පහත්කම පිළිබඳව පාඩමක් ඉගැන්වීමට ඔහු එය අවස්ථාවක් කරගන්නවා.
යේසුස් පැහැදිලි කරන්නේ මෙසේයි. “යමෙකු ඔබට මංගල්‍ය භෝජනයකට ආරාධනා කළ විට, ප්‍රධානතම ස්ථානයෙහි ඉඳ නොගන්න. සමහරවිට ඔබට වඩා කීර්තිමත් තැනැත්තෙකු ඔහුගෙන් ආරාධනා ලබා තිබෙන්න පුළුවන. එවිට ඔබවත් ඔහුවත් ආරාධනා කළ තැනැත්තා ඇවිත්, ‘මොහුට ඒ තැන දෙන්න’ යයි ඔබට කීවොත් ඔබට පහත්ම ස්ථානයට ලජ්ජාවෙන් යන්න සිදු වේ.”
ඒ නිසා, යේසුස් මෙසේ උපදෙස් දෙනවා. “ඔබට ආරාධනා කරනු ලැබූ විට, ගොස් පහත්ම ස්ථානයෙහි ඉඳගන්න. එහිදී ඔබට ආරාධනා කළ මිනිසා ඇවිත්, ‘මිත්‍රය, තව ඉහළ ස්ථානයකට යන්න’ යයි ඔබට කියන්නේය. එවිට සියලු අමුත්තන් ඉදිරියෙහි ඔබට ගෞරවය ලැබෙනවා ඇත.” අවසාන වශයෙන් යේසුස් පවසන්නේ, “තමාවම උසස් කරගන්න සියලුදෙනාම පහත් කරනු ලබන්නෝය. තමාවම පහත් කරගන්නාව උසස් කරනු ලබන්නේය” කියායි.
ඊළඟට, යේසුස් තමාට ආරාධනා කළ පරිසිවරයාව අමතමින්, දෙවිගේ අනුමැතිය දිනාගත හැකි ආකාරයකින් භෝජන සංග්‍රහයක් කළ හැකි ආකාරය විස්තර කරනවා. “ඔබ දවල් කෑමක් හෝ සන්ධ්‍යා භෝජනයක් පිළියෙළ කරන විට, ඔබේ මිතුරන්ව, සහෝදරයන්ව, නෑදෑයන්ව හෝ ධනවත් අසල්වැසියන්ව කැඳවා නොගන්න. සමහරවිට ඔවුන්ද යම් කලෙක ඔබට ආරාධනා කරනු ඇත. එවිට එය ඔබට කරන ගෙවීමකට සමාන වනු ඇත. නමුත් ඔබ මංගල්‍යයක් පිළියෙළ කරන විට, දිලිඳු, අබ්බගාත, කොර හා අන්ධ මිනිසුන්ට ආරාධනා කරන්න. එවිට ඒ සඳහා ඔබට ප්‍රතිඵල දීමට ඔවුන්ට හැකියාවක් නොතිබෙන හෙයින් ඔබ සන්තෝෂවත් වන්නෙහිය.”
අභාග්‍යසම්පන්න අයට එවැනි භෝජන සංග්‍රහයක් සැපයීමෙන් ආගන්තුක සත්කාරය පිරිනමන තැනැත්තාට සන්තෝෂය අත් වෙනවා. “මන්ද ධර්මිෂ්ඨයන්ව නැවත නැඟිටීමේදී ඔබට ප්‍රතිඵල ලැබෙන්නේය” කියා යේසුස් තමාට සංග්‍රහ කරන තැනැත්තාට පැහැදිලි කරනවා. මෙවැනි භෝජන සංග්‍රහයක් සැපයීමේ වටිනාකම පිළිබඳව යේසුස් කරන විස්තරයෙන් එතැන සිටින තවත් අමුත්තෙකුගේ මතකයට නැඟෙන්නේ වෙනත් ආකාරයක භෝජන සංග්‍රහයක්. එම අමුත්තා පවසන්නේ, “දෙවිගේ රාජ්‍යයෙහිදී රොටි කන තැනැත්තා සන්තෝෂවත්ය” කියායි. එහෙත් යේසුස් උපමාවකින් පෙන්වන ලෙස, සියලුදෙනාම ඒ සතුට ගෙන දෙන අපේක්ෂාව නිසි අයුරින් අගය කරන්නේ නැහැ.
“එක්තරා මිනිසෙක් මහා සන්ධ්‍යා භෝජනයක් පිළියෙළ කොට, බොහෝදෙනෙකුට ආරාධනා කළේය. . . . ‘එන්න, දැන් සියල්ල සූදානම්’ යයි ආරාධිතයන්ට කියන පිණිස ඔහු තම දාසයාව යැවීය. නමුත් ඒ සියලුදෙනාම නෑවිත් සිටීමට හේතු කියන්න පටන්ගත්තෝය. පළමුවෙනියා, ‘මම කෙතක් මිල දී ගත්තෙමි. ගොස් එය බලන්න අවශ්‍යය. මට කමා වන මෙන් ඔබෙන් ඉල්ලමි’ යි ඔහුට කීවේය. වෙන කෙනෙක්, ‘මම ගොන් බාන පහක් මිල දී ගත් අතර, උන් වැඩට හොඳද කියා බලන්න යමි. මට කමා වන මෙන් ඔබෙන් ඉල්ලමි’ යි කීවේය. තව කෙනෙක්, ‘මම මේ දැන් විවාහයක් කරගත්තෙමි. ඒ නිසා මට එන්න නොහැකිය’ යි කීවේය.”
ඉදිරිපත් කළ එම නිදහසට කරුණු මොන තරම් බොළඳ ඒවාද! කෙතක් හෝ සත්ව රැළක් සාමාන්‍යයෙන් පරීක්ෂා කර බලන්නේ ඒවා මිල දී ගැනීමට පෙරයි. ඒ නිසා, මිල දී ගැනීමෙන් පසුව ඒවා පරීක්ෂා කර බැලීමට සැබෑ හදිසිතාවක් නැහැ. ඒ වගේම, කෙනෙකුගේ විවාහය එවැනි වැදගත් ආරාධනාවක් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවිය යුතුයි. ඒ නිසා, මෙසේ ඉදිරිපත් කළ නිදහසට කරුණු ඇසීමෙන් ස්වාමියා කෝපයට පත් වී තම දාසයාට මෙලෙස අණ කරනවා.
“‘ඉක්මනින්ම නුවරේ ප්‍රධාන වීදිවලටත් මාවත්වලටත් ගොස්, දිලිඳු, අබ්බගාත, අන්ධ සහ කොර මිනිසුන්ව මෙතැනට ගෙන එන්න’ . . . පසුව දාසයා, ‘ස්වාමිනි, ඔබ අණ කළ දේ කර තිබේ. නමුත් තවත් ඉඩ තිබේ’ යයි කීවේය. එවිට ස්වාමියා දාසයාට මෙසේ පැවසීය: ‘මාගේ ගෘහය පිරී යන තරමටම, පාරවල්වලටත් දෙවැටවල්වලටත් ගොස්, එහි සිටින්නන්ට ඇතුලට පැමිණෙන්න උනන්දු කරන්න. මන්ද, ආරාධනාව ලැබූ ඒ මිනිසුන්ගෙන් කිසිවෙකුට මාගේ සන්ධ්‍යා භෝජනය රස බලන්න ලැබෙන්නේ නැත.’”
මෙම උපමාවෙන් විස්තර කරන්නේ කුමන තත්වයක්ද? භෝජන සංග්‍රහය පිළියෙළ කරන “ස්වාමියා” නියෝජනය කරන්නේ යෙහෝවා දෙවිවයි. ආරාධනාව ඉදිරිපත් කරන “දාසයා” නම් යේසුස් ක්‍රිස්තුස්. ඒ වගේම, “මහා සන්ධ්‍යා භෝජනය” යනුවෙන් අදහස් කරන්නේ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට තිබෙන ප්රස්තාවයි.
රාජ්‍යයට ඇතුල් වීම සඳහා අනික් සියල්ලන්ටම කලින් ආරාධනාව ලැබුණේ යේසුස්ගේ දවසේ සිටි යුදෙව් ආගමික නායකයන්ටයි. එහෙත් ඔවුන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා, විශේෂයෙන්ම ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනයේ සිට දෙවෙනි ආරාධනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. එය ඉදිරිපත් කරනු ලැබුවේ යුදෙව් ජනයා අතරේ අවමන්සහගත ලෙස හා පහත් ලෙස සලකනු ලැබූ අය වෙතයි. එහෙත් දෙවිගේ ස්වර්ග රාජ්‍යයට අයත් 1,44,000දෙනා පිරෙන තරමට ප්‍රමාණවත් පිරිසක් ප්‍රතිචාරය දැක්වූයේ නැහැ. ඒ නිසා වසර තුනහමාරකට පසුව, එනම් ක්‍රි.ව. 36දී, අචර්මච්ඡේදිත, යුදෙව් නොවන අයට තුන්වන හා අන්තිම ආරාධනාවද ඉදිරිපත් කරනු ලැබුවා. එවැනි අයව එක්රැස් කරනු ලැබීම අපගේ දවස දක්වාම පැවත තිබෙනවා. ලූක් 14:1-24, NW.
▪ යටහත් පහත්කම පිළිබඳව යේසුස් උගන්වන පාඩම කුමක්ද?
▪ යමෙකුට දෙවිගේ අනුමැතිය දිනාගත හැකි ආකාරයකින් භෝජන සංග්‍රහයක් කළ හැක්කේ කෙසේද? එයින් ඔහුට සන්තෝෂය අත් වන්නේ මන්ද?
▪ ආරාධිත අමුත්තන් නිදහසට ඉදිරිපත් කළ කරුණු ඉතා බොළඳ ඒවා වන්නේ ඇයි?
▪ “මහා සන්ධ්‍යා භෝජනය” පිළිබඳ යේසුස්ගේ උපමාවෙන් නියෝජනය කරන්නේ කුමක්ද?